“යස්ස මඞ්ගලා සමූහතා” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි, සාටක ලක්ෂණ නම් එක්තරා බමුණකු අරබයා වදාළ සේක. රජගහ නුවර විසූ, ශුභ නිමිති ආදී මංගල කරුණු විශ්වාස කළ එක් බමුණෙක් තෙරුවන් කෙරෙහි නොපැහැදුණු මිසදිටුවෙක් විය. ඔහුට මහත් ධන සම්පත් ද මහත් භෝග සම්පත් ද තිබිණි. ඔහුගේ පෙට්ටියක තැන්පත් කර තිබූ සළු යුවලක් මීයන් විසින් කන ලදී. ඔහු හිස සෝදා නාගෙන “සළු ගෙනෙන්න” යැයි කී කල්හි, මීයන් විසින් ඒවා කන ලද බව සේවකයෝ දැනුම් දුන්හ. එවිට ඔහු මෙසේ සිතුවේය: “ඉදින් මීයන් විසින් කන ලද මේ සළු යුවල මේ නිවසෙහි තබාගතහොත් මහත් විනාශයක් සිදුවනු ඇත. මෙය අවමඟුලකි. කාලකණ්ණි දෙයකි. මෙය දූදරු ආදීන්ට හෝ දාස කම්කරු ආදීන්ට හෝ දීමට නොහැකිය. යමෙක් මෙය ගනී නම් ඔහුට මහත් විනාශයක් වන්නේය. එබැවින් මෙය අමු සොහොනෙහි දමන්නෙමි. එහෙත් දාසාදීන් අත මෙය යැවීමට ද නොහැකිය. ඔවුන් මේ ගැන ලෝභ උපදවා මෙය ගත්තොත් ඔවුන් විනාශයට පත්වනු ඇත. එබැවින් මාගේ පුතා ලවාම එය අමු සොහොනට යවමි.” ඔහු පුතා කැඳවා මෙම කරුණ පවසා, “පුතණුවනි, ඔබත් මෙය අතින් ස්පර්ශ නොකොට, දණ්ඩකින් ගෙන ගොස් අමු සොහොනෙහි දමා, හිස සෝදා නාගෙන එන්න” යැයි පිටත් කළේය.
එදින අලුයම් කාලයෙහි බුදුරජාණන් වහන්සේ ද හික්මවිය යුතු ජනයා දෙස බලන සේක්, මේ පිය පුතුන් දෙදෙනාට සෝවාන් වීමට ඇති වාසනා මහිමය දැක, මුවන් එන මඟ රැක සිටින මුව වැද්දෙකු මෙන් වැඩම කොට, අමු සොහොන් දොරටුව අබියස ෂඩ් වර්ණ බුද්ධ රශ්මීන් විහිදුවමින් වැඩ සිටි සේක. මානවකයා ද පියාගේ වචනය පිළිගෙන, නිවස තුළ සිටි පිඹුරකු මෙන් ඒ සළු යුවල දඬු කෙළවරින් ඔසවාගෙන අමු සොහොන් දොරටුව අසලට පැමිණියේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ, “මානවකය, ඔබ කුමක් කරන්නේද?” යි විමසූහ. “භවත් ගෞතමයන් වහන්ස, මේ සළු යුවල මීයන් විසින් කන ලදී. මෙය කාලකණ්ණි දෙයකි. හලාහල විෂක් සමානය. වෙනත් අයෙකු මෙය ඉවත දමන විට ලෝභ උපදවා මෙය ගතහොත් විනාශ වේය යන බියෙන් මාගේ පියා මා එවන ලදී. මම මෙය ඉවත දමා හිස සෝදා නාගන්නෙමි. භවත් ගෞතමයන් වහන්ස, ඒ සඳහා පැමිණියෙමි.” “එසේ නම් ඉවත දමන්න.” මානවකයා එය ඉවත දැමුවේය. බුදුරජාණන් වහන්සේ “අපට දැන් මෙය වටිනවා” යැයි පවසා ඔහුගේ ඇස් ඉදිරිපිටදීම ඒ සළු යුවල අතට ගත් සේක. “භවත් ගෞතමයන් වහන්ස, එය අවමංගල වස්තුවකි. කාලකණ්ණි දෙයකි. නොගන්න, නොගන්න” යැයි ඔහු වළක්වද්දීම, එය රැගෙන වේළුවනාරාමය දෙසට වැඩම කළ සේක.
බුදුරජාණන් වහන්සේ අමු සොහොන් දොරටුව අබියස දී වස්ත්‍රය රැගෙන යන මාණවකයා හමුවූ
අවස්ථාව.
