මෙසේ මාගේ ස්වාමිදරුවාණන් පිරූ පාරමිතා අපමණ ම ය. ප්‍රමාණ වස්තු ගෙන උපමා කරන්නෙම් නම්, දිය පොළොවට ගැඹුරු අනික් පැන්වලක් නැති හෙයිනුත්, පස්පොළොවට බොල් අනික් පස් ගොඩක් නැති හෙයිනුත්, තරුවට බොහෝ අනික් ගහන වස්තුවක් නැති හෙයිනුත්. මෙරගලට උස් අනික් පර්‍වතයක් නැති හෙයිනුත්, මේ වස්තු සතර බුදුන්ගේ පාරමිතාවට උපමා කළ බවක් මුත් පාරමිතාවෝ වනාහි උපමා නැත්තාහ. ඒ විශේෂයෙන් දැන ද මෙරගල හා සමුද්‍රය හා පොළොව හා ආකාශයෙහි තරු හා බුදුන්ගේ පාරමිතාවට හා උපමා කළ පරිදි යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා මහත් නියාව කියමි යි වටුවක්හට මහතැයි කීවා වැන්න. ගරුඬරාජයා වටුවාට මහතැ යි කියන්නේ සැබෑව යි කියා ගරුඬරාජයාගේ මහත සඟවාලිය නුහුනුයේ මැයි එසේ යෙින් මම ද බුදුන්ගේ පාරමිතාවන් සංක්‍ෂෙපයෙන් හඟවා කීමි. ඒ පාරමිතාවන් බොහෝ ලෙස් මේ විතරකින් අසන්නවුන්ට තව හඟවාලිය නුහුනුයේ මැයි.
එහි විස්තර කෙසේ ද? යත්;
යම් සේ සත්‍වෙකනෙක් දිවසින් නොදැක ත් නුවණැස්ලා[1] ඝනතරඥාන නමැති පහන නහා, දහම් නමැති ඇස දල්වා, විශේෂයෙන් බැලූ නම් දැනුත් මාගේ බුදුන්ගේ ඒ පාරමිතාවෝ හස්තාමලකයක් සේ විශේෂයෙන් පෙනෙන්නාහු මැ යි.
හේ මෙසේයි-
කපෙක් නම් බොහෝ කාලයෙක, යොදනක් උස කොටුවෙක අප පුරාලා හවුරුදු ලක්‍ෂයක් ගියකල අබ ඇටයක් බැගින් හරිතොත් කලකින් අබ ගෙවී යේල, කපෙක අවුරුදු නො ගෙවේ මැ යි, තව ද යොදනක් උස ගල්මුදුනෙකින් දහසක් හවුරුද්දෙන් නැගී යන්නා වූ සිද්ධයකුගේ දිවසළු [2]කණ ගැහැවීමෙන් ඒ පර්‍වතය, කලෙකින් ගෙවී උඳැටක් සා ව යේ නමුත් කපෙක හවුරුදු නො ගෙවේ මැ යි. මෙසේ වූ කපෙක් නම් බොහෝ වූ කාලයෙක මාගේ බුදුහු එසේ වූ කපින් සාරාසංඛ්‍යකප්ලක්‍ෂයක් කල් පාරමිතාවන් පිරූ සේක. තව ද අසංඛ්‍යයක් නමු දු ලුහුඬු බවක් මිස තෙමේ ඉතා දිග ය.
හේ මෙසේයි:-
දස දසයෙක් නම් සියයෙක, දස සියයෙක් නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්‍ෂයෙක, සියක් ලක්‍ෂයක් නම් කෝටියෙක, කෝටිකෝටියෙක් නම් ප්‍රකෝටියෙක, ප්‍රකෝටිකෝටියෙක් නම් කෝටිප්‍රකෝටියෙක, කෝටිප්‍රකෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුතකෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටියෙක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබ්බයෙක, අබ්බ කෝටියෙක් නම් අට්ටයෙක, අට්ට කෝටියෙක් නම් සොගන්‍ධිකයෙක, සොගන්‍ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියෙක් නම් කුමුදයෙක, කුමුද කෝටියෙක් නම් පුණ්ඩරීකයෙක, පුණ්ඩරීක කෝටියෙක් නම් පදුමයෙක, පදුම කෝටියෙක් නම් කතානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසංඛ්‍යයක් නමි.
තව ද මේ ගණන කල් යවා කී හෙයින් බොහෝ දෙයෙකැයි සිතන බව මුත් අසඞ්ඛෙය්‍යක් නම් බොහෝනියාව ගණන් විශේෂ ය නොදත්තාහට විශේෂයෙන් නො දැනේ ම ය. මේ මිනිස්ලොව අසඞ්ඛ්‍යයට ලත් තබන වස්තුවක් කිසිතෙනකත් නැත. සතර මහා සාගරයෙහි දිය අසඞ්ඛ්‍යයක උලක්කුවට ත් මද ම ය. [3]මහපොළොව පස් පුවක් කඩ සා කොට කඩ කඩ කරතොත් අසඞ්ඛ්‍යයක් කැටියට මද ම ය. ආකාශයෙහි පෙනෙන තරු අසඞ්ඛ්‍යයට මද ම ය. මෙර ගල අබ ඇට සා බිඳුකර තොත් අසඞ්ඛ්‍යයක් බින්‍දුවට මද ම ය. එසේ හෙයින් අසඞ්ඛ්‍යයට පුඩුවක් දක්නා ගණනෙක් කිසිතැනෙකත් නැත් ම ය. සාගරයෙහි ගැඹුර ඇති හෙයින් ද, ප්‍රමාණ ඇති හෙයින් ද, ඝන රියන් පමණ අවකාශයෙහි පැන් සතරමුණක් ගන්නා හෙයින්ද, සාගරයෙහි දිය අසඞ්ඛ්‍යයක් උලක්කුවට මද ය යි යනු ගණිත බුද්ධිමතුන්ට විෂයම ය. පොළොව ද ප්‍රමාණවත් හෙයින් ද, ඝනරියන් වළ පස් දසපෑලක් ගන්නා හෙයින් මහ පොළොවෙහි පසුත් ගණිත ඤාණයට විෂය ම ය. තව ද රියනක් සා තැන අබ දැමුණෙක් ගන්නා හෙයිනුත් කුළුඳුලෙක් නම් අබ ඇට ලක්‍ෂයක් පමණ හෙයිනුත් මෙරගල ද ප්‍රමාණවත් හෙයිනුත් මේ නයින් මෙරගල අබ ඇට සා කර තුත් ඤාණයට විෂය ම ය. අසඞ්ඛ්‍යය වනාහි ඉතා බෙහෙව, මේ කාරණයෙන් අසඞ්ඛ්‍යයෙක් නම් බොහෝ සඞ්ඛ්‍යාවෙකැ යි දතයුතු.
මේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මෙසේ බොහෝ සතර අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයක් කල් සසර ඇවිද පාරමිතා පිරූසේක. මේ දෑතුරෙහි එක්කපෙකට එක් වාරයෙක. එක් ලේ උලක්කුවක් ම ඉදින් දන් දුන් සේක් වී නමුත් සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ලේ උලක්කු ය. එසේ දුන් ලේ සුඟ මෙසේ වූ සගර දසයෙක දියටත් බෙහෙව. තව ද මාගේ ස්වාමිදරුවාණෝ කපෙකට එක පුවකක් සා මස්කැටියක් බැගින් ම ඉදින් දන්දුන් සේක් වී නමුත් සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් පමණ මස්කැටි වෙයි. එසේ දුන් මස් සුඟ ම නුවණැසින් බැලූ කල මෙසේ වු පොළෝ දසයෙක පසටත් බෙහෙව තව ද මාගේ බුදුහු කපකට එකවාරයෙක. එක් ඇසක් බැගින් උදුරා දන් දුන් සේක් වී නමුත් ඒ සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ඇස් ය. එසේ දුන් ඇස් ම මෙසේ වූ චක්‍ෂුඃපථ ආකාශ දසයෙක තරුවටත් බෙහෙව. තව ද මාගේ බුදුහු කපෙකට එක් වාරයෙක, එක් ඉසක් බැගින් කපා දන් දුන් සේක් වී නමුත් ඒ අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ඉස, ඒ ඉස්ගණන ම ඉදින් ගොඩකරතොත් මෙසේ වූ මෙරගල් දසයකටත් උස් ම ය.
තව ද මාගේ ස්වාමිදරුවාණෝ කපකට එකවාරයෙක ම අඹුදරුවන් බැඳ දුන්සේක් වී නමුත් සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ඒ වැල්ගණන ම සිතාජි කල මෙසේ වූ මෙරගල් දසයකටත් උස්ම ය. එසේ හෙයින් මාගේ ස්වාමිදරුවාණෝ කපකට එක ලේ උලක්කුවක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක් පුවකක් සා මස් කැටියක් බැගින් ම දන් දුන් සේක් ද, කපකට එක් ඇසක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක් ඉසක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක්වාරයෙක ම අඹු දරුවන් බැඳ දන් දුන්සේක් ද, එසේ නැත කපකට අපමණ වාරයෙක අපමණ කොට දන් දුන්සේක් ම ය. මේ මේ කාරණයෙන් සමුද්‍රය හා පොළොව හා තරු හා මෙරගල් හා මහා වස්තුවෙක් නො වෙයි. මාගේ බුදුන්ගේ පාරමිතාවෝ කලී නුවණැසින් දක්නාහට ඉතා මහත් වන්නාහු මැයි. මාගේ බුදුන් දන් දුන් ලේ හා මස් හා ඇස් හා කපා දුන් ඉස් හා පතා දුන් අඹුදරුවන් බැඳි වැල්ගොඩ හා හැම රැස්කොට නුවණැසින් විශේෂයෙන් බැළුවහොත් බඹලොව උස් තැනෙකැයි නො සිතමි මාගේ බුදුන්ගේ පාරමිතා ගොඩ ම උසැ යි සිතමි. මේ පාරමිතාවන්ගේ ගරුභාවයෙහි කථා ඇසූ කල ඤාණවන්තයෝ කාරණ ගිවිස පාර මනා ගරුත්‍වයෙහි පැහැද බුදුවීමෙහි වීර්‍ය්‍යවත් වෙති. හීන වූ වීර්‍ය්‍ය ඇති මන්‍දබුද්ධීන්ගේ සිත් කිහිරිදණ්ඩෙන් සැසි හුල ගලපිට හෙලූ කල ඊම තබා මොට වන්නා සේ බුදුවීමෙහි වීර්‍ය්‍ය පසුබස්සී, කෙසේ ද? යත් මුහුදදිය පරයා ඇඟ ලේ දුන මනාල, පොළොව පස් පරයා ඇඟ මස් දුන මනාල, මෙර පරයා සිය ඉස් දුන මනාල. තරු පරයා සිය ඇස් දුන මනාල, එම මෙර පරයා ප්‍රියවූ අඹු දරුවන් බැඳ දුන් වැල්ගොඩ සිටී ල යි. මෙතෙක් කල් දම් අසා බුදුවීම නම් බැරි දෙයෙකැ යි භීරුක වෙති. දැන් ඒ සමුද්‍රෙයහි දිය මද ල, පොළොව පස් මද ල, අහස තරු මද ල, මෙරගල් උස් නොවේ ල. පාරමිතාවෝ බොහෝ ල. මස් ගොඩ ලේ ගොඩ ඉස් ගොඩ ඇස් ගොඩ වැල්ගොඩ ඉතා උස් ල, බඹලොව පරයා සිටී ල, එතෙක් ලේ මස් ඇස් ඉස් අඹු දරුවන් අපි දන් දිය නොහේ ම ය, එසේ හෙයින් ඒ බුදුවීම නම් අපට බැරි ය යි හීන වීර්‍ය්‍ය වෙති, එයිත් ඒ සත්‍වයාගේ අඥාන භාව ය මැ යි.
කාරණා කිම? යත්;
එසේ සිතූ සත්‍වයා තම තමා සසර ඇවිදින සෙසුකල් හැර බුදුන් පෙරුම් පිරූ මේ දෑතුරෙහි ම තමා ත් අනුන්ට දුන් ලේ, බුදුන් දන් දුන් ලෙයට බොහෝ ම ය, තමා දීපු ඇඟ මස් ගොඩ බුදුන් දන් දුන් ඇඟ මසට බොහෝ ම ය, බුදුන් දන් දුන් ඉස්ගොඩට ඒ සත්‍වයා තමා දීපු ඉස් ගොඩ බොහෝ ම ය, බුදුන් දන් දුන් ඇසට ඒ සත්‍වයා දුන් ඇස් බොහෝ ම ය. බුදුන් දන් දුන් අඹු දරුවන්ට වඩා ඒ සත්‍වයා තමා දුන් අඹු දරුවන් බොහෝ ම ය, ඒ කෙසේ දිනී ද? පාරමිතා පිරී ද? යත් එසේ නැති; මාගේ ස්වාමිදරුවානෝ සාධු බුදුවෙම්ව යි පත පතා ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් දන් දුන් සේක. ඒ සත්‍වයා අනුන්ට අන්‍යායෙන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් බොහෝකොට දිනී.
