(සච්ච නිද්දේසය ධම්මානුපස්සනාවේ)
පාලි
කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා පි දුක්ඛා, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛා, යං පිච්ඡං න ලභති තං පි දුක්ඛං, සඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
කෙටි අදහස
මහණෙනි! ආර්ය පුද්ගලයා විසින් අවබෝධ කළ යුතු - අවබෝධ කරන ලද ඒකාන්ත සත්‍ය වූ දුක කවරේ ද? ඉපදීමත් දුකකි. ජරාව හෙවත් දිරායාම ද දුකකි. මරණය ද දුකකි. සෝකය, ඇඬීම්ය, කයේ උපදින දුකය, සිතේ උපදින දුකය, සිත වෙහෙසීම ය. යන මොහු ද දුක් ය. අප්‍රියයන් හා එක්වීම ද දුකකි. ප්‍රියයන් කෙරෙන් වෙන්වීම ද දුකකි. තමා කැමැති දෙය නො ලැබේ නම් එයද දුකකි. සංක්ෂේපයෙන් කොටින් ම උපාදානස්කන්ධයෝ පස් දෙන ම දුක් වන්නෝ ය.
එහි විස්තරය:
හැම භවයකට ම සම්බන්ධ ව පවත්නා ජාති, ජරා, මරණ යන මෙය කාය චිත්ත දෙකට නානා ප්‍රකාර දුක් උපදවන මූලික කරුණු වූ බැවින් එකාන්ත දුක්ඛ සත්‍යය නම් වේ. එහෙයින් “ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා මරණම්පි දුක්ඛං” යි වදාළ සේක.
දුක්ඛ දුක්ඛය, විපරිනාම දුක්ඛය, සඞ්ඛාර දුක්ඛ ය, පටිච්ඡන්න දුක්ඛ ය, අපටිච්ඡන්න දුක්ඛ ය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ ය යි දුක්ඛය සත් වැදෑරුම් වේ. එහි දුක්ඛ දුක්ඛය නම් කයේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම්, කැක්කුම් හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම් - කැක්කුම් සියල්ල ය. මෙය නිත්‍ය නො වන බැවින් ද ඉවසීමට ඉතා දුෂ්කර බැවින් ද බලවත් දුකකි.
විපරිනාම දුක්ඛය නම්, හොඳයි, සැපයි යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලබන - කයේ හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් මිහිරි සැප වේදනා ය.මේ සැප වේදනාව ඇතිව පවත්නා කල්හි ම සතුටු වී එය නිරුද්ධ ව අතුරු දහන් වූ කල්හි උන්හිටි තැන් අමතක වන තරමේ දුකට, වෙහෙසට පත් කරවන ස්වභාව ධර්මයකි. මෙය ද දුර්වල සුඛයක් වුවහොත් එය නිරුද්ධ ව ගිය කල්හි ඇති වන්නේ සුළු දුකකි. පහත් තැනකින් බිම වැටුණු කල්හි ඇතිවන දුක් වේදනාව අප්‍රකට වන්නාක් මෙනි. බලවත් සුඛය ඇති ව නැති වූ කල්හි ඒ තැනැත්තා බලවත් දුකට - වෙහෙසට පමුණුව යි. ඉතා උස් තැනකින් බිම වැටුණු කල්හි අත පය කැඩී බිඳී යාමෙන් බලවත් ඉවසිය නො හැකි දුකක් ඇති වන්නාක් මෙනි. එසේ ම සැප වේදනා සියල්ල ඇති ව නැති වී යාමෙන් පසු ඒ තැනැත්තා බලවත් දුකට පමුණුව යි. සැපය බලවත් වුවහොත් එය නිරුද්ධ වූ කල් හි උපදනා දුක ද ඒ තරමට ම බලවත් වෙයි. ප්‍රිය පුද්ගලයන් කෙරෙන් ප්‍රිය වස්තූන් කෙරෙන් වෙන් වූ කල්හි තමාගේ ඉඳීම් සීටීම් ආදී ඉරියවු සියල්ල දුක් සහිත වෙයි. මෙකී දුක් සියල්ල ඇති වූයේ ප්‍රිය පුද්ගලයන් සහ ප්‍රිය වස්තූන් හා එක් වීමෙන් ඇති වූ සැප ආස්වාදය නිසා ය.
