3. විවරණ මඟුල් පූජා

star_outline

තව ද අප බුදුන් හැම බුදුන්ගෙන් නො වරදවා සාමාන්‍ය ධර්‍ම යෙන් ලද විවරණ මඟුල් පූජා නම් කවරහු? යත්;

ඒ දිවකුරු බුදුන් පටන් බුද්ධ ශූන්‍ය වූ අසඞ්ඛ්‍ය කප් ගිය කල සාර නම් කපෙක කොණ්ඩඤ්ඤ නම් බුදුරජානෝ, රම්‍යවතී නම් නුවර සුනන්‍ද නම් රජහුගේ සුජාතා නම් බිසවුන් කුසින් දසදහසක් සක්වළ දෙව් බඹ පිරිස් මැද සරත් වලාකඩෙකින් නිකුත් පුන්සඳ මඬලක් සේ බිහිව වැඩි තුන් ලක්‍ෂයක් සුරඟනන් පිරිවරා, දසදහසක් හවුරුදු රජසිරි විඳ රුචි නම් අගබිසවුන් විජිතසේන නම් පුත් රුවන වැදූ දා රථයානින් වැඩ දසකෙළක් ඇමතියන් හා සමග පැවිදිවැ දසමසක් දුෂ්කරක්‍රියා පුරා යසෝධරා නම් සිටුදුව දුන් මීකිරිපිඬු වළඳා, අටපනස්රියන් විදුරස්නේ සල්සිරිබෝ පිට දී වැඩ හිඳ බුදුසිරි ලදින් සසුන් නමැති ගුවනෙහි හිරු සඳු සේ ප්‍රසිද්ධ වූ භද්‍ර ය - සුභද්‍ර ය යන අගසව්වන් දෙදෙනා හා සමග කෙළ ලක්‍ෂයක් මහසව්වන් පිරිවරා ශීලාදියෙන් සමෘද්ධ වූ අනුරුද්ධ නම් මහතෙර කෙනෙකුන් අතින් අත්පා මෙහෙ විඳ, අට අසූරියන් බුදුබඳෙකින් හවුරුදු ලක්‍ෂයක් ආසිරි ලදින් වැඩහිඳ මුළුලොව එක් නිවන් පිඩක් සේ කරන සේක. එ කල අප බෝසතාණෝ විජිතාවි නම් චක්‍රවර්ති රජ ව, වෙහෙරක් කරවා කෙළලක්‍ෂයක් රහතුන් සමග බුදුන්ට තුන් මසක් අසදෘශ මහදන් දී ඒ කොණ්ඩඤ්ඤ නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් සක්විති රජ ය හැර මහණව, එ දවස් දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ දෙවන වූ විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එයින් බුදුන් නැති ව ම අසංඛ්‍යයක් ශුන්‍යකප් ගිය, සාරමණ්ඩ නම් කපෙක මඞ්ගලය, සුමනය, රේවතය, සෝභිතය යන බුදුවරුන් සතරදෙනෙක් පහළ වූ හ. ඉන් මඞ්ගල නම් බුදුහු උත්තරා නම් නුවර උතුරු නම් රජහුගේ උතුරු නම් බිසවුන් කුස පිළිසිඳ, එතැන් පටන් දරුගැබ් සෝභාවෙන් අසූරියන් ගෙයි අඳුරු දුරුකොට දසමසක් වැස, දෙව්බඹ පිරිස් මැද ලහිරුමඬලක්සේ බිහිව ක්‍රමයෙන් වැඩී, දෙවඟනන් වැනි වරඟනන් තිස්දහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි වළඳා යසවතී නම් දේවීන් සීලව නම් පුත්රුවන වැදූ දා වර තුරග යානාවෙකින් වැඩ තිස්කෙළක් සෙනග හා සමග එක දා මහණ ව අටමසක් දුෂ්කර ක්‍රියා පුරා උතුරු නම් සිටුදුව දුන් පිවිතුරු කිරිපිඬු වළඳා සවස අටපනස්රියන් විදුරසුන් අරා නාසිරිබෝ පිට දී වැඩ හිඳ සව් කෙලෙසුන් නසා බුදුව තමන්වහන්සේ පෙර බෝධිසත්‍ව සමයෙහි දන් දුන් දරු දෙදෙනා හුණකිළිල් සේ මුරු මුරුයා කකා, දෙක පොළයෙන් නිකුත් රුධිර ධාරාවන් වගුරුව වගුරුවා කට දල්වා පෑල කරදළ නම් ඒ දරුණු යකු දැක ද, සිත නො කළඹා කළ පැතුම් බලයෙන් හා, තව ද - සිටුපුතක් ව සියලඟ තෙල්කඩ සිසාරා පහන් දල්වා තුන්යම් රෑ එක් බුදුකෙනෙකුන්ගේ ධාතු සෑයක් වටා දිවි දී පුදකළ පහන් බෙලෙන් තෙසු බුදුන් වඩා සියලඟින් නිකුත් රැස්කඳින් දසදහසක් සක්වළ දිවාරාත්‍රියෙහි බබුලුවා හිරුසඳ රස් වළක්වා සසුන් නමැති ආකාශයෙහි ගුරු සිකුරු තරු වැනි වූ සුදේව ය, ධර්‍මසේන ය යන අගසවු දෙදනො සමග කෙළ ලක්‍ෂයක් මහරහතුන් පිරිවරා, අවාලිත වූ පාලිත නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අටාසූරියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු බුදුසිරි වළඳා මුළුලොව බබුලුවා නිවන්රස දෙන සේක. එ කල අප මහබෝධිසත්‍වයෝ සුරුචී නම් බමුණු ව කෙළ ලක්‍ෂයක් රහතුන් සමග බුදුන් පවරා ගෙනවුත් සක්දෙව් රජහු මවා දුන් අටසාළිස් ගවු සත් රුවන් මණ්ඩපයක වඩා හිඳුවා පැන් නො වැකු කිරිබතින් අසදෘශ මහදන් සත්දවසක් දී පසුවදා බුදුන්ට අනගි පිරිකරක් හා, කෙළලක්‍ෂයක් රහතුන්ට කෙළලක්‍ෂයක් අට පිරිකර දෙනුවෝ පෙළග හුන් නමට පස්සෙහි පිරිකර ඝනරන් දහසක් අගනාකොට දී ඒ මගුලේ මඟුල් නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ තුන්වන වූ විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එ ම කප දෙවන අන්තර කල්පයෙහි, සුමන නම් බුදුහු මෙඛලා නම් නුවර සුදත්ත නම් රජහුගේ සිරිමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමසක් වැස තුන්ලෝ තිලකයක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී සුරඟනන් වැනි පුරඟනන් තෙසැට දහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි විඳ වටංසකා නම් බිසවුන් නිරූපම වූ අනූපම නම් පුත්රුවන වැදූ දා මගුලැත්යානින් මහබිනික්මන් කොට එක දා තිස් කෙළක් දෙනා හා සමග මහණ ව දසමසක් දුෂ්කරක්‍රියා කොට අනූපම නම් සිටුදුව දුන් නිරූදක වූ කිරිපිඬු වළඳා, තිස්රියන් විදුරසුන් අරා, නාසිරිබෝ පිට දී වැඩහිඳ, පස්මරුන් බිඳ, බුදුව සසුන් නමැති කල්පද්‍රැමයෙහි ජාත ශාඛා යුග්මයක් වැනි සරණය, භාවිතත්තය යන අගසවු දෙදනො සමග කෙළලක්‍ෂයක් මහසව්වන් පිරිවරා පිදේනී වූ උදේනි නම් මහතෙර කෙනෙකුන් අතින් අත්පා මෙහෙ විඳ අනූරියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා ලෝවැඩ කරන සේක. එ කල අප මහාබෝධිසත්‍වයෝ අතුල නම් දිව්‍යනාගරාජයන් ව නේ සුවහස් දිව නයින් පිරිවරා අවුදින් බුදුන් හා සමග කෙළලක්‍ෂයක් මහරහතන් පිරිවරා දිවබත් වළඳවා, කෙළලක්‍ෂයක් දිවසළු පුදා, දිව්‍ය පූජායෙන් සුමනකොට, ඒ සුමන නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින්, එ දා දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සතරවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එම කප තුන්වන අන්තර කල්පයෙහි රේවත නම් බුදුරජාණෝ සුධඤ්ඤවතී නුවර විපුල නම් රජහුගේ විපුලා නම් අගබිසවුන් කුසින් චිත්‍රකූට පර්‍වතයෙන් බස්නා ස්වර්‍ණහංසරාජයක්හු සේ බිහි ව පෙර’ඩමස සඳ සේ වැඩී සුරලියන් වැනි වරලියන් තෙතිස් දහසක් පිරිවරා, දසදහසක් හවුරුදු රජය කොට සුනන්දා නම් දේවීන් තමන් හා එක් වැනි වූ වරුණ නම් පුත්රුවන වැදූ දා රථ යානාවකින් නික්ම කෙළක් පිරිස් සමග එක් දා මහණ ව, සත්මසක් පධන් සැරිසරා සාධ්‍රදේවීය දුන් කිරිබත් වළඳා, තෙපණස් රියන් විදුරසුන් අරා නාගශ්‍රී බෝධියට පිට දී වැඩහිඳ, කෙලෙසුන් නසා බුදු ව සසුන් නමැති ගුවනෙහි නැඟූ ජය කේතු යුග්මයක් වැනි වරුණය, බ්‍රහ්මදේවය යන අගසව්වන් දෙදෙනා සමග කෝටියක් පමණ මහසව්වන් පිරිවරා ගුණ විභව සම්භව නම් මහතෙර කෙනෙකුන් අතින් නිති මෙහෙ ගෙණ අසූරියන් බුදුබඳෙකින් දිලියෙමින් ව්‍යාම ප්‍රභාමණ්ඩලයකින් සතර ගව්වක් තැන් දිවා රෑ බබුලුවා සැටදහසක් හවුරුදු ආසිරි වළඳමින් සවුසතුන් නිවන් පුර පුරා වැඩවසන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයාණෝ අතිදේව නම් බ්‍රාහ්මණ ව සිවු වේදය ගෙවා දැන මහා පණ්ඩිත ව ඒ බුදුන් කරා ගොස් දෙතිස් ලකුණු දුටු සතුටින් දහසක් වටනා උතුරු සළුවෙන් පුදා බුදුන් බල බලා සිටි පිය නොසොල්වා සිට, විසිතුරු සිලෝ දහසක් බැඳ බුදුගුණ කියා; ඒ රේවත නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එ තැන රැස් වූ දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ පස්වන වූ විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එම කප සතරවන අන්තර කල්පයෙහි සෝභිත නම් බුදුරජාණෝ සුධර්‍මා නම් නුවර සුධර්‍ම නම් රජුහුගේ සුධර්‍මා නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් අයාමෙන් මහ මේ ගැබෙකින් නිකුත් පුන්සඳ මඬලක් සේ බිහි ව කුමාරශ්‍රීන් වැඩී දෙවඟනන් වැනි වරඟනන් සැත්තෑදහසක් පිරිවරා දසදහසක් හවුරුදු රජසිරි විඳ මඛිලා නම් බිසවුන් සිංහ නම් පුත්රුවන වැදූ දා තමන් රජසිරි විඳිමින් රන් පායෙහිදී ම පැවිදි ව එම දා ම චතුර්‍ථධ්‍යාන උපදවා සත් දවසක් එ ම ගෙහි පධන් සැරිසරා වෙසඟ මැදි පොහොදා ඒ මඛිලා නම් අග බිසවුන් පිස දුන් මී කිරිබත් වළඳා මහබිනික්මන් කෙරෙමි යි සිතූකෙණෙහි කුසල් බෙලෙන් එම රන්පාය පොළොවින් අහසට නැගී සිවුරඟ සෙනඟ සමග පුන්සඳ මඬලක් සේ ගොස් බෝමැඩ වටා බෝගෙයක් සේ පිහිටි කල්හි අදහස් දත් වරඟනන් පායෙන් බැස සිවුරඟ සෙන් හා උන් සමග නුවර ගිය කල්හි රජසිරි උන් සිංහාසනාරූඪ ව නාගබෝධි ය පිට ලා වැඩ හිඳ කෙලෙසුන් නසා බුදුව සසුන් නමැති මහාසිරසියෙහි පැනනැගී පද්ම යුග්මයක් වැනි වූ අසමය, සුනෙත්‍රය සහ අගසව්වන් දෙදෙනා සමග තිස්කෙළක් පමණ මහරහතන් පිරිවරා ගුණානන්‍ද වූ ආනන්‍ද නම් මහාස්ථවිරකෙනෙකුන් අතින් උපස්ථාන ලදින්, අටපනස් රියන් බුදුබඳෙකින් අනූ දහසක් හවුරුදු ආසිරි වළඳා බුදුසිරි විඳිසේක. එ කල අප මහාබෝසතාණෝ සුජාත නම් බමුණු ව බුදුන් දැක බණ අසා සතුටු ව බුදුපාමොක් සඟපිරිසට තුන්මසක් දන් දී ඒ සෝභිත නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එ කෙණෙහි දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සවන විවරණ පූජාව ලත් සේක.

