4. මණිචෝර ජාතකය (194)

star_outline

“න සන්ති දෙවා පවසන්ති නූනා” (දෙවියෝ නැත්තාහ. ඒකාන්තයෙන් බැහැර ගියෝය) යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක්, බුදුරජුන් මැරීමට උත්සාහ කළ දෙව්දත් තෙරුන් මුල් කරගෙන වදාළ සේක. එකල්හි වනාහි “දෙවදත්ත තෙම බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමට උත්සාහ කරති” යි අසා ශාස්තෲන් වහන්සේ, “මහණෙනි, දෙවදත්ත තෙම දැන් පමණක් නොව පෙරත් මට මරණය පමුණුවන්නට උත්සාහ කළේය. එසේ උත්සාහ කළත් මාව මරන්නට නොහැකි වී යැ” යි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණන් වහන්සේ බරණැසට නුදුරු ගමක ගෘහපති කුලයෙහි උපන්හ. ඉක්බිති වැඩිවියට පත් එතුමාට බරණැසින් කුල දියණියක් ගෙනාහ. ඈ රන්වන් පැහැ ඇත්තීය, ඉතා රූමත්ය, දැකුම්කලුය, දිව්‍ය අප්සරාවක් වැනිය, සුළඟේ සැලෙන මල් වැලක් වැනිය, මත් වූ කින්නරියක් වැනිය. නමින් ‘සුජාතා’ නම් වූ ඈ පතිවත රකින්නීය, සිල්වත් හා යහපත් ආචාර සමාචාර ඇත්තීය, වත්පිළිවෙත් රකින්නීය. ඈ හැමවිටම ස්වාමියා වෙනුවෙන් කළ යුතු වත් ද, නැන්දා මාමා වෙනුවෙන් කළ යුතු වත් ද නොපිරිහෙළා ඉටු කරයි. ඈ බෝසතාණන් වහන්සේට ඉතා ප්‍රියමනාප වූවාය. මේ අන්දමින් දෙදෙනා ම සතුටු වෙමින්, සමාන සිත් ඇතිව සමගියෙන් වාසය කළාහුය.

ඉක්බිති එක් දිනක් සුජාතාව, “මව්පියන් දකිනු කැමැත්තෙමි” යි බෝසතාණන් වහන්සේට දැන්වූවාය. හෙතෙම, “යහපති සොඳුරිය! මාර්ගෝපකරණ අවශ්‍ය තරම් සූදානම් කරව” යි කියා කැවිලි වර්ග සූදානම් කරවාගෙන, කැවිලි ආදිය කරත්තයක තබාගෙන, කරත්තය පදවමින් ඉදිරියේ හිඳගෙන ගියේය. සුජාතාව කරත්තයේ පසුපස අසුනේ ගියාය. ඔවුන් නුවර සමීපයට ගොස් වාහනය මුදවා, නා, ආහාර අනුභව කළාහුය. නැවතත් බෝසතාණන් වහන්සේ ගොනුන් බැඳ කරත්තය සූදානම් කර ඉදිරියෙන් හිඳගත්හ. සුජාතාව වස්ත්‍ර මාරුකොට, ආභරණ පැළඳ සැරසී පිටුපසින් හිඳගත්තාය. කරත්තය ඇතුළු නුවරට පිවිසි කල්හි බරණැස් රජු ඇතෙකු පිට නැගී නගරය පැදකුණු කරන්නේ ඒ පෙදෙසට ගියේය. සුජාතාව කරත්තයෙන් බැස පසුපස පයින් ගමන් කළාය. රජතුමා ඈ දැක ඇගේ රූ සපුවෙන් වසඟ වූ නෙත් ඇතිව, ඇය කෙරෙහි බැඳුණු සිත් ඇතිව, එක් ඇමතියෙකු අමතා, “යව! ගොස් ඇයට සැමියෙකු ඇති බව හෝ සැමියෙකු නැති බව හෝ දැනගෙන එව” යි යැවීය. ඔහු ගොස් ඇයට සැමියෙකු ඇති බව දැන, “දේවයන් වහන්ස, ඈට සැමියෙකු සිටී. කරත්තයේ ඉදිරියේ සිටින පුරුෂයා ඇගේ සැමියා ය” යි කීවේය.

