කියන ලද පරිදි යෝගාවචරයා ගේ සිත සංස්කාරයන් හැර අරමුණු කිරීම් වශයෙන් ලෝකෝත්තර නිර්වාණ ධාතුවට පැන වැදුණු පසු නිවනට පැමිණීමට ඉතා සමීප කාලයේදී එකිනෙකට වඩ වඩා පැහැදිලි ලෙස තුන් සතර වරක් ඇති වූ සංස්කාර දර්ශනය ද කලින් සිහි කරමින් සිටි සංස්කාර සියල්ල හැර සිත නිර්වාණාරම්මණයට පැමිණීම ද යෝගාවචරයාට හොඳින් දැනෙන්නේ ය.
ලෝකෝත්තර ප්‍රථම මාර්ගයට පැමිණියා වූ ඇතැම් යෝගාවචරයන්ට එය කලින් සිහි කරමින් සිටි සංස්කාරයන් හා සිහි කරන සිත් පරම්පරාව හදිසියේ ම සිඳී ගියාක් මෙන් වැටහෙන්නේ ය. ඇතැමකුට හිස මත හෝ කරෙහි තුබූ බරක් තල්ලු කර දැමුවාක් මෙන් ද, අතින් එල්ලා ගෙන සිටි බරක් බිමට වැටුණාක් මෙන් ද, හදිසියෙන් බන්ධනයකින් මිදුණාක් මෙන් ද, දැල්වෙමින් තුබූ පහනක් නිවී ගියාක් මෙන් ද, අඳුරෙන් එළියට ආවාක් මෙන් ද, අවුල් ගොඩක් ඇති තැනක සිට අවුලක් නැති තැනකට පැමිණියාක් මෙන් ද, දියෙහි ගැලුණාක් මෙන් ද, මෙසේ නොයෙක් ආකාරයෙන් සිත කලින් අරමුණු කරමින් සිටි සංස්කාරයන් හැර නිර්වාණාරම්මණයට පැමිණීම වැටහෙන්නේ ය.
සංස්කාර නිරෝධය වූ නිර්වාණ ධාතුව දුටු කාලය ඉතා කෙටි කාලයකි. එය යම් කිසි සංස්කාරයක් එක් වරක් සිහි කිරීමට යන කාලය තරම් කාලයෙකි. එබැවින් යෝගාවචරයාට ඒ හදිසි සිදුවීම ගැන කල්පනා ඇති වේ. ඔහුට “මේ හදිසියෙන් දර්ශනය වූ දෙය ලෝකෝත්තර නිර්වාණ ධාතුව විය යුතුය, ඒ අවස්ථාවේදී ලෝකෝත්තර මාර්ග ඥානය විය යුතු ය” කියා කල්පනා විය හැකි ය. මාර්ගඵල නිර්වාණ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ගේ සැටි කලින් පොත පතින් උගෙන තිබුණා වූ ද ගුරුන්ගෙන් අසා දැන තිබුණා වූ ද යෝගාවචරයන්ට හදිසියෙන් තමාට දර්ශනය වූ දෙය “තමන් සොයමින් සිටින ලෝකෝත්තර නිර්වාණ ධාතුව ම ය, එය දැකීම් වශයෙන් ඇති වූයේ ලෝකෝත්තර මාර්ගය හා ඵලය ය, මම දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන් දුටු සෝවාන් පුද්ගලයෙක් වෙමිය” යන අදහස පහළ වේ.
තමන් පැමිණි සෝවාන් මාර්ගය ඵලය ගැන දැන ගත්තා වූ යෝගාවචරයන් ගෙන් ඇතැමෙක් තමන් ලත් ලෝකෝත්තර මාර්ගයේ බලයෙන් ප්‍රහීණ වූ කෙලෙස් ගැන ද තමන්ට ඉතිරි වී ඇති කෙලෙස් ගැන ද කල්පනා කරති. ඉක්බිති පෙර පරිදි තමන්ගේ කායික චෛතසික පැවතුම් සිහි කරන්නට පටන් ගනිති. පුරුදු පරිදි නාම රූපයන් සිහි කරන්නා වූ යෝගාවචරයා හට සියලු ම කායික ක්‍රියාවල හා චිත්තවේදනාදියෙහි ද අග මුල දෙක හෙවත් ඉපදීම් බිඳීම් දෙක ඉතා පැහැදිලි ලෙස කැපී පෙනෙන්නට වේ. ඒ නිසා සිහි කිරීමේ වේගය අඩු වූවාක් මෙන්, නැවතත් භාවනා මාර්ගයේ ආපසු ගියාක් මෙන් වැටහිය හැකි ය.
