(නාම) වරනැගීම DECLENSION

9. ඒ ඒ ශබ්දයන් ඒකවචන බහුවචනවලට ද, පඨමාදී විභක්තිවලට ද නියම වූ ලෙස යොදා පෙන්වීම වරනැගීම යයි කියනු ලැබේ. පුල්ලිංගයෙහි ඇතුළත් සියලු ශබ්ද එක් ආකාරයකින් ම වරනැගිය හැකි නොවේ. අකාරාන්ත (=අකාරය කෙළවරෙහි ඇති) ශබ්ද එක් ආකාරයකින් ද, ඉකාරාන්ත (=ඉකාරය කෙළවරෙහි ඇති) ශබ්ද තවත් ආකාරයකින් ද වරනැගෙත්. සමාන අන්තයක් ඇති ශබ්ද ද ඇතැම්විට වෙනස් ලෙස වරනැගෙත්.

පුරිස ශබ්දයේ අග - යන්නේ තියෙන ස්වරය - යන්නයි. එබැවින් එය අකාරාන්ත ශබ්දයකැයි කියනු ලැබේ. ඉකාරාන්තාදිය ද මේ ක්‍ර‍මයෙන් දතයුතුයි. (ඇස්, දත් ආදී වශයෙන් හල් අකුරු අන්තයෙහි ඇති ශබ්ද පාලියෙහි නැත්තාහ.)

පුරිස ශබ්දය පුල්ලිංගයෙහි වූ අකාරාන්ත ශබ්දයෙකි. එය යට දැක්වූ විභක්තිවල ද වචනවල ද වරනැගෙන ආකාරය මෙසේයි:

විභක්ති එකවචන බහුවචන
1. පඨමා පුරිසො පුරිසා
2. දුතියා පුරිසං පුරිසෙ
3. තතියා පුරිසෙන පුරිසෙභි: පුරිසෙහි
4. චතුත්‍ථි පුරිසාය: පුරිසස්ස පුරිසානං
5. පඤ්චමී පුරිසා: පුරිසම්හා: පුරිසස්මා පුරිසෙභි: පුරිසෙහි
6. ඡට්ඨි පුරිසස්ස පුරිසානං
7. සත්තමී පුරිසෙ: පුරිසම්හි: පුරිසස්මිං පුරිසෙසු
8. කරණ පුරිසෙන පුරිසෙභි: පුරිසෙහි
9. ආලපන (හෙ) පුරිස: (හෙ) පුරිසා (හෙ) පුරිසා


විභක්තිවලට නැගීම සඳහා මේ ශබ්දයට එක් කරන ලද කොටස් නම්:

විභක්ති එකවචන බහුවචන
1.
2. අං
3. එන එභි, එහි
4. ආය: ස්ස ආනං
5. ආ: ම්හා: ස්මා එභි: එහි
6. ස්ස ආනං
7. එ: ම්හි: ස්මිං එසු
8. එන එභි: එහි
9. අ: ආ

යන මොහු වෙති. (මේවා පාලියේ විභක්ති ප්‍ර‍ත්‍යයයි නො සැලකිය යුතු. නොයෙක් ආදේශාදිය කොට පද සෑදුන පසු තිබෙන අකුරු වෙන්කොට ශිෂ්‍යයන්ගේ අවබෝධය පිණිස මෙහි දක්වන ලදි. පුරිස ශබ්දයේ අන්තයෙහි අකාරය බොහෝ විට මැකී යයි.)


පුරිස ශබ්දයේ ඒ ඒ විභක්ති වචනවල සිංහල තේරුම පිළිවෙලින් මෙසේ දතයුතු:-

විභක්ති එකවචන බහුවචන
1. ප්‍රථමා පුරුෂ තෙම පුරුෂයෝ
2. ද්විතීයා (කර්‍ම) පුරුෂයා පුරුෂයන්
3. තෘතියා (කර්තෘ) පුරුෂයා විසින් පුරුෂයන් විසින්
4. චතුර්ථි (සම්ප්‍ර‍දාන) පුරුෂයාට පුරුෂයන්ට
5. පඤ්චමී (අවධි) පුරුෂයා කෙරෙන් පුරුෂයන් කෙරෙන්
6. ෂෂ්ඨි (සම්බන්ධ) පුරුෂයාගේ පුරුෂයන්ගේ
7. සප්තමී (ආධාර) පුරුෂයා කෙරෙහි පුරුෂයන් කෙරෙහි
8. කරණ පුරුෂයා කරණකොට පුරුෂයන් කරණකොට
9. ආලපන (එම්බා) පුරුෂය (එම්බා) පුරුෂයිනි


මේ පුරිස ශබ්දය මෙන් වරනැගෙන ශබ්දවලින් සමහරක්:

පාලි වචනය සිංහල තේරුම
පාලි වචනය සිංහල තේරුම
බුද්ධ බුදුරජ
කස්සක ගොවියා
ධම්ම ධර්මය
කම්මකාර කම්කරුවා
සංඝ සංඝයා
ගොපාල ගොපල්ලා
මනුස්ස මිනිසා
රජක රදවා
දෙව දෙවියා
දාස දාසයා
වාණිජ වෙළෙන්දා
පුත්ත පුත්‍ර‍යා
ලෙඛක ලියන්නා
කුමාර කුමරා: ළමයා
චොර සොරා
හත්ථ අත
මිත්ත මිතුරා
පාද පය
භූපාල රජ
කාය කය: සිරුර
අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 1.
keyboard_arrow_rightඅභ්‍යාසය 2.