3. චූළපදුම ජාතකය (193)

star_outline

“අයමෙව සා අහම්පි අනඤ්ඤො” (ඇය ම ඒ තැනැත්තිය ය, මම ද වෙන කෙනෙක් නොවෙමි) යන මේ දේශනාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයේ දී සසුන පිළිබඳ කලකිරුණු භික්ෂුවක් මුල් කරගෙන වදාළ සේක. මෙහි විස්තර කථාව උම්මදන්තී ජාතකයේ (ජාතක අංක 527) මතු ප්‍රකාශ වන්නේය. ඒ භික්ෂුව අමතා බුදුරජාණන් වහන්සේ, “සැබෑ ද මහණ? නුඹ කලකිරුණේ දැයි” විමසා වදාළ කල්හි, “සැබෑ ය භාග්‍යවතුන් වහන්ස” යයි හෙතෙම පිළිතුරු දුන්නේය. “කවරෙක් නුඹ ව කලකිරෙව්වේ දැයි” වදාළ කල්හි, “ස්වාමීනි! මම ඉතා අලංකාර ලෙස සැරසුණු එක් ස්ත්‍රියක දැක, ක්ලේශයන්ට වසඟ වී කලකිරුණෙමි” යි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට, “මහණ! ස්ත්‍රිය නම් කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී, මායාවන් බහුල, දැඩි සිත් ඇත්තියකි. පුරාණයේ නුවණැත්තෝ පවා තමන්ගේ දකුණු උරහිස පලා ලේ පොවා ජීවිත දානය දීමෙන් පවා ස්ත්‍රියගේ සිත දිනාගත නොහැකි වූහ” යි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්වයන් වහන්සේ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. නම් තබන දිනයෙහි ඔහුට ‘පදුම කුමාරයා’ යයි නම් කළහ. ඒ කුමාරයාට තවත් කණිටු සහෝදර කුමාරවරුන් හයදෙනෙක් සිටියහ. ඒ හත්දෙනා ම පිළිවෙළින් වැඩිවියට පත්ව, ගිහිගෙය හා එක් ව, රජතුමාගේ යහළුවන් මෙන් හැසිරෙති. ඉක්බිති එක් දිනක් රජතුමා රජ මිදුල දෙස බලමින් සිටියේ, මහත් පිරිවරින් රජුට උපස්ථාන කිරීමට එන්නා වූ ඒ කුමාරවරුන් දැක, “මොවුහු මා මරා රාජ්‍යය ගනු ඇතැ” යි සැක උපදවා, ඔවුන් කැඳවා මෙසේ කීවේය. “දරුවනි! තොපි මේ නගරයේ වාසය නොකරව්. අන් තැනකට ගොස් සිට, මගේ ඇවෑමෙන් මෙහි අවුත් කුල පරපුරට අයත් රාජ්‍යය ගනිව්.” ඒ කුමාරවරු පියාගේ වචනය පිළිගෙන, හඬා වැළපී, තම තමන්ගේ ගෙවලට ගොස් බිරින්දන් රැගෙන, “කොතැනකට හෝ ගොස් ජීවත් වන්නෙමු” යි නුවරින් නික්මී මාර්ගයේ යන්නාහු එක් කාන්තාරයකට පැමිණියෝය. එහි දී ආහාර පාන නොලැබ සාගින්න ඉවසා සිටීමට නොහැකි ව, “අපි ජීවත් ව සිටියොත් ස්ත්‍රීන් ලබන්නෙමු” යි කතිකා කොට, බාල සොයුරාගේ බිරිඳ මරා කොටස් දහතුනකට බෙදා මස් කෑවාහුය. බෝධිසත්වයන් වහන්සේ තමන්ට හා බිරිඳට ලැබුණු කොටස්වලින් එක් කොටසක් තබා අනෙක් කොටස දෙදෙනා බෙදාගෙන කෑවාහුය. මෙසේ දින හයක් තුළ බිරින්දන් හය දෙනෙකු ම මරා මස් කෑවාහුය.