රජතුමා ඇය ගැන බැඳුණු සිත ඉවත් කරන්නට නොහැකිව, ක්ලේශයන්ට වසඟව, “එක් උපායකින් මොහු මරවා ඔහුගේ බිරිඳ ගන්නෙමි” යි සිතා එක් පුරුෂයෙකු අමතා, “එම්බල, යව! නුඹ මේ චූළාමණිය (සිළුමිණ) ගෙන වීථියෙහි යන්නෙකු මෙන් වී ඒ පුරුෂයාගේ කරත්තයට දමා එව” යි සිළුමිණ දී යැවීය. ඔහු “යහපතැ” යි එය ගෙන ගොස් කරත්තයෙහි තබා, “දේවයන් වහන්ස, මා විසින් මැණික තබන ලදී” යි අවුත් දැන්වීය. එවිට රජතුමා “මාගේ සිළුමිණ නැති විය” යි කීවේය. මිනිස්සු මහත් කෝලහලයක් කළාහුය. රජතුමා “සියලු දොරටු වසා, ගමනාගමනය නවත්වා සොරා සොයව්” යි අණ කළේය. රාජ පුරුෂයෝ එසේ කළාහුය. නගරය එකම කැළඹීමක් විය. අර (මැණික දැමූ) පුරුෂයා මිනිසුන් රැගෙන බෝසතුන් සමීපයට ගොස්, “එම්බල! කරත්තය නවත්වව්. රජතුමාගේ සිළුමිණ නැති විය. කරත්තය පරීක්‍ෂා කරන්නෙමු” යි කියා කරත්තය පරීක්‍ෂා කරමින්, තමා විසින් ම තබන ලද මැණික ගෙන, “මැණික් හොරා හමුවුණා” යි බෝසතුන් අල්ලාගෙන අත්වලට හා පාවලට තලා, අත් පිටුපසට තබා බැඳ, රජු වෙත පමුණුවා “මේ මැණික් හොරා” යයි රජුට දැක්වීය. රජතුමා ද “මොහුගේ හිස සිඳිව්” යි අණ කළේය.

ඉක්බිති රාජ පුරුෂයෝ ඔහුට සිව්මංසලක් පාසා කසපහර හතර බැගින් තලමින් දකුණු දොරටුවෙන් නගරයෙන් පිටමං කළාහුය. සුජාතාව ද කරත්තය හැර දමා දෑත් ඔසවාගෙන, “හිමියනි! මා නිසා ඔබ මේ දුකට පැමිණියෙහි” යයි හඬා වැළපෙමින් පස්සෙන් ගියාය. රාජ පුරුෂයෝ “මොහුගේ හිස සිඳින්නෙමු” යි බෝසතාණන් වහන්සේ ව උඩුකුරුව හාන්සි කරවූහ. ඒ දැක සුජාතාව තමාගේ සීල ගුණය ආවර්ජනා කොට, “මේ ලෝකයේ සිල්වතුන් වෙහෙසන පව්කාර සැහැසි මිනිසුන් වළක්වා මැඩලිය හැකි දෙවි දේවතාවන් ඒකාන්තයෙන් නැතැයි සිතමි” යනාදිය කියා පළමු ගාථාව ප්‍රකාශ කළාය:

“න සන්ති දෙවා පවසන්ති නූන,
න හි නූන සන්ති ඉධ ලොකපාලා;
සහසා කරොන්තානමසඤ්ඤතානං,
න හි නූන සන්ති පටිසෙධිතාරො” ති.