මානවකයා වේගයෙන් ගොස් පියාට ඒ බව දැන්වීය. “පියාණෙනි, මා විසින් අමු සොහොනෙහි ඉවත දමන ලද සාටක යුවල, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ‘අපට වටිනවා’ යැයි පවසා මා විසින් වළක්වද්දීම රැගෙන වේළුවනාරාමයට වැඩිය සේක.” බමුණා මෙසේ සිතුවේය: “ඒ සළු යුවල අවමඟුල් සහගතය. කාලකණ්ණි දෙයකි. එය පරිහරණය කිරීමෙන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ද විනාශ වනු ඇත. විහාරය ද විනාශ වනු ඇත. එයින් අපට ද නින්දාවක් සිදුවනු ඇත. එබැවින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට වෙනත් බොහෝ සළු පිළි දී එය බැහැර කරවන්නෙමි.” ඔහු බොහෝ සළු ගෙන්වාගෙන පුතා සමඟ වේළුවනයට ගොස් බුදුරජාණන් වහන්සේ දැක එකත්පසෙක සිට මෙසේ විමසීය. “භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ විසින් අමු සොහොනෙන් සළු යුවලක් ගන්නා ලද බව ඇත්ත ද?” “බමුණ, එය සැබෑවකි.” “භවත් ගෞතමයන් වහන්ස, ඒ සළු යුවල අවමංගල්‍යයකි. ඔබ වහන්සේ එය පරිභෝග කිරීමෙන් විනාශ වන්නාහුය. මුළු විහාරය ම විනාශ වන්නේය. ඉදින් ඔබ වහන්සේට ඇඳුමක් හෝ පොරෝණයක් හෝ ප්‍රමාණවත් නොවේ නම්, මේ අලුත් සළු පිළි රැගෙන එය ඉවත දමනු මැනවි.” ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: “බමුණ, අපි පැවිද්දෝ වෙමු. අපට අමු සොහොනෙහි හෝ ඇතුල් වීදියෙහි හෝ කසල ගොඩෙහි හෝ නාන තොටෙහි හෝ මහමඟෙහි හෝ මෙබඳු ස්ථානවල ඉවත දමන ලද හෝ වැටුණු හෝ වස්ත්‍ර කැබලි කැප ය. ඔබ වනාහි දැන් පමණක් නොව පෙරත් මෙබඳු මතවාද දැරූ අයෙකි.” මෙසේ වදාරා ඔහු විසින් ආරාධනා කරන ලදුව, අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස මගධ රටේ රජගහ නුවර දැහැමි මගධ රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසතාණන් වහන්සේ එක්තරා උසස් බමුණු කුලයක ඉපදී, නුවණ මුහුකුරා ගිය පසු තවුස් පැවිද්දෙන් පැවිදි ව, අභිඥා සහ සමාපත්තීන් උපදවා ගෙන හිමාලයෙහි විසූහ. එක් කලෙක එතුමා හිමාලයෙන් නික්ම රජගහ නුවර රජ උයනට පැමිණ එහි නවාතැන් ගෙන, දෙවැනි දවසේ පිඬු පිණිස නගරයට පිවිසියේය. රජතුමා ඒ තවුසා දැක කැඳවා ප්‍රාසාදයෙහි හිඳුවා දන් වළඳවා උයනෙහි ම විසීම පිණිස පොරොන්දු කරවා ගත්තේය. බෝසතාණන් වහන්සේ රජ නිවසින් වළඳා උයනෙහි වසති. ඒ කාලයෙහි රජගහ නුවර ‘දුස්ස ලක්ෂණ’ නම් බමුණකු විය. ඔහුගේ පෙට්ටියෙහි තබන ලද සළු යුවලක් සම්බන්ධ සිදුවීම ද සියල්ල පෙර පරිදිමය.
මානවකයා සොහොනට යන විට බෝසතාණන් වහන්සේ ඊට පෙරාතුව ගොස් සොහොන් දොරටුවෙහි හිඳගෙන, ඔහු විසින් ඉවත ලන ලද සළු යුවල රැගෙන උයනට ගියහ. මානවකයා ගොස් පියාට ඒ බව දැන්වීය. පියා “රජතුමාගේ කුලූපග තාපසයා විනාශ වනු ඇතැ” යි බිය වී බෝසතාණන් වහන්සේ වෙත ගොස්, “තාපසතුමනි, ඔබ වහන්සේ විසින් ගන්නා ලද සළු ඉවත ලන්න. විනාශ නොවන්න” යැයි කීවේය. එවිට තාපසතුමා, “බමුණ, සොහොනෙහි ඉවත ලන ලද රෙදි කැබලි අපට කැප ය. අපි කෝතුහල මංගලිකයෝ (දුටු, ඇසූ දේ මංගල යැයි ගන්නා අය) නොවෙමු. මේ කෝතුහල මංගලය බුදු, පසේ බුදු, බෝධි සත්ත්වයන් විසින් වර්ණනා නොකරන ලද්දකි. ඒ නිසා නුවණැත්තා විසින් කෝතුහල මංගලිකයකු නොවිය යුතුය” යැයි බමුණාට දහම් දෙසූහ. බමුණා දහම් අසා දෘෂ්ටිය අත්හැර බෝසතුන් සරණ ගියේය. බෝසතාණන් වහන්සේ ද නොපිරිහුණු ධ්‍යාන ඇතිව මියගොස් බ්‍රහ්ම ලොකයෙහි උපන්හ.
