රට්ඨපාල තෙරුන් වහන්සේ කුරු රට චුල්ල කොට්ඨීත නම් නියම් ගමෙහි ප්‍රධාන පවුලට සිටි එකම දරුවා ය. ඔහුගේ නම රට්ඨපාල ය. ඔහුට ඒ නම ලැබී තිබෙන්නේ දුර්භික්‍ෂාදියෙන් රට අවුල් වූ අවස්ථාවල දී රට රැක ගැනීමට ශක්ති ඇති මහ ධනවතකු නිසා ය.
දිනක් තථාගතයන් වහන්සේ ඒ ගමට වැඩ එහි වැසියන්ට දහම් දෙසූ සේක. රට්ඨපාල කුලපුත්‍රයා ද ඒ ධර්මය ඇසුවේ ය. දහම් ඇසුවා වූ ඔහුට “බුදුන් වහන්සේ විසින් දේශනය කළ පරිදි සර්වාකාරයෙන් පිරිසුදු කොට බ්‍රහ්මචරියාව රක්නට ගිහිගෙයි දී නුපුළුවන. ඒ නිසා මා ගිහිගෙය හැර බුදුසස්නෙහි පැවිදි වන්නට ඕනෑ ය”යි සිතිණ. හේ ධර්ම දේශනාවසානයෙහි හුදකලාව බුදුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ “මාපියන් විසින් අනුදන්නා ලද්දේ දැ යි” අසා “නැතය” යි කී කල්හි ”රට්ඨපාලය, බුදුවරයෝ මා පියන් නො අනුදත් කුල පුත්‍රයන් පැවිදි නො කෙරති” යි වදාළ සේක.
එකල්හි රට්ඨපාල “මා පියන්ගෙන් අවසර ගෙන පැවිදි වෙමි” යි සිතා ගෙදර ගොස් මාපියනට කියනුයේ ”මෑණියෙනි, පියාණෙනි, මම බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසුවෙමි. උන් වහන්සේ දෙසූ සැටියට පිරිසිදු ලෙස බ්‍රහ්මර්‍ය්‍යාව පුරන්නට ගිහි ගෙයි සිට ගෙන නුපුළුවන, එබැවින් මට පැවිදි වන්නට අවසර දුන මැනව”යි කීය. එකල්හි මාපියෝ කියන්නාහු “දරුව, නුඹ අපට ඇත්තා වූ එක ම දරුවා ය. කිසි දුකක් නො විඳ සුවසේ වැඩුණු නුඹට පැවිදි වී දුක් විඳින්නට නුපුළුවන. දරුව මේ ගෙයි වුවමනා පමණ ධනය ඇත්තේ ය. නුඹ සුවසේ කා බී හැඳ පැළඳ පස්කම් සුව විඳිමින් මෙහි ම වෙසෙමින් පින් කර ගනුව, නුඹට පැවිදි වීමට කැමැත්ත නො දිය හැකි ය. අප නුඹ කෙරෙන් මරණයෙන් පවා වෙන් වන්නේ නො කැමැත්තෙන් ය. ජීවත් වන අපට කෙසේ නුඹෙන් වෙන් ව විසිය හැකිදැ’යි කීහ.
දෙවෙනුව ද තුන්වෙනුව ද රට්ඨපාල කුල පුත්‍රයා එසේ කීය. මාපියෝ ද ඔහුට කැමැත්ත නො දුන්හ. එකල්හි රට්ඨපාල කුල පුත්‍රයා “මහණ වන්නට කැමැත්ත නො දෙතහොත් මෙහි ම නො කා නො බී සිට මැරෙමි”යි බිම වැදහෙව, උපවාසයක් ආරම්භ කෙළේ ය. රට්ඨපාලයන් ගේ මාපියෝ බිම වැතිර සිටින පුතණුවන්ට නැවතත් තුන්වර දක්වා කරුණු කීහ. එහෙත් රට්ඨපාලගේ අදහස වෙනස් කරවන්නට ඔවුහු නො සමත් වූහ. නො කා නො බී සිටීමෙන් අමාරු වන කල්හි රට්ඨපාලයන් නැඟිටිතැ යි ඔවුහු සිතූ නමුත් එසේ නො වී ය. පසුව බිය පත් වූ මාපියෝ රට්ඨපාලයන් ගේ යහළුවන්ට කාරණය දැන්වූ හ. ඔවුහු ද අවුත් තුන්වර දක්වා රට්ඨපාලයන්ට කරුණු කීහ. ඒවායින් රට්ඨපාලයන්ගේ අදහස මඳකුදු වෙනස් නො වී ය. රට්ඨපාලයෝ පෙර සේම නිදති.
