බොරු කීමෙන් වැළකී සෑම කල්හි සත්‍යය කීමත්, පොරොන්දු කඩ නො කොට සැම කල්හි සත්‍යයෙහි පිහිටා සිටීමත් සත්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය ය. සත්‍යයක් නැති සත්‍යයෙහි නො පිහිටි තැනැත්තා කෙරෙහි අන් කිසි ගුණ ධර්ම ඇතත් ඒවායේ ද වටිනා කමක් නැත. අන් ගුණවල වටිනාකම ඇති වීමටත් සත්‍යයෙහි පිහිටීම නමැති මූල ගුණය තිබිය යුතුය. සත්‍යයෙහි නො පිහිටියකුට තුන්තරා බෝධියෙන් එකකට වත් නො පැමිණිය හැකි ය. ලොවුතුරා බුදු බව නො ලැබිය හැකි බව ගැන කියනුම කිම?
සත්‍යය උතුම් ගුණයක් වුව ද එහි පිහිටිම ලෙහෙසි නැත. සත්‍යයෙහි පිහිටා සිටින තැනැත්තන්ට එයින් නොයෙක් විට අලාභ හානි වෙයි. සතුරෝ ඇතිවෙති. සමහර විට ජීවිතයට පවා අනතුරු එයින් සිදුවිය හැකිය. සෑම කල්හි සත්‍යයෙහි පිහිටා සිටිය හැක්කේ ඒ සියල්ල ම විඳ දරා ගතහැකි ආත්ම ශක්තියක් ඇතිකරගත් උදාර අදහස් ඇති මහත්මයකුට පමණෙකි. සම්බෝධියට පැමිණෙනු කැමතියන් විසින් උදාර අදහස් ඇති, කිසිවකට කම්පා නො වන මහාත්මයන් විය යුතුය. සම්බෝධිය නමැති උසස් දෙය ලාමක අදහස් ඇති ආත්ම ශක්තිය නැතියන්ට හිමි නො වන දෙයක් බව සැලකිය යුතුය.
පොරොන්දු කඩ කිරිම ගුණයෙන් හීන, දීනයන්ගේ ස්වභාවයකි. බෝසතුන් විසින් එය නො කළ යුත්තකි. පොරොන්දුවක් කඩ කිරිම දිවි නසා ගැනීම තරමේ මහත් දෙයක් කොට බෝසතුන් විසින් සැලකිය යුතුය. ඉටුකරන්නට නුපුළුවන් පොරොන්දු, නො විය යුතුය. පොරොන්දුවක් වීමට කලින් එය තමන්ට ඉටු කළ හැකි වේද? නො හැකි වේද? යන්න ගැන හොඳින් කල්පනා කළ යුතුය. යම් කිසිවක් ඉටු කිරිම දුෂ්කර සේ පෙනෙනවා නම් ඒ දෙය ගැන පොරොන්දු නො විය යුතුය. බොහෝ දෙනා පොරොන්දු ඉටු නො කොට බොරුකාරයන් වන්නේ කලින් සිතා නො බලා ඉටු කළ නො හැකි පොරොන්දුවලට බැඳීමෙනි.
නුවණින් තොරව සත්‍ය කීමෙන් ද සමහර අවස්ථාවල දී තමාට හා අන්‍යයන්ට මහත් විපත් සිදු විය හැකිය. සත්‍යය පාවිච්චි කිරිමෙන් විපතක් වේය කියා බොරු කියත හොත් එයත් තමන්ට කර ගන්නා නපුරෙකි. කාහටවත් නපුරක් නො වන සැටියට සත්‍යයෙහි පිහිටා සිටිය හැකි වීමට නුවණින් යුක්ත විය යුතුය.
