මහාඅනුමාන ප්‍ර‍ශ්නය

නැවතත් ප්‍ර‍ඥාධනනිධාන වූ මිලිඳු මහරජානෝ යම් තැනෙක ආයුෂ්මත් වූ නාගසෙන ස්ථවිරයන් වහන්සේ වැඩ වාසය කර වදාරණසේක් ද, එතැන්හි එළඹියාහ. එසේ එළඹ ආයුෂ්මත් වූ නාගසෙන ස්ථවිරොත්තමයානන් සකසා වැඳ එකත්පසෙක්හි හුන්නාහ. එකත්පසෙක හුන්නා වූ ඒ මිලිඳු මහරජානෝ විශෙෂයෙන් ම සුගතාගම දකිනු කැමැති වූවාහු අසනු කැමැති වූවාහු සිතින් දරණු කැමැති වූවාහු ප්‍ර‍ඥාලොකය දක්නා කැමැති වූවාහු නුනුවණ බිඳ හරිණු කැමැති වූවාහු ප්‍ර‍ඥාලොකය උපදවනු කැමැති වූවාහු අවිද්‍යාන්ධකාරය නසනු කැමැති වූවාහු අධික වූ ධෛර්යයද උත්සාහය ද, සිහිය ද, ප්‍ර‍ඥාව ද උපදවා ආයුෂ්මත් වූ නාගසෙනයන් ස්ථවිරයන් වහන්සේට මේ මතු කියන කථාව කීහ. “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ විසින් සර්වඥ බුදුරජතෙමේ දක්නා ලද්දේ දැ?” යි විචාළෝ ය. “නැත, මහරජැ” යි වදාළසේක. “කිමෙක් ද, වහන්ස, නුඹගේ ආචාර්යවරුන් විසින් සර්වඥතෙමේ දක්නා ලද්දේ දැ?” යි විචාළෝ ය. “නැත, මහරජැ” යි වදාළසේක. “පින්වත් වූ නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ විසිනුත් ලොවුතුරා බුදුරජතෙමේ නො දක්නා ලද්දේ ය, නුඹ වහන්සේගේ ආචාර්යවරයන් විසිනුත් ලොවුතුරා බුදුරජතෙමේ නො දක්නා ලද්දේ ය. පින්වත් වූ නාගසෙනයන් වහන්ස, ඒ කාරණයෙන් බුදුහු නැත්තාහ.[1] මෙහි බුදුකෙනෙක් මට නො දැනෙන්නාහ[2]” යි කීහ. “මහරජානෙනි, යම් ඒ රජකෙනෙක් තොපගේ රාජවංශයට පූර්වංගම වූවාහු ද, ඒ පූර්වරජදරුවෝ ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, කවර කාංක්ෂාවෙක් ද? මාගේ රාජ වංශයට යම් රජදරු කෙනේක පූර්වංගම වූවාහු ද, ඒ පූර්වරජදරුවෝ ඇතැ” යි කීහ. “මහරජානෙනි, තොප විසින් ඒ පූර්වරජදරුවෝ දක්නා ලද්දෝ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, (407) තොපට ය්ම පුරොහිත සෙනාපති විනිශ්චය මහාමාත්‍යකෙනෙක් අනුසාසනා කෙරෙද්ද, ඔවුන් විසින් ඒ පූර්වරජ දරුවෝ දක්නා ලද්දාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, ඉදින් තොප විසිනුත් පූර්ව රජදරුවෝ නො දක්නා ලද්දාහු නම්, තොපට අනුශාසනා කරන්නවුන් විසිනුත් පූර්ව රජදරුවෝ නො දක්නා ලද්දාහු වී නම්, එහි පූර්ව රජදරුකෙනෙක් නැත්තාහ. මේ තොපගේ රාජවංශයෙහි පූර්ව ක්ෂත්‍රියකෙනෙක් මට නො දැනෙන්නාහ[3]” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අපගේ පූර්වරජදරුවන් විසින් අනුභව කළා වූ පරිභොග කළා වූ භාණ්ඩය දක්නා ලැබෙයි. හේ කවරේ ද? යත්- මාහැඟි වූ ධවලච්ඡත්‍ර‍ය, නළල් පට ය, රන්මිරිවැඩි සඟල ය, වල්විදුනාව ය, ඛඞ්ගරත්න ය, මහාර්හ වූ ශ්‍රී යහන් ය. යම් භාණ්ඩ කෙනෙකුන් කරණ කොට ගෙණ අපි පූර්ව රජදරුවෝ ඇතැ යි කියා අදහන්නමෝ ද, දැන ගන්නමෝ ද, ඒ මේ භාණ්ඩයෝ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අපිදු ඒ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ ඇතැ” යි කියා දැන ගණුම්හ. අදහා ගණුම්හ. යම් කාරණයකින් ඒ ලොවුතුරා බුදුන් ඇතැ යි කියා දැන ගන්නමෝ ද, අදහා ගන්නමෝ ද, ඊට ම කාරණයක් ඇතැ” යි වදාළ සේක. “ඒ කාරණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, භාග්‍යවත් වූ සියල්ල දත්තා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධ සර්වඥරාජොත්තමයානන් වහන්සේ විසින් අනුභව කර වදාළා වූ පරිභොගභාණ්ඩයෝ ඇත. ඒ කවරේ ද? යත්- සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍ර‍ධානයෝ ය, සතර සෘද්ධිපාදයෝ ය, පඤ්චේන්ද්‍රියයෝ ය, පඤ්චබලයෝ ය, සප්ත බෞද්ධාංගයෝ ය, ආර්යඅෂ්ටාංගිකමාර්ගය දැ යි යන යම් ධර්මකෙනෙකුන් කරණ කොට ගෙණ ඒ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ ඇතැ යි කියා දෙවියන් සහිත වූ ලෝවැසිතෙම දන්නේ ද, අදහන්නේ ද, ඒ මේ ලොකොත්තර භාණ්ඩයෝ නම්වෙති. මහරජානෙනි, මේ කාරණයෙන් ද මේ හෙතුයෙන් ද මේ ක්‍ර‍මයෙන් ද මේ අනුමානයෙන් ද ලොවුතුරා බුදුහු ඇතැ යි කියා දත යුත්තේ ය. තවද, මහරජානෙනි, යම් ද්වීපදොත්තම වූ ලොවුතුරා බුදුරජානන් වහන්සේ කෙනෙක් බොහෝ දිව්‍යබ්‍ර‍හ්මමනුෂ්‍යයන් සංසාරසාගරයෙන් එතෙර කොට උපධි සංඛ්‍යාත සර්වක්ලෙශයන් ක්ෂය කිරීමෙන් පිරිනිවී ගිය සේක් ද, මේ අනුමානයෙන් ඒ ද්විපදොත්තමයානන් වහන්සේ ඇතැ යි කියා දත යුත්තේ යි. එයින් වදාළහ:-

‘බහු ජනෙ තාරයිත්‍වා-නිබ්බුතො උපධිසංඛයෙ,

අනුමානෙන ඤාතබ්බො-අත්‍ථි සො දීපදුත්තමො’ යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙපමණකින් මාගේ කාංක්ෂාව විරමණය නො වෙයි තවත් උපමාවකුත් කර අදාළ මැනැවැ” යි කීහ. “සැබව, මහරජානෙනි, ගම්භීර වූ අර්ථධර්ම උපමා දර්ශනයෙන් සමහර පණ්ඩිතවරු අවබොධය කෙරෙති. මහරජානෙනි, යම් සේ නුවරක් මවනු කැමැත්තා වූ නුවර වඩුතෙම පළමු කොට ම සම වූ උස් මිටි තැන් නැත්තා වූ බොරළු ගල් නැත්තා වූ නිරුපද්‍ර‍ව වු කිසි දොෂයක් නැත්තා වූ රමණීය වූ භූමිප්‍රදෙශයක් විමසා බලා එහි විෂම වූ යමක් ඇත් නම් ඒ සම කරවා කණු (408) කටු පහ කිරීමෙන් භූමිය ශුද්ධ කරවා ඒ භූමිප්‍රදෙශයෙහි සර්ව නගරාංගශ්‍රීයෙන් ශොභන වූ සර්වදොෂ විරහිත වූ ගෙබිම් බෙදීම් ඇති රාජගෘහමණ්ඩපාංගණාදී ප්‍ර‍මාණයෙන් යුක්ත වූ ගම්භීර වූ අගලින් හා උස් වූ ප්‍රාකාරපංක්තීන් ඇති දැඩි වූ වහසල් දොරටු හා අටලු කොටු ඇති පෘථුලාංගණ චතුෂ්කසන්ධි ඇති පවිත්‍ර‍ සමතලා රාජමාර්ග ඇති සුන්දරාකාරයෙන් බෙදා කරණ ලද අතරතුර සල්පිල් ඇති ආරාමොද්‍යාන වැව් පොකුණු ලිඳින් සම්පූර්ණ වූ බොහෝ වූ දෙවාලයස්ථානයෙන් ප්‍ර‍තිමණ්ඩිත වූ පහ වූ සර්වදොෂ ඇති මහනුවරක් මවාලන්නේ වී නම්, සර්වප්‍ර‍කාරයෙන් ඒ නුවර විපුලබවට පැමිණි කල්හි ඒ වඩුපුරුෂතෙම අනික් දෙශයකට යන්නේ ය. නැවත ඒ නුවර අනික් කාලයක සකලසම්පත්යෙන් සමෘද්ධ වන්නේ ය. සුත්ඵුල්ලපද්මයක් සෙයින් සම්පූර්ණ වන්නේ ය. ඛාද්‍යභොජ්‍යාදියෙන් සුභික්ෂ වන්නේ ය. ක්ෂෙම වන්නේ ය, නොයෙක් සමෘද්ධි ඇත්තේ ය, මංගල්‍යක්‍රියා ඇත්තේ ය, උවදුරු නැත්තේ ය, නිරුපද්‍ර‍ව වන්නේ ය, නානා ජනයන්ගෙන් ආකුල වන්නේ ය.

“පුථු ඛත්තියා බ්‍ර‍හ්මණා වෙස්සා සුද්දා හත්‍ථාරොහා අස්සා රොහා රථිකා පත්තිකා ධනුග්ගහා ථරුග්ගහා චෙලකා චලකා පිණ්ඩදායකා මහායොධා උග්ගා රාජපුත්තා පක්ඛන්‍දිනො මහා නාගා සූරා චම්මයොධිනො දාසිපුත්තා භටපුත්තා මල්ලගණා ආලාරිකා සුදා කප්පකා නහාපකා චුන්‍දා මාලාකාරා සුවණ්ණකාරා සජ්ජුකාරා සීසකාරා තිපුකාරා ලොහකාරා තට්ටකාරා අයකාරා මණිකාරා පෙසකාරා කුම්භකාරා ලොහකාරා චම්මකාරා රථකාරා දන්තකාරා රජ්ජුකාරා කොච්ඡකාරා සුත්තකාරා විලීවකාරා ධනුකාරා ජියාකාරා උසුකාරා චිත්තකාරා රඞ්ගකාරා රජකා තන්තවායා තුන්නවායා හෙරඤ්ඤිකා දුස්සිකා ගන්‍ධිකා තිණහාරකා කට්ඨහාරකා භතකා පණ්ණිකා ඵලිකා මූලිකා ඔදනිකා පූවිකා මච්ඡිකා මංසිකා මජ්ජිකා නටකා නච්චකා ලංඝකා ඉන්‍දජාලිකා චෙතාලිකා මල්ලා ඡවඩාහකා පුප්ඵඡඩ්ඪකා වෙණිකා නෙසාදා ගණිකා ලසිකා කුම්භදාසියො සකයවනා චීනමිලාතා උප්ජෙනීකා භාරුකච්ඡකා කාසිකොසලා පරන්තකා මාගධකා සාකෙතකා සොරට්ඨකා පාඨෙය්‍යකා කොටුම්බරකා මධුරකා ආලසන්‍දා කස්මිරා ගන්‍ධරා තං නගරං වාසාය උපගතා නානාවිසයිනො ජනා නවං සුවිභත්තං අදොසමනවජ්ජං රමණීයං තං නගරං පස්සිත්‍වා අනුමානෙන ජානන්ති: ඡෙකො වත භො සො නගරවඩ්ඪකී යො ඉමස්ස නගරස්ස මාපෙතාති.”

“එනුවර වාසයට එළෙඹියා වූ ස්වකීය යවන නම් දෙශවාසීහු ද, චීන මිලාත දෙශවාසීහු ද, උදේනිරට වාසීහු ද, භාරුකච්ඡරට වාසීහු ද, කාශි කොශලදෙශ වාසීහු ද, අපරන්තකයෝ ද, මගධරට වාසීහු ද, සාකෙතයෝ ද, සොරට්ඨයෝ ද, පාඨෙය්‍යකයෝ ද, කොටුම්බරදෙශ වාසීහු ද, මථුරාරට වාසීහු ද, ආලසන්දාවෝ ද, කාශ්මීරරට වාසීහු ද, ගන්ධාරදෙශ වාසීහු ද, යනාදි නොයෙක් දෙශ වාසී වූ නොයෙක් ක්ෂත්‍රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය, වෛශ්‍යයෝ ය, ශුද්‍රයෝ ය, හස්ත්‍යාරොහයෝ ය, අශ්වාරොහයෝ ය, රථාරොහයෝ ය, (409) පාබලසෙනාව ය, දුනු ගත්තෝ ය, කඩු ගත්තෝ ය, යුද්ධයෙහි ජයකොඩි ගෙණ පෙරටු ව යන වෙලකයෝ ය, යුද්ධයෙහි සෙනා රාශි සදමින් ඒ ඒ තැන දිව පනින්නා වූ චලකයෝ ය, සංග්‍රාමයෙහි යොධාදීන්ට බත් පැන් දෙන්නා වූ පිණ්ඩදායකයෝ ය, ශත්‍රැසෙනාමධ්‍යයට පනිමින් හිස් සිඳ ඉපිල පැන එන්නා වූ සාහිකමහා යොධයෝ ය, උග්‍ර‍ වූ වික්‍ර‍ම ඇති සංග්‍රාමාවචර රාජපුත්‍රයෝ ය, ‘කාගේ ශීර්ෂය කාගේ ආයුධය ගෙණෙම් දැ?” යි විචාරා ශත්‍රැසෙනාමධ්‍යයට පැන එම කී හිස් හා කඩු ගෙණ එන්නා වූ පක්ඛන්දික නම් මහාසූරයෝ ය, ත්‍රිමදගලිත හස්තිරාජයෙකු වුවත් අභිමුඛයට පැමිණි කල නො පසු බස්නා මහානාග නම් යෝධයෝ ය, මුහුදින් එතෙර පිහිනා පියන තරම් එකචින්ති සූරයෝ ය, සම්සැට්ට පෙරවා ගෙණ යුද්ධ කරණ චර්මයෝධයෝ ය, බලවත් ස්නේහ ඇති ගෘහදාසක පුත්‍රයෝ ය, රාජභටයන්ගේ පුත්‍රයෝ ය, මල්ලවජනයෝ ය, රසකාරකයෝ ය, සූපකාරකයෝ ය, අලංකාර කරණයෙන් අන්දම් තබන කපුවෝ ය, චුර්ණවිලෙපනාදීයෙන් රජුන් නහවන්නෝ ය, ලි ලියන වඩුවෝ ය, මාලාකාරයෝ ය, ස්වර්ණකාරයෝ ය, රිදීකාරයෝ ය, කෘෂ්ණ ඊයම්කාරයෝ ය, තිපුකාරයෝ ය, ලොහකාරයෝ ය, තැටිකාරයෝ ය, යකඩකාරයේ ය, මැණික්කාරයෝ ය, පෙසකාරයෝ ය, කුම්භකාරයෝ ය, ලෝකුරුවෝ ය, සොම්මරුවෝ ය, රථකාරයෝ ය, දන්තකාරයෝ ය, ලනුකාරයෝ ය, පණාකාරයෝ ය, නූල්කාරයෝ ය, හැඩයෝ ය, දුනුකාරයෝ ය, දුනුදිය කරන්නෝ ය, හීවඩුවෝ ය, චිත්‍ර‍කාරයෝ ය, සායම්කාරයෝ ය, රදවු ය, නූල් වියන්නෝ ය, සන්නාලියෝ ය, රන්මසු තනන්නෝ ය, පිළිවෙළෙන්දෝ ය, සුවඳ තනන්නෝ ය, තෘණහාරකයෝ ය, දර ගෙණෙන්නෝ ය, බත් බැළයෝ ය, පර්ණිකයෝ ය, එළිකයෝ ය, මූලඅල හරණෝ ය, ඔදනිකයෝ ය, පූවිකයෝ ය, මත්ස්‍යවෙළෙන්දේ ය, මාංස වෙළෙන්දෝ ය, සුරාවෙළෙන්දෝ ය, නැට්ටුවෝ ය, නෘත්‍යකාරයෝ ය, පිනුම්කාරයෝ ය, ඉන්ද්‍ර‍ජාල දන්නෝ ය, වෙතාලයෙහි මංගලාෂ්ටක කියන්නා වූ වෙතාලික යෝ ය, මුෂ්ටිමල්ලවයෝ ය, මළමිනි දවන්නෝ ය, මල්පර දමන්නෝ ය, වීණාකාරයෝ ය, වැද්දෝ ය, වේසියෝ ය, ප්‍රිතියෙන් ඉපිලෙන්නාක් මෙන් පැනනැඟි නැඟී නටන්නා වූ ලසිකා නම් නෘත්‍යාංගනාවෝ ය. කුම්භ දාසියෝ ය, යනාදි ජනයෝ නගරාංග විශිඛාදි මනා වූ බෙදුම් ඇති නිර්දොෂානවද්‍යරමණීය වූ ඒ අලුත් නුවර දැක විස්මය පත් ව ‘පින්වත්නි, යම් වඩුවෙක් මේ නුවර මවාලූයේ වේ ද, ඒ නගරවඩ්ඪකී පුරුෂතෙම එකාන්තයෙන් ම අතිදක්ෂ ය යි කියා අනුමානයෙන් ම දැනගන්නාහු යි.

“එවමෙව ඛො මහාරාජ සො භගවා අසමො අසමසමො අප්පටිමො අසදිසො අතුලො අසංඛෙය්‍යො අප්පමෙය්‍යො අපරිමෙය්‍යො අමිතගුණො ගුණපාරමිප්පත්තො අනන්තධිති අනන්තතෙජො අනන්තවිරියො අනන්තබලො බුද්ධබලපාරමීගතො, සසෙනං මාරං පරාජෙත්‍වා දිට්ඨිජාලං පදාලෙත්‍වා අවිජ්ජං ඛෙපෙත්‍වා විජ්ජං උප්පාදෙත්‍වා ධම්මුක්කා ධාරෙත්‍වා සබ්බඤ්ඤු තං පාපුණිත්‍වා නිජ්ජිතවිජිතසංගාමො ධම්මනගරං මාපෙසි. භගවතො ඛො මහාරාජ ධම්මනගරං සීලපාකාරං හිරිපරිඛා ඤාණද්‍වාර කොට්ඨකං විරියට්ටාලකං (410) සද්ධාඵසිකං සතීදොවාරිකා පඤ්ඤාපාසාදං සුත්තන්තවච්චරං අභිධම්මසංඝාටකං විනය විනිච්ඡයසාලං සතිපට්ඨානවීථි, තස්සං ඛො පන මහාරාජ සති පට්ඨානං වීථියං එවරූපා ආපණා පසාරිතා හොන්ති. සෙය්‍යථිදං පුප්ඵාපණං ගන්‍ධාපණං ඵලාපණං අගදාපණං ඔසධාපණං අමතාපණං රතනාපණං සබ්බාපණන්ති.”

“මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජොත්තමයානන් වහන්සේ අසම වූසේක, අසම සම වූසේක, අප්‍ර‍තිම වූසේක, අසදෘශ වූසේක, අතුල්‍ය වූසේක, අසංඛෙය්‍යගුණයෙන් යුක්ත වූසේක. අප්‍රමෙයගුණයෙන් යුක්ත වූසේක. අපරිමාණගුණයෙන් යුක්ත වූසේක, පමණ නැති ගුණයෙන් යුක්ත වූසේක, ගුණපාරමිතාවගේ කෙළ පැමිණිසේක, අනන්තධෛර්ය ඇතිසේක, අනන්තතේජස් ඇති සේක, අනන්ත වූ වීර්ය ඇතිසේක අනන්ත වු ඤාණබල ඇතිසේක. සර්වඥබලපාරමිතාවගේ කොටිප්‍රාප්ත වූසේක, කාමතෘෂ්ණාදි මාරසෙනාව සහිත වූ වශවර්තිමාරයාගේ දරපමර්දනය කිරීමෙන් පරාජය කොට දෙපතුල් වඳවා ගෙණ දෘෂ්ටිගතිකයන් විසින් සකලසත්වයන් බදා සතර අපායෙහි හෙළන දෘෂ්ටිදැල අර්හන්මාර්ගඥානශස්ත්‍රයෙන් ප්‍රදාලනය කොට චතුස්සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාව ක්ෂය කොට සර්වමොහන්ධකාරය විධ්වංසනය කරන්නා වූ අෂ්ටවිද්‍යාව උපදවා ප්‍ර‍ඥා නමැති මහගිනිසුළ දරා සර්වඥතාඥානයට පැමිණ නිර්ජිත විජිත සංග්‍රාම ඇතිසේක් සද්ධර්ම මහනුවරක් මවා වදාළසේක.

“මහරජානෙනි, අප ලොවුතුරා බුදුන්ගේ සද්ධර්මමහනුවර වටා කෙලෙස් සොරුන් වැද්ද නො දෙන ශීලමයප්‍රාකාර ඇත්තේ ය, ලජ්ජා නමැති මඩඅගල් ඇත්තේ ය, ඤාණ නමැති වාසල්කඩ ඇත්තේ ය, වීර්ය නමැති අට්ටාල ඇ්තතේ ය, ශ්‍ර‍ද්ධා නැමැති ඉන්ද්‍ර‍ඛීල ඇත්තේ ය, සිහි නමැති දොර ඇත්තේ ය, ප්‍ර‍ඥා නමැති මහාප්‍රාසාද ඇත්තේ ය, සූත්‍රාන්ත ධර්ම නැමැති රාජාංගණ ඇත්තේ ය, අභිධර්ම නමැති සතරමංසන්ධි ඇත්තේ ය, විනයධර්ම නමැති විනිශ්චයශාලා ඇත්තේ ය, සතර සතිපට්ඨාන නමැති සතර මහාවීථි ඇත්තේ ය, මහරජානෙි, ඒ සතර සතිපට්ඨාන නමැති වීථියෙහි මෙබඳු සල්පිල් සදන ලද්දාහු වෙති. හේ කවර ද? යත්- පුෂ්පාපණ ය, ගන්ධාපණ ය, ඵලාපණ ය, අගදාපණ ය. ඔසධාපණ ය, අමෘතාපණ ය, රතනාපණ ය, සර්වාපණ ය යන මේ අෂ්ටාපණයෝ සදන ලද්දාහු යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ සර්වඥ රාජොත්තමයානන් වහන්සේගේ පුෂ්පාපණය කවරේ දැ” යි විචාළෝ ය. මහරජානෙනි, ඒ භාග්‍යවත් වූ සියල්ල දක්නා වූ අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥරාජොත්තමයානන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ අරමුණු බෙදීම්හු ඇත්තාහු ය. හේ කවරේ ද? යත්- රූප වේදනා සංඥා සංස්කාර විඥාන ය යන පඤ්චස්කන්ධය අනිත්‍ය යැ යි කියා සලකන්නා වූ අනිත්‍ය සංඥාව ය. චක්ෂුඃ ශොත්‍ර‍ යනාදි ද්වාදශායතනයෝ අනාත්ම ය යි කියා දන්නා වු අනාත්ම සංඥාව ය. මේ ශරීරය දෙපතුල පටන් හිස දක්වා හිස පටන් දෙපතුල දක්වා හිසකේ (411) රොම නිය දත් මල මූත්‍රාදී දෙතිස් කුණපයෙන් ආකුල වූයේ ය යි කියා අසුභාකාරයෙන් සිතන්නා වූ අශුභ සංඥාව ය. ‘මේ ශරීරයෙහි උපදනා වූ අටඅනූවක් රොග හෙයින් නව අනූවක් ව්‍යාධි හෙයින් මේ කය බොහෝ වූ දුක් ඇත්තේ ය, බොහෝ වූ ආදීනව ඇත්තේ ය’ යි කියා ආදීනව වසයෙන් සිතන්නා වූ ආදීනව සංඥාව ය, සිත්හි උපන් කාම විතර්කය, ව්‍යාපාදවිතර්ක ය, විහිංසා විතර්ක ය හා උපනුපන් නොයෙක් අකුශලධර්මයන් නො ඉවසා පහ කරන්නා වූ ප්‍ර‍හාණ සංඥාව ය, ‘යම්බඳු වූ මේ සර්වසංස්කාරයන්ගේ සංහිඳීම ය, සර්වක්ලෙශයන්ගේ හැරීම ය, තෘෂ්ණාවගේ ක්ෂය වීම ය, රාගයෙන් වෙන් වීම ය, නිර්වාණ ය යි යන මේ ශාන්ත වන්නේ ය. මේ ප්‍ර‍ණීත වන්නේ ය’ යි කියා සිතන්නා වූ විරාගසංඥාව ය. ‘යම්බඳු වූ මේ සර්වසංස්කාරයන්ගේ සංහිඳීම ය, සර්වක්ලෙශයන්ගේ හැරීම ය, සියලු දුක්ඛයාගේ නිරුද්ධ වීම ය, නිර්වාණ ය යි යන මේ ශාන්ත ය, මේ ප්‍ර‍ණීත ය’ යි කියා සිතන්නා වූ නිරොධ සංඥාව ය, පඤ්චස්කන්ධය පිණිස යම් ගැණුම් කෙනෙක් ඇද්ද, සිතට පිහිටවන්නා වූ අරමුණු අනු වන කෙලෙස් කෙනෙක් ඇද්ද, ඔවුන් පහ කෙරෙමින් නො ගෙණ දුරු වන්නා වූ මුළු ලොව නො ඇලෙන සංඥාව ය, එසියපන්සාළිස් ප්‍රභෙදගත වූ චිත්ත චෛතසිකධර්මයෙහි හා විසිඅට වැදෑරුම් වූ රූපධර්මය යන සර්වසංස්කාරධර්මයෙහි පෙළෙන්නා වූ ලජ්ජා වන්නා වූ පිළිකුල් වන්නා වූ අනිත්‍ය සංඥාව ය. සියලු සසර දුක සේ දැක නිවන් සොයනු කැමැති කිසිවෙක් අරණ්‍ය වෘක්ෂමූල ශූන්‍යස්ථානයෙහි පලඟ බැඳ කය සෘජු කොට තබා අරමුණු අවුළුවන සිහි එළවා හේ සිහි ඇත්තේ ම ආශ්වාසය අදනේ ය. සිහි ඇත්තේ ම ප්‍ර‍ශ්වාසය පදනේ ය. දික් කොට නාසාවාතය අදිමින් දික් කොට නාසාවාතය අදිමි යි කියා දන්නේ ය. දික් කොට නාසාවාතය පදනේ දික් කොට නාසාවාතය පදිමි යි කියා දන්නේ ය. ලුහුඬු කොට නාසාවාතය ගෙණෙන්නේ ද, ලුහුඬු කොට නාසාවාතය ගෙණෙමි යි කියා දන්නේ ය. ලුහුඬු කොට නාසාවාතය හෙළන්නේ ද ලුහුඬු කොට නාසාවාතය හෙළමි යි කියා දන්නේ ය. සියලු ආශ්වාසකායාගේ ආදි මධ්‍ය පරියොසානය විදිත කෙරෙමින් ප්‍ර‍කට කෙරෙමින් ඥානසංප්‍ර‍යුක්ත චිත්තයෙන් ආශ්වාසය පවත්වමින් දැන හික්මෙන්නේ ය. සියලු ආශ්වාස කායයාගේ ආදි මධ්‍ය පරියොසානය විදිත කෙරෙමින් ප්‍ර‍කට කෙරෙමින් ඥානසංප්‍ර‍යුක්තචිත්තයෙන් ප්‍ර‍ශ්වාසය පවත්වමින් දැන හික්මෙන්නේ ය. නාස්බිල නො සෑහෙන්නාක් මෙන් බලවත් ව පවත්නා ඔළාරික වූ කාය වාතය පටිප්පසම්භනය කෙරෙමින් සන්හිඳුවමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. නාස්බිල නො සෑහෙන්නාක් මෙන් බලවත් ව පවත්නා වූ ඔළාරික වූ කායවාතය පටිප්පස්සම්භනය කෙරෙමින් සන්හිඳුවමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සප්‍රීතිකධ්‍යාන සමාපත්තික්ෂණයෙහි ප්‍ර‍තිලාභක්ෂණයෙහි උපදනා ප්‍රීතිය විදිත කෙරෙමින් ප්‍ර‍කට කෙරෙමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සප්‍රීතික ධ්‍යානසමාපත්තික්ෂණයෙහි ප්‍ර‍තිලාභක්ෂණයෙහි උපදනා ප්‍රීතිය විදිය කෙරෙමින් ප්‍ර‍කට කෙරෙමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. තෘතීයධ්‍යානසමාපත්ති (412) ප්‍ර‍තිලාභක්ෂණයෙහි උපදනා ධ්‍යානසැප විඳිමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. තෘතීය ධ්‍යානසමාපත්ති ප්‍ර‍තිලාභක්ෂණයෙහි උපදනා ධ්‍යානසැප විඳිමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. ඔළාරික වූ චිත්ත චෛතසිකධර්මයන් විඳිමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. ඔළාරික වූ චිත්තචෛතසිකධර්මය පටිප්පස්සම්භනය කෙරෙමින් සන්හිඳුවමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. ඔළාරික වූ චිත්තචෛතසිකධර්මය පටිප්පස්සම්භනය කෙරෙමින් සන්හිඳුවමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සතර ධ්‍යානචිත්තයන් පහළ කෙරෙමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සතර ධ්‍යානචිත්තයන් පහළ කෙරෙමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සමාධිවිපස්සනා වසයෙන් චිත්තය සන්තොෂ කෙරෙමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සමාධි විපස්සනා වසයෙන් චිත්තය සන්තොෂ කෙරෙමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. ප්‍ර‍ථමධ්‍යානාදි වශයෙන් ආරම්මණයෙහි චිත්තය සම කොට පිහිටුවමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සතර ධ්‍යානයෙහි නීවරණ විතර්ක විචාර ප්‍රීති සුඛ දුඃඛයෙන් සිත මුදමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සතර ධ්‍යානයෙන් නීවරණ විතර්ක ප්‍රීති සුඛ දුඃඛයෙන් සිත මුදමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. පඤ්චස්කන්ධයන්ගේ අනිත්‍ය ලකුණ දනිමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. පඤ්චස්කන්ධයන්ගේ අනිත්‍ය ලකුණ දනිමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. ඛයඅච්චන්තවිරාගද්වය දනිමින් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. ඛයඅච්චන්න විරාගද්වය දනිමින් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. සර්ව සංස්කාරයන්ගේ විනාශය කිරීමෙන් ක්ෂයනිරොධය හා අච්චන්ත නිරොධය නම් අමෘතමහානිර්වාණය දක්නෙම් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. එම නිරොධද්වය දක්නෙම් ප්‍ර‍ශ්වාසය කෙරෙමියි දැන හික්මෙන්නේ ය. අමෘතමහානිර්වාණයට පනින්නා වූ විපස්සනාමාර්ගය දක්නෙම් ආශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය. අමෘතමහානිර්වාණයට පනින්නා වූ විපස්සනා මාර්ගය දක්නෙම් ප්‍ර‍ශ්වාසය කෙරෙමි යි දැන හික්මෙන්නේ ය ය යි යන මේ සොළසාකාර වූ ආනාපානසති භාවනාව ය, අමුසොහෝන ආදියෙහි දමන ලද භයානක වූ ඉදිමගියා වූ මනුෂ්‍යකුණපය දැක මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව වන්නේ ය යි කියා උද්ධුමාතකසංඥාව උපදවා “උද්ධුමාතකපටික්කූලං උද්ධුමාතකපටික්කූලං” කියා මෙනෙහි කරන්නා වූ උද්ධුමාතක සංඥාව ය, එසේ ම නිලමැසි ආදීන් විසින් පිරිවරන ලද ගැරඬිකුණක් සේ නිල් ව ගිය මනුෂ්‍යකුණපය දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව ඇත්තේ ය’ යි කියා භාවනා කරන්නා වූ විනීලක සංඥාව ය, නොයෙක් තැනින් සිල් ව ගෙණ සම් ඉගිල කුණුදිය (413) වැහෙන්නා වූ දුර්ගන්ධ වූ මනුෂ්‍යකුණපය දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව ඇත්තේ ය’ යි සිතා භාවනා කරන්නා වූ විපුබ්බක සංඥාව ය, එසේ ම නොයෙක් තැන සිදුරු ඇති[4] දුර්ගන්ධ වැහෙන්නා වූ භයානක වූ මනුෂ්‍යකුණපය දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව ඇත්තේ ය’ යි සිතා භාවනා කරන්නා වූ විච්ඡිද්‍ර‍ක සංඥාව ය. එසේ ම සොහොන්හි දමන ලද්දා වූ කාක උකුසු ශෘගාලාදීන් විසින් ඔවුනොවුන් පරදවා ඒ ඒ තෙනින් මස් කඩා කන ලද්දා වූ මනුෂ්‍යකුණපය දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව වන්නේ ය’ යි දැන සිතා භාවනා කරන්නා වූ වික්ඛායිතක සංඥාව ය, මනුෂ්‍යඝාතනස්ථානාදියෙහි හස්ත පාද හිස් සිඳ ඒ ඒ දෙස්හි දමන ලද භයානක වූ මෘතශරීර දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව වන්නේ ය’ යි සලකා භාවනා කරන්නා වූ වික්ඛිත්තක සංඥාව ය, එසේ ම සකල ශරීරය ශස්ත්‍රයෙන් කාකපාදාකාරයේන සැත් එළා හස්තපාදහිස් සිඳ සොහොන්හි දමන ලද්දා වූ භයානක වූ මනුෂ්‍යකුණපය දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ දුක් නො ඉක්ම සිටියේ ය’ යි සිතා මෙනෙහි කරන්නා වූ හතවික්ඛිත්තක කර්මස්ථාන භාවනාව ය, රාජනියොගාදියෙන් සත්වඝාතන ස්ථානයෙහි රුධිරයෙන් ආලේප වූ කවන්ධරූපාදිය දැක ‘මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව ඇත්තේ ය’ යි සලකා භාවනා කරන්නා වූ ලොහිතක සංඥාව ය, සොහොන්හි කුණු ව නවද්වාරයෙන් කා වදින නොයෙක් පණුවන්ගෙන් හා සකල ශරීරය පණුරාශියක් වැනි වූ බැලිය නො හැක්කා වූ සංසාර ආලය සිදුවන්නා වූ මනුෂ්‍යකුණපය දැක ‘අහෝ! මාගේ ශරීරයත් මෙබඳු වූ ස්වභාව වන්නේ ය’ යි සිතා පුලවක සංඥාව උපදවා ‘පුලවකපටික්කූලං පුලවක පටික්කූලං’ යි මෙනෙහි කරන්නා වූ පුලවක සංඥාව ය, එසේ ම සොහොන්හි දිරා පහ ව ගිය මස් ලේ නහර වෙළුම් ඇති ඇටකටු රාශිය දැක ‘අහෝ! මාගේ මේ ශරීරයත් ඇටසැකිල්ලකැ’ යි සිතා ‘අට්ඨික පටික්කූලං අට්ඨික පටික්කූලං’ යි මෙනෙහි කරන්නා වූ අස්ථික සංඥා කර්මස්ථාන භාවනාව ය, හිතාහිත වූ සකලසත්වයන් කෙරෙහි මෛත්‍රී පතුරුවා ‘සබ්බෙ සත්තා අවෙරා හොන්තු. අබ්‍යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු’ යනාදීන් මෛත්‍රීකරණයෙන් ජනිත වන මෛත්‍රී සංඥාධ්‍යානචිත්තය, ‘පරදුක්ඛෙ සති සාධූනං මනො කම්පනං කරොතීති කරුණා. කිණාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීති කරුණා’ යනුවෙන් අනුන්ට වන් දුකක් ඇති කල්හි සත්පුරුෂයන්ගේ සිත කම්පා කෙරේ නු යි, අනුන්ගේ දුක් ගණී නු යි නසා නු යි විනාශ කෙරේ නු යි කරුණා නම් වූ කරුණාව හිතාහිත වූ සකල සත්වයන් කෙරෙහි පතුරුවා වඩන්නා වූ කරුණාසංඥාධ්‍යාන චිත්ත ය, ඓශ්වර්ය යශශ් ශ්‍රී සම්පත්තිප්‍ර‍තිලාභයෙන් සජ්ජිත වූවන් දැක ‘අහෝ! සාධු, අහෝ! සාධු’ යි කියා ප්‍ර‍මුදිත වන්නා වූ මෘදුචිත්තය හිතාහිත වූ සකලසත්වයන් කෙරෙහි පතුරුවා විහරණය කරන්නා වූ මුදිතාසංඥාධ්‍යාන චිත්ත ය, හිතාහිත වූ සකල සත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ උපෙක්ෂාවිහරණයෙන් යුක්ත වූ ධ්‍යානචිත්ත ය, ‘සර්වඥාතිමිත්‍රාමාත්‍ය ධනසැපත් හැර නො කැමැති පරිද්දෙන් ම මේ ජිවිතය මරුමුඛයට යන්නේ ය’ යි කියා නිරන්තරයෙන් සිහි කරන්නා වූ මරණානුස්සති භාවනාව ය. ‘මේ ශරීරය (414) නව ද්වාරයෙන් වැහෙන අසූචියෙන් හා දෙතිස්කුණපකොට්ඨාසයෙන් ගැවසී ගත්තේ ය’ යි කියා භාවනා කරන්නා වූ කායගතාසතිභාවනාව ය, මහරජානෙනි, අප භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින් මේ තාක් අරමුණු බෙදීම්හු වදාරණ ලද්දාහ. එහි යම් කිසිවෙක් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයෙන් මිදෙනු කැමැත්තේ වී නම්, ඒ පුරුෂතෙම අරමුණු බෙදීම් අතුරෙන් එක්තරා අරමුණක් ගන්නේ ය. ඒ ගත් අරමුණෙන් කාමරාගයෙන් මිදෙන්නේ ය, ද්වේෂයෙන් මිදෙන්නේ ය, මෝහයෙන් මිදෙන්නේ ය, මානයෙන් මිදෙන්නේ ය, නොයෙක් දෘෂ්ටියෙන් මිදෙන්නේ ය, සංසාරයෙන් එතෙර වන්නේ ය. තෘෂ්ණා නමැති උදකසොතය වළක්වන්නේ ය, රාගාදි ත්‍රිවිධමලය සෝදා පිරිසිදු කරන්නේ ය, සර්වක්ලේශයන් විනාශ කොට ක්ලේශමලය නැත්තා වූ පහ වූ ක්ලේශරජස් ඇති අති පරිශුද්ධ වූ සුදුසු වූ අජර වූ අමර වූ අනන්තසැප ඇති ශීතීභූත වූ නිර්භය වූ නගරොත්තම වූ අමෘතමහානිර්වාණනුවර ගොස් අර්හත්ඵලයෙහි ලා සිත මුදන්නේ යි. මහරජානෙනි, අප ලොවුතුරා භාග්‍යවතුන් වහ්නසේ හේ මේ පුෂ්පාපණය යි කියනු ලැබෙයි. සංසාර බන්ධනයෙන් මිදීයාම පිණිස කුශලකර්ම නමැති මිල ගෙණ ලොවුතුරා බුදුන්ගේ අනිත්‍යසංඥාදි අනෙකාකාර වූ පුෂ්පාපණය කරා නො පමා ව එළඹෙවු. ඒ පුෂ්පාපණයෙන් අනිත්‍යාදි කිසි අරමුණක් ගෙණ සංසාර බන්ධනයෙන් මිදෙවු. එයින් කීහ:-

