නුවණ වැඩීමට හේතු වන තවත් වන්දනා ක්‍රමයක්

“මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුශල බලයෙන් පස් මරුන් පරදවා ලොවුතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත් වූ පරිදි දැන වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇති සේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්ත්වයන් දක්නා නුවණ ඇති සේක. කුශලාකුශල කර්මයන් ගේ විපාක දක්නා නුවණ ඇති සේක. සිවුමන්සලක බලා සිටින්නකු ඒ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් ඒ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්ත්වයන් දක්නා නුවණ ඇති සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇති සේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්ත්වසන්තානගත මෝහන්ධකාරය දුරුකරන හෙයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වන සේක. සකල සත්ත්වයනට සඟමොක් මග දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වන සේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යෙමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකය පතුරුවන සේක්වා!”

ඔබ නුවණ දියුණු කර ගනු කැමැති නම් මේ වාක්‍ය කියා දිනපතා බුදුන් වඳින්න. සැමදා නො කළ හැකි වුව ද වැඩි ගණනක් දිනවල වන්දනා කරනු. ක්‍රමයෙන් ඔබේ නුවණ දියුණු වනු ඇත. මෙබඳු ක්‍රියාවලින් ගුණ ලැබෙන්නේ සෙමිනි. ඉක්මන් නො වෙනු. වර්ෂයෙන් වර්ෂයට මෙහි ගුණ ඔබට දැනෙනු ඇත. මතු දැක්වෙන වන්දනා ක්‍රමවලින් ගුණ ලැබීම කියයුත්තේ ද එසේම ය.