මණිකාර කුලූපග තිස්ස තෙරුන් වහන්සේගේ කථාව

තිස්ස තෙරුන් වහන්සේ එක් මණිකාරයකු ගේ ගෙයි දොළොස් වසරක් දන් වැළඳූහ. ඒ අඹුසැමි දෙදෙන මා පිය දෙදෙන මෙන් තෙරුන් වහන්සේට උපස්ථාන කළහ. එක් දවසක් ඒ මිණිකරුවා තෙරුන් වහන්සේ ඉදිරියේ ම මස් කපමින් සිටියේ ය. ඒ අවස්ථාවෙහි පසේනදි කොසොල් රජතුමා විසින් ඔප දමා විදිනු පිණිස එවන ලද මිණිරුවනක් ගෙන ආවේ ය. මණිකාරයා එය ලේ තැවරී තුබූ අතින් ම ගෙන පෙට්ටියක් මත තබා අත් සෝදනු පිණිස ගෙට ගියේ ය. ඒ අතර ලේ තැවරි තිබූ මැණික මස් කැටියක යන හැඟීමෙන් කොස්වා ලිහිණියා ගිල්ලේ ය. මැණික්කරු පිටතට අවුත් බැලූ කල්හි මිණිරුවන නො දැක භාර්‍ය්‍යාවගෙන් හා දරුවන් ගෙන් මැණික ඇසී ය. ඔවුහු එය නො ගත් බව කීහ. එකල්හි ඔහු මැණික තෙරුන් වහන්සේ ගන්නට ඇතැයි සිතා ගෙට පිවිස, ‘තෙරුන් වහන්සේ ගන්නට ඇතැ’ යි බිරියට කීය. ‘හිමියනි, එසේ නො කියනු. අප මේ තෙරුන් වහන්සේ ආශ්‍ර‍ය කරන්නට පටන් ගෙන බොහෝ කල් ය. උන්වහන්සේ ගේ වරදක් කිසි කලෙක දක්නට ලැබුණේ නැත. උන් වහන්සේ මැණික ගන්නට නැතය’ යි ඕ කීවා ය. එහි තෙරුන් වහන්සේ හැර අසන්නට අනිකකු නො වූ බැවින් මැණික්කරුවා “ස්වාමීනි, මෙහි තුබූ මැණික නුඹ වහන්සේ ගන්නා ලදදැ”යි ඇසීය. තෙරුන් වහන්සේ “නො ගතිමු” යි කීහ. “ස්වාමීනි, මෙහි අනිකකු සිටියේ නැත. එය ගන්න ඇත්තේ නුඹ වහන්සේ ම ය, එය රජතුමාගේ මැණිකය, නැති වුවහොත් අපට ගැලවීමක් ලැබෙන්නේ නැත. ඒ නිසා වහා ම මැණික දෙන්නය” යි කීය. තෙරුන් වහන්සේ තුෂ්ණීම්භූත වූහ. මණිකාරයා නැවත ගෙට පිවිස “හිරිහැර කොට හෝ තෙරුන් වහන්සේගෙන් මැණික අසන්නට ඕනෑය” යි භාර්‍ය්‍යාවට කීය. ‘හිමියනි, අපි නො නසනු මැනව, අප දාසත්වයට පැමිණීම හොඳ ය. තෙරුන් වහන්සේට වරදක් කිරීම යුතු නැතය’ යි ඕ කීවාය. “අප සැමදෙනා ම දාසත්වයට පැමිණියත් මැණික තරම් නො වටනේ ය” යි කියා මැණික්කරු කඹයක් ගෙන තෙරුන් වහන්සේගේ හිසෙහි පටලවා පොල්ලකින් කරකවා තද කරමින් මැණික ඉල්ලන්නට පටන් ගත්තේ ය. තෙරුන් වහන්සේට බලවත් වේදනාවක් ඇති විය. ඒ තද කිරීමෙන් තෙරුන් වහන්සේගේ කන් නාසාවලින් ලේ ගලන්නට විය. ඇස් එළියට එන්නට මෙන් විය. මැණිකට වූ දෙය තෙරුන් වහන්සේ දන්නාහ. එහෙත් උන් වහන්සේ ලිහිණියාට විපත් නො වනු පිණිස ඌ කෙරෙහි කරුණාවෙන් කාරණය නො කියා ඒ දුක තමන් වහන්සේ ම වින්ඳා හ.

බලවත් වේදනාවෙන් පීඩිත තෙරුන් වහන්සේ බිම ඇද වැටිණ. එකල්හි ලිහිණියා එහි ගොස් තෙරුන් වහන්සේගේ ශරීරයෙන් ගලන ලේ බොන්නට පටන් ගත්තේ ය. කෝප වී සිටි මැණික්කරුවා ‘තෝ මෙහි කුමට ආවෙහි ද’ කියා ලිහිණියාට පා පහරක් ගැසී ය. ඒ පහරින් ලිහිණියා මැරී වැටිණ. එකල්හි තෙරුන් වහන්සේ “උපාසකය, හිස් වෙළුම මදක් බුරුල් කොට ලිහිණියා මළේදැ යි බලන්නය” යි කීහ. කෝප වී සිටි මැණික් කරුවා, නුඹත් ලිහිණියා මෙන් මැනේන ය’ යි කීය. තෙරුන් වහන්සේ ලිහිණියා මළ බව දැන “උපාසකය, මේ ලිහිණියාගේ බඩ පළා බලන්නය” යි වදාළහ. මැණික් කරුවා ලිහිණියාගේ බඩ පළා මැණික සොයා ගෙන බියෙන් වෙවුලමින් තෙරුන් වහන්සේ ගේ පාමුල වැඳ වැටී “මා නො දැන කළ වරදට සමාවුව මැනව” යි කීය. “උපාසකය, මෙය අපගේ හෝ තොප ගේ වරදක් නොව සංසාරදෝෂය ම ය, මම තොපට සමා වෙමි” යි කීහ. “ස්වාමීනි, මට සමාවන සේක් නම් පෙර සේ ම මාගේ ගෙයි දන් වැළඳුව මැනව” යි මැණික්කරු කීය. තෙරුන් වහන්සේ “උපාසකය, මෙය සිදුවූයේ අනුන්ගේ ගෙවලට ඇතුළු වූ නිසා ය, මෙතැන් පටන් මම කිසිවකු ගේ ගෙයකට නො පිවිසෙන්නෙමි ය, පා දෙක ක්‍රියා කරවිය හැකි තාක් පිඬු සිඟා වළඳන්නෙමි” යි කීහ. තෙරුන් වහන්සේ නොබෝ කලකින් ම ඒ ව්‍යාධියෙන් ම පිරිනිවියහ. මැණික්කරු කළුරිය කොට ඒ පාපයෙන් නරකයෙහි උපන. තෙරුන් වහන්සේට කරුණාව දැක්වූ ඔහුගේ භාර්‍ය්‍යාව මරණින් මතු දෙව්ලොව උපන්නා ය.