බුදුරජාණන් වහන්සේ ද මේ අතීත කතාව ගෙනහැර දක්වා, අභිසම්බුද්ධත්වයට පත්ව බමුණාට දහම් දේශනා කරමින් මෙම ගාථාව වදාළ සේක.
“යස්ස මඞ්ගලා සමූහතා, උප්පාතා සුපිනා ච ලක්ඛණා ච;
සො මඞ්ගලදොසවීතිවත්තො, යුගයොගාධිගතො න ජාතුමෙතී”ති.
“යම් රහත් කෙනෙකුගේ (දිට්ඨ, සුත, මුත ආදී) මංගලයෝ ද, (සූර්යය ග්‍රහණාදී) උප්පාතයෝ ද, සිහින ද, ශරීර ලක්‍ෂණයෝ ද මනාකොට නසන ලද්දාහු වෙත් ද, මංගල දෝෂයන් ඉක්මවා සිටියේ ද, යුග ධර්මයන් හා යෝග ධර්මයන් යටපත් කොට සිටියේ ද, ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (නැවත උපතක් සඳහා) මේ ලෝකයට නොපැමිණෙන්නේය.”
එහි අර්ථය මෙසේය:
“යස්ස මඞ්ගලා සමූහතා”: යම් රහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් විසින් දිට්ඨ මංගල,
සුත මංගල, මුත මංගල යන මේ මංගල කරුණු මුලින් ම උපුටා හරින ලද්දේ වෙයි.
“උප්පාතා සුපිනා ච ලක්ඛණා ච”:
පහත දැක්වෙන නිමිති ආදියෙන් තමන්ගේ මඟුල් හෝ අවමඟුල් අපේක්ෂා නොකරයි:
- මෙබඳු චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය,
- මෙබඳු සූර්යය ග්‍රහණයක් වන්නේය,
- මෙබඳු නැකැත් ග්‍රහණයක් වන්නේය,
- මෙබඳු උල්කාපාතයක් වන්නේය,
- මෙබඳු ලැව් ගින්නක් (දිසා දාහයක්) වන්නේය යන මේ පස් මහා උප්පාත (පහළ වීම්),
- නොයෙක් ආකාර සිහින,
- ඉටු ලකුණු හා අනිටු ලකුණු,
- ස්ත්‍රී ලක්‍ෂණ, පුරුෂ ලක්‍ෂණ,
- දාස ලක්‍ෂණ, දාසි ලක්‍ෂණ,
- කඩු ලක්‍ෂණ, ඇතුන්ගේ ලක්‍ෂණ, අශ්ව ලක්‍ෂණ, ගව ලක්‍ෂණ,
- ආයුධ ලක්‍ෂණ සහ වස්ත්‍ර ලක්‍ෂණ ආදී ලක්‍ෂණ ශාස්ත්‍ර,
- දෘෂ්ටි පිහිටන ස්ථාන.
මේ සියල්ල යමෙකු විසින් නසන ලද්දේ වෙයි.
“සො මඞ්ගලදොසවීතිවත්තො”: ඒ ක්ෂීණාශ්‍රව තෙමේ සියලු මංගල දෝෂයන්
ඉක්මවා සිටියේ, පැන ගියේ, අත්හැර සිටියේ වෙයි.
“යුගයොගාධිගතො”: ක්‍රෝධය හා වෛරය, ගුණමකු බව හා
ගුණවතුන් හා තරග කිරීම ආදී වශයෙන් යුගල වශයෙන් පවතින බැවින් ‘යුග’ නම් වූ ක්ලේශයන් ද; සත්ත්වයා සසර බැඳ තබන
බැවින් ‘යෝග’ නම් වූ කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර යෝගයන් ද; යන මේ යුග සහ යෝග ධර්මයන් මැඩපවත්වා, ඉක්මවා ගිය
ක්ෂීණාශ්‍රව භික්ෂුව,
“න ජාතුමෙතී”: නැවත ප්‍රතිසන්ධි වශයෙන් ඒකාන්තයෙන්ම මේ ලෝකයට නො එයි; නො
පැමිණෙයි.
මෙසේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් බමුණාට දම් දෙසා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. සත්‍ය දේශනාව අවසානයේ පුතා සමඟ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජාණන් වහන්සේ “එකල පිය පුතු දෙදෙනා වූයේ දැන් මේ පිය පුතු දෙදෙනාමය. තාපසයා වූයේ මම ම වෙමි” යි වදාරා ජාතකය නිමා කළ සේක.
මංගල ජාතක වර්ණනාව යි (සත්වැන්නයි).