මෛත්‍රී කරුණා ගුණ

පැවිද්දන් හැකි තාක් දුරට ස්වකීය ශාස්තෘවරයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ යුතු ය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශත්‍රැ මිත්‍ර‍ විශේෂ විභාගයක් නැති ව සැම සතුන් කෙරෙහි ම මෛත්‍රී කරුණාවෙන් යුක්ත වූ සේක. උන්වහන්සේ මිතුරාට මෙන් සතුරාට ද යහපත කළ සේක. ලොවුතුරා බුදු බවට පැමිණෙන්නට පෙර බෝසත් කාලයේ දී ද එසේ කළ සේක. උන්වහන්සේ වඳුරු රජකු ව හිමාලයෙහි විසූ කලකදී වනයෙහි මං මුළා ව ගොස් ගැඹුරු ප්‍ර‍පාතයක වැටී හුන් පුරුෂයකු ගොඩ ගෙන වෙහෙස සන්සිඳවා ගනු පිණිස මඳක් නිදා ගත් හ. ඒ අසත්පුරුෂයා බෝසතුන් මරා මස් කන්නට සිතා නිදන බෝසතුන් ගේ හිසට මහ ගලකින් ගැසී ය. එසේ තමන්ට මහත් අපරාධයක් කළ ඒ අකෘතඥ පුද්ගලයාට පවා බෝසතාණන් වහන්සේ ගස් උඩින් යමින් මිනිස් පියසට යන මඟ පෙන්වූහ. (තිංස නිපාතයේ මහාකපි ජාතකය බලනු).

පැවිද්දන් ද ස්වකීය ශාස්තෘන් වහන්සේ අනුගමනය කරමින් සකල සත්ත්වයන් කෙරෙහි ම මෛත්‍රිය හා කරුණාව පැවැත්විය යුතු ය. කාහටත් රිදවීමක් නො කළ යුතු ය. සතුරු මිතුරු කාහටත් කළ හැකි උපකාරයක් කළ යුතු ය. නිතර ම තමා අවාසිය අපහසුව පිළිගනිමින් අනුන්ට වාසියත් පහසුවත් දීමට කැමති විය යුතු ය. මෛත්‍රී සහගත චිත්තය පැවැත්විය යුතු අයුරු වදාරා ඇත්තේ මෙසේ ය.

“මාතා යථා නියං පුත්තං

ආයුසා ඒකපුත්ත මනුරක්ඛෙ,

ඒවම්පි සබ්බභූතේසූ

මානසං භාවයේ අපරිමානං”

“එක පුතකු ඇති මව තමාගේ ජීවිතයට නොදෙවෙනි කොට මෙත් සිතින් ඒ පුතා රක්නාක් මෙන් සකල සත්ත්වයන් කෙරෙහි ම මෛත්‍රිය පැවැත්විය යුතු ය” යනු එහි අදහස ය. එබඳු මෛත්‍රියක් ඇත්තෝ අනුන්ගේ යහපත පිණිස මණිකාර කුලූපගතිස්ස තෙරුන් වහන්සේ මෙන් තුමූ දුක් විඳිති.