එතැන් පටන් බුද්ධශූන්‍යව අසඞ්ඛ්‍යයක් කප් ගියකල වර නම් කල්පයෙක් වි ය. එහි අනෝමදස්සි ය, පදුම ය, නාරද ය යන මුනි උතුමෝ තුන්දෙනෙක් උපන්හ. එයින් අනෝමදස්සි නම් බුදුරජාණෝ සඳවත් නම් නුවර සඳවත් නම් රජහුගේ යසෝධරා නම් දේවීන් කුස පිළිසිඳගත් තැන් පටන් මෑණියන් ඇඟින් නිකුත් ප්‍රභාවෙන් අසූරියන් ගෙයි පහන් නොනංවා දෑරඟ මිණිරුවණක් සේ වැස දසමස් ඇවෑමෙන් බාලාර්‍කමණ්ඩලය සේ, බිහිව ක්‍රමයෙන් වැඩී දිව්‍යස්ත්‍රීන් බඳු පුරස්ත්‍රීන් දසදහසක් පිරිවරා දස දහසක් හවුරුදු රජ සිරි විඳ සිරිමා නම් අගබිසවුන් උපවාන නම් පුත්රුවන වැදූ දා රන්සිවිගෙයකින් වැඩ තිස්කෙළක් අගමැතියන් හා සමග පැවිදි ව දසමසක් වීර්‍ය්‍යකොට අනූපමා නම් සිටුදුව දුන් කිරිපිඬු වළඳා අටතිස් රියන් විදුරසුන් අරා මහකුඹුක් සිරිබෝ පිට ලා වැඩහිඳ මරසෙන් බිඳ බුදුව සසුන් නමැති මහරන්පව්වෙහි ජාත රන්කුළු සඟළක් වැනි වූ නිසභය, අනෝමය යන අගසවු දෙදෙනා සමග තිස් කෙළක් මහරහතුන් පිරිවරා සරණ වූ වරුණ නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අටපනස් රියන් බඳු බඳෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා එකල; සරද තාපස සිරිවඩ්ඪන නම් දැන් අපගේ සැරියුත් මුගලන් යන දෙදෙනාවහන්සේට අගසවු ප්‍රාර්‍ථනා ද දී බොහෝ සතුන් නිවන් පුරයෙහි පුරා වැඩවසන සේක. එ කල අප මහබෝසතාණෝ මහේශාක්‍ය යක්‍ෂරාජන්ව ඉපද නේ සුවහස් යක්සෙන් පිරිවරා අවුදින් සත්රුවන් මණ්ඩපයක් මවා බුදුපාමොක් මහසඟනට සත්දවසක් දිව්‍යාහාර දන් දී ඒ අනෝමදස්සී නම් බුදුන් අතින් ද අනෝම වූ විවරණ ශ්‍රී ලදින් එ සඳ දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ සත්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි පදුම නම් ස්වාමිදරුවාණෝ චම්පා නම් නුවර අසම නම් රජුගේ අසමා නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දඹදිව්තෙලෙහි පියුම්වැසි වස්වා දෙවි බඹ කැලන් මැද බිහි ව දෙව්කුමරකු සේ වැඩී තෙතිස් දහසක් වරඟනන් පිරිවරා දසදහසක් හවුරුදු රජ කොට උතුරු නම් බිසවුන් රම්‍ය නම් පුත්කුමරුවා ලත් දා රථයානාවකින් වැඩ සියක් ලක්‍ෂයක් ඇමැතියන් හා සමග එක දා මහණ ව අටමසක් දුෂ්කරක්‍රියා පුරා ධනවතී නම් සිටුදුව දුන් මීකිරි පිඬු වළඳා සවස බෝමැඩව වැඩ අටතිස් රියන් විදුරසුන් අරා වෙණුසිරිබෝ පිට දී වැඩ හිඳ සව් කෙළෙසුන් නසා බුදු ව සසුන් නමැති මහරත්පියුමෙහි ජාත රත්පෙති සඟළක් වැනි සාලය, උපසාලය යන අගසවු දෙදෙනා සමග කෙළක් පමණ මහරහතන් පිරිවරා සරණ වූ වරුණ නම් ස්ථවිර කෙනෙකුන් විසින් කරන ලද අත් පා මෙහෙ ඇති ව අටපනස් රියන් බුදු බඳෙකින් සවුරුදු ලක්‍ෂයක් වැඩහිඳ දහම් වැසි වස්වන සේක. එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්‍වයෝ සිංහරාජන් ව ඉපද සත්දවසක් ධ්‍යාන සුවයෙන් වන මැද වැඩහුන් බුදුන් දැක තුන් යළක් පැදකුණුකොට, තුන් යළක් ප්‍රීතීන් සිංහනාද පවත්වා මතු තමන් අනිමිසලෝචන පූජාවට කරන සරඹයක් සේ ගොදුරු නොකා නොසැලී ඇස නො මරා සත්දවසක් බුදුන් බලා දිවි පුදා සිටි දෑ ය. බුදුහු ධ්‍යාන සුවයෙන් නැගී බුදුකුරුදම් විසී කළ ඒ සීරජු දැක සිතන්නා හා සමග වැඩ සිසාරා සිට ගත් ශ්‍රාවකගණයා මැද, “මහණෙනි! මේ සිංහරාජයන් මට දිවි පුදා හුන් කුසලින් මතු ගෞතම නම් බුදු ව මා සේ ම ලෝ වැඩ කෙරෙයි වදාළ සේක. මෙසේ ඒ පදුම නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ අටවන විවරණ පූජාව ලත් සේක.

