ගිලනුන්ට උවටැන් කිරීම

ග්ලානෝපස්ථානය තථාගතයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද සත් ක්‍රියාවෙකි. අනාගත සංසාරයේ නිරෝග බව ලබා දෙන උතුම් පින්කමෙකි. පැවිද්දකු ගිලන් වූ අවස්ථාව අන්‍ය පැවිද්දන් ගේ මෛත්‍රී කරුණාගුණ ක්‍රියාවේ යෙදවීමට ඇති හොඳ අවස්ථාවකි. ග්ලානෝපස්ථානය තථාගතයන් වහන්සේ විසින් ද නොයෙක් වර කරන ලද්දකි. එය ස්ථවිර නවක මධ්‍යම සියලු ම පැවිද්දන් විසින් කළ යුත්තකි. එය ස්ථවිර නවක මධ්‍යම සියලු ම පැවිද්දන් විසින් කළ යුත්තකි. කිරීමෙහි ශක්තිය ඇති කෙබඳු තත්ත්වයක වුව ද සිටින පැවිද්දන් විසින් ග්ලානෝපස්ථානය කළ යුතු ය.

එක් දවසක් තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග භික්ෂූන් ගේ සෙනසුන බලා ඇවිදින සේක්, එක් රෝගාතුර වූ භික්ෂුවක් වෙසෙන විහාරයකට පැමිණි සේක. මලමුත්‍ර‍ ගොඩේ වැතිරී ඉන්නා ඒ රෝගාතුර භික්ෂුව දැක, තථාගතයන් වහන්සේ ඔහු වෙත ගොස්, “මහණ, තොපගේ රෝගය කුමක්දැ” යි අසා වදාළ කල්හි, “භාග්‍යවතුන් වහන්ස, මාගේ රෝගය උදර රෝගයකැ” යි ඒ භික්ෂුව කීය. “මහණ, තොපට උපස්ථායකයෙක් ඇති දැ”යි තථාගතයන් වහන්සේ වදාළ කල්හි, “ස්වාමීනි, උපස්ථායකයකු නැතය” යි ඒ භික්ෂුව කීය. “මහණ, භික්ෂූහු කුමක් නිසා තට උපස්ථාන නො කෙරෙත් දැ” යි තථාගතයන් වහන්සේ වදාළ කල්හි, “ස්වාමීනි, මම අන්‍ය භික්ෂූන් ගේ වැඩ නො කරමි. ඒ නිසා අන්‍ය භික්ෂූහු මට උපස්ථාන නො කෙරෙති” යි ඒ භික්ෂුව කීය.

එකල්හි තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙස බලා “ආනන්දය, මේ භික්ෂුව නාවනු පිණිස වතුර ගෙනෙනු” ය යි කීහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘එසේය, ස්වාමීනි’ යි කියා වහා ගොස් වතුර ගෙන ආහ. ඉක්බිති රෝගාතුර භික්ෂුව ඉවතට ගෙන නෑවූහ. තථාගතයන් වහන්සේ වතුර වත් කළහ. අනඳ හිමියෝ රෝගියා පිරිසිදු කළහ. ඉක්බිති පිරිසිදු සිවුරු හඳවවා පොරවවා තථාගතයන් වහන්සේ විසින් හිස පසින් ද අනඳ හිමියන් විසින් පා පසින් ද රෝගියා ඔසවා ඇඳෙහි තබන ලද්දේ ය. අනතුරුව අනඳ හිමියේ ඒ භික්ෂුව ගේ අපවිත්‍ර‍ සිවුරු සෝදා පිරිසිදු කර ගෙය ද පවිත්‍ර‍ කළ හ.