කෙසේ දිනී ද? යත්;
මාගේ බුදුන් සාධු! සාධු!! බුදුවෙම්වා යි පත පතා ඇඟ ලේ දන්දෙන [4]අතුරෙහි, නිකම් සසර ඇවිදිනා වූ ඒ සත්‍වයා ජාති ජාතිවල දී යක්‍ෂ රාක්‍ෂසාදීහු ඔහු අල්වාගෙන හූරා බීපු ලේ ද, තව ද ඔහුගේ ම ජාති ජාතියෙහිදී ම ගණ්ඩ පිළිකාදීන් හැරපී ලේ ද, තව ද සැත් [5]හිරා ආදීන් [6]හැරපී ලේ ද, නුවණැසින් බැලූ කල ඔහු අන්‍යායෙන් මෙසේ දීපු ලේ බොහෝ ම ය, මාගේ බුදුන් දුන් ලේ මද ම ය, මෙසේ වූ අන්‍යායෙන් බොහෝ ලේ දී සසර ඇවිදිනා සත්වයා සාධු! බුදු වෙම්වා යි සිත් පහදවා මද ලෙයකුත් දන් දී බුදුවෙමැයි නොසිතීම ඒ සත්වයාගේ අඥානභාව ය ම ය. තව ද බුදුන්ගේ පාරමිතා කාලයෙහි ම සසර ඇවිදිනා එක් සත්වයෙකු ඒ ඒ ජාතියෙහි දී යක්‍ෂයන් රාක්‍ෂසයන් සිංහයන් දිවියන් වලසුන් කිඹුළුන් විසින් ඔහු අල්වාගෙන සල්ව සල්වා කාපු මස් ද, එසේ ම ජාති ජාතියෙහි නොයෙක් වරදෙහි අල්වාගෙන වධකයන් ඔහු ඇඟින් කපා ඔහුට ම කවාපු මස් ද, නුවණැසින් බැලුවහොත් බුදුන් දුන් ඇඟමස් මදැ ම ය. මෙසේ ඔහු අන්‍යායෙන් දුන් ඇඟ මස් බොහෝ මැ යි. මෙසේ සසර අන්‍යායෙන් බොහෝ කොට ඇඟ මස් දී ඇවිදිනා සත්‍වයා මද ඇඟ මසක් දන් දි සසර ඇවිද බුදු වෙම්මැ යි නො සිතීම ඔහුගේ ම අඥානභාවය මැ යි, තව ද එක් සත්වයකු නො එක් ජාති ජාතියෙහි, ඒ ඒ වරදෙහි අල්වාගෙන ඔහු හඬ ව හඬ වා කපා හුල ඇනපු ඉස් ද, නොයෙක් යාගයෙහි අකුසල් බෙලෙන් බිලි පුද දුන් ඉස් ද, යුද්ධාදියෙහි දී ඛඞ්ගප්‍රහාරයෙන් කැපුන් ලද ඉස් ද, රැස් වී නම් මාගේ බුදුන් දුන් ඉස් ගොඩමද ම ය, මෙසේ ඔහු අන්‍යායෙන් දුන් ඉස් ගොඩ බොහෝ ය, සසර අන්‍යායෙන් මෙසේ බොහෝ ඉස් කප කපා දී ඇවිදිනා ඒ සත්වයා බුදුවන්ට දෙන ඉස් බොහෝ ය යි සිතීම ඔහුගේ ම නුවණ නැති බව ය, තව ද මේ සසර ජාති ජාතියෙහිදී ම එක් සත්වයෙකු අල්වාගෙන ඔහු හඬ ව හඬ වා උදුරාපු ඇස් නුවණැසින් රැස්කොට බැලුවහොත් බුදුන් දන් දුන් ඇස්ම ද ම ය. මෙසේ ඔහු අන්‍යායෙන් දුන් ඇස් බොහෝය. මෙසේ අන්‍යායෙන් බොහෝ ඇස් දී සසර ඇවිදිනා සත්වයා ම ද ඇස් දෙන්නා වූ බුදු බැව්හි උපෙක්‍ෂාවීම ඔහුගේ ම නුනුවණෙහි මුල්බැස්ම ය, තව ද මේ අක්මුල් නැති සසර එක් සත්වයෙකුගේ අඹුදරුවන් ජාති ජාතියෙහි දී ඔහු හඬ හඬා සිටිය දී සතුරන් අල්වා බැඳගෙන ගිය වැල්ගොඩ බැලූ කල මාගේ බුදුහු අඹුදරුවන් බැඳ දුන් වැල්ගොඩ මිටි ම ය. ඔහු සතුරන්ට අඹුදරුවන් බැඳ දුන් වැල්ගොඩ උස් ම ය, මෙසේ සසර පිනක් නොකොට තමාගේ අඹු දරුවන් සතුරන්ට බොහෝ කොට දී ඇවිදිනා සත්වයා අඹු දරුවන් දන් දිය නොහෙව යි බුදුවීමෙහි උපෙක්‍ෂා වීම ඔහුගේ ම නුනුවණෙහි මුල් බැස්ම ය. මේ ධර්‍මකථාවෙහි දී ත් සමහරු වීර්‍ය්‍යවත් ව බුදුවීමෙහි ලෝභ ය කෙරෙති. තව ද සමහර කෙනෙක් කපෙක් නම් බොහෝ කලෙක් ද, අසඞ්ඛ්‍යයක් නමුත් බොහෝ සඞ්ඛ්‍යාවෙක්ල. බුදුවීමට යටත් වශයෙන් සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් පෙරුම් පිරුවමනාල. ඒ ගෙවාගන්නේ කවර කලෙකද? පෙරුම් පුරන්නේ කවර කලෙක ද? බුදුවන්නේ කවර කලෙක දැ?යි දීර්‍ඝ කාල වශයෙන් තර්කී ව හීන වීර්‍ය්‍ය වෙති. ඒ සිතිවිල්ලත් සත්වයාගේ නුනුවණ මැයි.