බෝධිසත්වයන් වහන්සේ දිනපතා එක් එක් කොටස බැගින් ඉතිරි කොට කොටස් හයක් එකතු කර තැබූහ. සත්වැනි දවසේ දී “බෝධිසත්වයන්ගේ බිරිඳ මරන්නෙමු” යි සොයුරන් කී කල්හි, බෝධිසත්වයන් වහන්සේ කලින් ඉතිරි කළ ඒ කොටස් හය ඔවුන්ට දී, “අදට මේ කොටස් හය අනුභව කරව්. හෙටට වෙනත් ක්‍රමයක් සොයමු” යි කියා, ඔවුන් මස් කා නිදන අවස්ථාවේ දී තම බිරිඳ රැගෙන පලා ගියහ. ඇය ටික දුරක් ගිය විට “ස්වාමීනි, මට තවදුරටත් ඇවිදීමට නොහැකිය” යි කීවාය. ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ ඇය ව කර තබාගෙන අරුණ නැගෙන වේලාවේ දී කාන්තාරයෙන් නික්මුණු සේක. ඉර මුදුන් වී අව්ව දැඩි වන විට “ස්වාමීනි, මට පිපාසයි” යි ඇය කීවාය. බෝධිසත්වයන් වහන්සේ “සොඳුරිය, මෙහි ජලය නැතැ” යි කී නමුත්, ඇය නැවත නැවතත් ඉල්ලා සිටි බැවින්, කඩුවෙන් තමන්ගේ දකුණු උරහිස පලා, “සොඳුරිය, පැන් නැත. මාගේ මේ දකුණු උරහිසේ ලේ බොමින් සැනසෙන්න” යි කීහ. ඇය එසේ කළාය. ඔවුන් දෙදෙනා අනුපිළිවෙළින් මහා ගංගාවක් ළඟට පැමිණ, පැන් බී, නා, ලොකු කුඩා පලතුරු කා, පහසු තැනක විවේක ගෙන, ගඟ අද්දර එක්තරා තැනක ආශ්‍රමයක් තනාගෙන වාසය කළාහුය.

Story Illustration බෝධිසත්ත්වයන් වහන්සේ තම උරහිස පලා බිසවට ලේ බීමට දීම

ඉක්බිති එක් දිනක් රාජාපරාධයක් කළ සොරුකුගේ අත්, පා, කන්, නාසා කපා, ඔරුවක හිඳුවා ඉහළ ගංගාවෙන් පහළට පා කර හැරියහ. ඒ අත් පා නැති ‘කොටා’, මහා බැගෑපත් හඬක් නගමින් බෝසතුන් සිටි ස්ථානයට ගඟ දිගේ පැමිණියේය. බෝධිසත්වයන් වහන්සේ ඔහුගේ කරුණාබරිත හඬ අසා, “මා සිටිය දී දුකට පත් සත්ත්වයෙකු නො නැසේවා!” යි සිතා, ගංතෙරට ගොස් ඔහු ගොඩට ගෙන, අසපුවට ගෙනැවිත් කසට වතුරෙන් තුවාල සෝදා බෙහෙත් ගල්වා ප්‍රතිකාර කළහ. නමුත් බෝසත් බිරිඳ, “මෙබඳු කොටෙක් ගඟෙන් ගොඩට ගෙනැවිත් සාත්තු කරන්නේ ය” යි කියමින් ඒ කොටා පිළිකුල් කරමින්, කෙළ ගසමින් හැසිරුණාය. බෝධිසත්වයන් වහන්සේ ඔහුගේ තුවාල සුව වූ පසු, බිරිඳ සමග ඔහු ව ඒ අසපුවෙහි රඳවා, වනයෙන් පලාවැළ ගෙනැවිත් කොටා ද බිරිඳ ද පෝෂණය කළහ. ඔවුන් මෙසේ වසන කල්හි, ඒ ස්ත්‍රිය ඒ කොටා කෙරෙහි කාමාශාව ඇති කරගෙන, ඔහු සමග අනාචාරයේ හැසිර, උපායකින් බෝධිසත්වයන් වහන්සේ මරා දැමීමට සිතුවාය. ඕ තොමෝ, “ස්වාමීනි, මම ඔබ වහන්සේගේ කර මතින් කාන්තාරයෙන් නික්මෙද්දී එක්තරා පර්වතයක් දෙස බලා, ‘ආර්යයෙනි! පර්වතයට අරක්ගත් දේවතාවනි! ඉදින් මම සැමියා සමග නිරෝගී ව ජීවිතය ලබන්නේ නම් ඔබ වහන්සේට බලි පූජාවක් කරන්නෙමි’ යි බාරයක් වූයෙමි. ඒ බාරය දැන් මා තැති ගන්වයි. එබැවින් බලි පූජාව කරමු” යි කීවාය. බෝධිසත්වයන් වහන්සේ ඒ ස්ත්‍රී මායාව නොදන්නාහු, “යහපතැ” යි පිළිගෙන, දේව පූජාව සූදානම් කර, ඇය ලවා පූජා භාජන ගෙන්වාගෙන පර්වතය මුදුනට නැග්ගාහ. එහි දී ඇය, “ස්වාමීනි! දේවතාවන් අතරින් ඔබ ම උතුම් දේවතාවා වෙහි. එනිසා පළමු කොට ඔබට වනමලින් පුදා, පැදකුණු කොට වැඳ, පසුව දේවතාවාට පූජාව කරන්නෙමි” යි කීවාය. ඉන්පසු ඈ බෝධිසත්වයන් වහන්සේ ව ප්‍රපාතයට මුහුණ ලා සිටුවා, වනමලින් පුදා, පැදකුණු කොට වඳින ලෙස බොරුවට සැරසී, පිටුපස සිට පිටට තදින් පහර දී ප්‍රපාතයට හෙළා, “මාගේ සතුරාගේ පිට දිටිමි (සතුරාගෙන් නිදහස් වූයෙමි)” යි සතුටු සිතින් පර්වතයෙන් බැස කොටා වෙත ගියාය.

