නාථකරණ ධර්ම

නාථකරණ ධර්ම නම් පැවිද්දාට පිහිට වන ධර්ම යෝ ය. නාථකරණ ධර්ම දක්වා වදාළ සූත්‍ර‍ දෙකක් අංගුත්තර නිකාය දශක නිපාතයේ නාථවර්ගයේ ඇත්තේ ය. එයින් ප්‍ර‍ථම සූත්‍ර‍ය මෙසේ ය.

සනාථා භික්ඛවේ, විහරථ මා අනාථා. දුක්ඛං භික්ඛවේ, අනාථෝ විහරති. දස ඉමේ භික්ඛවේ, නාථකරණ ධම්මා. කතමෙ දස?

  1. ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හෝති, පාතිමොක්ඛ සංවරසංවුතෝ විහරති. ආචාරගෝචරසම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදේසු, යම්පි භික්ඛවේ, භික්ඛු සීලවා හෝති -පෙ- සමාදාය සික්ඛති සික්ඛා පදේසු, අයම්පි ධම්මෝ නාථකරණෝ.
  2. පුන ච පරං භික්ඛවේ, භික්ඛු බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ, යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ජේ කල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සව්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍ර‍හ්මචරියං අභිවන්දති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා යම්පි භික්ඛවේ, භික්ඛු බහුස්සුතෝ හෝති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා අයම්පි ධම්මෝ නාථකරණො.
  3. පුන ච පරං භික්ඛවෙ, භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති කල්‍යාණසහායෝ කල්‍යාණ සම්පවංකෝ අයම්පි ධම්මෝ නාථකරණෝ.
  4. පුන ච පරං භික්ඛවේ, භික්ඛු සුවචෝ හෝති සෝවචස්සකරණේහි ධම්මේහි සමන්නාගතෝ ඛමෝ පදක්ඛිණග්ගාහි අනුසාසනිං, යම්පි භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ, ඛමෝ පදක්ඛිණග්ගාහී අනුසාසනිං අයම්පි ධම්මෝ නාථකරණෝ.
  5. පුන ච පරං භික්ඛවෙ, භික්ඛු යානි සබ්‍ර‍හ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්ථ දක්ඛෝ හොති අනලසෝ තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතෝ අලං කාතුං, අලං සංවිධාතුං යම්පි භික්ඛවේ. භික්ඛු යානි තානි -පෙ- අලං සංවිධාතුං, අයම්පි ධම්මෝ නාථකරණෝ.
  6. පුන ච පරං භික්ඛවෙ, භික්ඛු ධම්මකාමෝ හෝති පියසමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උළාරපාමුජ්ජෝ, යම්පි භික්ඛවේ, භික්ඛු ධම්මකාමෝ -පෙ- උළාරපාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාථකරණෝ.
  7. පුන ච පරං භික්ඛවේ, භික්ඛු ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු, යම්පි භික්ඛවේ, භික්ඛු ආරද්ධවිරියෝ -පෙ- කුසලේසු ධම්මේසු, අයම්පි ධම්මෝ නාථකරණෝ.
  8. පුන ච පරං භික්ඛවේ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජ පරික්ඛාරේන, යම්පි භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ -පෙ- භේසජ්ජ පරික්ඛාරේන, අයම්පි ධම්මෝ නාථකරණෝ.
  9. පුන ච පරං භික්ඛවේ, භික්ඛු සතිමා හෝති පරමේන සතිනෙපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, යම්පි භික්ඛවේ, භික්ඛු සතිමා හෝති -පෙ- අනුස්සරිතා, අයම්පි ධම්මෝ නාථකරණෝ.
  10. පුන ච පරං භික්ඛවේ, භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා, යම්පි භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හෝති -පෙ- සම්මා දුක්ඛක්ඛය ගාමිනියා, අයම්පි ධම්මෝ නාථකරණෝ.

සනාථා භික්ඛවේ, විහරථ මා අනාථා, දුක්ඛං භික්ඛවේ, අනාථෝ විහරති, ඉමේ ඛෝ භික්ඛවේ, දස නාථකරණා ධම්මාති.

සූත්‍රයේ අදහස:

අනාථව වාසය නො කළ යුතු ය. අනාථ බව දුකෙක, නාථකරණ ධර්ම හෙවත් පැවිද්දන්ට පිළිසරණ වන ධර්ම දශයක් ඇත්තේ ය.

ඒ මෙසේ ය:-

1. කය වචන සිත යන ද්වාරත්‍රයෙන් ම අකුශල ක්‍රියා නො කිරීම් වශයෙන් ආචාරයෙන් යුක්ත ව ආශ්‍ර‍යට නුසුදුසු අය හැර සැදැහැවත් උපාසකෝපාසිකාවන් පමණක් භජනය කිරීම් වශයෙන් ගෝචරයෙන් යුක්ත ව සුළු වරද පවා මහත් භයක් වශයෙන් සලකමින් මනා කොට ශීලය රක්ෂා කිරීම නාථකරණ ධර්මයෙකි. ශීලය පැවිද්දාට ඇති ප්‍ර‍ධාන පිහිට ය.

2. තථාගතයන් වහන්සේ විසින් දේශිත පරිශුද්ධ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ප්‍ර‍කාශ කරන ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්ත වන බොහෝ ධර්මයන් උගෙන ප්‍ර‍ගුණ කර ගත් කීම පුරුදු කර ගත්, ඒ ධර්ම නැවත සිහි කර බලන, නුවණින් ඒ ධර්ම අර්ථ වශයෙන් හා හේතු යුක්ත වශයෙන් තේරුම් ගත් කෙනකු වීම නාථකරණ ධර්මයෙකි. උගෙන නුවණින් හොඳින් තේරුම් ගෙන ඇති ඒ ධර්ම පැවිද්දාට මහත් වූ පිහිටකි.

