මේ මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ආනාපාන පබ්බය, ඉරියාපථපබ්බය, සම්පජඤ්ඤපබ්බය, පටික්කූලපබ්බය, ධාතුවවත්ථාන පබ්බය, සීවථික පබ්බ නව ය ය යි. කායානුපස්සනා කොටස් (14) තුදුසකි. වේදනානුපස්සනාව ය, චිත්තානුපස්සනාව ය, නීවරණපබ්බ ය, ඛන්ධ පබ්බ ය, ආයතන පබ්බ ය, බොජ්ඣඞ්ගපච්ච ය, සච්චපබ්බ ය යි ධම්මානුපස්සනාව කොටස් (5) පහකි. මෙසේ මෙහි කමටහන් (21) එක් විස්සක් දක්වන ලදී.
ඔවුන් අතුරෙන් ආනාපානය, පටික්කුලය, සීවථික නවය යන මේ එකොළොස අර්පනා ධ්‍යාන උපදවන කමටහන් ය යි මහ අටුවායෙහි කීහ. දීඝභාණක මහා සිව තෙරුන් වහන්සේ වනාහි සීවථික නවය ආදීනවානුපස්සනා ය යි කියන ලද විදර්ශනා වශයෙන් දක්වන ලද්දේ ය යි කීහ. මේ ථෙරවාදය අනුව ආනාපාන පටිකූල යන දෙක පමණක් අර්පනා ධ්‍යාන උපදවන කමටහන් ය. අනික් කමටහන් (19) එකුන් විස උපාචාර ධ්‍යාන නම් වූ බණික සමාධියම උපදවන විදර්ශනා කර්මස්ථාන, උපචාර කර්මස්ථාන ම වන බව සැලකිය යුතු යි.
එහෙයින් අටුවාකථායෙහි “තෙසු ආනාපානං ද්වත්තිංසාකාරො නවසීවථිකාති එකාදසකම්මට්ඨානානි හොන්ති. දීඝාභාණකමහාසිවත්ථෙරො පන නව සීවථිකා ආදීනවානුපස්සනාවසෙන වුත්තාති ආහ. තස්මා තස්ස වසෙන ද්වෙයෙව අප්පනාකම්මට්ඨානානි, සෙසානි උපචාර කම්මට්ඨානානි” යි කීහ.
මේ අටුවා කියමනෙහි “සෙසානි උපචාර කම්මට්ඨා නානීති” යි කී වචනය විශේෂයෙන් සිහි කළ යුත්තකි. ආනාපානය හා කේසාදි දෙතිස් කොටස් හැර සෙසු එකුන්විසි කමටහන් ම උපාචාර සමාධිය උපදවන කමටහන් ය යි කීහ. මේ කියමන වූ පරිදි ඉරියාපථ පබ්බ - සම්ජඤ්ඤ පබ්බ යන ආදීන්ගේ වශයෙන් විදර්ශනා වඩන යෝගී පුද්ගලයාහට උපදනා විපස්සනා ඛණික සමාධිය ම උපාචාර සමාධියකි. එය ම චිත්ත විසුද්ධිය වන බව ඉතා පැහැදිලි ය.