බෝධිසත්වයන් වහන්සේ ද පර්වත ප්‍රපාතයෙන් වැටෙන්නාහු, කටු නොමැති කොළවලින් ගැවසී ගත් දිඹුල් ගසක් මත වූ එක් ලැහැබක රැඳුණාහ. පර්වතය පහළට බැසීමට නොහැකි වූ බැවින් උන්වහන්සේ දිඹුල් කා අතු අතර හුන්නාහ. ඉක්බිති විශාල ශරීරයක් ඇති එක් තලගොයි රජෙක් පර්වත පාමුල සිට ගසට නැග එහි දිඹුල් ගෙඩි කයි. තලගොයා එදින බෝසතුන් දැක පලා ගියේය. දෙවන දවසේ අවුත් එක් පැත්තක ගෙඩි කා ගියේය. මෙසේ තලගොයා නැවත නැවතත් එහි එන්නේ බෝධිසත්වයන් වහන්සේ සමග විශ්වාසයක් ඇති කරගෙන, “නුඹ මේ තැනට කෙසේ පැමිණියෙහි දැයි” විමසා, විස්තර දැනගත් කල්හි, “එසේ නම් බිය නොවන්න” යි කියා බෝධිසත්වයන් වහන්සේ ව තමන්ගේ පිට මත හිඳුවාගෙන බිමට බස්වා, කැලයෙන් නික්මී මහ මගට ගෙන ගොස්, “මේ මගින් යන්න” යි පාර පෙන්වා කැලයට ම පිවිසියේය. බෝධිසත්වයන් වහන්සේ එක් ගමකට ගොස් එහි වසමින් සිටින අතර, පියා කලුරිය කළ බව අසා බරණැස් නුවරට ගොස් පිය පරපුරට අයත් රාජ්‍යයෙහි පිහිටා ‘පදුම’ නම් රජ වී, දස රාජ ධර්මය කඩ නොකරමින්, දැහැමින් රජ කරමින්, නගර දොරටු සතරෙහි ද, නගර මධ්‍යයෙහි ද, මාළිගා දොරටුවෙහි ද යන ස්ථාන හයෙහි දන්සල් කරවා දවස් පතා හය ලක්ෂයක් වියදම් කොට දන් දුන්හ.

ඒ පවිටු ස්ත්‍රිය ද ඒ කොටා කර තබාගෙන කැලයෙන් නික්මී මිනිස් වාසයෙහි ආහාර සිඟමින්, කැඳ බත් සකස් කර දෙමින් ඒ කොටා පෝෂණය කළාය. “මොහු නුඹේ කවරෙක් දැයි” මිනිසුන් විමසන විට, “මොහු මගේ මාමාගේ පුතා ය. මව්පියන් විසින් මොහු ව මට පාවා දෙන ලදී. දඬුවම් ලැබූ මගේ ස්වාමියා ව මම අත් නොහැර, කර තබාගෙන යමින්, සිඟා කා පෝෂණය කරමි” යි කීවාය. මිනිස්සු “මේ තැනැත්තිය නියම පතිවෘත්තාව රකින්නියකැ” යි සිතා එතැන් පටන් ඇයට වැඩිපුර ආහාර පාන දුන්නාහුය. පසුව ඇතැම් අය ඇයට මෙසේ කීවාහුය: “නුඹ මෙසේ දුක් විඳිමින් නො හැසිරෙන්න. පදුම රජතුමා බරණැස රජ කරයි. මුළු දඹදිව ම කලඹා දන් දෙයි. එතුමා ඔබ ව දැක පැහැදී බොහෝ ධනය දෙතොත්, නුඹේ සැමියා මෙහි හිඳුවාගෙන එතුමා හමුවට යන්න.” ඔවුහු ඇයට කොටා ගෙන යෑමට වේවැල් කූඩයක් ද සකස් කොට දුන්නාහුය. ඒ පවිටු ස්ත්‍රිය ඒ කොටා වේවැල් කූඩයෙහි බහා, කූඩය ඔසවාගෙන බරණැස් නුවරට ගොස් දන්සැල්වලින් අනුභව කරමින් හැසිරුණාය. බෝධිසත්වයන් වහන්සේ සරසන ලද ඇතා පිට නැගී දන්සැල් වෙත ගොස් අට දෙනෙකුට හෝ දස දෙනෙකුට හෝ සියතින් ම දන් දී නැවත මාළිගාවට යති. ඒ අනාචාරී ස්ත්‍රිය, කොටා දැමූ කූඩය ඔසවාගෙන රජුගේ ගමන් මගෙහි පෙනී සිටියාය.