එකල්හි යහළුවෝ රට්ඨපාලයන් ගේ මාපියන් වෙත ගොස් කියන්නාහු “මෑණියනි, පියාණෙනි, ඉදින් නුඹලා රට්ඨපාලයන්ට පැවිදි වන්නට කැමැත්ත නුදුන හොත් ඔහු මැරෙන්නාහ. ඉදින් ඔහුට කැමැත්ත දුන හොත් පැවිදිව නුමුත් ජිවත් වන පුතණුවන් නුඹලාට දැකිය හැකි වනු ඇත. ඔහුට මහණ දමෙහි සිත් අලවා වාසය කරන්න නුපුළුවන් වුව හොත් නැවතත් ඔහු මෙහි ම එනු ඇත. එබැවින් ඔහුට පැවිදි වන්නට අවසර දෙනු මැනව”යි කීහ. එකල්හි මාපියෝ “අපි රට්ඨපාලයන්ට පැවිදි වන්නට කැමැත්ත දෙන්නෙමු ය. පැවිදි වූ පසු ඔහු අපට දක්නට ලැබෙන්නට ඕනෑ”යයි කීහ. යහළුවෝ රට්ඨපාලයන් වෙත ගොස් එ පවත් කීහ. එකල්හි රට්ඨපාලයෝ නැගිට උපවාසයෙන් පිරිහුණු, ශරීර ශක්තිය නැවත ඇති කර ගෙන බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදිව උපසම්පදාව ද ලබා ගත්හ.
රට්ඨපාල තෙරුන් වහන්සේගේ උපසම්පදාව කරවා අඩ මසකින් පසු තථාගතයන් වහන්සේ සැවැත් නුවර බලා වැඩි සේක. රට්ඨපාල තෙරුන් වහන්සේ ද බුදුන් වහන්සේ සමඟ වැඩ විවේකස්ථානයක වෙසෙමින් භාවනාවෙහි යෙදුනාහ. උන්වහන්සේ පෙර පින් ඇති උත්තමයකු වුව ද නෙය්‍ය පුද්ගලයෙකි. එබැවින් අද අද ම රහත් වන්නෙමි ය යන අදහසින් අනලස්ව මහණ දම් පිරූහ. එසේ වී නමුත් උන් වහන්සේට ඉක්මනින් මහණ දම් පිරීමේ අවසානයට පැමිණීමට නො හැකි වි ය. උන් වහන්සේ මහෝත්සාහයෙන් මහණදම් පුරන සේක් - දොළොස් වසකින් පසු එක් දිනයකදී සව් කෙලෙසුන් නසා රහත් වූ සේක.
රහත් වූ රට්ඨපාල තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් වැඳ එකත් පසෙක හිඳ “ස්වාමීනි නුඹ වහන්සේ අවසර දෙන සේක් නම්, ථුල්ලකොට්ඨිතයට ගොස් මා පියනට පෙනී සිටින්නට කැමැත්තෙමි’යි සැලකළ සේක. තථාගතයන් වහන්සේ රට්ඨපාල තෙරුන් වහන්සේගේ සිත තමන් වහන්සේගේ ඥානයෙන් බලා උන් වහන්සේ නැවත ගිහි බවට නො පැමිණෙන කෙනෙකු වී සිටින බව දැක, එහි යාම අනුදැන වදාළ සේක. ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ වැඳ අවසර ගෙන ථුල්ලකොට්ඨිතයට වැඩ, කෝරව්‍ය රජුගේ මිගාචීර නම් උයනෙහි නැවතී පසු දින ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනා සේක් - මාපියන් ගේ නිවසට ද පැමිණියහ.
එවේලෙහි තෙරුන් වහන්සේ ගේ පියාණෝ මැද දොරටුහලෙහි හිසකේ අවුල් හරවමින් උන්නහ. ඔහු තෙරුන් වහන්සේ දැක හැඳින ගත නොහී “මේ මුඩු මහණෝ අපට සිටි එකම පුතා පැවිදි කර වූහයි ආක්‍රෝශ කළහ. උන් වහන්සේට පියාණන්ගෙන් කිසි සැලකිල්ලක් නො ලැබිණි. එකෙණෙහි තෙරුන් වහන්සේට නෑ වන දාසියක්, පිළුණු අහරක් ඉවත ලෑමට සැරසිණ. එය දැක තෙරුන් වහන්සේ “නැගණිය, ඔය පිළුණු ආහාර අහක දමන්නට කැමැත්තී නම් එසේ නො කොට මාගේ පාත්‍රයට දමව’යි කීහ. දාසිය පිළුණු ආහාරය තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදන්නී, අත් පා සලකුණුවලින් උන් වහන්සේ හැඳින, උන් වහන්සේගේ මෑණියන්ට රට්ඨපාල කුලපුත්‍රයා පැමිණි බව දැන්වූවා ය.
