ශක්‍ර දේවේන්ද්‍රයාගේ දොම්නස සංසිඳ වූ සැටි

star_outline

මහේශාක්‍ය දෙවි කෙනෙක් දෙව් ලොවින් චුත වන කල්හි පෙර නිමිති පසෙක් පහළ වෙයි. එනම්, පැළඳ සිටින මල් පරවීම ය, ඇඳ සිටින වස්ත්‍ර මඩේ දැමුවාක් මෙන් කිලිටිවීම ය, කිසිලි ආදියෙන් දහඩිය වැගිරීම ය, කය දුර්වර්ණ වීම ය, ස්වකීය දිව්‍ය ආසනයෙහි සිත නො ඇලීම ය යන මේ පස ය. මරණයට ආසන්න වූ විට පහළ වන පූර්ව නිමිති පහ දුටු ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ, තමාගේ මරණය ගැන ද මරණයෙන් පසු තමාට වඩා උසස් ශක්‍රයකු ගේ පහළවීම හා තමා අයත් වස්තුව අන්‍යයකුට අයත් වීම ගැන ද, සෝකයෙන් තැවුණු සිත් ඇති ව වෙහෙස ව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දෙව් මිනිස් සත්ව සමූහයා දුක් කරදර වලින් මිදී වසනු කැමති වුවත්, එයින් නො මිදී ඒ දුක් පීඩාවන්ගෙන් යුක්තව ම වාසය කරන්නේ කුමක් නිසාදැයි යන මේ ආදී ප්‍රශ්නයන් විචාළේ ය.

එකල්හි බුදු රජාණන් වහන්සේ විසින්, “ඉස්සා මච්ඡරිය සංයෝජනා ඛො දෙවානමින්ද දෙවා මනුස්සා සන්ති, තෙ විහරෙමු අවෙරිනොති ඉති ච තෙසං හොති අථව පන තෙ විහරන්ති සවෙරිනො” යනුවෙන් අනුන් විඳින සම්පත් නොරුස්සන ඊර්ෂ්‍යාව හා, තමන්ගේ සම්පත් අනුන් හා සාධාරණ නො කරනු කැමැත්ත වූ මච්ඡරිය ද, යන මේ සංයෝජන දෙක ඇති බැවින් ද දෙව් මිනිස් සමූහයා සුවපත් වනු කැමති වුවත්, දුක් කරදර වලින් මිදෙනු කැමති නමුත්, ඒ දුක් කරදර සමග ම වාසය කරන්නට සිදු වී ඇතැ යි විසඳා වදාළ සේක. මේ කරුණ සඳහන් වනුයේ “සක්ක පඤ්හ” සූත්‍රයෙහි ය. ඒ දේශනාවෙහි සේවනය කළ යුතු වූ ද, නො කළ යුතු වූ ද වේදනාවන් බෙදා දක්වද් දී, ඒ ධර්මය අවබෝධ වීමෙන් සේවනය නොකළ යුතු වූ ගේහසිත වේදනාවන් පහ කිරිමෙන්, සේවනය කළ යුතු වූ නෙක්ඛම්ම නිශ්ශ්‍රිත වේදනාවන් උපදවාගෙන සතිපට්ඨාන භාවනාව වඩා සෝවාන් බවට පැමිණ, මුල දී උපදිමින් තිබුණ ඉස්සා මච්ඡරියයන් පිළිබඳ වූ දොම්නස දුරු කෙළේ ය.