දැන් යෝගාවචරයා පැමිණ සිටින්නේ උදයව්‍යය ඥානයට ය. එබැවින් එය භාවනා මාර්ගයෙහි නැවත ආපසු යාමක් ද වේ. යෝගාවචරයා කෙරෙහි මේ අවස්ථාවෙහි පවත්නේ උදයව්‍යය ඥානය බැවින් සමහර විට යෝගාවචරයාට ආලෝකය හා නොයෙක් රූ සටහන් ද පෙනිය හැකි ය. සමහරුන්ට සංස්කාරයන් සිහි කිරීම පටන් ගත් අලුත අරමුණු හා සිහි කිරීම් සුදුසු සේ එකින් එකට නො ගැලපෙන බවක් ද ඇති විය හැකි ය. සමහරුන්ට කුඩා කුඩා දුක්ඛ වේදනා ද දැනෙන්නට විය හැකි ය. මේ කාලයේ වැඩි දෙනකුන්ට ඇති වන්නේ ඉතා දීප්තිමත් සිත් පරම්පරාවෙකි. ඒ කාලයේ දී ශරීරයක් ඇති බවකුත් නො දැනී සිත පමණක් අහසෙහි පවතින්නාක් මෙන් යෝගාවචරයාට දැනේ. ඉතා සැපයක් ද දැනේ. ඒ අවස්ථාවෙහි ඇති වන සිත් පරම්පරාව සිහි කරන්නට ද නුපුළුවන් වේ. සිහි කෙළේ ද, ඒ සිත් කලින් ඇති වූ සිත් සේ කැපී වෙන් වී නො පෙනේ.
යෝගාවචරයා ගේ සිත බැහැර අන් අරමුණු කරා ද නො දිවේ. ආරම්මණයන් ගැන සිතන්නට ද නො හැකි අයුරින් ඉතා ප්‍රසන්න සුඛ ස්වභාවයක් ඇතිව සිත පවතී. ඒ ප්‍රසන්නතාවයෙන් යුක්තව පවත්නා චිත්තපරම්පරාවේ වේගය අඩු වූ කල නැවත සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් පෙනෙන්නට වේ. මඳ වේලාවක් එසේ කරන කල්හි ඉතා සියුම් වූ ද සුන්දර වූ ද මනස්කාරයට නැවත ද පැමිණිය හැකි ය. ඒ අවස්ථාවෙහි ඥාන වේගය බලවත් වුවහොත් නැවතත් යෝගාවචරයාගේ සිතට සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය පෙනෙන්නේ ය. සමාධි ඥාන දෙක දියුණු නම් යෝගාවචරයාගේ චිත්තය මෙසේ නැවත නැවත අරමුණු කිරීම් වශයෙන් සංස්කාරයන් ගේ නිරෝධ ස්වභාවයට පැමිණෙන්නේ ය. මෙකල වෙසෙන ප්‍රථම මාර්ගයට පමණක් පැමිණීමේ බලාපොරොත්තුව ඇති පින්වතුන් ගේ සිත මෙසේ නැවත නැවත සෝතාපත්ති ඵලයට ම පැමිණෙන්නේ ය. මේ සෝවාන් ඵලයට පැමිණීම දක්වා භාවනා ක්‍රමය ය.
මෙසේ සතිපට්ඨාන භාවනාවෙහි යෙදී ලාමක පෘථග්ජන භාවය ඉක්මවා ආර්‍ය්‍ය ශ්‍රාවක භාවයට පැමිණි පුද්ගලයා අලුතෙන් උපන් කෙනකුන් මෙන් අමුතු ගති ගුණ ඇත්තේ වේ. ඔහුට ඉතා දියුණු තියුණු ශ්‍රද්ධාව ඇත්තේ ය. ඒ ශ්‍රද්ධා වේගය නිසා ප්‍රීති ප්‍රශබ්ධීහු ද ඔහුට බලවත්ව ඇති වෙති. ඔහුට මහත් සුවයක් ද ඇති වේ. ප්‍රීති සුඛ වේගය නිසා ඔහුගේ ශරීරය තුළ ඉහළට නැග එන එක්තරා ස්වභාවයක් ඇති වේ. එයින් සෝවාන් ඵලයට පැමිණි වහාම ඔහුට පෙර කරගෙන ආ පරිදි සංස්කාර සිහි කිරීම පැවැත්විය හැකි නොවේ. ඔහුට සංස්කාර මෙනෙහි කිරීම මැනවින් පැවැත්විය හැකි වන්නේ පැය ගණනක් හෝ දින ගණනක් හෝ පසු වී ශ්‍රද්ධාදියේ වේගය අඩු වූ පසු ය. සෝවාන් ඵලයට පැමිණි අලුත ඇතැමකුට පුරුදු පරිදි භාවනාව ඉදිරියටත් කර ගෙන යාමේ අදහස තුනී වෙයි. භාවනාව සෑහුණා සේ සිතෙයි. ඒ තෘප්තියට පැමිණීම සිදු වන්නේ මුලින් සෝවාන් වුවත් ඇතය යන අදහසින් භාවනාවෙහි යෙදුණු බැවිනි.