හේ මෙසේ යි.[7]
බුදුහු අසුරු සණක් කලින් අසඞ්ඛ්‍ය ගණන් කප්වල ජාති දැක පියන සේක. එසේ සූක්‍ෂම වූ ඤාණගති ඇති බුදුහු එක් සත්වයෙකුගේ ජාති කෙළවර පරිනිර්‍වාණය වනතෙක් බලා ත් දැකපීම නොහෙන සේක් ම ය, තව ද එම සත්වයා අක් මුල් නැති සසර සුවදුකින් යෙදී පෙර සසර ඇවිදි කල් බලන සේක් වී නම් බුදුකෙනෙකුන්ගේ ආයු ගෙවී යෙයි. සසර ඔහු ඇවිදිනා කාලයෙහි මුලෙක් නො පැනෙයි, මෙසේ අසුරුසණක් කල්හි අසඞ්ඛ්‍ය ගණන් කප්වල ජාති දැක පියන බුදුන් තමන්ගේ ජීවිතාන්තය දක්වා බලාත් නිමවාගත නො හැකි ජාති ජාති සසර පෙර ඇවිද දුක්ගත් සත්‍වයා අසුරු සනෙකින් බුදුන් දක්නා සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් [8]බොහෝ කලෙකැ‘යි සිතා බෝධිසත්‍ව පාරමිතාවෙහි හීන වීර්‍ය්‍ය ව උපෙක්‍ෂා වීම වැසි බා පිහිළී වන්නා සේ සත්‍වයාගේ නුනුවණෙහි මුල්මැස්ම මැයි, තව ද සංසාරයෙහි ඒ බුදුහු අෂ්ටලෝක ධර්‍මෙයහි යෙදී ඇවිදිනාසේක් වී ද, ඔබත් අන්‍යායෙන් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් දන් දුන් සේක් ම වේ ද, බුදුවෙමි යි පත දුන්සේක් ම වේ ද; එසේ වන්නා වූ බුදුන් දුන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවෝ බොහෝ වෙත්දැයි යමෙක් ඉතින් සිතන්නාහු වූ නමුත් ඒ සිතිවිල්ල ත් සත්‍වයාගේ අඥානභාවය මැ යි. මාගේ බුදුහු පාරමිතා භූමියේ දී අන්‍යායෙන් ඉසකුත් ඇස කුත් මස කුත් ලෙය කුත් අඹුදරු කෙනෙකුත් තමන් වහන්සේ නො කැමති ව එක් කලෙක ත් නුදුන් සේක් ම ය. එහි කාරණ මණිචෝර ජාතක, සංඛපාල ජාතක, වානරින්‍ද ජාතක, කුම්භීල ජාතක, පඤ්චායුධ ජතක, නිග්‍රෝධ මෘග ජාතක, කර්කටක ජාතක, තුද්ධිල ජාතක, සුචිලෝම ජාතක, පුන්නක ජාතකාදියෙහි සෙයින් බලා දතයුතු.
තව ද සමහර සත්‍ව කෙනෙක් බුදුහු ඉතා තද සේක. තමා අතින් තමා හිස් කපා පිය හැකි ද? තමා ඇඟ මස් තමා කපා දීපිය හැකි ද? තමා ඇඟ ලේ තමා දී පිය හැකි ද? තමා ඇස් තමා උදුරා දී පිය හැකි ද? තමාගේ ප්‍රිය වූ අඹු දරුවන් අනුන්ට හඬ ව හඬ වා ගැතිකොට බැඳ දී පි ය හැකි ද? බෝධිසත්‍ව වූ කල ඉතා තදවුව මැනවැ යි එසේ අපට බැරි ය යි සිතන්නාහු වී නම්, එයිත් ඒ සත්‍වයාගේ නුනුවණ මැයි, මේ මුළුලොව මාගේ බුදුන්ට වඩා ඉසට ලෝභී ඇති කෙනෙකුත් නැත, ඇසට ලෝභි කෙනෙකුත් නැත, ඇඟ මසට ලෝභී කෙනෙකුත් නැත,! බුදුන්ට වඩා ඇඟ ලෙයට ප්‍රිය කෙනෙකුත් නැත, බෝධිසත්‍වවරයන්ට වඩා [9]අඹු දරුවන් කෙරෙහි දයාපර කෙනෙකුත් අනික් කිසිකෙනෙකුත් නැත් ම ය. කාරණා කිම? යත්;
සෙසු සත්වයෝ මේ වස්තු පසට ලෝභ කරන්නාහු! තමන් අස්ථිර බැව් නො දැන මෝහයෙන් ප්‍රේම කෙරෙති. බෝධිසත්‍වවරයෝ විදුරු සේ නුවණැත්තෙන් නුවණින් ම ප්‍රේම කෙරෙති.
කෙසේ ද? යත්;
මේ සසර නම් අවුල් හූවැටියක් සේ අක් මුල් නැත; ගුල නම් ලිහිණියන්ගේ කසල්ලක් සේ අවුල; පිදුරු කැරැල්ලක් සේ පිළිවෙලක් නැත්තේ ම ය; වගුන් ඇති වනයක් සේ භයඞ්කර ය, කිඹුළුන් ඇති ගඟක් සේ ශඞ්කා පර ය; සොරුන් ඇති මගක් සේ ළඟ වී ය නොහැක්ක; නයින් ඔත් තුඹසක් සේ සැක කර ය; මෙසේ සසර ඇවිද මතු බුදු ව මා සසරින් ගැලවෙනතෙක් මාගේ මේ ඉස ද; මාගේ මේ ඇස ද; මාගේ මේ ඇඟ මස් ද; මාගේ මේ ඇඟ ලේ ද; මාගේ මේ ප්‍රිය වූ අඹුදරුවන් ද අනික් සත්වයන්හට අන්‍යායෙන් නොදෙමි. තුණුරුවන් වැඳි අතින් අන්‍ය සත්වයකු නොවඳිනා සේක් සාධු! බුදුවෙමි යි පත පතා එක්වාරයෙක දීපු ඉසෙහි පිණින් මතු අන්‍යායෙන් අනුන් කපාගත නොහැක්කැ යි ඉසෙහි කළ ප්‍රේමයෙන් ම ඉස් දන් දුන් සේක. මෙසේ ම දන් දුන් ඇසට ජාති සහස්‍රෙයක රෝගත් නැත. උදුරාගන්නා සත්වයකුත් නැතැ යි ඇසෙහි කළ ප්‍රේමයෙන් ම ඇස් දන් දුන්සේක. තව ද ඇඟ මසුත් ප්‍රේමයෙන් ම දුන්සේක. ලේත් එසේ ම අනුන්ට අන්‍යායෙන් නො දෙමි යි සිතා ම ප්‍රේමයෙන් ම දුන් සේක. මාගේ ප්‍රිය වූ අඹුදරුවන් එක්වාරයෙක මා සිත් පහදවා දන් දුනිම් නම් අසඞ්ඛ්‍ය ගණන් ජාතිවල මා නො කැමති කරවා බැඳගෙන ගොස් මෙහෙ ගතහෙන එකද සත්ව කෙනෙක් නැත, එසේ කල උන්ට සුව වෙයි, සාන්ති වෙයි, නිර්‍භය වෙයි සිතා ප්‍රේමයෙන් ම අඹුදරුවනුත් දන් දුන්සේක; එසේ හෙයින් ම මේ මුළුලොව ම බෝධිසත්‍වවරයන්ට වඩා ආත්ම ප්‍රේම ඇත්තෝ නැත, ලොව ඔවුන්ට වඩා අඹු දරුවන් කෙරෙහිත් ප්‍රේම ඇති කෙනෙකුත් නැත්මැ යි, තවද සසර බුදුන් දන් දුන් ඇස් ඉස් මස් ආදිය මදනියාවටත්; සසර ඇවිදිනා සත්‍වයා අන්‍යායෙන් දුන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් බොහෝ නියාවටත් කාරණ කිම? යත් දැන් මේ කාලයෙහි අසවල් පුරුෂයා බුදු වෙමියි පතා ඉස්දී පී ය, ඇස් දී පී ය, මස් දී පී ය, ලෙහෙ දී පී ය, අඹුදරුවන් දී පී යයි ඇසීමෙක් දුර්ලභය. දීර්‍ඝකාල වශයෙන් රාශිභූත අවස්ථාවෙහි බොහෝ බව මුත් මේ ඉතා අමාරු ය.
