යොගි කථා ප්‍ර‍ශ්නය

නැවත ද ශ්‍ර‍ද්ධා ශීල ශ්‍රැත ත්‍යාග ප්‍ර‍ඥා යන පඤ්චධර්මයන්ගෙන් යුක්ත වූ සකල පෘථිවිතලතිලකායමාන වූ මිලිඳු මහරජානෝ සර්වවාදිවාරණ කෙශරීන්ද්‍ර‍භූත වූ නාගසෙන ස්ථවිරයන් වහන්සේගේ විචිත්‍රධර්මකථා ප්‍ර‍ශ්න ව්‍යාඛ්‍යානයෙන් සර්වඥශාසනය නෛර්යාණික ප්‍ර‍ණීතබව දැන සියලු රාජ්‍යශ්‍රීසම්පත් හා ජීවිතයෙහි ආලය හැර අර්හත්ඵලය ම උපදවනු කැමැති ව එයට නිසි ප්‍ර‍තිපත්තිය විචාරණුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කොපමණ අංගකෙනෙකුන්ගෙන් සමන්නාගත වූ භික්ෂූන් වහන්සේ අර්හත්ඵලය සිද්ධකරණසේක් දැ?” යි විචාළෝ ය.

එකල නාගසෙන ස්ථවිරපාදයෝ:-

“ඉධ මහාරාජ අරහත්තං සච්ඡිකාතුකාමෙන භික්ඛුනා. ඝොරස්සරස්ස එකං අඞ්ගං ගහෙතබ්බං, -පෙ- භමරස්ස ද්‍වෙ අඞ්ගානි ගහෙතබ්බානී” යි.[1]

(461) “මහරජානෙනි, මේ ශාසනයෙහි අර්හත්ඵලය සිද්ධ කරණු කැමැත්තා වූ භික්ෂූන් වහන්සේ විසින් ඝොරස්වරයාගේ එක් අංගයක් ගත යුත්තේ ය. කුක්කුටයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය, කලන්දකයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, දිවිදෙනගේ එක් අංගයක් ගත යුත්තේ ය, දිවියාගේ අංගදෙකක් ගත යුත්තේ ය, ඉදිබුවාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය, හුණවෘක්ෂයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, ධනුවගේ එක් අංගයක් ගත යුත්තේ ය, කාකයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, වඳුරාගේ අංගද්වයක් ගත යුත්තේ ය, ලාබුලතාවගේ එක් අංගයක් ගත යුත්තේ ය, පද්මයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, බීජයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, සල්කැලණියගේ එක් අංගයක් ගත යුත්තේ ය, නෞකාවගේ තුන් අංගයක් ගත යුත්තේ ය, නැව් බඳින සිනියගේ අංගද්වයක් ගත යුත්තේ ය, කූපයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, නාවිකයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, නැව් රක්නා කම්කරුවාගේ එක් අංගයක් ගත යුත්තේ ය, මහාසමුද්‍ර‍යාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය, මහා පෘථිවියගේ පංචාංගයක් ගත යුත්තේ ය, උදකයාගේ පංචාංගයක් ගත යුත්තේ ය, වහ්නියගේ පංචාංගයක් ගත යුත්තේ ය, වාතයාගේ පංචාංගයක් ගත යුත්තේ ය, පර්වතයාගේ පංචාංගයක් ගත යුත්තේ ය, ආකාශයාගේ පංචාංගයක් ගත යුත්තේ ය, චන්ද්‍ර‍යාගේ පංචාංගයක් ගත යුත්තේ ය, සූර්යයාගේ සප්තාංගයක් ගත යුත්තේ ය, ශක්‍ර‍යාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, චක්‍ර‍වර්තිරජ්ජුරුවන්ගේ චතුරංගයක් ගත යුත්තේ ය, වේයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, බළලාගේ අංගද්වයක් ගත යුත්තේ ය, මූෂිකයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, ගෝනුස්සාගේ එක් අංගයක් ගත යුත්තේ ය, මුගටියාගේ එක් අංගයක් ගත යුත්තේ ය, මහලු ශෘංගාලයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, මුවාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, ගවරූපයාගේ චතුරාංගයක් ගත යුත්තේ ය, සූකරයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, හස්තියාගේ පංචාංගයක් ගත යුත්තේ ය, සිංහයාගේ සප්තාංගයක් ගත යුත්තේ ය, සක්වාලිහිණියාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, (462) පෙණාහිකා ය යි කියන ලද කෑඳැත්තියගේ අංගද්වයක් ගත යුත්තේ ය, මනුෂ්‍යඝර පරෙවියාගේ එක් අංගයක් ගත යුත්තේ ය. බකබමුණු පක්ෂියාගේ අංගද්වයක් ගත යුත්තේ ය, කැහැරැල් පක්ෂියාගේ එක් අංගයක් ගත යුත්තේ ය, වවුලාගේ අංගදෙකක් ගත යුත්තේ ය, පූඩුවාගේ එක් අංගයක් ගත යුත්තේ ය, සර්පයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, පිඹුරාගේ එක් අංගයක් ගත යුත්තේ ය, මාර්ගයෙහි දැල් බඳින පන්ථකමකුළුවාගේ එක් අංගයක් ගත යුත්තේ ය, ථනය ගෙණ ක්ෂීර පානය කරණ ලදරුවාගේ එක් අංගයක් ගත යුත්තේ ය, චිත්‍ර‍කධර ඉදිබුවාගේ එක් අංගයක් ගත යුත්තේ ය, මහාවනයාගේ පංචාංගයක් ගත යුත්තේ ය, වෘක්ෂයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, මහාමෙඝයාගේ පංචාංගයක් ගත යුත්තේ ය, මාණික්‍යරත්නයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, මුවවැද්දාගේ චතුරංගයක් ගත යුත්තේ ය, මස්කෙවුලාගේ අංගද්වයක් ගත යුත්තේ ය, දඬුවඩුවාගේ අංගද්වයක් ගත යුත්තේ ය, ඝටයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, කාලායසයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, ඡත්‍ර‍යාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, ක්ෂේත්‍ර‍යාගේ අංගත්‍ර‍යක් ගත යුත්තේ ය, අගදයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, භොජනයාගේ අංගත්‍ර‍යක් ගත යුත්තේ ය, ධනුශ්ශිල්පියාගේ චතුරංගයක් ගත යුත්තේ ය, රජදරුවන්ගේ අංගසතරක් ගත යුත්තේ ය, දොරටුපාලයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, දාගලෙහි එක් අංගයක් ගත යුත්තේ ය, ප්‍ර‍දීපයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, මයූරයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, අශ්වයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, සුරාසොණ්ඩයාගේ අංගදෙකක් ගත යුත්තේ ය, ඉන්ද්‍ර‍ඛීලයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, තුලාවගේ එක් අංගයක් ගත යුත්තේ ය, ඛඞ්ගයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, මත්ස්‍යයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, නයගැති පුරුෂයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, රොගාතුරයාගේ අංගදෙකක් ගත යුත්තේ ය, උම්මත්තයාගේ[2] අංගදෙකක් ගත යුත්තේ ය, ගංගාවගේ අංගදෙකක් ගත යුත්තේ ය, වෘෂභයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, මාර්ගයාගේ අංගදෙකක් ගත යුත්තේ ය, සුංකසායිකයාගේ[3] එක් අංගයක් ගත යුත්තේ ය, චෞරපුරුෂයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, පක්ෂීන් අනුභව කරන්නා වු සකුණග්ඝි නම් පක්ෂියාගේ එක් අංගයක් ගත යුත්තේ ය, සුනඛයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, වෛද්‍යාචාරියාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, ගර්භිණියගේ අංගද්වයක් ගත යුත්තේ ය, සෙමරියගේ එක් අංගයක් ගත යුත්තේ ය, කිරලියගේ අංගද්වයක් ගත යුත්තේ ය, පරෙවිධෙනුවගේ තුන් අංගයක් ගත යුත්තේ ය, එක් ඇසක් ඇති පුරුෂයාගේ අංගද්වයක් ගත යුත්තේ ය, කෘෂිකර්මකපුරුෂයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, ජම්බුක නම් ශෘගාලියගේ එක් අංගයක් ගත යුත්තේ ය, රදවුන්ගේ අළු පෙරණ පෙරහන්කඩෙහි අංගද්වයක් ගත යුත්තේ ය, සැන්දේ එක් අංගයක් ගත යුත්තේ ය. නය සාධකයාගේ තුන් අංගයක් ගත යුත්තේ ය, අනවිචිනයාගේ එක් අංගයක් ගත යුත්තේ ය. රථාචාර්යයාගේ අංගදෙකක් ගත යුත්තේ ය. භොජකයාගේ අංගදෙකක් ගත යුත්තේ ය, සන්නාලියාගේ (463) එක් අංගයක් ගත යුත්තේ ය, නාවිකයාගේ එක් අංගයක් ගත යුත්තේ ය, භෘංගයාගේ අංගදෙකක් ගත යුත්තේ ය.

දෙසියතිස්හතරඅංගයක් ඇති එසියපහක් පමණ මාතෘකාපද නිමි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ඝොරස්වරයාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යම් වචනයක් වදාළසේක් ද, ඒ කවර එකාංගයක් ගත යුතු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ඝොරස්වරය ඇති ගද්‍ර‍භතෙම සංකාරස්ථානයෙහි ද සතර මංසන්ධියෙහි ද තුන් මංසන්ධියෙහි ද ගාමද්වාරයෙහි ද වීපොතු රාශියෙහි ද යම්කිසි තැනෙක වැද හෙව සයනය කෙරේ ද, නිද්‍රා බහුල නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යෙදෙන්නා වූ යොගාවචර භික්ෂූන් වහන්සේ විසින් තණ ඇතිරියෙහි හෝ පර්ණ ඇතිරියෙහි හෝ දඬුමැස්සෙහි හෝ පෘථිවියෙහි හෝ යම් කිසි තැනක සම්කඩ අතුරා ගෙණ සයනය කළ යුත්තේ ය. නිද්‍රා බහුල නො විය යුත්තේ ය. මහරජානෙනි, කොටළුවාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ සයනය බහුල නො විය යුතු කාරණය දෙවාතිදෙව වූ අප තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ විසින්:-

කලිඞ්ගරුපධානා භික්ඛවෙ එතරහි මම සාවකා විහරන්ති අප්පමත්තා ආතාපිනො පධානස්මිං’ යි.

‘මහණෙනි, දැන් මාගේ ශ්‍රාවකයෝ නිරර්ථක වූ දරකඩ ම හිස තබන කන්වයින් කොට ගෙණ ක්ලේශයන් තවන වීර්යයෙන් යුක්ත ව සම්‍යක්ප්‍ර‍ධාන වීර්යයෙහි අප්‍ර‍මාද ව වාසය කරන්නාහු ය’ යි කියා වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, මේ කාරණය ශාරී නම් බ්‍රාහ්මණ දෙවීන්ගේ පුත්‍ර‍ වූ සද්ධර්මසෙනාධිපති වූ ථෙරසාමීන් වහන්සේ විසින් ද,

‘පල්ලඞ්කෙන නිසින්නස්ස-ජණ්ණුකෙනාභිවස්සති,

අලං ඵාසු විහාරාය-පහිතත්තස්ස භික්ඛුනො’ යී.

‘භාවනානුයොගයට පල්ලංකයෙන් හුන්නහුගේ උභය ජාණුකයෙහි වැසි වැස නො තෙමේ නම්, නිවන් පිණිස මෙහෙයන ලද ආත්මය ඇත්තා වූ භික්ෂුහට සැප විහරණය පිණිස පමණ ය’ යි කියා වදාරණ ලද්දේ යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘කුකුළාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ කුකුළුතෙම සන්ධ්‍යා කාලයෙහි වේලාපස ම ලැග්මට එළඹෙන්නේ ය. විවෙකි වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සමථවිදර්ශනායොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් ඒ ඒ කාලයට නිසි වූ වෙලායෙහි ම විහාර චෛත්‍යාංගණ හැමද වැළඳිය යුතු වූ පැන් පරහා නඟා තබා ශරීරයෙහි විඩා හැර මදක් සැතපී ශරීරප්‍ර‍තිජග්ගනය කොට පැන් නහාපියා සකසා හැඳ චෛත්‍යාදිය වැඳ වැඩිමහලු භික්ෂූන් දන්නා පිණිස ගොස් සමු ගෙණ කල් වේලායෙහි ජනශූන්‍යාගාරයට ප්‍ර‍විෂ්ට විය යුත්තේ ය. මහරජානෙනි, කුක්කුටයාගේ මේ පළමු වන අංගය ගත යුත්තේ ය. නැවත ද, මහරජානෙනි, කුකුළු තෙම කල් (464) වේලා නො වරදවා ම අලුයම සත්පැයින් අඬ ලා අරුණු බලා හිඳ ලැග්මෙන් නැඟිටී ද, මහරජානෙනි, එපරිද්දෙන් ම භාවනානුයොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් කල් වේලායෙහි ම අරුණට පළමු ව නැඟිට දැහැටි වළඳා උදය ම චෛත්‍යාංගණාදිය හැමද වළඳන පැන් පරිභොජනීය වූ පැන් පරහා නඟා තබා ශරීරය ප්‍ර‍තිජග්ගනය කොට සිවුරු හැඳ චෛත්‍ය ප්‍ර‍තිමා වැඳ නැවතත් කල් ඇත ශූන්‍යාගාරයට ප්‍ර‍විෂ්ට විය යුත්තේ ය. මහරජානෙනි, කුකුළාගේ මේ දෙවෙනි අංගය ගත යුත්තේ ය. නැවත ද, මහරජානෙනි, කුකුළුතෙම පෘථිවිය පයින් ම සාර සාරා අනුභව කළ යුතු වූ ගොදුරු ගිලින්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම භාවනානුයොගී වූ යෝගාවචරයන් වහන්සේ විසින් ‘කෙළි පිණිසත් නො වළඳමි, මද වඩනා පිණිසත් නො වළඳමි, ශරීර අලංකාර පිණිසත් නො වළඳමි, පුරස්ත්‍රීන් මෙන් සැරහීම පිණිසත් නො වළඳමි. යම් තාක් මේ ශරීරයාගේ සිටීම පිණිස ද, සතරඉරියව් පැවැත්වීමෙන් යැපීම පිණිස ද, සාපිපාසාදී දුක් නසන පිණිස ද, ශාසනබ්‍ර‍හ්මචරියානුග්‍ර‍හ පිණිස ද, මෙසේ ආහාරය නො වැළඳීමෙන් වූ පුරාණ වෙදනාව නසමි. ආහාරහත්ථක අලංසාටක භුත්තවමිතක තත්‍ර‍වට්ටක කාකමාසකබමුණන් මෙන් පමණ ඉකුත් කොට වැළඳීමෙන් වන අළුත් වෙදනාවන් පමණ දැන වැළඳීමෙන් නො උපදවමි. මාගේ ජීවිතය පැවැත්වීම පිණිස වන්නේ ය. අකැප ලෙසින් නූපන් පස බැවින් නිවැරදිබව ද කර්මස්ථාන මෙනෙහි කිරීමට ආහාර වැළඳීමෙන් සැප විහරණය ද වන්නේ ය’ යි[4] මෙසේ ප්‍ර‍ත්‍යවෙක්ෂා කොට අනුභව කළ යුතු වූ ආහාරය අනුභව කළ යුත්තේ ය. මහරජානෙනි, මේ කුකුළාගේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය:-

“කන්තාරෙ පුත්ත මංසං ව-අක්ඛස්සබ්භඤ්ජනං යථා,

එවං ආහරි ආහාරං-යාපනත්‍ථාය මුච්ඡිතො” යි.

කාන්තාරමාර්ගයෙහි මාර්ගොපකරණ සිඳී දිවි රක්නට අනුභව කරණ පුත්‍ර‍මාංසයක් මෙන් ද, කාන්තාරපථයෙහි පමා ව ගමන් ගත් ගැල් අකුරෙහි තෙල් අලෙපනය කිරීම යම් සේ ද, එසෙයින් ම ක්ෂුධාවෙන් පීඩිත වූයේ ශරීරයාගේ යැපීම පිණිස ආහාරය වළඳන්නේ යි. නැවත ද, මහරජානෙනි, කුකුළාට ඇස් ඇත්තේ ද, රාත්‍රියෙහි අන්ධ වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් අනන්ධ වූයේ ම අන්ධයෙකු හා සම විය යුත්තේ ය. අරණ්‍යයෙහි ද ගොදුරුගම් හි ද පිඬු පිණිස හැසිරෙණ කල්හි ද රජනීය වූ රූප ශබ්ද ගන්ධ රසස්ප්‍ර‍ෂ්ටව්‍යධර්මයෙහි අන්ධ වූ බධිර වූ මූඪයකු මෙන් විය යුතු ය. රූපශබ්දාදිය නිමිත්තග්‍ර‍හණය නො කට යුත්තේ ය. එම රූපාදිය නැවත නැවතත් විමසීමෙන් ව්‍යඤ්ජන ග්‍ර‍හණය නො කට යුත්තේ ය. මහරජානෙනි, මේ කුකුළාගේ සතරඅංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය මහාකාත්‍යායන ථෙර ස්වාමීන් වහන්සේ විසින්:-

“චක්ඛුමස්ස යථා අන්‍ධො-සොතවා බධිරො යථා,

ජිව්හා වස්ස යථා මුගො-බලවා දුබ්බලොරිව,

අථ අත්‍ථෙ සමුප්පන්නො-සයෙථ මත්සායිකං” යි.

(465) ‘යම් සේ යොගාවචරමහරණ ඇස් ඇත්තේ ද අන්ධයෙකු මෙන් විය යුතු ය. ශ්‍රොත්‍ර‍ය ඇත්තේ ද බධිරයෙකු මෙන් විය යුතු ය. යම් සේ දිව ඇත්තේ ද ගොලුවෙකු මෙන් විය යුතු ය. බල ඇත්තේ ද දුර්බලයෙකු මෙන් විය යුතු ය. නැවැත අර්ථයක් උපන් කල්හි මනසායිකචිත්තය[5] ම නිවන් අරමුණු කොට ගෙණ සයනය කරන්නේ ය’ යි2 වදාරණ ලදී.

“නැවත ද මහරජානෙනි, කුක්කුටතෙම කැටකැබිලිති දඬු පොලු මුගුරුවලින් හෙළනු ලබන්නේ ද, තමා වසන ස්වකීය ගෘහය නො හරින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සිවුරු ගෙත්තම් කරන්නා වූ ද, නවකර්මාන්ත කරන්නා වූ ද, වත්පිළිවෙත් කරන්ාන වූ ද, පෙළ හදාරන්නා වූ ද, පෙළ කියන්නා වූ ද යොගී වූ යොගාවචරයන් වහ්නසේ විසින් යොනිසොමනස්කාරය නො හැරිය යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය වනාහි යොගාවචරයන් වහන්සේගේ ස්වකීයගෘහයෙක. හේ කවරේ ද? යත්- යොනිසොමනස්කාරය යි. මහරජානෙනි, කුක්කුටයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ද ‘මහණෙනි, භික්ෂුහුගේ ස්වකීය වූ පියන් අයත් වූ සර්වඥපියානන්ට විෂය වූ කිසි ගොචරයෙක් ඇද්ද, හේ කවරේ ද? යත්- සතරසතිපට්ඨානයෝ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. මහරජානෙනි, මේ කාරණය සද්ධර්මසෙනාධිපති වූ සැරියුත්මහතෙරුන් වහන්සේ විසින්:-

‘යථාසුප්පන්තො[6] මාතඞ්ගො-සකං සොණ්ඩං න මද්දතී,

භක්ඛාහක්ඛා විජානාති-අත්තනො වුත්තිකප්පනං.

-

තථෙව බුද්ධපුත්තෙන-අප්පමත්තෙන වා පන,

ජිනවචනං න මද්දිතබ්බං-මනසිකාරවරුත්තමං.’

‘යම් සේ සයනය කරන්නා වූ හස්තිරාජතෙම තමාගේ සොඬ නො මඩින්නේ ය. තමාගේ ජිවිකාවෘත්තිය කරන්නේ ය. භක්ෂ්‍යාභක්ෂ්‍ය දෙක දෙන්නේ ය. එපරිද්දෙන් ම ත්‍රිවිධ ශික්ෂායෙහි අප්‍ර‍මාද වූ බුද්ධපුත්‍ර‍යන් වහන්සේ විසින් මනසිකාරවරොත්තම වූ ජිනෙන්ද්‍ර‍වචනය දැන දැන නො මැඩිය යුත්තේ ය’ යි කියා මෙපවත් වදාරණ ලද්දේ ය.”

“භවත් නාගසෙනයන් වහන්ස, ‘කලන්දකයාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ලෙහෙනා සතුරු සත්වකෙනෙකුන් ලං වන කල්හි නඟුට පොළාහර මහත් කොට විදා ගෙණ ඒ නඟුටු මුගුරෙන් ම විරුද්ධසත්වයන් දුරු කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ක්ලේශසතුරුසෙනාව ලං වන කල්හි සතිපට්ඨාන නමැති පොල්ල පොළා ඒ සතිපට්ඨාන පොල්ලෙන් ම සර්වක්ලේශය ම දුරු කට යුත්තේ ය. මහරජානෙනි, ලේනාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය චුල්ලපන්ථක තෙරුන් වහන්සේ විසින්:-

“යදා කිලෙසා ඔපතන්ති-සාමඤ්ඤගුණධංසනා,

සතිපට්ඨාන ලගුඩෙන-හන්තබ්බා තෙ පුනප්පුනං” යි.

(466) ‘යම් කලෙක ශ්‍ර‍මණගුණ නසන්නා වූ ක්ලේශයෝ ලං ව එද්ද, එකල සතිපට්ඨානපොල්ලෙන් නැවත නැවත ඒ ක්ලේශය නැසිය යුත්තේ ය’ යි කියන ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘දිවිදෙනගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යම් වචනයක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ දිවිදෙන එක්වරක් ම දරු ගැබ ගන්නී ය. ඒ දරු ගැබින් ඈට වූ වෙහෙස දැන නැවැත පුරුෂයකු කරා දිවිහිමියෙන් නො එළඹෙන්නී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආයතිභවයෙහි ප්‍ර‍තිසන්ධිය, උත්පත්තිය, ගර්භශයනය, චුතිය, මරණින් මිදී යාම ය, ක්ෂය වීම ය, විනාශ වීම ය, එම සංසාරභය, දුර්ගතිය යන මෙතෙක් දුකින් තමා පෙළෙනබව දැක පුනර්භවයෙහි මම නො පිළිසිඳ ගන්නෙමි’ යි කියා යොනිසොමනස්කාරය කට යුත්තේ ය. මහරජානෙනි, දිවිදෙනගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර‍නිපාතයෙහි ධනියගොපාලකසූත්‍රයෙහි වදාරණ ලද්දේ ය:-

“උසභොරිව ඡෙත්‍ව ඛන්‍ධනානී

නාගො පූතිලතං ව දාලයීත්‍වා,

නාහං පුන උපෙස්සං ගබ්භසෙය්‍යං

අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව” යි.