(තේරුම: “සිල්වතුන් රක්නා දෙවියෝ නැතැයි සිතමි. සිටියත් ඔවුහු (එබඳු කටයුතුවලින්) බැහැර යෙතියි සිතමි. මෙලොව ලෝකපාලක දෙවියෝ ද නැතැයි සිතමි. අපරීක්‍ෂාකාරී ව දරුණුකම් කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළක්වන්නෝ ද නැතැයි සිතමි.”)

එහි, න සන්ති දෙවා යනු ‘මේ ලෝකයේ සිල්වතුන් දෙස බලන්නා වූ ද, පව් වළක්වන්නා වූ ද දෙවියෝ ඒකාන්තයෙන් නැත’. පවසන්ති නූන යනු ‘මෙබඳු අසාධාරණ ක්‍රියා ඇති වූ විට ඒකාන්තයෙන් ම (ඔවුහු) බැහැර යති’. ඉධ ලොකපාලා යනු ‘මේ ලෝකයේ ලෝකපාලක යැයි සම්මත වූ, සිල්වතුන්ට අනුග්‍රහ කරන මහණ බමුණෝ ද, න හි නූන සන්ති (එනම්) ඒකාන්තයෙන් ම නැත’. සහසා කරොන්තානං අසඤ්ඤතානං යනු ‘වහා, නොවිමසා සැහැසි දරුණු ක්‍රියා කරන්නා වූ දුස්සීලයන්ට’, පටිසෙධිතාරො යනු ‘මෙබඳු ක්‍රියා නො කරව්, මෙබඳු ක්‍රියා කිරීමට ඉඩ නො ලැබේ ය’ යනුවෙන් වළක්වන්නෝ නැත (යන අර්ථයි).

මෙසේ සිල්වත් වූ ඇය වැළපෙමින් කියන විට සක්දෙව් රජු හුන් ආසනය උණුසුම් වන ආකාරයක් දැක්වීය. එවිට ශක්‍රයා “කවරෙක් මා සක්දෙව් පදවියෙන් පහ කරනු කැමැත්තෝ දැ” යි සොයා බලන්නේ, මේ කරුණ දැන, “බරණැස් රජු ඉතා දරුණු ක්‍රියාවක් කරයි. සිල්වත් සුජාතාව වෙහෙසට පත් කරයි. දැන් මම එහි යන්නට වටී” යයි සිතා දෙව්ලොවින් බැස, තමන්ගේ ආනුභාවයෙන්, ඇතු පිට හිඳ යන්නා වූ ඒ පවිටු රජු ඇතු පිටින් බස්සවා, වධකයාගේ දම්ගෙඩියෙහි (කඳෙහි) උඩුකුරුව හිඳුවා, බෝසතාණන් වහන්සේ ව ඉන් ඔසවා තබා, සියලු ආභරණයෙන් සරසා, රජ වෙස් ගන්වා ඇතු පිට හිඳුවිය. පොරොව ඔසවාගෙන සිටි වධකයෝ හිස සිඳින්නෝ (වධකයා දම්ගෙඩිය මත සිටින තැනැත්තා හොරා යැයි සිතා) රජුගේ හිස සින්දෝය. හිස සිඳි අවස්ථාවේ දී ම ඒ රජුගේ හිස බව පිරිස දැනගත්හ. සක්දෙවිඳු පෙනෙන සිරුරෙන් යුතුව බෝසතුන් සමීපයට ගොස්, බෝසතාණන් වහන්සේට රාජාභිෂේකයත්, සුජාතාවට අගමෙහෙසි තනතුරත් ලබා දුන්නේය. ඇමතිවරු ද, බමුණු ගෘහපති ආදීහු ද සක්දෙව් රජ දැක, “අදැහැමි රජු මරන ලදී. දැන් අප විසින් ශක්‍රයා විසින් දෙන ලද දැහැමි රජෙක් ලබන ලදී” යැයි සොම්නසට පත් වූහ.