දැන් අසවල් යුද්ධයෙහි දහස් ගණන් හිස් කපාපූහ. අසවල්හු ඇඟ මස් කිඹුල්ලු කැපූ ය. අසවල්හු ඇඟ ලේ යක්‍ෂ රාක්‍ෂසයෝ බීපූ ය. අසවල්හු හඬව හඬවා ඇස් උදුරා පූ ය. අසවල්හුගේ අඹුදරුවන් සතුරෝ බැඳගෙන ගියෝ ය යි කියා ඇසෙන දෑත් බොහෝ ම ය. දක්නා දෑත් බොහෝ ම ය. අන්‍යායෙන් දෙන දේ දැන් බොහෝ වූ වා සේ ම සසර ඇවිදිනා සත්‍වයා අන්‍යායෙන් දුන් ඉස් ඇස් මස් ලේ අඹුදරුවෝ බොහෝ ම ය යි දතයුතු. දැන් මද වූවා සේ ම පින් නිසා දුන් ඉස් ඇස් මස් ලේ අඹුදරුවෝ බොහෝ නොවෙත් ම ය යි දතයුතු. තව ද මේ ලෝකයෙහි සමහර සත්‍ව කෙනෙක් බුදුවන්නේ බොහෝ දුක් ගෙන ය; සසර බුදුන් ගත් දුක් බොහෝ ය යි භීරූක වෙත්. එයිත් අඥානභාව ය ම ය මාගේ බුදුහු සසර පාරමිතාභූමියෙහි පෙරුම් බලයෙන් දුකක් නොගත් සේක. සසර සුවයෙන් ම හුන්සේක. සියලු සතුන්ට ත් සුව ම දුන්සේක, තමන් වහන්සේත් කෙළවර නිවන් සුවම ලත් සේක. එසේ හෙයින් මම වනාහි මාගේ බුදුන් සසර පාරමිතා සුවෙන් සුවවිඳම බුදුවූහ යි කියමි. අධිකවූ වීර්‍ය්‍ය මුත් බෝධිසත්‍වවරයන්ට සසර අධික වූ දුක් නැත්තේ මැයි.
කෘතාධිකාර වූ බෝධිසත්‍වවරයන් සසර ලබන පූජා සුව තෙළෙසෙක් ඇත, සෙසු සත්‍වයන්ට ඒ සුවවිඳීම් තෙළෙස නැත, බෝධිසත්‍වවරයන්ගේ පාරමිතා බලයෙන් ලබන පූජා සුව තෙළෙස නම් කවරහ? යත්;
සංජීව ය, කාලසූත්‍ර ය, සඞ්ඝාත ය, රෞරව ය, මහාරෞරවය, තාප ය, ප්‍රතාප ය, අවීචි ය යන අටමහනරකයෙක් ඇත; ඒ අට ම දසදහසක් යොදුන් දිග හා පුළුල හා උස ඇත්තේ ය; නවයොදුන් බොල, යකබල ය. ගිනිරසින් සියක් යොදුනෙහි සිටියවුන් ඇස් පිපිරෙයි; නලෙක පුරාලූ තුඹසුණු සේ අතුරු නැති ව පැසෙන්නා වූ පව්කළ සත්‍වයෝ බොහෝහ; ඔවුන්ගේ ආයුකෙතෙක් ද? යත්; මේ මිනිස් ලොවින් පනස් අවුරුද්දෙක් නම් චාතුර්‍මහාරාජික දිව්‍ය ලෝකයට එක දවසෙක; එසේ වූ තිස් දවස් මස් කොට දොළොස් මස් අවුරුදු කොට, එහි උපන් දෙවියන්ට පන්සියයක් අවුරුද්දට ආයු ය. ඒ දෙවියන්ගේ පරමායු වූ පන්සියයක් අවුරුදු නම් පළමුවන නරකයෙන් එක් දවසෙක. ඒ නිසා දවසින් තිස් දවස් මස් කොට, දොළොස්මස් අවුරුදුකොට, පන්සියයක් අවුරුද්දට ආයු ය,
මේ ආදි වූ දිව්‍ය ආයුක්‍රමයෙන් ගෙන මනුෂ්‍ය ගණනායෙන් අට අට ගුණකරණයෙන් වඩ වඩා පරීක්‍ෂාකළ කල ඒ පළමුවන සංජීව නරකයෙහි හුනුවාවූ සත්‍වයෝ මනුෂ්‍ය ගණනායෙන් එක්ලක්‍ෂ දෙසැට දහසක් කෙළ වර්‍ෂ කාලයක් දුක් ගනිති. දෙවන නරකයෙහි හුනු සත්‍වකෙනෙක් දොළොස් ලක්‍ෂ සයානූදහසක් කෝටි වර්‍ෂ කාලයක් දුක් ගණිති, තුන්වන නරකයෙහි හුනු කෙනෙක් එක් කෝටි තුන්ලක්‍ෂ අට සැටදහස් කෝටි වර්‍ෂ කාලයක් දුක් ගනිති. සතරවන නරකයෙහි වැටී ගිය සත්‍වකෙනෙක් අෂ්ටකෝටි විසිනව ලක්‍ෂ සුසාළිස් දහස් කෝටි ප්‍රමාණ වර්‍ෂ කාලයක් දුක් ගනිති. පස්වන නරකයෙහි හුනු කෙනෙක් සූසැටකෝටි පන්තිස් ලක්‍ෂ දෙපනස් කෝටි ප්‍රමාණ වර්‍ෂ කාලයක් දුක්ගනිති, සවන නරකයෙහි හුනු වාහු පන්සිය තිස් කෝටි සුවාසූ ලක්‍ෂ සොළොස්දහස් කෝටි ප්‍රමාණ වර්‍ෂ කාලයක් දුක් ගනිති. සත්වන නරකයෙහි හුනුවාහු අට්ඨකල්පයක් දුක් ගනිති. පඤ්චානන්තරිය කර්‍ම ආදි වූ පව් කොට අටවන නරකයෙහි හුනු කෙනෙක් කල්පයක් කල් දුක් ගනිති. මෙසේ බොහෝ ආයු ඇති ඝොර වූ අටමහ නරකයට බෝධිසත්‍වවරයෝ නො වදනාහු ය. “බුදුවීම් නම් දුකැ”යි යන සත්‍වයෝ මේ නරකවල දුග්ගෙන ඇවිදිනාහු ය, මේ බුද්ධාංකුරයන්ගේ පළමුවන සුව විඳීම ය.