රජතුමා ඇය ව දැක “මේ කිනම් තැනැත්තියක් දැයි” විචාළේය. “දේවයන් වහන්ස! මේ පතිවත රකින උත්තම කාන්තාවකැ” යි ඇමැතියෝ කීහ. ඉක්බිති රජතුමා ඇය ව කැඳවා, හඳුනාගෙන, කොටා කූඩයෙන් ඉවතට ගෙන්වා, “මොහු තට කවරෙක් වන්නේ දැයි” විචාළේය. “දේවයන් වහන්ස! මොහු මගේ මාමාගේ පුතා ය. කුලයෙන් දෙන ලද ස්වාමි පුරුෂයා ය” යි ඈ කීවා ය. අතීත සිද්ධිය නොදන්නා වූ මිනිස්සු, “අනේ! පතිවත රකින දෙවඟනකැ” යි කියමින් ඒ අනාචාරී ස්ත්‍රිය වර්ණනා කළහ. නැවතත් රජතුමා, “මේ කොටා කුලයෙන් සරණ පාවා දුන් සැමියා දැයි” ඇගෙන් විචාළේය. ඈ රජතුමා ව නොහඳුනන්නී, “එසේය දේවයන් වහන්ස” යයි දැඩි ව කීවාය. ඉක්බිති රජතුමා, “එසේ නම් මේ බරණැස් රජුගේ පුතා කවරෙක් ද? ඔබ පදුම කුමාරයාගේ බිරිඳ නොවේ ද? අසවල් රජතුමාගේ දියණිය නොවේ ද? අසවල් නම ඇත්තී නොවේ ද? මගේ උරහිස පලා ලේ බී, මේ කොටා කෙරෙහි පිළිබඳ සිත් ඇති ව මා ප්‍රපාතයට හෙළුවාය. දැන් තී මරණය නළලෙහි කොටාගෙන, මා මළේ යැයි සිතාගෙන මෙතැනට ආවෙහි ද? මම තවම ජීවත් නොවෙම් දැයි?” කියා ඇමතියන් අමතා, “එම්බා ඇමතිවරුනි! නුඹලා විසින් විමසූ විට මා කී කථාව මතක ද? ‘මගේ බාල සහෝදරයෝ හය දෙනා භාර්යාවන් හය දෙනා මරා මස් කෑවාහුය. මම වනාහි මාගේ බිරිඳ නිරෝගී ව ගංතෙරට ගෙන ගොස්, අසපුවෙහි වසන අතරතුර වධයට පත් කර එවූ අත් පා නැති එක් කොටෙකු ගොඩට ගෙන අවුත් රැකබලා ගත්තෙමි. ඒ ස්ත්‍රිය කොටා ගැන පිළිබඳ සිත් ඇති ව මා ව මරා දැමීමට පර්වත මුදුනෙන් පහළට හෙළුවාය. මම මගේ මෙත් සිත් බලයෙන් දිවි ගලවා ගත්තෙමි’ යි මා ඔබට කීවා මතක ද? යම් තැනැත්තියක විසින් මා පර්වතයෙන් හෙළනු ලැබුවේ ද ඒ වෙනත් තැනැත්තියක් නොවේ. මේ දුශ්ශීල තැනැත්තිය ම ය. ඈට හමු වූ වධයට පත් කොටා ද මොහු ම ය. අනිකෙක් නොවේ” යයි කියා මේ ගාථාවන් වදාළ සේක:

“යම් ස්ත්‍රියක් මා විසින් පෝෂණය කරන ලද්දේ ද ඒ තැනැත්තිය මැය ම ය. මැය පෝෂණය කළ ඒ තැනැත්තා ද මම ම මිස වෙන කිසිවෙක් නොවෙමි. අත් පා සිඳින ලද මේ කොටා ද අනිකෙක් නොවේ. මැය යමෙකුට ‘මගේ කුමාර කාලයේ පටන් හිමියා ය’යි කීවේ ද ඔහු මොහු ය. සැබවින් ම ස්ත්‍රීහු වධයට සුදුසු ය. ස්ත්‍රීන් කෙරෙහි සත්‍යයක් නැත.”