“කම්මමූලං ගහෙත්‍වාන-ආපණං උපගච්ඡථ

ආරම්මණං කිණිත්‍වාන-තතො මුඤ්චථ මුත්තියා.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ ලොවුතුරා බුදුන්ගේ ගන්ධාපණය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒ භාග්‍යවත් වූ ලොවුතුරා බුදුන් විසින් වදාරණ ලද්දා වූ සීල බෙදීම්හු ඇත. යම් ශීල සුගන්ධයකින් අනුලිප්ත වූ ලොවුතුරා බුදුන්ගේ පුත්‍ර‍ වූ ශ්‍රාවකයෝ දෙවියන් සහිත වූ ලොකය ශීලසුගන්ධයෙන් දුම් කෙරෙති. සතර දිසායෙහි ද අනුදිසායෙහි ද යටි සුළඟෙහි ද උඩු සුළඟෙහි ද ශීලසුගන්ධය පවත්වාලති. විශෙෂයෙන් ම පතුරුවාලති, තුන්ලොව පතුරුවා සිටිති. ඒ ශීලවිභක්තීහු කවරේ ද? යත්- ශරණ ශීලය, පඤ්ච ශීලය, අෂ්ටාංග ශීලය, දශාංග ශීලය, නිදාන පාරාජික සංඝාදිශෙෂ අනියත විස්තාරොද්දෙශය යන පඤ්චොද්දෙශ පරියාපන්න වූ ප්‍රාතිමොක්ෂසංවර ශීලය යි. මහරජානෙනි, මේ අප ලොවුතුරා බුදුන්ගේ ගන්ධාපණය යි කියනු ලැබෙයි. මහරජානෙනි, මේ කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවත් වූ ලොවුතුරා බුදුන් විසින්-

‘න පුප්ඵගන්‍ධො පටිවාතමෙති-න චන්‍දනං තගරමල්ලිකා වා,

සතඤ්ච ගන්‍ධො පටිවාතමෙති- සබ්බාදිසා සප්පුරිසො පවාති.

-

චන්‍දනං තගරං වාපි-උප්පලං අථ වස්සිකී,

එතෙසං ගන්‍ධජාතානං-සීලගන්‍ධො අනුත්තරො.

-

අප්පමත්තො අයං ගන්‍ධො-යායං තගර චන්‍දනී,

යො ච සීලවතං ගන්‍ධො-වාති දෙවෙසු උත්තමො.”

(415) යන මේ ගාථා අර්ථයෙන් ‘මහණෙනි, සපු දුනුකේ ආදි වූ පුෂ්පයන්ගේ සුගන්ධය උඩු සුළඟට නො පැමිණෙන්නේ ය. සඳුන් සුවඳ තුවරලා සුවඳ සීනිද්ද බොලිද්දාදි සුවඳ ද උඩු සුළඟට නො යන්නේ ය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ ශීලසුගන්ධය වනාහි උඩුසුළඟට පැමිණෙන්නේ ය. සත්පුරුෂතෙම ශීලසුගන්ධ හෙයින් සියලු ම දශදිශාවෙහි පැතිරෙන්නේ ය. සඳුන් තුවරලා මහනෙල් දෑසමන්මල් ද යන මේ කියන ලද සුගන්ධ සමූහයන්ගේ සුගන්ධයට වඩා සත්පුරුෂයන්ගේ ශීලසුගන්ධය තමහට ඉතිරියක්හු නැති හෙයින් නිරුත්තර වන්නේ යි. තුවරලා සඳුන් සම්බන්ධි වූ යම් මේ සුගන්ධයෙක් ඇද්ද, හේ මේ සුගන්ධය ස්වල්පමාත්‍ර‍ වන්නේ ය. සිල්වත් වූ බුද්ධාදි සත්පුරුෂයන්ගේ යම් මේ ශීලසුගන්ධයෙක් ඇද්ද, හේ මේ උතුම් වූ ශීලසුගන්ධය තෙම දිව්‍යබ්‍රහ්මයන් කෙරෙහි දු හමන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ යි.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ සර්වඥ රාජොත්තමයානන් වහන්සේගේ ශ්‍රීසද්ධර්මවර මහානගරවීථියෙහි ඵලාපණය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ ඵලජාතියෙක් ඇති. හේ කවරේ ද? යත්- සොතාපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය, අර්හත්ඵලය, රාග ද්වෙෂ මොහාදි අකුශලයන්ගෙන් ශූන්‍ය වූ ශූන්‍යතාඵලසමාපත්තිය, රාගද්වෙෂමොහාදි අකුශලධර්මයෙහි නිමිත්තග්‍ර‍හණයක් නැත්තා වූ අනිමිත්තඵලසමාප්තතිය, රාගද්වෙෂමොහාදිඅකුශලධර්මයන්ගේ ප්‍රාර්ථනාවක් නැත්තා වූ අප්පණිහිතඵලසමාපත්තිය යන මේ සත්වැදෑරුම් වූ ඵලයෝ ය, එහි යම්කිසි කෙනෙක් යම් ඵලයක් කැමැත්තේ වී නම්, ඒ පුරුෂතෙම කර්මස්ථාන නමැති මිල දී ප්‍රාර්ථනා කළ ඵලයක් ගන්නේ ය. ඉදින් සොතාපත්තිඵලයකැමැති නම් සොතාපත්තිඵලය ගන්නේ ය. ඉදින් සකෘදාගාමිඵලය කැමැති නම් සකාදාගාමිඵලය ගන්නේ ය. අනාගාමි ඵලය කැමැති නම් අනාගාමිඵලය ගන්නේ ය. රහත්ඵලය කැමැති නම් රහත්ඵලය ගන්නේ ය. ඉදින් ශූන්‍යතාඵලසමාපත්තිය කැමැති නම් ශූන්‍යතාඵලසමාපත්තිය ගන්නේ ය. ඉදින් අනිමිත්තඵලසමාපත්තිය කැමැති නම් අනිමිත්තඵලසමාපත්තිය ගන්නේ ය. ඉදින් අප්පණිහිත ඵලසමාපත්තිය කැමැති ම් ඒ නිවන් අරමුණු කොට ගෙණ වසන අප්පණිහිතඵලසමාපත්තිය ගන්නේ ය. මහරජානෙනි, යම් සේ කිසි පුරුෂයක්හුගේ නිත්‍ය ඵල ඇති ආම්‍ර‍වෘක්ෂයෙක් වන්නේ වී නම්, ඒ පුරුෂ තෙම යම්තාක් අඹ මිලයට ගන්නා වෙළෙන්දෙක් නො එළඹේ ද, ඒ තාක් කල් ඒ රුකින් ඵල නො නෙළන්නේ ය. අඹ මිලයට ගන්නා වෙළෙන්දෙකු පැමිණි කල්හි ඔහුගේ මිල ගෙණ ‘පින්වත්, වූ පුරුෂය මේ ආම්‍ර‍ වෘක්ෂය නිත්‍ය ඵල ඇත්තේ ය. සලාටුක වූ හෝ මලාන වූ හෝ කෙසික වූ හෝ ආමය වූ හෝ විලිකුන් වූ හෝ එයින් යම් වර්ගයක් කැමැත්තෙහි නම් මෙපමණ අඹඵල ගණුව යි’ කියා මෙසේ කියන්නේ ය. එකල ඒ පුරුෂතෙම තමන් දුන් ඒ මිලයෙන් ඉදින් සලාටුක අඹ කැමැත්තේ නම් සලාටුක නම් ලා අඹ ගන්නේ ය. ඉදින් දෝවිල අඹ කැමැත්තේ (416) නම් දෝවිල නම් බුබුල් අඹ ගන්නේ ය, ඉදින් කෙසික අඹ කැමැත්තේ නම් කෙසික අඹ ගන්නේ ය. අමුඅඹ කැමැත්තේ නම් අමුඅඹ ගන්නේ ය. ඉදින් විලිකුන් අඹ කැමැත්තේ නම්, විලිකුන් අඹ ගන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යමේක යම් ඵලයක් කැමැත්තේ වී නම්, එතෙම කර්මස්ථාන නමැති මිල දී ඉදින් සොතාපත්තිඵලාදියක් හෝ ඉදින් අප්පණිහිතඵලසමාපත්තියක් හෝ ප්‍රාර්ථිත වූ ඵලයක් ගන්නේ ය. මහරජානෙනි, ත්‍රිභුවනජනවන්දනීය වූ අප භාග්‍යවතුන් වහන්සේගේ මේ ඵලාපණය යි කියනු ලැබෙයි. ධීරවීරශීලගුණාලංකෘතජනයෝ සල්පිල කරා ගොස් කර්මස්ථාන නමැති මිල දී අමෘතමහානිර්වාණඵල ග්‍ර‍හණය කෙරෙති. අමෘතමහානිර්වාණඵලය යම් කෙනෙක් ගත්තාහු වෙද්ද, ඒ සුගතොවාදකාරී ජනයෝ ඒ නිර්වාණඵලය ගැණීමෙන් සියලු ම සංසාර දුක් ගෙවා සුවපත් වෙති. එයින් කීහ-

“කම්මමූලං ජනා දත්‍වා-ගණ්හන්ති අමතප්ඵලං,

තෙන තෙ සුඛිතා හොන්ති-යෙ ඛීණා අමතප්ඵලා” යි.

“පින්වත් වූ මාගේ නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්ස. භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේගේ අගද නම් සල්පිල කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් බෙහෙදක් කරණ කොට ගෙණ ඒ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ දිව්‍යබ්‍ර‍හ්මයන් සහිත වූ ලොකයා රාගාදික්ලේශවිෂයෙන් මුදා වදාරණ සේක් ද, ඒ බෙහෙත්හු අප භාග්‍යවතුන් වහ්නසේ විසින් වදාරණ ලද්දාහු ය. ඒ බෙහෙත් කවරේ ද? යි යත හොත්- මහරජානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ චතුරාර්යසත්‍ය කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඒ කවරේ ද? යත්- ‘ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛො’ යනාදීන් වදාළා වූ දුක්ඛසත්‍යය සසර රාගාදි කෙලෙසුන් විසින් පෙළෙන බැවින් පීළනට්ඨයෙන් ද, හෙතු නිසා උපන් පඤ්චස්කන්ධය හෙයින් සංඛතට්ඨයෙන් ද, රාගාදි කෙලෙසුන් විසින් තවන බැවින් සන්තාපට්ඨයෙන් ද, කාමභවාදි නවභවයෙහි පඤ්චස්කන්ධය සිටි වන නො සිට පෙරළීමෙන් විපරිණාමට්ඨයෙන් ද යන මේ සතරධර්මයෙන් යුක්ත වූ දුඃඛසත්‍යය දුක්බව බුද්ධාදි ආර්යයන් විසින් සත්‍යය යි කියා දක්නා ලද හෙයින් ආර්ය සත්‍ය නම් වූ දුඃඛාර්යසත්‍යය ද, ‘යායං තණ්හා පොනොභවිකා’ යනාදීන් වදාළා වූ දුක්ඛසමුදයසත්‍යය කුශලාකුශල කර්මයන් රැස් කරන්නා වූ ආයූහනට්ඨයෙන් ද, සසර හා එක් කොට යොදන්නා වූ සංයොගට්ඨයෙන් ද, සංසාරයෙහි ම පිහිටුවන්නා වූ නිදානට්ඨයෙන් ද, සසර බලා නිවන් වළකා අනාදිමත් සසර සිටුවන්නා වූ පළිබොධයෙන් ද යන මේ සතරධර්මයෙන් යුක්ත වූ සමුදයසත්‍යය දුක් උපදවන බව සත්‍යය යි කියා බුද්ධාදි ආර්යයන් විසින් දක්නා ලද හෙයින් දුක්ඛසමුදයාර්යසත්‍යය ම් වූ සමුදයයාර්යසත්‍යය ද, ඒ ත්‍රිවිධ වූ තෘෂ්ණාවගේ සර්වප්‍ර‍කාරයෙන් ම යම් ප්‍ර‍හාණයෙක් ඇද්ද යනාදීන් වදාළා වූ දුක්ඛ නිරොධාර්යසත්‍යය එකිනෙකට දුරු වූ අහස පොළොව මෙන් ද, මුහුදු එතෙර මෙතෙර වෙරළ මෙන් ද සසර හා (417) නො හැනී ඉක්ම සිටිනා වූ නිස්සරට්ඨයෙන් ද, සසර නමැති මහනපුරු කතරින් වෙන් වූ නිරාකුල වූ විවෙකස්ථාන වූ විවෙකට්ඨයෙන් ද, හෙතු නිසා නො උපන්නා වූ අසංඛතට්ඨගුණයෙන් ද, යට අජටාකාශයෙහි පටන් මත්තෙන් භවාග්‍ර‍ය පරියන්ත කොට ඇති සරස අනන්තාපරිමාණ සක්වළ තමා හා සමාන රසයක් නැත්තා වූ අමතට්ඨගුණයෙන් ද යන මේ සතරධර්මයෙන් යුක්ත වූ නිරොධසත්‍යය මෙතෙකින් දුක් නිරුද්ධ වන බව සත්‍ය ය යි කියා බුද්ධාදි ආර්යයන් විසින් දක්නා ලද බැවින් දුක්ඛනිරොධාර්යසත්‍ය නම් වූ නිරොධ සත්‍යය ද, ‘සම්මාදිට්ඨි සම්මාසංකප්පො’ යනාදීන් වදාළා වූ ආර්යඅෂ්ටාංගික මාර්ගසංඛ්‍යාත වූ දුක්ඛනිරොධගාමිනී-ප්‍ර‍තිපදාර්යසත්‍යය නිවන් පසක්කරණයෙන් යුක්ත වූ නිය්‍යානට්ඨගුණයෙන් ද, නිවන් දක්වන බැවින් යුක්ත වූ දස්සනට්ඨගුණයෙන් ද, නිවණට ම හෙතු බැවින් හෙතට්ඨ ගුණයෙන් ද, සියලු ම අනන්තාපරිමාණ සක්වළ තමා හා සම කෙනෙකුන් නැත්තා වූ අධිපතිගුණයෙන් ද යන මේ සතරධර්මයෙන් යුක්ත වූ මාර්ගසත්‍යය දුක් නිරුද්ධ කිරීම පිණිස පැමිණෙන්නා වූ ප්‍ර‍තිපදාව සත්‍යය යි කියා බුද්ධාදි ආර්යයන් විසින් දක්නා ලද බැවින් දුක්ඛනිරොධගාමිනීප්‍ර‍තිපදාර්යසත්‍ය නම් වූ මාර්ගසත්‍යය යි ද යන මේ සොළොසාකාර වූ චතුස්සත්‍යධර්මයෝ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. එහි චතුරාර්යසත්‍යය අවබොධය කැමැත්තා වූ යම් කිසි කෙනෙක් බුදුන් කරා එළඹ සුගතොවාදධර්මය අසද් ද, ඒ සුගතොවාදකාරීහු ජාතිදුකෙන් මිදෙති, ජරාදුකින් මිදෙති, මරණදුකින් මිදෙති, සොකපරිදෙවදුක්ඛ දෞර්මනස්‍ය උපායාසයෙන් මිදෙති, මහරජානෙනි, ත්‍රිභුවනෛකප්‍ර‍දීපායමාන වූ අප භාග්‍යවතුන් වහන්සේගේ මේ ‘අගදාපණ ය’ යි කියනු ලැබේ. ලොකයෙහි විෂ ප්‍ර‍තිබාහනය කරන්නා වූ යම් කිසි අගද නම් භෛෂජ්‍ය කෙනෙක් ඇද්ද, ඒ අගදයෝ වනාහි ලෞකික ව්‍යාධි නසති. එහෙයින් සද්ධර්මාගදය හා සදෘශයෙක් නැත්තේ ය. මහණෙනි, මේ සද්ධර්මාගදය පානය කරව්. එයින් වදාළහ:-

“යෙ කෙචි ලොකෙ අගදා-විසානං පටිබාහකා.

ධම්මාගද සමං නත්‍ථි-එතං පිවථ භික්ඛවො” යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේගේ ඖෂධාපණය කවරේ ද?” යි විචාළෝ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඖෂධජාතීහු ද වදාරණ ලද්දාහු ය. යම් ඖෂධ කෙනෙකුන් කරණ කොට ගෙණ ඒ භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ දිව්‍යමනුෂ්‍යයන්ට පිළියම් කරණසේක් ද, හේ කවරේ ද? යත්- ශරීරය දෙතිස්කුණපකොට්ඨාස කොට බලා කය අසුභ කොට දක්නා කායානුපස්සනාව ය, ත්‍රිවිධවෙදනාදි නොයෙක් වෙදනා හෙයින් කය දුක් කොට දක්නා වෙදනානුපස්සනාව ය, චිත්තයාගේ උප්පදට්ඨිතිභංගය දැක සිත අනිත්‍ය කොට දක්නා චිත්තානුපස්සනාව ය, පඤ්චස්කන්ධාදි වූ ධර්මපුඤ්ජය දැක ආත්ම අනාත්මය කොට දක්නා ධර්මානුපස්සනාව ය යන සතර සති (418) පට්ඨානය ද, නො උපන් අකුසල් නො උපැද්ද දෙන බව ය, උපන් අකුසල් දුරු කරණ බව ය, නො උපන් කුසල් උපදවන බව ය, උපන් කුසල් තහවුරු කරණ බව ය යන මේ වීර්ය ශක්ති හෙයින් ප්‍ර‍ධානත්වයට ගියා වූ සතරසම්‍යක්ප්‍ර‍ධානයෝ ද, දාන ශීල භාවනා පාදක කොට ගෙණ බුදුබව කෙළවර කොට ඇති සිතූ පැතූ තාක් සකල සමෘද්ධි සිද්ධකරණයෙන් සෘද්ධිපාද නම් වූ ඡන්දිද්ධිපාදය යනු භාවනා කළ මැනැවැ යි යන සිත ය, විරියිද්ධිපාදය යනු නිවන් සොයා මුත් නො පසුබස්නා වීර්ය ය, චිත්තිද්ධිපාදය යනු සිත වසඟ කරණ බව ය, විමංසිද්ධිපාදය යනු නුවණ ය යන මේ සතර සෘද්ධිපාදයෝ ද, අශ්‍ර‍ද්ධාව මැඩ ආධිපත්‍යය කරන්නා වූ ශ්‍ර‍ද්ධෙන්ද්‍රිය ද, කුසීතභාවය මැඩ ඉන්ද්‍ර‍ත්වය කරන්නා වූ විරියින්ද්‍රිය ද, මුට්ඨස්සතිය මැඩ ඉන්ද්‍ර‍ත්වය කරන්නා වූ සතින්ද්‍රියය ද, සිත නො සන්හුන් බව ය යි කියන ලද උද්ධච්චය මැඩ ඉන්ද්‍ර‍ත්වය කරන්නා වූ සමාධින්ද්‍රියය ද, නුනුවණ මැඩ ආධිපත්‍යය කරන්නා වූ පඤ්ඤින්ද්‍රිය ය ද යන මේ පඤ්චෙන්ද්‍රිය ය ද, අශ්‍ර‍ද්ධාවෙන් කම්පා නො වන්නා වූ ශ්‍ර‍ද්ධාබලය ද, කුසීතභාවයෙන් කම්පා නො වන්නා වූ වීර්යබලය ද, මුට්ඨස්සතියෙන් කම්පා නො වන්නා වූ ස්මෘතිබලය ද, උද්ධච්චයෙන් කම්පා නො වන්නා වූ සමාධිබලය ද, අවිද්‍යාවෙන් කම්පා නො වන්නා වූ ප්‍ර‍ඥාබලය ද යන මේ පඤ්චබලයෝ ද, නිවන් ගන්නට භාවනා කරණ ‘බොධි’ නම් වූ පුද්ගලයාහට අංග වූ සතිසම්බොජ්ඣංග සංඛ්‍යාත වූ සිහිය ද, ධර්මවිචයසම්බොජ්ඣංග සංඛ්‍යාත වූ නුවණ ද, වීර්යසම්බොජ්ඣංග සංඛ්‍යාත වූ වීර්යය ද, ප්‍රීතිසම්බොජ්ඣංග සංඛ්‍යාත වූ ප්‍රීතිය ද, පස්සද්ධිසම්බොජ්ඣංග සංඛ්‍යාත වූ කය හා සිත හා දෙක සංසුන් බව ද, සමාධිසම්බොජ්ඣංග සංඛ්‍යාත වූ සිත එකඟ ව ගිය බව ද, උපෙක්ඛා සම්බොජ්ඣංග සංඛ්‍යාත වූ උපෙක්ෂාව ද යන මේ සප්තබොජ්ඣංගයෝ ද, බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ මහරහතන්වහන්සේලා අනාර්ය වූ පෘථග්ජනයන් ආර්ය කරවා ගෙණ නිර්වාණපුරයට වැඩ වදාළා වූ අසාධාරණගුණ සහිත වූ මාර්ගය වූ හෙයින් ආර්යඅෂ්ටාංගිකමාර්ගය නම් වූ මිථ්‍යාදෘෂ්ටියෙන් පහ වූ සම්‍යක්දෘෂ්ටිය ද, මිථ්‍යාකල්පනාවෙන් පහ වූ සම්‍යක් කල්පනාව ද, මිථ්‍යාවචනයෙන් පහ වූ සම්‍යක්වචනය ද, මිථ්‍යාකර්මාන්තයෙන් පහ වූ සම්‍යක් කර්මාන්තය ද, මිථ්‍යා ආජීවයෙන් පහ වූ සම්‍යක් ආජීවය ද, මිථ්‍යා ව්‍යායාමයෙන් පහ වූ සම්‍යක් ව්‍යායාමය ද, මිථ්‍යා සිහියෙන් පහ වූ සම්‍යක් සිහිය ද, මිථ්‍යා සමාධියෙන් පහ වූ සම්‍යක් සමාධිය ද යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද, මෙසේ සත්තිස්බොධිපාක්ෂික වූ ධර්ම නමැති ඖෂධයන් කරණ කොට ගෙණ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ දෙසැටමිථ්‍යාදෘෂ්ටි නමැති ආමය විරෙක කරවනසේක. මිථ්‍යාකල්පනාව විරෙක කරවනසේක. මිථ්‍යාවචනය විරෙක කරවනසේක. මිථ්‍යා කර්මාන්තය විරෙක කරවනසේක. මිථ්‍යාජීවය විරෙක කරවන සේක. මිථ්‍යාව්‍යායාමය විරෙක කරවනසේක, මිථ්‍යාස්මෘතිය විරෙක කරවනසේක, මිථ්‍යාසමාධිය විරෙක කරවනසේක, ලොභය වමනය කරවා වදාරණසේක, ද්වෙෂය වමනය කරවා වදාරණසේක, මොහය වමනය කරවා වදාරණසේක, මානය වමනය කරවා වදාරණසේක, දෘෂ්ටිය වමනය කරවා වදාරණසේක, බුද්ධාදී (419) අටතැන්හි කාංක්ෂා කරන්නා වූ විචිකිච්ඡාව වමනය කරවා වදාරණසේක, සිත නොසන්හුන් බව ය යි කියන ලද උද්ධච්චය වමනය කරවා වදාරණසේක, චිත්තයාගේ හැකිළීම ය යි කියන ලද ථීනය හා කාය අකර්මණ්‍ය ය යි කියන ලද මිද්ධය වමනය කරවා වදාරණසේක, ගම්හූරා අසූචියට කැත නැත්තා සේ පාපයට කැත නැත්තා වූ අහිරිකබව හා පොළඟැටියා පානට නො බා පනින්නා සේ පාපයට නො බා ව ම පනින්නා වූ අනොතප්පබව වමනය කරවා වදාරණසේක, සර්වක්ලේශ වමනය කරවා වදාරණසේක, මහරජානෙනි, ත්‍රිභුවනජනවන්දනීය වූ අප භාග්‍යවතුන් වහන්සේගේ මේ ඖෂධාපණ ය යි කියනු ලැබෙයි. ලොකයෙහි නානා ප්‍ර‍කාර වූ බොහෝ වූ යම් කිසි ඖෂධ කෙනෙක් විද්‍යමාන වෙද්ද, ඒ ඖෂධ කෙතෙක් වුවත් සද්ධර්මඖෂධය හා සම වූ ඖෂධයක් නැත්තේ ය. මහණෙනි, මේ සද්ධර්මඖෂධය පානය කරවු. නවවිධ විදර්ශනාඥානය වඩා සමාධිධර්මය ස්පර්ශ කොට සද්ධර්මෞෂධය පානය කොට සර්වක්ලේශොපධියක්ෂය කිරීමෙන් පිරිනිවියාහු අජරාමර වන්නාහු ය. මෙම වදාරණ ලද්දේ මැයි:-

‘යෙ කෙචි ඔසධා ලොකෙ-විජ්ජන්ති විවිධා බහු,

ධම්මොසධසමං නත්‍ථි-එතං පිවථ භික්ඛවො.