“බන්ධනයන් සිඳ ගෙණ ගිය වෘෂභයකු මෙන් ද, කිඳි වැලක් ප්‍ර‍දාලනය කොට ගිය හස්තිරාජයකු මෙන් ද, ක්ලේශබන්ධනය හැරියා වූ මම නැවත ගර්භසෙය්‍යාවට නො එළඹෙමි. නැවැත ඉදින් පජ්ජුන්නය, තෝ කැමැත්තෙහි නම් වර්ෂණය කරව.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘දිවියාගේ අංගද්වයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ශාර්දූලයා අරණ්‍යයෙක තෘණ ගහනයක් හෝ වනගහනයක් හේ පර්වතගහනයක් හෝ ආශ්‍ර‍ය කොට සැඟවී හිඳ මෘගයන් ග්‍ර‍හණය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහ්නසේ විසින් අරණ්‍යය ද වෘක්ෂමූලය ද පර්වතය ද කඳුරැළිය ද පර්වතගුහාව ද සුසානය ද මනුෂ්‍යගමනාගමනය විරහිත වූ මහාවනයෙහි වූ ප්‍රාන්තසෙනාසනය ද අබ්භොකාසය ද පළාලපුංජය ද මහත් ශබ්ද විරහිත වූ සෙනාසනය ද මහත්ඝොෂා විරහිත වූ සෙනාසනය ද චණ්ඩමාරුතය විරහිත වූ[7] සෙනාසනය ද මනුෂ්‍යයන්ගේ රහස්ක්‍රියාවට යොග්‍ය වූ සුදුසු වු විවෙකය ද සෙවනය කට යුත්තේ ය. මහරජානෙනි, විවෙක සෙවනය කරන්නා වූ යොගාවචරයන් වහන්සේ නොබෝ කලකින් ම ෂඩභිඥායෙහි වශීභාවයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, දිවියාගේ මේ පළමුවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, ධර්මසංගායනා කළ මහාථෙරපාදවරුන් වහන්සේලා විසින් ද ‘යම් සේ ශාර්දූල (467) තෙම සැඟ වී හිඳ මෘගයන් අල්වා ගන්නේ ය. එසේ ම විදර්ශනා වඩන්නා වූ භාවනායෙහි යෙදුනා වූ මේ සර්වඥපුත්‍ර‍ වූ යොගාවචර තෙම අරණ්‍යයට වැද ලොකොත්තර වූ අර්හත්ඵලය ගන්නේ ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවැත ද ඉතිරි අංගයන් කියන්නෙමි.

“යථා මහාරාජ දිපිකො -පෙ- ඉදං මහාරාජ දීපිකස්ස දුතියං අඞ්ගං ගහෙතබ්බං” යි[8]

“මහරජානෙනි, යම් සේ දීපිකතෙම යම් කිසි වෘෂභාදි සතකු මරා, වම් ඇළයෙන් වැටෙන ලද්දේ වී නම්, තමාගේ දිවි යේ නමුදු ඒ සත්වයා අනුභව නො කොට පලා යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම භාවනානුයොගි වූ යොගාවචරයන් වහන්සේ විසින් ගිහියන්ගේ සිත් ගන්නට හුණයටාදීය දීම ය යි කියන ලද වෙළුදානයෙන් හෝ තාලපර්ණ ශාඛාභංගාදි පත්‍ර‍දානයෙන් හෝ දෑසමන් රුක් කෙතකී වකුලාදී පුෂ්පදානයෙන් හෝ තාලපනස නාලිකෙරාදි ඵලදානයෙන් හෝ ප්‍ර‍කෘති මැටි හා ඇඟ උළන මැටි දීමෙන් හෝ මහරි සුණු ආදිය දීමෙන් හෝ දැහැටිදඬු ආදිය දීමෙන් හෝ නහනදිය මුව සෝදනදිය දීමෙන් හෝ ජනවංචන ප්‍රයොගයෙහි දක්ෂ වූ චාටුකම්‍යතාවෙන් හෝ පිසු මුං සේ අනුන්ගේ සිත් ගන්නට සැබෑ මද කොට බොරු බෙහෝ කොට කියන්නා වූ මුග්ගසූප්‍යතාවෙන් හෝ ලාභාශාවෙන් ගිහින්ගේ දරුවන් නළවා වැඩීම ය යි කියන ලද පාරිහට්ටකතාවෙන් හෝ පත්හසුන් ගෙණ එගෙන් එගෙට යන ජංඝපෙසනියයෙන් හෝ වෙදකම් කිරීමෙන් හෝ පත්හසුන් පඬුරු ගෙණ යන්නා වූ දූතකර්මයෙන් හෝ කෙත්වත් ආදියෙහි මෙහෙවර ආදියට යන පහීනගමනයෙන් හෝ විවාහමගුල් සම්බන්ධව කියමින් ගෙණ ඔබිනොබ ඇවිදිමෙන් හෝ තමා ලත් ප්‍ර‍ත්‍යය ගිහීන්ට දී උන් දෙනු ගැන්ම ය යි කියන ලද පිණ්ඩප්‍ර‍තිපිණ්ඩයෙන් හෝ සිවුපස ලැබ නැවත ඔවුන්ට සංග්‍ර‍හ කිරීමෙන් හෝ ලිං බිම් ගෙබිම් ආදිය දක්වන්නා වූ වාස්තුවිද්‍යාවෙන් හේ තිථි හෝරා නක්ෂත්‍ර‍ දොෂාදොෂ පරීක්ෂා කොට කියන්නා වූ නක්ෂත්‍ර‍විද්‍යාවෙන් හෝ ශරීරාංග ප්‍ර‍ත්‍යංග ලක්ෂණ බලා දොෂාදොෂ කියන්නා වූ අංගවිද්‍යාවෙන් හෝ යක්ෂවිද්‍යාදි අන්‍යතර අන්‍යතර වූ විද්‍යාවෙන් හෝ අනන්තවිද්‍යාවකින් හෝ අනන්ත සම්‍යක්සම්බුධ සර්වඥයන් වහන්සේලා විසින් නින්දා කොට හරණ ලද්දා වූ මිථ්‍යාජීවයෙන් උපදවනා ලද (468) භොජනය වම්පාර්ශ්වයට වැටුනු ගවයා නො කන දිවියා මෙන් තමන් වහන්සේගේ දිවි යේ නමුදු නො වැළඳිය යුතු ය. මහරජානෙනි, දිවියාගේ මේ දෙවෙනි අංගය නිවන් පතන යොගාවචරයා විසින් ගත යුත්තේ ය.

“මහරජානෙනි, සද්ධර්මසෙනාධිපති වූ ශාරීපුත්‍ර‍ මහාථෙරස්වාමීන් වහන්සේ හිරු අස්තංගත කල්හි රාත්‍රිභාගයෙහි බලවත් වූ බඩරුජාවෙක් ඇති ව මහත් වූ දුඃඛවෙදනාවෙන් පෙළෙමින් ගිලන් වූහ. මහමුගලන් තෙරුන්වහන්සේ විසින් එ දැක ‘වහන්ස, පෙර මේ රුජා ගත් කල වැළඳූ බෙහෙත් කවරේ දැ?’ යි විචාරණ ලද්දේ ‘ඇවැත්නි, මා ගිහි කාලයෙහි අපගේ මෑනියෝ ගිතෙල් මී සකුරු එක් කොට යොදා දිය නො මුසු කොට පිසූ කිරිබතක් දෙති. ඒ කිරිබතින් මේ රුජාව සන්සිඳෙන්නේ ය’ යි කියා වාග්භෙදය කර වදාළසේක. මුගලන්මහතෙරුන් වහන්සේ ද ‘වහන්ස, නුඹ වහන්සේගේ හෝ මාගේ හෝ පිණෙක් ඇත්තේ වී නම්, බෙහෙත් කිරිබත ලබම්හ’ යි කීදැ ය. එකල එබස් අසා සක්මන් කෙළවර වෘක්ෂයෙහි හුන් දෙවතාවා මුගලන්මහතෙරුන් වහන්සේගේ උපාසකකුලයට එළඹ වැඩිමහලු පුත්‍ර‍යාගේ ශරීරයෙහි ආවෙසවෙමින් වෙහෙස කෙළේ ය. එකල ඕහට පිළියම් කරන්නට රැස් වූ නෑයන්ට ‘කොල, තෙපි කුමක් කරවූ ද? සැරියුත්මහතෙරුන්වහන්සේට ගිතෙල් මී සකුරු එක් කොට කිරිබතක් පිස යවුවහොත් යක්ෂලෙඩ හරිමි’ යි වෙවුලා කීයේ ය. ඒ අසා උපාසකවරු ‘මහායක්ෂයානෙනි, තෙපි නො කීවත් අපි තෙරුන් වහන්සේට නිරන්තරයෙන් ම දන් දෙම්හ’ යි කියා දෙවන දවස් එබඳු වූ කිරිබත් පිස ගෙණ මග බලබලා උන්හ. මුගලන්තෙරුන් වහන්සේ ද එදවස් උදය ම නැගී සිට පෙර ඒ පුරුදු වූ උපාසකකුලයට වැඩ වදාළ සේක. ඒ දැක සතුටින් උපාසකවරු පාත්‍ර‍ය ලබා ගෙණ කිරිබත් පුරවා දුන්හ. තෙරුන් වහන්සේත් බත් පිළිගෙණ වඩනාකාර දැක්වූසේක. ඒ දැක උපාසකවරු ‘වහන්ස, මේ බත වළඳා වදාළ මැනැව. අනික් කිරිබත් පාත්‍ර‍යක් දෙම්හ’ යි කියා ඒ බත වළඳවා නැවත පාත්‍ර‍ය පුරවා කිරිබත් දුන්හ. තෙරුන් වහන්සේ ඒ කිරිබත ගෙණ ගොස් ‘වහන්ස, මේ කිරිබත වළඳා වදාළ මැනැවැ’ යි කියා සැරියුත් මහතෙරුන් වහන්සේට පිරිනැමූ සේක. ඒ සැරියුත්මහතෙරුන් වහ්නසේට වාග්භෙදයෙන් ඒ බෙහෙත් කිරිබත් උපන්නේ ය. එවිට සැරියුත්මහතෙරුන් වහන්සේ යහපත් වූ ඒ කිරිබත දැක ‘මේ බත කෙසේ උපන්නේ දෝ හෝ?’ යි දිවැසින් බලා දෙවතාවා උපාසකකුලයට එළඹ දුක් දී ඉපදවූ බව දැක-

“වචී විඤ්ඤත්ති විප්ඵාරා-උප්පන්න මධුපායසා,

සචෙ භුත්තො භවෙය්‍යාහං-සාජීවො ගරහිතො මම

-

යදිපි මෙ අන්ත ගුණං-නික්ඛමීත්‍වා බහි චරෙ,

නෙව භින්‍දෙය්‍ය ආජීවං-වජමානොපි ජීවිතං” යි.

“ඇවැත්නි, වාග්විඤ්ඤත්තිය පැතිරීමෙන් මට මේ බෙහෙත්කිරිබත උපන්නේ ය. ඉදින් මෙ කිරිබත මම වැළඳූයේ විම් නම්, මාගේ සම්‍යග් ආජිවය නින්දිත වන්නේ ය. ඉදින් බත් නො ලැබීමෙන් මාගේ බඩවැල (469) මුඛයෙන් නික්ම පිටත හැසිරෙන්නේ වී නමුදු මාගේ ජීවිතය හරින්නේ නමුදු සම්‍යග්ආජීවය නො බිඳිමි’ යි කියා ‘ඇවැත්නි, මේ බෙහෙත්ආහාරය අනුභවයට සුදුසු නො වෙයි, පහ කරව’ යි කියා ඒ බෙහෙත හැර වදාළසේක. ඒ කිරිබතින් ජීවිකා නො කළසේක. මුගලන් මහතෙරුන් වහන්සේ ද, ‘මා වැනි සෘද්‍ධිමත් මහාශ්‍රාවක කෙනෙකන් ගෙණ ආ බත නො වළඳනසේකැ’ යි නො සිතා එකවචනයෙන් ම පාත්‍ර‍ මුවවිට අල්වා ගෙණ එක් පසෙක්හි මුණින් නැමුසේක. එකෙණෙහි ම සැරියුත්මහතෙරුන් වහන්සේගේ බඩරුජාවක් සන්හිඳින. එතැන්පටන් පිරිනිවන් පාන තැන් දක්වා පන්සාළිස්හවුරුද්දක් මුළුල්ලෙහි ඒ රුජාව නො හට ගත්තේ ය’ යි කියා මේ කාරණය කියන ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘කූර්මයා ය යි කියන ලද පූර්ණකයාගේ පඤ්චාංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ උදකයෙහි හැසිරෙන්නා වූ කූර්මයා ජලයෙහි ම වාසය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහ්නසේ විසින් සකලප්‍රාණීභුතපුද්ගලයන් කෙරෙහි විපුල වූ මහත් වූ අප්‍ර‍මාණ වූ අවෙරි වූ නිදුක් වූ හිතානුකම්පී වූ මෛත්‍රීසහගත වූ සිතින් සකලසත්වයන් ඇති සර්වලොකය ස්පර්ශ කොට විසිය යුත්තේ ය. මහරජානෙනි, පූර්ණකයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, කූර්මයා උදකයෙහි ඉපිලෙමින් හිස ඔසවා බලා ඉදින් කිසි කෙනෙකුන් දක්නේ නම්, එහි ම ගිලෙන්නේ ය. නැත හොත් ‘ඔවුහු මා නො දකිත්ව’ යි කියා බලවත් වු ගැඹුරෙහි ගැලෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් ක්ලේශයන් ලං වන එන කල්හි අනිත්‍යාදි අරමුණු නමැති මහාවිලෙහි ගැලිය[9] යුත්තේ ය. නැවත ක්ලේශයෝ මා නො දකිත්ව’ යි කියා දැඩි කොට ගැඹුරෙහි ගැලිය1 යුත්තේ ය. මහරජානෙනි, කූර්මයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, කූර්මයා ජලයෙන් නික්ම ගලෙක හෝ දණ්ඩක හෝ හිඳ ඔහුගේ කය සූර්‍ය්‍යතාපයෙන් වියලෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් හිඳීම සිටීම සයනය කිරීම සක්මන් කිරීම ය යන සතර ඉරියව්වෙන් සිත පහ කොට ගෙණ සතර සම්‍යක්ප්‍ර‍ධානවීර්‍ය්‍ය නමැති සූර්‍ය්‍යතාපයෙහි සිත තවා වියලිය යුත්තේ ය. මහරජානෙනි, කූර්මයාගේ මේ තෘතියයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, කූර්මයා පෘථිවිය සාරා තමහට විවෙකස්ථානයෙහි වාසය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් ලාභසත්කාර යශස් හැර ජනශූන්‍ය වූ විවෙක වූ වනය ද මහාවනය ද පර්වතය ද කඳුරැළිය ද ගිරිගුහාව ද යන අල්පශබ්ද ඇති අල්පඝොෂා ඇති විවෙකයට පැමිණ විවෙකයෙහි ම වාසයට එළඹිය යුත්තේ ය. මහරජානෙනි, ඉදිබුවාගේ මේ සතරවන වූ අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, වංගන්ත පුත්‍ර‍ ව උපසෙන ථෙර ස්වාමීන් විසින් ද, ‘විවෙකසැප පිණිස නිවන් සොයන භික්ෂූන් වහන්සේ අල්පඝොෂ ඇති ව්‍යාලමෘගසෙවිත වූ විවික්ත වූ සෙනාසනය සෙවනය (470) කරණ සේකැ’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, මහරජානෙනි, කූර්මයා ගොචරාදී කෘත්‍යයෙහි හැසිරෙමින් ඉදින් තමහට භය ජනක වූ කිසිවක් දකී ද, එබඳු වූ ශබ්දයක් අසා ද, එකල ඔහුගේ සොඬ පස්වැනි වූ පංචාගයන් තමාගේ ඉබිකබලෙහි සඟවා ගෙණ ශරීරය රක්ෂා කරණුයේ අල්පොත්සාහ ව තූෂ්ණිම්භූත ව සිටින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ශ්‍ර‍මණධර්මය රක්ෂා කරන්නා වූ යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍යධර්ම යන ෂඩාලම්බනයන් ලං වන කල්හි චක්ඛු සොත ඝාණ ජිව්හා කාය මන යන ෂඩ්ද්වාරයෙහි වසා ගත් සංවරශීල නමැති දොර නො හැර මනස සංවෘත කොට පිහිටුවා ගෙණ හැම තැන ම සිහිනුවණින් විසිය යුත්තේ ය. මහරජානෙනි, කූර්මයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙම වූ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ද සංයුත්සඟියෙහි වූ උතුම් කුම්මොපමසූත්‍රයෙහිත් වදාරණ ලද්දේ ය-

“කුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ

සමොදහං භික්ඛු මනො විතක්කෙ,

අනිස්සිතො අඤ්ඤමහෙඨයානො

පරිනිබ්බුතො න උපවදෙය්‍ය කඤ්චි” යි.

“තමාගේ ඉබිකබලෙහි පඤ්චාංගයන් බහා ගෙණ දිවි රකින්නා වූ කූර්මයා මෙන් සංසාරයෙහි භය දක්නා අර්ථයෙන් භික්ෂු නම් වූ යොගාවචරතෙම තමාගේ සිත්හි උපදනා කාමවිතර්කාදීන් ප්‍ර‍ථම ධ්‍යානාදියෙහි පිහිටවනුයේ රූපාලම්බනාදිය විරහිත වූයේ පරහට පීඩා නො කරණුයේ ක්ලේශපරිනිර්වාණයෙන් පිරිනිවියේ කිසිවෙකුහට උපවාද නො කරන්නේ යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘හුණවෘක්ෂයාග් එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද? ඒ ගත යුතු වූ එකාංගය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ හුණවෘක්ෂය වාතය යම් තැනෙක්හි ද, එහි ම අනු ව යන්නේ ය. අනික් අතකට කැටුව නො දුවන්නේ ය. වාතය හමන දිසාවට හුණවෘක්ෂය නැමෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් යම් නවාංගශාස්තෘශාසනයක් චතුස්සත්‍යාවගමය කළා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ද, ඒ නවාංගශාස්තෘවචනය අනු ව ගොස් ශ්‍ර‍මණයන්ට කැප වූ අනවද්‍යයෙහි සිට ශ්‍ර‍මණධර්මය ම සෙවිය යුත්තේ ය. මහරජානෙනි, හුණවෘක්ෂයාග් මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය සර්වඥපුත්‍ර‍ වූ රාහුල ස්ථවිරයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය:-

“නවඞ්ගබුද්ධවචනං-අනුලොමෙත්‍වාන සබ්බදා

කප්පියෙ අනවජ්ජස්මිං-ඨත්‍වා ‘පායං සමුත්තරිං” යි,

“මම නවාංගබුද්ධවචනය අනුලොම කොට හැම කල ම ශ්‍ර‍මණයන්ට කැප වූ අනවද්‍යයෙහි පිහිටා අය සංඛ්‍යාත වූ සැපතින් පහ වූ හෙයින් අපාය නම් වූ අපාදුකින් එතෙර වීමි.”

(471) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘චාපයාගේ එකාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මුල පටන් අග දක්වා අග පටන් මුල දක්වා පමණින් යුක්ත කොට යහපත් සේ සැප ඔප් නඟන ලද්දා වූ දුන්න ඇද ලූ කල එක සම ව ම නැමෙන්නේ ය. ටැඹක් සේ තද නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගාවචරයන් වහන්සේ විසින් උපසම්පදාවෙන් දසහවුරුදු වූ පිරී කල් ගිය ස්ථවිරයන් කෙරෙහි ද, දෙතුන් හවුරුදු පිරුණු නවකයන් කෙරෙහි ද, පස්හවුරුදු පිරුණු මධ්‍යමයන් කෙරෙහි ද තමා හා සමවයස් ඇති සමකතැන් කෙරෙහි ද යන මේ සබ්‍ර‍හ්මචාරීන් කෙරෙහි නැමුන යුත්තේ ය. නො ම දැඩි විය යුත්තේ ය. පටිප්ඵරිත නො විය යුත්තේ ය. මහරජානෙනි, දුන්නෙහි මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් විධුරපූර්ණකජාතකයෙහි:-

“චාපොව නූන මෙ ධීරො-වංසොව අනුලොමයං,

පටිලොමං න වත්තෙය්‍ය-සරාජවසතිං වසෙ” යි.

