“කල්‍යාණිමෙව මුඤ්චෙය්‍යා” (යහපත් වචනම පිට කළ යුතුය) යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි ඕමසවාද ශික්ෂාපදය (අනුන්ට රළු බස් කීම පිළිබඳ විනය නීතිය) අරබයා වදාළ සේක. මෙහි කථා වස්තූන් දෙකම මීට පෙර විස්තර කළ නන්දිවිසාල ජාතකයෙහි දැක්වූ පරිදිම වේ. නමුත් මේ ජාතකයෙහි බෝධිසත්වයන් වහන්සේ ගන්ධාර රට තක්සලා නුවර එක්තරා බමුණෙකුට අයත් ‘සාරම්භ’ නම් ගොනෙක් වී උපන්හ. බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා, සම්බුදුරජාණන් වහන්සේ වශයෙන් මෙම ගාථාව වදාළ සේක.
බමුණා සහ සාරම්භ නම් වෘෂභ රාජයා
“කෙනෙකු මුවින් යහපත් වචන ම පිට කළ යුතුය. ලාමක වචන කිසිවිටෙකත් පිට නොකළ යුතුය. යහපත් වචන කීම ඉතා මැනවි. ලාමක වචන කීමෙන් (දෙලොව) තැවීමට සිදුවෙයි.”
එහි ‘කල්‍යාණිමෙව මුඤ්චෙය්‍යා’ යන්නෙන් අදහස් කරන්නේ, වචී දෝෂ සතරෙන් මිදුණු, යහපත් වූ, සුන්දර වූ, නිවැරදි වචන ම මුවින් පිට කළ යුතු බවයි; පැවසිය යුතු බවයි. ‘න හි මුඤ්චෙය්‍ය පාපිකං’ යන්නෙන් අදහස් කරන්නේ, පවිටු වූ, ලාමක වූ, අනුන්ට අප්‍රිය වූ, අමනාප වූ වචන පිට නොකළ යුතු බවයි; නොකැකිය යුතු බවයි. ‘මොක්ඛො කල්‍යාණියා සාධු’ යනු යහපත් වචන පිට කිරීම ම මෙලොව යහපත් වන බවයි; සුන්දර වන බවයි; භද්‍ර වන බවයි. ‘මුත්වා තප්පති පාපිකං’ යන්නෙන් අදහස් වන්නේ, පරුෂ වචන පිට කොට, විසුරුවා හැර, කියාපාන ඒ පුද්ගලයා (පසුව) ශෝක කරන බවයි; තැවෙන බවයි; ක්ලාන්ත වන බවයි.
මෙසේ ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය සමාධාන කළ සේක. “එකල බමුණා වූයේ දැන් මේ ආනන්ද තෙරුන් ය. බැමිණිය වූයේ උප්පලවණ්ණා ය. සාරම්භ නම් ගොනා වී උපන්නේ මම ම ය.”
අටවන සාරම්භ ජාතක වර්ණනාවයි.