තිස්ස තෙරුන් වහන්සේ දුක් සංසිඳ වූ ආකාරය

සැවැත් නුවර තිස්ස නම් කෙළෙඹි පුත්‍රයෙක් 40 කෝටියක් අගනා වස්තුව තමාගේ බාල සොහොයුරු චූල තිස්සට භාර කොට පැවිදිව ආරණ්‍ය සේනාසනයක විදසුන් වඩමින් වාසය කරයි. එකල්හි පැවිදි වූ තැනැත්තා සිවුරු හැර ආපසු ආවොත් ඒ වස්තුව දෙකට බෙදන්ට සිදුවේය කියා චුල තිස්සගේ භාර්යාවට සැකයක් ඇති විය. ඈ ඒ බව ස්වාමියාට ද දන්වා තිස්ස තෙරුන් මැරවීමට සොරුන් පන්සියයක් යැව්වා ය. ඔවුහු එහි ගොස් තිස්ස තෙරුන් පිරිවරා සිටියාහු ය. එවිට තිස්ස තෙරුන් වහන්සේ , “උපාසක වරුනි, නුඹලා කුමක් සඳහා ආවාහුදැ” යි ඇසී ය. “නුඹ වහසේ මැරීමට ආවෙමු” ය යි සොරු කීහ. එවිට “අද මේ එක රැයකට පමණක් ඇපයක් ඇර ගෙන මා නො මරා ජීවිතය රැක දෙව් ය යි” කීවේය. ඊට පසු ඔවුහු “හිමියනි, මෙහි දී ඔබට ඇපයක් තබන්නේ කවරෙක්දැ” යි ඇසූහ. එවිට තෙරුන් වහන්සේ මහා කලු ගලක් ඔසවා කලවා ඇට දෙක ම බිඳ ගෙන, “උපාසකවරුනි, මේ ඇපය ඇත්දැ”යි ඇසුවේ ය. එයින් තෘප්තියට පැමිණි සොරමුල සක්මනේ කෙළවරක ගිනි මොලවා රැය එලිවෙන තෙක් නිදා ගත්හ. තෙරුන් වහන්සේ බලවත් දුක්ඛ වේදනාව වේදනානුපස්සනා වශයෙන් මෙනෙහි කොට දුරු කළහ. ඉක්බිති තමන් වහන්සේගේ සීලය පිරිසිදු බව මෙනෙහි කිරීමෙන් සතුට හා බලවත් ප්‍රීතිය පහළ විය. මෙසේ ඉවසිය නො හැකි වූ දුක් වේදනාව සංසිඳීයාමෙන් උපදිමින් පවත්නා නාම රූප ධර්මයන් මෙනෙහි කරමින් විපස්සනාව පිළිවෙළින් වැඩි දියුණු කොට ගෙන උදේ අරුණ නගිනවාත් සමග ම රහත් වූ සේක. රහත් වීමෙන් පසු:

“අට්ටියාමි හරායාමි - සරාග මරණං අහං

එවාහං චින්තයිත්වාන - යථාභූතං විපස්සයිං

සම්පත්තෙ අරුණුග්ගම්හි - අරහත්තමපාපුණිං”

යනුවෙන් උන්වහන්සේ තුළ ඇති වූ සතුට සොරුන් ඉදිරියෙහි ප්‍රකාශ කළ සේක.

“උපාසකවරුනි! මම රාග සහිත මරණය පිළිකුල් කරමි. රාග සහිත මරණයට මම ලජ්ජාවෙමි ය යි මෙසේ සිතා මේ කය ඇති සැටියෙන් විපස්සනා ඤාණයෙන් මෙනෙහි කෙළෙමි. ඒ නිසා හිරු උදාවන කල්හි රහත් බවට පැමිණියෙමි.” යනු එහි අදහස යි.

රහත් ඵලයට පැමිණ පිරිනිවන් පෑ කල්හි දුක් සියල්ල සහමුලින් සංසිඳී ගියේ ය.