Story Illustration ශක්‍රයාගේ බලයෙන් බෝධිසත්ත්වයන් රජු බවට පත්වීම සහ දුෂ්ට රජුට දඬුවම් ලැබීම

ශක්‍රයා ද අහසේ සිට, “මේ තොපට ශක්‍රයා විසින් දුන් රජතුමා ය. මෙතැන් පටන් දැහැමින් රාජ්‍යය කරවන්නේය. යම් හෙයකින් රජ අදැහැමි වෙයි ද, අකල් වැසි වසියි; සුදුසු කලට වැසි නො වසියි; සාගිනි බිය, රෝග බිය හා ආයුධ බිය ඇති වෙයි. මේ භය තුන (රාජ්‍යයෙන්) පහව නොයන්නේ ය” යි අවවාද දෙමින් දෙවන ගාථාව ද කීවේය:

“අකාලෙ වස්සතී තස්ස, කාලෙ තස්ස න වස්සති;
සග්ගා ච චවති ඨානා, නනු සො තාවතා හතො” ති.

(තේරුම: “(නොදැහැමි රජුගේ රාජ්‍යයෙහි) නොකල්හි වැසි වසී. ඒ රටෙහි සුදුසු කාලයෙහි නො වසී. ඒ (අදැහැමි) රජ දෙව්ලොවින් (යන තැනින්) චුත වෙයි (පිරිහෙයි). හෙතෙම ඒකාන්තයෙන් විනාශයට පත් විය.”)

එහි අකාලෙ යනු ‘අදැහැමි රජුන් රජ කරන රාජ්‍යයෙහි නොකල්හි, එනම් ගොයම් පැසෙන කාලයෙහි හෝ කපන පාගන කාලයෙහි හෝ වැස්ස වසියි’. කාලෙ යනු ‘සුදුසු කල්හි, එනම් වපුරණ කාලයේ, ගොයම් පූදින හෝ බණ්ඩි කාලයේ දී වැසි නො වසී’. සග්ගා ච චවති ඨානා යනු ‘ස්වර්ග සංඛ්‍යාත වූ තැනින් හෙවත් දෙව්ලොවින් යන අර්ථයි. අදැහැමි රජ දෙව්ලොව නූපදින බැවින් දෙව්ලොවින් චුත වෙයි (පිරිහෙයි). නැතහොත් ස්වර්ගයෙහි මෙන් රජ කරන අදැහැමි රජ ඉන් චුත වෙයි යන අර්ථයි’. නනු සො තාවතා හතො යනු ‘ඒකාන්තයෙන් ඒ අදැහැමි රජ එපමණකින් මළේ (විනාශ වූයේ) වෙයි’. නැතහොත් ඒකාන්ත බව කියන මෙහි ‘න’ කාරය යෙදූ විට, ‘ඔහු ඒකාන්තයෙන් මෙපමණකින් නැසුණේ නොවේ; අටමහා නිරයන්හි ද සොළොස් ඔසුපත් නිරයන්හි ද හෙතෙම (බොහෝ කලක්) නසනු ලබන්නේය’ යන මෙය මෙහි අර්ථයයි.

ශක්‍රයා මෙසේ මහජනයාට අවවාද දී තමන්ගේ දෙව්ලොවට ම ගියේය. බෝසතාණන් වහන්සේ ද දැහැමෙන් රාජ්‍ය කොට මරණින් මතු ස්වර්ගයට ගියහ.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශ කොට ජාතක කථාව ගළපා වදාළ සේක. “එකල අදැහැමි රජ වූයේ දැන් මේ දෙව්දත් ය. ශක්‍රයා වූයේ අනුරුද්ධ ය. සුජාතාව වූයේ රාහුල මාතාවයි. ශක්‍රයා විසින් දුන් (සක්කදත්තිය) රජ වනාහි මම ම වූවෙමි.”

  1. මණිචෝර ජාතක වර්ණනාව නිමාවිය.