එකල්හි මෑණියෝ “බොල තී කියන දෙය ඇත්තක් නම් තී අදාසියක් වන්නෙහිය”යි කියා විමසන ලෙස තෙරුන් වහන්සේගේ පියාට කීහ. එකෙණෙහි තෙරුන් වහන්සේ බිත්තියක් අයිනේ පිළුණු පිට්ටු වළඳමින් වැඩහුන් සේක. පියාණෝ එහි ගොස් “දරුව අපේ ගෙයි ධනය ඇත්තේ නො වේ ද? අහක දමන පිළුණු පිට්ටු කුමට වළඳන්නෙහි ද? දරුව, තමාගේ ගෙදරට යා යුතු නො වේදැ”යි කීහ. එකල්හි තෙරුන් වහන්සේ කියන සේක් “ගෘහපතිය, පැවිද්දන් වූ අපට ගෙවල් කොයින්ද? අපි ගෙවල් නැත්තෝ ය. තොපගේ ගෙට අපි ගියෙමු. එහිදී අපි දානයක් තබා හොඳ කථාවක් වත් නො ලැබුවෙමු. හුදෙක් එතැනින් අපට ලැබුණේ ඇණුම් - බැණුම් පමණය”යි වදාළ සේක. එක්ලහි පියාණෝ “ගෙට එනු මැනව” යි තෙරුන් වහන්සේට කීහ. “ගෘහපතිය, දැන් අප අහර වළඳා අවසානය’යි තෙරුන් වහන්සේ කීහ. පියාණෝ පසු දිනට ආරාධනා කළහ. තෙරුන් වහන්සේ එය ඉවසා වදාළ සේක.
තෙරුන් වහන්සේ ගේ පියාණෝ පසු දින ගෙයි තුබූ රන් රිදී ගෙන්වා විශාල ගොඩවල් දෙකක් කරවා කලාල වලින් වසා තබවා, තෙරුන් වහන්සේගේ පුරාණ භාර්‍ය්‍යාවන්ටද තෙරුන් වහන්සේට ප්‍රිය වන සැටියට සැරසී සිටින සේ දන්වා, ප්‍රණීත පරිදි භෝජනය පිළියෙල කරවා තෙරුන් වහන්සේට කාලය දැන්වූහ. තෙරුන් වහන්සේ එහි වැඩි සේක. පියාණෝ වසා තුබූ රන් රිදී ගොඩවල් හරවා තෙරුන් වහන්සේට දක්වා “දරුව, මෙහි සැප විඳින්නට පුළුවන. පින් කරන්නටත් පුළුවන. ඔය සිවුර ඉවත දමා මෙහි වෙසෙමින් සැපත් වළඳමින් පිනුත් කරව”යි කීහ. තෙරුන් වහන්සේ වදාරන සේක් - “ගෘහපතිය, නුඹ මා කියන්නක් කරන්නෙහි නම් මේ ධනය කරත්තවල පටවා ගෙන ගොස් ගඟ මැද දියට විසි කරනු මැනව. මේවා තබා ගෙන සිටිය හොත් නුඹට මේවා නිසා තැවෙන්නට - ශෝක වන්නට - හඬන්නට - වැලපෙන්නට සිදු වන්නේ ය” යි. වදාළ සේක.
එකල්හි තෙරුන් වහන්සේගේ පියාණෝ “මොහු මා විසින් ගෙන්වන ලද්දේ සිවුරු හරවා ගන්නට සිතා ගෙන ය. දැන් මොහු ලැහැස්ති වෙන්නේ මාත් මහණ කිරීමටය’යි සිතා පසු බැස, තෙරුන් වහන්සේ ගේ පුරාණ භාර්‍ය්‍යාවන්ට “තොප ගේ සැමියා පැමිණ සිටින්නේ ය. පුළුවන් සැටියකින් ඔහු සිවුරු හරවා ගනුව” යි කීහ. ස්ත්‍රීහු තෙරුන් වහන්සේ වෙත එළඹ පාමුල වැටී, “හිමියනි, මහණදම් පුරා ඔබ ලබන්නට සිතන අප්සරාවන් ගේ සැටි කෙසේදැ”යි ඇසූහ. “නැගණියනි, අපි අප්සරාවන් නිසා මහණකම් කරන්නමෝ නො වම්හ”යි වදාළ සේක. රට්ඨපාල තෙරුන් වහන්සේ සහෝදරත්වය දක්වමින් කථා කරනු අසා ස්ත්‍රීහු ක්ලාන්තව වැටුණෝ ය. තෙරුන් වහන්සේ ‘ගෘහපතිය, අපට කරදර නො කර දෙන දෙයක් ඇති නම් දී අප පිටත් කරනු මැනව’යි කීහ. එකල්හි පියාණෝ ප්‍රණීත භෝජනයෙන් තෙරුන් වහන්සේට සංග්‍රහ කළහ. තෙරුන් වහන්සේ වළඳා අවසානයෙහි සිට ගෙන ම සමීපයෙහි සිටියවුන්ට මේ ගාථා වදාළ සේක.