‘සම ව ගා සැදු දුන්න මෙන් ද, වාතය අනු ව නැමෙන හුණවෘක්ෂය මෙන් ද නුවණැති පණ්ඩිතතෙම පින්වතුන්ට අනු ව නැමෙන්නේ ප්‍ර‍තිලොම ව නො පවත්නේ ය. මෙසේ ඒ නුවණැති පණ්ඩිතතම ‘රාජවසති ය’ යි කියන ලද රාජසෙවය කරන්නේ ය’ යි කියා වදාරණ ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කාකයාගේ අංගද්වයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ කාකතෙම තමහට කවර කෙනෙක් කැට පහරාදීන් උපද්‍ර‍වයක් කෙරෙද් දෝ හො යි යන ආසංකා පරිසංකා ඇති ව ම ගැලවියටි ව උත්සාහ වීර්ය ඇති ව ම හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් පැමිණියා වූ සීලාදිගුණයෙන් පිරිහේ දෝ හො යි යන ආසංකාපරිසංකායෙන් කෙලෙසුන් වැද්ද නො දෙන වීර්යයෙන් වසන ලද චක්ෂුරාදි ෂඩින්ද්‍රියයන් ඇති ව එළඹ සිටින ලද සිහියෙන් යුක්ත ව හැසුරුණ යුත්තේ ය. මහරජානෙනි, මේ කාකයාගේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, කාකතෙම යම් කිසි භොජනයක් දැක ශබ්ද කොට නෑයන් සමග බෙදා ගෙණ අනුභව කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යෝගාවචරයන් වහන්සේ විසින් දැහැමින් උපන් හෙයින් ධාර්මික වූ දැහැමින් සෙමින් ලබන ලද්දා වූ යම් ඒ ප්‍ර‍ත්‍යයලාභයෙක් ඇද්ද, යටත්පිරිසෙයින් පාත්‍ර‍යට පැමිණියා වූ භොජනමාත්‍රයෙක් ඇද්ද, එබඳු වූ ලාභයෙන් සිල්වත් වූ සබ්‍ර‍හ්මචාරීන් වහන්සේලා හා සමග ‘මෙ පමණ දෙමි. මෙ පමණ නො දෙමි’ යි ද සිතන ආමිසප්‍ර‍තිවිභක්තිය ද, ‘අසවලාහට දෙමි, අසවලාහට නො දෙමි’ යි ද සිතන පුද්ගලප්‍ර‍තිවිභක්තිය ද ය විවිධ වූ කාරණය හැර හැමතැන ම කරණ වර්ෂා සෙයින් සර්වසාධාරණ වූ ප්‍ර‍තිවිභක්තභොගිතාවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, කාකයාගේ මේ ද්විතියාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ (472) ශාරිපුත්‍ර‍ ථෙර සාමීන් වහන්සේ විසින් ‘ඉදින් කෙලෙසුන් තැවීමෙහි නිරත වූ භික්ෂූහු මට තමන් ලත් ප්‍ර‍ත්‍යය පිරිනමති. මම ඒ භොජනය සියලුදෙනාහට බෙදා දී එයින් ඉතිරි වූ භොජනයක් වළඳමි’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මර්කටයාගේ අංගද්වයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ලැග්මට එළඹෙන්නා වූ වානරතෙම විවෙක වූ ඔබිනොබ වැලඳ සිටි ශාඛා ඇත්තා වූ භයින් ගැලවිය යුතු රක්ෂාස්ථානයක් වැනි වූ එබඳු වූ අවකාශයෙක්හි මහත් වු මහාවෘක්ෂයෙක ලැග්මට එළඹෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහ්නසේ විසින් ලජ්ජිපෙසල වූ සිල්වත් වූ උගන්නා ලද යහපත් පර්යාප්තිධර්මයන් ඇත්තා වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ සියල්ලන්ට ප්‍රිය වඩන්නා වූ සියල්ලන් විසින් ගෞරව වැඩිය යුතු වූ වැඩ අවැඩ කියන සුලු වූ වචනක්ෂම වූ අවවාද කරන්නා වූ මෙලෝ පරලෝ වැඩ අඟවන්නා වූ මෙලෝ පරලෝ වැඩ දක්වන්නා වූ දක්වාලූ වැඩෙහි සමාදන් කරවන්නා වූ සමාදන් වූ වැඩෙහි සිත තියුණු කරවන්නා වූ එහි ම යහපත යහපතැ යි කියා සිත් ප්‍ර‍සන්න කරවන්නා වූ මෙබඳු කල්‍යාණමිත්‍ර‍ වූ ආචර්ය කෙනෙකුන් ආශ්‍ර‍ය කොට වාසය කට යුත්තේ ය. මහරජානෙනි, වානරයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි. වානරතෙම වෘක්ෂයෙහි ම හැසිරෙන්නේ ය, සිටින්නේ ය, හිඳින්නේ ය, නිද්‍රාවට පැමිණෙන්නේ ය, එහි ම රාත්‍රියෙහිත් වාසය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් අරණ්‍යාභිමුඛ විය යුත්තේ ය. අරණ්‍යයෙහි ම ඨානවංක්‍ර‍මණ නිෂද්‍යාශයන යන සතර ඉරියව් පැවැත්විය යුත්තේ ය. ග්‍රාමන්තසෙනාසනයෙහි ද, ධ්‍යාන උපදවා අහස සැරිසැරීමට වඩා ආරණ්‍යකසෙනාසනයෙහි නිද්‍රාව කිරීම උතුම් හෙයින් වනයෙහි ම නිද්‍රාවට පැමිණිය යුත්තේ ය. එහි ම සිට සතරසතිපට්ඨාන නමැති අමෘතභොජනය අනුභව කට යුත්තේ ය. මහරජානෙනි, මර්කටයාගේ මේ ද්විතීයාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ ශාරිපුත්‍ර‍ මහාථෙර ස්වාමීන් වහන්සේ විසින්:-

“චංකමන්තෙපි තිට්ඨන්තො-නිසජ්ජා සයනෙන වා,

පවනෙ සොභතෙ භික්ඛු-පවනන්තං ව වණ්ණිතං” යි.

‘මහවනයෙහි සක්මන් කරන්නා වූ ද, සිටින්නා වූ ද, නිෂද්‍යාශයනය කිරීමෙන් ද භික්ෂුතෙම හොබිනේ ය. ඒ ගමට දුරු වන්නේ ය, අනන්ත බුදුන් විසින් වර්ණනා කරණ ලද්දේ ය.”

උද්දාන පද නම්:-

‘ඝොරස්සරො ච කුක්කුටො-කලන්‍දො දිපිනි දීපිකො,

කුම්මො වංසො වාපො ච-වායසො අථ මක්කටො’ යි.

යොගිකථා ප්‍ර‍ශ්නයෙහි එක්විසි අංගයක් ඇති ප්‍ර‍ථම වර්ගය නිමියේ ය.

(473) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ලාබුලතාවගේ එකාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ලාබුලතාව තෘණයෙක හෝ කාෂ්ටයෙක හෝ ලීයක හෝ සොඬින් එල්වී ගෙණ එයට මත්තෙහි වැඩී යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් අර්හත්භලයෙහි වඩින කැමැත්තා වූ සිතින් අනිත්‍යාදි අරමුණෙක එල්වී ගෙණ අර්හත්ඵලයෙහි වැඩුන යුත්තේ ය. මහරජානෙනි, ලාබුලතාවගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය අප ධම්සෙනෙවි සැරියුත් මහාථෙර ස්වාමීන් වහන්සේ විසින් ද:-

“යථා ලාපුලතා නාම-තිණෙ කට්ඨෙ ලතාය වා,

ආලම්බිත්‍වා සොණ්ඩිකාහි-තතො වඩ්ඪති උත්තරිං,

තථෙව බුද්ධපුත්තෙන-අරහත්තඵලකාමිනා,

ආරම්මණං ආලම්බිත්‍වා-වඩ්ඪිතබ්බං අසෙඛභලෙ” යි.

“ලාබුලතා නම් ලිය යම් සේ තෘණයෙක හෝ කාෂ්ටයෙක හෝ ලීයක හෝ සොඬින් එල්වී එයින් ඒ කාරණයෙන් මත්තෙහි වඩින්නේ ය, එසේ ම අර්හත්ඵලය කැමැත්තා වූ බුද්ධපුත්‍ර‍යන් වහන්සේ විසින් ගත් අරමුණෙහි සිතින් එල්වී අශෛක්ෂ වූ රහත්ඵලයෙහි වැඩුන යුත්තේ ය” යි කියා වදාරණ ලද්දේ යි.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පද්මයාගේ අංගත්‍ර‍යයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ජලයෙහි උපන්නා වූ ජලයෙහි වැඩුනා වූ පද්මය ජලය හා නො ඇලෙන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් උපාසක කුලයෙහි ද, ශිෂ්‍යගණයා කෙරෙහි ද, ලාභයෙහි ද, යසසෙහි ද, සත්කාරයෙහි ද, සම්මානයෙහි ද, පරිභොග කට යුතු වූ චතුර්විධප්‍ර‍ත්‍යයයෙහි ද යන හැමතැන්හි ම නො ඇලීමෙන් විසිය යුතු ය. මහරජානෙනි, පද්මයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, පද්මය උදකය කෙරෙන් ඉතා උස් ව නැඟී සිටින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සියලු ම ලොකය අභිභවනය කොට ඉතා උස් ව නැඟී ලොකොත්තරධර්මයෙහි සිටිය යුත්තේ ය. මහරජානෙනි, පද්මයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ස්වල්පමාත්‍ර‍ වූ මාරුතය වැදිවැදී හැසිරෙණ ලද පද්මය චලිත වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ශෙෂ ව සිටි අල්පමාත්‍ර‍ වූ ද ක්ලේශයන් කෙරෙන් සංයම ය යි කියන ලද වැළකීම කට යුත්තේ ය. ස්වල්පමාත්‍ර‍ වූ ද ක්ලේශයන් කෙරෙහි භය දක්නා සුලු ව වාසය කළ යුත්තේ ය. මහරජානෙනි, පද්මයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, ‘අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ කියා අප භාග්‍යවත් වූ දෙවාතිදෙව වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ විසිනුත් ‘ක්ලේශයන් කෙරෙහි භයින් විහරණය කට යුත්තේ ය’ යි යන මේ කාරණය වදාරණ ලද්දේ ය” යි කියා වදාළසේක.

(474) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘බීජයාගේ අංගද්වයයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මඳ වූ ද, යහපත් වූ වී සරුකෙතෙහි වපුරණ ලද්දේ වර්ෂාව මනා කොට වස්නා කල්හි බොහෝ වී නො හැර ම දෙන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් රක්ෂා කරණ ලද්දා වූ ශීලය සියලු ම ශ්‍රාමණ්‍යඵලය නො හැර ම දෙන්නේ ය. එපරිද්දෙන් මනා කොට පිළිපැද්ද යුත්තේ ය. මහරජානෙනි, බීජයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, වල් නිමවා මඩ කොට වප් හෙළා පිරිසිදු කළ ක්ෂේත්‍රයෙහි රොපණය කරණ ලද්දා වූ බිජු කල් නො යවා ම හට ගන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ජනශූන්‍යාගාරයෙහි සිට පිරිසිදු කරණ ලද්දා වූ සිත සතිපට්ඨාන නමැති ක්ෂේත්‍ර‍වරයෙහි වහා ම හට ගන්නේ ය. මහරජානෙනි, බීජයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ බීජොපමාව බුදුන් මල් අනුරුද්ධ මහාථෙර සාමීන් විසින්:-

“යථා ඛෙත්ත පරිසුද්ධෙ-බීජං වස්ස පතිට්ඨිතං,

විපුලං තස්ස ඵලං හොති-අපි තොසෙති කස්සකං.

තථෙව යොගිනො චිත්තං-සුඤ්ඤාගාරෙ විසොධිතං,

සතිපට්ඨානඛෙත්තම්භි-ඛිප්පමෙව විරූහති” යි.

‘යම් සේ පිරිසිදු වූ ක්ෂේත්‍රයෙහි බිජු පිහිටන ලද්දේ වේ ද, ඒ ක්ෂේත්‍ර‍යාගේ මහත් වු ඵල ඇති වන්නේ ය. ගොවියා ද සතුටු කරන්නේ ය. එසේ ම ශූන්‍යාගාරයෙහි ම පිරිසිදු කරණ ලද්දා වූ යොගියාගේ චිත්තය සතිපට්ඨානක්ෂේත්‍රයෙහි වහා ම පතළ වන්නේ ය’ යි වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සල්කලණවෘක්ෂයාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මනොඥ වූ දර්ශනය ඇති සාකලක්‍යාණිකාව පස්ළෝ ඇතුළත්හි ම සියක්රියනක් හෝ ඊට වැඩියක් හෝ වඩින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සතරශ්‍රාමණ්‍යභලය ද සිවුපිළිසිඹියාව ද ෂඩ්අභිඥාව ද සියලු ම ශ්‍ර‍මණධර්මය ද ශූන්‍යාගාරයෙහි දී ම පරිපූර්ණ කටයුත්තේ ය. මහරජානෙනි, සාලකල්‍යාණියගේ මේ එකාංගය ත යුත්තේ ය. මහරජානෙනි, සර්වඥපුත්‍ර‍ වූ රාහුල ස්ථවිරයන් විසින්:-

“සාලකල්‍යාණිකා නාම-පාදපො ධරණීරුහො,

අන්තො පඨවියං යෙව-සතහත්‍ථොපි වඩ්ඪතී.

-

යථාකාලම්භි සම්පත්තෙ-පරිපාකෙන සො දුමො,

උග්ගංඡිත්‍වාන එකාහං-සතහත්‍ථොපි වඩ්ඪති.

-

එවමෙව මහාවීර-සාලකල්‍යාණිකා විය,

අබ්භන්තරෙ සුඤ්ඤාගාරෙ-ධම්මතො අභිවඩ්ඪයිං” යි.

(475) ‘සර්වඥ පියානෙනි, පෘථිවියෙහි හට ගන්නා වූ සාල කල්‍යාණිකා නම් ද්‍රැමෙන්ද්‍රයෙක් ඇතුළු පෘථිවියෙහි ම සියක් රියනකුදු වඩින්නේ ය. එයින් වැඩියකුදු වඩින්නේ ය. මුහු කිරීමෙන් පෘථිවියෙන් උද්ගත වන කල්හි සම්ප්‍රාප්ත වන කල්හි දුර්ලභ වූ දර්ශනය ඇති ඒ ද්‍රැමෙන්ද්‍ර‍යා පොළොවින් උඩ නැගී එකදවසින් සියක්රියන් තැන් අහසට වඩින්නේ ය. එපරිද්දෙන් ම ස්වාමීනි, මහාවීර වූ සර්වඥරාජොත්තමයානන් වහන්ස, පෘථිවිය ඇතුළත වැඩෙන සාලකල්‍යාණිවෘක්ෂය මෙන් ම ජනවිවික්ත වූ ශූන්‍යාගාරය ඇතුළත්හි වසමින් සමාධියෙන් වැඩුනෙමි’ යි” කියා මෙම කාරණය බුදුන් සම්මුඛයෙහිත් වදාරණ ලද්දේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘නෞකාවගේ අංගතුනක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ නෞකාතොම බොහෝ වූ දාරුසමූහයාගේ එකතු වීම කරණ කොට ගෙණ බොහෝ වූ ජනයන් එතෙර කරන්නී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආචාර සමාචාර සීලගුණ වත්ත පටිවත්ත සංඛ්‍යාත බොහෝ වූ ධර්මසමූහයන්ගේ එකතු වීම කරණ කොට ගෙණ දෙවියන් සහිත වූ ලෝවැසිතෙම සසරින් එතෙර කළ යුත්තේ ය. මහරජානෙනි, නෞකාවගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, නැව බොහෝ වූ රැළ ඝොෂාවේගයාගේ පැතිරීම ද සළාවේගය ද ඉවසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් බොහෝ වූ රාගාදීක්ලේශ රැළවේගය ද ලාභසත්කාර යස සිලොක පූජන වන්දනා පරකුලයාගේ නින්දා ප්‍ර‍ශංසා සුව දුක් සම්මානාවමානාදී බොහෝ වූ රැළවේගය ද ඉවසිය යුත්තේ ය. මහරජානෙනි, නෞකාවගේ මේ ද්විතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, නැව අපරිමිතානන්තාපාර අක්ෂොභිත සුවාසූදහසක් යොදුන් ගැඹුරු වූ සෙණහඬ සේ මහත් වූ මහාසමුද්‍රඝොෂා ඇත්තා වූ තිමි තිමිංගල මකරාදී මහාමත්ස්‍යගණයන්ගෙන් ආකුල වූ මහත් වූ මහාසමුද්‍රයෙහි යන්නේ ය. මහරජානෙනි, එපරද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ත්‍රිපරිවර්තයක් හා ද්වාදශාකාරයක් ඇති චතුස්සත්‍යලාභයාගේ ප්‍ර‍තිවෙධයෙහි සිත හැසිර විය යුත්තේ ය. මහරජානෙනි, නෞකාවගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම කාරණය සංයුත්සඟියෙහි වූ සච්චසංයුත්තකයෙහි වදාරණ ලද්දේ ය. ‘විතක්කෙන්තා ච ඛො තුම්හො භික්ඛවෙ ඉදං දුක්ඛන්ති විතක්කෙය්‍යාථ” යනාදීන් “මහණෙනි, තෙපි යමක් සිතන්නාහු නම්, මේ දුක්ඛසත්‍යය යි කියා සිතවු. මේ දුක්ඛසමුදයසත්‍යය යි කියා සිතවු. මේ දුක්ඛනිරොධසත්‍යය’ යි කියා සිතවු. මේ දුක්ඛනිරොධගාමිනිප්‍ර‍තිපදාවය යි කියා සිතවු ය’ යි චතුස්සත්‍යය සිතන සිත ම තියුණු කරවා වදාළසේක.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘නාවාලකනයාගේ අංගද්වයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද‍්, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ නැව් නවත්වා ලන්නා වූ ‘ලකනකය’ යි (476) කියන ලද්දා වූ සිනිකඳ මහත් වූ මහා සමුද්‍රයෙහි බොහෝ වූ ඌර්මජාලාවෙන් ආකුල වූ වික්ෂොභිත වූ මහා ජලතලයෙන් නැව වාතයෙන් දිසානුදිසාවට ගෙණ යන්නට නො දෙන්නේ ය. නවත්වන්නේ ය. සිටුවා ලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් රාග ද්වෙෂ මොහ නමැති තරංග සමූහයන් ඇති මහත් වූ මහාවිතර්කසම්ප්‍ර‍හාරයෙහි චිත්තය වළක්වා ලිය යුත්තේ ය. නවත්වා ලිය යුත්තේ ය, ෂඩින්ද්‍රියයන් විසින් දිශානුදිශාවට ගෙණ යන්නට නුදුන යුත්තේ ය. මහරජානෙනි, නැව් ලකනකයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, නැව් සිටුවා ලන සිනිකඳ නො ඉල්පෙන්නේ ය. සියක්රියන් ගැඹුරු ජලයෙහි ද නැව සිටුවාලන්නේ ය. සිටි ස්ථානයට ම පමුණුවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ලාභ යස සත්කාර මානන වන්දන පූජනාදි අපචිතියෙහි ලාභාශ්‍ර‍ යසාග්‍රයෙහි ද නො ඉල්පුන යුත්තේ ය. ශරීරයාපනමාත්‍රයෙක්හි ම චිත්තය තැබිය යුත්තේ ය. මහරජානෙනි, මේ නැව් ලකනකයාගේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය ධම්සෙනෙවි සැරියුත්මහථෙර ස්වාමීන් වහන්සේ විසින් ද‍:-

“යථා සමුද්ද ලකනං-න ජලවති න සීදති,

තථෙව ලාභසක්කාරෙ-මජ ජලවථ විසීදථ” යි.

‘මහාසමුද්‍රයෙහි ලකනය යම් සේ නො ඉල්පේ ද, නො ගැලේ ද, එසේම ලාභසත්කාරයෙහි නො ඉල්පෙවු. යැපෙන පමණකට ගැලෙව’ යි කියා වදාරණ ලද්දේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘නෞකායෂ්ටියගේ එක් අංගයක් ගත යුතතේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වු එකාංගය කවරේ ද?” යි විචාළෝ ය.

“යථා මහාරාජ කූපො රජ්ජුඤ්ච වරත්තඤ්ච ලකාරඤ්ච

ධාරෙති -පෙ- අයං වො අම්හාකං අනුසාසනී” ති.[10]

“මහරජානෙනි, යම් සේ නැව්කුඹය මහලනුව ද, වරපට ද, රුවල ද ධරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සිහිනුවණින් සමන්නාගත විය යුත්තේ ය. ඉදිරියට යාමෙහි ද, ආපසු යාමෙහි ද ඉදිරි බැලීමෙහි ද, දිසානුදිසා බැලීමෙහි ද, හස්තපාද හකුළුවා ලීමෙහි ද, දිග හැරීමෙහි ද, සංඝාටිපාත්‍ර‍ සිවුරුධාරණයෙහි ද, පිණ්ඩපාත (477) භොජනය අනුභව කිරීමෙහි ද, තර ලා දිය පීමෙහි ද, පූප ඵලාදිය කෑමෙහි ද, මධුඵාණිතාදිය ලෙවීමෙහි ද, මලමුත්‍රාදි නිලීන ක්‍රියායෙහි ද, ගමනෙහි ද, සිටීමෙහි ද, හිඳීමෙහි ද, නිද්‍රායෙහි ද, නිදි වැළැක්මෙහි ද, කථා කිරීමෙහි ද, තුෂ්ණීම්භාවයෙහි ද යන මෙහි සාර්ථකසම්පජඤ්ඤය සත්ප්‍රායසම්පජඤ්ඤය ගොචරසම්පජඤ්ඤය අසම්මොහසම්පජඤ්ඤය යන චතුර්විධ සම්පජානතාවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, කූපයාගේ මේ එකාංගය ශාසනික තැන් විසින් ගත යුත්තේ ය.

