අලසයන් විසින් නිකරුණේ කාලක්ෂේපය කිරීමට හෝතු යුක්ති වශයෙන් ඉදිරිපත් කර ගන්නා කරුණු අටක් ඇත්තේ ය. “අට්ඨිමානි භික්ඛවේ, කුසීතවත්ථූනි” යනාදීන් ඒ අට අංගුත්තර නිකාය අට්ඨකනිපාතයෙහි වදාරා තිබේ.
- අලස පැවිද්දා තරමක් මහන්සි විය යුතු වැඩක් කරන්නට ඇති කල්හි “මට වැඩක් කරන්නට ඇත්තේ ය. එය කරන කල්හි බොහෝ වෙහෙසෙන්නට සිදුවන්නේ ය” යි කියා නිදයි. තමා විසින් කළ යුතු වතපිළිවෙත උගෙනීම, පොතපත කියවීම, භාවනාව නො කරයි. මේ පළමුවන කුසීත වස්තුව ය.
- අලස පැවිද්දා යම්කිසි වැඩක් කොට මඳක් වුවත් මහන්සි වූ පසු ‘අද වැඩ කොට බොහේ මහන්සිය’ කියා නිදයි. වත්පිළිවෙත් ආදිය නො කරයි. මේ දෙවන කුසීත වස්තුව ය.
- අලස පැවිද්දාහට ගමනක් යන්නට ඇති කල්හි මතු යන්නට ඇති ගමනේ මහන්සිය සලකා නිදයි. වත් පිළිවෙත් භාවනා ආදිය නො කරයි. මේ තුන්වන කුසීත වස්තුව ය.
- අලස පැවිද්දා ගමන ගොස් පෙරළා පැමිණි පසු සමහරවිට දින ගණනක් පසු වන තුරු ද ගමන් මහන්සියට ය කියා නිදයි. මේ සතරවන කුසීත වස්තුව ය.
- අලස පැවිද්දාට මඳක් ආහාර අඩු වූ දිනයේ දී ‘අද සෑහෙන ආහාරයක් නො ලදිමිය, ඇඟට පණක් නැතය’ කියා නිදයි.
- අලස පැවිද්දා හොඳ ආහාර ලබා කුස පුරා වැළඳූ දිනවලදී ‘අද ඇඟ බර වැඩිය, ක්ලාන්තය, හිස බරය’ යනාදිය කියමින් නිදයි. මේ සවන කුසීත වස්තුව ය.
- අලස පැවිද්දා යම්කිසි සුළු ශාරීරිකාබාධයක් ඇති කල්හි ‘මට වැඩ කිරීමට සනීපයක් නැතය’ කියා නිදයි. මේ සත්වන කුසීත වස්තුව ය.
- අලස පැවිද්දා රෝගය සුව වූ පසු “මේ යම්තම් සනීප වූ සැටියේ ම වැඩෙහි නො යෙදිය හැකිය” තව ම හොඳට ඇඟට පණ ආවේ නැතය” කියා නිදයි. මේ අටවන කුසීත වස්තුව ය.