(1) “පස්ස චිත්තකතං බිමිබං අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථී ධුවං ඨීති.
-
(2) පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලෙන ච,
අල්ලතවෙන ඔනද්දං සහ වත්ථෙහි සොභති.
-
(3) අලත්තක කතා කෙසා මුඛං චුණ්ණකමක්ඛිතං
අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො
-
(4) අට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජන මක්ඛිතා
අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො
-
(5) අඤ්ජනීච නවා චිත්තා පූතිකායො අලංකතො
අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො
-
(6) ඔදහි මිගවො පාසං නාසදා වාකරං මිගො
භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තෙ මිගබන්ධකෙ”
ඒ ගාථාවල තේරුම මෙසේ ය -
(1) ඇට - නහර - මස් වලින් කෙලින් කොට සිටවා තිබෙන්නා වූ, නව ද්වාර සංඛ්‍යාත වණයන් නිසා වණකයක් වූ, ජරා ව්‍යාධි ක්ලේශයන් ගෙන් ආතුර වූ බොහෝ පුරුෂයන් විසින් පතනු ලබන්නා වූ, විසිතුරු කරන ලද්දා වූ මේ ස්ත්‍රී ආත්මභාවය බලව, එහි එක් සැටියකට ස්ථීරව පැවැත්මක් නම් නැත.
(2) මැණිකෙන් හා කරාබුවෙන් විසිතුරු කරන ලද්දා වූ අමු මිනිස් සමෙන් වෙලා ඇති ශරීරය බලව, එය වස්ත්‍ර සහිත වූයේ ම හොබී.
(3) හිසකේ ලාකඩ කැටවලින් ඔප කරන ලද්දාහ. මුහුණ ගෝරෝචනාදි සුනු ගල්වන ලද්දේය. සංසාරයා ගේ පරතෙර නො සොයන බාලයාට එය මුළාවීමට සෑහෙන්නේ ය.
(4) කේශයෝ හොර ලාටු මිශ්‍ර දියෙන් තෙමා නළල් කෙළවර රැළි ගන්නා සරසන ලද්දාහ. නේත්‍රයෝ අඳුන් ගල්වන ලද්දාහ. පරතෙර නො සොයන්නා වූ මෝඩයාට මුළාවීමට එය ප්‍රමාණ ය.
(5) විසිතුරු අලුත් අඳුන් කරඬුවක් මෙන් කුණුකය අලංකාර කරන ලද්දේ ය. පරතෙර නො සොයන්නා වූ මෝඩයාට මුළා වීමට එය ප්‍රමාණ ය.
(6) මුව වැද්දා රන් රීදී ගොඩවල් ය, ස්ත්‍රීහු ය යන කාම වස්තු වූ වර දැල දැමීමේ ය. මුවා දැලට නො පැන්නේ ය. මුවා ඇල්ලීමට තැබු ආහාරය වළඳා මුවන් බඳින්නවුන් හඬද්දී අපි යමු.
ඉක්බිති තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවය දක්වමින් අහසට නැගී ගොස් මිගාවීර උයන්හි එක් රුක් මුලෙක්හි වැඩ සිටි සේක. උයන් පල්ලා තෙරුන් වහන්සේ දැක වහා රජ ගෙදරට ගොස් “දේවයන් වහන්ස, නුඹ වහන්සේ නිතර මතක් කරන ගුණ කියන රට්ඨපාල තෙරුන් වහන්සේ උයනෙහි ගසක් මුල වැඩ සිටිති” යි කීය.
කෝරව්‍ය රජතුමා මහත් සතුටට පැමිණ තෙරුන් වහන්සේ දක්නට එහි ගොස් පිළිසඳර කථා කොට කියනුයේ “රට්ඨපාලයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැමෙක් ජරාවට පැමිණි කල්හි මම දැන් මහලු වී සිටිමි. මට දැන් වස්තුව සපයන්නට නුපුළුවන. ඇති දෙයක් වැඩි දියුණු කරන්නට ද නුපුළුවන. මෙසේ සිටිනවාට වඩා මට පැවිදි වීම හොඳය’යි වයස පිරිහීම නිසා පැවිදි වෙති. ඔබ වහන්සේ තවම තරුණ වියෙහි සිටිනා කෙනෙකි.