මහරජානෙනි, දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, අතීතයෙහි කප්ගිනි ගත් රුවන්මෙරක් සේ අනන්ත වූ බුද්ධශ්‍රීයෙන් බබළන්නා වූ අසූරියන් බුදුබඳින් තුන්ලෝ බබුළුවමින් සාර ලක්ෂයක් රහතුන් පිරිවරා ලක්ෂයක් අවුරුදු ලෝ වැඩ කළා වූ දීපංකර නම් බුදුරජානෝ ද, එසේ ම අටාසූරියන් බුදුබඳින් මුළුලොව බබුළුවා කොටිලක්ෂයක් රහතුන් පිරිවරා ලක්ෂයක් අවුරුදු වැඩ හුන් කොණ්ඩඤ්ඤ නම් බුදුරජානෝ ද, සොළසාසංඛ්‍යකප්ලක්ෂයක් පිරූ පාරමිතා ඇති තමන් වහන්සේ මවුකුල උපන් දවස් පටන් දසඑකඩමසක් මුළුල්ලෙහි මෑනියන්ගේ ඇඟින් නික්මුනු ආලොකයෙන් අසූරියන් සැතපෙන ගෙයි පහන් නො නංවා ම අඳුරු දුරු කොට දිලියෙමින් මවුකුසින් බිහිවෙමින් වැඩිවිය පැමිණ තිස්දහසක් පුරඟනන් පිරිවරා නවදහසක් හවුරුදු රාජ්‍යශ්‍රී විඳ තුන්කොටියක් පුරුෂයන් හා සමග මහබිනික්මන් නික්ම නාගබොධි මූලයෙහි වැඩ හිඳ පස්මරුන් පරාජය කොට ලොවුතුරා බුදු වූ තැන් පටන් දසදහසක් සක්වළ චන්ද්‍ර‍සූර්යයන් කදෝපැණියන් සේ නිෂ්ප්‍ර‍භ කෙරෙමින් රෑ දාවල් එකාලොක කොට දිලියෙමින් කොටිලක්ෂයක් රහතන් පිරිවරා අසූරියන් බුදුබඳින් දසදහසක් සක්වළ එකාලොක කොට බබුළුවමින් සද්ධර්මාමෘතපානයෙන් තුන්ලෝවාසීන් පිණවා අසූදහසක් හවුරුදු වැඩ හුන් මංගල නම් බුදුරජානෝ ද, අනූරියන් බුදුබඳින් මුළුලෝ බබුළුවා කොටිලක්ෂයක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් සුමන නම් බුදුරජානෝ ද, අසූරියන් බුදුබඳින් නික්මුනු බ්‍යාමප්‍ර‍භාමණ්ඩලයෙන් රෑ දාවල් සතරගව්වක අඳුරු දුරු කොට කොටිගණන් රහතන් පිරිවරා සැටදහසක් හවුරුදු වැඩ හුන් රේවත නම් බුදුරජානෝ ද, අටපනස්රියන් බුදුබඳින් තිස්කොටියක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් සොභිත නම් බුදුරජානෝ ද, පනස්අටරියන් බුදුබඳින් තිස්දහසක් රහතන් පිරිවරා ලක්ෂයක් හවුරුදු වැඩ හුන් අනොමදස්සී නම් බුදුරජානෝ ද, පණස්අටරියන් බුදුබඳින් කොටියක් රහතන් පිරිවරා ලක්ෂයක් හවුරුදු වැඩ හුන් පදුම නම් බුදුරජානෝ ද, අටඅසූරියන් බුදුබඳින් නික්මුනු බ්‍යාමප්‍ර‍භාමණ්ඩලයෙන් දොළොස්යොදුනෙක දිවාරාත්‍රියෙහි අඳුරු දුටු කොට අසූකොටියක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් නාරද නම් බුදුරජානෝ ද, එසේ ම අටාසූරියන් බුදුබඳින් හැත්තෑලක්ෂයක් රහතන් පිරිවරා ලක්ෂයක් හවුරුදු වැඩ හුන් පදුමුත්තර නම් බුදුරජානෝ ද, අටාසූරියන් බුදුබඳින් සියක්කොටියක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් සුමෙධ (478) නම් බුදුරජානෝ ද, අටපණස්රියන් බුදුබඳින් කොටිලක්ෂයක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් සුජාත නම් බුදුරජානෝ ද, අටාසූරියන් බුදුබඳින් සියක්ලක්ෂයක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් පියදස්සී නම් බුදුරජානෝ ද, අසූරියන් බුදු බඳින් නවකොටියක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් අත්ථදස්සි නම් බුදුරජානෝ ද, අටාසූරියන් බුදුබඳින් කොටිලක්ෂයක් රහතන් පිරිවරා හවුරුදු ලක්ෂයක් වැඩ හුන් ධම්මදස්සී නම් බුදුරජානෝ ද, සැටරියන් උස බුදුබඳින් නවකෙළලක්ෂයක් රහතන් පිරිවරා ලක්ෂයක් හවුරුදු වැඩ හුන් සිද්ධාර්ථ නම් බුදුරජානෝ ද, සැටරියන් බුදුබඳින් සියක් ලක්ෂයක් රහතන් පිරිවරා ලක්ෂයක් හවුරුදු වැඩ හුන් තිස්ස නම් බුදුරජානෝ ද, පණස්අටරියන් බුදුබඳින් කොටියක් රහතන් පිරිවරා අනූදහසක් හවුරුදු වැඩ හුන් ඵුස්ස නම් බුදුරජානෝ ද, හාත්පසින් වට අටවිසි ගව්වෙක රෑ දාවල් නිති පැතිරෙන්නා වූ බ්‍යාමප්‍ර‍භාමණ්ඩලයෙන් බබළන්නා වූ අටාසූරියන් උස බුදුබඳින් සුවාසූදහසක් මහරහතන් පිරිවරා අසූ දහසක් හවුරුදු වැඩ හුන් විපස්සි නම් බුදුරජානෝ ද, සැත්තෑරියන් උස බුදුබඳින් සැත්තෑදහසක් රහතන් පිරිවරා සැත්තෑදහසක් හවුරුදු වැඩ හුන් සිඛී නම් බුදුරජානෝ ද, සැටරියන් බුදුබඳින් සැත්තෑදහසක් ශ්‍රාවකයන් පිරිවරා සැටදහසක් හවුරුදු වැඩ හුන් වෙස්සභූ නම් බුදුරජානෝ ද, සතළිස් රියන් බුදුබඳින් සතළිස්ගව්වෙක බ්‍යාමප්‍ර‍භාමණ්ඩලය පතුරුවා සතළිස් දහසක් ශ්‍රාවකයන් පිරිවරා සතළිස්දහසක් හවුරුදු වැඩ සිටි කකුසඳ නම් බුදුරජානෝ ද, තිස්රියන් උස බුද්ධශරීරයෙන් තිස්දහසක් රහතන් පිරිවරා තිස්දහසක් හවුරුදු ලෝ වැඩ හුන් කොනාගමන නම් බුදුරජානෝ ද, විසි රියන් බුද්ධ ශරීරයෙන් විසිදහසක් රහතන් පිරිවරා විසිදහසක් හවුරුදු මුළුල්ලෙහි ලෝවැඩ වඩා වැඩ හුන් කාශ්‍යප නම් බුදුරජානෝ ද යන තථාගතයන් විසින් ද ‘මහණතෙම සතරසතිපට්ඨාන සංඛ්‍යාත සිහි නුවණින් වාසය කරන්නේ වී නම්, මහණෙනි, තොපට මේ අපගේ අනුශාසනාව ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘නියාමිකයාගේ අංගතුණක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගතුණ කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ දික් සුද්ධිය හා උවදුරු බලා නැව හසුරුවන්නා වූ[11] නියාමකතෙම දිවාරාත්‍රියෙහි නිරන්තරයෙන් ම අප්‍ර‍මාද ව වීර්ය ප්‍ර‍තිවීර්යය ඇති ව නැව හසුරුවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් නිරන්තරයෙන් දිවාරාත්‍රියෙහි චිත්තය ප්‍ර‍ථමධ්‍යානාදියෙහි පමුණුවා ලමින් අප්‍ර‍මාද ව යොනිසොමනස්කාරයෙන් චිත්තය ප්‍ර‍ථමධ්‍යානාදියෙහි පමුණුවා ලිය යුත්තේ ය. මහරජානෙනි, මාමිනිශාස්ත්‍ර‍කාරයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, දෙවාතිදෙව වූ අප මහා භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මපදයෙහි:-

“අප්පමාදරතා හොථ-සචිත්තමනුරක්ඛථ,

දුග්ගා උද්ධරථත්තානං-පඞ්කෙ සත්තොව කුඤ්ජරො” යි.

(479) ‘මහණෙනි, ‘ස්මෘතිඅවිප්‍ර‍වාසය’ යි කියන ලද නො පමාබවෙහි ඇලෙවු. රූපාදිනානාලම්බනයෙහි දිවන්නා වූ තොපගේ සිත එයින් වළකා මනා කොට රකිවු. ගැඹුරු මඩෙහි ගැලුනු ඇතු අතින් පයින් වෑයම් කොට ඒ මඩින් ගොඩ නැංගා මෙන් ක්ලේශමඩෙහි ගැලී ගිය තොප ඒ කෙලෙස්දුදුළෙන් යොනිසොමනස්කාරයෙන් යුක්ත වූ වීර්යය කොට ගොඩ නැඟෙවු’ කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, මාමිනිශාස්ත්‍ර‍කාරයා විසින් මහාසමුද්‍රයෙහි යම් කිසි යහපතක් හෝ නපුරක් හෝ ඇත් නම්, ඒ සියල්ල ම දන්නා ලද්දේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යෝගී වූ යොගාවචරයා විසින් කුසලාකුසලය ද සාවද්‍යානවද්‍යය ද හීනප්‍ර‍ත්‍යය ද, කෘෂ්ණශුක්ලප්‍ර‍තිභාගය ද යන සියල්ල දැන ගත යුත්තේ ය. මහරජානෙනි, මාමිනිශාස්ත්‍ර‍කාරයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මාමිනිශාස්ත්‍ර‍කාර තෙම ‘අන් කිසිවෙක් යන්ත්‍ර‍ය නො අල්ව’ යි කියා යන්ත්‍රයෙහි මුද්‍රිකාව දේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ‘පවිටු වූ කිසියම් අකුශලවිතර්කයක් නො සිතව’ යි කියා තමාගේ ස්වකීය චිත්තයෙහි සංවරශීල නමැති මුද්‍රිකාව දිය යුත්තී ය. මහරජානෙනි, මාමිනිශාස්ත්‍ර‍කාරයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්තනිකායවරයෙහි ‘මහණෙනි, පවිටු වූ අකුශලවිතර්කයන් නො සිතවු. හේ කවර අකුශල විතර්ක කෙනෙක් ද? යත්- කාමවිතර්කය, ව්‍යාපාදවිතර්කය, විහිංසා විතර්කය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘නැව් පිළියම්කාරයාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යම් අංගයක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ නැව සන්ධි සිදුරු විවරාදිය බලා පිළියම් කරන්නා වූ කර්මකාරතෙම ‘බත්බැළයා වූ මම මේ නැවෙහි කර්මාන්ත කෙරෙමි. මේ නැව් නිසා මම බත් වැටුප් ලබමි. මා විසින් ප්‍ර‍මාදයක් නො කට යුත්තේ ය. අප්‍ර‍මාදයෙන් ම මා විසින් මේ නැව පිළියම් කිරීම් වශයෙන් ඉසිලිය යුත්තේ ය’ යි කියා නිරන්තරයෙන් මෙසේ සිතන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් නිරන්තරයෙන් ම මෙසේ සිතිය යුත්තේ ය:- ‘මම වනාහි මේ ස්තබ්දලක්ෂණ වූ පඨවිධාතුව ය, ද්‍ර‍වලක්ෂණ වූ ආපොධාතුව ය, උෂ්ණලක්ෂණ වූ තෙජොධාතුව ය, චලනලක්ෂණ වූ වායොධාතුව ය යන සතරමහාභූතයන්ගෙන් ජනිත වූ ශරීරය සම්මර්ශනය කෙරෙමින් නිරන්තරයෙන් අප්‍ර‍මාද ව එළඹ සිටින ලද සිහි ඇති ව සිහිනුවණින් යුක්ත වූයේ සන්හුන්නෙම් එකඟ වූ සිත් ඇති ව ‘ජාති ජරා ව්‍යාධි මරණ සොක හැඬීම් දුක් දොම්නස් සිත්තැවිලි යනාදියෙන් මිදී යෙමි’ යි සිතා එක්වන් අප්‍ර‍මාදය කට යුත්තේ ය. මහරජානෙනි, කර්මාන්තකාරයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ සැරියුත්මහාථෙර ස්වාමීන් වහන්සේ විසින්:-

“කායං ඉමං සම්මසථ-පරිජානාථ පුනප්පුනං,

කායෙ සභාවං දිස්වාන-දුක්ඛස්සන්තං කරිස්සථ” යි.

(480) ‘සබ්‍ර‍හ්මචාරිනි, මේ ශරීරය සතරමහාභූතික වශයෙන් සම්මර්ශනය කරවු. නැවත නැවතත් පිරිසිඳ අවබොධය කරවු. ශරීරයාගේ අනිත්‍යාදිස්වභාවය ද එකාන්ත දුක්ඛබව ද දැක සියලු ම සංසාරවෘත්ත දුක්ඛයාගේ කෙළවර කරවු’ කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මහාසමුද්‍ර‍යාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මහාසමුද්‍ර‍ය මළා වූ කුණපය හා සමග නො වසන්නේ ය, පහ කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් රාග ද්වෙෂ මොහ මාන දෘෂ්ටිය ද, අනුන්ගේ ගුණමකුබව ද, යුගග්‍රාහලක්ෂණ වූ පලාසය ද, ඊර්ෂ්‍යාව ද, මාත්සර්යය ද, කළ වරද සඟවන මායාව ද නැති ගුණ පහළ කරණ සඨබව ද, වඤ්චාප්‍ර‍වෘත්ති ඇති කුටිලත්වය ද යන විෂම දුශ්චරිත ක්ලේශමලය හා සමග නො වැසිය යුත්තේ ය. මහරජානෙනි, සමුද්‍ර‍යාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙින, මහා සමුද්‍ර‍ය මුක්තාමාණික්‍ය වෛඩූර්ය ශංඛ ශිලා ප්‍ර‍වාල ස්ඵටික ප්‍ර‍භෘති වූ විවිධ රත්නරාශීන් ධරන්නේ ය, ඉවසන්නේ ය, මුහුදින් පිටත නො විසුරුවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් මාර්ගඵල ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති විදර්ශනාභිඥාදී විවිධ වරගුණරත්නයන් පැමිණීම් වශයෙන් ගෙණ සිතින් ඉසිලිය යුත්තේ ය. සිතින් පිටත් කොට අසජ්ජනයන් කෙරෙහි නො පතළ කළ යුත්තේ ය. මහරජානෙනි, මහාසමුද්‍ර‍යාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහාසමුද්‍ර‍යතෙම මහත් වූ තිමි තිමිංගගලය තිමිර පිංගලය යනාදි මහාභූතයන් සමග දිවිහිමියෙන් ම එක් ව වසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ධුතාංගවාදි වූ සැහැල්ලුප්‍ර‍වෘත්ති ඇත්තා වූ ආචාරසම්පන්න වූ පාපයෙහි ලජ්ජා ඇත්තා වූ පෙසල වූ ගෞරව වැඩිය යුතු වූ ශීලකථාදිය කියන්නා වූ වචනක්ෂම වූ දුටු වරදින් චොදනා කරන්නා වූ පාපයට ගර්හා කරන්නා වූ කරුණාපූර්වංගම ව අවවාද කරන්නා වූ කළ වරදට අනුශාසනා කරන්නා වූ අර්ථ විඥාපනය කරවන්නා වූ මෙලෝපරලෝ වැඩ දක්වන්නා වූ දක්වාලූ වැඩෙහි සමාදන් කරවන්නා වූ සමාදන් වූ පිළිවෙත්හි සිත තියුණු කරවන්නා වූ එහි ම ‘යහපත, යහපතැ’ යි කියා සිත ප්‍ර‍සන්න කරවන්නා වූ එහෙයින් ම කල්‍යාණමිත්‍ර‍ වූ සබ්‍ර‍හ්මචාරී වූ ආචාර්ය කෙනෙකුන් ආශ්‍ර‍ය කොට වැසිය යුත්තේ ය. මහරජානෙනි, මහාසමුද්‍ර‍යාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහාසමුද්‍ර‍යතෙම අළුත වැස්සා වූ බොහෝ වූ ජලයෙන් සම්පූර්ණ වූ ගංගා යමුනා අචිරවතී සරභූ මහී යනාදි සියදහස්ගණන් ගංගාජලයෙන් හා අහසින් වසින අනන්තජලධාරායෙන් පිරෙණ ලද්දේ ද, තමාගේ ස්වකීය වෙරළ අඟලකුදු නො ඉක්මවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් ලොකයාගේ ලාභසත්කාර කීර්ති ප්‍ර‍ශංසා වන්දන මානන පූජා පිණිස සිත උඩඟු ව තමාගේ දිවි යේ නමුදු දැන දැන ශික්ෂාපදව්‍යතික්‍ර‍මණය නො කට යුත්තේ ය. (481) මහරජානෙනි, සමුද්‍ර‍යාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය හුදෙක් මම ම කියන්නෙම් නො වෙමි. අප සනරාමර ලොකස්වාමි වූ දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ද:-

“සෙය්‍යථාපි මහාරාජ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතික්කමති, එවමෙව ඛො, මහාරාජ, යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්ති” යී.

‘මහරජ, යම් සේ ඨිත ස්වභාව ඇති මහාසමුද්‍ර‍ය වෙරළ නො ඉක්මවා ද, මහරජ, එපරිද්දෙන් ම ශ්‍රාවකයන්ට මා විසින් යම් ශික්ෂාපදයක් පණවන ලද ද, ඒ ශික්ෂාපදය මාගේ ශ්‍රාවකයෝ තමන්ගේ දිවි පිණිසත් නො ඉක්මවති’ යි කියා වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, මහාසමුද්‍ර‍ය ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී ආදී සියලු ම ගංගාජලයෙන් හා අහසින් වසින අනන්තජලධාරාවෙන් නො පිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් පෙළ කියවා ගැණීම ය, එහි අර්ථකථා ඇසීම ය, ධර්මශ්‍ර‍වණය කිරීම ය, ඇසූ දහම් ධාරණය කිරීම ය, අර්ථවිනිශ්චය කිරීම ය, අභිධර්ම ඉගැන්ම ය, විනය ඉගැන්ම ය, දැඩි වූ සූත්‍රාන්ත ඉගැන්ම ය, විග්‍ර‍හපද ඉගැන්ම ය, සමාසපද ඉගැන්ම ය, සන්ධිපද ඉගැන්ම ය, ආඛ්‍යාතවිභක්ති ඉගැන්ම ය, නාම විභක්ති ඉගැන්ම ය යනාදියෙන් යුක්ත වූ නවාංගශාස්තෘශාසනවරය බොහෝ සෙයින් ශ්‍ර‍වණය ධාරණය කරන්නාහු විසිනුදු ඇතැ යි කියා තෘප්තියට නො පැමිණිය යුත්තේ ය. මහරජානෙනි, මහාසමුද්‍ර‍යාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සුතසෝමජාතකයෙහි වදාරණ ලද්දේ ය.

“අග්ගී යථා තිණකට්ඨං ඩහන්තො

න තප්පති සාගරො වා නදීහි,

එවං හි මෙ පණ්ඩිතා රාජසෙට්ඨ

සුත්‍වා න තප්පන්ති සුභාසිතෙන” යි.

“පොරිසාදරජහට ‘භවත් රාජශ්‍රෙෂ්ඨයෙනි, තෘණකාෂ්ඨ දවන්නා වූ වහ්නිය යම් සේ තෘප්තියට නො යේ ද, ගංගාජලයෙන් සමුද්‍ර‍ය නො පිරේ ද. එසෙයින් ම මාගේ සුභාෂිතය අසා පණ්ඩිතයෝ තෘප්තියට නො යන්නාහු ය.”

උද්දාන පද නම්:-

ලාපූලතා ච පදුමං-බීජං සාලකල්‍යාණිකා

නාවා ච නාවාලකනං-කූපො තියාමකො තථා

කම්මකාරො සමුද්දො ව-වග්ගො තෙන පවුච්චති.

දෙවිසිඅංගයක් ඇති දෙවන වර්ගය නිමි.

(482) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පෘථිවියගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මහාපෘථිවි තොම ඉෂ්ට වූ කපුරු කළුවැල් තුවරලා චන්දකුංකුමාදිය විසුරුවන කල්හි යම්බඳු වී ද, පිත් සෙම් සැරව ලේ ඩහදිය මේදතෙල් කෙළ සොටු සඳමිදුළු මුත්‍ර‍ අසූචි යනාදි අනිෂ්ටවස්තු බහා ලීමෙහිත් එබඳු ම වේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් ඉෂ්ටානිෂ්ට වූ ලාභාලාභයෙහි ද යසායසයෙහි ද නින්දාප්‍ර‍ශංසායෙහි ද සුඛදුක්ඛයෙහි ද යනාදි හැමතැන්හි ම එකාකාර වූ සමාධිගුණයෙන් ම යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, පෘථිවියගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය.

තවද, මහරජානෙනි, මහාපෘථිවිතොමෝ පහ වූ ආභරණසැරහීම් ඇත්තී තමාගේ පෘථිවිගන්ධයෙන්ම වැඩෙන ලද්දී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් පහ කරණ ලද ආභරණ හා ශරීරමණ්ඩනයෙන් ඇති ව තමාගේ චතුපාරිශුද්ධිශීලගන්ධයෙන් හා වැඩීමෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, පෘථිවියගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය.

තවද, මහරජානෙනි, මහාපෘථිවිතොමෝ අතුරක් නැත්තී ය. සිදුරක් නැත්තී ය. සුසිරයක් නැත්තී ය. බහල වූවා ය, ඝන වූවා ය. විස්තීර්ණ වූවා ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් අතුරු නැත්තා වූ නො කඩ වූ සිදුරු නො වූ අසුසිර වු බහල වූ ඝන වූ විස්තීර්ණ වූ පිරිසිදු ශීලයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, පෘථිවියගේ මේ තෘතියාංගය ගත යුත්තේ ය.

තවද, මහරජානෙනි, මහාපෘථිවිතොමෝ ගාම නිගම නගර ජනපද වෘක්ෂ පර්වත ගංගා වැව් පොකුණු මෘග පක්ෂි මනුෂ්‍ය නරනාරි ජනසමූහයා ධරන්නී ද අකුසීත වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පරහට අවවාද කරන්නා වූ ද අනුශාසනා කරන්නා වූ ද අර්ථධර්මය අවබොධය කරන්නා වූ ද මෙලෝ පරලෝ වැඩ දක්වන්නා වූ ද දක්වාලූ වැඩෙහි සමාදන් කරවන්නා වූ ද සමාදන් වූ වැඩෙහි සිත තියුණු කරවන්නා වූ ද ඒ පිළිවෙත්හි ම ‘යහපත, යහපතැ’ යි කියා සිත ප්‍ර‍සන්න කරවන්නා වූ ද යොගී වූ මහණුන් වහන්සේ විසින් පරහට ධර්මදෙශනා කිරීමෙහි අකුසිත විය යුත්තේ ය. මහරජානෙනි, පෘථිවියාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය.

