අප බුදුහු පාරමිතා බලයෙන් සුව විඳ ලද බෝධිසම්භාර පූජා කථා නම් කවරහ? යත්;
අප බුදුහු පමා බුදු ව[1] දහම් දෙසමි යි සමතිස් පෙරුම් පුරා ලොවුතුරා බුදු වූ සේක. සහම්පතී මහාබ්‍රහ්මයාගේ ආරාධනයෙන්ම දහම් දෙසූ සේක. ඇවැත් අනඳමහතෙරුන්වහන්සේ වැනි ධර්‍මභාණ්ඩාගාරිකයෝ පවා මහසුප් ස්ථවිරයන් හා පන්සියයක් [2]මහරහතුන්ගේ ආයාචනයෙන්ම ධර්මසඞ්ගායනා කළහ. යස නම් මහා ස්ථවිරයන් වැනියෝ පවා කාලාශෝක නම් වු මහරජහුගේ ආරාධනයෙන් ම දෙවන ධර්මසඞ්ගායනාව කළහ. බ්‍රහ්ම ලොකාගත මොග්ගලීපුත්තතිස්ස මහාස්ථවිරයන් වැනියෝ පවා ධර්මාශොක රජහුගේ ආරාධනයෙන්ම තෘතීය සඞ්ගායනා - ධර්මසඞ්ගණිකාදීන් ධර්‍මසඞ්ග්‍රහ කළහ. විසුද්ධ වූ බුද්ධීන් ප්‍රසිද්ධ වූ බුද්ධදත්ත නම් මහා අර්ථකථාචාරීන් වැනියෝ පවා වනවීනිස, බුද්ධවංශ, අභිධර්මාර්ථ සංග්‍රහ අර්ථ කථා සංඛ්‍යාත වූ ධර්මකථා උපදවන්නාහු සුමති නම් මහතෙරකෙනෙකුන් හා කණ්හදාසනම් අමාත්‍යයාගේ ආරාධනායෙන් ම කළහ. ප්‍රබුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ වූ බුද්ධඝෝෂාචාරීන් වැනි විශුද්ධිඥන ලදුවෝ පවා සමන්තපාසාදිකා, අර්ථසාලිනී, සම්මොහවිනොදනී, සුත්තක, සුමඞ්ගලවිලාසිනී, ප්‍රපඤ්චසූදනී, සාරාර්ථප්‍රකාශිනි, මනෝරථපූරණී, සද්ධර්මජොතිකා යනාදී නොයෙක් අර්ථ කථාවන් උපදවන්නාහු - ශ්‍රීනිවාස නම් රජහු හා මහානිගම නම් අමාත්‍යයානන්ගේ ආරාධනයෙන්ම කළහ. වජ්‍රඥන ඇති හෙයින් විදුරු නම් ලද සැරියුත් මාහිමියන් වැනි එකශ්‍රැති බුද්ධපුත්‍රයෝ පවා සාරාර්ථදීපනී නම් වූ විනයටීකාර්ථකථාව ලක්‍ෂයක් ග්‍රන්ථ සංඛ්‍යාවෙකින් යුක්ත වූ ධර්මසංග්‍රහ කථා උපදවන්නාහු මහලුපරාක්‍රමබාහු නම් නරපතිහුගේ ආරාධනයෙන් ම කළහ.