එහෙයින් සුඛ වේදනාව නන් වැදෑරුම් ප්‍රිය අරමුණු මවා පාමින් සිත් වසඟ කරවන - සිත් උමතු කරවන යක්ෂණියක් මෙනි. ඇත්ත වශයෙන් ම සුඛ වේදනාව ඒ යක්ෂණියටත් වඩා ඉතා භයානක වෙයි. එයට වසඟ වූ තැනැත්තා අප්‍රමාණ වූ සසර දුකට හා අපාය දුකට භාජන වන බැවිනි. එහෙයින් සුබ වේදනාව විපරිණාම දුක්ඛ ය යි කියන ලදී.
සංඛාර දුක්ඛ නම්, තණ්හාව හැර ඇතිව නැති වන උපේක්ෂ වේදනාව ඇතුළු සියලු නාම රූප ධර්ම නිත්‍ය නො වන බැවින් සංඛාර දුක්ඛ ය යි. මෙය දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් සියළු ස්වභාව ධර්මයන් කෙරෙහි පැතිර පවතින්නේ ය. සුඛ දුක්ඛ වේදනා දෙක ද සංඛාර දුක්ඛයෙහි ම ඇතුළත් වෙයි.
එහෙයින්:
“තං ඛො පනෙතං භික්ඛු මයා සංඛාරානං නෙව අනිච්චතං සන්ධාය භාසිතං. යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති” (සළායතන වග්ග වෙදනා සංයුත්ත)
මහණ! යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය යන යම් වචනයක් මා විසින් කියන ලද්දේ නම් එය සංඛාරයන්ගේ අනිත්‍යතාවය සඳහා කියන ලදී යනු එහි අදහස යි.
එහෙත් සුඛ වේදනාව සාමාන්‍ය සංඛාර දුක්ඛයට වඩා විශේෂ වෙයි. එය නිරුද්ධ වූ කල්හි ප්‍රකෘති ස්වභාවය වෙනස් ව ගොස් දුකට පෙරළෙන බැවිනි. ඇත්ත වශයෙන් එය භය ජනක වෙයි. පිළිකුල් කටයුතු ද වෙයි. දුක්ඛ වේදනාව ද ඉපිද පවත්නා කල්හි ඉවසීමට දුෂ්කර වෙයි. එය නින්දිත දුකක් ම වෙයි. එහෙයින් ඒ වේදනා දෙක සංඛාර දුක්ඛය කෙරෙන් වෙන් කොට විපරිනාම දුක්ඛ ය යි ද දුක්ඛ දුක්ඛ ය යි ද අටුවායෙහි කීහ. කය තුළ ද එයින් පිටත ද පවත්නා හැම දෙයක් ගැන ම ආසා කිරීම වනාහි නාම රූප සංස්කාරයන් නිත්‍ය ය යි වරදවා වටහා ගන්නා නිසා ම සිදුවෙයි. මේ සියල්ල ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ ය යි ද, සුවපත්වනු සඳහා නිතර සකස් කළ යුතු ඒවා යයි ද, ඇති සැටි යෙන් දැනගතහොත් භය ජනක ඒවා මිස නිතර පවත්නා - සැප ඇති ඒවා ය යි නො වැටහෙන්නේ ය. එහෙයින් විදර්ශනා වඩන යෝගාවචරයා විසින් දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් මේ සංඛාර දුක්ඛය පිරිසිඳ දත යුතු ය.
