පාලනශක්ති අනුශාසනා ශක්ති අවබෝධ කරවීමේ ශක්ති ලැබීමේ වන්දනා ක්‍රමයක්

“මේ කපට චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයකින් අතීතයේ ලොව පහළ වී වදාළා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන මම ද මුන්වහන්සේ මෙන් ම ලොවුතුරා බුදුබවට පැමිණ සසර සයුරින් එතෙරව බොහෝ සත්ත්වයන් එතෙර කරවන්නෙමිය යන උදාරාධ්‍යාශයෙන් අතට පත් නිවන හැර සසර සයුරට බැස නොයෙක් දුක් ගෙන බුද්ධකාරක ධර්මයන් සපුරා පස්මරුන් පරදවා සර්වඥපදප්‍රාප්තවූ අසරණ සරණ වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මූඪව මානයෙන් මත්ව නොමග යන බොහෝ ජනයා දමනය කොට සසර සයුරෙන් එතෙර කර වූ සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අතිශයින් දුෂ්කර නන්දෝපනන්ද, නාලාගිරි, ආලවක, අංගුලිමාල ප්‍රචණ්ඩයන් ද, අතිශයින් උඩඟු සච්චක බක බ්‍රහ්මාදීන් ද කිසිඳු හිංසාවක් නොකොට ම දමනය කළ බැවින් අදම්‍යන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුල මැද අග යන තුන් තැන ම යහපත් වූ සර්වාංග සම්පූර්ණ වූ පිරිසිදු වූ ධර්මයකින් දෙවියන් සහිත ලෝකයා හට මෙලොව යහපත හා පරලොව යහපත පිණිස ද නිවන් පිණිස ද අනුශාසනා කරන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමගම්භීර චතුස්සත්‍ය ධර්මය දෙව් මිනිසුන්ට අවබෝධ කරවා සතර මග සතර ඵලයන්ට පමුණුවා ඔවුන් සංසාර සාගරයෙන් එතෙර කරවන සේක. අදම්‍යයන් දමනය කරන්නා වූ ලොවට අනුශාසනා කරන්නා වූ පරම ගම්භීර ධර්මය අවබෝධ කරවන්නා වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යෙමි. උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

මෙසේ තථාගතයන් වහන්සේගේ අනුත්තර පුරුෂදම්‍ය ගුණය හා ශාස්තෲ ගුණය වූ බුද්ධගුණ කියා වැඳීමෙන් පිරිසක් පාලනය කර ගැනීමේ ශක්තිය හා සිත් කා වදින පරිදි අනුශාසනා කිරීමේ ශක්තිය ද දියුණු කර ගත හැකිය. මේ වන්දනා ක්‍රමය ආචාර්යවරයන්ටත් පිරිස්වල ප්‍රධානීන්ටත් අනුශාසකයන්ටත් දේශපාලකයන්ටත් ප්‍රයෝජනවත්ය.