මහාසීව තෙරුන් වහන්සේගේ වීර්‍ය්‍යය.

star_outline

මහාසීව තෙරුන් වහන්සේ මහා ධර්මධරයෙකි. උන්වහන්සේ ගෙන් ධර්මය උගෙන අවවාදානුශාසනා ලබා රහත් වූ භික්ෂූහු ම තිස් දහසක් පමණ වූහ. එක් දිනක ඒ රහතුන් අතුරෙන් එක් නමක් තමාගේ ආචාර්යයන් වහන්සේගේ තතු කෙසේ දැ යි විමසී ය. ආචාර්ය්‍යයන් වහන්සේ තවමත් පෘථග්ජන බව දුටු ගෝල රහත් නම ආචාර්ය්‍යයන් වහන්සේට පිහිට වන්නට සිතා අහසින් ගොස් විහාර සමීපයේ බැස මහාසීව තෙරුන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියේය. “කුමක් නිසා පැමිණියෙහිදැ” යි මහාසීව තෙරුන් වහන්සේ විසින් විචාල කල්හි එක් අනුමෝදනා බණක් ඉගෙන ගන්නට ආමි’යි ගෝල රහත් නම කීය. මහාසීව තෙරුන් වහන්සේ “ඇවැත්නි, එය කරන්නට කාලයක් නැතය” යි කීහ. ගෝල නම දවසේ සියලු ම කාලයන් ගැන වෙන වෙන ම විචාළේ ය. සැම වේලාවේ ම ඉගෙන ගන්නා අය ඇති බැවින් අනවකාශ බව කීහ. එකල්හි රහත් නම “ස්වාමීනි, යෝනිසෝමනස්කාරයෙන් වැඩ කිරීමට කාලයක් කාටත් තිබිය යුතු ය. නුඹ වහන්සේට මැරෙන්නටවත් කාලයක් ඇත්තේ ද? නුඹ වහන්සේගේ අනුමෝදනාවෙන් කම් නැත” යි කියා අහසට නැඟ ගියේ ය.

අතවැසි නම එසේ කියා ගිය පසු මහාසීව තෙරුන් වහන්සේ සිතන්නාහු “මේ ඇවිත් ගිය නම උගෙනීමකින් වුවමනාවක් ඇතියෙක් නොවේ. ඒකාන්තයෙන් ම ඒ නම පැමිණෙන්නට ඇත්තේ මට පිහිටවීම පිණිස විය යුතු ය. මා ද ඒ නම සේ රහත් විය යුතු ය. මට දැන් ම ඒ සඳහා පිටත් වන්නට අවකාශයෙක් නැත. දවාලෙහි හා රාත්‍රියේ ප්‍ර‍ථම මධ්‍යම යාම දෙක්හිත් භික්ෂූන්ට උගන්වා මම පශ්චිම යාමයෙහි යම්කිසි විවේකස්ථානයක් ලබා පිටත් වෙමි.” යි සිතා පා සිවුරු ද ළඟ ම තබාගෙන සිට එදින පශ්චිම යාමයෙහි උගෙන ගිය භික්ෂුවක් සමග ම කාහටවත් නො දන්වා පිටත් වූහ. උගෙන ගෙන ගිය භික්ෂුනම ද මහාසීව තෙරුන් වහන්සේ නො හැඳින ගත්තේ ය. සමීපයේ සිටි අතවැසියෝ ද ආචාර්ය්‍යයන් වහන්සේ යම්කිසි කටයුත්තක් සඳහා පිටත යන්නාහ යි සිතා ගත්හ. උන් වහන්සේ අතවැසියන්ට නොදන්වා ම එසේ පිටත් වූයේ තමන්ට දෙතුන් දිනකින් රහත් ව ආපසු පැමිණිය හැකි වෙතියි සිතා ය.

උන්වහන්සේ ගියේ ඇසළමස පුර තෙළෙස්වක දිනක ය. උන්වහන්සේ ගාමන්තර පබ්භාර නම් තැනට ගොස් සක්මන් මලුවට ගොඩ වී භාවනා කරමින් සක්මනට පටන් ගත්හ. එහෙත් එදින රහත් නොවූහ. දෙවන තුන්වන දිනවල දී ද රහත් නොවූහ. සතරවන දිනය පෙරවස් එළෙඹෙන දිනය ය. රහත් නොවිය හැකි වූයෙන් උන්වහන්සේ එහි ම වස් විසූහ. එහි වෙසෙමින් පවාරණ දිනය තෙක් මහෝත්සාහයෙන් භාවනා කළහ. කිසි විශේෂයක් නොවීය. මම දෙතුන් දිනකින් රහත් වන්නට සිතා ආමි. එහෙත් තෙමසකින් ද රහත් නොවිය හැකි වීමි. මාගේ බොහෝ සබ්‍ර‍හ්මචාරීහු අද රහත් ව විශුද්ධිපවාරණය කරන්නාහ යි සිතන කල්හි උන්වහන්සේගේ නෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය.