3. කල්‍යාණමිත්‍ර‍යන් ඇති කර ගෙන ඔවුන් සේවනය කිරීම එක් නාථකරණ ධර්මයෙකි.

4. ආචාර්යෝපාධ්‍යායාදීන් විසින් කරන අවවාද පවා සතුටින් පිළිගෙන පිළිපදින සුවචයකු වීම නාථකරණ ධර්මයෙකි.

5. සිවුරු මැසීම්, පඬු පෙවීම්, චෛත්‍ය විහාරාදිය සංස්කරණය කිරීම් ආදී සබ්‍ර‍හ්මචාරීන් ගේ කුඩා මහත් කටයුතු කිරීමට සමර්ථ වීම නාථකරණ ධර්මයෙකි.

6. බුද්ධ ධර්මය ප්‍රිය කරන බණ කීමට හා ඇසීමට කැමති අභිධර්මය අභිවිනය පිළිබඳ බලවත් සතුටක් ඇති ධර්මකාමියකු වීම නාථකරණ ධර්මයෙකි.

ධර්මය, අභිධර්මය, විනය, අභිවිනය යන මේ සතර මෙහි දත යුතු ය. ධර්ම යනු සූත්‍ර‍ පිටකය ය. අභිධර්මය යනු ධම්මසංගණී විභංගාදි සප්තප්‍ර‍කරණය ය. විනය යනු උභතො විභංගය ය. (පාරාජිකා පාළි පාචිත්තිය පාළි යන ප්‍ර‍කරණ දෙකය) අභිවිනය යනු මහාවග්ග චූලවග්ග පරිවාරයෝ ය. නාමරූප ධර්ම නොහැඳින විදර්ශනා නොකළ හැකි ය. විදර්ශනා නො වඩා මඟපල නො ලැබිය හැකි ය. පැවිදිවීමේ පරමාර්ථය මඟපල ලබා කෙලෙස් නසා නිවනට පැමිණීම ය. එබැවින් සෑම පැවිද්දකු විසින් ම විදර්ශනා වැඩීම කළ යුතු ය. ඒ සඳහා නාමරූප ධර්ම තේරුම් කර ගත හැකි වීමට තරමක් දුරට වුව ද අභිධර්මය උගත යුතු ය. ආරණ්‍යක භික්ෂූන් විසින් විශේෂයෙන් ම අභිධර්මය අභිවිනය දෙක උගත යුතු ය. එබැවින් මධ්‍යමනිකායේ මධ්‍යමපණ්ණාසකයෙහි ගුලිස්සානි සූත්‍රයෙහි “ආරඤ්ඤකේනභාවුසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ” යි වදාරා ඇත්තේ ය. අටුවාවෙහි ඒ පාඨය වර්ණනා කර ඇත්තේ මෙසේ ය:

“අභිධම්මේ අභිවිනයේති අභිධම්මපිටකේ චේව විනය පිටකේ ච පාළිවසේන චේව අට්ඨකථාවසේන ච යෝගෝ කරණීයෝ, සබ්බන්තිමේනහි පරිච්ඡේදේන අභිධම්මේ දුකතිකමාතිකාහි සද්ධිං ධම්මහදයවිභංගං විනා න වට්ටති. විනයේ කම්මාකම්ම විනිච්ඡයේන සද්ධිං සුවිනිච්ඡිතානි ද්වේ පාතිමොක්ඛානි විනා න වට්ටති.”

“අභිධර්ම පිටකයත් විනය පිටකයත් පාළි වශයෙනුත් අර්ථ වශයෙනුත් උගත යුතු ය. අන්තිම වශයෙන් අභිධර්මයෙන් ද්විකත්‍රික මාතෘකාවන් සමඟ ධර්මහදය විභංගය පමණවත් නො උගෙන ආරණ්‍ය වාසය නො වටීය, විනයෙන් කර්මාකර්ම විනිශ්චය සහිත ව උභය ප්‍රාතිමෝක්ෂය නො උගෙන අරණ්‍ය වාසය නො වටීය” යනු එහි තේරුම ය. ඇතැම් කෙනෙක් කිසිවක් නො ඉගෙන අරණ්‍යගත ව වෙසෙත්. එය නො මැනවි. ග්‍රාමයන්හි වෙසෙන පැවිද්දන් විසින් වුව ද ඒ ධර්ම උගත යුතු ය. තරමක් දුරටවත් අභිධර්මය නූගත් කෙනකුට බුදු දහම තේරුම් ගත නො හැකි ය.

7. අකුශල ධර්මයන් ප්‍ර‍හාණය කිරීමෙහිත් කුශල ධර්මයන් වැඩීමෙහිත් නො පසුබස්නා බලවත් වීර්‍ය්‍යය ඇතියකු වීම නාථකරණ ධර්මයෙකි.

8. චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍ර‍ත්‍යය යන සිවුපසය පිළිබඳ ලද සැටියෙකින් සතුටු වන ස්වභාවය නාථකරණ ධර්මයෙකි.

9. කොට බොහෝ කල් ගත වුව ද, කියා බොහෝ කල් ගත වුව ද, කරුණු සිහි කිරීමට සමත් දියුණු කරන ලද සිහිය ඇති බව නාථකරණ ධර්මයෙකි.

10. නාමරූපයන් ගේ ඉපදීම් බිඳීම් දෙක දැකීමට සමත් නිවනට පමුණුවන ආර්‍ය්‍ය ප්‍ර‍ඥාව නාථකරණ ධර්මයෙකි. මේ නාථකරණ ධර්මවලින් කීපයක්වත් ඇති කර ගැනීමට පැවිද්දන් උත්සාහ කළ යුතු ය. අනාථව නො විසිය යුතු ය.