තව ද තුන්සක්වළක් එක් වූ තෙන ලෝකාන්තරික නම් නරකයෙක් ඇති. එහි උඩින් හිරු සඳු ආලෝකයකුත් නැත. යට අති සිහිල් වූ ක්‍ෂාරෝදකය වේ. එහි උපදනා ප්‍රේතයන් උස තුන්ගවු ය, ඉතා මහත් වූ නිය ය, [10]පරඬලාපත් සේ ශරීර ය. ඉස්මුදුනෙහි පිහිටි හිඳිකටුමුල සා මුඛය ය, කපක් කල් දුක් ගන්නා ආයුය, මේ නරක ය නම් අළු ගා මෙලෝ පරලෝ නැතැයි මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සත්‍වයන්ට ම නියත ව තිබී ආ නරකයෙක. මේ නරකයෙහි වැටී කපක් කල් දුක් නො ගත්තාවූ එක ද ස්ත්‍රීපුරුෂෂ කෙනෙකුත් නැති. මාගේ බුදුහු පාරමිතාබලයෙන් ම එක් කලෙකත් එහි නොවන් සේක. එසේ හෙයින් මේ ලෝකාන්තරික නම් නරකයට නො වැදීම බුද්ධාංකුරයන්ගේ දෙවන සුව විඳීම ය.
තව ද මේ ලෝකයෙහි නිජ්ඣාමතණ්හා නම් මහාප්‍රේතයෝනියෙක් ඇත; ඔහු ගසක ගත් ගිනි සේ දිලිසෙන ශරීර ඇත්තාහ. අසුරුසණකුත් නො රඳා ඒ ඒ තන්හි ඇවිද කපකුදු බත් නොලදින්, පැන් නො ලදින් අඬ අඬා ඇවිදිනාහ. එහි ඉපද දුක් නොගත්තා වූ එක ද සත්‍ව කෙනෙක් නැත. මාගේ බුදුහු පාරමිතා භූමියෙහි එක් කලෙකත් ඒ ප්‍රේතයෝනියෙහි නූපන්සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ තුන්වන සුව විඳීම ය.
තව ද මේ ලෝකයෙහි බුප්පිපාස නම් වූ ප්‍රේතයෝනියකුදු ඇත. ඔහු නවයොදුන් පමණ ඉස් ඇත්තාහ, විසිගවු දිග දිවි ඇත්තාහ; ඉතා උස් වූ ශරීර ඇත්තාහ; කේ ලොම් සා බඳ ඇත්තාහ; බුද්ධාන්තරයක් දක්වා බත් නො ලබන්නාහ; පැන් නො ලබන්නාහ; පැන් බොම්හ යි සාගරයට වත්කල දිය සිඳීගියා සේ පෙනී යෙයි. ඉදින් සෘද්ධිවන්ත කෙනෙක් පඤ්චමහාගඞ්ගාවෙහි දිය ඉන් එක් ප්‍රේතයෙකුගේ මුඛයෙහි එක්විට වත් කෙරෙත් නුමුත් රසදිව නො තෙමෙන තෙක් කයින් නැගී ගින්නෙන් දා භස්ම ව යෙයි. ඒ ප්‍රේතයෝනියෙහි ඉපද දුක් නොගත්තා වූ එකද සත්ව කෙනෙක් නැත; පාරමිතාබලයෙන් මාගේ බුදුහු එක්කලෙකත් මේ ප්‍රේතයෝනියෙහි දුක් නොගත් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ සතරවන සුව විඳීම ය.
තව ද ගිනිගෙන දිලියෙන ආයුධ ගෙන ඔවුනොවුන් පැහැර මරා දුක්ගන්නා කාලකඤ්ජක නම් ප්‍රේත අසුරයෝනියකුදු ඇත. එහි ඉපිද දුක් නොගත්තා වූ එක ද සත්‍ව කෙනෙක් නැත. පාරමිතා බලයෙන් මාගේ බුදුහු එක්කලෙකත් එහි නූපන්සේක. එසේ හෙයින් බුද්ධාඞ්කුරයන්ගේ මේ පස්වන සුව විඳීම ය.
තව ද සකල සත්‍වයෝ ම උකුණු ව ඉනීකුණු ව මකුණු ව කුරු ව කුහුඹු ව සීනි ව පැණි ව පණුව ගැඩඋල් ව ගොම පණු ව මඩපණු ව මැසි ව මදුරු ව යනාදී වූ ක්‍ෂුද්‍රප්‍රාණී ව උපදනාහ. සසර මාගේ බුදුහු වටුකුරුල්ලන්ට කුඩා වූ ක්‍ෂුද්‍රප්‍රාණී ව නූපන්සේක. තව ද දාර පිඹුරු ආදි වූ ලාමක ප්‍රාණීන්වත් නූපන්සේක. එ හෙයින් මේ බුද්ධාඞ්කුරයන්ගේ සවන සුව විඳීම ය.
තව ද සංසාරගත වූ සත්‍වයෝ ජාතියෙන් අන්‍ධ ව ඉපද බොහෝ දුක් විඳිති, සමහරු ජාතියෙන් ගොළු ව ඉපද දුක් ගනිති; සමහරු ජාතියෙන් ම බිහිරි ව ඉපද කණීරසායන නො ලබති; සමහරු ජාතියෙන් ම කොර පිළු ව ඉපද වනුශා ඇවිද නිගා විඳිති. සමහරු ජාතියෙන් ම ස්වෙතකුෂ්ට ආදී පාප රෝග ඇති ව උපදිති; මාගේ බුදුහු එක් කලෙක ත් මෙසේ වූ පඤ්චෙන්‍ද්‍රිය වෛකල්‍යයෙන් ඉපද දුක් නො ගත් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ සත්වන සුව විඳීම ය.[11]
තව ද මේ සසර සමහර පුරුෂයෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් ශෑණුව ඉපද පියා සිය දහස් ගණන් වාරයෙහි නරක දුක් වැනි වූ ස්ත්‍රී[12] කර්‍මයෙන් දුක් විඳිති. මාගේ බුදුහු එක් කලෙකත් ස්ත්‍රී ව නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ අටවන සුව විඳීම ය.
තව ද සමහර සත්‍වයෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් නපුංසක ය- ඔපක්කමික ය - උභතොබ්‍යඤ්ජනක ය යි යනාදී පණ්ඩක ව සිය දහස් ගණන් ආත්මභාවයෙහි ඉපද ගෙයක් නැති ව, දොරක් නැති ව, අඹු කෙනෙකුත් නැති ව, දරු කෙනෙකුත් නැති ව, ගැහැණිත් නොව - පිරිමිත් නොව බොහෝ දුක් ගන්නාහ, මාගේ බුදුහු එක් කලෙකත් එසේ වූ හීනාත්මභාවයෙක නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ නවවන සුව විඳීම ය.