දිනක් දුටුගැමුණු රජතුමා ගේ මලණු තිස්ස කුමාරයෝ දුටුගැමුණු රජු හා යුද කොට පැරදී පලා යන්නාහු එක පන්සලකට පිවිස එහි වසන තෙරුන් වහන්සේට වැඳ “ස්වාමිනී, මා ගලවා ගනු මැනව’යි අයැද, තෙරුන් වහන්සේ සැතපෙන ඇඳ යටට වැද සැඟවුණෝය. දුටුගැමුණු රජ අවුත් විහාරය වට කොට එහි පිවිස “ස්වාමිනී, තිස්ස කොහිදැ”යි විචාළේය. රජකුගේ ප්‍රශ්නයකට පිළිතුරු නොදී ද නො සිටිය හැකි ය. ඉදින් තිස්ස කුමාරයන් සැඟවුණු තැන කියුව හොත් එයින් ද වන්නේ නපුරක් ය. තිස්ස කුමරු විහාරයෙහි නැත” යයි බොරු කියුව හොත් එයින් ද තෙරුන් වහන්සේගේ සිල් බිඳෙන්නේ ය.
නුවණින් ක්‍රියා නො කළ හොත් මෙබඳු අවස්ථා වලදී පක්ෂයකට විපත් වන්නේ ම ය. තෙරුන් වහන්සේ නුවණැති බැවින් “ඇඳේ තිස්ස නැතය” යි රජතුමාට කීහ. රජතුමා තිස්ස කුමාරයා ඇඳ යට සැඟ වී ඇති බව තේරුම් ගත් මුත් තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කිසිවක් නො කීය. තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේහි දී නුවණින් ක්‍රියා කිරීමෙන් තිස්සකුමාරයන් හා තමන් වහන්සේගේ ශීල ගුණයත් රැක ගත්හ.
බුදුරජාණන් වහන්සේගේ නෑයන් වූ කිඹුල්වත්පුර විසූ ශාක්‍යවංශිකයෝ ද සත්‍යවාදීහු ය. ඔවුහු ජීවිතය නිසාවත් බොරු නො කියන්නෝ ය. ඔවුන් හා වෛර බැඳගෙන විසූ විඩූඩභ රජයට පත්වීමෙන් පසු ශාක්‍යයන් ගෙන් පළි ගැනීමේ අදහසින් සේනාවක් සමඟ කිඹුල්වත් පුරයට ගොස් “තමා ගේ මුත්තණුවන් වූ මහානාම ශාක්‍යයන් හා එතුමා වෙත සිටින්නවුන් ද හැර ශාක්‍යය යි කියන හැම දෙනා ම මරා දමව්”යි සේනාවට අණ කෙළේ ය. ප්‍රාණඝාතය නො කරන බැවින් ශාක්‍යයෝ විඩූඩභ ගේ සේනාවට පහර නුදුන්හ. විඩූඩභගේ සේනාව කිඹුල්වත් පුරයට වැද දුටු දුටු තැනැත්තා ගෙන් නුඹ ශාක්‍ය දැයි අසමින් ශාක්‍ය යි කියන හැම දෙනාම මරා දමන්නට වන්හ.
බොහෝ ශාක්‍යයෝ ඇත්ත කියා විඩූඩභ ගේ පුරුෂයන් අතින් මැරුම් කෑහ. “සාක” යනු පාලි භාෂාවෙහි පලාවලට නමෙකි. උපායෙහි දක්ෂ වු ඇතැම් ශාක්‍යයෝ විඩූඩභ ගේ පුරුෂයන් පැමිණ “නුඹ ශාක්‍ය දැ”යි අසන කල්හි කටේ තණ පත් තබා ගෙන “සාක නො වේය; තිණ” ය යි කීහ. ඇතැමෙක් බට දණ්ඩක් අතේ තබාගෙන නුඹ ශාක්‍ය දැ? ඇසූ කල්හි “සාක නො වේය; නළ” යයි කීහ. එසේ පිළිතුරු දුන් ශාක්‍යයෝ දිවි ලැබූහ.
ඇත්ත කියා මරණයට කැප වු ශාක්‍යයන් මෙන් විපතට පත් නො වීමට - තිස්ස කුමරුත්, තමන් වහන්සේ ගේ ශීලයත් රැකගත් තෙරුන් වහන්සේ මෙන් ද, බොරු නොකියා උපායෙන් දිවි ගලවා ගත් ශාක්‍යයන් මෙන් ද, තමාට හෝ අනුන්ට නපුරක් සිදු නො වන ලෙස නුවණින් සත්‍යය පාවිච්චි කරන්නට සත්‍ය පාරමිතාව පුරන පින්වතුන් විසින් උගත යුතුය.