-

ධම්මොසධං පිවිත්‍වාන-අජරාමරණා සියුං,

භාවයිත්‍වාන පස්සිත්‍වා-නිබ්බුතා උපධික්ඛයෙ” යී.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේගේ අමෘතාපණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ යම් අමෘතයකින් දෙවියන් සහිත වූ ලොකයා අභිෂෙකය කර වදාළසේක් ද, යම් අමෘතයකින් අභිෂික්ත වූ දිව්‍යමනුෂ්‍යයෝ ජාති ජරා ව්‍යාධි මරණ සොක පරිදෙව දුක්ඛ දෞර්මනස්‍ය උපායාසයෙන් මිදුනාහු ද, ඒ අමෘතයන් අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ඒ අමෘතය කවරේ ද? යත හොත්- යම් මේ කායගතාසති භාවනාව යි. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම්කිසි කෙනෙක් කායගතාසති භාවනාව (සිත නමැති) මුඛයෙන් අනුභව කෙරෙත් නම් මහණෙනි, ඒ මාගේ වෛනෙයජනයෝ අමෘතරසය අනුභව කරන්නාහු ය’ යි කියා වදාරණ ලද්දේ ය. මහරජානෙනි, සද්ධර්ම චක්‍ර‍වර්ති වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ අමෘතාපාණය යි කියනු ලැබෙයි. “සකලජනනයන රසායන වූ ලොවුතුරා සර්වඥයන් වහන්සේ සංසාරව්‍යාධියෙන් පීඩිත වූ ජනසමූහයා දැක කායගතාසති නමැති අමෘතාපණය ප්‍ර‍සාරණය කර වදාළසේක් ද, සංසාරයෙහි භය දක්නා සුලු වූ භික්ෂූනි, ඒ සල්පිල් කරා ගොස් කර්මස්ථාන මිල දී ගෙණ කායගතාසති අමෘතරසය අනුභව කරවු. එයින් කියන ලදී:-

“බ්‍යාධිතා ජනතං දිස්වා-අමතාපණං පසාරයි,

කම්මෙන තං කිණිත්‍වාන-අමතා ආදෙථ භික්ඛවො” යි.

(420) “භවත් නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්ස, භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේගේ රත්නාපණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් රත්නජාතිය ද වදාරණ ලද්දේ ය. යම් රතනාලංකාරයකින් සැරහුනා වූ සර්වඥපුත්‍ර‍ වූ ශ්‍රාවකයෝ දෙවියන් සහිත වූ ලොකයා බබුළුවති. ඔභාසය කෙරෙති, ප්‍ර‍භා කෙරෙති, තමනුත් දිලියෙති, විශෙෂයෙන් ම දිලියෙති, ඌර්ධ්වාධො සරස ආලොකයන් දක්වති, ඒ රත්නයෝ කවුරු ද? යත්- ශීලරත්නය සමාධිරත්නය ප්‍ර‍ඥාරත්නය විමුක්තිරත්නය විමුක්තිඥානදර්ශනරත්නය ප්‍ර‍තිසම්භිදා රත්නය බොද්ධ්‍යංගරත්නය යි. මහරජානෙනි, ඒ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශීලරත්නය නම් කවරේ ද? යත්- ප්‍රාතිමොක්ෂසංවරශීලය, ඉන්ද්‍රියසංවරශීලය, ආජීවපාරිශුද්ධිශීලය, ප්‍ර‍ත්‍යය-සංනිශ්‍රිතශීලය, චුල්ලශීලය, මධ්‍යමශීලය, මහාශීලය, මාර්ගශීලය, ඵලශීලය. මහරජානෙනි, ශීලරත්නයෙන් සැරහුනා වූ පුරුෂයාහට දෙවියන් සහිත වූ ලොකාවාසී සත්ව තෙම ද මරුන් සහිත වූ බ්‍ර‍හ්මයන් සහිත වූ ශ්‍ර‍මණබ්‍රාහ්මණයන් සහිත වූ සත්වතෙම ද කැමැති වන්නේ ය. නැවැත නැවැතත් ප්‍රාර්ථනා කරන්නේ ය. මහරජානෙනි, ශීලරත්නය පැලැන්දා වූ භික්ෂූන් වහන්සේ දිශායෙහි ද අනුදිශායෙහි ද උඩ බඹලොව දක්වා ද යට අජටාකාශය දක්වා ද සරස අනන්තා පරිමාණ සක්වළෙහි ද බබළනසේක. ඉතා මහත් ව බබළනසේක. යටින් අවීචිය හා මත්තෙන් භවාග්‍ර‍ය දක්වා මේ තාක් අතර ඇත්තා වූ සර්වරත්නජාතීන් අතික්‍රාන්ත කොට විශෙෂවත් කොට අජ්ඣොත්ථරණය කොට සිටිනාසේක. මහරජානෙනි, මෙබඳු වූ ශීල රත්නජාතීහු ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ රත්නාපණයෙහි සදන ලද්දාහ. මහරජානෙනි, අනන්තඥානගොචර වූ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ ‘ශීලරත්නය’ යි කියනු ලැබෙයි. මෙබඳු වූ ශීලරත්න ජාතීහු ලොවුතුරා බුදුන්ගේ සල්පිල්හි ඇත්තාහ, ‘කර්මස්ථානයෙන් ඒ රත්න ගෙණ භික්ෂූනි, තෙපි ශීලරත්නය පලඳිව්’ කීවේ මැනෝ:-

“එවරූපානි සීලානි-සන්ති බුද්ධස්ස ආපණෙ,

කම්මෙන තං කිණිත්‍වාන-රතනං වො පිලන්‍ධථ” යි.

“මහරජානෙනි, අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ සමාධිරත්නය කවරේ ද? යත්- සමාධි ය යි කියන ලද අනවද්‍ය සුඛලක්ෂණ වූ චිත්තෛකාග්‍ර‍තා තොමෝ ඝණ්ඨාභිජාත ශබ්දයක් මෙන් පවත්නා වූ විතර්කය සහිත බැවින් හා එම අනුරාවය වැනි වූ විචාරය සහිත බැවින් සවිතර්ක සවිචාර සමාධි නම් වූ ‘ක්‍ධෙ-චින්තායං’ යන ධාතුවට සිද්ධ වූ ප්‍ර‍ථමද්ධ්‍යාන සමාධිය ද, නීවරණසතුරන්ට ආසන්න වු අරමුණු සිතීමෙහි දොෂ දැකීමෙන් හා විචාරයෙහි ආදීනව නො දැක විචාරය ම එකාන්ත ශාන්ත ය යි දැක විතර්කය ප්‍ර‍හාණය කොට විචාරමාත්‍ර‍යක් ඇති ද්විතීය ධ්‍යානය උපදවා වසන්නේ ය, යන මේ අවිතර්ක විචාරමාත්‍ර‍ වූ සමාධිය ද, තෘතීය චතුර්ථ පඤ්චමධ්‍යානත්‍ර‍යයෙහි චිතෛකාග්‍ර‍තාව විතර්ක විචාරද්වය විරහිත හෙයින් අවිතර්ක අවිචාර සමාධි නම් වූ ලෞකික ලොකොත්තරාදිය විසින් ද සප්‍රීතික සුඛ උපෙක්ෂා විසින් ද බහුප්‍ර‍කාර වූ අවිතර්ක අවිචාර සමාධිය ද, (421) රාගාදිඅකුශලධර්මයන්ගෙන් ශූන්‍ය වූ ශූන්‍යතා සමාධිය ද, රාගාදි ත්‍රිවිධ අකුශලධර්මයන්ගේ නිමිත්තග්‍ර‍හණයක් නැත්තා වූ අනිමිත්තසමාධිය ද, රාග ද්වෙෂ මොහාදි අකුශලධර්මයන්ගේ ප්‍ර‍ණිධියක් නැත්තා වූ අප්‍ර‍ණිහිත සමාධිය ද යන මොහු සමාධිරත්නයෝ ය. මහරජානෙනි, සමාධිරත්නය පැලැන්දා වූ භික්ෂූන් වහන්සේගේ යම් ඒ කාම විතර්ක කෙනෙක් ඇද්ද, ව්‍යාපාද විතර්ක කෙනෙක් ඇද්ද, විහිංසාවිතර්ක කෙනෙක් ඇද්ද, මානොද්ධච්ච දෘෂ්ටි විචිකිච්ඡාදි කිලේසවස්තු කෙනෙක් ඇද්ද, නානා ප්‍ර‍කාර වූ ලාමක අකුශලවිතර්ක කෙනෙක් ඇද්ද, ඒ සියලුම අකුශලධර්මයෝ එකාරමුණෙහි චිත්ත චෛතසිකයන්ගේ පිඩු ව නො විසිර පිහිටියා වූ සමාධිය කරා පැමිණ විසිරෙති. විධමනය වෙති. විධ්වංසනය වෙති. නො සිටිති, සිත්හි නො ඇලී පහ ව යෙති. මහරජානෙනි, යම් සේ නෙළුම් පත්‍රයෙහි ජලය විසිර යන්නේ ය. විධමනය වන්නේ ය. විධ්වංසනය වන්නේ ය, නො පිහිටන්නේ ය, නො ඇලෙන්නේ ය, ඊට කාරණා කවරේ ද? යත්- පියුම් පත්‍ර‍යාගේ පිරිසිදු බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම සමාධිරතනාලංකාරයෙන් සැරහුනා වූ භික්ෂූන් වහන්සේගේ යම් ඒ කාමවිතර්ක කෙනෙක් ඇද්ද, ව්‍යාපාද විතර්ක කෙනෙක් ඇද්ද, විහිංසා විතර්ක කෙනෙක් ඇද්ද, මානොද්ධච්ච දෘෂ්ටි විචිකිච්ඡා කිලේසවස්තු කෙනෙක් ඇද්ද, නානාප්‍ර‍කාර වූ ලාමක විතර්ක කෙනෙක් ඇද්ද, ඒ සියලු ම අකුශලධර්මයෝ සමාධිය කරා පැමිණ විසිරෙත්. විධමනය වෙත්. විධ්වංසනය වෙත්, නො සිටිත්, නො ඇලෙත්, ඊට හේතු කවරේ ද? යත්- උපෙක්ෂාපාරිශුද්ධි චිත්තෛකාග්‍ර‍තාසමාධියගේ අත්‍යන්තපරිශුද්ධ බැවිනි. මහරජානෙනි, සකල වෛනෙයජන කුමුදවන ප්‍රබොධ කරණයෙහි සූර්යදිව්‍යරාජයා වැනි වූ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ සමාධිරත්නය යි කියනු ලැබෙයි. මහරජානෙනි, මෙබඳු වූ සමාධිරත්නජාතීහු ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ රතනාපණයෙහි සදන ලද්දාහු යි. සමාධිරත්නමාලයෙන් සැරහුනා වූ රහතන් වහන්සේගේ චිත්තසන්තානයෙහි ක්ලේශකාමාදීන්ගේ ප්‍ර‍තිලාභය සිතීම ය යි කියන ලද කාමවිතර්කාදි ලාමකවිතර්කයෝ නො උපදනා ලැබෙත්. සමාධියගේ වශීප්‍රාප්ත වූ භික්ෂූන් වහන්සේගේ චිත්තය, විදුර නො දිරන්නා සේ, නො පෙළෙන්නේ ය. පින්වත්නි, සසර දුක් ගෙවනු කැමතියාහු නම්, තෙපි දු මේ රත්නාලංකාරය අප ලොවුතුරා බුදුන්ගේ සල්පිලින් ලබා ගණිව්. වදාළේ මැනෝ:-

“සමාධිරතනමාලස්ස-කුවිතක්කා න ජායරෙ,

න ච වික්ඛිපතෙ චිත්තං-එතං තුම්භෙ පිලන්‍ධ” යි.

“මහරජානෙනි, ලොවුතුරා බුදුන්ගේ ප්‍ර‍ඥාරත්නය කවරේ ද? යත්- මහරජානෙනි, යම් ප්‍ර‍ඥාවක් කරණ කොට ගෙණ ආර්යශ්‍රාවකයන් වහන්සේ මේ කුශලකර්මය යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නාසේක් ද, මේ අකුශලධර්මය යි කියා ද තත් වූ පරිද්දෙන් දැන ගන්නාසේක් ද, මේ සාවද්‍යධර්ම ය යි කියා ද, මේ නිරවද්‍ය ය යි කියා ද, මේ සෙවිතව්‍ය ය, මේ අසෙවිතව්‍ය ය යි (422) කියා ද, ‘මේ හීන ය, මේ ප්‍ර‍ණීත ය’ යි කියා ද, ‘මේ කෘෂ්ණ ශුක්ල සප්‍ර‍තිභාග ධර්ම ය’ යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නා සේක් ද, මේ දුඃඛසත්‍යය යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නාසේක් ද, මේ දුඃඛසමුදයසත්‍යය යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නාසේක් ද, මේ දුඃඛනිරොධසත්‍යය යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නාසේක් ද, මේ දුඃඛනිරොධගාමිනී ප්‍ර‍තිපදාව ය යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නාසේක් ද, මහරජානෙනි, ශාක්‍යකුල ප්‍ර‍සූත වූ අප ලොවුතුරා බුදුන්ගේ මේ ප්‍ර‍ඥාරත්නය යි කියනු ලැබේ. ප්‍ර‍ඥාරත්න නමැති මාලාලංකාරයෙන් සැරහුනා වූ භික්ෂූන් වහන්සේගේ භව සංඛ්‍යාත වූ පඤ්චස්කන්ධය බොහෝ කලක් නො පවත්නේ ය. ඒ භික්ෂූන් වහන්සේ ත්‍රිවිධභවය ම නො කැමැති වනසේක. වහාම අමෘතමහානිර්වාණය ස්පර්ශ කරණ සේක. වදාළේ මැනෝ:-

“පඤ්ඤාරතනමාලස්ස-න චිරං වත්තතෙ භවො,

ඛිප්පං ඵස්සෙති අමතං-නච සො රොචතෙ භවෙ” යි.

“මහරජානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ විමුක්ති රත්නය කවරේ ද? යත්- මහරජානෙනි, විමුක්තිරත්නය යි කියා අර්හත් ඵලය කියනු ලැබෙයි. මහරජානෙනි, රහත්ඵලයට පැමිණියා වූ භික්ෂූන් වහන්සේ ‘විමුක්තිරත්නය පලඳිනා ලද්දේ ය’ යි කියනු ලැබෙයි. මහරජානෙනි, යම් සේ මුක්තකලාප මාණික්‍ය ස්වර්ණ ප්‍ර‍වාලාභරණයෙන් සැරහෙන ලද්දා වූ අගුරු කළුඅගිල් තුවරලා තලිස් රත්හඳුන් ආලෙප කරණ ලද දෙහය ඇත්තා වූ නාග පුන්නාග ශාල සල්ල සපු සීනිද්ද යොහොඹු පළොල් උපුල් දෑසමන් බෝලිද්දාදි මලින් සැරහෙන ලද්දා වූ උත්තම ශ්‍රීධර පුරුෂතෙම මාලාගන්ධ රත්නාභරණයන් කරණ කොට ගෙණ සෙසු ජනයා ඉක්මවා බබළන්නේ ය. විශෙෂයෙන් බබළන්නේ ය. ඔභාස වන්නේ ය, ප්‍ර‍භාවත් වන්නේ ය, විශෙෂයෙන් ප්‍ර‍භාවත් වන්නේ ය, දිලියෙන්නේ ය, ප්‍ර‍ජ්වලිත වන්නේ ය, සෙස්සන් අභිභවනය කරවන්නේ ය, මැඩපවත්වා ලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ලෞකික පලඳනාවන් පැලැඳ ගැණීමට වඩා විමුක්ති රත්නාලංකාරය පැලැන්දා වූ අර්හත්ඵලයට පැමිණියා වූ ක්ෂීණාශ්‍ර‍වයන් වහන්සේ අර්හත්ඵල විමුක්තිය කරණ කොට ගෙණ සෙසු තදංගවිෂ්කම්භණාදී විමුක්තිමත් භික්ෂූන් අතික්‍ර‍මණය කොට බබළනසේක. විශෙෂයෙන් බබළනසේක. ඔභාස වනසේක, ප්‍ර‍භාවත් වනසේක, විශෙෂයෙන් ම ප්‍ර‍භාවත් වනසේක. දිලිසෙනසේක, අතිශයින් දිලිසෙනසේක, ලොකය අභිභවනය කරණ සේක, මැඩපවත්වන සේක, ඊට හේතු කවරේ ද? යත්- මහරජානෙනි, යම් මේ අර්හත්ඵල පලඳනාවෙක් ඇද්ද, ඒ මේ පලඳනාව සියලු ම පලඳනාවන්ට වඩා අග්‍ර‍ වන්නේ ය. මහරජානෙනි, අප ලොවුතුරා බුදුන්ගේ මේ විමුක්තිරත්න ය’ යි කියනු ලැබෙයි. ස්වර්ණ මාණික්‍ය මාලාලංකාරධාරී වූ කුලජෙට්ඨස්වාමිපුත්‍ර‍යා ගෘහනිශ්‍රීතජනතෙමේ තෘප්තියෙන් බලන්නේ ය. එසේ ම අර්හත්ඵලරත්න මාලාධාරි වූ රහතන් වහන්සේ සදිව්‍යමනුෂ්‍යයෝ ප්‍රීතිමත් ව තෘප්තියෙන් ම බලන්නාහු යි. කීයේ මැ නෝ:-

(423) “මණිමාලාධරං ගෙහ-ජනො සාමීං උදික්ඛති,

විමුත්තිරත්නමාලන්තු-උදික්ඛන්ති සදෙවකා” යි.

“මහරජානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ විමුක්තිඥාන දර්ශනරත්නය කවරේ ද? යත්- මහරජානෙනි, ආර්ය ශ්‍රාවකයන් වහන්සේ යම් ඥානයකින් මාර්ගඵල නිර්වාණ ධර්මයන් හා ප්‍ර‍හීණ ක්ලේශාවශිෂ්ටක්ලේශයන් ප්‍ර‍ත්‍යවෙක්ෂා කරණසේක් වී නම්, ඒ ප්‍ර‍ත්‍යවෙක්ෂාඥානය ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ විමුක්තිඥානදර්ශන රත්න ය යි කියනු ලැබේ. ආර්යශ්‍රාවකයෝ යම් ඥානයක් කරණ කොට ගෙණ කෘතකෘත්‍යතාව ය යි කියන ලද රහත්බව අවබොධය කෙරෙද් ද, ඒ ඥානරත්නය ලබන්නට ජිනෙන්ද්‍ර‍පුත්‍ර‍වරයෙනි, තෙපි දු ව්‍යායාම් කරව්.

“යෙන ඤාණෙන බුජ්ඣන්ති-අරියා කතකිච්චතං,

තං ඤාණරතනං ලද්ධුං-වායමෙථ ජිනොරසා” යි.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේගේ ප්‍ර‍තිසම්භිදාරත්නය කවරේ ද? යත්- මහරජානෙනි, ප්‍ර‍තිසම්භිදාවෝ අර්ථප්‍ර‍තිසම්භිදා ය, ධර්මප්‍ර‍තිසම්භිදා ය, නිරුක්තිප්‍ර‍තිසම්භිදා ය, ප්‍ර‍තිභානප්‍ර‍තිසම්භිදා ය යි කියා සතර දෙනෙක් වෙති. මහරජානෙනි, මේ චතුර්විධ වූ ප්‍ර‍තිසම්භිදාරත්නයෙන් සැරහුනා වූ භික්ෂූන් වහන්සේ, ඉදින් රජපිරිසකට හෝ ඉදින් බ්‍රාහ්මණ පිරිසකට හෝ ඉදින් ගහපතිපිරිසකට හෝ ශ්‍ර‍මණපිරිසකට හෝ යම් යම් පිරිසකට එළඹෙනසේක් නම්, විශාරද ව එළඹෙනසේක. තෙජස් නැති නො වී පහ වූ ලොමුදහ ගැණුම් ඇති ව තැති ගැණුම් නැති ව උත්ත්‍රාස නො වී නිර්භය ව පිරිසට එළඹෙන්නේ ය. මහරජානෙනි, යම් සේ පඤ්චායුධසන්නද්ධ වූ අසම්භීත වූ සංග්‍රාමශූර වූ යොධතෙම ‘ඉදින් සතුරු සෙනග දුර දී සම්භව වේ නම්, හී පහරින් විද හෙළන්නෙමි. එහෙයින් මෑත දී සම්භ වේ නම්, හෙල්ලයෙන් ඇන හෙළන්නෙමි. එයටත් මෑත දී සම්භව වේ නම්, කණය සංඛ්‍යාත වූ ඉලුක්කෝලයෙන් පැහැර හෙළන්නෙමි. සමීපයට පැමිණියා වූ සතුරු සත්වකෙනෙකුන් ඇත් නම්, කඩුවෙන් දෙපළු කොට සිඳ හරින්නෙමි. ඇඟට ලං වූ සතුරු සෙනා කෙනෙකුන් ඇත් නම්, ඡුරිකා සංඛ්‍යාත වූ කිරිසියෙන් ඇන විනිවිද හරින්නෙමි’ යි කියා යුද්ධයට බස්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම චතුර්විධ වූ ප්‍ර‍තිසම්භිදාවෙන් සැරහුනා වූ භික්ෂූන් වහන්සේ ද ‘යම් කිසිවෙක් අර්ථප්‍ර‍තිසම්භිදායෙහි ලා මාගෙන් ප්‍ර‍ශ්නයක් විචාළේ වී නම්, ඕහට ප්‍ර‍ශ්නව්‍යාකරණයෙන් අර්ථයෙන් අර්ථය ගළපා කියමි. කාරණයෙන් කාරණය දක්වා කියමි. හෙතුවෙන් හෙතුව අඟවා කියමි. නයින් නය දක්වා කියමි. සැක නැති කෙරෙමි. කුකුස් දුරු කෙරෙමි. සන්තොෂ කෙරෙමි’ යි කියා ද, ‘යම්කිසිවෙක් මා ධර්මප්‍ර‍තිසම්භිදාවෙන් ප්‍ර‍ශ්නයක් විචාළේ නම්, ඕහට ප්‍ර‍ශ්නව්‍යාකරණයෙන් ධර්මයෙන් ධර්මය ගළපා කියමි. අමෘතයෙන් අමෘතය යොදා කියමි. අසංඛතයෙන් අසංඛතය කියමි. නිර්වාණයෙන් නිර්වාණය කියමි. ශූන්‍යයෙන් ශූන්‍යය කියමි. අනිමිත්තයෙන් අනිමිත්තය කියමි. අප්‍ර‍ණිහිතයෙන් අප්‍ර‍ණිහිතය කියමි. ආනෙඤ්ජසමාධියෙන් ආනෙඤ්ජසමාධිය කියමි. නිශ්ශංක (424) කෙරෙමි. කුකුස් පහ කෙරෙමි. සන්තොෂ කෙරෙමි’ යි සිතා ද, ‘යම් කිසිවෙක් මා නිරුක්තිප්‍ර‍තිසම්භිදාඥානයෙහි ලා ප්‍ර‍ශ්නයක් විචාරන්නේ වී නම්, ඕහට ඒ ප්‍ර‍ශ්නය තෝරා කීමෙන් නිරුත්තියෙන් නිරුත්තිය සංසන්දන කොට කියමි. චතුර්විධයෙන් චතුර්විධපදය කියමි. අනුපදයෙන් අනුපදය කියමි. අක්ෂරයෙන් අක්ෂරය කියමි. සන්ධියෙන් සන්ධිය කියමි. කකාරාදි ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය කියමි. අනුව්‍යඤ්ජනයෙන් අනුව්‍යඤ්ජනය කියමි. වර්ණයෙන් වර්ණය කියමි. ස්වරයෙන් ස්වරය කියමි. ප්‍ර‍ඥප්තියෙන් ප්‍ර‍ඥප්තිය කියමි. ව්‍යවහාරයෙන් ව්‍යවහාරය කියමි. නිශ්ශංක කෙරෙමි. විමතිය පහ කෙරෙමි. සන්තොෂය කෙරෙමි’ යි සිතා ද, ‘යම් කිසිවෙක් මා ප්‍ර‍තිභානප්‍ර‍තිසම්භිදා ඥානයෙන් ප්‍ර‍ශ්නයක් විචාරන්නේ නම්, ඕහට ප්‍ර‍ශ්න ව්‍යාකරණයෙන් ප්‍ර‍තිභානයෙන් ප්‍ර‍තිභානය කියමි. උපමාවෙන් උපමාව සංසන්දනය කොට කියමි. ලක්ෂණයෙන් ලක්ෂණය කියමි. රසයෙන් රසය කියමි. නිශ්ශංක කෙරෙමි. සන්තොෂ කෙරෙමි’ යි සිතා ද, අසම්භීත ව පිරිසට එළඹෙන සේක. මහරජානෙනි, මේ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ සතර ප්‍ර‍තිසම්භිදාරත්නය යි කියනු ලැබෙයි. යොගාවචර භික්ෂූන් වහන්සේ ලොවුතුරා බුදුන්ගේ සල්පිලින් ප්‍ර‍තිසම්භිදාරත්නය ගෙණ ඥානය හා ස්පර්ශ කොට උත්තමශ්‍රීධර ව අසම්භීත ව අචලිත ව දෙවියන් සහිත වූ ලොකයෙහි අතිශයින් බබළනසේක.

“පටිසම්භිදා කිණිත්‍වාන-ඤාණෙන ඵස්සයෙය්‍ය සො,

අසම්භීතො අනුබ්බිග්ගො-අතිරොචති සදෙවකෙ” යි.

“මහරජානෙනි, ලොවුතුරා බුදුන්ගේ බොද්ධ්‍යංගරත්නය කවරේ ද? යත්- මහරජානෙනි, බොද්ධ්‍යංගයෝ ද ස්මාතිසම්බොද්ධ්‍යංගය ප්‍ර‍ඥා සම්බොද්ධ්‍යංගය වීර්යසම්බොද්ධයංගය ප්‍රීතිසම්බොද්ධ්‍යංගය පස්සද්ධි සම්බොද්දයංගය සමාධිසම්බොද්ධ්‍යංගය උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය යි කියා මොහු සප්තවිධ වෙති. මහරජානෙනි, මේ සප්තවිධ වූ බොද්ධ්‍යංග රත්නයෙන් ප්‍ර‍තිමණ්ඩිත වූ භික්ෂූන් වහන්සේ සියලු ම පාපාන්ධකාරය මැඩ දෙවියන් සහිත වූ ලොකයා බබුළුවනසේක. ප්‍ර‍භාවත් කරණසේක. කුශලාලොකය උපදවන සේක. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ බොද්ධ්‍යංගරත්නය යි කියනු ලැබේ. බොද්ධ්‍යංගරත්නමාලාලංකාරයෙන් සැරසුනා වූ ඒ භික්ෂූන් වහන්සේට දෙවියන් සහිත වූ ලොකවාසීහු නැඟී සිටීම් වශයෙන් ගෞරව කෙරෙති. එහෙයින් කර්මස්ථාන මිලයෙන් ඒ බොද්ධ්‍යංගරත්නය ගෙණ, පින්වත්නි, තෙපි දු බොද්ධ්‍යංගය රත්නය පලඳිව්.

“බොජ්ඣඞ්ග රතනමාලස්ස-උට්ඨහන්ති සදෙවකා,

කම්මෙන තං කිණිත්‍වාන-රතනං වො පිලන්‍ධථ” යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේගේ සර්වාපණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සූත්‍ර‍ ගෙය්‍ය වෙය්‍යාකරණාදි නවාංග ශාස්තෘවචනයක් ඇද්ද, ශාරීරිකධාතු කෙනෙක් ඇද්ද, පාරිභොගික ධාතුකෙනෙක් ඇද්ද, ප්‍ර‍තිමාරූප පාදලාංඡන බොධිද්‍රැම චෛත්‍යකෙනෙක් ඇද්ද, සංඝරත්නයෙක් (425) ඇද්ද, ඒ මේ ලොවුතුරා භාග්‍යවතුන් වහ්නසේගේ සර්වාපණය නම් වන්නේ ය. මහරජානෙනි, සියලු සම්පත් සෑදූ සර්වාපණයෙහි ලොවුතුරා බුදුන් විසින් දිව්‍ය බ්‍ර‍හ්ම මනුෂ්‍ය ජාති සම්පත් සදන ලද්දේ ය. භොග සම්පත් සදන ලද්දේ ය. ආයුසම්පත් සදන ලද්දේ ය. ආරොග්‍ය සම්පත් සදන ලද්දේ ය. වර්ණසම්පත් සදන ලද්දේ ය. ප්‍ර‍ඥාසම්පත්තිය සදන ලද්දේ ය. මනුෂ්‍යසම්පත්තිය සදන ලද්දේ ය, දිව්‍යසම්පත්තිය සදන ලද්දේ ය, බ්‍ර‍හ්මසම්පත්තිය සදන ලද්දේ ය, නිර්වාණසම්පත්තිය සදන ලද්දේ ය. ඒ සල්පිලින් යම් සත්ව කෙනෙක් යම් ඒ සම්පත්තියක් කැමැති වෙත් නම්, ඒ සත්වයෝ කුශලක්‍රියා මිල දී පැතු පැතූ සම්පත්තියක් ලැබ ගණිති. කිසි කෙනෙක් ශීලසමාදානයෙන් ගණිති. කිසි කෙනෙක් උපොසථකර්මයෙන් ගණිති, ස්වල්ප මාත්‍ර‍ වූ කුශලකර්මමිලයෙනුත් වඩ වඩාත් සම්පත් ලබති. මහරජානෙනි, යම් සේ කඩ වෙළෙන්දාගේ සල්පිල්හි තල මුං උඳු මෑ ආදිය ඉතා මඳ වූ ස්වල්ප මිලයෙන් වඩ වඩාත් ගණිති. මහරජානෙනි, එපරිද්දෙන් ම ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ සර්වාපණයෙහි ස්වල්පමාත්‍ර‍ වූ ද කුශලක්‍රියාමිලයෙන් වඩ වඩා සම්පත්තීන් ලබති. මහරජානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ සර්වාපණය යි කියනු ලැබේ. ආයුරාරොග්‍ය ශරීරවර්ණය ද, ස්වර්ග සම්පත්තිය හා බ්‍ර‍හ්මසම්පත්තිය ද, උතුම් ජාතිසම්පත්තිය ද, අසංඛත වූ අමෘතමහානිර්වාණසම්පත්තිය ද යන මේ ලොවී ලොවුතුරා සකල සම්පත් ම ජිනෙන්ද්‍ර‍ වූ ලොවුතුරා බුදුන්ගේ සර්වාපණයෙහි ඇත්තේ යි. අල්ප වූ ද, බොහෝ වූ ද, ත්‍රිවිධ වූ කුශලක්‍රියාමිලයෙන් ඒ සම්පත් ගන්නේ ය. සංසාරයෙහි භය දක්නා සුලු වූ භික්ෂූනි, නුඹ වහන්සේලා ද, ශ්‍ර‍ද්ධා නමැති මිලයෙන් ඒ ලොවිලොවුතුරා සම්පත් ගෙණ සමෘද්ධ වුව මැනැව.

“ආයු අරොගතා වණ්ණං-සග්ගං උච්චාකුලීනතං,

අසඞ්ඛතඤ්ච අමතං-අත්‍ථි සබ්බාපණෙ ජිනෙ.

-

අප්පෙන බහුකෙනාපි-කම්මමූලෙන ගණ්හති,

කිණිත්‍වා සද්ධාමූලෙන-සමිද්ධා හොථ භික්ඛවො” යි.

“මහරජානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම මහානගරවරයෙහි මෙබඳු වූ ජනයෝ වාසය කරන්නාහු ය. කෙබඳු ජනයෝ ද? යත්= සූත්‍ර ගෙණ හැර දක්වන්නා වූ සූත්‍රාන්තිකයෝ ය, විනය ගෙණ හැර දක්වන්නා වූ වෙනයිකයෝ ය, අභිධර්ම ධරයෝ ය, ධර්ම කථිකයෝ ය, ජාතකභාණකයෝ ය, දීර්ඝනිකාය භාණකයෝ ය, මැඳුම් සඟිභාණකයෝ ය. සංයුත්තසඟිභාණකයෝ ය, අංගොත්තර භාණකයෝ ය, බුද්ධවංශය, චර්යාපිටක ය, ඉතිවුත්තක ය, විමානවස්තු ය, ප්‍රෙත වස්තු ය, අනාගතවංශ ය, සූත්‍ර‍නිපාත ය, දම්පියා ය, ජාතක ය, ථෙරගාථා ය, ථෙරිගාථා ය, උදාන ය, චූලනිර්දෙශ ය, මහානිර්දෙශ ය, ප්‍ර‍තිසම්භිදා ය, යන පසළොස් ප්‍ර‍කරණයෙන් යුක්ත වූ කුදුගොත්සඟි භාණකයෝ ය, ශීලසම්පන්නයෝ ය, සමාධි සම්පන්නයෝ ය, ප්‍ර‍ඥාසම්පන්නයෝ ය, බොද්ධ්‍යංගභාවනායෙහි ඇලී වසන්නෝ ය, විදර්ශනා වඩන්නෝ ය, අර්ථයෙන් යුක්ත වූවෝ ය, ආරණ්‍යකාංගය (426) රක්ෂා කරන්නා වූ අරණ්‍යකයෝ ය, එසේ ම වෘක්ෂමූලිකයෝ ය, අබ්භොකාසිකය රක්ෂා කරන්නෝ ය, ශාඛා ආදියෙක පිදුරු රැසක් වසා ගෙණ නො තෙමී යට හිඳ නිවන් සොයන්නා වූ පලාලපුංජකයෝ ය. ‘සොසානිකංගං සමාදියාමි, කියා සමාදන් ව මිනීකුණු ඇති සුසානයට ගොස් තුන් යම් රෑ කෙලෙස් සුද්ධ කරණ සොසානික පුරුෂොත්තමයෝ ය, සයනයක පිට නො තබා තුන්යම් රෑ මුළුල්ලෙහි නිදි වර්ජිත කිරීමෙන් නිවන් සොයන්නා වූ සංසාරභීරුක නෙසජ්ජිකයෝ ය, සතර මාර්ගයට පිළිපන්නෝ ය, සතර ඵලස්ථයෝ ය, ශෛක්ෂ්‍යයෝ ය, ඵලසමංගියෝ ය, සොත සංඛ්‍යාත වූ මාර්ගයෙන් ඵලයට පැමිණියා වූ සූවිසිවැදෑරුම් වූ සොතාපන්න පුද්ගලයෝ ය, දොළොස් වැදෑරුම් වූ සකෘදාගාමී ආර්යයෝ ය, අටසාළස් වැදෑරුම් වූ අනාගාමි ආර්යයෝ ය, දොළොස් වැදෑරුම් වූ රහතන් වහන්සේලා ය‍, පූර්වෙනිවාසානුස්මෘති ඥානය, පරචිත්තවිජානන ඥානය, ආශ්‍ර‍වක්ෂයකර ඥානය යන ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ ත්‍රිවිද්‍යාධරයෝ ය, දිවැසින් සකල සත්වයන්ගේ ච්‍යුතිඋත්පත්ත්‍යාදිය දක්නා දිව්‍යචක්ෂුරභිඥානය ද, ශොත්‍රයෙන් දිව්‍ය වූ ද, මනුෂ්‍ය වූ ද, දුරස්ථ සමීපස්ථ වූ ද, සියලු ශබ්දයන් ශ්‍ර‍වණ කරණයට සමර්ථ වූ දිව්‍යශ්‍රොත්‍ර‍ඥානය ද, තමාගේ චිත්තයෙන් අනුන්ගේ චිත්තය සරාගාදි සොළොස් ආකාරයෙන් පිරිසිඳ දක්නට සමර්ථ වූ පරචිත්තවිජානනඥානය ද, නාමගොත්‍රාදි වශයෙන් තමාගේ ද අනුන්ගේ ද පෙර විසූ කඳපිළිවෙළ දක්නට සමර්ථ වූ පූර්වෙනිවාසානුස්මෘතිඥානය ද, නොයෙක් ලෙසින් සෘද්ධිප්‍රාතිහාර්යකරණයට සමර්ථ වූ සෘද්ධිප්‍රභෙදගත ඥානය ද, චතුරාර්යසත්‍යයන් තත් වූ පරිද්දෙන් සොළොස් ආකාරයෙන් දැන ගන්නට සමර්ථ වූ ආශ්‍ර‍වක්ෂයකර ඥානය ද යන මේ ෂඩ්අභිඥාවෙන් යුක්ත වූ ෂඩ්අභිඥාලාභීන් වහන්සේලා ය, තමන් වැනි කොට සියදහස්ගණන් රූපනිර්මිත කිරීම් හා එක් මොහොතකින් දෙව් ලොව බඹලොව පෙණියාම් ආදී අධිෂ්ඨානසෘද්ධිය ද, කයත් සිතත් දෙක සඟවා තුන්ලෝවාසීන්ට නො පෙණීම් හා ඇතුන් අසුන් සාගරපර්වතාදිය මවන්නා වූ විකුර්වණසෘද්ධිය ද, කොපුවෙන් කඩුව අදනාක් මෙන් ද, තණගසින් තණගොප් අදනාක් මෙන් ද, ඇතුළු ශරීරය රන්ධ්‍ර‍ කොට සිය දහස් ගණන් රූප කොට මවා නොයෙක් ප්‍රාතිහාර්ය කරන්නා වූ මනොමය සෘද්ධිය ද, පලඟ බැඳ නිරොධසමාපත්තියෙන් වැඩ හුන් පසේබුදුන් රහතුන් මෙර සා දරසෑයෙන් දවාපියත් කිසි උවදුරක් නො වී සිවුර හළු ගසාපියා නැඟී වඩින්ට සමර්ථකරවන සමාධිවිෂ්ඵාරසෘද්ධිය ද යන මේ අධිෂ්ඨානවිකුර්වණමනොමය සමාධිවිෂ්ඵාර යන චතුර්විධසෘද්ධි ඇත්තා වූ මහරහතන් වහන්සේලා ය, ප්‍ර‍ඥාපාරමිතායෙහි කෙළ පැමිණියා වූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ය, සතිපට්ඨානය සම්‍යක්ප්‍ර‍ධානය සෘද්ධිපාදය ඉන්ද්‍රියය බලය බොද්ධ්‍යංගය ආර්යමාර්ගවර ධ්‍යාන විමොක්ෂ රූපාරූප ශාන්තසුඛ ප්‍ර‍ණීත සමාපත්තියෙහි දක්ෂ වූ රහතන් වහ්නසේලා ය යන මේ ත්‍රිවිධ ශාසනාධාර රහතන් වහන්සේලාගෙන් ඒ සද්ධර්මමහානගරය හුණවණයක් මෙන් ද, පියුම්වනයක් මෙන් ද, ආකුල වූයේ ය. සමාකුල වූයේ ය, ආකීර්ණ වූයේ ය, ගැවසී ගත්තේ යි. මෙහි ඒ සද්ධර්මනාගරික ජනයන්ගේ වර්ණනාව වන්නේ යි:-

(427) “විතරාගා වීතදොසා-වීතමොහා අනාසවා,

වීතතණ්හා අනාදානා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

ආරඤ්ඤකා ධුතධරා-ඣායිනො ලූඛචීවරා,

විවෙකාභිරතා ධීරා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

නෙසජ්ජිකා සත්‍ථතිකා-අථොපි ඨානවඞ්කමා,

පංසුකූලධරා සබ්බෙ-ධම්මනගරෙ වසන්ති තෙ.

-

තිචීවරධරා සන්තා-චම්මඛණ්ඩචතුත්‍ථකා,

රතා එකාසනෙ විඤ්ඤෑ-ධම්මනගරෙ වසන්ති තෙ.

-

අප්පිච්ඡා නීපකා ධීරා-අප්පාහාරා අලොලුපා,

ලාභා‘ලාභෙන සන්තුට්ඨා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

ඣායී ඣානරතා ධීරා-සන්තචිත්තා සමාහිතා,

ආකිඤ්චඤ්ඤා පත්‍ථයානා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

පටිපන්නා ඵලට්ඨා ච-සෙඛඵල සමඞ්ගිනො,

ආසිංසකා උත්තමත්‍ථං-ධම්මනගරෙ වසන්ති තෙ.

-

සොතාපන්නා ච විමලා-සකදාගාමිනො ච යෙ,

අනාගාමී ච අරහන්තො-ධම්මනගරෙ වසන්ති තෙ.

-

සතිපට්ඨානකුසලා-බොජ්ඣඞ්ගභාවනාරතා,

විපස්සකා ධම්මධරා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

ඉද්ධිපාදෙසු කුසලා-සමාධිභාවනාරතා,

සම්මප්පධානමනුයුත්තා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

අභිඤ්ඤාපාරමිප්පත්තා-පෙත්තිකෙ ගොචරෙ රතා,

අන්තලික්ඛම්හි චරණා-ධම්මනගරෙ වසන්ති තෙ.

-

ඔක්ඛිත්තචක්ඛු මීතභාණි-ගුත්තද්‍වාරා සුසංවුතා,

සුදන්තා උත්තමෙ ධම්මෙ-ධම්මනගරෙ වසන්ති තෙ.

-

තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච-ඉද්ධියා පාරමී ගතා,

පඤ්ඤාය පාරමිප්පත්තා-ධම්මනගරෙ වසන්ති තෙ.”

“යන මෙයින් වීතරාගි වූ වීතද්වෙෂි වූ වීතමොහි වූ කිසි ආශ්‍ර‍වයක් නැත්තා වූ පහ කරණ ලද ත්‍රිවිධ තෘෂ්ණාවන් ඇත්තා වූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් නො ගන්නා වූ ඒ පුරුෂොත්තමයෝ ලොවුතුරා බුදන්ගේ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. ග්‍රාමයට දුනු පන්සියයෙන් ද්‍රැර වූ අරණ්‍යයෙහි වසන්නා වූ ගුණභූෂණයෝ ද, යෙහෙන් පමණකින් ධුතාංග සමාදන් ව වසන්නා වූ ධුතාංගධරයෝ ය, කායජීවිත නිරපෙක්ෂක ව කේලශශත්‍රැමථනයට වීර්යධ්වජ නඟා ධ්‍යානයෙන් යුක්ත ව වසන ධ්‍යායිහු ද, රාග විරාග කරණයෙහි ව්‍යාපෘත රූක්ෂසිවුරු ධරන්නා වූ ලුඛචීවරයෝ ද, සසරකතර ගෙවන්නට සුගතොවාදය සිරසින් ගෙණ (428) විවේකයෙහි ඇලී වසන්නා වූ ප්‍රාඥයෝ ද යන ඒ සර්වඥපුත්‍රයෝ සද්ධර්මමහානුවර වසන්නාහු ය. සූතිස්යොධයෝ කවර දොරින් වැද සිල් පැහැර ගණද්දෝ හොයි නො නිදා ශීල ගොපනය කරන්නා වූ නෙසජ්ජිකාංගයෝ ද නානා සෙනස්නෙහි ලොල්බව ප්‍ර‍තික්ෂෙප කොට ලත් සෙන්නෙන් සතුටු ව වසන්නා වූ යථාසන්ථතිකංගය රක්නෝ ද, නීවරණ නිවාරණයට සතිපට්ඨානය මෙනෙහි කෙරෙමින් සිටීමෙන් සක්මන් කිරීමෙන් කල් යවන්නා වූ පාපභීරුකයෝ ද, සංකාරස්ථානය සුසානාදියෙහි නිරපෙක්ෂ ව දැමූ වස්ත්‍ර‍ ගෙණ සිවුරු කොට පලඳින්නා වු පාංසුකූලධරයෝ ද යන මේ සියලු ගුණ මූලිකයෝ සද්ධර්මමහානගරයෙහි වසන්නාහු ය. සම්කඩ සතර වැනි කොට ඇති චීවරධාරී වූ සත්පුරුෂගුණභූෂණයෝ ද, වෙන වෙන හස්නෙහි හිඳ කරණ ආහාර පරිභොගය ප්‍ර‍තික්ෂෙප කෙරෙමින් එකාසනිකාංගයෙහි ඇලී වසන්නා වූ නුවණැත්තෝ ද යන ඒ ගුණකාමිකයෝ ධර්මමහානගරයෙහි වසන්නාහු ය. අල්පෙච්ඡ වූ කර්මස්ථාන පරිහරණයෙහි නියුක්ත නිපක නම් ප්‍ර‍ඥාව ඇත්තා වූ උපචාරඅර්පණාදිය උපදවාලීමෙහි නුවණ ඇත්තා වූ රාගමදවැඩෙන හෙයින් අල්පාහාර ඇත්තා වූ නිවන් සෙවීමෙහි මුත් ප්‍ර‍ත්‍යය ලාභයෙහි ලොල්බවක් නැත්තා වූ ලාභ අලාභ දෙකින් ම සතුටු වන්නා වූ ශීලසුගන්ධ ඇති ඒ මුනීන්ද්‍ර‍පුත්‍රයෝ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. ආලම්බනොපනිධ්‍යානාදී ධ්‍යානයන් ඇත්තා වූ ලක්ෂෙණාපනිධ්‍යානාදි ධ්‍යානයෙහි ඇලුනා වූ ප්‍ර‍ඥාවත්හු ද, රූපශබ්දාදියෙහි සිත නො දුවන විසින් ශාන්ත සිත් ඇත්තා වූ උපචාරසමාධි අර්පණාසමාධි ප්‍ර‍තිලාභයෙන් එකඟ වූ සිත් ඇති යොගාවචරයෝ ද, අකිඤ්චනස්වභාව ඇති නිර්වාණසම්පත්තිය ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණාභිලාෂයෝ ද යන ඒ නරවරොත්තමයෝ සද්ධර්ම මහානගරවරයෙහි වසන්නාහු ය. සතරමාර්ගයට පිළිපන්නා වූ ආර්ය පුද්ගලයෝ ද, ඵලස්ථ වූ පුද්ගලයෝ ද, ඵලසමංගි වූ ශෛක්ෂ්‍යයෝ ද, අර්හත්ඵලය ප්‍රාර්ථනා කරන්නා වූ ආර්යයෝ ද යන ඒ පාපගර්හි ආර්යයෝ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. නිර්මල වූ ශීල ඇති සොතාපන්න ආර්යශ්‍රාවකයෝ ද, යම් සකෘදාගාමි ආර්යශ්‍රාවක කෙනෙක් ඇද්ද, අනාගාමි ශ්‍රාවක කෙනෙක් ඇද්ද, ඔහු ද රහතුන් වහන්සේලා ද යන ඒ ආර්යයෝ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. සතර සතිපට්ටානභාවනායෙහි දක්ෂ වූවෝ ද, සප්තබොද්ධ්‍යංගභාවනායෙහි ඇලුනෝ ද, සමථවිදර්ශනානුභාවනායොගි වූ ආර්යයෝ ද ධර්මධරයතීන්ද්‍රයෝ ද යන ඒ ආර්යයෝ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. චතුර්විධ සෘද්ධිපාදයෙහි දක්ෂ වූ ශ්‍රාවකයෝ ද, උපචාර අර්පනාසමාධියෙහි ඇලුනා වූ ආර්යයෝ ද, සතර සම්‍යක්ප්‍ර‍ධානවීර්යයෙහි ඇලුනා වූ නියුක්ත වූ ආර්යයෝ ද යන ඒ සුගතශ්‍රාවකයන් වහන්සේලා සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. අභිඥාපාරමිතාවට පැමිණියා වූ ද, තමන් පීතෘ වූ ලොවුතුරා බුදුන්ගේ අනවද්‍යගොචරයෙහි ඇලුනා වූ ආර්යයෝ ද, ස්වර්ණහංසයන් සෙයින් අහස්හි හැසිරෙන්නා වූ අතුල්‍යධ්‍යානපාදයෝ ද යන ඒ සර්වඥශ්‍රාවකයෝ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. වියදඬු පමණ දුර බලන්නා වූ යටිකුරු කරණ ලද (429) ඇස් ඇත්තා වූ, පමණින් යුක්ත වූ කථා ඇති, ගුප්ත කරණ ලද චක්ෂුරාදිද්වාරයන් ඇති සංවෘත කරණ ලද ඉන්ද්‍රියයන් ඇති උතුම් වූ සමාධිධර්මයෙහි මනා කොට දමනය වූ ඒ ආර්යශ්‍රාවකයෝ සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය. ත්‍රිවිද්‍යාධර වූ ආර්යයෝ ද, ෂඩභිඥාධාරි වූ ආර්යයෝ ද, මනොමය සෘද්ධිවිධඥානාදී සෘද්ධියෙහි පරතෙරට පැමිණියා වූ ආර්යයෝ ද, ශ්‍රාවකප්‍ර‍ඥාපාරමිතායෙහි කෙළ පැමිණියා වූ මහාශ්‍රාවකයන් වහන්සේලා ද යන ඒ අනුබුද්ධශ්‍රාවකයන් වහන්සේලා සද්ධර්මමහානගරවරයෙහි වසන්නාහු ය.

“මහරජානෙනි, යම් ඒ භික්ෂුකෙනෙක් අපරිමිතඤාණවරධාරීහු ද අසහාය වූ ද අතුල්‍යගුණ ඇත්තාහු ද, අසදෘශයශස් ඇත්තාහු ද, අතුල්‍ය බල ඇත්තාහු ද, අතුල්‍ය වූ තෙජස් ඇත්තාහු ද, සද්ධර්මාඥාචක්‍ර‍ය නො හැර පවත්වන්නාහු ද, ප්‍ර‍ඥාපාරමිතාවට පැමිණියාහු ද, මහරජානෙනි, මෙබඳු වූ මහාශ්‍රාවකභික්ෂූන් වහන්සේලා ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීසද්ධර්මමහානගරවරයෙහි සද්ධර්මසෙනාධිපතිහු ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් භික්ෂු කෙනෙක් අනෙකවිධ සෘද්ධි ඇත්තාහු ද, පැමිණෙන ලද චතුර්විධ ප්‍ර‍තිසම්භිදාවන් ඇත්තාහු ද, පැමිණෙන ලද චතුර්වෛශාරද්‍යයන් ඇත්තාහු ද, බඹලෝ දක්වා අහස සැරිසරන්නාහු ද, අමිත්‍ර‍යකු විසින් ලං විය නො හැක්කාහු ද, කිසිකෙනෙකුන් විසින් මැඩලිය නො හැක්කාහු ද, කිසිවෙක නො ඇලී හැසිරෙන්නාහු ද, චතුස්සාගර සහිත මහාපෘථිවිය ධරන්නා වූ චක්‍ර‍වාටපර්වතය සහිත වූ මහාපෘථිවිය කම්පා කරන්නාහු ද, අත දිඟු කොට චන්ද්‍ර‍සූර්යයන් පිරිමදින්නාහු ද, විකුර්වණසෘද්ධි අධිෂ්ඨානසෘද්ධි ආදියෙහි අභිනීහාර හෙයින් දක්ෂ වූ සෘද්ධියෙහි පරතෙරට පැමිණියා වූ මහාශ්‍රාවකයෝ ද යන මෙබඳු වූ ශ්‍රාවකයෝ මහරජානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි අග්‍ර‍පුරෝහිතයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, මේ ශාසනයෙහි යම් භික්ෂුකෙනෙක් ධුතාංග සමාදානයට පැමිණියාහු ද අල්පෙච්ඡ වූවාහු ද, ලද දෙයකින් සතුටු වන්නාහු ද, කායවාචාවිඤ්ඤත්තියට හා කුලදූෂණය කරන්නා වූ එක්විසි අන්වෙෂණයට පිළිකුල් කරන්නාහු ද, මලට වෙහෙස නො කොට සුවඳ රොන් ගෙණ යන භෘංගරාජයන් මෙන් පිණ්ඩපාතයෙන් උපාසකකුලය නො වෙහෙසා පිඬු සිඟා ගෙණ විවික්ත වූ වනාන්තරයට ප්‍රවෙශ වන්නා වූ සපදානචාරීන් වහන්සේලා ද ශරීරයෙහිත් ජීවිතයෙහිත් උපෙක්ෂා විරහිත ව වසන්නාහු ද, ලෞකිකඥානය ඉක්මවා අර්හත්ඵලයට පැමිණියාහු ද, ධුතාංගගුණ සමාදානයෙහි කාමචිත්තය අග්‍ර‍ කොට තවන ලද්දාහු ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි විනිශ්චය මහාමාත්‍යයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් ක්ලේශමලාපගමනයෙන් පිරිසිදු වූවාහු ද, තෘෂ්ණමල විරමණයෙන් නිර්මල වූවාහු ද, නික්ලේශික වූවාහු ද, චුති උත්පාදද්වය දක්නා ඤාණයෙහි දක්ෂ වූවාහු ද, දිව්‍යඥානයෙහි පරතෙරට පැමිණියා වූ මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා, මහරජානෙනි, භාග්‍යවත් වූ ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි නගරජොතිකයෝ ය” යි කියනු ලැබෙත්.

(430) “මහරජානෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෙයින් බහුශ්‍රැත වූවාහු ද, සුගතාගමධාරී වූවාහු ද, ධර්මධර වූවාහු ද, විනයධර වූවාහු ද, මාතෘකාධර වූවාහු ද, සිථිල ධනිත දීර්ඝ හ්‍ර‍ස්ව ගුරු ලඝු සංඛ්‍යාත වූ අක්ෂරයන්ගේ ප්‍ර‍මාණ දැනීමෙහි දක්ෂ වූවාහු ද, නවාංගශාස්තෘශාසනධාරි වූවාහු ද, මහරජානෙනි, මෙබඳු භික්ෂූන් වහන්සේලා ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි වූ ධාර්මික වූ ආරක්ෂාග්‍ර‍හණයෙහි නියුක්ත වූවාහු ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් විනය දන්නාහු ද, විනයෙහි දක්ෂ වූවාහු ද, ආපත්ති ගෙණ හැර දැක්වීමෙහි දක්ෂ වූවාහු ද, ආපත්ති අනාපත්ති ගරුක ලහුක සතෙකිච්ඡ අතෙකිච්ඡ වුට්ඨාන දෙශනා නිග්‍ර‍හ ප්‍ර‍තිකර්ම ඔසාරණ නිස්සාරණ ප්‍ර‍තිසාරණාදි විනයකර්මයෙහි අතිදක්ෂ වූවාහු ද විනයසාගරයෙහි පාරප්‍රාප්ත වූවාහු ද, මහරජානෙනි, මෙබඳු වූ ශාසනකාරක භික්ෂූන් වහන්සේලා ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි ස්වභාවප්‍ර‍තිකර්මයෙහි දක්ෂ වූ රූපදක්ඛ අමාත්‍යයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් භික්ෂු කෙනෙක් අර්හත්ඵල නමැති ප්‍ර‍වරකුසුම මාලායෙන් බද්ධ වූවාහු ද, වරප්‍ර‍වරානර්ඝ ශ්‍රෙෂ්ඨභාවයට පැමිණියාහු ද, බොහෝ ජනයාගේ මන වැඩීමෙන් ප්‍රාර්ථිත වූවාහු ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි පුෂ්පසල්පිල්හු ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් චතුස්සත්‍ය ප්‍ර‍තිවෙධය කළාහු ද, චතුස්සත්‍යය දක්නා ලද්දාහු ද, සර්වඥශාසනය නෛර්යාණිකයහ යි කියා දක්නා ලද්දාහු ද, සතර ශ්‍රාමණ්‍යඵලයෙහි එතෙර වූ කුකුස් ඇත්තාහු ද, ප්‍ර‍තිලබ්ධ අර්හත්ඵලසැප ඇත්තාහු ද, අර්හත්ඵලය පිණිස පිළිපන්නා වූ ශෛක්ෂ්‍යයන්ටත් ඒ සතරඵලයන් බෙදා දෙන්නාහු ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි ඵලාපණිකයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් භික්ෂූන් වහන්සේ කෙනෙක් ශීලසංවර සුගන්ධයෙන් ආලේප වූවාහු ද, අනෙකවිධ වූ බොහෝ ගුණ දරන්නාහු ද, ක්ලේශ මල දුර්ගන්ධ නසන්නාහු ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි සුගන්ධාපණයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් ධර්මප්‍රීතිවාක්‍යය පැවතීම් ඇති ව ධර්මකාමී වූවාහු ද, අභිධර්මයෙහි ද විනයධර්මයෙහි ද මහත් වූ ප්‍රමොද්‍ය ඇත්තාහු ද, අරණ්‍යයට ගියාහු ද, වෘක්ෂමූලයට ගියාහු ද, ශූන්‍යාගාරයට ගියාහු ද, කයින් වචසින් මනසින් සද්ධර්මවරරසය පානය කෙරෙද්ද, සද්ධර්මාමෘතරසයට බස්නා ලද්දාහු ද, බලවත් වූ ප්‍ර‍තිභානයන් ඇත්තාහු ද, ත්‍රිවිධ ධර්මයෙහි පර්යාප්ති ප්‍ර‍තිපත්ති ප්‍ර‍තිවෙධ සංඛ්‍යාත වූ ධර්මය සොයමින් පිළිපන්නාහු ද, මෙතැන්හි හෝ එතැන්හි හෝ යම් තැනෙක්හි අල්පෙච්ඡකථා, සන්තුෂ්ටකථා විවෙකකථා, අසංසර්ගකථා, වීර්යාරම්භකථා, සීලකථා, සමාධිකථා, ප්‍ර‍ඥාකථා, විමුක්තිකථා, විමුක්තිඥාන දර්ශනකථා ය යන දශකථා පවතී නම් ඒ ඒ තැනට ගොස් ඒ ඒ රසය පානය කෙරෙද්ද, මහරජානෙනි, මෙබඳු වූ (431) බුද්ධශාසනකාරක භික්ෂූන් වහන්සේලා ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි පිපාසය ඇති සුරාසොණ්ඩජනයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් පෙරයම පටන් පශ්චිම යාමය දක්වා නිදි වර්ජිත කිරීමෙන් යුක්ත ව හිඳීමෙන් සිටීමෙන් සක්මනින් රෑ දාවල් ඉක්මවන්නාහු ද, සර්වක්ලේශයන්ගේ ප්‍ර‍තිබාහනය පිණිස භාවනායෙහි නියුක්ත වූ වීර්යයෙන් යුක්ත වූවාහු ද, අර්හත්ඵලය උපදවා ලිමෙහි ව්‍යාපෘත වූවාහු ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි නගර ගුත්තිකයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් නවාංග බුද්ධවචනය අර්ථවශයෙන් ද, ව්‍යඤ්ජනවශයෙන් ද, නයවශයෙන් ද, කාරණවශයෙන් ද, හෙතුවශයෙන් ද, උදාහරණවශයෙන් ද, උපමා වශයෙන් ද කියන්නාහු ද, නො හැර ම කියන්නාහු ද, දෙශනා කෙරෙද් ද, නො හැර ම දෙශනා කෙරෙද් ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි ධාර්මිකාපණිකයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් සද්ධර්ම රත්න නමැති භොගයෙන් හා ආගම පර්යාප්ති ශ්‍රැත භොගයෙන් භොගවත් වූවාහු ද, ධනවත් වූවාහු ද, නිර්දිෂ්ට ස්වරව්‍යඤ්ජන ලක්ෂණ ප්‍ර‍තිවෙධ ඇත්තාහු ද, විදුරෙන් විදුර විදින්නාක් මෙන් අභිධර්ම ප්‍ර‍ස්ථානප්‍ර‍කරණාදියෙහි ප්‍ර‍ඥාව පතුරුවන්නා වූ ප්‍රාඥයෝ ද යන මෙබඳු වූ භික්ෂූන් වහන්සේලා මහරජානෙනි, ලොවුතුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි ධාර්මික වූ සිටුවරු ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා කෙනෙක් මහත් වූ ධර්මදෙශනා ප්‍ර‍තිවෙධ ඇතිසේක්ලා ද, පුරුදු කරණ ලද අරමුණු බෙදීම් හා නිර්දෙශ ඇත්තාහු ද, අධිශීල අධිචිත්ත අධිපඤ්ඤා යන ත්‍රිවිධශික්ෂා රාශියගේ පරතෙරට පැමිණියාහු ද, මහරජානෙනි, මෙබඳු වූ භික්ෂූන්වහන්සේලා ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මමහානගරවරයෙහි ප්‍ර‍සිද්ධ වූ ධාර්මිකයෝ ය” යි කියනු ලැබෙත්.

“මහරජානෙනි, ලොවුතුරා බුදුන්ගේ සද්ධර්මනුවර මෙසේ මනා කොට බෙදා කරණ ලද්දේ ය. මෙසේ මවන ලද්දේ ය. මෙසේ පවිත්‍ර‍ කරණ ලද්දේ ය. මෙසේ ලොකොත්තරරත්නයෙන් පුරවන ලද්දේ ය. මෙසේ ව්‍යවස්ථා කරණ ලද්දේ ය. මෙසේ රක්ෂා කරණ ලද්දේ ය. මෙසේ ගොපනය කරණ ලද්දේ ය. මෙසේ ප්‍ර‍තිවිරුද්ධ වූ මාරාදි පසමිතුරන් විසින් යුද්ධ කොට පැහැර ගත නො හැක්කේ ය. මහරජානෙනි, මේ කාරණයෙන් ද, මේ හෙතුයෙන් ද, මේ නයින් ද, මේ අනුමානයෙන් ද, ඒ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ ඇතැ යි කියා ම දැන ගත යුත්තේ යි. යම් සේ යහපත් කොට බෙදා කරණ ලද මනොරම්‍ය වූ නුවර දැක ඒ නුවරට පැමිණියා වූ ජනයෝ අනුමානයෙන් ම වඩුවාගේ මහත්ත්වය දැන ගණිද්ද, එපරිද්දෙන් ම සර්වලොකෛකනායක වූ ලොවුතුරා බුදුන්ගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මමහනුවර දැක බෞද්ධාගමධාරී වූ පණ්ඩිතජනයෝ අනුමානයෙන් ම ඒ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ ඇතැ යි ම කියා දැන ගන්නාහු යි.

“යථාපි නගරං දිස්වා-සුවිභත්තං මනොරමං,

අනුමානෙන ජානන්ති-වඩ්ඪකිස්ස මහන්තතං.

-

(432) තථෙව ලොකනාථස්ස-දිස්වා ධම්මපුරං වරං,

අනුමානෙන ජානත්ති-අත්‍ථි සො භගවා ඉති” යි.

“තවද, මහරජානෙනි, යම් සේ මහාසමුද්‍රයෙහි මහාකඳු සේ අඹරවන්නා වූ ඌමිවෙගය දැක ‘මේ මහාරළවෙගයෙක් දක්නා ලැබෙයි. එහෙයින් ඒ සමුද්‍ර‍යතෙම ඉතා මහත් වන්නේ ය’ යි කියා ජනයෝ අනුමානයෙන් ම දැන ගණිද්ද, එපරිද්දෙන් ම සදිව්‍යමනුෂ්‍යලොකයෙහි එකපැහැර දුවන්නා වූ සද්ධර්මරළවෙගය දැක යම් සේ සද්ධර්මරළවෙගය මහත් වී ද, එපරිද්දෙන් ම එහෙයින් බුදුරජානන් වහන්සේ ලොකත්‍ර‍යට ම අග්‍ර‍ වනසේකැ යි කියා අනුමානයෙන් ම සියලු ම ශොක දුරු කරන්නා වු හැම තැන්හි ම පරාජයක් නැත්තා වූ ත්‍රිවිධ තෘෂ්ණාක්ෂයට පැමිණියා වූ සියලු ම සංසාරභවයෙන් මිදුනා වූ සියල්ල දත්තා වූ බුදුහු දැන ගත යුතු වන්නාහ.