රට්ඨපාලයන් වහන්ස, ඇතැමෙක් සුව කළ නො හෙන රෝගයන්ට භාජන වී දුබල වීමෙන් මට දැන් වස්තුව සපයන්නටත් නුපුළුවන. ඇති දෙයක් දියුණු කර ගැනීමටත් නුපුළුවන. මෙසේ විසීමට වඩා පැවිදි වීම හොඳය”යි සිතා පැවිදි වෙති. ඔබ වහන්සේට එබඳු පිරිහීමක් පෙනෙන්නට නැත. ඔබ වහන්සේ නිරෝගී ශක්ති සම්පන්න කෙනෙකි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඇතැමෙක් ධනවත්ව සිට ධනයෙන් පිරිහී ගොස් මට නැවත ධනය ඇති කර ගැනීම පහසු නැත. ඇති දෑ දියුණු කර ගැනීමට ද පහසු නැත. මට මෙසේ දිළිඳු ජීවිතයක් ගත කරනවාට වඩා පැවිදි වී පරලොව ගැනවත් බලා ගැනීම යහපතැයි සිතා පැවිදි වෙති. ඔබ වහන්සේ මේ ථුල්ලකොට්ඨීතයේ පොහොසත් පවුලේ දරුවෙක, ඔබ වහන්සේට ධනයෙන් අඩුවක්ද නැත.
පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඇතැමෙක් බොහෝ ඥාති මිත්‍රයන් ඇතුව සිට පසුව අනුක්‍රමයෙන් ඔවුන් මිය යාමෙන් තනි වෙති. ඔවුහු මෙසේ තනි ජීවිතයක් ගත කරන්නා වූ අපට මේ තනි ජිවිතයට වඩා පැවිදි වීම යහපතැ යි සිතා ඥාති පරිහානිය නිසා පැවිදි වෙති. රට්ඨපාලයන් වහන්ස, ඔබ නෑ මිතුරන් ගෙන් පිරිහුණු කෙනෙක් ද නො වෙයි. ඔබ වහන්සේට මේ ථුල්ලකොට්ඨීතයෙහි බොහෝ නෑ මිතුරෝ ඇත. ඔබ වහන්සේ කුමක් දැන, කුමක් දැක, කුමක් අසා පැවිදි වූ සේක් දැ”යි කී ය.
“මහරජ, තථාගතයන් වහන්සේ වදාළ ධර්මපද සතරක් ඇත්තේ ය. මම ඒවා දැන, ඒවා දැක, ඒවා අසා පැවිදි වූයෙමි. මහරජ “උපනීයති ලොකො අද්ධුවෝ” යනු තථාගතයන් වහන්සේ වදාළ එක් ධර්ම පදයෙකි. “අත්තානෝ ලොකො අනභිස්සරො” යනු එක් ධර්මපදයෙකි. “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යනු එක් ධර්ම පදයෙකි. “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යනු එක් ධර්ම පදයෙකි. මහරජ මේ මා දත්, මා දුටු, මා ඇසු ධර්ම පද සතරය’යි තෙරුන් වහන්සේ වදාළ සේක.
(1) “උපනීයති ලොකො අද්ධුවො” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයන් ගේ එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුඃක්ෂයවීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්ය යනු යි.
(2) “අත්තානො ලොකො අනභිස්සරො” යන ධර්මපදයෙහි තේරුම - සත්ත්වයාට පිහිට වන්නට සමත් කෙනෙකු නැතියෙක් ය, සනසන්නට කෙනෙකු නැතියෙක් ය යනුයි. සත්ත්වයාට ජරා මරණාදියට නො පැමිණ විසීමට - පිහිට වීමට සමත් කෙනෙක් නැත. සත්ත්වයා සැනසීමට සමත් කෙනෙක් නැත යනු යි.
(3) “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයා හට ඇත්ත වශයෙන් අයත් දෙයක් නැත. මාගේ ය, මාගේ යයි කියා ගෙන සිටින සියල්ල ම ඔහුට හැර යාමට සිදු වේ ය යනු යි.
(4) “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයාට කොතෙක් ලැබුණත් මදිය. ඇති වීමක් නැත. හේ හැම කල්හි ම තෘෂ්ණාවට දාසයෙක යනු යි.
ඉක්බිති රජතුමා හා රට්ඨපාල තෙරුන් වහන්සේ අතර ඇති වූ කථාව මෙසේ ය -
රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, උපනීයති ලොකො අද්ධුවොයි ඔබ වහන්සේ කීවහු ය. එහි තේරුම කවරේ ද?
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට අතීතයේ හස්තිශිල්ප, අස්ව
ශිල්පාදියෙහි දක්ෂ භාවයක් ඇති, හොඳට කාය ශක්තිය ඇති, විසිවස් විසිපස් වස් වයස ඇති කාලයක් තිබුණේ නොවේ ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ හරිය කුමට කියමු ද? එදා මට සිතුණේ මම සෘද්ධිමතෙක්ය කියා ය. මාගේ ශක්තිය තිබුණු සැටි එසේ ය.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, දැනුත් නුඹට ඒ සපන්කම් කළ හැකි ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, කුමට කියනවාද? දැන් මම අසූ අවුරුදු වයසෙහි සිටිමි. දැන් පය තැබුවා ම මාගේ පය නවතින්නේ තබන තැන නොව අන් තැනක ය. දැන් මගේ හැටි ඔහොම තමා. පෙර තුබූ ඒ බල පුළුවන්කාරකම් කිසිවක් දැන් මට නැත.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ “උපනීයති ලොකො අද්ධුවො” යි වදාළේ ඔය කාරණය නිසා ය.
