මෙසේ වැඩෙමින් බාලවෙමින් පවත්නා වූ යෝගාවචරයා ගේ ඥානය සමුද්‍රය තරණය කරන නැවකින් මුදා - ලූ කවුඩකු වැනි ය. අතීතයේදී සමුද්‍රයෙහි ගමන් කළ නාවිකයෝ දිශා සොයා ගත නො හෙන අවස්ථාවලදී ප්‍රයෝජන ලබනු පිණිස නැව්වල කවුඩකු ගෙන යති. මුහුදේදී සමීපයේ ගොඩබිමක් ඇද්දැ යි දැනගන්නට වුවමනා වූ විට නාවිකයෝ කවුඩා කූඩුවෙන් මුදා හරිති. ඌ අහසේ ඒ මේ අත පියාඹා බලා, ගොඩ බිමක් නුදුටුව හොත් නැවේ කුඹ ගසට ම නැවත නැවත එයි. ගොඩබිම දුටු කල්හි ඒ දෙසට යයි. නැවත ආපසු නො එයි. එයින් නාවිකයෝ කවුඩා ගිය පැත්තෙහි ගොඩබිමක් ඇති බව දැන ගනිති.
මේ සතිපට්ඨාන භාවනාව කරන යෝගාවචරයා ගේ සංස්කාරයන් සිහි කිරීමේ වේගය වරින් වර අඩුවී යාම, ගොඩබිමක් දක්නා තුරු කවුඩාගේ නැවත නැවත නැවට පැමිණීම වැනි ය. සංස්කාරයන් සිහි කරන දකින විදර්ශනා ඥානය ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට තරමට දියුණු වූ කල්හි ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ද එයට සමවන පරිදි දියුණු වූ අවස්ථාවක හැපීම් - ඇසීම් - දැකීම් ආදියෙන් දැනෙන, සංස්කාර ජාති සය අතුරෙන් (රූපාදි අරමුණු සය අතුරෙන්) යම් කිසිවක් පිළිබඳ වූ දැනීම වාරයෙන් වාරය වඩ වඩා පිරිසිදු ලෙස තුන් වරක් හෝ සතර වරක් ඇති වූ පසු එකෙණෙහි සිහි කරනු ලබන සංස්කාරයන් ගේ හා සිහි කරන සිත්වල නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව යෝගාවචරයා ගේ භාවනා චිත්තයට හසු වී ප්‍රථම මාර්ගයට හා ඵලයට යෝගාවචරයා පැමිණෙන්නේ ය.