ඉක්බිති මහාසීව තෙරුන් වහන්සේ සිතන්නාහු මට සතර ඉරියව්වෙන් කල් ගෙවා රහත් නොවිය හැකි ය. අද පටන් මම නින්ද හැර අනික් තුන් ඉරියව්වෙන් පමණක් වෙසෙමින් භාවනා කරමිය, අර්හත්වයට නො පැමිණ ඇඳක පිට නොතබමිය, පාද නො සෝදමි ය” යි දැඩි කොට ඉටා, ඇඳ කෙළින් කොට තබා තුන් ඉරියව්වෙන් වෙසෙමින් මහණදම් පුරන්නට පටන් ගත්හ. එහෙත් උන්වහන්සේට රහත් නොවිය හැකි විය. දෙවන වස පවාරණ දිනයෙහි ද උන් වහන්සේගේ නෙත් වලින් කඳුළු වැගිරිණ. එයින් උන්වහන්සේ පසුබට නො වූහ. වීර්ය්‍ය නො හළහ. උන්වහන්සේ එකුන්තිස් වසක් ම එසේ නො නිදා උත්සාහ කළහ. පා නොසෝදා බෝකල් ගත වීමෙන් උන්වහන්සේගේ පා පුපුරන්නට විය. සමහර අවස්ථාවලදී එහි පැමිණි ගම් දරුවෝ උන්වහන්සේගේ පාවල පැළුම් කටුවලින් මැසූහ. ගම් දරුවෝ විනෝදය පිණිස නුඹේ පා මහාසීව හාමුදුරුවන්ගේ මෙන් පැළේවායි ඔවුනොවුන්ට කියා ගන්නට වූහ. තිස්වන වසරේ පවාරණ දිනයෙහි මම දැන් තිස් වසක් වීර්ය්‍යය කෙළෙමි. එහෙත් රහත් නුවූයෙමි. මේ ජාතියේ නම් මට සබ්‍ර‍හ්මචාරීන් හා විශුද්ධිපාවාරණය කරන්නට ලැබෙන්නේ නැතය” යි උන්වහන්සේට සිතිණි. එයින් බලවත් දොම්නසක් ඇති වී කඳුළු ගලන්නට විය. එකල්හි උන්වහන්සේට නුදුරු තැනක සිටි දෙව්දුවක් ද හඬන්නට වූවාය. එකල්හි තෙරුන් වහන්සේ “මෙහි හඬන්නේ කවුදැ”යි ඇසූහ. “ස්වාමීනි, මම දෙව්දුවක් මි”යි ඕ පිළිතුරු දුන්නා ය. “කුමට හඬන්නී දැ”යි ඇසූ කල්හි හඬා මඟ පල ලැබිය හැකි නම් මා ද එයින් එකක් දෙකක් ලබා ගැනීමට යයි කීවා ය.

එකල්හි තෙරුන් වහන්සේ “මහාසීවය, නුඹට දෙවියෝ ද විහිළු කරන්නාහ, පසුබට වීම නුඹට නුසුදුසු ය” යි තමන්ට අවවාද කරගෙන වීර්ය්‍යය අඩු නොකොට ඉදිරියටත් භාවනාවෙහි යෙදුණාහ. උන්වහන්සේගේ වීර්ය්‍යය හිස් නො වීය. තිස් වසරක් නො නවත්වා කළ ඒ මහා වීර්ය්‍යයෙන් උන්වහන්සේ අර්හත්වයට පැමිණියහ. අර්හත්වයට පැමිණියා වූ මහාසීව තෙරුන් වහන්සේ පා සෝදන්නට වාඩි වූ කල්හි පා සෝදා දීම සඳහා උන්වහන්සේගේ අතවැසි තිස් දහසක් රහත්හු පැමිණියෝ ය. සක්දෙව් රජ ද පැමිණියේ ය. මේ නෛර්‍ය්‍යාණික සර්වඥ ශාසනයෙහි කෙතරම් දීර්ඝ කාලයක් වුවත් උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් නො වන බව, මේ කථාව අනුව තේරුම් ගනිත්වා! මහාසීව තෙරුන් වහන්සේගේ චරිතය ද ආදර්ශයට ගනිත්වා!!

තමන් ද කිසි වැඩෙක නො යෙදී අලසකමින් කාලක්ෂේපය කරමින් යම්කිසි වැඩක යෙදෙන අය ඉන්නා තැන්වලට ගොස් ඔවුන් හා පලක් නැති තිරශ්චීන කථා කරමින් අනුන්ගේ වැඩ ද පාළු කරන පුද්ලයන් කොටසක් ගිහි පැවිදි දෙපක්ෂයේ ම ඇත්තාහ. වැඩ කැමති පැවිද්දන් ඔවුන් හා ආශ්‍රයෙන් ද වැළකිය යුතු ය.

“පරිත්තං දාරුමාරුය්හ යථා සීදේ මහණ්ණවේ,

ඒවං කසීතමාගම්ම සාධුජීවීපි සීදති,

තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං.

පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි ඣායිහි,

නිච්චං ආරද්ධවිරියේහි පණ්ඩිතේහි සහාවසේ.”

(සෝමමිත්ත ථෙර ගාථා)

තේරුම:

“කුඩා ලී කැබෙල්ලකට නැඟි තැනැත්තා යම් සේ මහසයුරෙහි ගිලේ ද එමෙන් කුසීත පුද්ගලයා නිසා ඔහු ඇසුරු කරන හොඳින් ජීවත්වන තැනැත්තා ද සසර සයුරෙහි ගිලේ. එබැවින් වීර්‍ය්‍ය නැති කුසීත පුද්ගලයා වර්ජනය කරන්නේ ය.

විවේකය භජනය කරන්නා වූ නිවනට හෝ භාවනාවට යොමු කළ සිත් ඇත්තා වූ භාවනා කරන්නා වූ නිතර ම වීර්‍ය්‍ය කරන්නා වූ පණ්ඩිත වූ ආර්‍ය්‍යයන් හා එක්ව වාසය කරන්නේ ය.”

වතක් පිළිවෙතක් හෝ උගෙනීමක් පොතපත කියවීමක් භාවනාවක් හෝ කරමින් කාලය අපතේ නො යවන පුද්ගලයන්, විනෝදය පිණිස තිරශ්චීන කථාවලට අල්ලා ගන්නට එන අය මිත්‍ර‍රූපයෙන් එන සතුරන් බව තේරුම් ගෙන ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!