“අනුමානෙන ජානන්ති-ඌමී දිස්වාන සාගරෙ,

යථායං දිස්සතෙ ඌමී-මහන්තො සො භවිස්සති.

-

තථා බුද්ධො සොකනුදො-සබ්බත්‍ථ මපරාජිතො,

තණ්හක්ඛයමනුප්පත්තො-භවසංසාර මොචනො.

-

අනුමානෙන ඤාතබ්බො-ඌමිං දිස්වා සදෙවකෙ,

යථා ධම්මුමිවිප්ඵාරො-අග්ගො බුද්ධො භවිස්සති” යි.

“තවද, මහරජානෙනි, යම් සේ ඉතා උස් ව පැන නැංගා වූ හිමාලය පර්වතය දැක ලොකවාසීහු ‘මේ ඉතා උස් වූ ඒ හිමාලයපර්වතය වන්නේ ය’ යි කියා අනුමානයෙන් දැන ගණිද්ද, එපරිද්දෙන් ම සිහිල් වූ උපධි රහිත වූ අචල වූ සුප්‍ර‍තිෂ්ඨිත වූ භවාග්‍ර‍ය දක්වා ඉතා උස් වූ ලොවුතුරා බුදුන්ගේ සද්ධර්මපර්වතය දැක ‘ඒ මහාවීර බුදුරජතෙමේ අග්‍ර‍ වන්නේ ය’ යි කියා එසේ ම අනුමානයෙන් ම දැන ගත යුතු වන්නේ ය.

“අනුමානෙන ජානන්ති-දිස්වා අච්චුග්ගතං ගිරිං,

යථා අච්චුග්ගතො ඵසො-හිමවා සො භවිස්සති.

-

තථා දිස්වා ධම්මගිරිං-සීතිභූතං නිරූපධිං,

අච්චුග්ගතං භගවතො-අචලං සුප්පතීට්ඨිතං.

-

අනුමානෙන ඤාතබ්බො-දිස්වාන ධම්මපබ්බතං,

තථා හි සො මහාවිරො-අග්ගො බුද්ධො භවිස්සති” යි.

තවද, මහරජානෙනි, යම් සේ හස්තිරාජයාගේ පියවර දැක මනුෂ්‍යයෝ ‘මේ පාද තබා ගියා වූ මේ තෙමේ මහාහස්තිරාජයෙකැ’ යි කියා අනුමානයෙන් ම දැන ගණිද් ද, එපරිද්දෙන් ම ලොවුතුරා සර්වඥරාජ නමැති හස්තිරාජයාගේ චතුර්විධසෘද්ධිපාදයන් හා සච්චබද්ධ සමන්තකූට නර්මදා නදී පුලිනතීරාදියෙහි තැබූ ශ්‍රීපාදලාංඡනයන් දැක නුවණැත්තෝ ඒ සර්වඥරාජොත්තමයානන් වහන්සේ ඉතා මහත් වනසේකැ යි කියා නුවණින් දැන ගන්නාහු යි.

(433) “යථාපි ගජරාජස්ස-පදං දිස්වාන මානුසා,

අනුමානෙන ජානන්ති-මහා ඵසො ගජො ඉති.

-

තථෙව බුද්ධනාගස්ස-පදං දිස්වා විභාවිනො,

අනුමානෙන ජානන්ති-උලාරො සො භවිස්සති” යි.

“තවද, මහරජානෙනි, යම් සේ භයින් භීත වූ ලාමකමෘගජාතීන් දැක ‘සිංහරාජයාගේ ශබ්දයෙන් මේ ලාමක වූ මෘගජාතීහු මෙසේ භය වූවාහු ය’ යි කියා ලොකවාසී ජනයෝ අනුමානයෙන් ම දැන ගණිද්ද, එපරිද්දෙන් ම ‘අඤ්ඤෙපි අත්ථි භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා’ යනාදීන් දෙශනා කර වදාරන්නා වූ සර්වඥකෙසරසිංහරාජොත්තමයානන් වහන්සේගේ සද්ධර්ම ගර්ජනාව අසා භ්‍රාන්ත වූ සිත් ඇති විස්තීර්ණ වූ අනන්තතීර්ථක සමූහයන් දැක ‘එකාන්තයෙන් ම සද්ධර්මරාජොත්තමයානන් වහන්සේ විසින් කරණ ලද ගර්ජනාවෙකැ’ යි කියා අනුමානයෙන් ම දත යුත්තේ යි.

“අනුමානෙන ජානන්ති-භීතෙ දිස්වාන කුම්මිගෙ,

මිගරාජස්ස සද්දෙන-භීතා ‘මෙ කුම්මිගා ඉති.

-

තථෙව තිත්‍ථියෙ දිස්වා-විත්‍ථතෙ භීතමානසෙ,

අනුමානෙන ඤාතබ්බං-ධම්මරාජෙන ගජ්ජිතං” යි.

“තවද, මහරජානෙනි, මහාමෙඝය වර්ෂා කෙරෙමින් මහාඋෂ්ණය නිවී ගියා වූ ලිං පිහිලි දෙණිපත් පිරීමෙන් මහොදික වූ මනා ව නිල් ව ගියා වූ තෘණ ලතා පත්‍ර‍ ඇති පෘථිවිතලය දැක ජනයෝ ‘මේ මහානියඟ මහාමෙඝයෙන් ශාන්ත ව නිවී යන ලදැ’ යි කියා අනුමානයෙන් ම දැන ගණිද්ද, ඒ එපරිද්දෙන් ම ස්වර්ගමොක්ෂ සම්පත්ති ප්‍ර‍තිලාභයෙන් ආමොදිත ප්‍ර‍මුදිත වූ මේ සත්වලොකයා දැක ‘එකාන්තයෙන් ම සද්ධර්ම මහාමෙඝයෙන් සන්තර්පිත වූයේ ය’ යි කියා ලක්ෂණානුසාර වූ අනුමාන ඥානයෙන් දැන ගත යුත්තේ යි.

“නිබ්බුතං පඨවිං දිස්වා-හරීතපත්තං මහොදිකං,

අනුමානෙන ජානන්ති-මහාමෙඝෙන නිබ්බුතං.

-

තථෙවිමං ජනං දිස්වා-ආමොදිත පමොදිතං,

අනුමානෙන ඤාතබ්බං-ධම්මමෙඝෙනතප්පිතං” යි.

“තවද, මහරජානෙනි, යම් සේ තැබූ පය ගැලී ඇලෙන්නා වූ මහමඩ ගොහොරුවක් වූ බොරමඩින් තෙත් වු මහාපෘථිවිතලයක් දැක මනුෂ්‍යයේ ‘අහෝ! මේ ගෝරු මඩ වීමට මෙහි මහාජලස්කන්ධයෙක් ආයේ වනැ’ යි කියා ලක්ෂණානුසාර වූ අනුමානඥානයෙන් ම දැන ගණිද්ද, එපරිද්දෙන් ම අප ලොවුතුරා සර්වඥයන් වහන්සේ ක්ලේශරජස්කර්දමයෙන් වැලඳ සිටියා වූ මේ ජනසමූහයා දැක කරුණාකර වදාරමින් ධර්මදෙශනා නමැති ගංගාවෙන් උසුලමින් ලොකොත්තරධර්ම නමැති අමෘතමහාසාගරයෙහි හරණ ලද්දේ ය. එහෙයින් සද්ධර්මාමෘතමහාසාගරයට පැමිණියා වූ (434) දිව්‍යබ්‍ර‍හ්මයන් සහිත වූ පෘථිවිනිඃශ්‍රිත වූ මේ මනුෂ්‍යජනයා දැක නුවණැත්තන් විසින් ‘අහෝ! මහාධර්මස්කන්ධයෙක් පැතිර ගියේ ය’ යි කියා අනුමානඥානයෙන් ම දැන ගත යුත්තේ යි.

“ලග්ගං දිස්වා භුසං පඞ්කං-කලලද්දගතං මහිං,

අනුමානෙන ජානන්ති-වාරික්ඛන්‍ධො මහා ගතො.

-

තථෙවීමං ජනං දිස්වා-රජොපඞ්කසමොහිතං,

වහිතං ධම්මං නදියා-විස්සට්ඨං ධම්මසාගරෙ.

-

ධම්මාමතගතං දිස්වා-සදෙවකමිමං මහිං,

අනුමානෙන ඤාතබ්බො-ධම්මක්ඛන්‍ධො මහාගතො” යි.

“තවද, මහරජානෙනි, යම් සේ උතුම් වූ සුගන්ධය නාසයෙන් ආඝ්‍රාණය කොට ‘මේ මහාසුගන්ධයෙක් හමන්නේ ය. එහෙයින් සුපුෂ්පිත මල් ඇති සපු දුනුකේ මුහුනාදී වෘක්ෂයෝ සමීපයෙහි එන්නාහු ය’ යි කියා ජනයෝ අනුමානයෙන් ම දැන ගණිද්ද, එපරිද්දෙන් ම ‘මේ ශීලසුගන්ධය ද සනරාමර සකල ලොකයෙහි පැතිර හමන්නේ ය. ඒ කාරණයෙන් අනුත්තර වූ අප තිලෝගුරු සර්වඥරාජොත්තමයානන් වහන්සේත් ඇතැ’ යි කියා ම අනුමාන සංඛ්‍යාත ඥානයෙන් දැන ගත යුත්තේ යි.

“අනුමානෙන ජානන්ති-ඝායිත්‍වා ගන්‍ධමුත්තමං,

යථායං වායති ගන්‍ධො-හෙස්සන්ති පුප්ඵිතා දුමා.

-

තථෙවායං සීලගන්‍ධො-පවායති සදෙවකෙ,

අනුමානෙන ඤාතබ්බො-අත්‍ථි බුද්ධො අනුත්තරො” යි.

“මහරජානෙනි, එබඳු වූ කාරණා සියයකින් කාරණා දහසකින් හෙතු සියයකින් හෙතු දහසකින් නය සියයකින් නය දහසකින් උපමා සියයකින් උපමා දහසකින් බුද්ධබලය ගෙණ හැර දක්වා පියන්නට සමර්ථයෙමි. හැකි වන්නෙමි. එසේ වුවත් බුදුබල නො ගෙවේ් ම ය. මහරජානෙනි, යම් සේ මල් ගෙතීමෙහි අතිදක්ෂ වූ මාලාකාරයෙක් තෙම සුගන්ධකෙතකී වකුල සපු සීනිද්ද දෑසමන් ආදී නානාප්‍ර‍කාරපුෂ්පරාශියකින් ආචාර්යානුශාසන වූ පරිද්දෙන් තමා තුළ වූ ශක්තියෙන්[5] විසිතුරු වූ මාලාබන්ධන රාශියක් කරන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ත්‍රිභුවන ජන වන්දනීය වූ ඒ අප භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ අනෙකවර්ණ ඇති විසිතුරු වූ මල්රාශිය මෙන් අනන්ත වූ ගුණ ඇතිසේක. අප්‍රමෙය වූ ගුණ ඇතිසේක. මේ සර්වඥශාසනයෙහි මම දැන් මල් ගොතන්නා වූ මාලාකාරයෙකු මෙන් පූර්වාචාර්යවරයන්ගේ අර්ථකථා[6] මාර්ගයෙන් ද මාගේ ප්‍ර‍ඥාශක්තිබලයෙන් ද අසංඛ්‍ය වූ කාරණයෙන් සුගතතථාගතඅර්හත්-සම්‍යක්සම්බුද්ධබලය අනුමානයෙන් ම තොපට දක්වා කියන්නෙමි. ප්‍ර‍කාශ කෙරෙමි. ඒ අප ලොවුතුරා සද්ධර්ම චක්‍ර‍වර්ති වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ මේ යථොක්ත වූ සද්ධර්මමහානගරවරයෙහි බුද්ධරාජ්‍යශ්‍රී කර වදාරමින් අමෘතමහානිර්වාණපුර ප්‍ර‍විෂ්ට වූසේක. පරිභොගය කර වදාළා වූ සත්තබොද්ධ්‍යංගාදී ලොකොත්තර වූ පරිභොග (435) භාණ්ඩයන් දැක අප බුදුන් ඇති බව තත් වූ පරිද්දෙන් ම දන්නෙමි. මහරජානෙනි, තෙපි වනාහි මා කී මේ අනුමාන ප්‍ර‍ශ්නාර්ථයෙහි තවත් අර්ථ අසනු කැමැත්තාහු නම්, අසනු පිණිස සඳ උපදව” යි වදාළසේක.

“සාධු, සාධු, ස්වාමීනි, නාගසෙන ස්ථවිරොත්තමයානෙනි, නුඹ වහන්සේ මුත් ලොවුතුරා බුදුන් හැර මේ ප්‍ර‍ශ්නය විසඳන්නෝ කවුරු ද? මෙබඳු වූ කාරණා දැක්වීමෙන් අනුමානයෙන් ම සර්වඥබල දක්වා පියන්නට සෙස්සන්ට දුෂ්කර වන්නේ ය. ස්වාමීනි, නාගසෙන ස්ථවිරොත්තමයානෙනි, නුඹ වහන්සේගේ මේ සකල සුර නර හෘදයානන්දනය කරවන්නා වූ පරම විචිත්‍ර‍ මධුරතර ප්‍ර‍ශ්න ව්‍යාකාරණයෙන් මම සහස්‍ර‍කිරණයාගේ රශ්මියෙන් ප්‍රබොධ වූ පද්මයක් සෙයින් නිර්වෘත වීමි” යි කියා ස්තොත්‍ර‍ කළහ.

මහාඅනුමානප්‍ර‍ශ්නය නිමි.

ධුතඞ්ගානිසංස ප්‍ර‍ශ්නය.

නැවතත් මිලිඳුමහරජානෝ එක් දිනෙක තමාගේ රාජභවනයෙහි ශ්‍රී යහන්මස්තකයෙහි වැද හෙව තමන් නාගසෙනස්ථවිරොත්තමයානන් වහන්සේගෙන් විචාළ තාක් අර්ථධර්මයන් මෙනෙහි කරමින් සර්වඥ ශාසනය නිර්මල සේ දැක ප්‍රීතියෙන් පිණා නැවැත නැවැතත් ප්‍ර‍ඥාවෙන් විමසමින් තෙළෙස්ධුතාංගගුණයට බටුවා වූ ආරණ්‍යක භික්ෂූන් දුටුවාහු ය. නැවැත අනාගාමිඵලයට පැමිණ සිටින්නා වූ බොහෝ ගෘහස්ථයන් දුටුවාහු ය. ඒ දෙපක්ෂයන් බලා ‘ඉදින් ගෘහස්ථතෙම මාර්ගඵලධර්මයන් අවබොධ කරන්නේ වී නම්, දුෂ්කර වූ තෙළෙස් ධුතාංගය නිෂ්ඵල වන්නේ ය’ යි කියා ඒ මිලිඳු මහරජහට මහත් වූ කුකුසෙක් උපන්නේ ය. ඒ කුකුස් උපන්නා වූ මිලිඳු මහරජානෝ ‘එබැවින් මම පරවාදීන්ගේ වාදමථනය කරන්නා වූ පිටකත්‍ර‍යධර්මයෙහි නිපුණ වූ චිත්‍ර‍කථීන්ට ශ්‍රෙෂ්ඨ වූ නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්සේගෙන් විචාරමි. ඒ නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්සේ මාගේ කාංක්ෂාව දුරු කර වදාරණසේකැ’ යි සිතූහ. ඉක්බිති මිලිඳු මහරජානෝ ආයුෂ්මත් වූ නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්සේ යම් තැනෙක වැඩ වාසය කර වදාරණසේක් ද, එතැන්හි එළෙඹියාහු ය. එළඹ ආයුෂ්මත් වූ නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහු ය. එකත්පසෙක සිටියා වූ මිලිඳුමහරජානෝ ආයුෂ්මත් වූ නාගසෙන ස්ථවිරොත්තමයානන් වහන්සේට මෙපවත් කීවාහු ය:- “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ගිහිගෙයි වාසී වූ පඤ්ච කාමභොගී වූ පුත්‍ර‍දාරාවන්ගෙන් සම්බාධ වූ ශයනයෙහි වසන්නා වූ කාසිකසඳුන් පරිභොග විඳින්නා වූ මල් ගඳ විලෙවුන් දරන්නා වූ රන් රිදී සිතින් ඉවසන්නා වූ මුක්තාමාණික්‍යස්වර්ණයෙන් විචිත්‍ර‍ වූ ඔටුනු බඳනා ලද්දා වූ කිසි ගෘහස්ථයෙක් ඇද්ද, ඒ යම් ගෘහස්ථයෙකු විසින් ශාන්ත වූ පරමාර්ථ වූ අමෘතමහානිර්වාණය සිද්ධ කරණ ලද්දේ දැ?” යි විචාළෝ ය.

“මහරජානෙනි, ගෘහස්ථභූමියෙහි ම සිට නිවන් දැක්කා වූ සත්වයෝ එක ම සියයකුදු නො වන්නාහ.[7] දෙසියකුදු නො වන්නාහ.1 තුන්සියයකුත් සාරසියයකුදු පන්සියයකුදු නො වන්නාහ.1 දහසකුදු නො වන්නාහ.1 ලක්ෂයකුදු නො වන්නාහ. සියක්කොටියකුදු නො වන්නාහ. (436) කොටිදහසකුදු නො වන්නාහ. කොටිලක්ෂයකුදු නො වන්නාහ. මහරජානෙනි, දසදෙනකුන්ට සියක් දෙනකුන්ට දහසක් දෙනකුන්ට වූ අභිසමය තිබේවා. මහරජානෙනි, තොපට කෙබඳු වු කාරණයකින් කථා කිරීමට අවකාශ දෙන්නෙම් ද?[8] තෙපි ම මේ කාරණය කියව. මහරජානෙනි, එහෙයින් ම තොපට කාරණා සියයකින් හෝ දහසකින් හෝ ශත සහස්‍ර‍යකින් හෝ කොටියකින් හෝ සියක්කොටියකින් හෝ කොටි දහසකින් හෝ කොටිශතසහස්‍ර‍යකින් හෝ කියන්නෙමි. නවාංගශාස්තෘ වචනයෙහි යම් කිසි සල්ලෙඛිතාචාරප්‍ර‍තිපත්තිධුතගුණවරාංගනිඃශ්‍රිත වූ ධර්මකථාවෙක් ඇද්ද, ඒ සියලු ම කථාවෝ මේ ධුතාංගප්‍ර‍ශ්නයෙහි ම ඇතුළත් වෙත්. මහරජානෙනි, යම් සේ මිටි උස් සම විසම නො ගොඩ ගොඩ වූ ප්‍රදෙශභාගයෙහි වර්ෂා කරණ ලද්දා වූ ඒ සියලු ම උදකය ඒ ඒ වර්ෂා කළ තැනින් ගලා අවුත් ඇළින් හොයට ගඟින් ගොස් මහොද්ධි වූ මහාසමුද්‍ර‍යට යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නවාංගබුද්ධ වචනයෙහි යම් කිසි සල්ලෙඛිතාචාරප්‍ර‍තිපත්තිධුතාංගගුණවරාංග නිඃශ්‍රිත කථාවන් සම්පාදනය කරණ පුද්ගලයන් ඇති කල්හි ඒ සියලු කථාවෝ මේ ධුතාංග ප්‍ර‍ශ්නයෙහි සමොසරිත වෙති. මහරජානෙනි, මේ ප්‍ර‍ශ්නයෙහි මාගේ හාත්පසින් ව්‍යක්ත වූ ප්‍ර‍ඥාවෙන් කාරණා දැක්වීම සමොසරිත වන්නේ ය. ඒ කාරණයෙන් මේ අර්ථය මනා කොට විභාග කරණ ලද වන්නේ ය. විචිත්‍ර‍ කරණ ලද වන්නේ ය. පරිපූර්ණ වන්නේ ය. සිතින් බුහුමන් කරණ ලද වන්නේ ය. මහරජානෙනි, යම් සේ දක්ෂ වූ සුශික්ෂිත වූ ලියනාචාර්යයෙක් තමාගේ මිත්‍රාමාත්‍යාදීන්ට ලියමනක් අස්වනු කැමැති වූයේ තමාගේ ව්‍යක්ත බැවින් හා ප්‍ර‍ඥාවෙන් නොයෙක් කාරණා දැක්වීමෙන් ලියමනක් ලියා පරිපූර්ණ කරන්නේ ය. මෙසේ ලියන ලද්දා වූ ඒ ලියමන පරිපූර්ණ ව අනූන ව සම්පූර්ණ වන්නේ ය. එපරිද්දෙන් ම මාගේ ද සර්වාකාරයෙන් ව්‍යක්ත වූ විශදප්‍ර‍ඥාවෙන් මේ ප්‍ර‍ශ්නයෙහි නොයෙක් කාරණා දැක්වීම පැමිණෙන්නේ ය. එහෙයින් මේ අර්ථය මනා කොට විභාග කරණ ලද වන්නේ ය. විචිත්‍ර‍ කරණ ලද වන්නේ ය, පරිපූර්ණ වන්නේ ය, සිතින් බුහුමන් කරණ ලද වන්නේ යි.

“මහරජානෙනි, සැවැත්නුවර අප ලොවුතුරා සර්වඥයන් වහන්සේගේ උපාසක උපාසිකා වූ පස්කොටියක් පමණ ආර්යශ්‍රාවකයෝ ය. ඔවුන් අතුරෙන් තුන්ලක්ෂපණස්සත්දහසක් දෙන අනාගාමිඵලයෙහි පිහිටියාහු ය. ඒ සියල්ලෝ ම මත් ප්‍ර‍ව්‍ර‍ජිත නො වූ ගෘහස්ථයෝ ය. නැවත ද එම ශ්‍රාවස්තිපුරයෙහි ම ගණ්ඩම්බවෘක්ෂමූලයෙහි වැඩ හිඳ කර වදාළා වූ යමකප්‍රාතිහාර්යයෙහි දිව්‍යමනුෂ්‍යයන්ගෙන් විසිකොටියක් දෙන මාර්ග ඵලාධිගමය කළාහු ය. නැවත මහාරාහුලොවාදසූත්‍රදෙශනාව කර වදාළ දවස්හි ද, මහාමංගලසූත්‍රාන්තයෙහි ද, සමචිත්තපර්යායසූත්‍රාන්තයෙහි ද, පරාභවසූත්‍රාන්තයෙහි ද, පුරාභෙදසූත්‍රාන්තයෙහි ද, කලහවිවාදසූත්‍රාන්තයෙහි ද, චූළබ්‍යුහසූත්‍රාන්තයෙහි ද, මහාබ්‍යූහසූත්‍රාන්තයෙහි ද, තුවටකසූත්‍රාන්තයෙහි ද, ශාරීපුත්‍ර‍සූත්‍රාන්තයෙහි ද ගණනපථය අතික්‍රාන්ත වූ දිව්‍යමනුෂ්‍යයන්ට ධර්මාභිසමය වූයේ ය. රාජගෘහනගරයෙහි ලොවුතුරා (437) බුදුන්ගේ උපාසක උපාසිකා වූ ආර්යශ්‍රාවකයෝ තුන්ලක්ෂපණස් දහසෙක. නැවත ඒ රාජගෘහනගරයෙහි ම ධනපාලහස්තිනාගෙන්ද්‍ර‍ දමනයෙහි අනූකොටියක් ප්‍රාණීහු අධිගමයට පැමිණියාහ. මගධරට දොළොස්යොදුන් ශිලාතලය මස්තකයෙහි වූ දෙවාලයස්ථානයෙහි වැඩ හිඳ සොළොස්දහසක් බමුණන්ට පාරායණය දෙසූ පාරායණසමාගමයෙහි තුදුස්කෙළක් ප්‍රාණීහු අමාමහනිවන් දැක්කාහ. එම මගධරට වෙදීය පර්වතයෙහි ඉන්ද්‍ර‍ශාලා නම් ගල්ගුහායෙක වැඩ හිඳ සක්දෙවිඳුහට ශක්‍ර‍ ප්‍ර‍ශ්න සූත්‍ර‍ය දෙසූ දවස්හි අසූකෝටියක් පමණ දෙවියෝ අධිගමයට පැමිණියාහ. නැවත ද, බාරා ය, නසී ය යන ගංගාද්වයකින් ප්‍ර‍තිමණ්ඩිත වූ හෙයින් බාරානසී නම් වූ සෘෂීන්ගේ පතනයෙන් ඉසිපතන නම් වූ මෘගයන්ට අභයදායක වූ මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ හිඳ කර වදාළ ප්‍ර‍ථම ධර්මදෙශනායෙහි අටළොස්කොටියක් බ්‍ර‍හ්මයෝ රහත් වූහ. අප්‍ර‍මාණ වූ දෙවතාවෝ අධිගමයට පැමිණියාහු ය. නැවත තව්තිසාභවනයෙහි පාණ්ඩුකම්බලශෛලාසනයෙහි වැඩ හිඳ කර වදාළ අභිධර්මදෙශනායෙහි අසූකොටියක් දෙවියෝ අධිගමයට පැමිණියාහු ය. ඒ අභිධර්ම දෙශනාවසානයෙහි ශක්‍ර‍පුරය පටන් සකස්පුර දොරටුව දක්වා පිහිටි සත් රුවන් විචිත්‍ර‍ වූ මාණික්‍ය සොපානමාලාවෙන් අනන්ත වූ බුද්ධශ්‍රීයෙන් දිලියෙමින් යට අවීචියෙහි පටන් මත්තෙන් භවාග්‍ර‍ය පර්යන්ත කොට සරස ශතසහශ්‍රීලොකධාතුව එකාලොක කෙරෙමින් ඒ තාක් සමස්තලොකවාසීන්ට ලොකවිවරණප්‍රාතිහාර්යයෙන් රූපකායසම්පත් දක්වදක්වා දිව්‍ය බ්‍ර‍හ්මයන් විසින් කරණ ලද අනන්තපූජොත්සව විඳිමින් මංපඩියෙන් මංපඩිය පාපියුම් තබතබා මනුෂ්‍යපථයට වැඩ සකස්පුර ආසන්නයෙහි මාණික්‍යසොපානාසන්නයෙහි වැඩ හිඳ ලොකවිෂය ශ්‍රාවකවිෂය වූ ප්‍ර‍ශ්න විචාරා වදාරා ධර්මදෙශනා කළ කල ප්‍ර‍සන්න දිව්‍යමනුෂ්‍යයන්ගෙන් තිස් කොටියක් ප්‍රාණීන්ට නිර්වානාභිසමය වූයේ ය. නැවත තමන් වහන්සේගේ නෑ වූ ශාක්‍යරජුන් නිසා කපිලවස්තුපුරයට වැඩි ගමනේ නිග්‍රොධාරාමයෙන් අහසට වඩිමින් රුවන් සක්මන වැඩ හිඳ වදාළ බුද්ධවංශධර්ම දෙශනායෙහි හා චර්යාපිටකදෙශනායෙහි මහාසමයසූත්‍රාන්තදෙශනායෙහි ද ගණනපථය අතික්‍රාන්ත වූ දිව්‍යබ්‍ර‍හ්මමනුෂ්‍යයන්ට ද නිර්වාණාභිසමය වූයේ ය. නැවත සුමනමාලාකාර සමාගමයෙහි ද, ගරහදින්න සමාගමයෙහි ද, ආනන්ද සෙට්ඨි සමාගමයෙහි ද, ජම්බුකාජීවක සමාගමයෙහි ද, මණ්ඩුකදෙවපුත්‍ර‍ සමාගමයෙහි ද, මට්ටකුණ්ඩලී දෙවපුත්‍රසමාගමයෙහි ද, සුලසා නගරසොභිනී සමාගමයෙහි ද, සිරිමා නගරසොභිනී සමාගමයෙහි ද, පෙසකාරධිතු සමාගමයෙහි ද, චූළසුභද්‍රා සමාගමයෙහි ද, සාකෙතබ්‍රාහ්මණයාගේ ආදාහනදර්ශනසමාගමයෙහි ද, සුනාපරන්තක සමාගමයෙහි ද, ‘සබ්බදානං ධම්මදානං ජිනාති’ යනාදින් විසඳා වදාළ ශක්‍ර‍ ප්‍ර‍ශ්න සමාගමයෙහි ද, තිරොකුඩ්ඩ සමාගමයෙහි ද, රතනසූත්‍ර‍ සමාගමයෙහි ද යන මේ පසළොස් සමාගමයෙහි වෙන වෙන ම සුවාසූදහසක් සුවාසූදහසක් ප්‍රාණීන්ට නිර්වාණාභිසමය වූයේ ය.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ යම් තාක් කල් ලොකයෙහි වැඩ සිටිසේක් ද, ඒතාක් කල් දඹදිවට නාභිමණ්ඩලාකාරයෙන් පිහිටි (438) බෝමැඩ වට තුන්සියයක් යොදුන් ප්‍ර‍මාණ ඇති අන්තොමණ්ඩලයෙහි ද සසියක් යොදුන් ප්‍ර‍මාණ ඇති මධ්‍යමණ්ඩලයෙහි ද පශ්චිම දිග් භාගයෙහි ථූන නම් බ්‍රාහ්මණග්‍රාමය පටන් පූර්වදිග්භාගයෙහි කජංගලා නම් නිගමග්‍රාමාන්තයෙහි මහාශාලවෘක්ෂය දක්වා තුන්සියයක් යොදුන් දිග ඇත්තා වූ දකුණුදෙසින් සෙතකණ්ණික නම් නියම්ගම පටන් උත්තර දිශායෙහි උසීරද්ධජ නම් පර්වතය දක්වා දෙසියපණස්යොදුන් පළල ඇත්තා වූ නවසියයක් යොදුන් වට ඇත්තා වූ මහාමණ්ඩලයෙහි ද යන මේ බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ආර්යශ්‍රාවක චක්‍ර‍වර්තීන්ගේ උත්පත්තිස්ථාන වූ ත්‍රිවිධමණ්ඩලයෙහි බොහෝ සෙයින් වැඩත් ධර්මදෙශනා කරණසේක. එයින් පිටත් අඟු මගධ කාශි කොශල වැදෑ මල්ල චේතිය සාර්ණ කුරු පඤ්චාල මත්ස්‍ය සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්භොජ යන සොළොස් මහාජනපදයෙහි ද යම් යම් තෙනෙක භාග්‍යවතුන් වහන්සේ තුරිතාතුරිස චාරිකා කොට වැඩ වාසය කර වදාළසේක් ද, ඒ ඒ තන්හි බොහෝ සෙයින් දෙදෙන තුන්දෙන සතරදෙන පස්දෙන සියයක් දහසක් ශතසහස්‍ර‍යක් දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද බණ අසා ශාන්තසුඛ ප්‍ර‍ණීත වූ උතුම් අමෘතමහානිර්වාණය සිද්ධ කළාහු ය. මහරජානෙනි, යම් ඒ සත්වකෙනෙක් මහණ නො වීම නිවන් ලද්දාහු ද, ඒ සත්වයෝ ගිහියෝ ම ය. ඒ සත්වයෝ ප්‍ර‍ව්‍ර‍ජිත නුවූවෝ ය. මහරජානෙනි, මේ ගණන් දැක් වු දිව්‍යමනුෂ්‍යයෝ ද, අනිකුත් නොයෙක් අගාරික වූ කාමභොගී වූ ගෘහස්ථ වූ දෙවතාවෝ කොටිශතසහස්‍ර‍ගණනෙක් ශාන්තසුඛ ප්‍ර‍ණීත පරමවර අමෘතමහානිර්වාණය සාක්ෂාත් කළාහු ය” යි වදාළසේක.

“යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹවහන්සේ බොහෝ වූ ධර්මරාශියක් වදාළසේක. එහෙයින් ඉදින් අගාරික වූ කාමභොගී වූ ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කරන්නාහු ය. එසේ කල මේ තෙළෙස්ධුතාංගයෝ කුමන අර්ථයක් සාධන්නාහු ද, ඒ කාරණයෙන් තෙළෙස්ධුතාංගයෝ අකෘත්‍යකර වෙති. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මන්ත්‍රෞෂධයෙන් ප්‍රයොජනයක් නැති ව ම ව්‍යාධීහු ව්‍යපශමනය වෙත් නම්, වමනවිරෙචනාදි, ශරීර දුර්වල කරණයෙන් කම් කිම් ද, ඉදින් මිටි පහරින් පරසතුරන් නිග්‍ර‍හ කට හැකි වේ නම්, අසි තෝමර සර ධනු හෝ දඬු පොලු මුගුරුවලින් කම් කිම් ද? ඉදින් ග්‍ර‍න්ථි කුටිල ශුෂිර කණ්ටක ලතා ශාඛාවන් එල්වී ගෙණ මහරුකට නැඟීම වේ නම්, දිග දැඩි හිණිමං සෙවීමෙන් කම් කිම් ද? ඉදින් පෘථිවි ශයනයෙන් ම ධාතු සමනය වේ නම්, යහපත් වූ සුඛස්පර්ශ ඇති මහත් වූ මහාශ්‍රීයහන් සෙවීමෙන් කම් කිම් ද? ඉදින් අසහාය වූ එකෙක් ම ශංකා භය සහිත වූ විෂම වූ කාන්තාරය තරණයට සමර්ථ වේ නම්, සන්නාහ සන්නද්ධ ව සැරහුනු මහත් වූ මහාසාර්ථවාහසෙනාව සෙවීමෙන් කම් කිම් ද? ඉදින් මහත් නදී විල් දෙයතින් පිහිනා එතෙර වන්නට සමර්ථ වේ නම්, ස්ථිර වූ හේදඬු පාලම් නැව් ඔරු සෙවීමෙන් කම් කිම් ද? ඉදින් තමා සන්තක වූ භොගයෙන් බත් කොට ක්ෂුධාග්නි නිවා බත් කන්නට සමර්ථ වේ නම්, මිත්‍රාමාත්‍යාදීන් සෙවනය කිරීමෙන් හා ප්‍රියතෙපුල් කීමෙන් ද පසු ව හෝ පෙරටු ව දිවීමෙන් ද කම් කිම් ද? ඉදින් නො සෑරූ විලකින් පැන් ලැබේ නම්, ලිං විල් පොකුණු සෑරීමෙන් කම් කිම් ද? එපරිද්දෙන් ම (439) ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් ගිහිගෙයි වසන්නා වූ කාමභොගී වූ ගෘහස්ථයෝ ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කෙරෙත් නම්, ධුතාංගගුණවරසමාදානයෙන් කවර ප්‍රයොජනයෙක් දැ?” යි කීහ. එකල නාගසෙනයන් වහන්සේ:-

“අට්ඨවිසති ඛො පනිමො මහාරාජ ධුතාඞ්ගගුණා -පෙ- පත්‍ථිතානි” යි[9]

“මහරජානෙනි, යම් ගුණකෙනෙකුන් කරණ කොට ගෙණ සියලු ම බුදුවරයන් විසින් ධුතාංගයෝ කැමැති වන ලද්දාහු ද, ප්‍රාර්ථනා කරණ ලද්දාහු ද, විද්‍යමාන වූ මේ ගුණ ඇති මේ ධුතාංගගුණයෝ වනාහි විසිඅට දෙනෙක. කවර නම් විසිඅටගුණයෙක් ද? යත්- මහරජානෙනි, මේ සුගතශාසනයෙහි ධුතාංගය පිරිසිදු වු ආජීවය ඇතිබව ය, සැපවිපාක ඇති බව ය, නිවරදිබව ය, පරහට දුක් නො දෙනබව ය, නිර්භයබව ය, අනුන් නො පෙළෙනබව ය, එකාන්තාභිවෘද්ධික බව ය, පිරිහීමක් නැතිබව ය, අමායාබව ය, ආරක්ෂාබව ය, පත්ථිතය දෙනබව ය, සියලු සත්වයන් දමනය කරණබව ය, සංවරයට හිතබව ය, ශාසනානුරූපබව ය, තෘෂ්ණා නිශ්‍රිත නො වනබව ය, තෘෂ්ණාවෙන් මිදුනබව ය, රාගක්ෂය කරණබව ය, ද්වෙෂක්ෂය කරණබව ය, මොහක්ෂය කරණබව ය, මානප්‍ර‍හාණය කරණ බව ය, ලාමකවිතර්ක සිඳිනබව ය, කාංක්ෂා දුරු කරණබව ය, කුශීතය විධ්වංසනය කරණබව ය, ශාසනානභිරති ප්‍ර‍හාණය කරණබව ය. සියලු ම දුක් සහනය කරණබව ය, අතුල්‍ය ගුණ ඇතිබව ය, අප්‍ර‍මාණ වූ අනුසස් ඇතිබව ය, සර්වසංසාරදුඃඛක්ෂය පිණිස යන ගමන් ඇතිබව ය. මහරජානෙනි, යම් ගුණ කෙනෙකුන් කරණ කොට ගෙණ කාලත්‍ර‍යවර්ති වූ සියලු ම බුදුවරයන් විසින් ධුතාංගයෝ සිතින් කැමැති වන ලද්දාහු ද, ප්‍රාර්ථනා කරණ ලද්දාහු ද, විද්‍යමාන ගුණ ඇති ඒ මේ අෂ්ටවිංශද්ධුත ගුණයෝ යි.

“යෙ ඛො තෙ මහාරාජ ධුතඞ්ගගුණෙ සම්මා උපසෙවන්ති, තෙ අට්ඨාරසහි ගුණෙහි සමුපෙතා භවන්ති. -පෙ- තෙ ඉමෙහි අට්ඨාරසගුණෙහි සමුපෙතා භවන්ති” යි.[10]

(440) “මහරජානෙනි, යම් ඒ සංසාරභීරුක වූ ථෙර මජ්ඣිම නවක භික්ෂු කෙනෙක් ක්ලේශධර්මයන් කම්පා කරණ කාරණයෙන් ධුතාංග නම් තෙළෙස්ධුතාංගගුණයන් මනා කොට සෙවනය කෙරෙද් ද, ඒ ආර්යයෝ අටළොස්ගුණයකින් යුක්ත වෙති. කවර නම් අටළොස් ගුණයකින් ද? යත්- ඒ ධුතාංගධරයන්ගේ සර්වඥශාසනයෙහි හැසිරීම සුවිසුද්ධ වන්නේ ය. පූර්වභාගප්‍ර‍තිපදාව යහපත් කොට පුරණ ලද වන්නේ ය. කායිකය වාචසිකය යහපත් කොට රක්ෂා කරණ ලද වන්නේ ය. මනස්සමාචාරය සුවිසුද්ධ වන්නේ ය. වීර්යය අතිශයින් ග්‍ර‍හණය කරණ ලද වන්නේ ය, සියලු භය ව්‍යපශමනය වන්නෙ ්ය, සත්කායදෘෂ්ටිය ව්‍යපගත වන්නේ ය, වෛරය වැළකෙන ලද වන්නේ ය, සකල සත්වයන් කෙරෙහි මෛත්‍රිය එළඹ සිටින ලද වන්නේ ය, පමණ දැන වැළඳීමෙන් ආහාරය පරිඥාත වන්නේ ය, සියලු සත්වයන් විසින් ගෞරව කරණ ලද වන්නේ ය, භොජනයෙහි මාත්‍ර‍ඥතාව ද ඇති වන්නේ ය. නිදිවර්ජිත කිරීමෙහි නියුක්ත වන ලද වන්නේ ය, ගෘහයක් නැත්තේ ද වන්නේ ය, යම් තෙනෙක ඵාසු වී නම්, එතැන්හි වාසය කරන්නේ ද වේ. පාපයට ප්‍ර‍තිකූලකාරී වන්නේ ය, විවෙකාරාම වන්නේ ය, නිරන්තරයෙන් අප්‍ර‍මාද වන්නේ ය, මහරජානෙනි, යම් ඒ ථෙරමජ්ඣිම නවක භික්ෂු කෙනෙක් ධුතාංගගුණයන් මනා කොට සෙවනය කෙරෙද් ද, ඒ ආර්යයෝ මේ යථොක්ත වූ අටළොස්ගුණයෙන් සමුපලක්ෂිත වන්නාහු ය.

දස මෙ මහාරාජ පුග්ගලා ධුතඞ්ගගුණාරහා. කතමෙ දස? සද්ධො හොතී හිරිමා ධිතිමා අකුහො අත්‍ථවසී අලොලො සික්ඛා කාමො දළ්හසමාදානො අනුජ්ඣානබහුලො මෙත්තාවිහාරී. ඉමෙ ඛො මහාරාජ දසපුග්ගලා ධුතඞ්ගගුණාරහා” යි.

“මහරජානෙනි, ධුතාංගගුණය පරිහරණයට සුදුසු මේ පුද්ගලයෝ දසදෙනෙක. කවර දසදෙනෙක් ද? යත්- යමෙක් ශ්‍ර‍ද්ධාව ඇත්තේ වේ ද, පාපයෙහි ලජ්ජා ඇත්තේ වේ ද, අධික වූ ධෛර්ය ඇත්තේ වේ ද, ජන වඤ්චනයෙහි කුහක ප්‍රයොග නැත්තේ වේ ද, ශාසනාභිවෘද්ධිය පිණිස වසන්නේ වේ ද, චතුර්විධ ප්‍ර‍ත්‍යයෙහි ගිජුබවක් නැත්තේ වේ ද, ශික්ෂාකාමි ව වාසය කරන්නේ වේ ද, දෘඪ වූ සමාදාන ඇත්තේ වේ ද, කිපිසිත් බහුල කොට නැතතේ වේ ද, සකල සත්වයන් කෙරෙහි පතළ මෛත්‍රී විහරණය ඇත්තේ වේ ද, මහරජානෙනි, මෙ කී දශවිධ වූ පුද්ගලයෝ ධුතාංගගුණ ධාරණයට සුදුස්සෝ යි. මහරජානෙනි, අගාරික සංඛ්‍යාත ගිහිගෙයි වාසි වූ පඤ්චකාමභොගි වූ යම් ඒ ගෘහස්ථ කෙනෙක් ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ (441) කෙරෙද් ද, ඒ සියල්ලෝ ම මීට පූර්ව ජාතියෙහි මේ තෙළෙස්ධුතාංගගුණයෙහි කරණ ලද අභ්‍යාස ඇත්තාහු ද, කරණ ලද ධුතාංගභූමිකර්ම ඇත්තාහු ද වෙති. ඒ ජනයෝ ඒ අතීතයෙහි චාරිත්‍ර‍ය ද ප්‍ර‍තිපත්තිය ද සුද්ධ කොට හැසිර මෙසමයෙහි දැන් අද දක්වා ගිහි ව ම වසන්නාහු ද, ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කරන්නාහු ය. මහරජානෙනි, දක්ෂ වූ ධනුශ්ශිල්පියෙක් යම් සේ පළමු කොට ම අන්තෙවාසිකයන් ශිල්පශාලායෙහි ලා ධනුප්‍රභෙද ධනු ආරොපණ ග්‍ර‍හණ මුෂ්ටි ප්‍ර‍තිපීඩන අංගුලි ප්‍ර‍ණමන පාද තැබීම් ඉගෙණීම් සන්නද්ධවීම් ඇඳීම් සන්ධාරණය කිරීම් ලක නියම කිරීම් හා හැරීමෙහි ද තෘණ පුරුෂ විදමනය ඡණක[11] තෘණ විදමනය පිදුරුබිසි විදමනය මත්තිකාරාසි විදමනය දිඹුල්පෝරු විදමනය යනාදී ලක වෙදයෙහි නො හැර හික්මවා රජදරුවන්ගේ සමීපයෙහි භාවිත වූ ශිල්ප දක්වා සිත් ගෙණ ආජඤ්ඤරථ ගජ තුරඟ ධනධාන්‍ය හිරණ්‍ය ස්වර්ණ දාසි දාස භාර්යා ග්‍රාමවරාදිය ලබන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අගාරික වූ කාමභොගි වූ යම් ගෘහස්ථකෙනෙක් ශාන්තප්‍ර‍ණිතපරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කෙරෙද් ද, ඒ සියල්ලෝ ම ඒ ඒ පුරිමජාතියෙහි තෙළෙස්ධුතාංගගුණයෙහි කරණ ලද අභ්‍යාස ඇත්තාහු ද, කරණ ලද ධුතාංග භූමිකර්ම ඇත්තාහු ද වෙති. ඒ ජනයෝ ඒ ජාතියෙහි ම චාරිත්‍ර‍ය ද ප්‍ර‍තිපත්තිය ද පිරිසිදු කොට මෙසමයෙහි අද දැන් ගෘහස්ථ ව ම වසන්නා වූ ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කරන්නාහු ය. මහරජානෙනි, ධුතාංගගුණයෙහි පූර්වසෙවනයක් නැති ව මෙම ජාතියෙහි අර්හත්ඵලය සිද්ධ කිරීම නො වන්නේ ය. මෙසේ පෙර පුරුදු වූ ධුතාංගගුණ ඇත්තහුට ම උතුම් වූ වීර්යයෙන් උතුම් වූ ප්‍ර‍තිපත්තියෙන් කල්‍යාණමිත්‍ර‍ වූ එබඳු ආචාර්යකෙනෙක් කරණ කොට ගෙණ රහත්ඵලය සාක්ෂාත් කිරීම් වන්නේ ය.

“තවද, මහරජානෙනි, යම් සේ ශල්‍යකත්තෘ වූ වෛද්‍යක්‍රියාකාරයෙක් තෙම තමාගේ ආචාර්යවරයා කිසි ධනයකින් හෝ වෘත්තප්‍ර‍තිවෘත්තයකින් හෝ සිත් ගෙණ ගඩු පළන ශස්ත්‍ර‍ ග්‍ර‍හණ ඡෙදන ලිඛන වෙධන හුල් උද්ධරණ ව්‍ර‍ණ ධොවන වියලන භෛෂජ්‍යානුලිම්පන වමන විරෙචනානුවාසන ක්‍රියාවන් නො හැර සුශික්ෂිත ව විදයායෙහි කරණ ලද සුශික්ෂිතත්වය ඇති ව කරණ ලද භාවිතා ඇති ව දක්ෂ ව රොග පිළියම් පිණිස රොගාතුරයන් කරා එළඹෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් ඒ ගෘහස්ථ අගාරික කාමභොගීහු ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කෙරෙද් ද, ඒ සියල්ලෝ ම ඒ ඒ පූර්වජාතියෙහි තෙළෙස්ධුතාංගගුණයෙහි කරණ ලද අභියොග ඇති ව කරණ ලද භූමිකර්ම ඇති ව ඒ ජාතියෙහි ම චාරිත්‍ර‍ය ද ප්‍ර‍තිපත්තිය ද පිරිසිදු කොට මෙසමයෙහි අද දැන් දක්වා ගිහි ව ම වසන්නාහු ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සිද්ධ කරන්නාහු ය. මහරජානෙනි, ධුතාංගගුණයෙන් සුද්ධ නුවූවන්ට ධර්මාභිසමයෙක් නො වන්නේ ය. මහරජානෙනි, යම් සේ උදකයාගේ අසෙචනයෙන් බීජ ජාතීන්ගේ නො හට ගැණීම් වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ධුතාංග ගුණයෙන් සුද්ධනුවූවන්ට ධර්මාභිසමය නො වන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ නො කරණ ලද කුසල් ඇත්තා වූ නො කරණ ලද ශුභ ක්‍රියාවන් ඇත්තා වූ (442) සත්වයන්ට ස්වර්ගයාත්‍රාවෙක් නො වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ධුතාංගගුණයෙන් විසුද්ධ නො වූවන්ට නිර්වාණාභිසමයෙක් නො වන්නේ ය.

“පඨවී සමං මහාරාජ ධුතඞ්ගගුණං -පෙ- අපරිමිතමසඞ්ඛෙය්‍ය මප්පමෙය්‍යට්ඨෙන ච.”[12]

(443) මහරජානෙනි, ධුතගුණය නිර්වාණසම්පත්තිය කැමැත්තවුන්ට ප්‍ර‍තිෂ්ඨාර්ථයෙන් පෘථිවිය සමාන වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය නිර්වාණය කැමැත්තවුන්ට සර්වක්ලේශමලධොවනාර්ථයෙන් නිර්මලතර ජලයක් හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට සර්වක්ලේශවනය දවන අර්ථයෙන් මහාවහ්නිස්කන්ධයක් සදෘශ වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය නිවන්සැප කැමැත්තවුන්ට සර්වක්ලේශරජස් චිත්තසන්තානයෙන් පහ කොට ගෙණ යන අර්ථයෙන් චණ්ඩමාරුතයක් හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, විසුද්ධි කැමැත්තවුන්ට ධුතගුණය සර්වක්ලේශව්‍යාධීන් ව්‍යපශමනය කරණ අර්ථයෙන් දිව බෙහෙදක් හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය නිවන් කැමැත්තවුන්ට සර්වක්ලේශවිෂ විනාශය කරණ අර්ථයෙන් දිව්‍ය අමෘතයක් හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණය කැමැත්තවුන්ට සියලු ම ශ්‍ර‍මණගුණධර්මයාගේ උපදනා අර්ථයෙන් ක්ෂේත්‍ර‍යක් සම වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට ප්‍රාර්ථිත වූ මනාපික වූ සකල සම්පත්ති ප්‍ර‍වරයන් දෙන අර්ථයෙන් මනොහාර වූ චින්තාමාණික්‍යරත්නයක් වන්නේ ය. මහරජානෙනි, විසුද්ධි සංඛ්‍යාත වූ නිර්වාණසම්පත් කැමැත්තවුන්ට ධුතගුණය සංසාරසාගරයාගේ පරතෙරට ගෙණ යන අර්ථයෙන් මහනැවක් වන්නේ ය. මහරජානෙනි, විසුද්ධි කැමැත්තවුන්ට ධුතගුණය ජාති ජරා මරණ දුකින් භීතවූවන් නො බාවයි කියා අස්වසන අර්ථයෙන් රක්ෂස්ථානයක් වැන්නේ ය. මහරජානෙනි, විසුද්ධි කැමැත්තවුන්ට ධුතගුණය ක්ලේශදුක්ඛයෙන් පීඩිතවූවන්ට අනුග්‍ර‍හ කරණ අර්ථයෙන් වැදූ මාතෘවෙක් වැන්නේ ය. මහරජානෙනි, සියලු ම ශ්‍ර‍මණගුණය උපදවන අර්ථයෙන් ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට පීතෘසම වන්නේ ය. මහරජානෙනි, විසුද්ධි කැමැත්තවුන්ට ධුතගුණය සියලු ම ශ්‍ර‍මණගුණ සොයන්නා වූ අවිසංවාදක අර්ථයෙන් කල්‍යාණමිත්‍රයෙකු වැන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට සර්වක්ලේශමලයෙන් ලිප්ත නො වන අර්ථයෙන් පද්මයක් වැන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට ක්ලේශදුර්ගන්ධ පහ කරණ අර්ථයෙන් කොකුම් යොන්පුප් තුවරලා තුරුක්තෙල් යන උතුම් සිවුදෑගඳ හා සම වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට අෂ්ටලොකධර්ම නමැති මහාවාතයෙන් කම්පා නො වන අර්ථයෙන් මහාමෙරුපර්වත රාජයා හා සම වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට සර්වස්ථානයෙහි ග්‍ර‍හණ විරහිත මහත් පතළ විස්තාර මහත් වූ අර්ථයෙන් ආකාශය වැන්නේ ය. මහරජානෙනි, ධුගතුණය විසුද්ධි කැමැත්තවුන්ට ක්ලේශමල උසුලා යන අර්ථයෙන් ගංගාවක් වැන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට ජාතිකාන්තාරයෙන් හා ක්ලේශවනගහණයෙන් එතර කරණ අර්ථයෙන් සුදෙශික පුරුෂයක්හු හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට සර්වභයශූන්‍ය ක්ෂෙම අභයවර ප්‍ර‍වර නිර්වාණමහානුවරට පමුණුවන අර්ථයෙන් මහාසාර්ථවාහයන් හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, (444) ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට සර්වසංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාව දක්නා අර්ථයෙන් සුමර්දිත නිර්මලතර ආදාසතලයක් හා සදෘශ වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට ක්ලේශ නමැති මුගුරු හී ශස්ත්‍රාදිය ප්‍ර‍තිබාහනාර්ථයෙන් ඵලකායුධයක් හා සමාන වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට ක්ලේශවර්ෂාව වහා රාගාග්නි ද්වෙෂාග්නි මොහාග්නි සංඛ්‍යාත ත්‍රිවිධාග්නිසන්තාපය හා සූර්ය තාපය ප්‍ර‍තිබාහන අර්ථයෙන් ඡත්‍ර‍යක් වැන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තා වූ විබුධජනයන්ට කැමැති වන ප්‍රාර්ථිත වන අර්ථයෙන් චන්ද්‍ර‍දිව්‍යරාජයා වැන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධිය කැමැත්තා වූ විබුධජනයන්ට මොහාන්ධකාරය නසන අර්ථයෙන් සූර්යදිව්‍යරාජයා සම වන්නේ ය. මහරජානෙනි, ධුතගුණය විසුද්ධි කැමැත්තවුන්ට අනෙකප්‍ර‍කාර වූ ශ්‍රාමණ්‍යගුණ නමැති උතුම් රත්න ජාතීන්ගේ පහළ වන අර්ථයෙන් හා අපරිමිතඅසංඛ්‍යඅප්‍රමෙයාර්ථයෙන් මහාසමුද්‍ර‍ය වැන්නේ ය.

“එවං ඛො මහාරාජ ධුතඞ්ගගුණං -පෙ- පවරං අග්ගා” යී[13]

“මහරජානෙනි, මෙසේ ධුතගුණය විසුද්ධි කැමැත්තා වූ විබුධජනයන්ට බොහෝ උපකාර ඇත්තේ ය, සර්වක්ලේශපීඩා පරිදාහ දුරු කරන්නේ ය, සියලු භය දුරු කරන්නේ ය, ත්‍රිවිධභව දුරු කරන්නේ ය, පඤ්චචෙතොඛිලය දුරු කරන්නේ ය, රාගමලාදිය දුරු කරන්නේ ය, සොක දුරු කරන්නේ ය, සර්වසංසාරදුක් දුරු කරන්නේ ය, කාමරාගය දුරු කරන්නේ ය, ද්වෙෂය දුරු කරන්නේ ය, මොහය දුරු කරන්නේ ය, මානය දුරු කරන්නේ ය, සත්කායදෘෂ්ටිය හා සියලු ම මිථ්‍යාදෘෂ්ටීන් දුරු කරන්නේ ය, සියලු ම අකුශලධර්මයන් දුරු කරන්නේ ය, යස පමුණුවන්නේ ය, හිත පමුණුවන්නේ ය, සැප පමුණුවන්නේ ය, ඵාසු කරන්නේ ය, ප්‍රීති කරන්නේ ය, යොගක්ෂෙම කරන්නේ ය, නිරවද්‍ය වන්නේ ය, ධනධාන්‍යපරිග්‍ර‍හයක් නැතිබව ය, නිරවද්‍ය වූ පිඩු සොයන බව ය, දැහැමින් පිඬු වළඳනබව ය, අපට වෙහෙස කළාහ යි රටවාසීන්ගේ කෙලසීමක් නැතිබව ය, උපකරණයෙහි ඡන්දරාගයක් නැතිබව ය, චෞරවිලොපනයෙහි නිර්භයබව ය, රජමහඇමතියන් හා අසංසෘෂ්ට බව ය, සතරදික්හි නො පැකිළෙනබව ය යන අෂ්ටවිධ වූ ශ්‍ර‍මණසැප විපාක ඇත්තේ ය. ශ්‍ර‍මණගුණ රාශියෙක, ශ්‍ර‍මණගුණ ගොඩෙක, අප්‍ර‍මාණ වූ අප්‍රමෙය වූ උතුම් ගුණ ඇත්තේ ය, ප්‍ර‍වර වන්නේ ය, අග්‍ර‍ වන්නේ යි.

මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ ජීවත්වීමට ආධාර පිණිස භොජනය සෙවනය කෙරෙති, ශරීරයට හිත පිණිස බෙහෙත් සෙවනය කෙරෙති, තමහට උපකාර පිණිස මිත්‍ර‍යන් සෙවනය කෙරෙති, මුහුදින් (445) එතර වන පිණිස නැව සෙවනය කෙරෙති. ඇඟ සුවඳ කිරීම පිණිස මල් සුවඳ සෙවනය කෙරෙති, අභය පිණිස නිර්භයස්ථාන සෙවනය කෙරෙති, ප්‍ර‍තිෂ්ඨාව පිණිස පෘථිවිය සෙවනය කෙරෙති, ශිල්ප පිණිස ගුරුන් සෙවනය කෙරෙති, යස පිණිස රජ්ජුරුවන් සෙවනය කෙරෙති, කැමැති දෙය දෙන හෙයින් මාණික්‍යරත්න සෙවනය කෙරෙති. මහරජානෙනි, එපරිද්දෙන් ම සියලු ම ශ්‍රාමණ්‍යගුණ දෙන හෙයින් ආර්යයෝ ධුතගුණය සෙවනය කරන්නාහු ය. තවද, මහරජානෙනි, යම් සේ උදකය බිජු හට ගැණීම පිණිස වේ ද, වහ්නිය දැවීම පිණිස වේ ද, ආහාරය බල ගැණීම පිණිස වේ ද, වැල් බැඳීම පිණිස වේ ද, ශස්ත්‍ර‍ය ඡෙදනය පිණිස වේ ද, පැන් පිපාස විනාසය පිණිස වේ ද, නිධානය අස්වැසීම් කරණු පිණිස වේ ද, නැව එතර පැමිණීම පිණිස වේ ද, බෙහෙත් ව්‍යාධි ව්‍යපසමනය පිණිස වේ ද, යානාව සැප ගමන් පිණිස වේ ද, නිර්භයස්ථානය භය විනොදනය පිණිස වේ ද, රජතෙම ලොවට ආරක්ෂා පිණිස වේ ද, ඵලකායුධය දඬු පොලු කැට මුගුරු හී ශස්ත්‍ර‍ ප්‍ර‍තිබාහනය පිණිස වේ ද, ආචාර්ය තෙම ශිෂ්‍යානුශාසනාව පිණිස වේ ද, මෑනිතොමෝ පුත්‍ර‍ පොෂණය පිණිස වේ ද, ආදාසය මුහුණ බැලීම පිණිස වේ ද, අලංකාරය සොභනය පිණිස වේ ද, වස්ත්‍ර‍ය හැඳීම පිණිස වේ ද, නිශ්‍රෙණිය නැඟීම පිණිස වේ ද, තරාදිය සදෘශව කිරීම පිණිස වේ ද, මන්ත්‍ර‍ය ජප කිරීම පිණිස වේ ද, ආයුධය තර්ජනය ප්‍ර‍තිබාහනය පිණිස වේ ද, ප්‍ර‍දීපය අන්ධකාර විධමනය පිණිස වේ ද, වාතය පරිලාභ නිර්වාපණය පිණිස වේ ද, ශිල්පය ජීවිකාවෘත්ති සාධනය පිණිස වේ ද, භෛෂජ්‍යය දිවි රක්නා පිණිස වේ ද, ආකරය සත්රුවන් ඉපදීම පිණිස වේ ද, රත්නය අලංකාර පිණිස වේ ද, ආඥාව නොයිඉක්මවාලීම පිණිස වේ ද, ඉසුරුබව වසඟයෙහි පවත්වාලීම පිණිස වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ධුතගුණය ශ්‍රාමණ්‍යබිජු හට ගැණීම පිණිස වන්නේ ය. ක්ලේශමල දැවීම් පිණිස වන්නේ ය. සෘද්ධිබල ගැණීම පිණිස වන්නේ ය, ස්මෘති සංවර බන්ධනය පිණිස වන්නේ ය, විමති විචිකිච්ඡා සිඳීම පිණිස වන්නේ ය. තෘෂ්ණාපිපාසා දුරු කිරීම පිණිස වන්නේ ය, අභිසමය ආශ්වාස හෙතු පිණිස ව්නනේ ය, චතුර්විධොඝයෙන් එතරවීම පිණිස වන්නේ ය, ක්ලේශව්‍යාධි ව්‍යපසමනය පිණිස වන්නේ ය. නිර්වාණසැප ප්‍ර‍තිලාභය පිණිස වන්නේ ය, ජාති ජරා ව්‍යාධි මරණ සොක හැඬීම් දුක්ඛදෞර්මනස්‍ය උපායාස යනාදි සංසාර භය දුරු කිරීම පිණිස වන්නේ ය, ශ්‍ර‍මණගුණ රක්ෂාව පිණිස වන්නෙ ්ය, අරති කුවිතර්ක ප්‍ර‍තිබාහනය පිණිස වන්නේ ය, සකල ශ්‍රාමණ්‍යාර්ථානුශාසනාව පිණිස ව්නනේ ය, සකල ශ්‍රාමණ්‍යගුණ පොෂණය පිණිස වන්නේ ය, සමථ විපස්සනා මාර්ගඵල නිර්වාණ දර්ශනය පිණිස වන්නේ ය, සකල ලොක ථුතිථොමික මහත් වූ මහාසොභාකරණය පිණිස වන්නේ ය, එක්සියසතිස් මහානරක වැසීම පිණිස වන්නේ ය, ශ්‍රාමණ්‍යාර්ථ නමැති මහාපර්වතශිඛරය මුදුනට නැඟීම පිණිස වන්නේ ය, වංකකුටිල විසම සිත හැරීම පිණිස වන්නේ ය, සෙවිතව්‍යාසෙවිතව්‍ය ධර්මයන් යහපත් කොට සජ්ඣායනය කිරීම පිණිස වන්නේ ය, සර්ව ක්ලේශ ප්‍ර‍තිශත්‍රෑන් (446) තර්ජනය පිණිස වන්නේ ය, අවිද්‍යාන්ධකාරය විධමනය පිණිස වන්නේ ය, ත්‍රිවිධාග්නි සන්තාප පරිදාහ නිර්වාපණය පිණිස වන්නේ ය, සණ්හ සුඛුමශාන්තප්‍ර‍ණීතසමාපත්ති උපදවාලීම පිණිස වන්නේ ය, ශාසනික සකල ශ්‍රාමණ්‍යගුණ රක්ෂාව පිණිස වන්නේ ය, සප්තබොද්ධ්‍යංගවර රතනුප්පාදනය පිණිස වන්නේ ය, යොගිජනාලංකාරකරණය පිණිස වන්නේ ය, අනවද්‍ය නිපුණ සියුම් ශාන්තසුව නො ඉක්මවීම පිණිස වන්නේ ය, සකල ශ්‍රාමණ්‍ය ආර්යධර්මය වසඟයෙහි පවත්නා පිණිස වන්නේ ය, මහරජානෙනි, මෙසේ මොවුන්ගේ ගුණය අධිගමය පිණිස වන්නේ ය, ඒ මේ එක ම එක ම ධුතගුණයක් ම නිවන් පිණිස වන්නේ ය. මහරජානෙනි, මෙසේ ධුතගුණය අතුල්‍ය වන්නේ ය, අප්‍රමෙය වන්නේ ය, අසම වන්නේ ය, අප්‍ර‍තිසම වන්නේ ය, අප්‍ර‍තිභාග වන්නේ ය, අප්‍ර‍තිශ්‍රෙෂ්ඨ වන්නේ ය, සියලු ගුණයට වඩා ඉතිර සිටියේ ය, ශ්‍රෙෂ්ඨ ව සිටියේ ය, විශිෂ්ට ව සිටියේ ය, අධික ව සිටියේ ය, දික් ව සිටියේ ය, පෘථුල ව සිටියේ ය, පැතිර සිටියේ ය, විස්තෘත ව සිටියේ ය, ගරුක ව සිටියේ ය, බැරෑරුම් ව සිටියේ ය, ඉතා මහත් ව සිටියේ යි.

