වරක් ලැබූ සෝවාන් ඵල සිත නැවත නැවතත් ස්වසන්තානයෙහි උපදවා ගෙන නිවන් සුවය විඳිනු කැමතියන් විසින් නැවතත් ස්වසන්තානයෙහි ඒ ඵල චිත්තය උපදවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇති වන්නා වූ කාය චිත්ත විකාරයන් පෙර සේ ම සිහි කරන්නට පටන් ගත යුතු ය. විදර්ශනා කිරීමට පටන් ගත් කල්හි, පෘථග්ජනයන්ට නාම -රූප පරිච්ඡේද ඥානයේ පටන් - ඥාන විශේෂ ඇති වන්නට පටන් ගැනීමත්, ආර්‍ය්‍යයන්ට උදයව්‍යය ඥානයේ පටන් ඥාන විශේෂ ඇති වන්නට පටන් ගැනීමත් ස්වභාවය ය. එබැවින් නාම රූපයන් සිහි කරන්නට පටන් ගත්තා වූ සෝවාන් පුද්ගලයාට පළමුවෙන් ම උදයව්‍යය ඥානය ඇති වේ. ඉන්පසු ඉතිරි ඥානත් පිළිවෙළින් ඇති වී සියල්ලට ම උසස් වූ සියල්ලට ම සියුම් වූ සංස්කාරෝපේක්ෂා ඥානය වැඩි වේලාවක් ගත නො වී ඇති වේ. ඒ ඥානය සෑහෙන පමණට වැඩුණු පසු යෝගාවචරයාගේ සිත පෙර සේ ම සංස්කාරයන්ගේ නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණාරම්මණයට පැමිණෙන්නේ ය. නිර්වාණාරම්මණයට සිත පැමිණීම ය යනු සෝවාන් ඵල සිත් ඇති වීම ය.
මෙසේ ලෝකෝත්තර ඵල චිත්තය ඇති කර ගැනීමට ඵලසමාපත්තියට සමවැදීමය යි කියනු ලැබේ. මෙතෙක් කල් මම ඵලසමාපත්තියෙන් වෙසෙමිය කියා අධිෂ්ඨානයක් නැති ව එයට සමවන් පුද්ගලයන් ගේ ඵලසිත් පරම්පරාව සමහර විට විනාඩියකින් දෙකකින් කෙළවර වේ. සමහරවිට විනාඩි පසකින් දශයකින් පසළොසකින් පැය භාගයකින් පැයකින් ද කෙළවර වේ. අටුවාවල දවසක් මුළුල්ලෙහි වුව ද රාත්‍රියක් මුළුල්ලෙහි වුව ද අධිෂ්ඨානය පරිදි ඵල සමාපත්තියෙහි සිටිය හැකි බව දක්වා තිබේ. මේ කාලයෙහි ද ශමථ විදර්ශනාවන් දියුණු තියුණු තරමට පැය එක - දෙක - තුන යනාදි වශයෙන් පිරිසිඳ ගත් කාලය මුළුල්ලෙහි ඵලසමාපත්තියෙහි සිටිනු දක්නා ලැබෙන බව ද කියා තිබේ.
කාලය පිරිසිඳ ගෙන සමාපත්තියට සමවදින තැනැත්තන්ට ද සමහර විට අතර සිහි කරන සිත් ඇති වන බවත්, සතර පස් වරක් සංස්කාර සිහි කිරීමෙන් පසු නැවතත් ඔහුන් සමාපත්තියට පැමිණෙන බවත්, එසේ කැමතිතාක් කල් පැය බොහෝ ගණනක් සමාපත්තියෙහි සිටින අය දක්නට ඇති බවත් කියා තිබේ. ඵල සිත් ඇති වෙමින් පවත්නා කාලයෙහි සකල සංස්කාරයන් ගේ නිරෝධය වූ නිර්‍වාණාරම්මණයෙහි ම සිත පවතී. ඒ කාලයේ දී යෝගාවචරයාහට නිවන හැර අන් කිසිවක් නො දැනෙන්නේ ය. නිර්වාණය යනු ලෝකයට අයත් සකල නාම රූපයන් ගෙන් හා ප්‍රඥප්තීන්ගෙන් ද අන්‍ය වූ ස්වභාවයකි. එබැවින් ඵලසමාපත්තියෙහි ඉන්නා යෝගාවචරයාට මෙලොව හෝ අන් ලොවක හෝ ඇති කිසිවක් සිහි නොවේ. අන් කිසි ම කල්පනාවක් ද ඔහුට නො වේ. දැකිය යුතු - ඇසිය යුතු - ආඝ්‍රාණය කළ යුතු - ආස්වාදනය කළ යුතු - ස්පර්ශ කළ යුතු - අරමුණු කොතෙක් එළඹ සිටියේ ද ඒ එකකුදු ඔහුට නො දැනේ.
