“අමාතාපිතරි සංවද්ධො” (මව්පියන් ළඟ නොවැඩුණු) යන පදයෙන් ඇරඹෙන මෙම ජාතක ධර්ම දේශනාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි, වේලාව නොදැන කෑගසන දොඩමළු භික්ෂුවක් අරබයා දේශනා කරන ලද්දකි. සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙකු වූ හෙතෙම සසුනෙහි පැවිදි වී වත් පිළිවෙත් හෝ ශික්ෂාවන් හෝ ඉගෙන නොගත්තේය. “මේ වේලාවෙහි වත් කළ යුතුය, මේ වේලාවෙහි උපස්ථාන කළ යුතුය, මේ වේලාවෙහි ඉගෙනීම් කළ යුතුය, මේ වේලාවෙහි සජ්ඣායනා කළ යුතුය” කියා හෝ හෙතෙම නොදනී. ඔහු රාත්‍රියේ පළමු යාමයෙහිත්, මැද යාමයෙහිත්, අවසන් යාමයෙහිත් යන තුන් යාමයෙහිම අවදි වූ ඕනෑම විටක මහා හඬින් ශබ්ද කරයි. මේ නිසා අනෙක් භික්ෂූන්ට නිදා ගැනීමට නොලැබේ. දම් සභාවෙහි රැස්වූ භික්ෂූන් වහන්සේලා, “ඇවැත්නි, අසවල් භික්ෂුව මෙබඳු රත්නයක් වැනි සසුනක පැවිදි වී වත් පිළිවෙතක් හෝ ශික්ෂාවක් හෝ කල් වේලාව හෝ නොදනී” යැයි ඔහුගේ අගුණ කතා කරමින් සිටියහ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර, “මහණෙනි, කවර නම් කතාවකින් යුතුව මේ දැන් සිටියහුදැ”යි විමසා, “ස්වාමීනි, අසවල් කතාවෙනි”යි කී කල්හි, “මහණෙනි, මේ අකාලරාවී (කල් නොදැන කෑගසන) භික්ෂුව දැන් පමණක් නොව පෙරත් අකාලරාවීවම සිටියේය. වේලාවත් අවේලාවත් නොදන්නාකම නිසාම ගෙල ඇඹරීමට ලක්ව ජීවිතක්ෂයට පත් විය” යැයි වදාරා අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්වයෝ උසස් බමුණු කුලයක ඉපිද, වැඩිවියට පැමිණ, සියලු ශිල්පයන්හි පරතෙරට ගොස් බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යවරයා වී පන්සියයක් සිසුන්ට ශිල්ප ඉගැන්වූහ. ඒ සිසුන්ට වේලාවට හඬලන කුකුළෙක් සිටියේය. සිසුහු ඒ කුකුළා හඬලන ශබ්දයෙන් අවදි වී අධ්‍යයන කටයුතු සිදු කරති. කල් යෑමෙන් ඒ කුකුළා මළේය. සිසුහු වෙනත් කුකුළෙකු සොයමින් ඇවිද ගියහ. එකල එක් ශිෂ්‍යයෙක් දර සෙවීමට සොහොන් බිමකට ගිය විට එහි සිටි කුකුළෙකු දැක, ඌ ගෙනැවිත් කූඩුවක දමා ඇති දැඩි කළේය. සොහොනෙහි වැඩුණු නිසා ඌ “අසවල් වේලාවට හඬලිය යුතුය” යැයි නොදැන, සමහර දිනෙක මහා රාත්‍රියේද හඬලයි; සමහර දිනෙක අරුණ නැගෙද්දී හඬලයි. මහා රාත්‍රියෙහි හඬලන විට සිසුහු අවදි වී පාඩම් කරන්නට පටන් ගෙන අරුණ නැගෙන තෙක් පාඩම් කිරීමට නොහැකිව නිදි කිරමින්, පාඩම් කළ තැන් ද අමතක කරති. ඉතා දීප්තිමත් වූ අලුයම හඬලන විට පාඩම් කිරීමට වෙලාව මදි වෙයි. සිසුහු, “මේ කුකුළා මහා රෑ හෝ අළුයම හෝ හඬලයි; මූ නිසා අපගේ ඉගෙනීම් කටයුතු අවසන් කරගත නොහැකි වනු ඇත” යැයි සිතා, ඌ අල්ලා ගෙල අඹරවා මරණයට පත් කොට, “කල් වේලා නොදැන හඬලන කුකුළා අප විසින් මරන ලදී” යැයි ආචාර්යවරයාට දැන්වූහ. එවිට ආචාර්යවරයා, “ඔවදන් නොලබා වැඩුණු බැවින් මරණයට පත් විය” යැයි පවසා මෙම ගාථාව වදාළේය.
ශිෂ්‍යයන් විසින් අකාලයේ හඬලන කුකුළා මරා දැමූ බව දිසාපාමොක් ආචාර්යවරයාට දැන්වූ
අයුරු.
“මව්පියන් සෙවණේ නොවැඩුණු, ගුරු කුලයක නොවිසූ මේ කුකුළා හඬලිය යුතු වේලාව හෝ නොහඬලිය යුතු වේලාව හෝ නොදනී.”
එහි, “අමාතාපිතරසංවද්ධො” යනු මව්පියන් ඇසුරු කොට ඔවුන්ගේ අවවාද ලබා ගනිමින් නොවැඩුණු බවයි. “අනාචෙරකුලෙ වසං” යනු ආචාර්ය කුලයක නොවිසූ හෙවත් යහපත් කල්ක්‍රියා උගන්වන ගුරුවරයෙකු ඇසුරු කරමින් වාසය නොකළ නිසා යන අර්ථයි. “නායං කාලං අකාලං වා” යනු “මේ වේලාවේ හඬලිය යුතුය, මේ වේලාවේ නොහඬලිය යුතුය” කියා මේ කුකුළා හඬලිය යුතු සුදුසු වේලාව හෝ නුසුදුසු වේලාව නොදනී; එසේ නොදන්නාකම නිසාම ජීවිතක්ෂයට පත් විය යන්නයි. මෙම කාරණය දක්වා බෝධිසත්වයෝ ආයු ඇති තාක් සිට කම් වූ පරිදි මිය පරලොව ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්ධි ගළපා නිම කළ සේක. “එකල වේලාව නොදැන හැඬූ කුකුළා නම් මේ භික්ෂුවය. අතවැසි සිසුන් පිරිස නම් දැන් බුදු පිරිසය. එකල ආචාර්යවරයා වූයේ මම ම වෙමි.”
නව වැනි වූ අකාලරාවී ජාතක වර්ණනාවයි.