“‍යො ඛො මහාරාජ පුග්ගලො පාපිච්ඡො ඉච්ඡාපකතො -පෙ-

පෙතො හුත්‍වා ආහිණ්ඩමානො මහියා අට්ටස්සරං කරොති” යි[14]

“මහරජානෙනි, නැති ගුණ පහළ කරණු කැමැති පාපිච්ඡතාවෙන් යුක්ත වූ නැති ගුණ පහළ කිරීම සංඛ්‍යාත ලාමක අදහසින් පෙළෙන ලද්දා වූ ප්‍ර‍ත්‍යය නො පිළිගන්නා කෙනෙකුන් මෙන් ගෘහස්ථයන්ට අඟවා වංචාවන ප්‍රයොගයෙන් ප්‍ර‍ත්‍යය බොහෝ කොට උපදවන කුහක ප්‍රයොගයෙන් යුක්ත වූ රෞද්‍ර‍ වූ උදර පොෂණය නිසා ශාසනයෙහි වසන හෙයින් ඔදාරික වූ ප්‍ර‍ත්‍යය ලාභයෙහි ගිජු වූ යස සංඛ්‍යාත පිරිවර කැමත්තා වූ ඒ ඒ තන්හි ගුණකථන වශයෙන් පවත්නා කීර්ති කැමැත්තා වූ අර්හත්ධ්වජ ධාරණයට යුතු නො වන්නා වූ ප්‍ර‍තිපත්ති පූරණයට අප්‍රාප්ත වූ ජිනෙන්ද්‍ර‍ ශාසනයට සුදුසු නො වන හෙයින් අනනුච්ඡවික වූ ශ්‍ර‍මණභාව (447) යට සුදුසු නො වූ ජිනසුනුභාවයට අප්‍ර‍තිරූප වූ යම් පුද්ගලයෙක් ධුතාංග සමාදන් වේ ද, ඒ පුද්ගලතෙම ද්විගුණ වූ දඬුවමට පැමිණෙන්නේ ය, සියලු ම ගුණධර්මයාගේ නැසීමට පැමිණෙන්නේ ය, දෘෂ්ටධාර්මික වූ ගර්හාවඛිලනය නින්දා පරිහාසය ඉවත දැමීම අසම්භොගය ශාසනයෙන් පිටත්කිරීම ප්‍ර‍තිකූලාකාරයෙන් කරණ ඛෙලාපාතනය පහ කිරීම ශාසනයෙන් නෙරපීම ලබන්නේ යි, මරණින් මත්තෙහි පරලොව්හි ද නරකයෙහි ඉපිද උෂ්ණ කඨින තප්ත සංතප්ප වූ වහ්නිශිඛාජ්වාලමාලායෙන් ආකුල වූ සියක්යොදුන් අවීචිමහානරකයෙහි අනෙකවර්ෂකොටිශසසහස්‍රයෙහි ඌර්ධවාධො සරස්හි පෙරළෙන්නා වූ නිරාග්නියෙන් දැවීමෙන් පෙනගත් ශරීර ඇති ව පැසෙන්නේ ය, එයින් මිදී ප්‍රෙතනිකායෙහි උපන ද කෘශ පරුෂ කාලක අංගප්‍ර‍ත්‍යයන් ඇත්තා වූ සුචිමුඛප්‍ර‍මාණ මත්තෙන් සිදුරු මුඛය ඇති හිස් ඇත්තා වූ ක්ෂුධාවෙන් පීඩිත වූ පිපාසායෙන් වියලුනා වූ විසම භයානක වූ රූපසටහන් ඇත්තා වූ සිඳුණු බිඳුණු කර්ණශ්‍රොතයන් ඇත්තා වූ උන්මීලිත නිමීලත නෙත්‍ර‍නයනයන් ඇත්තා වූ ව්‍ර‍ණගාත්‍ර‍ හා පැසවා කුණු දිය වැහෙන ගාත්‍ර‍ ඇත්තා වූ සකල ශරීරයෙහි නොයක් තැනින් කාවදින පණුවන්ගෙන් ආකීර්ණ වූ වාතමුඛයෙහි දිලියෙන්නා වූ අග්නිස්කන්ධයක් මෙන් ඇතුලු ශරීරය ගිනිගෙණ දිලියෙන්නා වූ හාත්පසින් ගිනි ගෙණ දිලියෙන්නා වූ දෙහ ඇති කිසි රක්ෂාස්ථානයක් නැත්තා වූ කිසි සරණක් නැත්තා වූ, ඉවසිය නො හැකි ප්‍රෙතදුකින් දුක්ඛිත ව හඬන්නා වූ මහහඬින් හඬන්නා වූ, බැගෑපත් හඬින් විලාප කියා හඬන්නා වූ, ආරොදන කාරුණ්‍යරවින් විලාප කියන්නා වු, නිජ්ඣාමතෘෂ්ණික වූ, ශ්‍ර‍මණවෙශ ධාරණයෙන් ශ්‍ර‍මණමහාප්‍රෙත ව පෘථිවියෙහි ඇවිදිමින් දුඃඛස්වර පතුරුවන්නේ යි.

“මහරජානෙනි, යම් සේ රාජාභිෂෙකයට අයුක්ත වූ අනනුච්ඡවික වූ රාජ්‍යශ්‍රීප්‍ර‍තිලාභයට සුදුසු නො වූ අප්‍ර‍තිරූප ව කුලහීන වූ නීචජාති ඇත්තා වූ කිසිවෙක් ක්ෂත්‍රියාභිෂෙකයෙන් රාජ්‍යාභිෂෙකයට පැමිණේ ද, එතෙම හස්තච්ඡෙදනය පාදච්ඡෙදනය හස්තපාදච්ඡෙදනය කර්ණච්ඡෙදනය නාසච්ඡෙදනය, කර්ණනාසච්ඡෙදනය, බිලංගථාලිකවධය සංඛමුණ්ඩිකය රාහුමුඛය ජොතිමාලිකය එරකවත්තිකය චීරකවාසිකය එණෙය්‍යකය බලිසමංසිකය කහාපණකය පලිඝපරිවත්තිකය පලාල පීඨිකය රත් වූ තෙලින් ඇඟ වත් කිරීම ය සුනඛයන් ලවා කවාලීම ය, දිවස්හුල නැඟීම ය, කඩුවෙන් හිස සිඳීම ය යනාදි වධ ලබන්නේ ය. අනෙකප්‍ර‍කාර වූ කම්කටුළු අනුභව කරන්නේ ය. කවර කාරණයකින් ද? යත්- රාජ්‍යකරණයට යුක්ත නො වූ රාජ්‍යප්‍ර‍තිලාභයට ප්‍රාප්ත නො වූ අනනුච්ඡවික වූ රාජ්‍යාභිෂෙකයට සුදුසු නො වූ අප්‍ර‍තිරූප වූ කුලහීන වූ නීචජාති ඇත්තා වූ එතෙම මහත් වූ රාජෛශ්වර්යයස්ථානයෙහි තමන් තැබූ හෙයින් තමන්ගේ සීමාව නැසුයේ ය, එහෙයිනි. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසි පුද්ගලයෙක් ශාසනයට වැද උදරපොෂණය පිණිස පාපිච්ඡතාදි නොයෙක් වංචාවෙන් යෙදී ධුතාංග සමාදන් වේ ද, එතෙම අවීචිමහානරකයෙහි වැටී බොහෝ කලක් දුක්විඳ එයින් මිදී ශ්‍ර‍මණමහාප්‍රෙත ව ඉපිද (448) සකලසත්ව භයානක වූ සර්වාංගප්‍ර‍ත්‍යංගයෙන් හා නොයෙක් තැනින් කාවදින පුළවරාසීන්ගෙන් ආකීර්ණ ව වාතමුඛයෙහි දිලියෙන මහගිනි කඳක් සෙයින් ඇතුළුශරීරය ඇවිල ගත් ගින්නෙන් දදා අනෙකවිලාපයෙන් හඬ හඬා පෘථිවියෙහි ඒ ඒ තැනින් ඇවිදිමින් බැගෑපත් ස්වර පතුරුවන්නේ ය.

“යො පන මහාරාජ පුග්ගලො යුත්තො -පෙ- විමුත්තිපණ්ඩර විමල සෙතච්ඡත්තෙන අභිසිඤ්චති” යි.[15]

මහරජානෙනි, ශ්‍ර‍මණගුණධාරණයට යුතු වූ ප්‍ර‍තිපත්ති පිරීමට ප්‍ර‍යුක්ත වූ, අනුච්ඡවික වූ, ශාක්‍යපුත්‍ර‍භාවයට සුදුසු වූ, ප්‍ර‍තිරූප වූ, අල්පෙශ්ව වූ, සන්තුෂ්ට වූ, විවෙකී වූ, ප්‍ර‍ත්‍යයදායක ගෘහස්ථයන් හා සංසක්තයක් නැත්තා වූ, පටන් ගන්නා ලද වීර්ය ඇත්තා වූ, නිවන් පිණිස මෙහෙයන ලද කායජීවිතය ඇත්තා වූ, නැති ගුණ පහළ නො කරන්නා වූ, කළ වරද නො සඟවන්නා වූ, උදරපොෂණකාරී නො වන්නා වූ, ලාභකාමී නො වන්නා වූ, යසකාමී නො වන්නා වූ, කීර්තිකාමී නො වන්නා වූ, ශ්‍ර‍ද්ධාව ඇත්තා වූ, ඤාතිභොගපරිහීනතාදි විරහිත වූ ශ්‍ර‍ද්ධාවෙන් ම පැවිදි වන ලද්දා වූ, ජරාමරණින් මිදෙනු කැමැත්තා වූ, යම් පුද්ගලයෙක් සර්වඥ ශාසනය ස්ථිර කොට ගණිමි යි සිතා ධුතාංගගුණ සමාදන් වේ ද, එතෙම ද්විගුණ වූ පූජාවට සුදුසු වන්නේ ය. දෙවියන්ට ද මනුෂ්‍යයන්ට ද ප්‍රිය වන්නේ ය, මනාප වන්නේ ය, ප්‍රාර්ථිත වන්නේ ය, ස්නානය කොට සළු පැළඳ චන්දනානුලිප්ත වූ පුරුෂයෙක්හට දෑසමන් මල්ලිකාදි මල් මෙන් ද, ක්ෂුධාවෙන් පීඩිතයක්හට ප්‍ර‍ණීත මධුරතර භොජනයක් මෙන් ද, පිපාසාවෙන් පීඩිත වූවක්හට සීතල විමල සුවඳ පැනක් මෙන් ද, විසගත පුරුෂයක්හට උතුම් දිව්‍යඖෂධයක් මෙන් ද, (449) ශීඝ්‍ර‍ ගමන් කැමැති පුරුෂයක්හට ආජානෙයසෛන්ධවයන් යෙදූ උතුම් ආජඤ්ඤරථවරයක් මෙන් ද ධන කැමැති පුරුෂයක්හට මනොහර සිතුමිණිරුවනක් මෙන් ද, රාජාභිෂෙකයට පැමිණෙනු කැමැති රාජකුමාරයක්හට ශුභ්‍ර‍ විමලධවලච්ඡත්‍ර‍යක් මෙන් ද, චතුස්සත්‍යධර්මය කැමැතියක්හට අනුත්තර වූ අර්හත්ඵලාධිගමයක් මෙන් ද, දිව්‍යමනුෂ්‍යයන්ට ප්‍රිය වනසේක. මනාප වනසේක, කැමැති වනසේක, ප්‍රාර්ථනීය වනසේක. ඒ ධුතාංගධරයන් වහන්සේට සතරසතිපට්ඨානභාවනාවෝ සම්පූර්ණභාවයට යෙති. සතරසම්‍යක්ප්‍ර‍ධානය ද, සතරසෘද්ධිපාදය ද, පඤ්චෙන්ද්‍රියය ද, පඤ්චබලය ද, සප්තබොද්ධ්‍යංගයෝ ද, ආර්යඅෂ්ටාංගිකමාර්ගය ද යන ධර්මයෝ භාවනාපරිපූරණයට යෙති. සමථවිදර්ශනාවට පැමිණෙන්නේ ය, අධිගමය හා ප්‍ර‍තිපත්තිය පිරිනැමෙන්නේ ය, සතරශ්‍ර‍මණ්‍යඵලය ද, සිවුපිළිසිඹියාව ද, ත්‍රිවිද්‍යාව ද, ෂඩභිඥාව ද, සියලු ම ශ්‍ර‍මණධර්මය ද යන සියලු ම ධර්මයෝ ධුතාංගධර ඒ භික්ෂුහට අයිති වන්නාහ. එහෙයින් ඒ ධුතාංගධරයන් වහන්සේ අර්හත්ඵල නමැති පණ්ඩරතර විමල ධවලච්ඡත්‍රයෙන් අභිෂෙකයට පැමිණෙනසේක.

“මහරජානෙනි, යම් සේ උභයකුලපරිශුද්ධතාවෙන් උපන් විශිෂ්ට වංශ ඇත්තා වූ, උභයකුලපරිශුද්ධ වූ රාජකන්‍යාවක ‘දෙවයන් වහන්ස, සියලු රාජකුලයා නුඹවහන්සේට යටත් වූහ’ යි සියලු ක්ෂත්‍රියසමූහයාට පීතෘස්ථානයෙහි පිහිටා දශරාජධර්මය කොප්‍ය නො කොට රාජ්‍යශ්‍රී කර වදාළ මැනැවැ’ යි කියා දක්ෂිණශංඛයෙන් උත්තමාංගයෙහි පැන් වක් කිරීම ය, පුරොහිතබ්‍රාහ්මණයෙකු ද ‘දෙවයන් වහන්ස, සියලු ම බ්‍රාහ්මණයෝ නුඹ වහන්සේට යටත් වූහ. සියලු බ්‍රාහ්මණසමූහයාට පීතෘස්ථානයෙහි පිහිටා දශරාජධර්මයෙන් රාජ්‍යශ්‍රී කර වදාළ මැනැවැ’ යි කියා රිදීසංඛයෙන් පැන් වක්කිරීම ය, ගෘහපතිශ්‍රෙෂ්ඨයෙකු ද ‘දෙවයන් වහන්ස, සියලු ගෘහපතිසමූහයෝ නුඹ වහන්සේට යටත් වූහ. සියල්ලන්ට පිතෘස්ථානයෙහි පිහිටා රක්ෂා කෙරෙමින් දශරාජධර්මයෙන් රාජ්‍යශ්‍රී කර වදාළ මැනැවැ’ යි කියා ස්වර්ණසංඛයෙන් මස්තකයෙහි පැන් වක්කිරීම ය යන ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරණ ලද්දා වූ ක්ෂත්‍රිය මහරජහට රටවැසියන් සහිත වූ නෙගම ජානපදික යොධභට බලප්‍ර‍ධානිකයෝ උපස්ථානයට එළඹෙන්නාහ. අෂ්ටත්‍රිංශත්රාජපිරිස ද, නැට්ටුවන් හා නෘත්‍යකාරයෝ ද, මුඛමංගලකයෝ ද, සොභනවාචනිකයෝ ද, ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ ද, සියලු පාසණ්ඩගණයෝ ද, සමීපයට එළඹෙන්නාහ. පෘථිවියෙහි මඳක් වුවත් පටුනුරතනාකාර නගර සුංකස්ථාන නානාදෙශික ඡෙද්‍ය භෙද්‍ය ජනයන්ට යම් අනුශාසනාවෙක් ඇද්ද, ඒ හැම තන්හි අධිපති වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ශාසනානුරූප වූ ප්‍ර‍තිපත්ති පරිපූරණයට යුක්තප්‍රාප්ත වූ යම්කිසි පුද්ගලයෙක් ශාසනාභිවෘද්ධිය පිණිස ධුතාංග සමාදන් වේ ද, එතෙම ද්විගුණයක් පූජාවට සුදුසු වන්නේ ය. දිව්‍යමනුෂ්‍යයන්ට ද ප්‍රිය වන්නේ ය, ලෞකික ලොකොත්තර වූ සියලු ගුණධර්මයට ද හිමි වන්නේ ය, අර්හත්ථල නමැති පණ්ඩරවිමල ධවලච්ඡත්‍රයෙන් අභිෂෙකප්‍රාප්ත වන්නේ ය.

(450) “තෙරසිමෙ -පෙ- තස්සාධෙය්‍යා හොන්ති කෙවලා සන්තා සුඛා සමාපත්තියො” යි.[16]

“මහරජානෙනි, යම් ධුතාංගකෙනෙකුන් විසින් වෘද්ධියට පමුණුවන ලද්දා වූ යොගාවචරතෙම නිර්වාණ නමැති මහාසමුද්‍ර‍යට ප්‍ර‍විෂ්ට ව අනෙක ප්‍ර‍කාර වූ ධර්මක්‍රීඩාවන් ක්‍රීඩනය කෙරේ ද, රූපාරූප අෂ්ටසමාපත්තීන්වලදී ද, සෘද්ධිප්‍රභෙදගතඥානය ද, දිව්‍යශ්‍රොත්‍ර‍ධාතුව ද, පරචිත්තවිජානන ඥානය ද, පූර්වෙනිවාසානුස්මෘතිඥානය ද, දිව්‍යචක්ෂුරභිඥානය ද, ආශ්‍ර‍වක්ෂයකරඥානය ද යන ෂඩ්අභිඥාවට පැමිණේ ද, ඒ මේ ධුතාංග තෙළෙසක. කවර තෙළෙසක් ද? යත්- පාංසුකූලිකංගය තෙචීවරිකංගය පිණ්ඩපාතිකංගය සපදානචාරිකංගය එකාසනිකංගය පත්තපිණ්ඩිකංගය ඛලුපච්ඡාභත්තිකංගය ආරඤ්ඤිකංගය රුක්ඛමූලිකංගය අබ්භොකාසිකංගය සොසානිකංගය යථාසන්ථතිකංගය නෙසජ්ජිකංගය යි. මහරජානෙනි, පෙර ආසෙවිත නිසෙචිත වූ පුරුදු වූ හැසුරුණා වූ පුරණ ලද්දා වූ මේ තෙළෙස් ධුත ගුණයෙන් සියලු ම ශ්‍රාමණ්‍යභලය ලබන්නේ ය, ඒ ධුතාංගධර භික්ෂුහට සර්වක්ලේශවිරමණයෙන් ශාන්ත වූ අර්හත්ඵලසමාපත්ති සැප ඇත්තා වූ සියලු ම අරූපසම්පත්තිහු අයිති වෙත්. එහි පංසුකූලිකංගය නම්:- ‘පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාභො කරණීයො’ යි යන මෙයින් ‘මහණ, තා ලත් මේ ප්‍ර‍්‍ර‍ව්‍ර‍ජ්‍යාව පාංශුකූල චීවර පිණිස ය. ඒ පාංශුකූල සෙවීමෙහි තා විසින් දිවිහිමියෙන් උත්සාහ කට යුතු ය’ යි කියා වදාළ සුගතොවාද සිරසින් ගෙණ සසරසයුරෙන් එතෙර වනු කැමැති යොගාවචරයා විසින් ‘ගහපති චීවරං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘පංසුකූලිකංගං සමාදියාමි’ යි කියා හෝ මෙයින් එක් වාක්‍යයක් කියා සමාදන් විය යුත්තේ ය. මෙසෙයින් සමාදන් වූ උත්කෘෂ්ටයා විසින් සොහොන්හි දමා ගිය වස්ත්‍ර‍කඩය, සල්පිල්දොර දැමූ වස්ත්‍ර‍කඩය, පුණ්‍යාර්ථීන් විසින් කවුළුදොරින් වීථියට හෙලූ වස්ත්‍ර‍කඩ ය, කසළගොඩ දැමූ වස්ත්‍ර‍කඩ ය, ගර්භමල පිස දැමූ වස්ත්‍ර‍කඩ ය, යක්ෂවෙදුන් විසින් හිස් වසා නහා දමා ගිය වස්ත්‍ර‍කඩ ය, නානතොට දමාගිය වස්ත්‍ර‍කඩ ය, මනුෂ්‍යයන් සොහොනට ගොස් අවුත් දමා ගිය වස්ත්‍ර‍කඩ ය, ගින්නෙන් දෑ හෙයින් දැමූ වස්ත්‍ර‍කඩ ය, සරක් කෑ හෙයින් දැමූ වස්ත්‍ර‍කඩ ය, වේයන් කෑ හෙයින් දැමූ වස්ත්‍ර‍කඩ ය, මූසිකයන් කෑ හෙයින් දැමූ වස්ත්‍ර‍ඩ ය, අන්තය සිඳුනු (451) හෙයින් දැමූ වස්ත්‍ර‍කඩ ය, දශාව සිඳුනු හෙයින් දැමූ වස්ත්‍ර‍කඩ ය, නැව් නඟිනවුන් ධ්වජය බැඳ ගිය වස්ත්‍ර‍කඩ ය, තුඹස් වසා බලි පූජා කළ වස්ත්‍ර‍කඩ ය, භික්ෂූන් සන්තක සිවුර ය, රජුන් විසින් අභිෂෙකස්ථානයෙහි දමන ලද වස්ත්‍ර‍කඩ ය, ඒ භික්ෂූන්ගේ සෘද්ධිමය සිවුරු ය, මාර්ගයෙහි යමින් සිහි මුළා ව දමා ගිය වස්ත්‍ර‍කඩ ය, වාතයෙන් දුරස්ථානයට ගිය වස්ත්‍ර‍කඩ ය, අනුරුද්ධ ස්ථවිරයන්ට මෙන් දෙවියන් විසින් දෙන ලද සිවුර ය, සමුදුර රැළින් ගොඩලන ලද වස්ත්‍ර‍කඩ ය යන මේ තෙවිසිපාංශුකූලික කෙතින් වස්ත්‍ර‍ ගෙණ සිවුරු කොට වැලඳිය යුත්තේ ය. මෙම සමාදාන විධියෙන් සමාදන් වූ මධ්‍යම පාංශුකූලිකයා උදෙසා තුබූ වස්ත්‍ර‍ ගන්නේ ය, මෘදුකයා පාමුල තුබූ වස්ත්‍ර‍ ගන්නේ ය, මේ තුන්දෙන ම ගෘහපති සිවුරු ඉවසූ කෙණෙහි ධුතාංගය බිඳෙන්නේ ය.

තෙචීවරිකංගය ද ‘චතුත්ථකචීවරං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘තෙචීවරිකංගං සමාදියාමි’ යි කියා හෝ මේ වාක්‍යද්වයෙන් එකක් කියා සමාදන් වූ උත්කෘෂ්ට තෙචීවරිකයා විසින් සිවුරුපිළී ලදින් හූ ඉදිකටු නො ලදින් හෝ සංවිධාන කොට ලන කෙනෙකුන් හෝ නො ලදින් පරිෂ්කාරචොල නමින් අධිෂ්ඨාන කොට තබත් වරද නැත. ගෙත්තම් කොට පඬු රැඳූ තැන් පටන් තබන්නට නො වටී. තබා නම් ධුතාංගසොරා නම් වෙයි. සිවුරු පඬු පොවන කල්හි දු අඳනය හෝ උත්තරාසංගය හෝ පඬු පොවා වේලා හැඳ සංඝාටිය පඬු පොවාලිය යුත්තේ ය. මධ්‍යමකයා සිවුරු පඬු රඳන කල්හි ඇන්ද යුතු රජනශාලායෙහි ‘රජන සිවුර ය’ යි යන සිවුරෙක් ඇත. ඒ සිවුර හැඳ චීවරරජනධොවනාදී කර්මාන්ත කළ යුතු ය. මෘදුකයාහට රජනශාලායෙහි සිවුර ද සභාග භික්ෂූන්ගේ සිවුරු ද හැඳ රජනකර්මාන්ත කරන්නට වටී. සභාග භික්ෂූන්ගේ සිවුරු අතරතුර පරිභොග විඳින්ට ද වටී. මෙම තුන්දෙනා ම පුළුල වඩු වියත් දිග මිටි තුන්රියන් අසංකඩය හැර සතරවන සිවුරක් ඉවසූ කෙණෙහි ධුතංගය බිඳේ.

අතිරෙකලාභං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘පිණ්ඩපාතිකංගං සමාදියාමි’ යි කියා හෝ පිණ්ඩපාතිකංගය සමාදන් වූ උත්කෘෂ්ට මධ්‍යම මෘදුක යන තුන්දෙනා විසින් ම සංඝබත ය, උද්දෙසබත ය, නිමන්ත්‍ර‍ණ බත ය, සලාකබත ය, මසින් පක්ෂයෙක දෙන බත ය, පොහොබත ය, පෑළවියදා දෙන බත ය, ආගන්තුගබත ය, ගමිකබත ය, ගිලානබත ය, ගිලානුපස්ථායකබත ය, විහාරබත ය, ධුරබත ය, වාරබත ය යන මේ තුදුස්බත නො ඉවසිය යුතු ය. ඉදින් ‘සංඝ බත් ගණුව’ යි යනාදීන් නො කියා ‘සඟහු අපගේ හෙයින් භික්ෂාව ගණිති. තොප ද භික්ෂාව ගණුව’ යි කියා භික්ෂා නමින් දෙන ලද්දේ ඉවසන්නට වටී. සඟින් ලැබෙන නිරාමිස සලාක ද වෙහෙර පිසූ බත් ද ඉවසන්ට වටී. භික්ෂාචාරියායෙහි ඉදිරියෙන් පස්සෙන් ගෙණා භික්ෂාව ද, පැමිණි දොර දී පා ගෙණ දෙනුවා ද භොජනශාලාවට පා ගෙණ දුන් භික්ෂාව ද ගන්ට වටී. මධ්‍යම පිණ්ඩපාතිකයා එක දවසකුදු පා බලා මුත් භික්ෂාව බලා නො හිඳින්නේ ය. සරුප්තෙපුලෙන් නවත්වා ලුව වෙහෙර හිඳ පා දී දවසකට ඉවසන්නේ ය. මෘදුක වූ පිණ්ඩපාතිකයා තුන්දවසට ඉවසන්නේ ය. මේ තුන්දෙනා ම සංඝහත්තාදි අතිරෙකලාභයක් ඉවසූ කෙණෙහි ධුතාංගය බිඳේ.

(452) ‘ලොලුප්පචාරං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘සපදානචාරිකංගං සමාදියාමි’ යි කියා හෝ සපදානචාරිකංගය සමාදන් වූ සපදානචාරිකයන් විසින් යම් ගමෙක හෝ වීථියක හෝ උවදුරු ඇත් නම් හෝ යම් ගෙයක තුන් දවසක් සිඟා කිසිත් නො ලැබේ නම්, එගම්වීථි ගෙවල් හැර යන්ට වටී. ඉදින් වෙහෙර දී සඟනට දන් දෙන්නාහු ද, අතර මග එන්නා දැක පා ගෙණ අහර දෙත් නම්, පිළිගන්නට වටී. භික්ෂාචාරවේලායෙහි පැමිණි ගෙවල් නො හැර ම හැමතැන පහයන පුන්සඳක් මෙන් පිළිවෙළින් ම යා යුතු. උත්කෘෂ්ටසපදානචාරිකයා ඉදිරියෙනුදු ඉකුත් ගෙයිනුදු බොජුන්හලට ගෙණවුත් දුන් භොජනය ද නො ගන්නේ ය. සංප්‍රාප්ත ද්වාරයෙහි වනාහි පාත්‍ර‍ය ගණුවන්ට පාත්‍ර‍ය දෙන්නේ ය. මධ්‍යම සපදාන චාරිකයා ඉදිරියෙනුදු ඉකුත් ගෙයිනුදු බොජුන්හලට පාත්‍ර‍ය ගෙණදුන් භික්ෂාව ද ඉවසන්නේ ය. මෘදුක සපදානචාරිකයා එක දවසකට පැවරුවා ඉවසන්නේ ය. මේ තුන්දෙනා ම රස තෘෂ්ණාවෙන් ගෙයක් හැර ගෙයකට යන ලොලුප්චාරය ඉපදවූ කෙණෙහි ධුතාංගය බිඳේ.

‘නානාසනභොජනං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘එකාසනිකංගං සමාදියාමි’ යි කියා හෝ එකාසනිකංගය සමාදන් වූවාහු විසින් ආසන ශාලායෙහි හිඳිනා කල ථෙරස්ථානයෙහි නො ඉඳ ‘මේ ආසනය මට පැමිණේ ය’ යි සිතා සදුසු ආසනයක් සලකා ඉන්ද යුතු. ඉදින් මොහු අඩාළ කළ බොජුන් ඇති කල්හි ඇදුරු තෙරහු හෝ උපාධ්‍යාය තෙරහු හෝ අවු නම්, නැඟී සිට වත් කරන්නට වටී. උත්කෘෂ්ටතෙම මඳ වූ බොහෝ වූ යම් භොජනයෙක් වළඳන්නට අත එවී ද එතැන් පටන් අනික් භොජනයක් ගන්නට නො ලැබේ. ඉදින් මනුෂ්‍යයෝ ගිතෙල් වෙඬරු ආදී තුන් කාලිකයෙන් යමක් දුන්නු නම්, බෙහෙත් පිණිස මුත් ආහාර පිණිස නො වටී. මධ්‍යකතෙම, යම්තාක් පිළිගත් පාත්‍රයෙහි බත් නො ගෙවේ ද, ඒ තාක් අන්‍යසූපව්‍යඤ්ජනාදියක් පිළිගන්නට නො ලැබේ. මෘදුක තෙම යම්තාක් ආසනයෙන් නො නැඟේ ද, ඒතාක් භොජනාදිය පිළිගෙණ වළඳන්නට ලබන්නේ ය. මේ තුන්දෙනාගේ ම නානාසනයෙහි හිඳ භොජනය වැළඳූ කෙණෙහි ධුතාංගය බිඳේ.

‘දුතියක භාජනං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ යි කියා හෝ සමාදන් වු පත්තපිණ්ඩිකයා විසින් කැඳ වළඳන කල යම් කිසි අවුළක් දුන, කැඳ තබා අවුළු වළඳන්නට වටී. ඒ තබා කැඳ වළඳන්නට වටී. මිරිස්අතු ආදී එකතින් ගෙණ වළඳින්ට වටී, යටත්පිරිසෙයින් දෙවනු ව සල් මිලිල පත්‍ර‍යකුදු නො ගත යුතු. උත්කෘෂ්ටයාහට උක්සප හැර සෙසු කසළකුදු හරින්නට නො වටී, බත්කැටි මච්ඡමංස අවුළු ආදිය අතින් දතින් සැතින් සිඳ බිඳ වළඳන්නට නො වටී, මධ්‍යමයා හට එකතින් කඩා වළඳන්නට වටී, මෘදුකයාහට වනාහි පාත්‍ර‍මුවවිටින් ඇතුළු වූ යම් කිසිවක් ඇත, ඒ සියල්ල අතින් දතින් ශස්ත්‍රයෙන් සිඳ බිඳ වළඳන්ට වටී. මේ තුන්දෙනාගේ දෙවෙනි භාජනයක් ඉවසූ කෙණෙහි ධුතාංගය බිඳේ.

‘අතිරිත්ත භොජනං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘ඛලුපච්ඡාභත්තිකංගං සමාදියාමි’ යි කියා හෝ සමාදන් වූ ඛලුපච්ඡාභත්තිකයා විසින් උදය වළඳමින් පවාරණ ව නැවැත බොජුන් කැප කරවා ගෙණ නො වැළඳිය යුතු. (453) මෙහි ‘ඛලු’ ය යන පදය ප්‍ර‍තිෂෙධාර්ථයෙහි නිපාතයෙක. පවාරණ වූ මහණහු විසින් පසු ව ලබන ලද බත ‘පච්ඡාභත්ත’ නම් වේ. ඒ පච්ඡාභත්තයාගේ භොජනය පච්ඡාභත්ත නම් වේ. ඒ පච්ඡාභත්ත භොජනයෙහි පච්ඡභත්තසංඥා කොට ‘පච්ඡාභත්ත ස්වභාව මෝහට ඇත්තේ නු’ යි ‘ඛලුපච්ඡාභත්තික’ නම් වේ. සමාදාන වශයෙන් ප්‍ර‍තික්ෂෙප කළ අතිරික්තභොජනයට මේ නමෙක, නොහොත් ඛලු සංඛ්‍යාත වූ එක් පක්ෂියෙක. ඒ පක්ෂිතෙම තුඩින් ඵලයක් ගෙණ ඒ ඵලය වැටුනු කල නැවත අනික් ඵලයක් නො කන්නේ ය. මේ ධුතාංගධරතෙම එබඳු වූයේ නු යි. “ඛලුපච්ඡාභත්තික’ නම් වී. ඔහුගේ අංගය ‘ඛලුපච්ඡාභත්තිකංග ය’ යි. උත්කෘෂ්ටයා ප්‍ර‍ථම පිඩ වළඳමින් පවාරණය වූයේ දෙවෙනි පිඩ නො වළඳන්නේ ය. මධ්‍යමතෙම යම් භොජනයෙක්හි පවාරණය වූයේ ඒ භොජනය ම වළඳා අන් භොජනයක් නො ගණී. මෘදුකතෙම එම අස්නෙහි ම හිඳ නො නැඟෙනා තාක් දුන් දෙය වළඳයි. මේ තුන්දෙනා ම පවාරණ ව කැප කරවා ගෙණ අතිරික්තභොජනයක් වැළඳූ කෙණෙහි ධුතාංගය බිඳේ.