තවද, මහරජානෙනි, මහාපෘථිවිතොමෝ හිතාහිතයන් කෙරෙහි දයා ක්‍රොධ දෙකින් මිදුනා ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් දයා ක්‍රොධ දෙකින් මිදුනා වූ පෘථිවිය හා සම වූ සිතින් වාසය කළ යුත්තේ ය. මහරජානෙනි, පෘථිවියගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, අනේපිඬුසිටානන්ගේ දුහිතෘ වූ චූලසුභද්‍රා නම් සිටු දියණියන් සාකෙත නුවර කාලක නම් සිටානන්ගේ පුත්‍ර‍යාහට සරණ ගිය දවස් කාලක නම් සිටානෝ, ‘මපුතනුවන්ගේ සරණමගුලෙහි පළමු කොට ම මාගේ රහතුන් වළඳවමි’ යි සිතා නොයෙක් දෑ පිළියෙල කරවා පන්සියයක් පමණ අවෙලකයන්ට ආරාධනා කොට වඩා හිඳුවා ‘මා යෙහෙළිනියෝත් මොබ අවුත් මේ රහතුන් වැඳ පුදා පින් ගණුව’ යි කියා යවූහ. එකළ චූළ (483) සුභද්‍රාවෝ ද රහතුනැ යි යන බස අසා වහා ම අවුත් නිඃශ්‍රිකදර්ශනය ඇති නිර්ලජ්ජිත වූ තිරශ්චීන රැළක් සෙයින් බත් කෑමට සෑදිහුන් පන්සියයක් අචෙලකයන් දැක මහත් වූ ලජ්ජාවට පැමිණ ‘අහෝ! මොහු කුමන රහත්හු ද? මොවුන්ගේ අභ්‍යන්තරයෙහි ලජ්ජාවෙක් නම් නැත. පිටත්හි භයෙක් නම් නැතැ’ යි යනාදීන් නින්දා කොට කෙළ දමා තමා වසන ගෙට ම ගොස් වන්හ. එකල මිථ්‍යාවෝ (?) කිපී ‘මහසිටානෙනි, මෙබඳු වූ කාලකණ්ණි කෙල්ලක් කොයින් ලද්දේ ද? කිමෙක් ද මුළු මහත් දඹදිව සිස් වී දැ?’ යි යනාදීන් සිටානන්ට නින්දා කළාහු ය. එකල සිටානන් ‘අනේ! වහන්සේවරුනි, ඉතා බොළඳ තැනැත්තියගේ නො දැන කී බසෙහි උරණ නො වන්නේ ය’ යි සිත් තනා ඔවුන් යවා චූළසුභද්‍රාවන් ලඟට ගොස් ‘අම්ම, චූළසුභද්‍රාවෙනි, මුළුලොවට පින්කෙත් වූ තමන් වැඳ පිදුවන්ට නිවන් සැපත් දෙන්නා වූ වස්ත්‍ර‍කඩයෙහිත් ආලයක් නො කොට කෙලෙසුන් කෙරෙන් දුරු ව වසන්නා වූ රහතන් කුමක් පිණිස ලජ්ජා කොට ආ නියා දැ?’ යි විචාළ කල්හි ‘මයිලනුවන් වහන්ස, රහත්හු නම් මෙබඳු වූ අලජ්ජි නො වෙති. මහපොළොව මෙන් විපුල වූ ගුණ ඇත්තාහු ය’ යි කී කල ‘මා යෙහෙළිනි, ඒ නුඹගේ රහත්හු කෙබඳු නියා දැ?’ යි කියා කාලකසිටානන් විසින් විචාරණ ලද්දා වූ, ස්වකීය වූ ශ්‍ර‍මණයන් ප්‍ර‍කාශ කොට කියන්නා වූ මාර්ගඵලලාභී වූ චූළසුභද්‍රා නම් උපාසිකාවන් විසින්-

“එකං වෙ බාහං වාසියා-තච්ඡෙය්‍ය කුපිතමානසො,

එකං චෙ බාහං ගන්‍ධෙන-ආලිම්පෙය්‍ය පමොදිතො.

-

අමුස්මිං පටිඝො නත්‍ථි-රාගො අස්මිං න විජ්ජති,

පඨවීසමචිත්තා තෙ-තාදිසා සමණා මම” යි.

යනුවෙන් ‘මයිලනුවන් වහන්ස, ඉදින් කිපිසිත් ඇත්තා වූ කිසිවෙක් එක් බාහුවක් වෑයෙන් සස්නේ ය. ඉදින් සතුටු සිත් ඇත්තා වූ කිසිවෙක් එක් බාහුවක් සුගන්ධයෙන් ආලෙපනය කරන්නේ ය. එසේ කරන්නාහු කෙරෙහි ක්‍රොධයෙක් නැත්තේ ය. චන්දනානුලෙපනාදියෙන් සෙත් කරන්නාහු කෙරෙහි ඇල්මකුත් නැත්තේ ය. ඒ රහත්හු පෘථිවිය සමාන වූ සිත් ඇත්තාහු ය. මාගේ ශ්‍ර‍මණයෝ එබඳු වූහ.’ යි කියා මේ පෘථිවි සමාන වූ ගුණය කියන ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උදකයාගේ පඤ්චාංගකෙනෙකුන් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ උදකය වැව් පොකුණු ආදියෙහි මනා ව ම පිහිටන ලද්දේ ය. කම්පා නො වන්නේ ය. නො කැලඹෙන්නේ ය. එහෙයින් ස්වභාවයෙන් ම පිරිසිදු වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් ලාභසත්කාර උපදවාලීම පිණිස ‘යමෙක් තොපගේ සිවුපසය පරිභොග කෙරේ ද, එතෙම රහත් ය’ යි යනාදී දායකයන් ලං කොට ගෙණ කථා කිරීමය, ප්‍රාසාදික වූ ඊර්‍ය්‍යාපථයකින් යුක්ත ව හිඳීම ය, ප්‍ර‍ත්‍යය නො පිළිගන්නාක් මෙන් ප්‍ර‍තික්ෂෙප කිරීම ය යන ත්‍රිවිධ කුහන වස්තුවෙන් තමා ලොකයා සිත් විස්මයපත් කර (484) වනබව ය, ලාභසත්කාර කැමැති ව යම් සේ දායකයා කිසිවක් දේ ද, එසේ තමන්ගේ දායකයා හෝ උසස් කොට කථා කරන්නා වූ ලපනබව ය, ලාභසත්කාර කැමැති ව ප්‍ර‍ත්‍යය දෙන සංඥාව අනුන්ට සඳහන් කරවන්නා වූ කායවාක්කර්මය ඇති නෙමිත්තකබව ය, ගුණාගුණ කීමෙන් අනුන්ගේ සිත් සුණු කොට මිරිකා ලාභසත්කාර උපදවන්නා වූ නිප්පෙසිකබව ය යන කුහන ලපන නෙමිත්තක නිප්පෙසිකබව ය, පහ කොට යහපත් කොට පිහිටන ලද්දා වූ කම්පා නො වන ලද්දා වූ නො කැළඹෙන ලද්දා වූ ස්වභාවයෙන් ම පිරිසිදු වූ ආචාරශීලයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, උදකයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, උදකය ශීතලභාවයෙන් යුක්ත ව සිටියේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් හිතාහිතසකලසත්වයන් කෙරෙහි ක්ෂාන්ති මෛත්‍රීදයාසම්පන්න වූ හිතෙසි ව අනුකම්පාවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, උදකයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, උදකය අශූචිකර්දමාදිය සොධා සකල ජනයන් පවිත්‍ර‍ කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් ග්‍රාමයෙහි හෝ අරණ්‍යයෙහි හෝ පිරිසිදු සඟමැද උක්කුටුකයෙන් හිඳ දොහොත් නඟා වැඳ ගෙණ ‘උපජ්ඣායො මෙ භන්තෙ හොහි’ යන වාක්‍යයෙන් ‘වහන්ස, මට නුඹ වහන්සේ උපාධ්‍යාය වුව මැනැවැ’ යි තුන් යළක් කියා ප්‍ර‍තිඥා ගෙණ ‘අජ්ජතග්ගෙදානි ථෙරො මය්හං භාරො. අහම්පි ථෙරස්ස භාරො’ යන වාක්‍යයෙන් ‘දැන් අද පටන් තෙරුන් වහන්සේ මට භාර ය. මමත් තෙරුන් වහන්සේට භාර ය’ යි කියා උපසම්පදාමාළකයෙහි දී භාරලත් උපාධ්‍යායයන් වහන්සේ කෙරෙහි ද, උපසම්පදා කර්මවාක්‍යය කියා උපසම්පදා කළ කර්මවාචාචාරීන් කෙරෙහි ද, ධර්මය පුහුණු කරවන ධර්මාචාරීන් කෙරෙහි ද, නිසදායක ආචාරීන් කෙරෙහි ද, ගුරුන් සම වූ ආචාර්යමාත්‍ර‍ සබ්‍ර‍හ්මචාරීන් කෙරෙහි ද, හැමතැන්හි ම චොදනා කිරීමට අවකාශකාරි ව අධිකරණ විරහිත යුත්තේ ය, කායවාක්සමාචාරයෙන් සියල්ලන් සිත් ප්‍ර‍සන්න කළ යුත්තේ ය. මහරජානෙනි, උදකයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, උදකය සකලජනයන් විසින් ප්‍රාර්ථික වන ලද්දේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් අල්පෙච්ඡ සන්තුෂ්ට පවිවිත්ත පටිසල්ලානගුණයෙන් නිරන්තරයෙන් ම සනරාමරසකලලොකයා විසින් ප්‍රාර්ථනීය විය යුත්තේ ය. මහරජානෙනි, උදකයාගේ මේ චතුර්ථාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, උදකයා කිසිවක්හට අහිතක් නො පිහිටු වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් කයින් වචසින් මනසින් පරහට භණ්ඩන කලහ විග්‍ර‍හ විවාද සිස් ව කිපීම් ආදී නො සතුටු උපදවන්නා වූ නපුරුක්‍රියාවක් නො කට යුත්තේ ය. මහරජානෙනි, ආපයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහ්නසේ විසින් කණ්හ ජාතකයෙහි:-

“වරං චෙ මෙ අදා සක්ක-සබ්බභූතානමිස්සර,

න මනො වා සරීරං වා-මංකතෙ සක්ක කස්සචි,

කදාචි උපහඤ්ඤෙථ-එතං සක්ක වරං වරෙ” යි.

(485) ‘ශ්‍රීමහාබොධිසත්වයන් වහන්සේ කලෙක බරණැස බ්‍රාහ්මණ කුලයෙක ඉපිද වැඩි විය පැමිණ අපරිමිතධනසැපත් හැර සෘෂිප්‍ර‍ව්‍ර‍ජ්‍යාවෙන් පැවිදි ව හිමවත් වැද උග්‍ර‍තපස් කෙරෙමින් ධ්‍යාන උපදවා ඉන්ද්‍ර‍වාරුණී නම් නමඬනරුකක් මුල ම හිඳ ඒ තුර ඵල මල් සුඹුළු පත්‍ර‍ දතින් සිඳ වළඳමින් පරමඅල්පෙච්ඡතාවෙන් වසන ල ඒ ගුණමහිමයෙන් සක්දෙවිඳු හුන් සලස්න හුණු ව අවුත් බණ අසා අතිප්‍ර‍සන්න ව දසනඛසමොධානයෙන් නමස්කාර කෙරෙමින් ‘ස්වාමීනි, නුඹ වහන්සේට කැමති වරයක් ගෙණ වදාළ මැනැවැ’ යි කී කල්හි ‘ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, ඉදින් තෙපි මට වරයක් දෙන්නහු නම්, සකලසත්වයන් කෙරෙහි ක්‍රොධ නො කිරීම ය, ද්වෙෂ නො කිරීම ය, අනුන් සතු වස්තුවෙහි ලොභ නො කිරීම ය, තමා සන්තක වු අවිඤ්ඤාණකසවිඤ්ඤාණකවස්තුවෙහි ස්නෙහ නො කිරීම ය, මේ වනයෙහි වසන්නා වූ මට අන්තරායකර වූ ව්‍යාධියෙක් නූපදීව යි යන මේ වර මට දෙව’ යි කියා වර ඉල්ලූ කල ‘කෘෂ්ණපණ්ඩිතයෙනි, තොපට කී තාක් වර දිනිමි. තවත් තොපට වරයක් දෙමි’ යි කීහ. එබස් අසා මහාබොධිසත්වයෝ වරයක් ගන්නා සේක්, ‘සකලප්‍රාණීභූතයන්ට ඊශ්වර වූ ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, තෙපි මට කැමැති වර දුන්නාහ. ඉදින් තවත් වරයක් දෙනු කැමැත්තේ වී නම්, ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, මා නිසා මට අනර්ථ කැමැති වූ මනොද්වාර කායද්වාර වාක්ද්වාර යන ත්‍රිවිධද්වාරය කිසි සත්වයක්හට කිසි කලෙකත් දශඅකුශලකර්මපථය කිරීම් වශයෙන් නො ඝැටෙන්නේ වේ ද, ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, මේ වරය මට උතුම් වන්නේ ය’ යි කියා මේ තුන්දොරින් පවක් නො කරණ වරය ගත්සේකැ’ යි කියා වදාරණ ලද්දේ ය.’

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘වහ්නියගේ පංචාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පංචාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ වහ්නිය තෘණ කාෂ්ඨ ශාඛා පත්‍ර‍ දවා ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් තමාගේ චක්ෂුශ්ශ්‍රොතාදී ආධ්‍යාත්මික වූ හෝ රූප ශබ්දාදී බාහිරක වූ හෝ ඉෂ්ටානිෂ්ට අරමුණු වඩන්නා වූ යම් ඒ ක්ලේශ ධර්මකෙනෙක් ඇද්ද, ඒ සියලු ම ක්ලේශධර්මයන් නවමහාවිදර්ශනා ඥානාග්නියෙන් දැවිය යුත්තේ ය. මහරජානෙනි, වහ්නියගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, යම් සේ වහ්නිය කිසි කෙනෙකුන්ට දයාවක් නැද්ද, කරුණාවක් නැද්ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් රාගද්වෙෂාදී සියලු ම ක්ලේශයන් කෙරෙහි කරුණාවෙක් දයාවෙක් නො කට යුත්තේ ය. මහරජානෙනි, වහ්නියගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, යම් සේ වහ්නිය සීත නසා ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් සකලක්ලේශයන් තවන්නා වූ වීර්යසන්තාපාග්නි උපදවා ගෙණ සකලක්ලේශයන් නැසිය යුත්තේ ය. මහරජානෙනි, වහ්නියගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වහ්නිය සියල්ලන් කෙරෙහි දයාක්‍රොධදෙකින් මිදී උෂ්ණ උපදවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ (486) මහණුන් වහන්සේ විසින් සකලසත්වයන් කෙරෙහි දයා ක්‍රොධ දෙකින් මිදුනා වූ වහ්නිය හා සම වූ සිතින් වාසය කළ යුත්තේ ය. මහරජානෙනි, වහ්නියගේ මේ සතර වන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වහ්නිය ඝනතරතිමිරාන්ධකාරය දුරු කරන්නේ ය. මනොහර වූ ආලොකය දක්වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී ව මහණුන් වහන්සේ විසින් චතුස්සත්‍යප්‍ර‍තිච්ඡාදක වූ අවිද්‍යාන්ධකාරය දුරු කොට විපස්සනාඤාණ මනොමයිද්ධි ආදී වූ අෂ්ට විද්‍යාඥානාලොකය දැක්විය යුත්තේ ය. මහරජානෙනි, වහ්නියගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ තෙජොපමාව තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රාහුලස්ථවිරයන් වහන්සේට අවවාද කරන්නා වූ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“තෙජොසමං, රාහුල, භාවනං භාවෙභි, තෙජොසමං හි තෙ රාහුල භාවනං භාවයතො අනුප්පන්නාචෙව අකුසලාධම්මා න උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා චිත්තං න පරියදාය ඨස්සන්ති.”

යන මෙයින් ‘රාහුලයෙනි, තෙපි තෙජොසම වූ භාවනාව භාවනා කරව. රාහුලයෙනි, තෙජොසම ව භාවනා වඩන්නා වූ තොපට නූපන්නා වූ අකුශලධර්මයෝ නො උපදිත් ම ය. උපන්නා වූ අකුශලධර්මයෝ ද සිත වැලඳ නො සිටිති. සිතින් පහ ව යෙති’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වාතයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පංචාංගයකවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ වාතය සුපුෂ්පිත වනෂණ්ඩය අතුරට මනා ව හමන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අර්හත්ඵලසමාපත්ති නමැති ප්‍ර‍වරකුසුමයෙන් සුපුෂ්පිත ව සැරහුනා වූ දසකසිණාරමුණු නමැති මහාවනයෙහි සිත රමණය කට යුත්තේ ය. ඇලිය යුත්තේ ය. මහරජානෙනි, මේ වාතයාගේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වාතය භූමියෙහි හට ගත්තා වූ වෘක්ෂසමූහයන් මථනය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සසරභයින් වනාන්තරගත වූ චෙතනාව, ස්පර්ශය, මනස්කාරය යනාදී සර්වසංස්කාරප්‍ර‍වෘත්තීන්ගේ තත්ත්වය සොයන්නා වූ යොගී වූ මහණුන් වහන්සේ විසින් සර්වක්ලේශමථනය කළ යුත්තේ ය. මහරජානෙනි, වාතයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වාතය අහස හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සතරමග ය, සතර ඵල ය, නිර්වාණ ය යන නවලොකොත්තර සද්ධර්මයෙහි සිත හසුරුවා ලිය යුත්තේ ය, සංචාරණය කරවාලිය යුත්තේ ය. මහරජානෙනි, වාතයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වාතය ඒ ඒ සුගන්ධය නො හැර උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් තමාගේ සීලසුගන්ධය ප්‍රීතිසිතින් අනුභව කළ යුත්තේ ය. මහරජානෙනි, වාතය කිසි (487) ආලයක් නැත්තේ ය, ගෙයක නො වසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් නිරාලය ව අනිකෙතවාසී ව මිත්‍ර‍සන්ථව විරහිත ව හැම තැන ම මිදුනා වූ සිතින් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, වාතයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර‍නිපාතයෙහි:-

“සත්‍වවාතො භයං ජාතං-නිකෙතා ජායතී රජො,

අනීකෙතමසන්‍ථවං-එතං වෙ මුනිදස්සනං” යි.

‘මිත්‍ර‍සන්ථවයෙන් භය උපදනේ ය, ගෘහය නිසා ක්ලේශරජස් උපදනේ ය. එසේ හෙයින් ගෘහවාසයක් නැතිබව හා ඇල්මක් නැති බව ද මේ කාරණද්වයය එකාන්තයෙන් ම සර්වඥමුනීන් විසින් නිවැරදි වසයෙන් දක්නා ලද්දේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පර්වතයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, පර්වතය යම් සේ අචල වී ද, නිශ්චල වී ද, කම්පා නො වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සම්මතයෙහි ද, අවමානයෙහි ද, සත්කාරයෙහි ද, අසත්කාරයෙහි ද, ගරුකාරයෙහි ද, අගරුකාරයෙහි ද, යසසෙහි ද, අයසෙහි ද, නින්දායෙහි ද, ප්‍ර‍ශංසායෙහි ද, සුවයෙහි ද, දුඃඛයෙහි ද, ඉෂ්ටානිෂ්ට වූ රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍යධර්ම යන හැම තන්හි ද ඇලුන මනා තන්හි නො ඇලුන යුත්තේ ය. චිත්තදූෂණය කළ මනා තන්හි චිත්ත දූෂණය නො කළ යුත්තේ ය. මුළා විය යුතු තන්හි මුළා නො විය යුත්තේ ය, කම්පා නො විය යුත්තේ ය, චලිත නො විය යුත්තේ ය, මහාඝන ශෛල පර්වතය මෙන් නිශ්චල විය යුත්තේ ය. මහරජානෙනි, පර්වතයාගේ ප්‍රථමාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-””””””

“සෙලො යථා එකඝනො-වාතෙන න සමීරති,

එවං නින්‍දාපසංසාසු-න සමිඤ්ඡන්ති පණ්ඩිතා” යි.

‘රන්ධුපටල විරහිත වීමෙන් එකඝන වූ පාංශුවිරහිත වූ ශෛල පර්වතයතෙම සතර දිගින් හමන ප්‍ර‍චණ්ඩවාතයෙන් යම් සේ කම්පා නො වේ ද, එපරිද්දෙන් ම නුවණැති පණ්ඩිතයෝ නින්දා ප්‍ර‍ශංසාදි අෂ්ට ලොකධර්මයෙහි කම්පා නො වන්නාහු ය’ යි කියා වදාරණය ලද්දේ ය. තවද, මහරජානෙනි, පර්වතයතෙම ස්තබ්ධ වන්නේ ය. කිසිවක් හා මිශ්‍ර‍ නැත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ධ්‍යානොපාය දෙක්හි යෙදෙන හෙයින් යොගී නම් වු යොගාවචරයා විසින් සංසෘෂ්ටිවිරහිත ව ස්තබ්ධ විය යුත්තේ ය. කිසිවකු හා සංසර්ගය නො කට යුත්තේ ය. මහරජානෙනි, පර්වතයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහ්නසේ විසින්:-

(488) ‘අසංසට්ඨං ගහට්ඨෙහි-අනාගාරෙහි චූභයං,

අනොකසාරිං අප්පිච්ඡං-තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං’ යි.

‘මහණෙනි, ගිහිමිනිසුන් හා ද, ප්‍ර‍ව්‍ර‍ජිතයන් හා ද යන දෙපක්ෂයෙහි ඇත්තවුන් හා දර්ශනසංසර්ගය ශ්‍ර‍වණසංසර්ගය පරිභොගසංසර්ගය කාය සංසර්ගය සමුල්ලපනසංසර්ගය යන පඤ්චවිධසංසර්ගයක් නැත්තා වූ ආලය සඤ්චාරණයක් හෝ තෘෂ්ණා නමැති ගෘහයෙහි හැසිරීමක් නැත්තා වූ චතුර්විධප්‍ර‍ත්‍යයෙහි ගිජුකමක් නැති හෙයින් අල්පෙච්ඡ වූ ඒ ආර්යශ්‍රාවකයා ‘මම බ්‍රාහ්මණයා යි කියමි’ යි කියා වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, ගල්පර්වතයෙහි මූලබීජ ය, ඛන්ධබීජ ය, එලුබීජ ය, අග්ගබීජ ය, බීජබීජ ය යන පඤ්චබීජජාතීහු නො හට ගන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් භාවනා මාර්ගයෙහි යෙදෙන්නා වූ යොගාවචරයා විසින් තමාගේ සිත්හි ක්ලේශයන් නො හට ගන්වාලිය යුත්තේ ය. මහරජානෙනි, පර්වතයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, පෙර කළ පිණින් කනකරජතමාණික්‍යාදියෙන් අලංකෘත වූ දිව්‍යතොරණක් මෙන් ද, නීලාදීනානාවර්ණවිචිත්‍ර‍චිත්‍ර‍ කර්මාන්තයෙන් නිර්මිත වූ වස්ත්‍ර‍යක් මෙන් ද, අතිසොභමාන වූ රූපයක් ඇති බැවින් සුභූති නම් වු ථෙර ස්වාමීන් වහන්සේ විසින්:-”””””””””””””””””””””””””

“රාගූපසංහිතං චිත්තං-යදා උප්පජ්ජතෙ මම,

සයමෙව පච්චවෙක්ඛිත්‍වා-එකකො තං දමෙමහං.

