විශේෂ වන්දනා ක්‍රම

අල්ප පූජාවක් කළ කෙනෙකුට වුව ද ගෞරවය පමණක් කළ කෙනෙකුට වුව ද සිත පහදා ගැනීම පමණක් කළ කෙනෙකුට වුව ද එයින් මහත් අනුසසක් දෙන, මෙසේය කියා සිතා ගත නො හෙන පුදුම බලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේ ය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැඳුම් පිදුම් කිරීමෙන් මෙලොවදී ම බොහෝ අනුසස් ලැබිය හැකිය. මෙලොවදී බලපොරොත්තු වන සෑම දෙයක් ම වැඳීමෙන් ලබා ගත හැකිය කියා ද නො සිතිය යුතුය. මෙලොවදී ඒ ඒ අනුසස් බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ ඒ අනුසස් ලැබීමට හේතු වන බුද්ධ ගුණයන් කීර්තනය කර බුදුරදුන්ට ස්තුති කොට බැතියෙන් වැඳීම කළ යුතුය.

ශිෂ්‍යයෙකුට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ දියුණු තියුණු නුවණය. බුදුරජාණන් වහන්සේගේ ඥානය වර්ණනා කෙරෙමින් ස්තුති කෙරෙමින් වන්දනා කරන තැනැත්තාගේ ඥානය දියුණු වේ. එය එක වරක් දෙවරක් කිරීමෙන් සිදුවෙතැයි ද නො සිතනු. දිනපතා කලක් බුද්ධඥානය වර්ණනා කරමින් වඳින කල්හි ක්‍රමයෙන් ඒ තැනැත්තාගේ සම්මෝහය තුනී වේ. නුවණ තියුණු වේ. එසේ වන්දනා කරන්නට පුරුදු කර ගැනීමට ශිෂ්‍යයනට ඉතා ප්‍රයෝජනය. එසේ කරන ශිෂ්‍යයාට ඉගෙනීමේ ශක්තිය ලැබේ.

ආචාර්යවරයනට වුවමනා ශිෂ්‍යයන් කීකරු කර ගැනීමේ ශක්තිය හා කාරණය ඔවුනට අවබෝධ කරවීමේ - ඔවුන්ගේ සිත්වල පිහිටවීමේ ශක්තිය ය. අනුත්තර පුරුෂධම්ම සාරථි ගුණය හා බුද්ධ ගුණය කියා බුදුරදුන්ට ස්තුති කර වැඳීමෙන් එය දියුණු කරගත හැකිය. බුද්ධ ගුණය යනු ගම්භීර ධර්මය අවබෝධ කර ගැනීමේ ද අන්‍යන්ට අවබෝධ කරවීමේ ද ශක්තිය ය.

යම් යම් ආයතන පාලනය කරන පිරිස්වල ප්‍රධානීන්ට හා දේශපාලකයන්ට තිබියයුතු ජනයා කීකරු කර ගැනීමේ ශක්තිය හා අනුශාසනා කිරීමේ ශක්තිය පුරුෂධම්ම සාරථි ගුණය හා ශාස්තෲ ගුණය කියා ස්තුති කොට වැඳීමෙන් දියුණු කරගත හැකිය. මේ ශක්ති දෙක ධර්ම දේශකයන්ට ද වුවමනා කරුණු දෙකකි.

අනාදිමත් කාලයක පටන් සත්ත්වයන් කෙරෙහි පවත්නා වූ රාගද්වෙෂමෝහාදී ක්ලේශරෝගයන් ධර්ම ඖෂධයෙන් සුව කොට ඔවුන් සැපයට පමුණුවන්නා වූ මහා වෛද්‍යවරයාණෝ තථාගතයන් වහන්සේ ය. ඒ වෛද්‍ය භාවය වර්ණනා කරමින් ස්තුති කොට බුදුරදුන්ට වැඳුම් පිදුම් කිරීමෙන් වෛද්‍යයන්ට රෝග සුව කිරීමේ ශක්තිය දියුණු කර ගත හැකිය.