තව ද මේ ලෝකයෙහි සමහරු මාතෘඝාතක ය, පීතෘඝාතක ය, අරහන්තඝාතක ය, ලොහිතුප්පාදක ය, සඞ්ඝ භේදක ය යි යන පඤ්චානන්තරිය කර්‍මයන් කොට කපක් මුළුල්ලෙහි නරක දුක් ගනිති. මාගේ බුදුහු එක් කලෙකත් එසේ ආනන්තරිය කර්‍මයන් නො කළසේක. එසේ හෙයින් මේ බුද්ධාංකුරයන්ගේ දස වන සුව විඳීම ය.
තව ද සමහර සත්‍වයෝ අරූතල අසංඥතලයෙහි ඉපද, ඒ ඒ කල උපන් බුදුන්ගේ ශ්‍රී නො ලබන්නාහ, මාගේ බුදුහු වනාහි එක් කලෙකත් අරූතල අසංඥතලයෙහි නො උපන්සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ එකොළොස් වන සුව විඳීම ය.
තව ද බුද්ධාංකුරයන් සසර බුදුන් දුට ත් මාර්‍ගඵල නොගන්නා හෙයින් අනාගාමීන් උපදනා සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි ත් ඉපැදීමක් නැත, රජකුලයෙහි ඇත්තවුන් ගොවිකුලයෙහි ඇත්තවුන්ගේ වාසයට නො වදනා සේ තමන්ට සේවක වූ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි බඹුන් හා එක් ව නො ඉපදීම බුද්ධාංකුරයන්ගේ මේ දොළොස් වන සුව විඳීම ය.
තව ද සමහර සත්‍වයෝ අකුසල් බෙලෙන් මෙලෝ පරලෝ නැතැ යි ගන්නා නියත මිත්‍යාදෘෂ්ටි කුලයෙහි ඉපද සත්පුරුෂ මාර්‍ගයන් පානවුන් නැත්තෙන්, මෙලෝ පරලෝ නැතැ යි දෘෂ්ටි ගෙන කාලාන්‍ධකාරයෙක ගමන්[13] ගත්තවුන් සේ අකුසලමාර්‍ගයෙහි ගොස් අපාගත වෙති. මාගේ බුදුහු දීපඞ්කර පාදමූලයෙහි දී විවරණයෙහි ලද පටන් ගෙන මේ සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂාන්තරයෙහි එක් ජාතියෙකත් එසේ වූ නියත මිථ්‍යාදෘෂ්ටි කුලයෙක නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ තෙළෙස් වන සුව විඳීම ය.
මෙසේ මාගේ බුදුහු මේ නරකාදි තේරස අභව්‍යස්ථානයෙහි නූපන් හෙයිනුත් එහි දුක් නොගත් හෙයිනුත් සසර අන්‍යායයෙන් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් කිසි කෙනෙකුන්ටත් නො කැමති කරවා නුදුන් හෙයිනුත් කිසියම් තෙනක චුල්ලනන්‍දිය ජාතකාදියෙහි සේ පීඩාවක් ජීවිතහරණයක් වූ තෙනෙක් ඇති නමුත්, ඒ සියල්ල ද පාරමිතා කොට්ඨාසයෙක අන්තර්ගත වූ හෙයිනුත් ඒ සියල්ල ම පරිත්‍යාගයෙන් සිත පහදවා ත්‍රිවිධ වූ සන්තෝෂ නො වරදවා ම නොමද කොට දන් දුන් හෙයිනුත් දුන් දනෙහි නිස්සෝකී වූ හෙයිනුත් සසරත් මෙසේ සුඛයෙන් ම හුන්සේක. බුදු ව සියලු සතුන්ටත් සුවම දුන් සේක.
තව ද දීපඞ්කර ප්‍රණිධියෙහි දී විවරණ ලත්දා ම කරුණා මෛත්‍රී නමැති අඞ්ගනාවන් දෙදෙනා තමන් වහන්සේගේ සිත් නමැති ගෘහයෙහි වස්වාගෙන දවසෙකත් ඔවුන් දෙදෙනා අත් නොහළ සේක. එ දවස් ම මෙ තෙමේ බොහෝ දවස් අත් නොහැර ආවා වූ මා දැන් අත්වුනා පියා කරුණා මෛත්‍රී දෙ අඹුවන් කෙරෙහි අභිනවයෙන් පෙම් කෙරෙයි කියා සපත්නිරෝෂයෙන් දිලිහී ඔහු වසන ආසන්නයෙහි දු නො වෙසෙමි යි දුරුව ගියා සේ වස්තුතෘෂ්ණා නමැති පාපී වූ ස්ත්‍රිය එක් කලෙකත් ඔබ කරා නො පැමිණි හෙයිනුත් ඔබ ඈට ස්නේහයක් නො කළ හෙයිනුත් අසා ධාරණ සුවයෙන් ම හුන්සේක.
එයින් කීහ :
දෙහීති වත්‍ථුමසුකං ගදිතොත්‍ථිකෙහි
නාලං කථෙතුමිහ නත්‍ථි න දෙමි චාති,
චිත්තෙ මහාකරුණයා පහටාවකාසා
දුරඤ්ජගාම විය තස්සහි වත්‍ථු තණ්හා” යි.
තව ද අවශේෂ වූ සත්‍වයෝ දුඃඛ සහගත චිත්තයාගෙන් මහත් වූ දුක් විඳිනාහුම ය, මාගේ බුදුහු වනාහි දුක්ඛයටම දුක් දුන් බවක් මිස ඔහුගෙන් [14]පීඩාවක් නොවුන්සේක. කෙසේ නො වුන් සේක්ද? ලෝකයෙහි සතුරන් ඇති සතුන් ගෙයක් දොරක් නැති ව ඔබිනොබ වල කොල ඇවිදිමින් හිඳිනා කල තමහට ඔවුන් විසින් පීඩාවක් කොට ලිය නො හැක්කා සේ මාගේ බුදුහු සසර නො එක් ජාතිවල ඉස් දෙන කල ඇස් දෙන කල මස් දෙන කල ඉතා මහත් වූ දුක්ඛ වේදනා නමැති සතුරා තමන් වහන්සේ කරා පැමිණ මහත් වූ දුක්ඛ වේදනාවන් උපදවන්නට පටන් ගත් කල්හි දානයෙන් පැන නැංගා වූ මහත් වූ ප්‍රීති නමැති ඔබගේ මහා යෝධයා ඔහු ලුහුබැඳ දුර ස්ථානයෙහි ලයි. නැවත ඔහු ආ කල්හි නැවත නැවත ද දුරු කෙරෙයි. මෙසේ මේ සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේ කම් සේ නැති ව ඔබ බොව යාමෙන් ඊමෙන් දුක් ගන්නා වූ දුක්ඛයා ඔබට දුක්ඛයක් දි ලිය නීහුනු යේ ම ය යි දතයුතු.