-

රජ්ජසී රජනියෙසු-දුස්සනීයෙසු දුස්සසි,

මුය්හසේ මොහනීයෙසු-නික්ඛමස්සු වනා තුවං.

-

විසුද්ධානං අයං වාසො-නීම්මලානං තපස්සිනං,

මා ඛො විසුද්ධං දූසෙසි-නික්ඛමස්සු වනා තුවං” යි.

‘යම් කලෙක්හි මට රාගනිශ්‍රිත වූ සිතක් උපදනේ ද, එකල තෙමේ ම ප්‍ර‍ත්‍යවෙක්ෂා කොට බලා ‘එම්බල සුභූතිය, තෝ බාලජනයන් විසින් ඇලිය යුතු වූ රූපශබ්දාදියෙහි ඇලෙන්නෙහි ද? චිත්තදූෂණය විය යුත්තෙහි චිත්තදූෂණය වන්නෙහි ද? මුළා විය යුතු තන්හි මුළා වන්නෙහි ද? එසේ කල තෝ ආර්යයන්ගේ වනවාසයෙන් නික්ම යව’ යි කියා ද, ‘රාගාදික්ලේශයන් තවන්නා වූ නිර්මලශීලී වූ ක්ලේශමලාගමනයෙන් විශුද්ධ වූ ආර්යයන්ගේ මේ වාසයෙක. තෙපි සුවිසුද්ධ වූ මේ වනවාසය ක්ලේශපාපවිතර්ක සිතා නහමක් (දූෂණය කරව) මේ වනවාසයෙන් නික්ම යව’ යි කියා ද ‘එකලා වූ මම ඒ රාගනිශ්‍රීත වූ සිත දමනය කෙරෙමි’ වි කියා මෙම කාරණය කියන ලදී. තවද, මහරජානෙනි, පර්වතරාජයා ඉතා උස් ව ගියේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගි වූ යොගාවචරයා විසින් නවමහාවිදර්ශනාඥානයෙන් ඉතා උස් විය යුත්තේ ය. මහරජානෙනි, පර්වතයාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-

(489) “පමාදං අප්පමාදෙන-යදා නුදති පණ්ඩිතො,

පඤ්ඤාපාසාදමාරුය්හ-අසොකො සොකිනිං පජං

පබ්බතට්ඨොව භුම්මට්ඨෙ-ධීරො බාලෙ අවෙක්ඛති” යි

‘පණ්ඩිත වූ ආර්යශ්‍රාවකතෙම යම් කලෙක්හි කුශලධර්මයෙහි ස්මෘති සම්පන්න වූ අප්‍ර‍මාදභාවයෙන් කුශලධර්මයෙහි සිහි මඳ ව වාසය කිරීම ය යි කියන ලද ප්‍ර‍මාදබව දුරු කෙරේ ද, නොහොත් පුරාණ ජලයට අවකාශ නො දී අවුත් අවුත් වදනා ජලය මෙන් ප්‍ර‍මාදයට අවකාශ නො දී මැඩ ගෙණ අප්‍ර‍මාදය පවත්වන්නේ වේ ද, එකල්හි හිණිමගින් පහයට නැඟෙන්නක්හු මෙන් දිවස් ලැබීමට නිසි පිළිවෙත් පිරීමෙන් අභිඥා සංඛ්‍යාත ප්‍ර‍ඥා නමැති ප්‍රාසාදයට නැඟී අනාගාමි මාර්ගයෙන් උපුටා පහ කරණ ලද සොකසල්ලය ඇති බැවින් අසොක වූ ප්‍ර‍ඥාසම්පන්න වූ ක්ෂීණාශ්‍ර‍වතෙම නො උපුටා හරණ ලද සොකසල්ලයන් ඇති හෙයින් චුත වන්නා වූ ද, උපදින්නා වූ ද සොක සහිත වූ සත්වසමූහයා දිව ඇසින් බලන්නේ ය. කුමක් මෙන් ද? යත්- බිම සිටියවුන් සුව සේ බලන්නා වූ පර්වතය මුදුනෙහි සිටි එකක්හු මෙන් අසමුච්ඡින්න වූ සංසාරවෘත්ති බීජ ඇති චුත වන උපදින බාලජනයන් දිව ඇසින් සුව සේ දක්නේ ය යි කියා ඤාණයෙන් උස් විය යුත්තේ ය’ යි යන මේ කාරණය වදාරණ ලද්දේ ය. තව ද, මහරජානෙනි, පර්වතය උඩඟු නො වන්නේ ය, යටත් නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ලාභාලාභ දෙක්හි උන්නතාවනතයක් නො කට යුත්තේ ය. මහරජානෙනි, පර්වතයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, උඩඟු නො වන මෙම කාරණය සකසමයවාදී වූ ශ්‍ර‍මණයන්ගේ ගුණ කියන්නා වූ චූළසුභද්‍රා නම් උපාසිකාව විසින්:-

“ලාභෙන උන්නතො ලොකො-අලාභෙන ච ඔනතො,

ලාභාලාභෙන එකට්ඨා-තාදිසා සමණා මම” යි.

“මයිලනුවන් වහන්ස, මේ ලෝවැසිතෙම ලාභයෙන් උඩඟු වන්නේ ය, අලාභය කරණ කොට ගෙණ ද, ඔනත වන්නේ ය, යම් කෙනෙක් ලාභාලාභදෙකින් එකාකාර ව සිටියාහු නම්, මාගේ ශ්‍ර‍මණයෝ එබඳු ය’ යි කියන ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ආකාශයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පංචාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ආකාශය යම් සේ සර්වප්‍ර‍කාරයෙන් ම ග්‍ර‍හණයක් නැත්තේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සර්වප්‍ර‍කාරයෙන් ම ක්ලේශයන් විසින් ග්‍ර‍හණවිරහිත විය යුත්තේ ය. මහරජානෙනි, ආකාශයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, ආකාශය ශීලභූෂණසාසිගණ තාපස යක්ෂ සකුණගණයා විසින් හැසිරෙණ ලද්දේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් ‘අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය’ යි කියා සංස්කාරධර්මයෙහි සිත සංචාරණය කරවා ලිය යුත්තේ ය. මහරජානෙනි, ආකාශයාගේ (490) මේ දෙවන අංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, ආකාශය ආස්වාද නො කට යුතු[12] වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් සියලු ම භවසංසාර ප්‍ර‍තිසන්ධියෙහි තමාගේ සිත කලකිරුවා ලිය යුත්තේ ය. සියලු ම භවයෙහි සැප ආස්වාදයෙක් නො කට යුත්තේ ය. මහරජානෙනි, ආකාශයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, ආකාශය අනන්ත වූයේ ය, අප්‍ර‍මාණ වූයේ ය. අප්‍රමෙය වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අනන්ත වූ ශීලගුණයෙන් හා අපිරිමිත වූ ඤාණයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, ආකාශයාගේ මේ සතර වන අංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, ආකාශයතෙම කිසිවෙක ලග්න නො වූයේ ය. නො ඇලෙන්නේ ය, නො පිහිටියේ ය, පළිබොධ විරහිත වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් උපාසකකුලයා කෙරෙහි ද, ශිෂ්‍යගණයා කෙරෙහි ද, ලාභයෙහි ද, ආවාසයෙහි ද, පළිරොධ ලද මනා තන්හි ද, ප්‍ර‍ත්‍යයෙහි ද, සර්වක්ලේශයයන් කෙරෙහි ද යන මේ සර්වස්ථානයෙහි ම අලග්න විය යුත්තේ ය, අනාසත්ත අපළිබුද්ධ අප්පතිට්ඨිත විය යුත්තේ ය. මහරජානෙනි, ආකාශයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රාහුල ස්ථවිරයන් වහන්සේට අවවාද කරන්නා වූ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“ස්‍යෙථාපි රාහුල ආකාසො න කත්‍ථවි පතිට්ඨිතො -පෙ- න පරියාදාය ඨස්සන්ති” යි[13]

රාහුලය, යම් සේ ආකාශය කිසි තැනක නො පිහිටන ලද වේ ද, රාහුල ය, තෝ එපරිද්දෙන් ම ආකාශය සම වූ භාවනාව වඩව. රාහුලය, ආකාශය සම වූ භාවනාව වඩන්නා වූ තාගේ උපනුපන් මනාපිකස්පර්ශයෝ චිත්තය වැළඳ ගෙණ නො සිටින්නාහු ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය.”

“ස්වාමිනි, නාගසෙනයන් වහන්ස, ‘චන්ද්‍ර‍දිවයරාජයාගේ පංචාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පංචාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ චන්ද්‍ර‍දිව්‍යරාජතෙම ශුක්ලපක්ෂයෙහි උදාවෙමින් දවසින් දවස වැඩි වැඩියක් වඩින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආචාරශීල ගුණ වත්පිළිවෙත්හි ද, ආගම අධිගම දෙක්හි ද, විවේකවිහරණයෙහි ද සතර සතිපට්ඨානයෙහි ද, ඉන්ද්‍රියයෙහි ගුප්තද්වාරතායෙහි ද, භොජනයෙහි මාත්‍ර‍ඥතායෙහි ද, ජාගරියානුයොගයෙහි ද, යන මෙකී තන්හි දවස් පතා වැඩිවැඩියකින් වැඩුන යුත්තේ ය. මහරජානෙනි, චන්ද්‍ර‍දිව්‍යරාජයාගේ මේ පළමු වන අංගය නිවන් සොයන යොගාවචරයා විසින් ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, චන්ද්‍ර‍දිව්‍යරාජතෙම මහත් වූ සිසිරගුණයෙන් අධිපති වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් යොගී වූ යොගාවචරයා විසින් ‘රහත් ව මුත් නො පසු බස්නෙමි’ යි යන මහත් වූ ඡන්දයෙන් අධිපති විය යුත්තේ ය. මහරජානෙනි, (491) චන්ද්‍ර‍යාගේ මෙ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, චන්ද්‍ර‍දිව්‍යරාජතෙම රාත්‍රියෙහි ම හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචර මහණහු විසින් විවෙකහරණයෙන් ම යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, චන්ද්‍ර‍යාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, චන්ද්‍ර‍දිව්‍යරාජතෙම තමාගේ එකුන්පණස්යොදුන් විමානය ම ධ්වජය කොට ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් තමාගේ සතරසංවරශීල නමැති කෙතුවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, චන්ද්‍ර‍යාගේ මේ සතර වන අංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, චන්ද්‍ර‍දිව්‍යරාජතෙම කිසි කෙනෙකුන් විසින් ආරාධනා නො කරණ ලද්දේ ප්‍රාර්ථනා නො කරණ ලද්දේ තෙමේ ම උදා වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආරාධනා ප්‍රාර්ථනා නැතුව ම උපාසකකුලයා කරා එළඹිය යුත්තේ ය. මහරජානෙනි, චන්ද්‍ර‍යාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම චන්ද්‍රොපම වූ කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්සඟිවරයෙහි:-

“චන්‍දුපමා භික්ඛවෙ කුලානි උපසංකමථ, අපකස්සෙව කායං අපකස්ස චිත්තං නීච්චං නවෙව කුලෙසු අප්පගබ්හා සෙය්‍යථාපි පුරිසො ගම්භිරුදපානං වා පස්සෙය්‍ය පබ්බත වීසමං වා නදීවිදුග්ගං වා අපකස්සෙව කායං අපකස්ස චිත්තං, එවමෙව ඛො චන්‍දුපමා භික්ඛවො කුලානි උපසංකමථ අපකස්සෙව කායං අපකස්ස චිත්තං නිච්චං නවෙව කුලෙසු අප්පගබ්භා” යි.

යනුවෙන් ‘මහණෙනි, තෙපි චන්ද්‍රොපමාවෙන් නිරන්තරයෙන් ම හැකුළුනා වූ කයින් හැකුළුනා වූ සිතින් තමා විසින් භික්ෂාටනයට එළඹෙන ක්ෂත්‍රියබ්‍රාහ්මණාදි කුලයෙහි කයින් නො සරුප් කිරීම ය යි කියන ලද කායප්‍ර‍ගල්හය ද, බසින් නො සරුප් තෙපුල් බිණීම ය යි කියන ලද වාක්ප්‍ර‍ගල්හය ද, මනසින් අනෙකප්‍ර‍කාර වූ කාමවිතර්කාදිය සිතීම යයි කියන ලද අනෙකවිධ වූ මනඃප්‍ර‍ගල්හය ද යන ත්‍රිවිධ ප්‍ර‍ගල්හයන් නැති ව අළුත එළඹෙන කෙනෙකුන් මෙන් ක්ෂත්‍රිය බ්‍රාහ්මණගෘහපත්‍යාදි උපාසක කුලයන් කරා එළඹෙවු. යම් සේ පුරුෂයෙක් හැකුළුනා වූ කයින් හැකුළුනා වූ සිතින් ගැඹුරු වූ ලිඳ පැනක් හෝ දක්නේ වේ ද, විෂම වූ පර්වතප්‍ර‍පාතයක් හෝ දක්නේ වේ ද, භයානක වූ නදීදුර්ගයක් හෝ බලන්නේ වේ ද මහණෙනි, එපරිද්දෙන් ම චන්දුපමාවෙන් නිරන්තරයෙන් හැකුළුනා වූ කයින් හැකුළුනා වූ සිතින් උපාසකකුලයෙහි ප්‍ර‍ගල්භයක් නැතු ව අළුත එළඹෙන කෙනකුන් මෙන් දායකකුලයන් කරා එළඹෙවු’ කියා වදාරණ ලදැ” යි කියා වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘සූර්යදිව්‍යරාජයාගේ සප්තාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ සප්තාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම යම් සේ සියලු ම උදකය වියලා ක්ෂය කෙරේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා (492) විසින් සර්වක්ලේශයන් නිරවශෙෂ කොට වියලා ක්ෂය කළ යුත්තේ ය. මහරජානෙනි, සූර්යයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම ඝනතර තිමිරාන්ධකාරය දුරු කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් යොගී වූ යොගාවචරයා විසින් සියලු ම රාගාන්ධකාරය ද්වෙෂාන්ධකාරය මොහාන්ධකාරය මානාන්ධකාරය දෘෂ්ට්‍යන්ධකාරය ක්ලේශාන්ධකාරය යන සියලු ම දුහ්චරිතාන්ධකාරය දුරු කළ යුත්තේ ය. මහරජානෙනි, සූර්යයාගේ මේ ද්විතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම නිරන්තරයෙන් ම හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් නිරන්තරයෙන් යොනිසොමනස්කාරය කළ යුත්තේ ය. මහරජානෙනි, සූර්යයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම සහස්‍ර‍රශ්මි මාලාවක් ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සිතින් ග්‍ර‍හණය කරණ ලද අරමුණු නමැති මාලාවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, සූර්යයාගේ මේ සතර වන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම මහාජනසමූහයා සන්තාපනය කෙරෙමින් හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආචාරශීල ගුණවන්ත ප්‍ර‍තිපත්තියෙන් හා ධ්‍යානවිමොක්ෂ සමාධි ප්‍ර‍තිපත්ති ඉන්ද්‍රිය බල බෞධ්‍යංගය සතිපට්ඨාන සම්‍යක්ප්‍ර‍ධාන සෘද්ධිපාදයෙන් දෙවියන් සහිත වූ ලෝවැසියා ම සන්තාපනය කළ යුත්තේ ය. මහරජානෙනි, සූර්යයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම රාහුඅසුරෙන්ද්‍ර‍යා හට භයින් භීත ව හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් දුශ්චරිත විසින් ද දුර්ගති විසින් ද විෂම වූ කාන්තාරගත විසින් ද ජාත්‍යන්ධ බධිරාදි විපාකාවරණ ගත විසින් ද විවස ම පතිත වන්නා වූ සංජීවාදි නරක විසින් ද ක්ලේශජාලයෙන් වැලඳ සිටින ලද්දා වූ ශාශ්වතොච්ඡෙදාදි දෘෂ්ටිසමූහයෙන් වැසෙන ලද්දා වූ මිථ්‍යාපථයට පනින ලද්දා වූ මිථ්‍යාමාර්ගයෙහි පිළිපන්නා වූ ද සංසාරගත අනන්ත සත්වයන් දැක සිත්හි ඒ උපන් මහාසංවෙගභයින් තමාගේ සිත සසර කලකිරවා ලිය යුත්තේ ය. මහරජානෙනි, සූර්යයාගේ මේ සවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම නොයෙක් යහපත් නපුරු රූපයන් දක්වා ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ඉන්ද්‍රියබල බෞද්ධ්‍යංග සතිපට්ඨාන සම්‍යක්ප්‍ර‍ධාන සෘද්ධිපාදාදී ලෞකිකලොකොත්තර ධර්මයන් දැක්විය යුත්තේ ය. මහරජානෙනි, සූර්යදිව්‍යරාජයාගේ මේ සප්තමාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය වංගීස නම් මහතෙරහු විසින්:-

“යථාපි සුරියො උදයන්තො-රූපං දස්සෙති පාණිනං,

සුචිං ච අසුචිං චාපි-කල්‍යාණං චාපි පාපකං.

තථාපි භික්ඛු ධම්මධරො-අවිජ්ජාපිහිතං ජනං,

පථං දස්සෙති විවිධං-ආදිච්චො මුදයං යථා” යි

(493) ‘යම් සේ උදා වන්නා වූ සූර්යදිව්‍යරාජතෙම පවිත්‍ර‍ වූ ද, අපවිත්‍ර‍ වූ ද, යහපත් වූ ද, නපුරු වූ ද, නීලපීතාදීරූපයන් ප්‍රාණින්ට දක්වා ද, එසෙයින් ම සද්ධර්මධරභික්ෂූන් වහන්සේ අවිද්‍යාවෙන් වැසෙන ලද්දා වූ ජනයන්ට උදාවන්නා වූ සූර්යයා යම් සේ ද, එමෙන් අනෙකප්‍ර‍කාර වූ ආර්යමාර්ගය දක්වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ශක්‍රදෙවෙන්ද්‍ර‍යාගේ අංගත්‍ර‍යයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍යය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ශක්‍රදෙවෙන්ද්‍රතෙම එකාන්තයෙන් ම ස්වකීය ශක්‍ර‍සම්පත්තියෙහි පිහිටියේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් එකාන්තයෙන් ම තමන්ගේ විවේකසැපතෙහි ආලයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, ශක්‍ර‍යාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ශක්‍රදෙවෙන්ද්‍ර‍තෙම තමාගේ තව්තිසාදිව්‍යලොක වාසී වූ දෙවියන් දැක ප්‍රියවචනාදීන් සංග්‍ර‍හ කරන්නේ ය. සන්තොෂ උපදවන්නේ ය, මහරජානෙනි, එපරිද්දෙන්ම යොගී වූ යොගාවචරයා විසින් කුශලධර්මයෙහි නො හැකුළුනා වූ අනලස් ව ශාන්ත වූ සිත ප්‍ර‍ග්‍ර‍හණය කට යුත්තේ ය, සන්තොෂ උපදවා ලිය යුත්තේ ය. පටන් ගත යුත්තේ ය, උත්සාහ කළ යුත්තේ ය, වීර්ය කළ යුත්තේ ය. මහරජානෙනි, ශක්‍ර‍යාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, අනන්ත ශක්‍ර‍සම්පත්තියෙහි සිත් අලවා වසන්නා වූ ශක්‍රදෙවෙන්ද්‍ර‍යාහට කලකිරීමෙක් නො උපදනේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ශූන්‍යාගාරයෙහි අනභිරතියෙක් නො උපදවා ලිය යුත්තේ ය. මහරජානෙනි, ශක්‍ර‍යාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සොභන වූ රූපසොභාවක් ඇති සුභූති නම් මහතෙරහු ලොවුතුරා බුදුන්ගේ සම්මුඛයෙහි:-

‘සාසනෙ තෙ මහාවීර-යතො පබ්බජිතො අහං

නාභිජානාමි උප්පන්නං-මානසං කාමනිස්සිතං.’

යන මේ ගාථාවෙන් ‘ස්වාමීනි, මහාවීර වූ ලොවුතුරා බුදුරජානෙනි, ඔබ වහන්සේගේ මේ බුද්ධශාසනයෙහි මම යම් (තැනක පටන්) ගිහිගෙයින් නික්ම ප්‍ර‍ව්‍ර‍ජිත වීම් ද, එතැන් පටන් සිත්හි උපන්නා වූ කාමනිශ්ශ්‍රීත වූ සිතක් මම අද දක්වා නො දන්නෙමි. අප්‍ර‍මාද ව ම ශූන්‍යාගාරයෙහි ම අභිරමණය කෙළෙමි’ යි කියා සැළකළසේක.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘චක්‍ර‍වර්තිමහරජානන් වහන්සේගේ චතුරංගයක් ගත යුත්තේ ය’ යි කියා යම් වචනයක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ චතුරංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ චක්‍ර‍වර්තිමහරජානෝ දාන ප්‍රියවචන අර්ථචර්යා සමානාත්මතා යන සතරසංග්‍ර‍හවස්තුවෙන් සතිස්යොත්නෙක පැතිර සිටින ජනයාගේ සිත් ගන්නෝ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් මුහුදුතෙර දක්වාත් පැතිර සිටි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවණක් පිරිසගේ සිත් ගත යුත්තේ ය. ධර්මයෙන් අනුග්‍ර‍හ කට යුත්තේ ය. (494) පර්යාප්තිප්‍ර‍තිපත්තියෙහි ‘යහපත, යහපතැ’ යි කියා සිත් ප්‍ර‍සන්න කරවා ලිය යුත්තේ ය. මහරජානෙනි, චක්‍ර‍වර්ති මහරජානන්ගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, චක්‍ර‍වර්තිමහරජානන්ගේ ආඥාව පවත්නා වූ විජිතයෙහි ගම් පහරණ සොරු නො නඟින්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් විසින් තමන්ගේ චිත්තසන්තානයෙහි කාමරාග ව්‍යාපාද විහිංසාවිතර්කයන් නො උපදවා ලිය යුත්තේ ය. මහරජානෙනි, චක්‍ර‍වර්තිමහරජානන්ගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මපදයෙහි:-

“විතක්කූපසමෙ ච යො රතො-අසුභං භාවයති සදා සතො.