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඉතා පුදුමයි. “උපනීයති ලොකො අද්ධුවො” යන බුද්ධ වචනය හරියට හරි. ඒ බව මට දැන් හොඳින් ම වැටහුණා.
පින්වත් රට්ඨපාලයන් වහන්ස, අපේ රජ වාසලට හස්ති සේනාවක් ද ඇත්තේ ය. අශ්ව සේනාවක් ද ඇත්තේ ය. රථ සේනාවක් ද ඇත්තේය. පාබල සේනාවක් ද ඇත්තේ ය. රට්ඨපාලයන් වහන්ස, අපට විපතක් පැමිණි කල්හි ඒ සේනාවෝ අප වෙනුවෙන් සටන් කරන්නාහ. අප ආරක්ෂා කරන්නාහ. “අත්තානො ලොකො අනභිස්සරො, යි ඔබ වහන්සේ සත්ත්වයාට පිහිට විය හැකි කෙනෙකු නැතය’යි කියන සේක. එහි තේරුම කුමක් ද?
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබගේ ශරීරයෙහි නො නැසී පවත්නා යම්කිසි රෝගයක් ඇත් ද?
රජතුමා - එසේ ය; රට්ඨපාලයන් වහන්ස, මාගේ ශරීරයෙහි නපුරු වාතාබාධයක් ඇත්තේ ය. එය උත්සන්න වූ ඇතැම් අවස්ථාවල කොරව්‍ය රජු දැන් දැන් මැරෙනු ඇතැයි මාගේ නෑ මිතුරෝ රැස්ව බලා සිටිති.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට ඇති වන ඒ වේදනාව ඒ පැමිණෙන නෑ මිතුරන් සමඟ බෙදාගෙන විඳිමින් ඔබට සැනසිල්ලක් ලබා ගන්නට බැරි ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, කොතෙකුත් නෑ මිතුරන් සිටියත් වේදනාව බෙදා ගෙන විඳින්නට නුපුළුවන. ඒ වේදනාව විඳින්නට වන්නේ මට පමණක් ය. එයින් කොටසක් බාර ගැනීමට සමතෙක් නැත.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ “අත්තානො ලොකො අනභිස්සරො” යන ධර්ම පදය වදාළේ ඔය කාරණය ගැන ය.
රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඒ තථාගතයන් වහන්සේ ගේ දැනුම ඉතා පුදුමයි. “අත්තානො ලොකො අනභිස්සරො” යන බණ පදය හරියට ම හරි.
පින්වත් රට්ඨපාලයන් වහන්ස, නිධානවල ද ගබඩාවල ද බොහෝ ධනය අපට තිබේ. “අස්සකෝ ලොකො සබ්බං පහාය ගමනීයං” සත්ත්වයාට අයත් කිසිවක් නැතය, සියල්ල හැර දමා යා යුතුය යි නුඹ වහන්සේ කියන්නාහුය. එහි තේරුම කුමක් ද?
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබ දැන් බොහෝ වස්තු රැස්කර ගෙන පස්කම් සැප විඳින්නෙහි ය. ඒ වස්තුව එසේ ම තිබිය දී ඒවා අනුන්ට භුක්ති විඳිමට හැර, ඔබට පමණක් පරලෝ යන්නට සිදු වෙනවා මිස ඒවා ගෙන ගොස් පරලොව ද භුක්ති විඳින්නට ලැබෙනවා ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ ධනය එසේ ම තුබූ තුබූ තැන්වල තිබියදී පරලොව යන්නට සිදු වෙනවා මිස කිසිවක් ගෙන යන්නට නො ලැබෙන්නේ ය.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යන ධර්ම පදය වදාලේ ඒ කාරණය නිසා ය.
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, තථාගත වචනය ඉතා ආශ්චර්‍ය්‍ය යි. එය එසේ ම යි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” යි නුඹ වහන්සේ තවත් ධර්ම පදයක් කීවහු ය. එහි තේරුම කුමක් ද?
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබ දැන් බොහෝ සම්පත් ඇති මේ කුරුරට අයත් කරගෙන එයට අධිපති ව වාසය කරනවා නේ ද?