තව ද එම කප තුන්වන අන්තරකල්පයෙහි, නාරද නම් බුදුරජාණෝ සුධඤ්ඤවතී නම් නුවර සුදෙව් නම් රජහුගේ අනූපමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දඹදිව දොර දොර කප්රුක් නංවා බඹලොවින් බස්නා බඹකුමරෙකු සේ බිහි ව කුමරසිරින් වැඩි පුරඟනන් එක්ලක්‍ෂ විසිදහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි වළඳා විජිතසේනා නම් අගබිසවුන් නන්‍දුත්තර නම් පුත්රුවන වැදූ දා, සිවුරඟසෙන් සමග සිරිපතුල් යානින් මගුල් උයන් වැඩ මගුල්සලවට වැඩ හිඳ, ලක්‍ෂයක් ඇමතියන් හා සමග පැවිදි ව එම උයන සත්දවසක් පධන් සැරිසරා අගබිසවුන් පිසදුන් මීකිරිබත් වළඳා එම උයනෙහිදී ම අටපනස්රියන් විදුරසුන් අරා මහාසොණ නම් සිරිබෝකඳ පිට දී සව්නේ ගෙවා දැන බුදු ව සසුන් නමැති ගුවනෙහි දෙව්දුනු දෙකක් වැනි වූ, භද්‍රසාල ය, සුනේත්‍ර ය යි යන අගසවු දෙදෙනා සමග ලක්‍ෂයක් පමණ මහරහතන් පිරිවරා ශිෂ්ට වූ වාශිෂ්ට නම් මහතෙර කෙනෙකුන් අතින් නිති මෙහෙලදින් අට අසූරියන් බුදුබඳින් දිලිසෙන බ්‍යාමප්‍රභාමණ්ඩලයෙන් යොදනක් තැන් දසදිග බබුළුවා අනූදහසක් හවුරුදු ආසිරි වළඳා ද්‍රොණමුඛ නම් නාගරාජයා ආදී වූ බොහෝ සතුන් දමා නිවන්පුර පුරා වසන සේක. එ කල අප මහබෝසතාණෝ උග්‍ර වූ තපස් ඇති ව ධ්‍යානලාභී ව වෙනෙහි වසන දෑ අසූකෙළක් රහතන් හා අනාගාමී උපාසක දහදහසක් සමග පන්සලට වැඩ බුදුන් දැක පැහැද බුදුපාමොක් සඟපිරිසට විසිතුරු කොට පන්සල් මවා සතපා රෑ බණ අසා උදය උතුරුකුරුදිව වැඩ දිව බත් ගෙනවුත් වළඳවා, මෙසේ සත්දවස සතපා පසුවදා අනගි රත්සඳුන්හරක් බුදුන් පෙරට පුදා ඒ නාරද නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ නවවන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තව ද මොහාන්‍ධකාරයෙන් ලොව ඒකාන්‍ධකාරව අසංඛ්‍යයක් කප් බුද්ධ ශූන්‍ය ව ගිය කල අපගේ මේ භද්‍රකල්පයට ලක්‍ෂයක් වන සාර නම් කල්පයෙහි සාරවූ ගුණ ඇති, පියුමතුරා නම් බුදුරජාණෝ හංසවතී නම් නුවර ආනන්‍ද නම් රජහුගේ සුජාතා නම් අගබිසවුන් කුස පිළිසිඳ ලොව පියුම් වැසි වස්වා මහාබ්‍රහ්මයා අත රන්දැලට බ්‍රහ්මකුමාරයකු සේ බිහි ව ක්‍රමයෙන් වැඩී ලක්‍ෂයක් නාටක ස්ත්‍රීන් පිරිවරා දසදහසක් හවුරුදු දසරජදම් පුරා වාසුදත්තා නම් අගබිසවුන් අනුත්තර වූ උත්තර නම් පුත් රුවන වැදූ දා මහබිනික්මන් කෙරෙමි යි සිතූ කෙණෙහි පින් බෙලෙන් අහසට පැන නැංගා වූ රන් මාලිගාවෙන් සිවුරගසෙනග සමග වැඩ බෝ මැඩ කරා බැස නැවත එම මාලිගාවට ගොස් සිය නුවර පිහිටා ගිය කල ස්ත්‍රීන් හැර හැම සෙන් සමග මහණ ව සත් දවසක් ප්‍රධන් සැරිසරා වෙසඟමැදි පොහෝදා රුචිනන්දා නම් සිටුදුව දුන් මී කිරිබත් වළඳා අටතිස්රියන් විදුරසුන් අරා, සළල සිරිබෝ පිට දී වැඩ හිඳ කෙලෙසුන් නසා බුදු ව උද්දාන පවත්වා සත්දවසක් බුද්ධාසනයෙහි වැඩහිඳ සත්වෙනිදා දක්‍ෂිණ ශ්‍රීපාදය පොළොවට දිගුකොට වදාළ සේක. එ කෙණෙහි අනූරියන් දිග මහ පෙති ඇති, තිස්රියන් දිග කෙසුරු ඇති, දොළොස් රියන් කෙමි ඇති, මහපියුමක් පොළොව පලා පැනනැගී, ශ්‍රී පාදය පිළිගත. වාම ශ්‍රීපාදය ඔසවා වදාළ සේක. එසේ ම මහපියුමෙක් පැන නැගි ඒ ශ්‍රීපාදයද පිළිගත. මෙසේ බුදුහු දොළොස්රියන් පියුම කෙමියෙහි එකොළොස්රියන් ශ්‍රීපාදය තබ තබා වඩනා සේක්, නැගු නැගූ පත්ලෙහි පියුම් අන්තර්‍ධාන වෙයි. දිගුකළ කළ පත්ලෙහි පියුම් පෙනෙයි. මෙසේ ඒ පියුම්වල නවතිඹක් පමණ රොන් අහසට පැන නැගී අටපනස්රියන් බුද්ධකාය රන් පර්‍වතයෙක ලාක්‍ෂාරස ඉස්නා සේ තවරමින් බසියි. ඉක්බිත්තෙන් බුදුන්ගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් කඳෙක් දිව අවට දොළොස් යොදුනෙහි පැතිර දිවා රාත්‍රියෙහි වෙනසක් නො දක්වා සිටගත. මෙසේ ඒ බුදුන් මවුකුසින් බිහිවූ වේලෙහි ද බුදු වූ වේලෙහි ද දසදහසක් සක්වළ පියුම් වැසි වැසපී ය. දිවි පමණින් ම නැගු නැගු පත්ලෙහි පියුම් නැගෙයි. එසේ හෙයින් ඒ බුදුහු පියුමතුරා නම් සේක. ඒ පියුමතුරා නම් ස්වාමිදරුවෝ සසුන් නමැති කනක ප්‍රාසාදයෙහි මැවුනු රුවන් ටැම් සඟළක් වැනි වූ දේවල ය සූජාත ය යන අගසව්වන් දෙදෙනා සමග සැත්තෑ ලක්‍ෂයක් මහරහතන් පිරිවරා සුමන වූ සුමන නම් මහතෙර කෙනෙකුන් අතින් අත්පා මෙහෙ විඳ දොළොස් යොදනක පැතිරෙන බ්‍යාමප්‍රභාමණ්ඩල ඇති ව අටපනස් රියන් බුදුබඳෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා අප බුදුන්ගේ අසූමහසව්වන්ට ද විවරණ දී, දේශනාරශ්මීන් විනෙය කුමුදුවන පුබුදු වන සේක. එ කල්හි අප මහ බෝසතාණෝ කෝටි ගණන් ධන ඇති ජටිල නම් මහරැටි ව බුදුපාමොක් මහසඟනට හා සිවුරු පිරිකර දී ඒ පියුමතුරා නම් බුදුන් අතින් ද සිතු උතුරුවා විවරණ ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ දසවන විවරණ මඟුල් පූජාව ලත්සේක.

