භික්ෂන් වහන්සේලා තිස් නමක් වස් කාලයක බුදුරජාණන් වහන්සේ ගෙන් කමටහන් ගෙන එක්තරා ආරණ්‍ය සේනාසනයක වස් සමාදන් ව කමටහන් වඩමින් විසූහ. භාවනාවට සප්පාය වන ගස් යට පඳුරු යට වැඩ හිඳ ගෙන භාවනා කරති. මුලු රැයෙහි ම භාවනා කොට උදෑසන හිමිදිරියේ නිදිබර වූ කල්හි එක් ව්‍යාඝ්‍රයෙක් අවුත් එක් එක් භික්ෂුවක් ඩැහැ ගෙන යයි. අනිත් භික්ෂුන්ගේ සමාධියට බාධා වේ ය යි සිතා තමා ව්‍යාඝ්‍රයකු විසින් ඩැහැගත් බව හැඟවීමට ඝෝෂා නොකරයි. මේ ක්‍රමයෙන් භික්ෂුන් පසළොස් නමක් අඩු වූ කල්හි ඒ පිරිසෙහි සිටි සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ බව සොයා පරීක්ෂා කොට දැන ගෙන මින්පසු එවැනි විපතක් ඇතිවුවහොත් අනිත් භික්ෂුන්ට දැන් විය යුතු ය යි නියම කළහ.
නැවත එක් දවසක්හි ව්‍යාඝ්‍රයා අවුත් එක් තරුණ භික්ෂුවක් ඩැහැගත්තේ ය. එවිට ම ඒ භික්ෂුව “ව්‍යාඝ්‍රයෙක් ස්වාමීනි! ව්‍යාඝ්‍රයෙක් ස්වාමීනි!!” යයි කෑගැසීය. සෙසු භික්ෂූන් වහන්සේලා ද ඒ ශබ්දය අසා සැරයටි ගිනි හුල් ආදිය හැරගෙන ඒ භික්ෂුව මුදවා ගැනීමට වෑයම් කළාහු ය. එහෙත් ව්‍යාස්‍රයා භික්ෂූන්ට යා නො හැකි තැනකට ඒ භික්ෂුව ගෙන ගොස් එක් තැනක තබා ගෙන කකුල්වල මාපටැඟිලිවල සිට කන්ට පටන් ගත්තේ ය. භික්ෂුහු ද අහෝ! සත්පුරුෂය දැන් ඉතින් අපට කළ හැකි උදව්වක් නැත. මෙය භික්ෂුවකගේ ශක්ති විශේෂය වූ චිත්ත බලය මත කරගත යුතු අවස්ථාවකි. එහෙයින් සතිපට්ඨාන භාවනායෙහි යෙදෙන්න” යයි අවවාද කළහ. ඒ භික්ෂුව ද ව්‍යාඝ්‍රයා විසින් කනු ලැබීමේ දී ඇති වූ දරුණු දුක් වේදනාව මෙනෙහි කරමින් ප්‍රීතිමෝදය උපදවා ඒ වේදනාව විෂ්කම්භනය කොට (දුරුකොට) එකෙණෙහි පහළ වූ නාම රූප ධර්මයන් විදර්ශනා නුවණින් බලා ගොස් ඇටය දක්වා කෑ කල්හි සෝවාන් බවට ද, දනහිස් දක්වා කෑ කල්හි සකදාගාමි බවට ද, නාභිය දක්වා කෑ කල්හි අනාගාමී බවට ද, හෘදය වස්තුවට සමීප වනවිට සිව්පිළිසිඹියා රහත් බවට ද පැමිණ සියලු සංසාරික දුකින් මිදුනුසේක.