“රුදුරු වූ, පහත් ගති ඇති, මළකඳක් බඳු වූ, පර අඹුවන් සෙවුනා වූ, ලාමක වූ මේ කොටා ද මෝල් ගසින් තලා දමවු. නින්දිත පතිවතක් රඟපාමින් ජීවත් වන්නා වූ මැයගේ කන් නාසා ද කපවු.”

යනුවෙන් මෙම ගාථා වදාළ සේක.

එහි අර්ථ විවරණය මෙසේ ය: යමාහ කොමාරපතී මමං යනුවෙන් දැක්වූයේ, මේ තැනැත්තිය යමෙකු ගැන ‘මේ තෙමේ මගේ කුමාර අවධියේ පටන් ස්වාමියා ය (දෙමාපියන් විසින් දුන් සැමියා ය)’යි කීවා ද, අයමෙව සො න අඤ්ඤො මේ ඔහු ම ය; අනිකෙක් නොවේ. යමාහු කුමාරපතී යනුවෙන් ද පාඨයක් ඇත. පොත්වල ලියැවී ඇත්තේ එය යි; එහි අර්ථය ද මෙය ම ය. මෙහි වචන පෙරළීමක් පමණක් බව දත යුතු ය. යමක් රජතුමා විසින් කියන ලද ද එය ම මෙහි එන ලදි. වජ්ඣිත්ථියො යනු ‘ස්ත්‍රීහු නම් වධයට පැමිණවිය යුතු ය (නැසිය යුතු ය)’ යන්න යි. නත්ථි ඉත්ථීසු සච්චං යනු ස්ත්‍රීන් තුළ එක ස්වභාවයක් (සත්‍යයක්) නැත යන්න යි. ඉමඤ්ච ජම්මං යනාදිය ඒ දෙදෙනාට ම දඬුවම් නියම කිරීම් වශයෙන් කියන ලදි. එහි ජම්මං යනු පහත් වූ, නීච වූ බව යි. මුසලෙන හන්ත්වා යනු මෝල්ගසින් ගසා, තලා, ඇට පොඩිකර, සුණුවිසුණු කොට මරා දැමීම යි. ලුද්දං යනු දරුණු වූ බව යි. ඡවං යනු ගුණයක් නැති බැවින් ජීවයක් නැති මළමිනියක් වැනි වූ බව යි. ඉමිස්සා ච නං යන්නෙහි නං යනු නිපාත මාත්‍රයකි. පාපී පතිවෘත්තාවක් රඟපාන, අනාචාරී වූ, දුසිරිත් වූ මේ තැනැත්තිය ජීවත් ව සිටිය දී ම ඇගේ කන් නාසා කපවු (ජීවන්තියාව කණ්ණනාසං ඡින්දථ) යනු එහි අර්ථය යි.

බෝධිසත්වයන් වහන්සේ ක්‍රෝධය ඉවසාගත නොහැකි ව ඔවුන්ට ඉහත පරිදි දරුණු දඬුවම් නියම කළ නමුත්, එලෙස ක්‍රියාත්මක නො කළහ. උන්වහන්සේ කෝපය තුනී කරගෙන, ඇයට ඒ පැස හිසෙන් බිම තැබීමට නොහැකි වන පරිදි ඇගේ හිසට තබා තදින් බඳවා, කොටා ව ද එහි ම හිඳුවා, තම රාජ්‍ය සීමාවෙන් නෙරපා හැරියහ.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනා කොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. “එකල සහෝදරයෝ හය දෙනා දැන් මේ තෙරුන් වහන්සේලා හය නම යි. බිරිඳ චිඤ්චා මානවිකාව යි. කොටා දේවදත්ත ය. තලගොයි රජා ආනන්ද ය. පදුම රජතුමා වනාහි මම ම වෙමි” යි වදාළ සේක.

තුන්වන වූ චූළපදුම ජාතක වර්ණනාව නිමාවිය.