මෙසේ සිටි ලක්‍ෂයක් කපින් සැත්තෑ දහසක් කප් බුද්ධ ශූන්‍ය ව ගිය කල මෙයට තිස්දහසක්වන සාරමණ්ඩ නම් කල්පයෙහි සුමෙධ ය - සුජාත ය යන සර්‍වඥවරයෝ දෙදෙනෙක් උපන්හ. ඉන් සුමේධ නම් බුදුරජාණෝ සුදර්‍ශන නම් නුවර සුදත්ත නම් රජුහුගේ සුදන්තා නම් අගබිසවුන් කුසින් මේඝමුඛයෙන් නික්මුනා වූ සඳමඬලක් සේ බිහිව ක්‍රමයෙන් වැඩී දෙවඟනන් බඳු වරඟනන් අටසාළිස් දහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි විඳ සුමනා නම් බිසවුන් පුනර්බසුමිත්‍ර නම් පුත්රුවන වැදූ දා ඇත්යානෙකින් වැඩ කෙළ සියයක් පුරුෂයන් හා සමග මහණව අටමසක් දුෂ්කර ක්‍රියා පුරා නකුලා නම් සිටුදුව දුන් කිරිපිඬු වළඳා විසිරියන් තණපළඟ පිට නීප සිරිබෝ පිට දී සිවුරග ඉටා වැඩහිඳ මුළුලොව සදා බුදු ව සසුන් නැමැති මහසරසියෙහි පැන නැගී දෑරඟමිණිරුවන් සඟළක් වැනි වූ සරණ ය, සම්බකාම ය යන අගසව් දෙදෙනා සමග කෙළ සියයක් පමණ මහරහතන් පිරිවරා සාගරය සේ ගුණ ඇති වූ සාගර නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ සියලඟ රසින් යොදනක් තැන් දව රෑ බබුළුවා අටාසූරියන් උස බුද්ධ කායෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා වැඩහිඳ, තමන් වහන්සේට කිපී පර්‍වතයක් සා හිසක් මවා, හිරුමඬල සා ඇස් මවා ගල්ගුහාවක් සේ කට දල්වා, කමි යි දිවූ කුම්භකර්‍ණ නම් යක්‍ෂයා ආදීවූ බොහෝ සත්‍වයන් අමාමහනිවන් පමුණුවා වසනසේක. එකල අප මහබෝසතාණෝ උත්තර නම් මානවක ව අසූ කෙළක් ධනය එක දා විසඳා බුදුපාමොක් මහසඟනට මහදන් දී එම දා පැවිදි ව ඒ සුමේධ නම් බුදුන් අතින් ද, සුමේධ වූ විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ එකොළොස් වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තර කල්පයෙහි සුජාත නම් බුදුරජාණෝ-සුමඞ්ගල නම් නුවර උග්ගත නම් රජහුගේ ප්‍රභාවතී නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා මිණිගුහායෙකින් නිකුත් කේශර සිංහරාජයකු සේ බිහිව ක්‍රමයෙන් වැඩී තෙවිසිදහසක් පුරඟනන් පිරිවරා නවදහසක් හවුරුදු රාජ්‍යශ්‍රී විඳ ශ්‍රීනන්‍දා නම් දේවීන් උපසේන නම් පුත්රුවන වැදූදා වර තුරඟයානින් මහභිනික්මන්කොට එක්දා සීයක් ලක්‍ෂයක් ඇමතියන් හා සමග මහණ ව නවමසක් දුෂ්කරක්‍රියා පුරා ශ්‍රීනන්‍දා නම් සිටුදුව දුන් කිරිපිඬු වළඳා දෙතිස්රියන් තණපළඟපිට හුනගසක් පිට ලා වැඩහිඳ මරසෙන් බිඳ බුදු ව සසුන් නමැති ගුවනෙහි නැගු ධ්වජමාලාවක් වැනි වූ, සුදර්‍ශනය, සුදෙව ය යන අග්‍රශ්‍රාවක දෙදෙනා සමග සියක් ලක්‍ෂයක් මහරහතන් පිරිවරා, ගුණයෙන් විසාරද වූ නාරද නම් මහතෙර කෙනෙක් අතින් අත් පා මෙහෙ විඳ පනස්රියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා මුළුලොව නිවන් පුර පුරා වැඩවසන සේක. එකල අප මහබෝසතාණෝ චක්‍රවර්ති රජ ව බුදුන් දුටු සතුටින් සක්විති රජ ය. පුදා මහණ ව ඒ සුජාත නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ දොළොස්වන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තුබූ තිස්දහසක් කපින් විසිනවදහස් අටසිය දෙයාසූකපක් බුද්ධ ශූන්‍ය ව ගියකල මෙයට එක්සිය අටළොස්වන වර නම් කල්පයෙහි පියදස්සී ය, අත්‍ථදස්සී ය, ධම්මදස්සී ය යන බුද්ධොත්පාද තුනෙක් වී ය. එයින් පියදස්සී නම් ස්වාමිදරුවාණෝ සුධඤ්ඤවතී නම් නුවර සුදත්ත නම් රජහුගේ චන්‍ද්‍රවතී නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දෙව් බඹ කැලන් මැද මුදුන් මල්කඩක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩි දෙතිස් දහසක් රන්ලියන් වැනි වරලියන් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි පුරා විමලා නම් අගබිසවුන් කඤ්චනවෙල නම් පුත්රුවන් වැදූ දා අශ්වයානයකින් නික්ම, සියක් ලක්‍ෂයක් හා සමග මහණව සමසක් වීර්‍ය්‍ය කොට වසභා නම් බැමිණිය දුන් මී කිරිපිඬු වළඳා තෙපනස්රියන් මිණිපළඟ පිට පුවඟුසිරිබෝ පිට ලා වැඩ හිඳ සව්නේ ගෙවා බුදුව බුදුසසුන් නමැති රන්කෙතෙහි ගත් රන්කරල් සඟළක් වැනි වූ පාලිත ය සබ්බදස්සිය යන අග්‍ර ශ්‍රාවක දෙදෙනා සමග සියක් ලක්‍ෂයක් මහරහතන් පිරිවරා සෝභිත වූ ගුණ ඇති සෝභිත නම් වූ මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අසූරියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා වැඩහිඳ අලව් යකු සේ දැඩි වූ සුදර්‍ශන නම් යක්‍ෂරාජයා ද, සෝණ නම් දේවදත්තයා මෙහෙයූ ද්‍රෝණමුඛ නම් හස්තිරාජයා ආදී වූ බොහෝ සතුන් ද දමා නිවන්සෙත් දී වැඩවසන සේක. එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්‍වයාණෝ කාශ්‍යප නම් බ්‍රාහ්මණ මානවක ව ත්‍රිවේදය දැන සධනී ව වසන්නාහු බුදුන් දැක සතුටු ව කෙළලක්‍ෂයක් ධන වියදන් කොට සඞ්ඝරාමයක් කරවා දන් දී ඒ පියදස්සී නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙවි බඹුන් කළ මේ තෙළෙස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි අත්‍ථදස්සි නම් බුදුරජාණෝ සෝභන නම් නුවර සාගර නම් නරපතිහුගේ සුදසුන් නම් අගබිසවුන් කුස පිළිසිඳ, දසමස් පුරා දෙව් බඹ පිරිස් මැද ගුවනින් බස්නා සත්රුවනක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී පුරස්ත්‍රීන් තිස්දහසක් පිරිවරා; දසදහසක් හවුරුදු රජකෙළි කෙළ විශාඛා නම් අගබිසවුන් සෙල නම් පුත්රුවන වැදූ දා අශ්වයානයෙන් රජ ය හැර ගොසින් එක් දා නවකෙළක් සෙන් සමග මහණ ව අටමසක් වීර්‍ය්‍යකොට සුවින්‍ධරා නම් නාගකන්‍යාව දුන් මධුපායාසය වළඳා සවස තෙපනස්රියන් විදුරසුන් නැගී සපු සිරිබෝ පිට ලා වැඩහිඳ බුදුසිරි ලදින් සසුන් නමැති මහාජම්බුවෘක්‍ෂ මූලයෙහි පැන නැගි ස්වර්‍ණාංකුර යුග්මයක් බඳු වූ ශාන්ත ය, උපශාන්ත ය යන අගසවු දෙදෙනා සමග නවකෙළක් පමණ මහරහතන් පිරිවරා ගුණගණ විභව අභය නම් මහතෙරකෙනෙකුන් අතින් අත්පා මෙහෙවිඳ අසූරියන් උස බුද්ධකායෙකින් යොදනක් තැන් දව රෑ සවණක් රසින් බබුළුවා හවුරුදු ලක්‍ෂයක් ආසිරිවළඳා තුන්ලොවට නගා ලූ ඒකප්‍රදීපයක් සේ දිලියෙන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයානෝ සුසිම නම් බ්‍රාහ්මණ මහාසාර ව සියලු සැපත් හැර වල් ගොස් පැවිදි ව ධ්‍යාන සුවයෙන් වසන දා බුදුන් කරා ගොස් බණ අසා සතුටු ව එකෙණෙහි ශක්‍රභවනයට නැගී මතැතෙකු දුටු කොබෝලීල අත්තක් සේ සියක් යොදුන් පරසතුරුක සලා පරසතු මල් ගෙනවුත් සියලු පර්‍ෂදට පෙනී “සාධු! මම ද මෙසේ ම බුදු ව දම් දෙසම්වා” යි අඞ්ගා මුළුසක්වළට වස්නා මහවැස්සක් සේ මල් වැසි වස්වා මහත් වූ මල් මඬුවක් මවා පරසතුමල් කූඩයක් බුදුන් සිරසට පුදා එදා ඒ අත්‍ථදස්සි නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි සතුටු ව දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ තුදුස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප තුන්වන අන්තරකල්පයෙහි ධම්මදස්සි නම් බුදුරජාණෝ සරණ නම් නුවර සරණ නම් නරේන්‍ද්‍රයාගේ සුනන්දා නම් අගබිසවුන් කුස මිණිරුවනක් සේ වැස වලාකඩෙකින් නිකුත් පුන් සඳමඬලක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී එක්ලක්‍ෂ විසිදහසක් වර යුවතීන් පිරිවරා අටදහසක් හවුරුදු රජදම් පුරා විචිකොලි නම් බිසව, පූර්‍ණවර්‍ධන නම් පුත්රුවන වැදූ දා, මැදයම් රෑ නාටක ස්ත්‍රීන්ගේ වික්‍රියා දැක වල් යෙමි යි සිතූ කෙනෙහි පින්බෙලෙන් වැඩහුන් රන්පහය පොළොවින් නැගී දෙවන හිරුමඬලක් සේ ගොස් බෝමැඩ කරා බට කල මහබඹහු දුන් අටපිරිකර දරා රන් පායෙන් බැස සිටිකල පුරස්ත්‍රීන් හා පිරිවර අඟනන් අඩගව්වක් තැන් ගොස් හුන් කල එම රන්පාය නැවත නැගී බොගෙයක් සේ බෝ මැඩ කරා ගොස් පිහිටි කල, කෙළලක්‍ෂයක් ඇමතිසෙන් සමග මහණව සත්දවසක් සැරිසරා එම අගබිසවුන් පිස දුන් මී කිරිබත් වළඳා තෙපනස් රියන් වජ්‍රාසනාරූඪ ව රත්කරව් සිරිබෝ පිටලා වැඩහිඳ තුන්ලෝතිලක වූ කෙලෙසුන් ගෙවා බුදු ව තමන්වහන්සේගේ ශ්‍රීපාද නමැති පද්මයෙහි වසන භෘඞ්ගරාජ යුග්මයක් වැනි වූ පදුම ය, ඵුස්සදේව ය යන අගසව් දෙදෙනා සමග කෙළලක්‍ෂයක් මහරහතන් පිරිවරා සුන්‍දර වූ නේත්‍ර ඇති සුනේත්‍ර නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අසූරියන් උස බුද්ධකායෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා මුළුලෝ දුකින් මුදා වැඩවසන සේක. එ කල අප මහබෝසතාණෝ ශක්‍රදේවේන්‍ද්‍රව ඉපැද දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුත් දිව සුවඳ මලින් පුදා ඒ ධම්මදස්සි නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ පසළොස්වන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තුබූ එක්සිය අටළොස්වන කපින් ශූන්‍ය කල්පයන් සූවිසි දෙනෙකු ගිය කල, මෙයට සිවු අනූවන සාර නම් කල්පයෙහි සිද්ධාර්ථ නම් බුදුරජාණකෙනෙක් වෙභාතික නම් නුවර උදේන නම් රජහුගේ සුඵස්සා නම් දේවීන් කුසින් සිතුමිණිරුවනක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී, අටසාළිස් දහසක් වරඟනන් පිරිවරා දස දහසක් හවුරුදු රජය කොට සෝමනස්සා නම් අගබිසවුන් නිරූපම වූ අනූපම නම් පුත්රුවන වැදූ දා රන්සිවිගෙන් මහබිනික්මන්කොට කෙළලක්‍ෂයක් සෙන් සමග මහණ ව දසමසක් දුෂ්කරින් දවස් යවා සුනේත්‍රා නම් බැමිණිය දුන් මධු පායාස ය වළඳා, සවස සතළිස්රියන් විදුරසුන් අරා කිණිහිරි සිරිබෝ පිට ලා වැඩහිඳ සව් කෙළෙසුන් නසා බුදු ව, සසුන් නමැති රුවන් ආකරයෙහි ජාතමිණිරුවන් සඟළක් වැනි වූ සම්බහුල ය, සුමිත්ත ය යන අගසව් දෙදෙනා සමග නව කෙළලක්‍ෂයක් රහතන් පිරිවරා නියත වූ රේවතී නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙවිඳ සැටරියන් උස බුද්ධකායෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා ලෝකාර්ථ සාදන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයාණෝ මඞ්ගල නම් තාපස ව බුදුන් දුටු සතුටින් සෘද්ධියෙන් ගොස් සාර සියයක් ගවු උස ඇති මහ දඹගස සලා මහ දියකල සා දඹ ගෙණවුත් නව කෙළලක්‍ෂයක් රහතන් හා සමග ඒ සිද්ධාර්ථ නම් බුදුන් වළඳවා සිද්ධාර්ථ වූ විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සොළොස් වන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තුබූ තෙයානූ කපින් අතුරෙහි එක් කපක් බුද්ධශූන්‍ය ව ගිය කල මෙයට දෙයානූවන මණ්ඩ නම් කල්පයෙහි තිස්ස ය, ඵුස්ස ය යන සර්‍වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහුය. එයින් තිස්ස නම් බුදුරජාණන් වහන්සේ, ඛේමා නම් නුවර ජනසන්‍දන නම් රජහුගේ පදුමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා සඳරැස් කලඹක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී, තෙතිස් දහසක් පුරඟනන් පිරිවරා සත්දහසක් හවුරුදු රජසිරි පුරා, සුභද්‍රා නම් අගබිසවුන් ලොකානන්‍ද වූ ආනන්‍ද නම් පුත්රුවන වැදූ දා, අශ්වයානාවක නැගී මහබිනික්මන්කොට සියක් ලක්‍ෂයක් හා සමග එක් දා මහණ ව අටමසක් කල් යවා වීරා නම් සිටුදුව දුන් මී කිරිබත් වළඳා අටසාළිස් රියන් විදුරසුන් නැගී පියා ගසක්මුල වැඩහිඳ කෙලෙසුන් නසා පියා බුදු ව සසුන් නමැති කල්පද්‍රැමයෙහි ජාත ශාඛායුග්මයක් වැනි වූ බ්‍රහ්මදෙවය, උදය ය යි යන අගසවු දෙදෙනා සමග සියක් ලක්‍ෂයක් මහරහතන් පිරිවරා අනගි වූ ගුණ ඇති සමග නම් මහ තෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ සැටරියන් ශ්‍රී ශරීරයෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා මොහඳුරු දුරුකරන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ සුජාත නම් තවුස් ව බුදුන් දැක බණ අසා සතුටු ව ශක්‍ර පුරයට ගොස් දිව උයන් වැස යොදුනක් සා රන්කරඬුවෙකින් දිවමල් පුරා ගෙනවුත් බුදුන් පෙරට පුදා විසිතුරු මහ පියුමක් ද බුදුන් සිරසට මල්කුඩයක් සේ පුදා එදා ඒ තිස්ස නම් බුදුන් අතින් ද බුදුවන්නට නිස්සේ ය යි විවරණශ්‍රී ලදින් එ සඳ දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සතළොස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි ඵුස්ස නම් බුදුරජාණෝ - කසී නම් නුවර ජයසේන නම් රජහුගේ සිරීමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දිව්‍යපුරයෙන් බස්නා දිවකුමරකු සේ බිහිව ක්‍රමයෙන් වැඩී තිස්දහසක් පුරඟනන් පිරිවරා දසදහසක් හවුරුදු රජසිරි විඳ කිසාගෝතමී නම් බිසවුන් නිරූපම වූ අනූපම නම්පුත්රුවන වැදූ දා මගුලැතුයානයෙන් වැඩ එක් දා ලක්‍ෂයක් ඇමතියන් හා සමග මහණව සමසක් දුෂ්කරක්‍රියා පුරා සිරිවඩ්ඪන නම් සිටුදුව දුන් මී කිරිපිඬු වළඳා අටතිස්රියන් විදුරසුන් නැගී මහ ඇඹලගසක් පිට දී වැඩහිඳ පස්මරුන් බිඳ බුදු ව සසුන් නමැති කනක ප්‍රාසාදයෙහි ජාත සිංහපඤ්ජරයුග්මයක් බඳු වූ සුරක්‍ෂිතය, ධම්මසේන ය යන අගසවු දෙදෙනා සමග කෙළක් පමණ මහසව්වන් පිරිවරා අභිය වූ සභිය නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අටපනස්රියන් බුදුබඳක් දරා අනූදහසක් හවුරුදු බුදුසිරි විඳ දේශනා රශ්මියෙන් විනෙයජන නමැති පද්මයන් ප්‍රබෝධකර වැඩවසන සේක. එකල අපගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ විජිතාවී නම් රජ ව, බුදුන්ට මහදන් දී රජය හැර මහණ ව තුන් පිටකය ධරා ධර්‍මකථික ව ප්‍රතිපත්ති පූජායෙන් පූජාකොට ඵුස්ස නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එ දා දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ අටළොස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