රජතුමා - එහෙමයි රට්ඨපාලයන් වහන්ස.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට විශ්වාස කළහැකි මිනිසකු අවුත්, දේවයන් වහන්ස, නැගෙනහිර දිග ඔබට පහසුවෙන් යටත් කර ගත හැකි ජනපදයක් ඇත. නුඹ වහන්සේ විසින් එයත් යටත් කරගනු මැනව යි කියත හොත් ඔබ කුමක් කරන්නෙහි ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස. එයත් යටත් කර ගනිමි.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, දකුණු දිගින් කෙනෙක් අවුත් එසේ කියුවහොත් ඔබ කුමක් කරන්නෙහි ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ ජනපදයත් අයත් කර ගනිමි.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, බස්නාහිරින් කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, එයත් අයිති කර ගනිමි.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, උතුරෙන් කෙනෙකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?
රජතුමා - එයත් යටත් කර ගනිමි.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, මුහුදෙන් එතර සිටි කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?
රජතුමා - එයත් අයිති කර ගනිමි.
රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ විසින් “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” යන ධර්මපදය වදාලේ ඔය කරුණ ගැන ය.
රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ වදාළ ඒ ධර්මපදය එසේ ම යි. සත්ත්වයනට ඇති වීමක් නම් වන්නේ ම නැත.
ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ රජුට ගාථා තෙළෙසකින් දහම් දෙසූ සේක. ඒ ගාථා හා ඒවායේ තේරුම මෙසේ ය : (ඒවා රසවත් ගාථාය. සිංහලයෙන් තේරුම් කිරීමේදී පාළි වචන අනුව ම තේරුම් කළ හොත් ඒවායේ රසය නො ලැබේ. එබැවින් ගාථාවල රසය නො නැසෙන පරිදි සිංහලයට ගැලපෙන සැටියට ඒවායේ තේරුම දක්වනු ලැබේ.)
පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ
ලද්ධාන විත්තං න දදන්ති මොහා
ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති
භීය්‍යොව කාමෙ අභිපත්ථයන්ති
ලෝකයෙහි පොහොසත්තු ඇතහ. ඔවුහු වස්තුව ඇත ද, ලෝභය නිසා කිසිවකුට කිසිවක් නො දෙති. ලෝභයෙන් ධනය ම රැස් කරති. තව තවත් කම් සැප ම පතති.
රාජා පසය්හ පඨවිං ජිනිත්වා
සසාගරන්තං මහිමාවසන්තො
ඔරං සමුද්දස්ස අතිත්තරූපො
පාරං සමුද්දස්ස’පි පත්ථයෙථ
සාගරය දක්වා ඇති මේ පොළොව අයිති කර ගෙන සිටින රජුට එපමණින් ඇති නොවී සාගරයෙන් ඔබ රටවල් ගැන ද සිතන්නේ ය.
රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා
අවීත තණ්හා මරණං උපෙන්ති
ඌණාව හුත්වාත ජහන්ති දෙහං
කාමෙහි ලොකම්හි න’හත්ථී තිත්ති
රජ ද අන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද ලෝභය දුරු නො කොට ම මැරෙති. ඔවුහු රැස් කළ වස්තුව ඇති නොවී ම මැරෙති. ලෝකයෙහි මිනිසුන්ට කාමයන් ඇති වීමක් නම් නැත. කෙතෙක් ලැබූවත් ඔවුන්ට මදිම ය.
කන්දන්ති තං ඤාති පරිකිරිය කෙසෙ
අහො වතා නො අමරාති චාහු
වත්ථෙන තං පාරුතං නීහරිත්වා
චිතං සමොධාය තතො ඩහන්ති.
නෑයෝ ඒ මිය ගිය තැනැත්තා ගැන අනේ අපේ තාත්තා, අනේ අපේ අම්මා, අනේ අපේ මල්ලී, අනේ අපේ හොඳ නංගී යනාදීන් කියමින් හිසකේ අවුල් කර ගෙන හඬති. එසේ කොට මළ තැනැත්තාට රෙද්දක් පොරවා බැහැරට ගෙන ගොස් දර සෑයක් කොට එහි තබා දවති.
සො ඩය්හති සුලෙහි චිතුජ්ජමානො
එකෙන වත්ථෙන පහාය භොගෙ
න මීයමානස්ස භවන්ති තාණා
ඤාතීධමිත්තා අථවා සහායා
ඒ මළ තැනැත්තා හම්බ කළ සියල්ල අත හැර, හැඳි වත පමණකින් එහි ගොස් මිනී දවන්නන්ගේ හුල් පහරට ලක් වෙමින් ගිනි ගොඩේ දැවෙන්නේ ය. මේ ලෝකයෙහි මැරෙන්නහුට පිහිට වන නෑයෙක් මිතුරෙක් නැත්තේ ය.
දායාදකා තස්ස ධනං හරන්ති
සත්තෝ පන ගච්ඡති යෙන කම්මං
න මීයමානං ධනමන්වෙති කිඤ්චි
පුත්තා ච දාරා ච ධනං ච රට්ඨං
ඒ මළහු තණ්හාවෙන් රැස් කළ ධනය උරුමක්කාරයෝ බෙදා ගනිති. මළ තැනැත්තේ කම් වූ පරිදිදෙන් සුගතියට හෝ අපායට යේ; ඔහු හා යන ධනයක් නැත. නෑයෙක් මිතුරෙක් ද නැත. රටක් ද නැත.
