කතමඤ්ච භික්ඛවේ දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියෝ අට්ඨංගිකෝ මග්ගො, සෙය්‍යථිදං සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මා වාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මා සති, සම්මා සමාධි.
කෙටි අදහස
මහණෙනි! දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්යය, සත්‍යය කවරේ ද? මේ අඞ්ග අටක් ඇති ආර්ය මාර්ගය මැ යි. එනම්, සම්මා දිට්ඨිය, සම්මා සඞ්කප්පය, සම්මා වාචාය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය යන මෙය යි. නිවන අරමුණු කරමින් ඒ නිවන ප්‍රත්‍යක්ෂ ව දන්නා මෙකී සම්මාදිට්ඨි ආදී මාර්ග අට මාර්ග සත්‍යය යි.
කමටහන් වශයෙන් වනාහි චතුස්සත්‍යයන් අතුරෙන් පෘථග්ජන සන්තානයෙහි උපදිමින් නැසෙමින් පවත්නා නාම රූප ධර්ම සමුහය දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍යය නම් වේ. එයිනුත් ස්කන්ධයන් කෙරෙහි ආසා කිරීම යයි කියන ලද තණ්හාව ම සමුදය සත්‍යය යි. ඒ තණ්හාව හැර ඉතිරි නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යය යි. මෙනෙහි කරනු ලබන අරමුණු හා සිත සන්සිඳී යාම නිරෝධ සත්‍යය යි. එකී සන්සිඳීම් ස්වභාවය වූ නිවනට පමුණුවමින් ප්‍රත්‍යක්ෂ ව දැනගන්නා ස්වභාවය මාර්ග සත්‍යය යි. මේ නියායෙන් නූගත් අයට පවා චතුස්සත්‍යය කුමක් දැ යි දත හැකි ය.
මෙකී චතුස්සත්‍යයන් අතුරෙන් සංසාර වට්ටයට අයත් දුක්ඛ, සමුදය යන මේ සත්‍ය දෙකක් පමණක් විදර්ශනා අරමුණ වශයෙන් ගෙන මෙනෙහි කළ යුතු ය. නිරෝධ - මග යන විවට්ට සත්‍යය දෙක වනාහි යභපත් බව දැන එයට සිත යොමු කිරීම ප්‍රමාණ වේ. සිත යොමු කිරීම පමණකින් ම ඒ සත්‍ය දෙක පිළිබඳ මෙනෙහි කිරීම් කෘත්‍යය සිදු වෙයි. එහෙයින් චතුසච්ච කම්මට්ඨානය අටුවායෙහි මෙසේ සඳහන් ව ඇත.
“තත්ථ පුරිමානි ද්වෙ සච්චානි වට්ටං, පච්ඡිමානි විවට්ටං, තෙසු භික්ඛුනො වට්ටෙ කම්මට්ඨානාභිනිවෙසො හොති, විවට්ටෙ නත්ථි අභිනිවෙසො, පුරිමානි හි ද්වෙ සච්චානි” පඤ්චක්ඛන්ධා දුක්ඛං, තණ්හා සමුදයොති එවං සඞ්ඛෙපෙන ච කතමෙ පඤ්චක්ඛන්ධා රූපක්ඛන්ධොති ආදිනා නයෙන විත්ථාරෙන ච, ආචරියස්ස සන්තිකෙ උග්ගණ්හිත්වා වාචාය පුනප්පුනං පරිවත්තෙන්තො යොගාවචරො කම්මං කරොති. ඉතරෙසු පන ද්වීසු සච්චෙසු නිරොධසච්චං ඉට්ඨං කන්තං මනාපං මග්ගසච්චං ඉට්ඨං කන්තං මනාපන්ති එවං සවණෙනෙව කම්මං කරොති. සො එවං කරොන්තො චත්තාරි සච්චානි එකප්පටිවෙධෙනෙව පටිවිජ්ඣති, එකාභි සමයෙන අභිසමෙති. දුක්ඛං පරිඤ්ඤාපටිවෙධෙන පටිවිජ්ඣති. සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච්ඡිකිරියාපටිවෙධෙන, මග්ගං භාවනාපටිවෙධෙන පටිවිජ්ඣති. දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන…පෙ… මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති. එවමස්ස පුබ්බභාගෙ ද්වීසු සච්චෙසු උග්ගහපරිපුච්ඡාසවනධාරණසම්මසන පටිවෙධො හොති. ද්වීසු පන සවනපටිවෙධො යෙව. අපරභාගෙ තීසු කිච්චතො පටිවෙධො හොති, නිරොධෙ ආරම්මණපටිවෙධො.”
