චතුපාරිශුද්ධි සීලය

පාතිමොක්ඛසංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීවපාරිසුද්ධි සීලය, පච්චයසන්නිස්සිත සීලය කියා සීල සතරක් ඇත්තේ ය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ. මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.

ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය

තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි. සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.

ඉන්ද්‍රිය සංවර ශීලය‍

චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සතක් ඇත්තේ ය. රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය - ධර්ම යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හෝ විරෝධය ය. ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය ය.

යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි. ඒ නිසා තමා රක්නා ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යා හැකි ය. ඉන්ද්‍රියයන් කරණ කොට ගන්නා ලද රූපාදිය සම්බන්ධයෙන් තෘෂ්ණා ද්වේෂයන් මුල් කොට ඇති අකුශලයන් ඇති නො වන පරිදි සිහියෙන් යුක්ත වීම - පරෙස්සම් වීම ඉන්ද්‍රිය සංවර ශීලය ය.

ඇසට රූපයක් හමු වූ කල්හි එය රූපයක් වශයෙන් සලකා නැවතුන හොත් එය සම්බන්ධයෙන් කෙලෙස් ඇති නොවේ. අකුසල් ඇති නො වේ. රූපාදිය නිසා කෙලෙස් ඇති වන්නේ ඒවායේ නිමිති හා අනුබ්‍යඤ්ජනයන් ගැනීමෙනි. ඇසින් රූපයක් දුටු කල්හි මේ තරුණයෙක, තරුණියක, මහල්ලෙක, මැහැල්ලෙක, ලස්සන එකෙක, කැත එකෙක, සතුරෙක, සැතිරියක, මිතුරෙක, මිතුරියක යනාදීන් ගැනීම රූප නිමිත්ත ගැනීම ය. එය ගත් කල්හි හොඳය ලස්සනය යනාදීන් සලකා ඇලීමත් නරකය. කැතය යනාදීන් සලකා විරෝධයත් නරක ය. කම්මුල් තොල් දත් ඇස් අත් පා ළය යනාදීන් කොටස් වශයෙන් ගැනීම ව්‍යඤ්ජන වශයෙන් ගැනීම ය. ඒ ඒ කොටස් ලස්සනය හොඳය කියා ද නරකය කැතය කියා ද ගැනීමෙන් ඇල්ම හා විරෝධය ඇති වේ.

පෙර අනුරාධපුරයෙහි විසූ ස්ත්‍රියක් සැමියා හා කලහ කර යන්නී, පෙර මඟ වඩනා මහා තිස්ස තෙරුන් වහන්සේ දැක මහ හඬින් සිනා සුනා ය. තෙරුන් වහන්සේ ඇගේ දත් ඇට ටික දැක ඒ රූපය ඇට සැකිල්ලක් සේ සලකා ගත්හ. ඇය සොයා ඒ මඟ ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ දැක, “ස්වාමීනි, මේ මඟ ස්ත්‍රියක යනු දුටු සේක්දැ”යි විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ “පින්වත, ස්ත්‍රියක පුරුෂයෙක කියා නො දනිමි. මේ මඟ ඇට සැකිල්ලක් නම් ගියේ ය” යි කීහ. උන්වහන්සේට ස්ත්‍රිය ස්ත්‍රියක් වශයෙන් නො දැනුණේ උන්වහන්සේගේ උසස් ඉන්ද්‍රිය සංවරය නිසා ය. ඉන්ද්‍රිය සංවර ශීලය රැකිය යුත්තේ ඒ මහා තිස්ස තෙරුන් වහන්සේ මෙන් ය. මෙය රැකීමට ඉතා දුෂ්කර ශීලයෙකි. එබැවින් ඒ සම්බන්ධයෙන් සිකපද පනවා නැත. පැවිද්දන් විසින් සැම කල්හි ම ඉන්ද්‍රිය සංවරයෙන් තොර ව වාසය නො කොට, හැකි පමණින් මේ ශීලය ද රැක තමන්ගේ ශ්‍ර‍මණභාවය උසස් කර ගත යුතු ය.

ආජීවපාරිශුද්ධි ශීලය

ගිහියන් සතුටු කොට ඔවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබනු පිණිස කරන, බුද්ධාදීන් විසින් පිළිකුල් කරන නො මනා ක්‍රියාවලීන් වැලකී පිඬුසිඟා ගැනීම් ආදියෙන් දැහැමින් ජීවත් වීම ආජීවපාරිශුද්ධි ශීලය ය.

සතුටු කිරීම සඳහා ගිහියන්ට යම් යම් දේ දීම, වෙදකම් කිරීම, කේන්ද්‍ර‍ය බලා පලාපල කියා දීම, අතබලා පලාපල කියා දීම, නැකැත් සාදා දීම, මන්ත්‍ර‍ගුරුකම් කිරීම රස්සාවල් සොයා දීම, ගිහියන් එනු දුටු කල්හි පෙර මඟට ගොස් පිළිගැනීම, ඔවුනට පසු ගමන් කිරීම, හිතවත්කම දක්වා චාටු බස් කීම, ඉදිරියෙහි ඉන්නා අයට ස්තුති කිරීම, නැති අයගේ අගුණ කිරීම, පමණට වඩා ගරු නම්බු දී කථා කිරීම, බොරු හැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම, පණිවිඩ ගෙන යෑම් ආදි ගිහියන්ගේ වැඩ කිරීම, තමාගේ ගුණ ඇඟවීම, නැති ගුණ දැක්වීම, වැඩිපුර ලැබීමට සිතා දෙන දෙය ප්‍ර‍තික්ෂේප කිරීම යනාදිය කිරීමෙන් ප්‍ර‍ත්‍යය ලබා ජීවත්වීම මිථ්‍යා ජීවිකාව බව දත යුතු ය.

ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය

පිඬු සිඟා ගැනීම් ආදියෙන් දැහැමින් වුව ද ලද සිවු පසය ප්‍රයෝජනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍ර‍තිකූල වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව ප්‍ර‍ත්‍යයසන්නිශ්‍රිත ශීලය ය. ප්‍ර‍ත්‍යවේක්ෂාව ඉහත දක්වා ඇත.