මීට එකානූවන සාර නම් කල්පයෙහි මහාවිපස්සි නම් බුදුහු බන්‍ධුමතී නම් නුවර බන්‍ධුමතී නම් රජහුගේ බන්‍ධුමතී නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දෙව් බඹ කැලන් මැද සරත් වළාකඩෙකින් නිකුත් පුන්සඳ සේ බිහි ව ක්‍රමයෙන් වැඩී එක්ලක්‍ෂ විසි දහසක් පුරඟනන් පිරිවරා අටදහසක් හවුරුදු ගිහිගෙයි වැස සුතනු නම් දේවීන් සමවත්කඳ නම් පුතනුවන් වැදූ දා රථයානයෙන් මහබිනික්මන්කොට සුවාසූදහසක් ඇමතියන් හා සමග එකදා මහණ ව අටමසක් දුෂ්කර ක්‍රියාකොට සූදසුන් නම් සිටුදුව දුන් මධුපායාසය වළඳා වෙසඟ මැදි පොහෝදා සවස තෙපනස්රියන් විදුරසුන් නැගී එවිගස පනස්රියන් කඳ ඇති ව, පනස්රියන් ශාඛා ඇතිව, සියක් රියන් උස ඇති ව, මුලපටන් අගදක්වා මලින් සැදී පැනනැගී, පලු සිරිබෝ පිටලා වැඩහිඳ කෙලෙසුන් නසා බුදුව බුද්ධශාසන නැමැති දිව්‍යපුරයෙහි ජාත රන්මාලිගා දෙකක් වැනි වූ බණ්ඩය, තිස්ස ය යන අගසව් දෙදෙනා සමග සුවාසූදහසක් මහසව්වන් පිරිවරා නිස්සොක වූ අසෝක නම් මහාතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අවට අට විසිගවුවක් තැන් බුදුරැස් කඳින් බබුලුවා අසූරියන් බුද්ධකායකින් අසූදහසක් හවුරුදු වැඩහිඳ ලෝවැඩ කරන සේක. එ කල අපගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ අතුල නම් දිව්‍යනාගරාජ ව කෙළ ගණන් දිවනයින් පිරිවරා බුදුන් දැක සතුටු ව සඳමඬලක් සා සත්රුවන් මණ්ඩපයක් මවා ලා බුදුපාමොක් සඟපිරිස සතපා සත්දවසක් දිව්‍යදානය දී මිණිරැසින් දිලියෙන්නා වූ අනගි මිණිපළඟක් පුදා ඒ මහාවිපස්සි නම් බුදුන් අතින් ද, බුද්ධප්‍රාර්‍ථනා ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ දසනවවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