පටිච්ඡන්න දුක්ඛය:- ඉසේ කැක්කුමය, කන් කැක්කුමය, දත් කැක්කුමය, යන මේ ආදී කායික දුක්ඛය ද, රාගය නිසා සිත උණුසුම් වීමය, ක්‍රෝධය නිසා සිත උණුසුම් වීමය, සිත නරක් වීමය, සිත අසතුටු වීමය යන මේ ආදී චේතසික දුක්ඛය දැයි, මෙසේ කාය චිත්ත දෙක්හි ඇතිවන දුක් හැම එකක් ම විඳින තැනැත්තා විසින් අනුන්ට නො කිවහොත් දැන ගතනො හැකිව සැඟවී පවත්නා බැවින් පටිච්ඡන්න දුක්ඛ නම් වේ.
අප්පටිච්ඡන්න දුක්ඛය: දඬු මුගුරු අවි ආයුධ ආදියෙන් තුවාල වීමෙන් ඇති වන දුක නො සැඟවී ප්‍රකට ව පවත්නා බැවින් අපටිච්ඡන්න දුක්ඛ නම් වේ.
නිප්පරියාය දුක්ඛය:- දුක්ඛවේදනාව නිප්පරියාය දුක්ඛ නමි. එය ම ඒකාන්ත මුඛ්‍ය (ප්‍රධාන) දුක්ඛය වන බැවිනි.
පරියාය දුක්ඛය:- දුක්ඛ වේදනාවෙන් අන්‍ය වූ ජාති දුක්ඛ ආදිය පරියාය දුක්ඛ නම් වේ. ප්‍රකෘතියෙන් ම ඉවසිය නො හැකි ස්වභාවයක් නැත්තේ වී නමුත් එය නොයෙක් කාය චිත්ත දුක්ඛ පීඩාවලට මුල් වන බැවින් පරියාය (අප්‍රධාන) වශයෙන් දුක් ය යි කියනු ලැබේ. සත් වැදෑරුම් දුක්ඛයන් අතුරෙන් පරියාය දුක්ඛය වන බැවින් ජාති ජරා මරණයෝ දුක්ඛ සත්‍යය නම් වෙති.
එහි ජාතිය රූප ජාතිය අරූප ජාතිය ය යි දෙවැදෑරුම් වේ. අටළොස් නිෂ්පන්න රූපයන්ගේ හට ගැනීම රූපජාති ය යි. සතර නාම ස්කන්ධයන්ගේ හටගැන්ම නාම ජාති යයි.
ජරාව ද, නාම ජරාය රූප ජරා ය යි දෙ වැදෑරුම් වේ. අටළොස් නිෂ්පන්න රූපයන්ගේ කුඩා ක්ෂණ එකුන් පණසින් (49) පිරිසිඳිනා ලද කාලය රූපජරාව යි. සතර නාම ස්කන්ධයගේ එක ම ඨිති කාලය නාම ජරාව යි.
මරණය ද, රූප මරණය නාම මරණ යයි දෙවැදෑරුම් වේ. අටළොස් නිෂ්පන්න රූපයගේ භඞ්ගක්ෂණය හෙවත් බිඳී යෑම රූපමරණය යි. සතර නාමස්කන්ධයගේ භඞ්ගක්ෂණය හෙවත් බිඳීයෑම නාම මරණ යයි.
මෙකී ජාති, ජරා, මරණ තුණ රූපස්කන්ධයෙහි ඇතුළත් වෙයි. සෝක නම් ඥාති විපත්තිය රෝගවිපත්තිය භෝගවිපත්තිය සීලවිපත්තිය දිට්ඨි විපත්තිය යන මේ පඤචවිධ විපත්තීන් අතුරෙන් යම්කිසි විපතක් නිසා ද්වේෂ මූල දෙසිතෙහි හටගන්නා දොම්නස් වේදනාව ය.