එයින් කීහ:
“ආනීයතෙ නීසිත සත්‍ථ නීපාතනෙන
නික්කඩ්ඪතෙච මුහුදාන භවාය රත්‍යා,
එවං පුනප්පුන ගතා ගත වෙගබින්න
දුක්ඛං න තස්ස හදයං වත පීළයිත්‍ථ” යි.
මේ ආදී කාරණයෙන් මාගේ බුදුහු සුවවිඳ ම බුදුවූවාහු නම් වන සේක; තව ද සංවතී ය, සංවතීස්ථායී ය, විවතී ය, විවතීස්ථායි ය යි මහා කල්පයා ගේ සතර භාගයෙන් සියලු සත්‍වයෝ පළමුව ම කී තුන් භාගයෙහි අපරාපර්‍ය්‍ය වෙද්‍යකර්‍මයාගේ බලයෙන් ඒකාන්ත සුව විඳිනාහ, විවතීස්ථායි නම් වූ අටගෙන සිටිනා අසංඛ්‍ය කල්ප වන බැවින් දුක්ඛ කොට්ඨාසය ම බොහෝ කොට විඳිනාහ. එසේ හෙයින් සංසාරගත සත්‍වයාට මහා කල්පයාගේ අටවන භාගයෙන් සත් භාගයෙක් ඒකාන්ත සුව විඳීම වෙයි. සුරු වූ එක් භාගයෙක ඒකාන්ත දුක් විඳීම වෙයි. බෝධිසත්‍වවරයෝ ඒ අටභාගයෙහි ම කල්පයාගෙන් ඒකාන්ත සුව විඳිනාහු ය. මෙසේ වූ සුව විඳීම ද අවශේෂ වූ සත්‍වයන්ට නැතැ යි දතයුතු. තව ද තුන් තොටක් ඇති මහත් වූ ගඟෙක බැස දිය කපා පිහිනන්නා වූ පුරුෂයෙක් මත්තෙහි තොටින් නැගෙමි යි වීර්‍ය්‍යකොට පිහිනනුයේ වී නම් එ ම තොටින් හෝ නැගෙයි. එ තොට වරදවාපු යේ වී නම් දෙවන තොටින් හෝ නැගෙයි. එ තොට ත් වරදවාපු යේ වී නම් තුන් වැනි තොටින් නැගේ ම ය. මුහුදු බත් නොවේ යැ යි. ඔහු සෙයින් ම බුදු වෙම්ව යි ප්‍රාර්ථනා කළා වූ සත්‍වයෝ ද අධික වූ වීර්‍ය්‍ය ඇත්තාහු ලොව්තුරු බුදුබව සාදා ගනිති. මධ්‍යම වූ වීර්‍ය්‍ය ඇත්තාහු පසේ බුදුබව සාදා ගනිති. කනිෂ්ට වූ වීර්‍ය්‍ය ඇත්තාහු ශ්‍රාවක බෝධිය සාදාගනිත් ම ය. සංසාර සාගරයට බත් නොවෙත් මැ යි.
එසේ හෙයින් මේ ලෝකයෙහි සියලු ප්‍රාර්ථනාවෙන් ම බුදුවෙම් ව යි කරන්නා වූ ප්‍රාර්ථනාව නම්, සියලු ප්‍රාර්ථනා ම එහි අන්තර්ගත වන බැවින් බුදුවීමෙහි වීර්‍ය්‍ය ඇත්තාහට ද නැත්තාහට ද උතුම් වූ ප්‍රාර්ථනාවෙක් ම ය. එසේ හෙයින් බුදුබැව් ප්‍රාර්ථනා කරන්නා වූ සත්‍වයෝ සිතු යම් ශාඛාවකට පැන සිත් සේ පල්ලව ඵලානුභව කළ හැකි සෙයින් රුක් මුදුන් අත්තට නැගෙන ශාඛා මෘගරාජයන් වැනියාහ. තව ද ඔහු එක් බන්‍ධනයෙන් සර්‍වාඞ්ග බන්‍ධනය කළා නම් වන හෙයින් ග්‍රීවාබන්‍ධනය සාදන්නා වූ ඤාණමල්ලවයන් වැනියහ. තව ද සිතු සිතූ කාලයෙක ඉච්ඡානුරූප වූ සම්පත්ති දායක හෙයින් චින්තාමානික්‍ය රත්නයට ම අත දිගුකරන්නන් වැනියහ. තව ද බුදුවෙම්වා යි පතනුවෝ ඉච්ඡානුරූප වස්ත්‍රාභරණයන් දෙන හෙයින් කල්පද්‍රැමයට නැගෙන්නවුන් වැනියහ. තව ද ඉච්ඡානුරූප වූ දියෙහි ගොඩෙහි නන් සුවඳ මල් පැලඳීම් පිලුවන් සේ දැන මංජුසක නම් දිව්‍ය වෘක්‍ෂයට නැගෙන්නා වූ දිව්‍ය පුත්‍රයන් වැනියහ. තව ද එක් ශරීරයෙන් තමන් කැමති කැමති වර්‍ණයෙකින් සුව විඳින්නා වූ අනන්ත වර්‍ණ දිව්‍යරාජයන්ගේ සම්පත් ප්‍රාර්ථනා කරන්නවුන් වැනියහ. තව ද කැමති කැමති සම්පත් එක් මුඛයකින් දෙන හෙයින් සුරභිධෙනු මුඛයට දොහොත් දිගු කරන ධනාර්ථීන් වැනියහ. මේ ආදි නොයෙක් කාරණයෙන් සත්පුරුෂ වූ ජනයන් විසින් බුද්ධ ප්‍රාර්ථනාව උත්තම ප්‍රාර්ථනාවෙ කැ යි දැන, බුදු බැව් පතා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් සාදා සංසාර සාගරයෙන් ගොඩනැංග යුතු.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ සසර ඇවිදිනාසේක් තමන්වහන්සේගේ පාරමිතා බලයෙන් ම මෙසේ වූ බෝධිසම්භාර පූජාවන් තෙළෙස් දෙනෙකු ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.
“පූජා විසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලෝක නාථො,
අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං” යි.
මෙතෙකින් අටමහ ලෝවැඩ පිණිස කරන ලද අර්හත් ගුණවර්ණනා සඞ්ඛ්‍යාත මේ පූජාවලියෙහි අප බුදුන් පාරමිතා බෙලෙන් ලද
බෝධිසම්භාර පූජාකථා නම් වූ සතරවන පරිච්ඡේදය නිමි.