ඒ චතුස්සත්‍යය අතුරෙන් පළමු සත්‍ය දෙක වට්ට සච්ච නමි. පසු දැක් වූ නිරෝධ, මග දෙක විවට්ට සච්ච නමි. ඒ වට්ට, විවට්ට සත්‍යයන් අතුරෙන් යෝගී පුද්ගලයාහට දුක්ඛ සමුදය යන වට්ට සච්ච දෙක්හි කමටහන් මෙනෙහි කිරීම සිදු වෙයි. විවට්ට සච්ච දෙකෙහි කමටහන් මෙනෙහි කිරීමක් නැත.
විස්තර වශයෙන් වනාහි පඤචස්කන්ධය දුක් ය. තණ්හාව දුකට හේතුව ය යි සැකෙවින් ද ඉගෙන ගත යුතු ය. පචස්කන්ධය කවරේ ද? රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ය යි විස්තර වශයෙන් ද උගත යුතු ය. පළමු සත්‍ය දෙක ගුරුවරයාගේ සමීපයෙහි ඉගෙන නැවත නැවත වචනයෙන් කියමින්, සිතමින් යෝගී තෙමේ විදසුන් වඩ යි. අනික් සත්‍ය දෙක අතුරෙන් නිරෝධ සත්‍යය ඉෂ්ටය, කාන්තය, මන වඩන්නේය, මාර්ග සත්‍යය ද ඉෂ්ටය, කාන්ත ය, මන වඩන්නේ ය යි මෙසේ ශ්‍රවණයෙන් ම විදර්ශනාව සිදු වෙයි. මෙසේ කරනුයේ චතුස්සත්‍යය එකවරට ම මාර්ග ක්ෂණයෙහි අවබෝධ කරයි. දුක්ඛ සත්‍යය පරිඥා ප්‍රතිවේධයෙන් පිරිසිඳ දැන ගැනීමෙන් ප්‍රතිවේධ කරයි. සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවේධයෙන් පහකිරීම් වශයෙන් ප්‍රතිවේධ කරයි. නිරෝධ සත්‍යය සච්ඡි කරණ ප්‍රතිවේධයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධකර යි. මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධයෙන් වැඩීමෙන් ප්‍රතිවේධ කර යි. දුක්ඛ සත්‍යය පරිඤඤාභිසමයෙන් පිරිසිඳ දැනගනී. සමුදය සත්‍යය පහානාභිසමයයෙන් පහකරමින් දැනගනී. නිරෝධ සත්‍යය සච්ඡිකිරියාභිසමයයෙන් ප්‍රත්‍යක්ෂ කරමින් දැනගනී. මාර්ග සත්‍යය භාවනාභිසමයයෙන් වඩමින් දැනගනී. මෙසේ ඒ යෝගී පුද්ගලයාහට පූර්ව භාගයෙහි ලෞකික සත්‍ය දෙකෙහි උග්ගහ, පරිපුච්ඡා, සවන, ධාරණ. සම්මසන ප්‍රතිවේධය වෙ යි.
මෙතන්හි උග්ගහ පරිපුච්ඡාදී වශයෙන් දැනගැනීම භාවනාමය ඤාණයෙන් නො ව සුතමය ඤාණයෙන් සිදු වන බව දත යුතු ය. සමසන වශයෙන් දැන ගැනීම ම විපස්සනා භාවනාමය ඤාණයෙන් දැනගැනීම බව සැලකිය යුතු ය.
නිරෝධ, මාර්ග සත්‍ය දෙකෙහි වනාහි ප්‍රතිවේධය ම වෙයි. පසු භාගයෙහි වූ මාර්ග ක්ෂණයෙහි දී දුක්ඛ සමුදය ම සත්‍ය තුනෙහි කෘත්‍ය වශයෙන් ප්‍රතිවේධයව යි. නිරෝධය වූ නිවන ම මාර්ග ඥානයෙන් අරමුණු කොට දැන ගන්නේ ය. අනික් සත්‍ය තුනෙහි කෘත්‍ය වශයෙන් ප්‍රතිවේධය වෙ යි. නිරෝධ සත්‍යයෙහි නිවන අරමුණු කිරීම් වශයෙන් ආරම්මණ ප්‍රතිවේධය වෙයි.
එය එසේ මැ යි. මාර්ග ඥානයට අරමුණු වන්නේ නිවන ය. අනික් සත්‍ය තුන අරමුණු වශයෙන් නො ව පරිඤඤා, පහාණ, භාවනා, කෘත්‍ය සම්පාදනයාගේ වශයෙන් දැන ගන්නේ ය.