‘ගමන්තසෙනාසනං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘ආරඤ්ඤීකංග සමාදියාමි’ යි කියා හෝ එක්තරා වචනයකින් සමාදන් වූ ආරණ්‍යකයා විසින් මිනිසුන් වසන ගම පටන් ද, ගාමන්තසෙනාසනය පටන් ද, දෙකට සනක් තැන් හැර එතැන් පටන් නවවියත් දුන්න වියතක් ගැඹුරු වන සේ නඟා එයින් පන්සියයක් දුන්නෙන් අන්තිම වූ ආරණ්‍යයෙහි හැම කල ම වැස අරුණු නැඟිය යුතු, මධ්‍යමයා වැසිසාරමස්හි ග්‍රාමාන්තසෙනස්නෙහි වසන්නේ ය, මෘදුකයා හෙමන්ත ගිම්හ අටමස්හි ග්‍රාමාන්තසෙනායෙහි වසන්නේ ය. මෙම තුන්දෙනා ම වනයෙන් අවුත් ග්‍රාමයෙහි බණ අසන කලද, අසා යන කල ද අතරමඟ අරුණු නැඟුව ධුතාංගය නො බිඳේ.

‘ඡන්නං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘රුක්ඛමූලිකංගං සමාදියාමි’ යි කියා හෝ සමාදන් වූ රුක්ඛමූලිකයා විසින් සීමා අතුර පිහිටි වෘක්ෂය ද, චෛත්‍යවෘක්ෂය ද, ලහටු බසින වෘක්ෂය ද, ආම්‍ර‍පනසාදී ඵලවෘක්ෂය ද, වවුලන් ලගින වෘක්ෂය ද, මහත් සිදුරු ඇති වෘක්ෂය ද, විහාරමධ්‍යයෙහි පිහිටි වෘක්ෂය ද යන මෙ කී රුක් හැර විහාර කෙළවර පිහිටි රුකක් ගත යුත්තේ ය. උත්කෘෂ්ටයා විසින් තමාහට රිසියෙන රුකක් ගෙණ අනුන් ලවා පිළියෙළ කරවා නො ගත යුතු ය. පයින් පරඬලා කසළ පහ කොට ගෙණ විසිය යුතු ය. මධ්‍යමකයා එතැනට පැමිණියවුන් ලවා පිළියෙල කරවා ගෙණ වසන්නේ ය, මෘදුකයා විසින් ආරාමික සාමණෙරාදීන් කැඳවා ගෙණ පිරිසිදු කොට සම කරවා වැලි අතුරුවා පවුරු බඳවා දොර යොදවා ගෙණ විසිය යුත්තේ ය. වෙහෙර මහත් පූජා දවස් රුක්ඛ මූලිකයා විසින් ඒ රුක් මුලින් පහ ව අන් තැනෙක සැඟ වී ඉන්ද යුත්තේ ය. මේ තුන්දෙන ම පොහෝ පවුරුණු ආදි ප්‍රයෝජනයකින් විනා ඡන්න[17] ස්ථානයෙක වාසය කළ කෙණෙහි ධුතාංගය බිඳේ. දැන දැන අන් තැනෙක අරුණු නැඟු ව ධුතාංගය බිඳේ.

‘ඡන්නං ච රුක්ඛමූලං ච පටික්ඛිපාමි’ යන පදය (454) කියා හෝ ‘අබ්භොකාසිකංගං සමාදියාමි’ කියා හෝ අබ්භොකාසිකංගය[18] සමාදන් විය යුත්තේ ය. ඒ ධුතාංගය පුරණ මහණහු විසින් බණ ඇසීම් ආදී ප්‍රයෝජනයක් ඇද්ද, අනුන්ගේ පිරිකර ආදිය ගන්නා ලදු ව ද පලසෙවණි ඡන්නයට යන්ට වටී. වන් කෙණෙහි වැසි වසී නම් වැසි වළක්නා තෙක් ද හිඳ යා යුතු. මහලු සඟුන්ගේ පිරිකර ගන්නා ලද්දේ වී නම්. මග දී වැසි ආ නම් ම සිට ශාලාවට යන්ට වටී. තමා අත මහල්ලන්ගේ පිරිකරත් නැත් නම් වේගයෙන් නො ගොස් ප්‍ර‍කෘති ගමනින් ශාලාවට ගොස් වැසි නිමි කල යා යුතු. රුක්ඛමූලිකයාහටත් මෙසේ මැ යි. උත්කෘෂ්ටයා විසින් වෘක්ෂමූල පර්වත ගෘහයන් නිසා වාසය නො කොට අබ්භ්‍යවකාශයෙහි සිවුරුකුටියක් කොට ගෙණ විසිය යුතුය. මධ්‍යමකයා වෘක්ෂ පර්වත ගෘහයන් නිසා ද දිය හෙළුමෙන් ඇතුළට නො වැද වසන්නේ ය. මෘදුකයාහට නො සුන් දියකටාර ඇති පර්වතතැලුදු කොළමඬු ද පිටි ගෑ පිළී ද එතන තිබූ ගොවියන් හැර ගිය පැල් ද සොහොන් ගෙවුලුදු වටී. මෙතුන්දෙනා ම වාසය පිණිස ඡන්නයකට හෝ වෘක්ෂමූලයකට හෝ වන් කෙණෙහි ධුතාංගය බිඳේ. අප්‍රයොජනය පිණිස වන්නාහු දැන දැන අරුණු නැඟුව ධුතාංගය බිඳේ.

‘සුසානං පටික්ඛිපාමි’ යි කියා හෝ ‘සොසානිකංගං සමාදියාමි’ කියා හෝ සමාදන් වු සොසානිකංගයා විසින් සොහොන්හි සක්මන් මණ්ඩපාදි කොට නො විසිය යුතු. ඇඳ පුටු පණවා නො ඉන්ද යුතු. පැන් නඟා නො තැබිය යුතු. බණ කියමින් ද නො ඉන්ද යුතු. අමනුෂ්‍යයන්ට ප්‍රිය වූ තල මෑ පිටි ආදියෙන් කළ භොජනය ද දියෙහි ගොඩෙහි මස් ද. කිරිතෙල් සකුරු ආදිය ද නො වැළඳිය යුතු. කුලගෙට නො වැද්ද යුතු. මේ ධුතාංගය මහත් ගරු බැවින් පැමිණි උවදුරක් දුරු කරණ පිණිස තමා වසන වෙහෙර මහතෙරුන්ට හෝ ග්‍රාමභොජකජ්‍යෙෂ්ඨයක්හට හෝ තමා සොහොන්හි වසනබව දන්වා මැදියන්යම්හි මහමග හැර කුඩා යසරකින් සොහොනට එළඹ සිටිය මනා තන්හි සිට ඇස් කෙළවරින් දැවෙන මිනී ද, බලු කැණහිල් ආදීන් විසින් කන මිනී ද, මස් කා දැමූ ඇට සැකිලි ද, බලබලා භාවනා කොට සක්මන් කෙරෙමින් යකුන් හඬ තළා සොහොන්හි ඇවිදින්නවුන් කිසිවකින් නො තළා මැදුම්යම් ගෙවා සොහොනින් නැඟී වෙහෙරට යා යුතු. එක් දවසකුදු සොහොනට නො යන්නට නො වටී. උත්කෘෂ්ටයා විසින් හැමකල ම දවන මිනීකුණප හා හැඬීම් ඇති සොහොන්හි විසිය යුතු. මධ්‍යමයා විසින් නිති මිනීදැවීම් ද කුණු වැගිරෙන කුණප දවාලීම් හැඬීම් යන තුණින් එකකින් යුක්ත වූ සොහොන්හි විසිය යුතු. මෘදුකයා දොළොස්අවුරුද්දකින් යට දැවූ මිනී ඇති සොහොන්හි වසන්නේ ය. මේ තුන්දෙන ම සොහොන්හි එක් රැයකුදු නො ගිය ධුතාංගය බිඳේ.

‘සෙනාසනලොලුප්පං පටික්ඛිපාමි’ කියා හෝ ‘යථාසන්ථතිකංගං සමාදියාමි’ කියා හෝ යථාසන්ථතිකංගංය සමාදන් වූවාහු විසින් ‘මේ සෙනස්න තොපට පැමිණෙ’ යි කිව එයින් ම සතුටු විය යුතු. අනික් සෙනස්නක් නො පැතිය යුතු. උත්කෘෂ්ටයා තමහට පැමිණි සෙනාසනය දුර ය යි කියා (455) හෝ ඉතා ලඟ ය යි කියා හෝ අමනුෂ්‍යපරිගෘහිත ය යි කියා හෝ නයි ආදීන්ගෙන් උපද්‍ර‍ව ඇතැ යි කියා හෝ උෂ්ණ ය යි කියා හෝ සීතල ය යි කියා හෝ විචාරන්නට නො ලැබෙන්නේ ය. මධ්‍යම තෙම විචාරන්නට ලබන්නේ ය. ගොස් බලන්නට නො ලබන්නේ ය. මෘදුකයා ගොස් බලා ඉදින් නො කැමැති වුව, ඒ ඇර අනුන්ට නො පැමිණි සෙනස්නක් ගන්නට ද වටනේ ය. මේ තුන්දෙනාගේ ම සෙනාසන ලොභය උපන් කෙණෙහි ධුතාංගය බිඳේ.

‘සෙය්‍යං පටික්ඛිපාමි’ කියා හෝ ‘නෙසජ්ජිකංගං සමාදියාමි’ කියා හෝ නෙසජ්ජිකාංගය සමාදන් විය යුතු. මේ අංගය පුරණ මහණහු විසින් රෑ තුන්යමින් එකක් සක්මන් කට යුතු. සතර ඉරියව්වෙන් හෝනා ඉරියව්ව ම නො වටී. උත්කෘෂ්ටයාහට පිට අටුව ද සිවුරෙන් අකවටුව ද යොගිපටිය ද යන මෙහිත් වැතිර හිඳින්නට නො වටී. මධ්‍යමයාහට සිවුරෙන් පිටඅටුව සිවුරෙන් අකවටුව යොගිපටිය යන මෙයින් එකක් වටී. මෘදුකයාහට මෙකී තුණ ද කොට්ටය ද පඤ්චාංගසංඛ්‍යාත වූ එක් දෙසෙකින් පිට ලෑල්ල සදා කළ ආසනය ද සත්තංග සංඛ්‍යාත වූ තුන් දෙසෙකින් ලෑලි සදා කළ ආසනය ද වටී. මේ තුන්දෙන ම සෙය්‍යාව කළ කෙණෙහි ධුතාංගය බිඳෙන්නේ ය. මෙසේ මධ්‍යමොත්කෘෂ්ට හීන වශයෙන් එකුන්සතළිසක් ප්‍රභෙදගත වූ තෙළෙස්ධුතාංග පුරන්නා වූ බුද්ධානුශාසනා කාරක වූ සංසාරභීරුකගුණභූෂණයන් වහන්සේලා ම සියලු ම සර්වඥශාසනික වූ ලෞකිකලොකොත්තර ගුණධර්මයට හිමි වෙත්.

“මහරජානෙනි, යම් සේ මහත් වූ පටුනුගමෙක්හි නිරවශෙෂ කොට අය ගැණීමෙන් යහපත් කොට කරණ ලද සුංක ඇත්තා වූ මහත් ධන ඇති සමුද්‍ර‍නාවිකයෙක්තෙම නො ලත් අමුත් වස්තු උපදවන පිණිස තමාගේ පිරිවර සහිත ව නැවින් මහාසමුද්‍ර‍යට ප්‍ර‍විෂ්ට ව කැමැති නම් වගුරටට හෝ තක්කොල රටට හෝ හෝ චීනදෙශයට හෝ සොවීරරටට හෝ සෞරාෂ්ට්‍ර‍යට හෝ අලසන්දාවට හෝ කොලපටුනට හෝ ස්වර්ණභූමියට හෝ යන්නේ ය. නැවින් හැසිරිය යුතු වූ යම් කිසි අනික් රටකට හෝ යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පූර්වයෙහි ආසෙවිත වූ නිෂෙවිත වූ පුරුදු වූ හාත්පසින් පුරුදු කරණ ලද්දා වූ හැසුරුණා වූ පුදන ලද්දා වූ පුරණ ලද්දා වූ හාත්පසින් පුරණ ලද්දා වූ මේ තෙළෙස්ධුතාංගයෙන් සියලු ම ශ්‍ර‍මණබව ලබන්නේ ය. සියලු ම ශාන්තසුඛ ප්‍ර‍ණීත වූ සමාපත්තීහු ඔහු අයිති වෙත්. තව ද මහරජානෙනි, යම් සේ කෘෂිකාර්මිකපුරුෂතෙම පළමු කොට ක්ෂේත්‍රදොෂ වූ තෘණ කාෂ්ට ගල්ගෙඩි පහ කොට සීසා වපුට මනා කොට උදක ප්‍රවෙශ කොට පැල් තනා රැක බලා ගොපනය කොට ගොයම් කපා මැඩ ගැණීමෙන් බහුධාන්‍යක වන්නේ ය. යම් කිසි අධන කෘපණ දිළිඳු දුර්ගත ජන කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ ම බහු ධාන්‍යක පුරුෂයා අයිති වන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පූර්වයෙහි ආසෙවිත නිෂෙවිතාදීන් භාවිත බහුලීකෘත කරණ ලද්දා වූ මේ තෙළෙස්ධුතාංගයෙන් සියලු ම ශ්‍ර‍මණගුණය ලබන්නේ ය. සියලු ම ශාන්තසුඛප්‍ර‍ණීත වූ (456) සමාපත්තීහු ඔහු අයිති වෙත්. තවද, මහරජානෙනි, යම් සේ උභයකුල පරිශුද්ධතාවෙන් උපන් විශුද්ධරාජවංශ ඇත්තා වූ ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක වූ ක්ෂත්‍රියමහරජතෙම ඡෙද්‍ය භෙද්‍ය ජනානුශාසනයෙහි ඊශ්වර වන්නේ ය. සියලු ජනයන් තමා වසඟයෙහි පවත්වන සුලු වන්නේ ය. සියලු ජනපදයට ස්වාමි වන්නේ ය. සියල්ලන් අභිභවනය කොට තමන් කැමැත්තක් කරන්නට හැකි වන්නේ ය. සියලු ම මහාපෘථිවිතලය ඔහු අයිති වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පූර්වජාතියෙහි ආසෙවනය කළා වූ පුරුදු කළා වූ හාත්පසින් පුරුදු කළා වූ හැසුරුණා වූ ප්‍ර‍තිපත්තිපූජා ලෙසින් හැසුරුණා වූ පරිපූරණය කළා වූ මේ තෙළෙස්ධුතාංගගුණ ඇති මහණතෙම මේ ජිනෙන්ද්‍ර‍ ශාසනවරයෙහි ඊශ්වර වන්නේ ය. සියලුදෙන වසඟයෙහි පවත්වන සුලු වන්නේ ය. සියලුදෙනාහට ස්වාමි වන්නේ ය. තමාහට කැමැති දෑ කරණ සුලු වන්නේ ය. සියලු ම ශ්‍ර‍මණගුණයෝ ඔහු අයත් වන්නාහු ය.

“මහරජානෙනි, වංගත්තබ්‍රාහ්මණයාගේ පුත්‍ර‍ වූ උපසෙනස්ථවිරයන් වහන්සේ සල්ලෙඛ[19] ප්‍ර‍වෘත්තියෙහි හා ධුතගුණයෙහි පරිපූරකාරි වන බැවින් ‘විවෙකයෙහි වැඩ වසන බුදුන් ලඟට පිණ්ඩපාතය ගෙණ යන නමක් හැර සෙසු ගිය කෙනෙක් ඇත්නම් පචිති ආපත්ති ය’ යි කියා සම්මත කළා වූ සැවැත්නුවර සංඝයාගේ කතිකාව නො ගෙණ තමන් වහන්සේගේ සුවිනීත වූ පන්සියයක් පමණ පිරිවර සහිත ව විවෙකයෙහි වැඩ වාසය කර වදාරන්නා වූ නරදම්‍යසාරථි වූ ලොවුතුරා බුදුන් කරා එළඹ බුදුන්ගේ ශ්‍රීපාදද්වන්දය සිරසින් වැඳ දොහොත් නඟා එකත්පසෙක හුන්සේක් නො වේ ද? ඒ සර්වඥරාජොත්තමයානන් වහ්නසේ ද, ඒ සුවිනීත වූ යහපත් පිරිස බලා වදාරා හෘෂ්ට තුෂ්ට ප්‍ර‍මුදිත ඔදවැඩියා වූ සිත් ඇතිසේක්, ඒ පිරිස හා සමග දුක්සැප විචාරමින් කථාසල්ලාපය කොට නිමවා කුරවීකනාද ප්‍ර‍තිභාග වූ අසම්භින්න වූ බ්‍ර‍හ්මස්වරයෙන් මේ මතු පහළ වන මධුර වූ කථාව වදාළසේක. ‘පාසාදිකා ඛො පනායං උපසෙන පරිසා. කථං ත්වං උපසෙන පරිසං විනෙසී’ යි ‘උපසෙනය, තොපගේ මේ අන්තෙවාසික පිරිස වනාහි ඉතා ප්‍ර‍සාදවහ වූහ. උපසෙනය, තෙපි කවර ප්‍ර‍කාරයකින් මේ පිරිස හික්මවාලූවා ද?’ යි විචාරා වදාළසේක. මෙසේ දෙවාතිදෙව වූ දශබලධාරී වූ සර්වඥයන් වහන්සේ විසින් විචාරණ ලද්දා වූ ඒ උපසෙනස්ථවිරතෙම ද විද්‍යමාන වූ ස්වභාව ගුණයෙන් ම භාග්‍යවතුන් වහන්සේට මේ මතු පහළ වන කථාප්‍ර‍වෘත්තිය සැළකළසේක. ‘ස්වාමීනි, ලොවුතුරා භාග්‍යවත් සර්වඥරාජොත්තමයානන් වහන්ස, යම් කිසිවෙක් මා කරා එළඹ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව හෝ නිස හෝ ඉල්වා සිටින්නේ වී නම්, ඕහට ‘ඇවැත්නි, මම වනාහි ආරණ්‍යකයෙමි. පිණ්ඩපාතිකයෙමි. පාංසුකූලිකයෙමි, තෙචීවරිකයෙමි. ඉදින් තෙපි දු ආරණ්‍යක වන්නහු නම්, පිණ්ඩපාතික වන්නහු නම්, පංසුකූලික වන්නාහු නම්, තෙචීවරික වන්නහු නම්, මෙසේ වන්නා වූ තා මම පැවිදි කෙරෙමි. නිස දෙන්නෙමි’ යි කියා මෙසේ කියමි. ස්වාමීනි, ඉදින් ඒ පුරුෂතෙම මාගේ වචනය අසා එහි සතුටු (457) වේ ද, ඇලේ ද, මෙසේ මම ඔහු පැවිදි කෙරෙමි. නිස දෙන්නෙමි. ඉදින් සතුටු නො වේ ද, (සිත) නො අලවා ද, ඔහු පැවිදි නො කෙරෙමි. නිස නො දෙමි. ස්වාමීනි, මෙසේ මම පිරිස හික්මවාලමි’ යි සැළ කළසේක.

“මහරජානෙනි, මෙසේ ධුතගුණවරසමාදානයෙන් යුක්ත වූ මහණුන් වහන්සේ සර්වඥශාසනයෙහි ඊශ්වර වනසේක. සියල්ලන් වසඟයෙහි පවත්වන සුලු වන්නහු ය. සියල්ලන්ට ස්වාමි වන්නහු ය. ශාසන ප්‍ර‍තිරූප වූ කැමැති දෑ කරණ සුලු වනසේක. ශාසනික සියලු ම ශාන්ත සුඛ ප්‍ර‍ණීත වූ සමාපත්තීහු ඔහු අයිති වන්නාහු ය. මහරජානෙනි, අභිවෘද්ධිපරිශුද්ධශ්‍රෙෂ්ඨජාතයෙන් හට ගන්නා වූ පද්මය යම් සේ ඉතා සිනිඳු වේ ද, මෘදු වේ ද, ලොභනීය වේ ද, සුවඳ ඇති වේද, ලොකයාහට ප්‍රිය වේ ද, ප්‍රාර්ථිත වේ ද, ප්‍ර‍ශස්ත වේ ද, උදක කර්දමය හා අනුලිප්ත වේ ද, මනා කොට පැමිණි කෙසරුකර්ණිකායෙන් සැරහෙන ලද වේ ද. අනෙකවිධභ්‍ර‍මරගණයා විසින් සෙවනය කරණ ලද වේ ද, සීතලොදකයෙන් වර්ධනය වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම මීට පූර්වජාතියෙහි ආසෙවනය කළා වූ නිෂෙවනය කළා වූ පුරුදු කළා වූ හාත්පසින් පුරුදු කළා වූ හැසුරුණා වූ පිදීම් වශයෙන් හැසුරුණා වූ සම්පූර්ණ කළා වූ මේ තෙළෙස්ධුතාංගගුණයෙන් ආර්යශ්‍රාවකතෙම උතුම් තිස්ගුණධර්මයකින් යුක්ත වනසේක.

“කතමෙහි තිංසගුණවරෙහි-සිනිද්ධ මුදු මද්දව මෙත්ත චිත්තො හොති-පෙ-ඉමෙහි තිංසගුණවරෙහි සමුපෙතො හොති” යි.[20]

කවර නම් තිස්ගුණවරයකින් ද? යත්- සිනිඳු මෘදු මොළොක් වූ මෛත්‍රීසිත් ඇති වන්නේ ය, ඝාතික හත විහත ක්ලේශයන් ඇති වන්නේ ය, නසන ලද දුරු කරණ ලද මානදර්ප ඇති වන්නේ ය, අචල ව දැඩි ව පිහිටියා වූ නිර්වෙමතිකශ්‍ර‍ද්ධාව ඇති වන්නේ ය, පරිපූර්ණ වූ සම්පූර්ණ වූ සන්තොෂජනක වූ ලොභනීය වූ රූපාරූපසමාපත්තිලාභී වන්නේ ය, (458) ශීලවරප්‍ර‍වරාතුල්‍යපවිත්‍ර‍සුගන්ධයෙන් ව්‍යාප්ත ව වැඩෙන ලද වන්නේ ය, සකල දිව්‍යමනුෂ්‍යයන්ට ප්‍රිය මනාපවන්නේ ය, ක්ෂීණාශ්‍ර‍වවරාර්යපුද්ගලයන් විසින් ප්‍රාර්ථිත වන ලද්දේ ය, දිව්‍යමනුෂ්‍යයන් විසින් ප්‍රෙමභරිත ව නමස්කාර කරණ ලද්දේ ය, දිව්‍යමනුෂ්‍යයන් විසින් යථා ශක්තීන් පුදන ලද්දේ ය, සුබුද්ධික විබුධ පණ්ඩිතජනයන් විසින් ස්තුත ප්‍ර‍ශස්ත කරණ ලද වන්නේ ය, මෙලොව හෝ පරලොව හෝ ලෝකයා හා නො ඇලෙන ලද වන්නේ ය, ඉතා කුඩා වූ අල්පස්වල්ප වරදෙහි දු භය දක්නා සුලු වන්නේ ය, මහත් වූ උතුම් සම්පත් කැමැත්තවුන්ට මාර්ගඵල නමැති උතුම් ධනය සාධනසේක, අරාධනාවෙන් දෙන ලද මහත් ප්‍ර‍ණීත ප්‍ර‍ත්‍යයට භාගි වනසේක, අනිකෙතසයන වනසේක, ස්වචිත්තයෙන් තොර නො කොට උපනිධ්‍යානය කරණ ලද ධ්‍යාන හා කෙලෙසුන් තවන උතුම් වීර්යයෙන් යුක්ත වූ විහරණය ඇතිසේක, අවුල් හරණ ලද ක්ලේශ ජාල වස්තූන් හා බිඳින ලද්දා වූ භග්න කරණ ලද්දා වූ හකුළුවන ලද්දා වූ සිඳින ලද්දා වූ පඤ්චමහාගතීන් හා පඤ්චනීවරණයන් ඇතිසේක, අකොප්‍ය වූ ලොකොත්තරධර්මයන් ඇතිසේක, ගුණානුභාවයෙන් පමුණුවන ලද දශවිධ ආර්යවාස ඇතිසේක, අනවද්‍ය වූ ප්‍ර‍ත්‍යපරිභොග ඇතිසේක, පඤ්චගතියෙන් මිදුනසේක, එතෙර වන ලද බුද්ධාදී අටතන්හි උපදනා සියලු විචිකිච්ඡාවන් ඇතිසේක, අර්හත්ඵලාධිගමය උපනිධ්‍යානය කරණ ලද ආත්මය ඇතිසේක, දක්නා ලද චතුස්සත්‍යධර්මයන් ඇතිසේක, අචල වූ දෘඪ වූ භයින් ගැලවෙන රක්ෂාස්ථානයට එළඹෙනසේක, අර්හන්මාර්ග ඥාන නමැති ශස්ත්‍රයෙන් මූලොච්ඡින්න කරණ ලද කාමරාගානුශයාදි සත්තානුසයන් ඇතිසේක, සර්වාශ්‍ර‍ව ක්ෂයට පැමිණිසේක, සාන්තසුඛ සමාපත්ති විහරණය බහුල කොට ඇතිසේක, සියලු ම ශ්‍ර‍මණගුණයෙන් උපලක්ෂිත වනසේක, ධුතාංගසෙවනය කළ ආර්යශ්‍රාවකතෙම මේ තිස් ගුණවරයෙන් උපලක්ෂිත වනසේක.

“මහරජානෙනි, සකලලොකාචාර්ය වූ දශබලධාරි වූ සර්වඥයන් වහන්සේ හැර දශසහශ්‍රීලොකධාතුයෙහි වසන්නා වූ සියලු සත්වයන්ට ශාරීපුත්‍ර‍ස්ථවිරයන් වහන්සේ අග්‍ර‍පුරුෂ වූසේක් නො වේ ද? ඒ සැරියුත් මහාස්ථවිරයන් වහන්සේ ද අප්‍රමෙය වූ අසංඛෙය්‍යගණන් කල්පයෙහි රැස් කරණ ලද කුශලමූලයන් ඇතිසේක්, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ඉපද ශ්‍රෙෂ්ඨ වූ බ්‍රාහ්මණවංශ ඇතිසේක් මනොරම්‍ය වූ පඤ්චකාමසම්පත්තිය ද අනෙකසියදහස්ගණන් වරධනසම්භාරය ද හැර ප්‍ර‍ඥාසාරධනය ම විජයධ්වජය කොට නඟා ගෙණ පරිබ්‍රාජකවෙශයෙන් දඹදිව්තලෙහි නුවණැත්තන් විමසා ඇවිදිමින් අස්සජීමහතෙරුන් වදාළ සද්ධර්මගාථාව අසා ජිනෙන්ද්‍ර‍ශාසනයෙහි පැවිදි ව මේ තෙළෙස්ධුතාංගගුණයෙන් කාය වාක් චිත්තය දමනය කොට ගෙණ අද දැන් දක්වා අනන්තගුණසමන්නාගත වූසේක්, ගෞතම සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි සද්ධර්ම චක්‍ර‍ය නො හැර පවත්වන සද්ධර්මසෙනාධිපති වූසේක. මහරජානෙනි, ධර්මසංගීතිකාරක වූ මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ විසින් සත්රුවන් භාණ්ඩාගාරයෙක්හි රාජමුද්‍රා නඟන මහාමාත්‍යයෙකු මෙන් (459) උතුම් ධර්මරාශියෙහි අංගොත්තරනිකාය ය යි කියා ධර්මමුද්‍රාව නගන ලද්දේ ය. ඒ අංගොත්තරනිකායට අන්තර්ගත වූ එකකනිපාතයෙහි දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, තථාගත වූ බුදුරජ වූ මා විසින් පවත්වන ලද්දා වූ අනුත්තර වූ ධර්මචක්‍ර‍ය යමෙක් මනා කොට අනු ව පවත්වා ද, ශාරීපුත්‍ර‍යන් හැර එබඳු වූ අනික් එක ම පුද්ගලයෙකුදු නො දක්නෙමි. මහණෙනි, ශාරීපුත්‍රතෙම තථාගතයන් විසින් පවත්වන ලද්දා වූ අනුත්තර වූ සද්ධර්මචක්‍ර‍ය මනා කොට ම අනු ව පවත්වන්නේ ය’ යි කියා මේ ධුතගුණය ම ශ්‍රෙෂ්ඨබව වදාරණ ලද්දේ ය” යි වදාළසේක.

“සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් ස්ථවිරොත්තමයානන් වහන්ස, යම්කිසි නවාංගශාස්තෘවචනයෙක් ඇද්ද, යම් ඒ ලොකොත්තර ක්‍රියාවෙක් ඇද්ද, ලොකයෙහි යම් අධිගම විපුලවර සම්පත්තියෙන් ඇද්ද, ඒ සියල්ල තෙළෙස්ධුතාංගගුණයෙහි ම ඇතුළත් වීමට පැමිණියේ ය” යි කියා ස්තොත්‍ර‍ කළහ.

ධුතාංගානිසංසප්‍ර‍ශ්නය නිමි.

නවවැනි වර්ගය නිමියේ ය.

  1. නැත්තේ ය

  2. නො දැනෙන්නේ ය

  3. නො දැනෙන්නේ ය

  4. තැනින් සිදුරු දැක

  5. ‘සතුරුපුරුෂාකාරයෙන් මල් අල්වා’ යන මෙය ‘පච්චත්තපුරිසකාරෙන යන්නෙහි අර්ථය නො වේ.

  6. අර්ථ ගුණ කථා

  7. නො වන්නේ ය.

  8. ‘තොපට’ යනාදි පාඨය “කතමෙන තෙ පරියායෙන අනුයොගං දම්මි” යන පාලි පාඨයෙහි පරිවර්තනය වුවත් අදහස පැහැදිලි නො වේ. “කවර ලෙසකින් තොපට ප්‍ර‍ශ්න විචාරීම දෙම් ද?” යනු පාලිපාඨයෙහි අදහස යි.

  9. සම්පූර්ණ පාලිපාඨය පාලි මිලින්‍ද පඤ්හයෙහි 281 වන පිටුවෙහි පෙණේ.

  10. සම්පූර්ණපාඨය පාලිමිලින්‍ද පඤ්හයෙහි 281, 282 වන පිටුවල පෙණේ.

  11. ජනයක

  12. සම්පූර්ණ පාලිපාඨය පාළි මිලින්‍ද පඤ්හයෙහි 283 වන පිටුවෙහි පෙණේ.

  13. සම්පූර්ණ පාලිපාඨය මිලින්‍ද පඤ්හයෙහි 284 වන පිටුවෙහි පෙණේ.

  14. පාළිමිලින්‍දපඤ්හයෙහි 286 වන පිටුවෙහි සම්පූර්ණ පාඨය පෙණේ.

  15. පාළිමිලින්‍දප්‍ර‍ශ්නයෙහි 287 වන පිටුවෙහි සම්පූර්ණපාඨය පෙණේ.

  16. සම්පූර්ණ පාළිපාඨය වුව මනා අය පාළිමිලින්‍ද පඤ්හයෙහි 287 වන පිටුව බැලිය යුතු.

  17. විතානච්ඡත්ත

  18. රුක්ඛමූලිකංගය

  19. සැහැල්ලුක

  20. සම්පූර්ණ පාලිපාඨය පාළිමිලින්‍ද පඤ්හයෙහි 289 වන පිටුවෙහි පෙණේ.