එස ඛො ව්‍යන්තිකාහිති-එසච්ඡෙජ්ජති මාරබන්‍ධනං” යි.

‘යම් මහණෙක් කාමවිතර්කාදි ත්‍රිවිධ විතර්කයන්ගේ ව්‍යපසමනය’ යි කියන ලද උඩුමාතකාදී දශඅශුභාලම්බනයෙහි උපන් ප්‍ර‍ථමධ්‍යානයෙහි ඇලුනේ වේ ද, හැම කල්හි ම සිහි ඇති වූයේ ඒ අශුභධ්‍යානය උපදවා වඩා ද, මෙම මහණ වනාහි භවත්‍රයෙහි උපදිනා ‘නිකාන්ති ය’ යි කියන ලද තෘෂ්ණාව පහ කරන්නේ ය. නසන්නේ ය. මේ මහණතෙම ත්‍රෛභූමිකවෘත්ත සංඛ්‍යාත මාරබන්ධනය අර්හන්මාර්ගඥාන නමැති ශස්ත්‍රයෙන් කපන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. තවද මහරජානෙනි, චක්‍ර‍වර්තිමහරජානෝ සතරමහාද්වීපයෙහි සත්වයන්ගේ යහපත් පවිටු ක්‍රියාවන් විමසමින් දවස දවස මේ සක්වළ මහාසමුද්‍ර‍ය කෙළවර කොට ඇති මහාපෘථිවිය නිශ්ශ්‍රීත වූ ජනයන්ට අනුශාසනා කරන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් දවසක් දවසක් පාසා ම කායකර්මය වචීකර්මය මනඃකර්මය යන තුන් තැනින් වරදක් නැත්තා වූ ‘මට කිමෙක් ද, දවස පසු වේ දෝ හො?’ යි කියා ප්‍ර‍ත්‍යවෙක්ෂා කට යුත්තේ ය. මහරජානෙනි, චක්‍ර‍වර්ති මහරජානන්ගේ මේ තෘතියාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් එකුත්තුරික නම් වූ අංගොත්තර සහියෙහි- ‘කථං භුතස්ස මෙ රතතින්දිවා වීතිපතන්ති’ ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං’ යනාදීන් ‘මහණෙනි, ගිහිගෙය හැර සසුන් වැද මහණ වූවාහු විසින් ‘හිසකේ දැළිරවුළු කපා මුඩු වීමෙන් ශරීර වෛවර්ණයට ද, නොයෙක් වර්ණවත් වූ වස්ත්‍රාදිය හැර එකවර්ණවස්ත්‍ර‍ නොයෙක් තැනින් සිඳ ගොතා පඬු රඳා වර්ණ විකාර කොට වලඳමින් පරිෂ්කාර වෛර්ණයට ද යන මේ දෙවැදෑරුම් වූ විරුපබවට පැමිණියේ වීම්’ යි කියා එක්වන් සැලකිය යුත්තේ ය. ‘සතරපසයෙන් මාගේ දිවි පැවැත්වීම අනුන් පිළිබඳ ය’ යි කියා ද, ‘මා විසින් ඟිඟින්ගේ ගමනාකාරයෙන් අනික් ගමනාකාරයෙක් කට යුතු ය යි කියා ද, ‘කිමෙක් ද, මාගේ සිත ශීලයෙන් තාගේ සිල් නො පිරිසිදු ය’ යි පරිභව නො කෙරේ දෝ හො’ යි කියා ද, ‘කිමෙක් ද, මට නුවණැති සබ්‍ර‍හ්මචාරින් වහන්සේලා මාගේ සිල් විචාරා ශීලයේන පරිභව නො බෙණෙද් දෝ හො’ යි කියාද, ‘ප්‍රිය වූ මනාප වූ හැම නෑ මිත්‍රාදීන් කෙරෙහි මාගේ ජාතියෙන් නානාභාවය හා මරණින් විනාභාවය’ යි කියා ද, (495) ‘කර්මය පිළිබඳ කොට ඇත්තෙමි. කර්මය හිමි කොට ඇත්තෙමි. කර්මය උත්පත්තියට කාරණා කොට ඇත්තෙමි. කර්මය ම බන්ධු කොට ඇත්තෙමි. කර්මය ම පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ පවිටු වූ හෝ කායවාක් මනස් යන තුන්දොරින් යම් පුණ්‍යාපුණ්‍යකර්මයක් කෙරෙම් ද, ඒ කළ කර්මයට හිමි වෙමි’ යි කියා ද, ‘කිමෙක් ද, රෑ දහවල් වත්පිළිවෙත් පිරීමෙන් හෝ බණ හැදෑරීමේන හෝ කර්මස්ථානයෙහි යෙදීමෙන් හෝ කෙසේ වූ මට රෑ දහවල්හු ඉක්මෙද් දෝ හො?’ යි කියා ද, ‘කිම දෝ? මම ජනශූන්‍යාගාරයෙහි සතරඉරියව්වෙන් එකලා ව ඇලෙම් දෝ හෝ’ යි කියා ද, ‘මාගේ ඇතුළු සතන්හි උතුරුමිනිස්ධර්මකෙනේක ඇද්දෝ හෝ’ යි, ‘ආර්‍ය්‍යඥානදර්ශනයට පොහොසත් වූ විශෙෂයක් ලබන ලද්දේ දෝ හො?’ යි, ‘ඒ මම මරණකාලයෙහි සබ්‍ර‍හ්මචාරීන් විසින් නිර්වාණ ධර්මය ලද්දේ දැ?’ යි විචාරණ ලදුයෙම් කර බා නො හිඳීම් දේ හො?’ යි කියා ද, මේ යථොක්ත වූ දශධර්මයන් ගිහිගෙය හැර මහණ වූවාහු විසින් එක්වන් සැලකිය යුත්තේ ය’ යි කියා මේ ත්‍රිවිධ වූ සමාචාරය වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, චක්‍ර‍වර්තිමහරජානන්ගේ රාජ්‍යභ්‍යන්තර වු ද, ‘බාහිර වූ ද ආරක්ෂාතොමෝ මනා කොට පිහිටන ලද්දේ ය, සුසංවිහිත වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් චක්ෂුශ්ශ්‍රොතාදී අභ්‍යන්තර වූ ද, රූපශබ්දාදි බාහිර වූ ද ක්ලේශයන්ට වැද්ද නො දෙන්නා වූ ආරක්ෂා පිණිස සිහි නැමැති දොරටුපාලයා තැබිය යුත්තේ ය. මහරජානෙනි, චක්‍ර‍වර්තිමහරජානන්ගේ මේ සතර වන අංගය දත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලද්දේ ය. කෙසේ ද? යත්-

“සතිදොවාරිකො භික්ඛවෙ අරියසාවකො අකුසලං පජහති. කුසලං භාවෙති. සාවජ්ජං පජහති. අනවජ්ජා භාවෙති. සුද්ධමත්තානං පරිහරති.” යි.

‘මහණෙනි, ස්මෘතිය ද්වාරපාලයකු කොට ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම අකුසල් දුරු කරන්නේ ය. කුශලධර්මය වඩන්නේ ය. සාවද්‍යධර්මය දුරු කරන්නේ ය. නිරවද්‍යධර්මය වඩන්නේ ය. දුශ්චරිතවිරමණයෙන් පිරිසිදු වූ සිත පරිහරණය කරන්නේ ය.’ යි කියා වදාළසේක.’

මෙහි උද්දානපද නම්:-

‘පඨවි ආපො ච තෙජො ච-වායො ච පබ්බතෙන ව,

ආකාසො චන්‍දසුරියා ච-සක්කො ච චක්කවත්තිනා.’

එකුන්පණස්අංගයකින් යුක්ත වූ තෘතීයවර්ගය නිමියේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘වේයාගේ එක් අංගයක් ගත යුතු ය’ යි කියා යම් වචනයක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ උපවිකා නම් වූ වේයා මත්තෙන් (496) සෙවෙණි කොට ගෙණ තමන් වසා ගෙණ ගේ යටින් ම ගොදුරු පිණිස හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ශීලසංවරය සෙවෙණි කොට ගෙණ සිත වසා ගෙණ සංවරශීල සෙවෙණිය යටින් පිඬු පිණිස හැසුරුණ යුත්තේ ය. මහරජානෙනි, ශීලසංවර සෙවෙණිය කරණ කොට ගෙණ යොගී වූ මහණුන් වහන්සේ සියලුම සංසාරභය ඉක්මවනසේක. මහරජානෙනි, වේයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය වංගන්තපුත්‍ර‍ වූ උපසෙන ස්ථවිරයන් වහන්සේ විසින්-

“සීලසංවර ඡදනං-යොගී කත්‍වාන මානසං,

අනුපලිත්තො ලොකෙන-භයා ව පරිමුච්චති” යි.

‘යොගීන් වහන්සේ සිත ශීලසංවර සෙවෙණිය කොට ගෙණ ලොකයා හා නො ඇලි සියලු ම භයින් මිදෙන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘බීළාරයාගේ අංගද්වයක් ගත යුත්තේ ය’ ය යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ බිළාරතෙම පර්වත ගුහාදියට ගියේ ද, වෘක්ෂබිළාදියට ගියේ ද, ‘හම්මියන්තර ය’ යි කියන ලද පිට බරාඳ ඇති උඩුමහල්ප්‍රාසාද ඇතුළට ගියේ ද, අනුභවයට නිසි වූ මූෂිකයකු ම සොයන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ගම්දොරට ගියා වූ ද, අරණ්‍යයට ගියා වූ ද, ජනවිවෙකයට ගියාවූ ද, යොගී වූ මහණුන් වහන්සේ විසින් සතතයෙන් සමිතයෙන් අප්‍ර‍මාද ව කායගතාසතිභොජනය ම සොයා ගත යුත්තේ ය. මහරජානෙනි, බළලාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, බිළාරතෙම දෙයක් තබා හිඳීමෙන් මූෂිකාදී ගොදුරු සොයන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින්-

“ඉමෙසු යෙව පඤ්චසුපාදානක්ඛන්‍ධෙසු-පෙ-ඉති විඤ්ඤාණස්ස අත්‍ථගමො” ති[14]

‘මෙසේ රූපය විසිඅට වැදෑරුම් වෙයි. ඒ විසිඅට වැදෑරුම් වූ රූපයාග් මෙසේ අවිද්‍යාදිසමුදයන්ගේ වශයෙන් පඤ්චප්‍ර‍කාර උත්පත්තිය වන්නේ ය. අවිද්‍යාදීන්ගේ පඤ්චප්‍ර‍කාර නිරොධයෙන් මෙසේ රූපයාගේ අස්තංගමය වන්නේ ය. මෙසේ එකොළොස්තස්හි සිටි රූපයන් නිසා පවත්නා සුඛදුඃඛොපෙක්ෂා සංඛ්‍යාත වෙදනාත්‍ර‍ය වන්නේ ය. මෙසේ අවිද්‍යාදිසමුදයයන්ගේ වශයෙන් පඤ්චප්‍රාකාර වූ වෙදනාවගේ උත්පත්තිය වන්නේ ය. මෙසේ අවිද්‍යානිරොධාදි වශයෙන් වෙදනාවගේ අස්තංගමය වන්නේ ය. මෙසේ නීල පීතාදි අරමුණ ඇඳින ගැන්ම ස්වභාව කොට (497) ඇති සංඥාව වන්නේ ය. මෙසේ අවිද්‍යාදීන්ගේ පහළ වීමෙන් පඤ්චප්‍ර‍කාර සංඥාවගේ පහළ වීම වන්නේ ය. මෙසේ අවිද්‍යානිරොධාදි වශයෙන් පඤ්චප්‍ර‍කාරයෙන් සංඥාවගේ අස්තංගමය වන්නේ ය. මෙසේ චෙතනා ඵස්සාදී පණසක් පමණ චෛතසිකයෝ සංස්කාර නම් වෙති. මෙසේ අවිද්‍යාදීසමුදයයන්ගේ වශයෙන් පඤ්චප්‍ර‍කාරසංස්කාරයන්ගේ උත්පත්තිය වන්නේ ය. මෙසේ අවිද්‍යානිරොධාදී වසයෙන් පඤ්චප්‍ර‍කාරයෙන් සංස්කාරයන්ගේ අස්තංගමය වන්නේ ය. මෙසේ සොමනස්ස සහගතාදි ඒකානූවක් පමණ කුශලාකුශලප්‍ර‍තිසන්ධිවිඥානචිත්තය වන්නේ ය. මෙසේ අවිද්‍යාදී සමුදයයන්ගේ වශයෙන් පඤ්චප්‍ර‍කාරවිඥානයාගේ පහළ වීම වන්නේ ය. මෙසේ අවිද්‍යානිරොධාදි වසයෙන් පඤ්චප්‍ර‍කාර විඥානයාගේ අස්තංගමය වන්නේ ය යි මේ පඤ්චොපාදානස්කන්ධයන් කෙරෙහි ම උදයව්‍යය දර්ශනඥානයෙන් යෙදී වාසය කළ යුත්තේ ය.’

“තත්‍ථ කතමො රූපක්ඛන්‍ධො? යංකිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණිතං වා යං දූරෙ වා සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසඤ්ඤුහිත්‍වා අභිසංඛිපිත්‍වා අයං වුච්චති රූපක්ඛන්‍ධො.”

‘එහි රූපස්කන්ධය නම් කවරේ ද? යත්- යම් කිසි අතීතානාගත ප්‍ර‍ත්‍යුත්පන්නරූපයෙක් ඇද්ද, අධ්‍යාත්මිකරූපයෙක් ඇද්ද, බාහිර වූ රූපයෙක්අ ැද්ද, ඔළාරික වූ රූපයෙක් ඇද්ද, සියුම් වූ රූපයෙක් ඇද්ද, හීන වූ රූපයෙක් ඇද්ද, ප්‍ර‍ණීත වූ රූපයෙක් ඇද්ද, දූර වූ රූපයෙක් ඇද්ද, සමීප වූ රූපයෙක් ඇද්ද යන මේ එකොළොස් තන්හි සිටි ඒ රූපය ඒකරාශි කොට එකට බහා ලමින් මේ රූපස්කන්ධය’ යි කියනු ලැබෙයි. ඒ උත්පත්ති වශයෙන් එකාදශස්ථානයෙක සිටියා වූ රූපස්කන්ධය පඨවි ධාත්වාදී විසින් ‘පඨවිධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු චක්ඛු සොත ඝාණ ජිව්හා කාය රූප සද්ද ගන්ධ රස ඵොට්ඨබ්බ ඉත්ථත්ත පුරිසත්ත හදයවත්ථු ජීවිතින්ද්‍රිය ආකාසධාතු කායවිඤ්ඤත්ති ලහුතා මුදුතා කම්මඤ්ඤා උපචය සන්තති ජරතා අනිච්චතා ය’ යි කියා විසිඅට වැදෑරුම් වේ. එහි පඨවිධාතුව ද ‘ඉසකේ ලොම් නිය දත් සම් මස් ඇට නහර ඇටමිදුළු වකුගඩු හෘදයවස්තු අක්මා දලබු බඩදිව් පපු බඩවැල් අතුණුබහන් උදර අසුචි හිස්මිදුලු ය’ යි කියා විසි කොට්ඨාසයෙක. ද්‍ර‍ව ලක්ෂණ වූ ආපොධාතුව ද ‘පිත් සෙම සැරව රුධිර ඩහදිය මේදතෙල් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූත්‍ර‍ ය’ යි කියා දොළොස් කොට්ඨාසයෙක. ‘මාංසයක් කුණු නො වන සේ ලූ ලුණක් මෙන් මේ ශරීරය කුණු විය නො දී පවත්නා උෂ්ණගතියෙක් ඇද්ද, හෙවත් යම් තෙජො ගුණයකින් මේ ශරීරසන්තානය සොකපරිදෙවාදිය ඇති වූ කල තැවේ ද, යම් තෙජො ගුණයකින් මේ ශරීරය දවා ද, යම් තෙජොගුණයකින් ශරීරය ජරාවට පැමිණේ ද, යම් තෙජොගුණයකින් කෑ බී අනුභව කළ රස විඳ ගත් සියලු ආහරජාතීහු පැසෙද් ද, යන මේ සතරකොට්ඨාසය ඇතුළු වූ යම් උෂ්ණ ගතියෙක් ඇත් නම්, හේ තේජොධාතු නම් වේ. මේ ශරීරය ‘දරදණ්ඩක් මෙන් සිටිය නො දී (498) ඒ ඒ ක්‍රියාවෙහි පවත්වන්නා වූ යම් වායු ගුණයෙක් ඇද්ද, හෙවත් දෙපතුල පටන් සිරස දක්වා පවත්නා ඌර්ධ්වංගම නම් වාත ය, සිර පටන් දෙපතුල දක්වා පව්තනා අධොගම නම් වාත ය, කුක්ෂිගත ව බඩවැල පිට හැසිරෙණ කුච්ඡිසය නම් වාත ය, බඩවැල ඇතුළත හැසිරෙණ කොට්ඨාසය නම් වාත ය, දෙඅත් දෙපා ආදී වූ අංග ප්‍ර‍ත්‍යංගයන් ඇසුරු කරණ අංගමංගානුසාරී නම් වාත ය, ඉහළ පහළ නඟන බහන ආශ්වාස ප්‍ර‍ශ්වාස නම් වාත ය’ යන මේ ෂඩ්විධ වාතය ප්‍ර‍ධාන කොට ඇති මේ ශරීරය ගමන පචන භොජනාදි සියලු ක්‍රියාවෙහි ම පවත්වන යම් ශක්තිගුණයෙක් ඇත්නම්, හේ වායොධාතු නම් වෙයි යන මේ සතරමහාධාතුහු ද නීල පීතාදි රූපදර්ශනයට කාරණා වූ චක්ෂුඃප්‍ර‍සාදය ද, භෙරි වීණා මෙඝ ගර්ජනාදි ශබ්ද ශ්‍ර‍වණයට කාරණා වූ ශ්‍රොත්‍ර‍ප්‍ර‍සාදය ද, සුගන්ධදුර්ගන්ධාදිය ආඝ්‍රාණයට කාරණ වූ ඝ්‍රාණප්‍ර‍සාදය ද, ආහාරපානාදී රසාස්වාදයට කාරණ වූ ජිහ්වාප්‍ර‍සාදය ද, වස්ත්‍රාභරණ ස්ත්‍රීපුරුෂාදී ස්පර්ශග්‍ර‍හණයට කාරණ වූ කායප්‍ර‍සාදය ද යන ප්‍ර‍සාදරූපපස ද, චක්ෂුසට ගොචර වූ රූපාලම්බනය ද, ශ්‍රොත්‍ර‍යට ගොචර වූ ශබ්දාලම්බනය ද, ඝ්‍රාණයට විෂය වූ ගන්ධාලම්බනය ද, දිවට විෂය වූ රසාලම්බනය ද, කායෙන්ද්‍රියට විෂය වූ ස්පර්ශාලම්බනය ද යන විෂයරූපපස ද, ස්ත්‍රීභාවය පුරුෂභාවය මනොධාතු මනොවිඤ්ඤාණධාතූන්ට ආධාර හෘදයවස්තුව ය. දෙහස්ථිතියට කාරණ වූ රූපජීවිතෙන්ද්‍රිය ද, දෙකන් සිදුරු නාසාබිල මුඛද්වාර උගුර මල මුත්‍ර‍ මාර්ගයෝ ය යන අටසිදුරු හා කන බොන දෙය පිහිටන උදරපටල ය යන මේ නවය ප්‍ර‍ධාන කොට ඇති මේ ශරීරයෙහි යම් සිදුරුබවෙක් වී නම්, හේ ආකාශධාතු ම් වේ. වායු ධාත්වධික චිත්තජමහාභූතයන්ගේ ‘ආකාරවිශෙෂ ය’ යි කියන ලද කයින් අභිප්‍රාය අඟවන්නා වූ කායවිඤ්ඤත්තිය ද, පෘථිවිධාත්වධික චිත්තජමහාභූතයන්ගේ ‘විකාර ය’ යි කියන ලද සවිඤ්ඤාණක ශබ්ද සංඛ්‍යාත වචනයෙන් ඒ ඒ අභිප්‍රාය අඟවන්නා වු ද, තෙමේත් ඇඟෙනු ලබන්නා වූ ද, වාග් විඥප්තිය ද, දවසක් මුළුල්ලෙහි ගින්නෙන් රත් වූ යකඩකඳක් මෙන් ‘ශරීරයාගේ සැහැල්ලුබව ය’ යි කියන ලද ලහුත්වය ද, සුමර්දිතචර්මයක් මෙන් ‘නො දැඩිබව’ ය යි කින ලද රූපමෘදුත්වය ද, යහපත් කොට ගින්නෙන් තැවූ ස්වර්ණයක් මෙන් ශරීරයෙන් කට යුතු වූ ‘ක්‍රියාවට අනුකූලබව ය’ යි කියන ලද රූපකර්මණ්‍යතාව ද, ගඟබඩ කැපූ කූපයාගේ පරිපූර්ණ උදකොද්ගමනය මෙන් එකාදශරූපායතනයන්ගේ මතුමත්තෙහි උත්පත්ති වශයෙන් ‘අභිවෘද්ධි ය’ යි කියන ලද උපචය ද, පරිපූර්ණ වූ කූපයෙන් පිටත ඉතිරී යාමක් මෙන් උක්තක්‍ර‍මයෙන් උපචිත රූපයන්ගේ නැවැත නැවැතත් ප්‍ර‍බන්ධොත්පත්ති වශයෙන් ‘ප්‍ර‍වෘත්ති ය’ යි කියන ලද සන්තතිය ද, රූපයන්ගේ උත්පාදාවස්ථානයෙන් මත්තෙහි ජීර්ණ ව ‘භංගාභිමුඛාවස්ථාව ය’ යි කියන ලද ජරතාව ද, ‘රූපයන්ගේ පරිභෙද ස්වභාව වූ ‘අනිච්චතාව’ දැ යි යන මේ අටවිසිරූපයෝ රුප්පණාර්ථයෙන් රූපනම්වේ. රාශි අර්ථයෙන් රූපස්කන්ධ නම් වේ.