“අප්පණාජවනං ඉරියාපථම්පි සන්නාමෙති” යි දැක්වෙන පරිදි ඔහුගේ ඉරියව්ව වෙනස් නොවී පවතී. ඉඳගෙන සමවතට සම වැදුණ හොත් ශරීරයේ හිඳීමේ ඉරියව්ව සමාපත්තියෙහි ඉන්නතාක් එසේ ම පවතී. ඇඟ ඒ මේ අතට බරවීමක් - නැමීමක් - සෙලවීමක් ඒ කාලය තුළ දී නො වේ. ඵලසිත් පරම්පරාව සිඳුණු විටෙක දී යෝගාවචරයාහට සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය ගැන ම හෝ ඒ ස්වභාවයට සිතින් පැමිණ විසූ බව ගැන හෝ පළමුවෙන් හැඟීම් ඇති විය හැකි ය. යම් කිසි දැකීමක් ඇසීමක් ගැන සිත් හෝ යම් කිසිවක් සිහි කරන සිත් හෝ පළමුවෙන් ඇති විය හැකි ය. අනතුරු ව සුදුසු පරිදි සංස්කාර සිහි කරන සිත් ආදිය ඇති වේ.
සංස්කාරයන් සිහි කරන කල්හි ද පටන් ගැනීමේ දී නාම රූපයන් ගේ ඖදාරික ඉපදීම් බිඳීම් පමණක් සිහි කරන සිත් සෙමින් ඇති වේ. විදර්ශනාව විශේෂයෙන් බලව්ත වේ නම් ඵලසමාපත්තියෙන් නැඟී සිටි කෙණෙහි ම ද සියුම්, සියුම් වූ සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් සිහි කළ හැකි සියුම් වූ ද වේගවත් වූ ද සිත් ඇතිවිය හැකි ය.
විශේෂයෙන් සැලකිය යුත්තක් නම්, ඵලසමාපත්තියට ඉක්මනින් පැමිණීම පිළිබඳ වූ ද ඵලසමාපත්තියෙන් බොහෝ වේලා විසීම පිළිබඳ වූ ද අධිෂ්ඨාන, පූර්වභාගයෙහි කර ගත යුතු ය. සංස්කාර සිහි කරමින් හෙවත් විදර්ශනා කරමින් ඉන්නා කාලයේ දී අධිෂ්ඨාන කිරීම පිළිබඳ උත්සාහයක් නො කළ යුතු ය. ඉක්මනින් සමාපත්තියට පැමිණේවා යි පැතීමක් හෝ නො කළ යුතු ය. සමාපත්තියට පැමිණිය හැකි තරමට විදර්ශනා බල වේගය දියුණු වන්නට කලින් විදර්ශනාව හොඳින් සිදු වේගන යන අතර කැස්ස ආදිය ඇති වීමෙන් වන ශරීර කම්පන වලින් විදර්ශනා වේගය හීන වන අවස්ථා ද ඇත්තේ ය. විදර්ශනාව ඉතා හොඳ වූ විට දැන් ඵලයට පැමිණෙනු ඇතය යන කල්පනාව ඇති වීම නිසා ද විදර්ශනා බල වේගය හීන විය හැකි ය. එබඳු කල්පනා ඒ අවස්ථාවෙහි නො කරන ලෙස පරෙස්සම් විය යුතු ය. ඉදින් කල්පනා වුවහොත් ඉක්ම යන්නට නො දී එයත් සිහි කරනු. මෙසේ අනුස්මරණ වේගය වාර බොහෝ ගණනක් හීනවීම සිදු වීමෙන් පසු අමාරුවෙන් ඵලසමවතට පැමිණෙන්නෝ ද වෙති. සමාධි ප්‍රඥා දෙක්හි වේගය හීන නම් ඉක්මනින් සමවතට නොපැමිණිය හැකි වේ. පැමිණියේ ද ඔහුට වැඩි කාලයක් සමාපත්තියෙහි සිටිය නොහේ.