“ඉමිනාව මග්ගෙන -පෙ- අනෙකා සම්මාසම්බුද්ධා, අනෙකසතා පච්චෙක බුද්ධා, ගණනපථං විති වත්තා චාති ඉමෙ සන්තා සබ්බේ චිත්තමලෙ පවාහෙත්වා පරමවිසුද්ධිං පත්තා.”
යන මේ අටුවා පාඨයෙහි ආ පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වූ බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ සියලු කෙලෙස් මල දුරු කොට පරම විසුද්ධියට පැමිණියාහු ය යි කියන ලද්දේ නිදර්ශන මාත්‍රයක් වශයෙනි. එහි අදහස මෙසේ දත යුතු යි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත හෝ වේ වා එයට වැඩි කාලයක හෝ වේවා, කවදා හෝ වේවා අතීතයෙහි පහළ වූ ද, දැන් පහළ වන්නා වූ ද, මතු පහළ වන්නා වූ ද, සියලු බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම සියලු කෙලෙස් මල දුරු කොට පිරිසිදු වූහ. එහෙයින්
“එතෙන මග්ගෙන තරිංසු පුබ්බේ,
පරිස්සන්ති යෙ ච තරති ඕඝං”
යනුවෙන් සතිපට්ඨාන සංයුත්ත නාලන්දවග්ග බ්‍රහ්ම සූත්‍රයෙහි දැක්වෙන පරිදි කල්ප වශයෙන් කාල නියමයක් නොමැති ව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයයෙහි මේ සතිපට්ඨාන මාර්ගයෙන් කාමාදී ක්ලේශ ඕඝය එතෙර කළහ. එතර කරති. එතර කරන්නාහු ය. යනු එහි තේරුම ය.
දීඝ නිකාය පාථිකවග්ග සම්පසාදනීය සූත්‍රයෙහි ද “චතුසු සතීපට්ඨානෙසු සුපට්ඨිත චිත්තා” යනුවෙන් කාලත්‍රයයෙහි ම සතර සතිපට්ඨානයෙහි හොඳින් පිහිටුවන ලද සිත් ඇති ව සම්මා සම්බෝධි ඤාණය ලැබිය යුතු බව ප්‍රකාශ කොට ඇත. එහෙයින් මෙහි සත්තානං විසුද්ධියා යන තන්හි සත්තානං යන සාමාන්‍ය වචනයෙන් විසුද්ධිය (පිරිසිදු බව) ට පැමිණිය හැකි නුවණ මේරු සත්වයන් ම ගත යුතු ය.