රෝග සුව කිරීමේ ශක්තිය ලැබීමට වෛද්‍යවරුන්ට වන්දනා ක්‍රමයක්

“අනේක කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහයා වෙත පතළා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සව්කෙලෙසුන් නසා සර්වඥපදප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසිකලෙක නූපදනා පරිදි සුව කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝ ය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්ත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සුව කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන්, සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර සෘද්ධිපාදයෝය, පඤ්චේන්ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්තබොධ්‍යංගයෝය, අෂ්ටමාර්ගාංගයෝය යන ධර්මෞෂධයන් ගෙන් සුව කරන සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්කංසික චතුරාර්ය සත්‍යය දේශනය නමැති අමා ඔසුවෙන් සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන්ගේ කෙලෙස් රෝග නැසූ සේක. දුක් ගිනි නැසූ සේක.

මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව් සතුන්ටම පිහිට වන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට නමස්කාර කරමි. මතු නූපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියළු දුක් ගිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණ යෙමි. මම ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියළු කෙලෙස් රෝග නසන්නා වූ සියළු දුක් නසන්නා වූ සපයර්යාප්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයට ද මාගේ නමස්කාරය වේවා!

ඒ සද්ධර්මසංඛ්‍යත ඖෂධරත්නය සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සන්සිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයට ද මාගේ නමස්කාරය වේවා!

මේ වන්දනා ක්‍රමය භාවිත කිරීමෙන් වෛද්‍යවරයන්ට විශේෂයෙන් වුවමනා අත් ගුණය නම් වූ රෝගව්‍යපශමන ශක්තිය ලැබිය හැකිය. දියුණු කරගත හැකි ය. සෑම උදයකම මේ වාක්‍ය කියා තෙරුවන් වැඳ මල් පහන් පුදා වෛද්‍ය කටයුතු ආරම්භ කරන වෛද්‍යවරයා ඒකාන්තයෙන් දියුණුවට පැමිණෙනු ඇත.