පරිදේව නම් ඥාති විපත්ති ආදී විපතක් හටගත් විට බලවත් සෝක නමැති චිත්ත විපල්ලාසයෙන් හටගන්නා හැඬීම් වැලපීම් නමැති චිත්තජ රූප කලාප ය යි. දුක්ඛ නම් දුක්ඛ සහගත කාය විඤ්ඤාණයෙහි යෙදුණු වේදනා චෛතසික ය යි. දෝමනස්ස නම් දෝස මූල දෙසිතෙහි යෙදුණු වේදනා චෛතසික ය යි. උපායාස නම්, යම්කිසි විපතකින් සිත වෙහෙස කරවමින් දෝස මූල දෙසිතෙහි හටගන්නා ද්වේෂ චෛතසික ය යි.
මොවුන් අතුරෙන් සෝක, දුක්ඛ, දෝමනස්ස තුණ දුක්ඛ දුක්ඛයෙහි ඇතුළත් ව නැවත නැවතත් කාය චිත්ත දෙකට පීඩා කරන බැවින් දුක්ඛ සත්‍ය නම් වේ. පරිදේව උපායාස දෙක වනාහි කාය චිත්ත දෙකට දුක හා වෙහෙස ගෙන දෙමින් පරියාය වශයෙන් දුක්ඛ සත්‍යය යෙහි ඇතුළත් වේ.
අප්‍රිය පුද්ගල - අප්‍රිය අරමුණු හා එක්වීම ය, ප්‍රිය පුද්ගලයන් කෙරෙන් හා ප්‍රිය අරමුණු කෙරෙන් වෙන් වීම ය, තමාට වුවමනා දෙය නො ලැබීමය යන මේ කරුණු තුණ ද නන්වැදෑරුම් කාය චිත්ත පීඩාවන්ට මුන බැවින් දුක්ඛ සත්‍යයෙහි ම ඇතුළත් වේ.
රූප ශබ්ද ආදී අරමුණු දැකීම් ඇසීම් ආදිය කරමින් සිටින කල්හි එය කමටහන් වශයෙන් මෙනෙහි නොකරන තැනැත්තා ඒ ඒ මොහොතේ දී ප්‍රකට ව පවත්නා රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් හා දිට්ඨින්ගේ වශයෙන් මම ය මාගේ ය යි තදින් ගන්නේ ය. මේ කරුණ භද්දේකරත්ත සූත්‍රයෙහි පැහැදිලි ව වදාරා තිබේ. රූප වේදනා ආදී ස්කන්ධ පඤ්චකයට උපාදානස්කන්ධ ය යි කියනු ලබන්නේ එය තණ්හා දිට්ඨි දෙකින් අල්ලා ගනු ලබන බැවිනි. මෙසේ උපාදානස්කන්ධ පඤ්චකය ඇති වූ කල්හි ජාති ජරා ආදී දුක් එකොළස පහළ වන්නේ ය. උපාදානස්කන්ධයන් නැති කල්හි ජාත්‍යදී දුක් ඇති නො විය හැකි ය. ඒ නිසා සැකෙවින් කියත හොත් දැකීම් ඇසීම් ආදියෙහි දී ප්‍රකට ව පවත්නා උපාදාන ස්කන්ධ පඤ්චකය දුක්ඛ සත්‍ය ය යි.
එය ඇති ව නැති ව යන අනිත්‍ය ස්වභාවය ඇති සඞ්ඛාර දුක්ඛයක් වූ බැවින් ද, ජාති ජරා ආදී නන් වැදෑරුම් දුක්වලට ස්ථානය වන බැවින් ද, එය ඒකාන්ත දුකකි, භයානක දුකකි. එහෙයින් එය සඳහා “සංබිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් වදාළසේක.
සංඛිත්තේන, සැකෙවින්; පඤ්චුපාදානක්ඛන්ධා, තණ්හා දිට්ඨි දෙකින් මම ය මාගේ ය යි ගන්නා ලද රූප වේදනා ආදී පස් වැදෑරුම් උපාදානස්කන්ධයෝ දුක්ඛා, දුක් වන්නෝ ය.