උපාදාන සූත්‍රයේ තේරුම

  1. මහණෙනි! උපාදානයන් ගේ වැඩීමට ස්ථානය වන කාම රූප අරූප යන භවත්‍ර‍යට අයත් සංස්කාරයන් ගේ ආස්වාද පක්‍ෂය බලන්නා වූ තැනැත්තාහට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව නිසා උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ වෙත්. මෙසේ මේ සත්ත්ව පුද්ගල ස්වභාවය නැති දුඃඛස්කන්ධයා ගේ පහළවීම වේ.
  2. මහණෙනි! උපමාවක් කියනු ලැබේ. කරත්ත දශයක් පමණ වූ හෝ කරත්ත විස්සක් පමණ වූ හෝ කරත්ත තිසක් පමණ වූ හෝ කරත්ත සතළිසක් පමණ වූ හෝ දර ගොඩකින් මහ ගිනිකඳක් ඇවිලෙන්නේ නම්, මිනිසෙක් ඒ ගිනිගොඩට වරින්වර වියළි තණපත් දමා නම්, වියළි ගොම දමා නම්, වියළි දර දමා නම්, ඒ ගින්න ඒවා ආහාර කොට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ඇවිලෙන්නේ ය. මහණෙනි! එපරිද්දෙන් උපාදානයන් ගේ වැඩීමට ස්ථානය වන ත්‍රෛභූමික සංස්කාරයන් ගේ ආස්වාද පක්‍ෂය බලමින් වාසය කරන්නහුට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව නිසා උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. -පෙ- මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ පහළ වීම වේ.
  3. උපාදානයා ගේ වැඩීමට ස්ථාන වන ත්‍රෛභූමික සංස්කාරයන්ගේ ආදීනව පක්‍ෂය බලමින් වෙසෙන්නහුට තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. -පෙ- ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ.
  4. උපමාවක් කියනු ලැබේ. මහණෙනි! කරත්ත දශයක් පමණ වූ හෝ කරත්ත විස්සක් පමණ වූ හෝ කරත්ත තිසක් පමණ වූ හෝ කරත්ත සතළිසක් පමණ වූ හෝ දරවලින් මහ ගිනිකඳක් ඇවිලෙන්නේ ය. එයට මිනිසෙක් කලින් කල වියළි තණපත් ද නො දමන්නේ ය. වියළි ගොම ද නො දමන්නේ ය, වියළි දර ද නො දමන්නේ ය, මහණෙනි! එසේ ඒ ගිනිකඳ පළමු දර ඉවර වීමෙන් අලුත් දර නො දැමීමෙන් නිරාහාරව නිවී යන්නේ ය, මහණෙනි! එපරිද්දෙන් උපාදානයන් ගේ වැඩීමට ස්ථාන වන ත්‍රෛභූමික සංස්කාරයන් ගේ ආදීනව පක්‍ෂය බලමින් වෙසෙන්නහුට තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. -පෙ- මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ.