උද්දේසය
පාලි
පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානු පස්සී විහරති චතුසු අරියසච්චෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චේසු? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.
කෙටි අදහස
මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. භාවනානු යෝගී පුද්ගල තෙම සිවු වැදෑරුම් ආර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කරයි. යෝගී පුද්ගල තෙම ස්වභාව ධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයි ද? මහණෙනි! මේ බුදු සසුනෙහි විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදිමින් - බිඳෙමින් පවත්නා මේ නාම රූප කය දුකක් ය යි ඇති සැටියෙන් දැනගන්නේ ය. දුකෙහි සිත අලවන මේ තණ්හාව දුක ඉපද වීමේ හේතුව ය යි ඇති සැටියෙන් දැන ගන්නේ ය. ඉපදීමක් බිඳීමක් නොමැති මේ නිර්වාණය සියලු දුක් නැතිව යන තැන ය යි ඇති සැටියෙන් දැනගන්නේ ය. විශේෂ අවබෝධයෙන් යුත් මේ මාර්ගාඞ්ග සමූහය දුක් නැති නිවනට පමුණුවන ප්‍රතිපදාව ය යි ඇති සැටියෙන් දැන ගන්නේ ය.
දුක්ඛ සත්‍යය යනු ලෞකික සිත් 81 ය, එහි යෙදෙන (ලෝභය හැර) චෛතසික එක් පණසය, රූප විසි අටය යන මේ ධර්ම සමූහය යි. මෙය ඇත්ත වශයෙන් ම දුක් රැසක් වූ බැවින් ද දුක්ඛ සච්ච නම් වේ. මෙය දුකක් ය යි හරිහැටි අවබෝධ කරගන්නේ පෘථග්ජනයා නො ව ආර්ය පුද්ගලයා ය. එහෙයින් මෙයට දුක්ඛ අරියසච්ච ය යි කියන ලදී.
සමුදය සත්‍යය යනු තණ්හාව ය, එනම්, ලෝහ චෛතසික ය යි. ඇත්ත වශයෙන් හැම දුකක් ම උපදවන්නී මේ තණ්හාව ය, එහෙයින් එය දුක්ඛ සමුදය සච්ච නම් වන්නී ය. මෙය ද හරි හැටි අවබෝධ කර ගන්නේ පෘථග්ජනයා නො ව ආර්ය පුද්ගලයා ය. එහෙයින් එයට දුක්ඛ සමුදය අරිය සච්ච ය යි කියනලදී.
නිරෝධ සත්‍යය යනු තණ්හාව සමග දුක් නිරුද්ධ වන දුක් නැති - දුක් සංසිඳු වන තැන ය. එනම් නිවන යි. ඇත්ත වශයෙන් දුක් නැති තැන එතැන ය. එහෙයින් එය දුක්ඛ නිරෝධ සච්ච නමි. එය හරි හැටි අවබෝධ කර ගන්නේ පෘථග්ජනයා නො ව ආර්යය පුද්ගලයා ය. එහෙයින් එය දුක්ඛ නිරෝධ අරිය සච්චය යි කියන ලදී.
මාර්ග සත්‍යය යනු දුක් නැති නිවනට යන මාර්ගය යි. එය ම දුක් නැති කිරීමේ ඒකාන්ත සත්‍ය වූ ප්‍රතිපදාව යි. ආර්යය පුද්ගලයා විසින් දුක පිරිසිඳ දැන ගනිමින් තණ්හාව දුරු කරමින් නිවන දකිමින් පිළිපැදිය යුතු මාර්ගය වූ බැවින් එයට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරියසච්ච ය යි කියන ලදී.