න දීඝ මායුං ලභතෙ ධනෙන
න චාපි චිත්තෙන ජරං විහන්ති
අප්පං හි දං ජිවිතං ආහු ධීරා
අසස්සතං විප්පරිණාම ධම්මං
ධනය නිසා ධනවතාට ලෝකයෙහි අන්‍යයන් ජීවත් වෙන කාලයට අධික කාලයක් ජීවත් වන්නට නො ලැබේ. ධනය නිසා ධනවතා ජරාවට නො පැමිණෙන්නේ ද නො වේ. මේ ජිවිතය අල්පය යි ද, අස්ථීරය යි ද, පෙරෙළන දෙයකැ යි ද නුවණැත්තෝ කීහු.
අඞ්ඪා දලිද්දා ච ඵුසන්ති ඵස්සා
බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො
බාලෙ හි බාල්‍යා වධිතොව සෙති
ධීරො ච නාවෙධති එස්ස පුට්ඨො
පොහොසත් නො පොහොසත් හැම දෙන ම මැරෙන්නා හ. බාලයෝ ත් පණ්ඩිතයෝත් එසේ ම මැරෙන්නා හ. මරණ කාලයේ දී බාලයා මා විසින් පිනක් කර නො ගතිමි යි තැවි තැවී නිදන්නේ ය. පව් නො කළ බැවින් හා පින් කළ බැවින් නුවණැත්තේ මරණ කාලයේ දී තැවීමක් නැති ව බියක් නැති ව මැරෙන්නේ ය.
තස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්‍යො
යාය වොසානං ඉධාධිගච්ඡති
අසො සිත්තා හි භවාභවෙසු
පාපානි කම්මානි කරොන්ති මොහා
ප්‍රඥාව කරණකොට මේ ලෝකයේ සකල කෘත්‍යයන්ගේ අවසානය වූ අර්හත්වයට පැමිණිය හැකි වන බැවින් ධනයට වඩා ප්‍රඥාව ම උතුම්, අර්හත්වයට නො පැමිණීම නිසා කුඩා මහත් භවයන්හි, මෝහයෙන් සත්ත්වයා පව්කම් කරන්නේ ය.
උපෙති ගබ්භං ච පරඤ්ච ලොකං
සංසාරමාපජ්ජ පරම්පරාය
තස්සප්ප පඤ්ඤො අභිසද්දහන්තො
උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං
පව් කරන්නා වූ සත්ත්වයා භව පරම්පරාවෙන් සංසාරයට පැමිණ ගර්භයට ද පරලොවට ද යයි. නුවණ නැති තැනැත්තේ ඔහුගේ වචන අදහා ක්‍රියා කොට තෙමේත් ගර්භයට හා පරලොවට යයි.
චොරො යථා සන්ධිමුඛෙ ගහීතො
සකම්මනා භඤ්ඤති පාප ධම්මො
එවං පජා පෙච්ච පරම්හි ලොකෙ
සකම්මනා භඤ්ඤති පාප ධම්මො
ගෙය බින්ද සිදුර ලඟ ම සිට අසු වූ සොරා තමා කළ වරදට ගෙහිමියන්ගෙන් ගුටිබැට හා රජයෙන් දඬුවම් ද, ලබන්නාක් මෙන් පව් කළ තැනැත්තේ පසුව පරලෙව් හි අපායේ දී තමා කළ අපරාධ ගැන දඬුවම් ලබන්නේ ය.
කාමාහි චිත්‍රා මධුරා මනොරමා
වීරූපරූපෙන මථෙන්ති චිත්තං
ආදීනවං කාමගුණෙසු දිස්වා
තස්මා අහං පබ්බජිතො’ස්මි රාජ.
විසිතුරු වූ මිහිර වූ සිත් අලවන්නා වූ කාමයෝ නා නා ආකාරයෙන් සත්ත්වයා ගේ සිත පෙළත්, මහරජ, මම මෙ ලොව ද දෙව්ලොව ද ඇති කාමයන් ගේ දොස් දැක පැවිදි වූයෙමි.
“දුමප්ඵලා නෙව පතන්ති මානවා
දහරා ච වුද්ධා ච සරීරභේදා
එතම්පි දිස්වා පබ්බජිතො’ම්හි රාජ
අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්‍යො”
ළදරු වූ ද, මහලු වූ ද, මනුෂ්‍යයෝ ගස්වල ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටෙති. මහරජ, මම එය ද දැක පැවිදි වූයෙමි. වැරදීමක් නැති ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පැවිද්ද ම උතුම්.
රට්ඨපාල තෙරුන් වහන්සේගේ චරිතය නිමි.