දශබල සූත්‍රයේ විස්තරය

ලොව වෙසෙන ලාමක අදහස් ඇති බොරුකාරයන් මායාකාරයන් සේ බුදුවරයන් වහන්සේලා ආත්ම වර්ණනාවට කැමැත්තෝ නො වෙති. බුදුන් වහන්සේ විසින් මහත් වූ ආත්ම වර්ණනාවකින් යුක්ත කොට මේ සූත්‍ර‍ය දේශනය කර තිබෙන්නේ ශ්‍රාවකයන්ගේ සිතට මේ අනුශාසනය තදින් ඇතුළු කිරීම සඳහා ය. මෙය පැවිද්දන් විසින් නිතර භාවිත කළ යුතු - නිතර සිහිකළ යුතු සූත්‍රයෙකි. සසර දුකින් මිදෙනු කැමති ගිහියන් විසින් ද එසේම භාවිත කළයුතු සිහි කළ යුතු සූත්‍රයෙකි. මෙය පාඩම් තිබීම යෝගාවචරයන්ට ඉතා ප්‍රයෝජන ය.

බුදුරජාණන් වහන්සේ විසින් දැනගෙන ඇති ධර්‍ම අතුරෙන් සමහරක් කරුණු ලොව වෙසෙන අන්‍ය ප්‍රාඥයන් විසින් ද දැනගෙන ඇති ඒවා ය, පරම ගම්භීර වූ මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය බුදුරජාණන් වහන්සේ හැර කිසිම අන්‍ය ශාස්තෘවරයකු විසින් සොයාගෙන - දැනගෙන තුබූ දෙයක් නො වේ. එය බුදුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලබාගත් විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කරගන්නා ලද්දකි. ඒ ධර්මය පිළිබඳ තථාගතයන් වහන්සේ ගේ දැනුමෙහි කිසිදු දුබල බවක් හෝ අඩු කමක් හෝ නැත. ඒ ධර්මයෙහි අල්පමාත්‍ර‍ වූ වරදක් ද නැත්තේ ය. එබැවින් මනුෂ්‍යයකුට තබා දේව බ්‍ර‍හ්මයකුට වුව ද ඒ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මයෙහි අඩුවක් හෝ වරදක් දක්වා ඒ ධර්මය නො පෙරළිය හැකි ය. අවලංගු නො කළ හැකි ය. එබැවින් තථාගතයන් වහන්සේ ඕනෑම පිරිසක් මැද අභීතව ඒ ධර්මය දේශනය කරන සේක. ඒ අභීත දේශනය තථාගතයන් වහන්සේ ගේ සිංහනාදය ය.

ප්‍ර‍තීත්‍යසමුත්පාදය දක්වන්නා වූ මේ සූත්‍ර‍ය තථාගතයන් වහන්සේ ගේ සිංහනාදය ය. මේ සූත්‍ර‍යට “සිංහනාද සූත්‍ර‍ය” යන නම ඉතාම උචිත ය. එහෙත් මෙයට ඒ නම සංගීත කාරක මහරහතන් වහන්සේලා විසින් නො තබන ලදුයේ තවත් එබඳු දේශනා ඇති හෙයිනි. මෙයට දශබල සූත්‍ර‍ය යන නාමය තබා ඇත්තේ සූත්‍ර‍ය පටන් ගැනීමේ දී ම දශබලය සඳහන් වී ඇති බැවිනි. මේ සූත්‍ර‍ය පදයක් පාසා විස්තර කළහොත් මහා ග්‍ර‍න්ථයක් වන්නේ ය. මේ සූත්‍රයෙහි එන ප්‍ර‍ධාන කරුණුවලින් අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාද දෙක මේ ග්‍ර‍න්ථයේ විස්තර කර ඇත්තේ ය. දශබලඥානය චතුර්‍වෛශාරද්‍ය ඥානය පඤ්චස්කන්ධය යනාදිය මේ සූත්‍රයෙහි විස්තර කළ යුතු කරුණු ය.