එතැන් පටන් බුද්ධාලෝකයක් නැතිව ලොව මෝහාන්‍ධකාරව ශූන්‍ය කල්පයන් පනස්දෙනෙකුන් ගියකල මෙ යට එක් තිස්වන මණ්ඩ නම් කප සිඛිය, වෙස්සභූ ය යන බුද්ධදිවාකරයෝ දෙදෙනෙක් පහළ වූහ. ඉන් සිඛී නම් බුදුරජාණෝ අරුණවතී නම් නුවර අරුණවතී නම් රජහුගේ ප්‍රභාවතී නම් බිසවුන් කුස පිළිසිඳ චිත්‍රකූට පර්‍වතයෙන් බස්නා ජවනහංසරාජයක්හු සේ බිහි ව ක්‍රමයෙන් වැඩී සූවිසිදහසක් පුරඟනන් පිරිවරා සත්දහසක් හවුරුදු රජකෙළි කෙළ සබ්බකාම නම් බිසවුන් සිරිවිපුල අතුල නම් පුත්රුවන වැදූ දා ඇත්කඳ අරා වැඩ සැත්තෑදහසක් ඇමතියන් හා සමග මහණ ව අටමසක් දුෂ්කරක්‍රියා පුරා ප්‍රියදර්ශන නම් සිටුදුව දුන් මී කිරි බත වළඳා සූවිසි රියන් විදුරසුන් අරා එකෙණෙහි සියක්රියන් උසට පැන නැගී ඇටඹ සිරිබෝ පිට දී වැඩහිඳ, නිවන් දහම් පසක් කොට බුදුව බුද්ධශාසන ශ්‍රී නගරයෙහි ජාත ජයකේතු යුග්මයක් බඳු වූ අභිභූ ය, සම්භව ය යන අගසවු දෙදෙනා සමග සැත්තෑදහසක් පමණ මහසවුවන් පිරිවරා තමන් කෙරෙහි පෙම්කර වූ කෙම්කර නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙවිඳ සියලඟ රැසින් දොළොස්ගව්වක් අවට දව රෑ බබුළුවා සැත්තෑරියන් උස බුදුබඳකින්, සැත්තෑ දහසක් හවුරුදු ආසිරි වළඳා, ලෝකාර්‍ථ සාදන සේක. එ කල අපගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ අරින්‍දම නම් රජ ව බුදුන් සඟුන් පවරා සත්දවසක් මහදන් දී අනර්‍ඝ වූ සළු දී මඟුලැතු සරහා පුදා, ඔහු බරට කප්පියභාණ්ඩ ද පුදා ඒ සිඛී නම් බුදුන් අතින් ද විවරණශ්‍රී ලදින් එ කෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ විසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි, වෙස්සභූ නම් බුදුරජාණෝ - අනූපම නම් නුවර සුප්පවත්ත[1] නම් රජහුගේ සීලවතී නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස්පුරා දෙව්බඹකැලන් මැද බ්‍රහ්මයාගේ ස්වර්‍ණජාලයට බිහි ව ක්‍රමයෙන් වැඩී රජලියන් තිස්දහසක් පිරිවරා දසදහසක් හවුරුදු රජසිරි විඳ සුමිත්‍රා[2] නම් දේවීන් සුප්‍රබුද්ධ නම් පුත්රුවන වැදූ දා, රන්සිවිගෙන් උයන්වැඩ, සැත්තෑ දහසක් පුරුෂයන් සමග එක්දා මහණව සමසක් දුෂ්කරක්‍රියා පුරා වෙසඟ පුණුපොහෝදා සිරිවඩ්ඪන නම් නාගාඞ්ගනාව දුන් මී කිරිබත් වළඳා සමසතළිස්රියන් විදුරසුන් නැගී එකෙණෙහි සියක්රියන්ව පැනනැගී සුපිපි සල්සිරිබෝ පිට දී වැඩහිඳ කෙලෙසුන් නසා බුදුව සසුන් නැමැති ගන්‍ධමාදනයෙහි ජාත චන්‍දන පාදප යුග්මයක් වැනි වූ සෝණ ය, උත්තර ය යන අගසවු දෙදෙනා සමග සැත්තෑදහසක් මහසව්වන් පිරිවරා ගුණගණ ශාන්ත වූ උපශාන්ත නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ සැටරියන් උස බුද්ධ කායෙකින් සැටදහසක් හවුරුදු වැඩහිඳ දහම්වැසි වස්වා සසර ගිම් නිවන සේක. එ කල අප මහා බෝධිසත්‍වයෝ සුදසුන් නම් මහ රජ ව බුදුපාමොක් සඟපිරිස් පවරා මහදන් හා සිව්රු දී, බුදුන්ට අනර්‍ඝ ගඳකිළියක් කර වා අවට විහාර දහසක් කරවා පිළිගන්වා සියලු රජසැපත් පුදා සසුන් වැද මහණ ව තෙළෙස් ධුතගුණ සමාදන් ව අපිස් ගුණ පුරා අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජාවෙන් ඒ වෙස්සභූ නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ එක්විසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