ඉක්බිති තථාගතයන් වහන්සේ විහාරයට වැඩ මේ කාරණයෙන් භික්ෂූන් රැස් කරවා “මහණෙනි, අසවල් විහාරයෙහි රෝගී භික්ෂුවක් ඇත්තේ දැ” යි ඇසූහ. “එසේය, ස්වාමීනි, යි භික්ෂූහු සැල කළහ. “මහණෙනි, ඒ භික්ෂුවට උපස්ථායකයෙක් ඇත්තේ දැ”යි ඇසූ කල්හි, “ස්වාමීනි, නැතය” යි භික්ෂූහු කීහ. “කුමක් හෙයින් ඒ මහණහුට භික්ෂූහු උපස්ථාන නො කෙරෙත් දැ” යි වදාළ කල්හි “හිමියනි, ඒ මහණ අන්‍ය භික්ෂූන්ට ද උපස්ථාන නො කරන්නෙකි. එබැවින් ඔහුට භික්ෂූහු උපස්ථාන නො කෙරෙති” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“නත්ථි වෝ භික්ඛවේ, මාතා නත්ථි පිතා, යේ වෝ උපට්ඨහෙය්‍යුං, තුම්හේ චේ භික්ඛවේ, අඤ්ඤමඤ්ඤං න උපට්ඨහිස්සථ, අථ කෝ චරහි උපට්ඨිස්සති? යෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය; සෝ ගිලානං උපට්ඨහෙය්‍ය; සචේ උපජ්ඣායෝ හෝති උපජ්ඣායේන යාවජීවං උපට්ඨාතබ්බෝ. උට්ඨානස්ස ආගමේතබ්බං. සචේ ආචරියෝ හෝති ආචරියේන යාවජීවං උපට්ඨාතබ්බෝ, උට්ඨානස්ස ආගමේ තබ්බං. සචේ සද්ධිවිහාරිකෝ හෝති සද්ධිවිහාරිකේන උපට්ඨාතබ්බෝ, උට්ඨානස්ස ආගමේතබ්බං. සචේ අන්තේවාසිකෝ හෝති අන්තේවාසිකේන යාවජීවං උපට්ඨාතබ්බෝ, උට්ඨානස්ස ආගමේතබ්බං, සචේ සමානුපජ්ඣායකෝ හෝති සමානුපජ්ඣායේන යාවජීවං උපට්ඨාතබ්බෝ. උට්ඨානස්ස ආගමේතබ්බං. සචේ සමානාරියකො හොති සමානාචරියකෙන යාවජීවං උපට්ඨාතබ්බො. උට්ඨානස්ස ආගමේතබ්බං. සචේ න හෝති උපජ්ඣායෝ වා ආචරියෝ වා සද්ධිවිහාරිිකෝවා අන්තේවාසිකෝ වා සමානුපජ්ඣායකෝ වා සමානාචරියකෝ වා සංඝෙන උපට්ඨාතබ්බෝ. නෝ චේ උපට්ඨහෙය්‍ය ආපත්ති දුක්කටස්ස.

(මහාවග්ග චීවරක්ඛන්ධක)

තේරුම:

