මහබෝසත් මහා ජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව දැක්වෙන ගාථා බොහෝ ගණනක් මහා ජනක ජාතකයෙහි ඇත්තේ ය. ඒවායින් කිහිපයක් මෙසේ ය.
කදාහං මිථීලං වීතං විසාලං සබ්බතො පහං
පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති
සියල්ලෙන් සමෘද්ධ වූ, විශාල වූ, වස්ත්‍රාලංකාරාලෝකයෙන් බබලන්නා වූ, මේ මිථීලා නගරය හැර මම කවදා පැවිදි වන්නෙම්ද? එය මට කවදා සිදුවේ ද?
කදා සත්තසතතභරියා අස්සවා පියභාණිනී
පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
කීකරු වූ ප්‍රිය කථා ඇත්තා වූ, භාර්‍ය්‍යාවන් සත් සියය හැර, කවදා මම පැවිදි වෙම්ද? එය මට කවදා සිදු වේ ද?
කදාපත්තං ගහෙත්වාන මුණ්ඩො සංඝාටිපාරුතො,
පිණ්ඩිකාය චරිස්සාමි තං කදාස්සු භවිස්සති.
හිස මුඩු කොට, කැබලි එකතු කොට මැසූ සිවුර පොරවා, පාත්‍රය ගෙන කවදා මම පිඬු සිඟා යෙම් ද? එය මට කවදා සිදු වේ ද?
කදා සත්තාහං මෙඝෙ ඔවට්ටො අල්ලචීවරො
පිණ්ඩිකාය චරිස්සාමි තං කදාස්සු භවිස්සති.
සතියක් තිස්සේ නො නැවතී වස්නා මහ වැස්සේ තෙමි තෙමී, තෙමුණු සිවුරෙන් කවදා මම පිඬු සිඟා යෙම් ද? එය මට කවදා සිදු වේ ද?
හිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං
අග්ගහිං මත්තිකාපත්තං තං දුතියාභිසෙවනං
සිය පලමක් රනින් කළ සිය ගණන් රේඛා ඇති රන් තලිය හැර මැටි පාත්‍රය ගතිමි. එය මාගේ දෙවෙනි අභිෂේකය ය.