සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස පහ කළ ආකාරය

සුබ්‍රහ්ම නම් දිව්‍ය පුත්‍රයා දෙව් ලොව ස්වර්ග සම්පත් විඳින කල්හි එක් දවසක් දහසක් දෙවඟනන් පිරිවරා නන්දන වනයට ගොස් ක්‍රීඩා කරමින් සිටිය දී, එයින් පන්සියයක් දෙවඟනුන් මල්ගසක් උඩට නැගී මල් කඩා දමමින් ක්‍රීඩා කරන කල්හි මඳ වේලාවකින් ඒ ගස උඩ සිටිය පන්සියයක් දෙවඟනුන් උපච්ඡේදක අකුශල කර්මයකින් දෙව් ලොවින් චුතව නිරයෙහි උපන්නාහු ය. ඒ බව දුටු දිව්‍ය පුත්‍රයා තව සත් දිනකින් ඉතිරි දෙවඟනුන් පන්සියය හා සමඟ තමනුත් නිරයෙහි උපදින බව දැන, එයට බලවත් දොම්නස් ඇති ව මගේ මේ දොම්නස බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙකුට සංසිඳවිය නොහැකි ය යි ඉතිරි දෙවඟනුන් සමග උන්වහන්සේ කරා එළඹ

“නිච්චං උත්‍රස්තමිදං චිත්තං - නිච්චං උබ්බිග්ගමිදං මනො

අනුප්පන්නෙසු කිච්ඡෙසු - අථො උප්පතිතෙසු ච

සචෙ අත්ථි අනුත්‍රස්තං - තං මෙ අක්ඛාහි පුච්ඡිතො”

යනුවෙන් “ ස්වාමීනි! භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, අපගේ සිත මතුවට ඇති වන්නා වූ දුක් නිසා ද, දැන් ඇතිව පවත්නා දුක් නිසා ද, නිතර ම සෝකයෙන් හා බියෙන් තැති ගනිමින් පවතී. එසේ තැති නො ගන්නා ක්‍රමයක් ඇත්නම් එය වදාළ මැනවැ”යි සැළ කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ,

“නාඤ්ඤත්‍ර බොජ්ඣා තපසා - නාඤ්ඤත්‍රින්ද්‍රිය සංවරා

නාඤ්ඤත්‍ර සබ්බනිස්සග්ගා - සොත්ථිං පස්සාමි පාණිනං.”

යන ගාථාවෙන්, “බෝධි-තප-ඉන්ද්‍රියසංවර-සබ්බනිස්සග්ග යන මේ ධර්‍ම සතර ම, මේ සත්ත්වයන්ට භය තැති ගැනීම් දුරු කොට, සැප ලබා ගැනීමට ඒකාන්තයෙන් උපකාර වන කරුණු සතරය’” යි වදාළ සේක. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ද ඒ ධර්මය අවබෝධ කොට ගෙන සබ්බ නිස්සග්ග (සියල්ල අත්හැර දැමීම) ය යි කියන ලද නිවන් අවබෝධය සඳහා ඉන්ද්‍රිය සංවරයෙන් සිත ආරක්ෂා කොට ගෙන, තප ය යි කියන ලද කෙලෙස් තවන සම්මප්පධාන වීර්යයෙන් නොකඩවා මෙනෙහි කළ හැකි පරිදි වෑයම් කොට, බෝධි පක්ඛිය නම් වූ පූර්වභාග විදර්ශනා මාර්ගය හා සමඟ ආර්යය මාර්ගය ක්ෂණයකින් වඩා, පිරිවර දෙවඟනුන් හා සමග සෝවාන් වීමෙන් අපාය භය පිළිබඳ දුක් දොම්නස් වලින් නිදහස් වීය. මෙහි බෝධිය, තපය, ඉන්ද්‍රිය සංවරය යන මොවුහු “සතිපට්ඨාන භාවනායෙහි” ම ඇතුළත් වෙති.

මෙතැන්හි එකී ධර්මයන් උපදවා ගතයුතු ප්‍රතිපත්තිය ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවර - තප - බොධි - සම්බනිස්සග්ග ය යි පිළිවෙලින් ගළපා ගත යුතු ය. ඇස, කණ, නැහැය, දිව, කය, සිත යන මේ ඉන්ද්‍රිය සය සිහියෙන් රැකගන්නා යෝගාවචරයා තුළ, ලක්ඛනාහාර නයින් සතර සංවර සීලය ම ඇති විය යුතු ය. සීලයෙහි පිහිටි යෝගී පුද්ගලයා කෙලෙස් තවන-තපෝ ගුණයෙන් යුත්ත ව විවේකස්ථානයකට පැමිණ විදර්ශනා වඩන කල්හි, කාමාවචර කුශල චිත්තයෙහි සති, ධම්මවිචය, වීරිය, පීති ආදී බොධ්‍යඞ්ග ධර්ම තාවකාලිකව පහළ වෙයි. එයට අනතුරුව උපදනා මාර්ග චිත්තයෙහි ඒ ධර්ම ස්ථිරව පහළ වෙයි. එකී ලෞකික-ලෝකෝත්තර බෝධ්‍යඞ්ග සියල්ල පිඬුකොට එය චතුස්සත්‍යාවබෝධයට උපකාර වන නිසා බෝධි ය යි කියනු ලැබේ. මෙහි සබ්බනිස්සග්ග යනු සියල්ල අතහැර දැමීම ය යි කියන ලද නිර්වාණ ය යි. ඉන්ද්‍රිය-තප-බෝධි යන මේ ධර්මයන් වැඩි දියුණු වීමෙන් කිලෙස වට්ටය සහමුලින් පහව ය යි. කිලෙස වට්ටය පහ ව යෑමෙන් කම්ම වට්ටය ද, එයට අනතුරු ව විපාක වට්ටය ද, යන මේ වට්ට තුන පහව යෑමෙන් සබ්බ-නිස්සග්ග සංඛ්‍යාත නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය යනු “නාඤ්ඤත්‍ර බොජ්ඣා” යන ආදී ගාථාවේ අදහස යි. (දෙවපුත්ත සංයුක්තයෙහි සුබ්‍රහ්ම සූත්‍රය)