“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මවක් හෝ පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උපස්ථාන නො කරන්නහු නම්, කවරෙක් තොපට උපස්ථාන කෙරෙත් ද? මහණෙනි, මාගේ අවවාදය පිළිගැනීම් වශයෙන් යමෙක් මා හට උපස්ථාන කරන්නේ ද, හේ ගිලනාහට උපස්ථාන කරන්නේ ය. මහණෙනි, රෝගී භික්ෂුවක ගේ උපාධ්‍යායයෙක් වේ නම් උපාධ්‍යායයා විසින් දිවිහිමියෙන් රෝගියාට උවටැන් කළ යුතු ය. රෝගියාගේ සුවය ගැන බලාපොරොත්තු විය යුතු ය. ආචාර්යයෙක් ඇත්තේ නම් ආචාර්යයා විසින් දිවිහිමියෙන් උපස්ථාන කළ යුතු ය. රෝගියා ගේ සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සද්ධිවිහාරිකයෙක් ඇත්තේ නම් සද්ධිවිහාරිකයා විසින් දිවිහිමියෙන් උපස්ථාන කළ යුතු ය. රෝගයේ සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් අන්තේවාසිකයෙක් ඇත්තේ නම් අන්තේවාසිකයා විසින් දිවි හිමියෙන් උපස්ථාන කළ යුතු ය. රෝගය සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් සමානෝපාධ්‍යායකයෙක් ඇත්තේ නම් සමානෝපාධ්‍යායකයා විසින් දිවි හිමියෙන් උපස්ථාන කළ යුතු ය. රෝග සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සමානාචාර්‍ය්‍යකයෙක් ඇත්තේ නම් සමානාචාර්‍ය්‍යකයා විසින් උපස්ථාන කළ යුතුය. රෝග සුවය බලාපොරොත්තු විය යුතු ය. යමකුට උපාධ්‍යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් හෝ සද්ධිවිහාරිකයෙක් හෝ අන්තේවාසිකයෙක් හෝ සමානෝපාධ්‍යායකයෙක් හෝ සමානාචාර්‍ය්‍යකයෙක් හෝ නැත්තේ නම් ඒ භික්ෂුවට සංඝයා විසින් උපස්ථාන කළ යුතු ය. නො කළහොත් දුකුළ ඇවැත් වන්නේ ය’ යනු ඉහත දැක් වූ පාඨයේ තේරුම ය.

යම්කිසි විහාරයකට පැමිණි ආගන්තුක භික්ෂුවක් හෝ ශිෂ්‍යාදීන් නැති භික්ෂුවක් හෝ රෝගාතුර වූයේ නම් ඒ රෝගියා සංඝයාහට භාරය. සංඝයා විසින් ඔහුට උපස්ථාන කළ යුතු ය. රෝගීන් විසින් ද උපස්ථායකයන්ට කරදර නො වන පරිදි අප්‍රිය නො වන පරිදි උපස්ථානයට පහසු වන පරිදි හැසිරෙන්නට උගත යුතු ය. එසේ නො වන රෝගියාට ආදරයෙන් කරුණාවෙන් කරන හොඳ උපස්ථානයක් ලැබීම උගහට ය. රෝගීන් ගැන තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“පඤ්චහි භික්ඛවේ, අංගේහි සමන්නාගතෝ ගිලානෝ දූපට්ඨෝ හෝති, අසප්පායකාරී හෝති, සප්පායේ මත්තං න ජානාති, භේසජ්ජං න පටිසේවිතා හෝති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථභූතං ආබාධං නාවිකත්තා හෝති, අභික්කමන්තං වා අභික්කමතීති පටික්කමන්තං වා පටික්කමීති ඨිතං වා ඨිතෝති, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසනජාතිකෝ හෝති. ඉමේහි ඛෝ භික්ඛවේ, පඤ්චහංගේහි සමන්නාගතෝ ගිලානෝ දූපට්ඨෝ හෝති.

(මහාවග්ග චීවරක්ඛන්ධක)

තේරුම:

“මහණෙනි, අංග පසකින් යුක්ත වන රෝගියාට උපස්ථාන කිරීම දුෂ්කර වේ. අසත්ප්‍රාය දේ කරන්නේ වේ; සත්ප්‍රායෙහි ද ප්‍ර‍මාණය නොදන්නේ වේ. බෙහෙත් නොගත්තේ වේ. අර්ථකාමි ග්ලානෝපස්ථායකයා හට රෝගය වැඩෙත හොත් වැඩේය කියා හෝ සුව වතොත් සුව වේය කියා හෝ අඩු වැඩි නො වී පවතිත හොත් ඒ බව හෝ ප්‍ර‍කාශ නො කරන්නේ වේ; දුක් වූ තියුණු වූ ක්‍රෑර වූ කටුක වූ අමිහිරි අමනෝඥ වූ ප්‍රාණය පැහැර ගන්නා වූ උපන් ශාරීරික වේදනා නො ඉවසන ස්වභාවය ඇත්තේ වේ; මහණෙනි, මේ පඤ්චාංගයෙන් යුක්ත වන රෝගියා උපස්ථානය කිරීමට දුෂ්කර වේ.