පෘථග්ජනයාහට ලෝකෝත්තර ධර්ම අරමුණු නො වන නිසා ද ඒ ලෝකෝත්තර ධර්ම ආර්යයන්ට අරමුණු වන නමුත් එයින් කෙලෙස් පහ නො වන නිසා ද නිරෝධ මඟ දෙක විපස්සනා අරමුණු වශයෙන් නො ගන්නේ. “ඉට්ඨං කතං” යන ආදී අටුවා පාඨයෙන් ද “අද්ධා ඉමාය පටිපත්තියා ජරා මරණම්හා පරිමුච්චිස්සාමි” යනුවෙන් මේ ප්‍රතිපදාවෙන් ජරා මරණ දුකින් මිදෙන්නෙම් වා! ය යි නිවන හා එයට පමුණුවන ප්‍රතිපදා මාර්ගය ලබා ගත යුතු ය යි පූර්ව භාගයෙහි ම එයට සිත යොමු කිරීමෙන් නිරෝධ, මග සත්‍ය දෙක පිළිබඳ කටයුතු අවසන් කොට ඇත. එයට ආසා කරමින් මොහොතක් පාසා මෙනෙහි කිරීමක් සිදු නො වේ. විදර්ශනා වඩන කල්හි නිවනට හා මාර්ගයට ආශාව ඇති වුවහොත් මහා දිට්ඨි කෙලෙසුන් කරණ කොට ගෙන විදර්ශනාව කිලිටි විය හැකි ය.
නිරෝධ, මාර්ග සත්‍ය දෙක උපදවා ගැනීමට බලා පොරොත්තු වන යෝගී පුද්ගලයා විසින් පළමු කොට සිය සතන්හි ප්‍රකට ව පවත්නා දුක්ඛ ධර්මයන් හා සමුදය ධර්මයන් විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීම අජ්ඣත්තසච්ච ධම්මානුපස්සනා නමි. අධ්‍යාත්ම ධර්මය පැහැදිලි ව වැටහුණු කල්හි බහිද්ධා ධර්මයන් ද ඒ අනුසාරයෙන් වටහා ගත හැකි වෙ යි. එසේ වටහාගත හැකි වීම බහිද්ධාසව ධම්මානුපස්සනා නමි.
ඒ හැර දකිනු ලබන, ඇසෙනු ලබන අනුන් පිළිබඳ වර්ණ, ශබ්ද ආදිය මෙනෙහි කරමින් ඒ සියල්ල දුක් ය යි දැන ගැනීම ද බහිද්ධා සච්චධම්මානුපස්සනා නම් වේ. මෙහි දී චතුස්සත්‍යය මෙනෙහි කෙරේ ය යි කී නමුත් දුක්ඛය හා සමුදය යන දෙක පමණක් මෙනෙහි කිරීමේ අරමුණු වශයෙන් ලැබෙන බව දත යුතු ය. නිරෝධය හා මාර්ගය විදර්ශනා අරමුණු නොවන බැවින් ද ඒවා පෘථග්ජනයා තුළ නොමැති බැවින් ද මෙනෙහි නො කළ හැකි ය. ඒ සත්‍ය දෙක යහපත් ඒවා ය යි අසා දැන සිටින නිසා නිවන මාර්ගය අවබෝධ කරගනු කැමැත්ත හා ලබා ගනු කැමැත්ත ඒ පිළිබඳ මෙනෙහි කිරීම ය යි අටුවා ටීකාවන්හි කියන ලදී.
නොහොත් ඇසීම් දැකීම් ආදී දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් ස්වභාව ධර්මයන් මෙනෙහි කරමින් ඒ සියල්ල දුක් ය යි අවබෝධ වීමක් පාසා එහි ආස්වවාද කරන තව පහකරමින් ප්‍රහාණ ප්‍රතිවේධ කෘත්‍යය ද සිදුවෙ යි. තදඞ්ග නිරෝධය සිදු කරමින් සච්චකිරියා පටිවේධය ද සිදු වෙයි. ලෞකික මාර්ගය උපදවමින් භාවනා ප්‍රතිවේධය ද සිදු වෙයි. එහෙයින් දැකීම්, ඇසීම්
ආදී දුක්ඛ සත්‍ය ධර්මයන් මෙනෙහි කරමින් අනික් සත්‍ය තුනෙහි ද පහාන, සච්ඡිකිරියා භාවනා කෘත්‍යයන් සිදු වීමෙන් දැන ගැනීම ම ආධ්‍යාත්මික සත්‍ය සතර හා බහිද්ධා සත්‍ය සතර මෙනෙහි කිරීම ය යි සැලකිය යුතු ය.