විභක්ති හා (ඒක, බහු) වචන CASE AND NUMBER

7. පුරිෂ ශබ්දය පුල්ලිංගයෙහි වැටේ යයි කියන ලදී. “පුරුෂයා ගමට යයි”. “පුරුෂයාට ගොනා ඇන්නේය” ආදිය කියයුතුවිට ඒ ශබ්දය හැමතැනම එක් ආකාරයකින් යෙදිය හැකි නොවේ. ඒ ඒ අර්‍ථයන් ප්‍ර‍කාශ කිරීම සඳහා වෙනස් කොට යෙදිය යුතු වේ. මේ වෙනස් කිරීම හෙවත් බෙදීම විභක්ති යයි කියනු ලැබේ. පාලියෙහි විභක්ති සතකි.

පාලි සංස්කෘත සිංහල
1. පඨමා විභත්ති ප්‍රථමා විභක්ති පෙර විබත්
2. දුතියා විභත්ති ද්විතීය විභක්ති කර්‍ම විබත්
3. තතියා විභත්ති තෘතීයා විභක්ති කතු විබත්
4. චතුත්‍ථි විභත්ති චතුර්ථි විභක්ති සපදන් විබත්
5. පඤ්චමී විභත්ති පඤ්චමී විභක්ති අවදි විබත්
6. ඡට්ඨි විභත්ති ෂෂ්ඨි විභක්ති සබඳ විබත්
7. සත්තමී විභත්ති සප්තමී විභක්ති අදර විබත්

යන මොහුයි. තතියා විභක්තියගේ භෙදයක්වූ කරණය ද, ප්‍ර‍ථමාවගේ භෙදයක් වූ ආලපනය ද නිතර ව්‍යවහාරයට පැමිණෙන බැවින් වෙන් වූ විභක්ති දෙකක් ලෙස භාවිතයට පැමිණ තිබේ.

8. කරණ විභත්ති කරණ විභක්ති කරණ විබත්
9. ආලපන විභත්ති ආලපන විභක්ති අලප් විබත්

යන මේ දෙක සමග විභක්ති නවයකි.

(“පඨමා” යන්නේ තේරුම “පළමු” යනුයි, “දුතියා” = “දෙවන” ආදී වශයෙන් සත්වන විභක්තිය දක්වා පිළිවෙලින් දතයුතුයි.) මේ විභක්තිවල ඉංග්‍රීසි නාම හා දැන් සිංහල ව්‍යවහාරයෙහි පවත්නා නම් මෙසේයි:-

1. Nominative Case ප්‍ර‍ථමා විභක්තිය
2. Accusative or Objective Case කර්‍ම විභක්තිය
3. Ablative of Agent Case කර්‍තෘ විභක්තිය
4. Dative Case සම්ප්‍ර‍දාන විභක්තිය
5. Ablative of Separation Case අවධි විභක්තිය
6. Genitive of Possessive Case සම්බන්ධ විභක්තිය
7. Locative Case ආධාර විභක්තිය
8. Ablative of Instrument Case කරණ විභක්තිය
9. Vocative Case ආලපන හෝ සම්බොධන විභක්තිය

8.එක් අයෙකු හෝ එක් දෙයක් කියයුතු කල්හි ඒක වචනය ද, එක් අයකුට හෝ එක් දෙයකට වැඩි ගණනක් කියයුතු කල්හි බහු වචනය යොදනු ලැබේ. එබැවින් එක් එක් විභක්තිය

ඒකවචන

බහුවචන

වශයෙන් ද වෙනස්වන බව දතයුතු.