ඒකායන මාර්ගය

(ඒක අයන මග්ග) යන මෙහි අයන යනු මාර්ගයට නමකි. එහෙයින් ඒකායන යනු එක ම මාර්ගයක් ය යන තේරුම ය. මේ ඒකායන යන්නට එකම ශබ්දය එකතු කොට ඒකායන මග්ග ය යි මාර්ගය ප්‍රකාශ වන ශබ්ද දෙකක් ම එකට යොදා වදාළේ අතිශයාර්ථයක් ප්‍රකාශ කිරීමට ය.

එහෙයින් සත්වයන්ගේ කෙලෙස් මලයෙන් පිරිසිදු වීමට ද සෝක පරිදේව (හැඩීම) දුක් දොම්නස් වලින් දුරු වීමට ද සෝවාන් ආදී මාර්ගයන් ලබා ගැනීමට හා නිවන් යාමට ත් අතිශයින් උපකාර වන එක ම මාර්ගය මේ සතිපට්ඨානය ම ය යනු ‘එකායන මග්ග’ යන වචනයෙහි තේරුම ය.

එහෙයින් “එකමග්ගොති එකො එව මග්ගො, න හි නිබ්බානගාමී මග්ගො අඤ්ඤෝ අත්ථි” ය යි කියන ලදී. මේ සතිපට්ඨාන මාර්ගයෙහි ගියහොත් ඒකාන්තයෙන් ම නිවන වරදින්නේ නැත. නිවනට හැර මං මුළා වීමෙන් වෙන දිහාවක යෑමට අතුරු පාරවල් ද මේ මාර්ගයට සම්බන්ධ වී නැත.

මේ සතිපට්ඨාන මාර්ගයෙන් සන්තති මහාමාත්‍යයා හට මෙන් සෝකය ද ඉක්ම විය හැකිය. පටාචාරාවට මෙන් පරිදේවය ද ඉක්ම විය හැකි ය. මෙතන්හි සැලකිය යුත්තක් ඇත. එනම් බණ අසමින් සිටිය දී මාර්ග ඵලයන්ට පැමිණීම වනාහී සතිපට්ඨාන භාවනා නය මෙනෙහි නොකොට ම අසනු ලැබූ ධර්මයෙන් ම සිදුවී ය යි කල්පනා නො කළ යුතු ය. ඒ බව අටුවා වෙහි පැහැදිලි ව දක්වා තිබේ.