එ තැන් පටන් බුද්ධාලෝක විරහිත ව ලොව මොහාන්‍ධකාරයෙන් එකාන්‍ධකාරව කප් තිසක් ගියකල අපගේ මේ මහාභද්‍ර කල්පයෙහි කකුසඳ ය, කෝණාගමන ය, කාශ්‍යප ය, ගෞතම ය යන සතර දෙනෙකුන් වහන්සේ බුදුවූ සේක. අනාගතයෙහි මෛත්‍රෙ ය නම් බුදුහු ත් උපදනා සේක. මෙසේ පස් බුදුකෙනෙකුන්ගෙන් උතුම් වූ හෙයින් මේ කප මහාභද්‍ර නම් වි ය.

ඉන් කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ එ කල බ්‍රාහ්මණ වංශය උතුම් හෙයින් මේඛලා නම් නුවර අග්ගිදත්ත නම් පුරෝහිත බ්‍රාහ්මණයාණන්ගේ විශාඛා නම් බැමිණි දේවීන් කුස පිළිසිඳ දසමස් පුරා දියකඳෙකින් නිකුත් මිණිකඳක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී දෙවඟනන් බඳු වරඟනන් තිස්දහසක් පිරිවරා සාරදහසක් හවුරුදු ගිහිගෙයි වැස රුචි[3] නම් අග බැමිණිය විසිතුරුවූ උතුරු නම්[4] පුත්රුවන වැදූ දා රථයානයෙන් මහබිනික්මන් කොට සතළිස් දහසක් බමුණන් හා සමග එක්දා මහණව අටමසක් දුෂ්කරක්‍රියා පුරා වෙසඟමැදි පොහෝදා චන්‍ද්‍රවතී නම් බැමිණිය දුන් මීකිරිබත් වළඳා සූතිස්රියන් විදුරසුන් අරා එකෙණෙහි පැනනැගී සුපිපි සියක්රියන් මඟුල් මාරා තුරක් පිට දී,[5] පස්මරුන් බිඳ බුදුව සසුන් නැමැති අනවතප්තයෙහි දිලිසෙන රන්කළුසඟළක් වැනි වූ විධුර ය, සඤ්ජීව ය යන අගසවු දෙදෙන සමග සතළිස් දහසක් පමණ මහ සව්වන් පිරිවරා සුද්ධවූ බුද්ධි ඇති බුද්ධිජ නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ, සතළිස් රියන් උස බුද්ධ ශරීරයෙන් නිකුත් බ්‍යාමප්‍රභා මණ්ඩලයෙන් අවට සතළිස්ගව්වක් තැන් දැල්වූ රුවන් ඇගෑයක් සේ බබුළුවා සතළිස්දහසක් හවුරුදු ආසිරි වළඳා නරදේව නම් යක්‍ෂයා ආදී වූ බොහෝ සතුන් දමා අමාමහනිවන් පුරයෙහි පුරණසේක. එ කල අප මහබෝසතාණෝ ඛේම නම් නරපති ව බුදුන් හා සතළිස් දහසක් සඟපිරිස් පවරා මහදන් දී පා සිවුරු සතළිස් දහසක් හා අඳුන් ආදී වූ බෙහෙත් බඩු හා තවුස් පිරිකර දී බුදු සසුන් වැද මහණ ව ඒ කකුසඳ නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ දෙවිසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - මෙම කප දෙවන අන්තරකල්පයෙහි-කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේ සෝභාවතී නම් නුවර යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණයාණන්ගේ උත්තරා නම් අගබැමිණිය කුස පිළිසිඳ දස මස් පුරා වැස දෙව්බඹකැලන් මැද සඳමඬලින් නිකුත් සඳ කුමරුවකු සේ බිහි ව ක්‍රමයෙන් වැඩී සොළොස්දහසක් පුරඟනන් පිරිවරා තුන්දහසක් හවුරුදු ගිහිගෙයි වැස රුචිගාත්‍රා නම් බැමිණිය සාර්‍ථවාහ නම් පුත්රුවන වැදූ දා ඇත්යානක් නැගී මහබිනික්මන් කොට තිස්දහසක් පුරුෂයන් හා සමග මහණ ව සමසක් වීර්‍ය්‍ය කොට අග්ගිසේන නම් බැමිණිය දුන් මීකිරිබත් වළඳා විසිරියන් විදුරසුන් අරා දිඹුල්සිරි බෝ පිට ලා වැඩහිඳ මරසෙන් බිඳ බුදු ව සසුන් නැමැති දිව්‍යභවනයට ලූ සෝපාන සඟළක් වැනි වූ භීය්‍යස ය,[6] උත්තර ය යන අගසවුදෙදෙනා සමග තිස්දහසක් මහසව්වන් පිරිවරා සොත්‍ථිජ නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙවිඳ තිස් දහසක් හවුරුදු වැඩහිඳ දහම් වැසි වස්වන සේක. එ කල අප මහ බෝධිසත්‍වෙයෝ පර්‍වත නම් නරෙන්‍ද්‍ර ව ඒ බුදුන් සඟුන් පවරා වස් තුන් මස මහදන් දී සළු පිරිකර හා අනගි රුවන් මිරිවැඩිසඟළක් පුදා ඒ කෝණාගමන නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ තෙවිසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද-එම කප තුන්වන අන්තර කල්පයෙහි කාශ්‍යප නම් බුදුහු බරණැස බ්‍රහ්මදත්ත නම් අගබමුණානන්ගේ ධනවතී නම් අග මෙහෙසුන් කුස පිළිසිඳ පිළිමිණිසෑගැබ රන්පිළිමයක් සේ වැස දස මස් පුරා කිරිමුහුදින් නිකුත් පුන්සඳක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී අටසාළිස් දහසක් වරඟනන් පිරිවරා දෙදහසක් හවුරුදු ගිහි ගෙයි වැස සුනන්‍දාා නම් අගබැමිණි ය විජිතසේන නම් පුත් රුවන වැදූ දා සිත හා සමග ආකාශයට පැන නැගී සත්රුවනක් සේ නික්මුනු රන්පායෙන් වැඩ එම රන්පාය බෝධිය වටා බෝගෙයක් සේ බටකල පහයෙන් බැස බ්‍රහ්මයා දුන් අටපිරිකර ගෙන ස්ත්‍රීන් පායෙන් බැස දෙගව්වක් තැන් ගොස් හුන්කල කැටි ව ආ සියක් ලක්‍ෂයක් ඇමතියන් හා සමග එක්විට මහණ ව සත්දවසක් පදන් සැරිසරා සුනන්‍දා නම් බැමිණිය දුන් මී කිරිපිඬු වළඳා පසළොස් රියන් විදුරසුන් අරා නුග සිරිබෝ පිට ලා වැඩහිඳ මුළුලොව සදා බුදු ව සසුන් නැමැති ගුවනෙහි දිලිසෙන කනක ප්‍රාසාදයුග්මයක් වැනි වූ තිස්ස ය, භාරද්වාජ ය යන අගසවුදෙදෙනා සමග විසිදහසක් පමණ මහ සව්වන් පිරිවරා බුද්ධමිත්‍ර වූ[7] සර්වමිත්‍ර නම් මහ තෙර කෙණෙකුන් අතින් අත් පා මෙහෙ විඳ විසිරියන් බුද්ධ කායෙකින් විසිදහසක් හවුරුදු වැඩහිඳ නරදෙව නම් යක්ෂයා ආදී වූ බොහෝ සතුන් දමා අමාමහනිවන් දෙසන සේක. එකල අපගේ ශ්‍රී මහා බෝධිසත්වයෝ ජෝතිපාල නම් බමුණු ව බුදුන් කරා ගොස් සැපත් හැර මහණව තුන්පිටකය ගෙවා දුන විචිත්‍ර වූ ප්‍රතිපත්තියෙන් පූජා කොට ඒ කාශ්‍යප නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වල දෙව්බඹුන් කළ මේ සූවිසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

මෙසේ මාගේ බුදුහු තමන් සසර පළමුවන විවරණ ලදින් පාරමිතාභූමියෙහි ඇවිදිනා සමයෙහි හැම බුදුන් නො මරදවා දැක දානාදි පරිත්‍යාග කොට බුදු බව පතා විවරණ ලදින් ඒ ආශ්චර්යයෙහි සතුටුව දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයන් රැස්ව එකි එකී වාරයෙහි දෙලක්ෂ සතළිස්දහසක් පූජා බැගින් මෙසේ පස්පණස්[8] ලක්ෂ විසිදහසක් විවරණ මඟුල් පූජා ලත් හෙයිනුත් තවද මේ සූවිසි විවරණ පූජාව කොට තමන්වහන්සේ අතින් බණ අසා අපි අපි නිවන් දකුම්හ යි ප්‍රාර්ථනා කළා වූ සූවිසි අසඞ්ඛ්‍යයක් සතුන් සූවිසි දවසෙක වැඩ හිඳ වදාළ වූ ධර්‍මයෙන් අමාමහනිවන් දක්වා ඔවුන් විසින් කරණ ලද සූවිසි අසඞ්ඛ්‍යයක් ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදි.

“පූජා විසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම‘මෙතං” යි.

මෙතෙකින් අට මහ ලෝවැඩ පිණිස කරණ ලද අර්හත් ගුණ වර්ණනා සංඛ්‍යාත මේ පූජාවලියෙහි අප බුදුන් සාමාන්‍ය ධර්මයෙන් ලද

විවරණ මඟුල් පුජා කථා නම් වූ තුන්වන පරිච්ඡෙදය නිමි.

  1. සුප්පවතික.

  2. සුචීත්‍රා.

  3. රොචිනී.

  4. කුමරුන්.

  5. පිටලා.

  6. නීයසය

  7. ස්වමිත්‍ර-ධර්‍මමිත්‍ර

  8. දසදහසක්.