ලෝකයෙහි ඇතැම්හු කිසිදු වෙහෙසක් නො වී ලෙහෙසියෙන් ධනවත් වෙති. ඇතැම්හු බොහෝ වෙහෙසී රැකියා කොට ධනවත් වෙති. ඇතැම්හු බොහෝ වෙහෙසුන ද ධනවත් නො වෙති. ඔවුන් වෙහෙසී ධනය සපයා ගතුදු ඒ ධනය ඔවුන් කෙරෙහි නො පිහිටා අතුරුදහන් වෙයි. මිනිසුන්ගේ මේ නානත්වය ඔවුන්ට ඇති ධනය හිමිවිමේ භාග්‍යය අනුව සිදුවන්නකි. ධනය ලැබීමේ භාග්‍යය අධිකව ඇති තැනැත්තේ නො වෙහෙසීම ධනවත් වෙයි. කෙසේ හෝ ඔහු කරා ධනය පැමිණේ. භාග්‍යය මඳ තැනැත්තාට වෙහෙසී ධනය ලබන්නට සිදු වේ. භාග්‍යය ඉතාම හීන තැනැත්තාට වෙහෙසී වුව ද ධනය ලැබීමට දුෂ්කර වේ. අමාරුවෙන් සපයන ධනය ද ඔහු කෙරෙහි නො පිහිටා කුමණ විපතකින් හෝ නැති වෙයි. තථාගතයන් වහන්සේගේ අරහං ගුණය වර්ණනා කර ස්තුති කරමින් බුදුරදුන් වැඳීමෙන් ධනය ලැබීමේ වාසනාව දියුණු වේ. ධනය සොයන ඒ සඳහා රැකියාවන්හි යෙදී සිටින, රැකියා සොයමින් තැවෙන අයට ධනය ලැබීමේ වාසනාව දියුණු වීම සඳහා අර්හත් ගුණයෙන් ස්තුති කොට වන්දනා කිරීම යහපති.

සීවලී මහරහතන් වහන්සේ මහා ලාභී වන බැවින් බොහෝ දෙනා ලාභ පතා උන්වහන්සේට වැඳුම් පිදුම් කරති. රහතන් වහන්සේ කෙනෙකුට වැඳුම් පිදුම් කරතහොත් එසේ කරන්නහුගේ ප්‍රාර්ථනාව සිද්ධවිය හැකිය. සීවලී රහතන් වහන්සේ ශ්‍රාවකයන් ඇතුරෙන් අග්‍රලාභී වුව ද බුදුරජාණන් වහන්සේ තරම් ලාභි නො වෙති. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ මහා පුණ්‍යස්කන්ධයක් බුදුරජාණන් වහන්සේට ඇත්තේ ය. ඒ මහා පුණ්‍යස්කන්ධය සසඳහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින ඉතා සුළුය. බුදුරදුන්ගේ පින මහමෙර පමණ යයි කියතහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින බටු ගෙඩියක් පුවක් ගෙඩියක් තරම් යයි කිව යුතුය. ලාභියකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලාභ ලැබෙත හොත් වඩා ලාභ ලැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි. වඩා උසස් පිනක් ලැබෙන්නේ ද බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි.

බුදුරජාණන් වහන්සේගේ ශිල සමාදි ප්‍රඥාවන් හා සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සෘධිපාද ඉන්ද්‍රිය බල බෝධ්‍යංග මාර්ගාංග චතුරාර්ය සත්‍ය ප්‍රතීත්‍ය සමුත්පාද ධ්‍යාන මාර්ගඵල ධර්මයන් ගේ වශයෙන් ගුණ වර්ණනා කරමින් ස්තුති පූජා කොට වැඳීම යෝගාවචරයන්ට ප්‍රයෝජනවත් ය.