වෙදනාස්කන්ධය නම්:- එම එකොළොස්තන්හි සිටියා වූ රූපයට ඉෂ්ටාලම්බනයෙක් වී නම් සැපවෙදනා වෙයි. අනිෂ්ටාලම්බනයක් වී නම් දුඃඛවෙදනා වෙයි. මධ්‍යස්ථඅරමුණෙක් වී නම් උපෙක්ෂාවෙදනා වෙයි. (499) නොහොත් ‘චක්ඛුසම්ඵස්සජා වෙදනා’ යනාදි විසින් දැක්වූ සවැදෑරුම් වූ ත්‍රිවිධවෙදනාව මනාප වූ රූපය දැක සැපවෙදනා උපදී. අමනාප වූ රූපය දැක දුඃඛවෙදනා උපදී. ප්‍රියාප්‍රිය විරහිත වූ භූමි පර්වත කැට කැබිලිති ආදි මධ්‍යස්ථරූප දැක උපෙක්ෂාවෙදනාව උපදී. මෙසෙයින් මනාපශබ්දය අසා මනාපගන්ධය ආඝ්‍රාණය කොට මනාපරසය වළඳා සවිඤ්ඤාණක අවිඤ්ඤාණක ප්‍රියවස්තු ස්පර්ශ කිරීමෙන් මනාප දෙය සිතීමෙන් සැපවෙදනා උපදි. අමනාපවස්තු සිතීමෙන් දුක්ඛවෙදනා උපදී. මනාප අමනාප විරහිතචින්තාවෙන් උපෙක්ෂාවෙදනා උපදී. මෙසේ විස්තාරයට ගියා වූ චක්ෂුරාදිසදොරින් උපදනා වෙදනාව වෙදනාස්කන්ධ නම් වෙයි.

සංඥාස්කන්ධය නම්:- ඇසින් දුටු නීලපිතාදි රූපයන්, ‘මේ අසවල් රූපය’ යනාදී වසයෙන් හැඳිනීම ය, එසේ ම කණින් ඇසූ භෙරි වීණා මෘදංගාදිශබ්දයන් වෙන් වෙන් කොට හැඳිනීම ය, නාසයෙන් ආඝ්‍රාණය කළ සුගඳ දුගඳ වෙන් වෙන් කොට හැඳිනීම ය, දිවින් විඳි රසයන් ‘මේ ලුණුරස ය, මේ ඇඹුල්රස ය, මේ පැණිරස ය, මේ කිරිරස ය, මේ තෙල් රස ය’ යනාදි වසයෙන් වෙන් වෙන් කොට හැඳිනීම ය, කයින් ස්ප්‍ර‍ෂ්ටව්‍යය ස්පර්ශ කොට ‘මේ සැපස්පර්ශ ය, මේ දුඃඛස්පර්ශ ය’ යනාදි වසයෙන් තේරුම් කොට හැඳිනීම ය, මනසින් ධර්මයන් චින්තනය කොට ‘මේ අසවල් දේ ය, මේ අසවල් දේ ය’ යනාදි වසයෙන් වෙන් වෙන් කොට හැඳිනීම ය යන මේ ෂඩ්විධ වූ සංඥාව සංඥාස්කන්ධ නම් වේ.

සංස්කාරස්කන්ධය නම්:-

“සඞ්ඛාරො චෙතනා ඵස්සො-මනක්කරොයුසංඨිතී,

තක්කො චාරො ච වායාමො-පීති ඡන්‍දොධිමොක්ඛකො.

-

සද්ධා සති හිරොත්තප්පං-චාගො මෙත්තා මතී පුන,

මජ්ඣත්තතා ච පස්සද්ධි-කායචිතතවසා දුවෙ.

-

ලහුතා මුදු කම්මඤ්ඤ-පාගුඤ්ඤ උජුතා තථා,

දයා මුදා සම්මාවාචා-කම්මන්තො ජීච සංවරො.

-

ලොභො දොසො ච මොහො ච-දිට්ඨි උද්ධච්චමෙව ච,

අහිරිකමනොත්තප්පං-විචිකිච්ඡිතමෙව ච.

-

මානො ඉස්සා ච මච්ඡරො-කුක්කුච්චං ථිනමිද්ධකං

ඉති එතානි පඤ්ඤාස-සංඛාරක්ඛන්‍ධු සඤ්ඤිතා.”

යනු හෙයින් ප්‍ර‍ථම කොට උදෑසන්හි භිත්ති ආදියෙහි පැතිර වැද ස්පර්ශ ව අවුරශ්මියක් සේ ප්‍ර‍ථම කොට චක්ෂුඃශ්‍රොතාදීන් රූපශබ්දාදිය දැක අසා ඒ ඒ අරමුණු හා ගැටෙන ආකාරයෙන් පවත්නා වූ ස්පර්ශය ද, ගොවියෙක් තමන් යහළුවන් දෙපණස්දෙනෙකුන් සමග සීසෑම් ගොයම් කැපීම් ආදියකට තමන් කුඹුරට ගියේ සෙසු දෙපණස්දෙනාට වඩා ඕනෑකමින් මහත් උත්සාහයෙන් යෙදී ඒ ඒ කට යුතු කෙරේ ද, එපරිද්දෙන් සෙසු දෙපණස්ධර්මයන්ට වඩා මහත් උත්සාහවත් ලක්ෂණයෙන් යුක්ත ව (500) ඒ සියලු ධර්මයන් විසිර යා නො දී ආරම්මණයෙහි හසුරුවන්නා වූ චෙතනාව ද, ආජානීයඅශ්වයන් මෙහෙයන්නා වූ සාරථියෙකු මේන සහජාත ධර්මයන් ආලම්බනාභිමුඛ කොට මෙහෙයන්නා වූ මනස්කාරය ද, උත්පලාදීන්ට ජලය මෙන් සහජාතඅරූපධර්ම පරිපාලනයෙහි ආධිපත්‍යය කරණ ආයු සංඛ්‍යාත ජීවිතෙන්ද්‍රිය ද, යුද්ධමණ්ඩලයකට මහානරෙන්ද්‍ර‍යකු පිරිවරා ගෙණ ගිය සෙනඟක් ඒ මහරජ්ජුරුවන් වහන්සේ වැඩිය වැඩිය තැනකට ම යෙද්ද, ඒ සියලු සෙනඟ එකරාසි කිරීමට ප්‍ර‍ධාන වූ නරෙන්ද්‍ර‍යයන් සේ ඵස්සාදි සෙසු සියලු ධර්මයන් විසිර යා නො දී එක් ආරම්මණයෙක සම්පිණ්ඩනය කරණ චිත්තෛකාග්‍ර‍තාව ද ඝණ්ටාරයෙහි ප්‍ර‍ථම කොට වදින පහරක් මෙන් අරමුණට ප්‍ර‍ථම කොට චිත්තය නැඟීම ලක්ෂණ කොට ඇති විතර්කය ද, ඒ පහරින් නැංඟා වූ රාවය ඝණ්ටාරයෙහි පවත්වා සේ විතර්කයෙන් අරමුණට නැඟුන චිත්තයාගේ නැවැත නැවැත පවත්නා ලක්ෂණ ස්වභාව වූ විචාරය ද, සියලු කට යුතු කෘත්‍යයෙහි පසු බව නො වන යොධභටයකු සේ හැම ක්‍රියායෙහි උත්සාහලක්ෂණය වූ වීර්යය ද, පැන් නැති ග්‍රීෂ්මකාලයෙහි කාන්තාරමාර්ගයෙහි පිපාසයෙන් මිරිකී යන පුරුෂයක්හට පස්පියුමෙන් ගැවසුන සිහිල්පැන් දැක උපදනා චිත්ත පිණවීම් සේ ඉෂ්ටාලම්බනයෙහි උපදනා චිත්තප්‍රීතිය ද, ආලම්බනග්‍ර‍හණයෙහි සිතින් අත දිගු කරන්නාක් මෙන් කන්තුකම්‍යතා ලක්ෂණ වූ ඡන්දය ද, නිශ්චල වූ ඉන්ද්‍ර‍ඛීලයක් මෙන් අරමුණෙහි සන්නිට්ඨාන ලක්ෂණ වූ අධිමොක්ඛය ද, චක්‍ර‍වර්තීන්ගේ චතුරංගිණීසෙනා ගමනින් කැලඹී ගිය ජලයක් ප්‍ර‍සන්න කරණ උදකප්‍ර‍සාදකමාණික්‍යරත්නයක් මෙන් ලොභාදිචිත්තක්ලේශයන් පහදවන ලක්ෂණ වූ ශ්‍ර‍ද්ධාව ද, මහරජක්හට කළ මනා නො කළ මනා සියලු ම කට යුතු සඳහන් කරවන විශ්වාස අමාත්‍යයකු සේ අකුසලධර්මයන් හරිණ සේ කුසලධර්මයන් කරණ සේ සිහි කරණ ලක්ෂණ වූ ස්මෘතිය ද, අකුශලක්‍රියාවෙහි ලජ්ජා ස්වභාව වූ හිරිය ද, අකුශලක්‍රියායෙහි භය ස්වභාව වූ ඔත්තප්පය ද, පියුම් පත්‍රයෙක්හි පතිත ජලබින්දුවක් සේ දුටු ඇසු කිසි අරමුණෙක ඇලීම නො කරන්නා වූ අලොභය ද, අනුකූලමිත්‍ර‍යකු සේ අවිරුද්ධ ස්වභාව වූ අද්වෙෂය ද, අන්ධකාරයෙහි රූපයන් ප්‍ර‍කාශ කරණ ප්‍ර‍දීපයක් සේ අවිද්‍යාන්ධකාරය විධමනය කොට සියලු හොඳ නො හොඳ ප්‍ර‍කාශ කරණ ලක්ෂණ වූ ප්‍ර‍ඥාව ද, සම්ප්‍ර‍යුක්තචෛතසිකධර්මයන් ස්වකීය කෘත්‍යයෙහි සම්ප්‍ර‍වර්තනයට හෙතු වූ තත්‍ර‍මධ්‍යස්තාව ද, වෙදනාදි ස්කන්ධත්‍ර‍යයාගේ දරථ ය යි කියන ලද උද්ධතාදීක්ලේශයන් සන්හිඳුවන කායප්‍ර‍ශ්‍ර‍බ්ධිය ද, විඥානස්කන්ධයාගේ දරථ ය යි කියන ලද උද්ධතාදී ක්ලේශයන් සන්හිඳුවන චිත්තප්‍ර‍ශ්‍ර‍බ්ධිය ද, වෙදනාදි ස්කන්ධත්‍ර‍යයාගේ දානශීලාදි පුණ්‍යකර්මයෙහි අයොග්‍යතා ය යි කියන ලද කාමච්ඡන්දාදික්ලේශයන් සන්හිඳුවන කායලහුතාව ද, විඥානස්කන්ධයාගේ ගරුභාවය යි කියන ලද ථිනමිද්ධාදික්ලේශයන් සන්හිඳුවන චිත්තලහුතාව ද, වෙදනාදි ස්කන්ධත්‍ර‍යයාගේ ස්තබ්දභාවය යි කියන ලද දෘෂ්ටිමානාදීන් සන්හිඳුවන කායමෘදුත්වය ද, විඥානස්කන්ධයාගේ ස්තබ්ධභාවය යි කියන ලද දෘෂ්ටි මානාදීන් සන්හිඳුවන චිත්තමෘදුත්වය ද, වෙදනාස්කන්ධත්‍ර‍යයාගේ ද, දානශීලාදීපුණ්‍යකර්මයෙහි අයොග්‍යතා ය යි කියන ලද කාමච්ඡන්දාදි ක්ලේශයන් (501) සන්හිඳුවන කායකර්මණ්‍යතාව ද, විඥානස්කන්ධයාගේ දානශීලාදි පුණ්‍යකර්මයෙහි අයොග්‍යතා ය යි කියන ලද කාමච්ඡන්දාදීන් සන්හිඳුවන චිත්තකර්මණ්‍යතාව ද, වෙදනාදිස්කන්ධත්‍ර‍යාගේ ගෙලඤ්ඤ ය යි කියන ලද අස්සද්ධි ආදීන් සන්හිඳුවන කායප්‍රාගුණ්‍යතාව ද, විඥානස්කන්ධයාගේ ගෙලඤ්ඤ ය යි කියන ලද අස්සද්ධි ආදීන් සන්හිඳුවන චිත්තප්‍රාගුණ්‍යතාව ද, කායසංඛ්‍යාත වූ වෙදනා සංඥා සංස්කාර යන ස්කන්ධත්‍ර‍යයාගේ කුටිලභාවකර වූ මායාසාඨෙය්‍යාදි අකුශලයන් සන්හිඳුවන කායසෘජුත්වය ද, විඥානස්කන්ධයාගේ වංකස්වභාවය ය යි කියන ලද මායා සාඨ්‍යොදි අකුසල් සන්හිඳුවන චිත්තසෘජුත්වය ද, දුඃඛිතසත්වයන්ගේ දුක් පහ කරණු කැමැත්තා වූ කරුණාව ද, පරලාභසත්කාර කීර්ති ප්‍ර‍ශංසායෙහි මොදන ලක්ෂණ වූ මුදිතාව ද, බොල් සුළඟේ හැර වී රැස් කරණ ගොවියකු සේ මුසාවාදාදිය දුරු කොට වාක්සත්‍යය පැවැත්වීම් ලක්ෂණ වූ සම්‍යග්වචනය ද, අසුචි මලමුත්‍රාදිය අත ගානා ලදරුවකු සේ නො කොට කළ මනා සාරවත් කට යුතු ම කරණ ප්‍ර‍ඥාවන්තයකු සේ යහපත් කායකර්ම ස්වභාව වූ සම්‍යක්කර්මාන්තය ද, රත්රන් දවා පිරිසිදු කරණ ස්වර්ණකාරයකු සේ ජීවිකාව පිරිසිදු කිරීම් ලක්ෂණ කොට ඇති සම්‍යක්ආජීවය ද, රූපශබ්දාදියෙහි පඤ්චෙන්ද්‍රියන්ගේ ඇලිම ලක්ෂණ කොට ඇති ලෝභය ද, දණ්ඩෙන් ගැසූ නයකු කිපෙන්නා සේ කිපීම් ලක්ෂණ කොට ඇති ද්වෙෂය ද, චතුස්සත්‍යය නො දන්නා මොහය ද, ‘මෙලෝ නැත, පරලෝ නැත’ යනාදීන් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ද, සිත නො සන්සුන්බව ලක්ෂණ වූ උද්ධච්චය ද, ග්‍රාමශූකරයා අසුචියට කැත නැත්තා සේ පාපයට ලජ්ජා නැතිබව ලක්ෂණ වූ අහිරිකය ද, ප්‍ර‍දීපයට සලභයා නො බාව පනින්නා සේ පාපයට භය නැතිබව ලක්සන වූ අනොත්තප්පය ද, බුද්ධ ධර්ම සංඝ ශික්ෂා පූර්වාන්ත අපරාන්ත පූර්වාපරාන්ත ඉදප්පච්චයතා යනාදි ප්‍ර‍තීත්‍යසමුත්පන්නධර්මය යන අට තැන සැක සිතන්නා වූ විචිකිච්ඡාව ද, ‘මම සියල්ලන්ටම වැඩිතරමැ’ යි සිතන්නා වූ මානය ද අනුන් කෙරෙහි කරණ ඊර්ෂ්‍යාව ද, ‘තමාගේ සියලු ඓශ්වර්ය වෙන කෙනෙකුන්ට නො වෙව’ යි සිතන්නා වූ මාත්සර්යය ද, කළ නො කළ දෙයෙහි තැවීම් ලක්ෂණ වූ කුක්කුච්චය ද, චිත්තය හැකිළීම් ලක්ෂණ වූ ථීනය ද, කාය අකර්මණ්‍ය ලක්ෂණ වූ මිද්ධය ද යන මේ ගාථා නිර්දිෂ්ට පණස්ධර්මයෝ වනාහි සංස්කාරස්කන්ධය නම් වේ.

විඥානස්කන්ධය නම්:- ඇසෙහි උකුණුහිසක් ප්‍ර‍මාණ වූ අභිමුඛ ගත රූපයන් දක්නා චක්ෂුඃප්‍ර‍සාදයෙන් දුටු නීලපීතාදිවර්ණයන් දැන ගන්නා චක්ෂුර්විඥානය ද, ශ්‍රොත්‍රයෙහි සිහින් තඹමුන්දක් ප්‍ර‍මාණ වූ රොමයෙන් නොයෙක් ශබ්ද අසා දැන ගන්නා වූ ශ්‍රොත්‍ර‍විඥානය ද, නාසිකාවෙහි එළුවන්ගේ පියවර සටහන් බඳු වූ සුගඳ දුගඳ අසන්නා වූ ඝ්‍රාණප්‍ර‍සාදයෙන් ගන්ධාඝ්‍රාණය කොට දැන න්නා වූ ඝ්‍රාණවිඥානය ද, දිවෙහි මහනෙල් මල් පෙත්තකට බඳු වූ සටහන් ඇති නොයෙක් රස විඳින්නා වූ ජිව්හා ප්‍ර‍සාදයෙන් රසය විඳ දැන ගන්නා වූ ජිහ්වාවිඥානය ද, කයින් ලැබූ ස්පර්ශය දැන ගන්නා වූ කායවිඥානය ද, සිතින් සිතූ නොයෙක් සිතිවිලි දැන ගන්නා වූ මනොවිඥානය ද යන මේ ෂඩ්විධ වූ විඥානය ද, සතරඅපායෙහි පිළිසිඳ (502) ගන්නා වූ අකුශලවිපාක අහෙතුකමනොවිඥානධාතු චිත්තය ද, මිනිස්ලොව ජාත්‍යන්ධ බධිර උමතු ගොළු බිහිරි ආදි සත්වයන් පිළිසිඳ ගන්නා වූ කුශලවිපාක අහෙතුකමනොවිඥානධාතුචිත්තය ද, දෙවියන් හා මිනිස්ලොව පින්වත් සත්වයන්ගේ පිළිසිඳ ගැණීමට හේතු වූ සහෙතුක කාමාවචරවිපාකසිත් අට ද, රූපිබ්‍ර‍හ්මලොකයෙහි පිළිසිඳ ගැණීමට හේතු වූ රූපාවචර විපාකසිත් පස ද, අරූපිබ්‍ර‍හ්මලොකයෙහි උපදවන අරූපාවචර විපාකසිත් සතර ද, ‘සොමනස්ස සහගතං දිට්ඨිගතසම්පයුත්තමසංඛාරික මෙකං, සසංඛාරික මෙකං’ ඉෂ්ටානුභවලක්ෂණ කොට ඇති සොමනස්ස සහ ගියා වූ අනිත්‍යතාදි ධර්මස්වභාව හැර නිත්‍ය සුඛ ස්වභාදි වසයෙන් විපරීත වූ මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ තමා විසින් හෝ අන්‍යයන් විසින් හෝ කරණ ලද පූර්වප්‍රයොග විරහිත හෙයින් අසංඛාරික වූ එක් අකුශල චිත්තයෙක, තමා විසින් හෝ අන්‍යයා විසින් හෝ කරණ ලද පූර්වප්‍රයොග සහිත වූ හෙයින් සසංඛාරික වූ එක් අකුශලචිත්තයෙක, සොම්නස් සහගියා වු කාමයෙහි ආදිනවයෙක් නැතැ යි යනාදීන් ගත් මිථ්‍යාදෘෂ්ටිය හා අමිශ්‍ර‍ වූ අනික් කෙනෙකුන් විසින් උත්සාහයක් නැති ව ස්වභාව තීක්ෂණ වූ සිතින් ම කාමසෙවනාදිය කරණ කල උපදනා අසංඛාරික වූ එක් අකුශලචිත්තයෙක, එසේ ම සොම්නස් සහගියා වූ මිථ්‍යාදෘෂ්ටිය හා අමිශ්‍ර‍ වූ අන්‍යොත්සාහ සහිත වූ සිතින් කාමසෙවනාදිය හෝ දෘෂ්ටමංගලාදිය හෝ සාර ය යි ගන්නා කල උපදනා සසංඛාරික වූ එක් අකුශලචිත්තයෙක, මධ්‍යස්ථානුභාව ලක්ෂණ වූ උපෙක්ෂාවෙදනාව හා එකොත්පාදාදිභාවයට ගියා වූ විපරීතමිථ්‍යාදෘෂ්ටියෙන් සම්ප්‍ර‍යුක්ත වූ එක් අසංඛාරිකඅකුශලචිත්තයෙක. එසේ ම සසංඛාරික වු එක් අකුශලචිත්තයෙක, උපෙක්ෂා සහගත වූ විපරීතමිථ්‍යාදෘෂ්ටිය හා මිශ්‍ර‍ නො වූ අසංඛාරික වූ එක් අකුශල චිත්තයෙක, උපෙක්ෂාසහගත වූ විපරීත වූ මිථ්‍යාදෘෂ්ටිය හා මිශ්‍ර‍ නො වූ එක් සසංඛාරිකඅකුශලචිත්තයෙක යන මේ ලොභ සහගත වූ අකුශල චිත්තයෝ අටදෙන ද, අනිෂ්ටානුභව ලක්ෂණ වූ මානසිකදුඃඛවෙදනාව සහගත වූ චණ්ඩස්වභාව වූ අරමුණෙහි ගැටෙමින් උපදනා ප්‍ර‍තිඝයෙන් සම්ප්‍ර‍යුක්ත වූ අසංඛාරික වූ එක් අකුශලචිත්තයෙක. එසේ ම දොම්නස් සහගත වූ ප්‍ර‍තිඝයෙන් සම්මිශ්‍ර‍ වූ සසංකාරික වු එක් අකුශලචිත්තයෙක යන මේ ද්වෙෂසහගතචිත්තයෝ දෙදෙන ද, උපෙක්ෂා සහගියා වූ බුද්ධාදි අටතැන්හි ඇද්ද නැද්දෝ හො යි උපදනා සංශයලක්ෂණ වූ විචිකිච්ඡාවෙන් සම්ප්‍ර‍යුක්ත වූ එක් අකුශලචිත්තයෙක, ආලම්බනයෙහි නොසන්සුන්බවය යි කියන ලද උද්ධච්චය හා එකොද්පාදාදිප්‍ර‍කාරයෙන් යුක්ත වූ එක් අකුශලචිත්තයෙක යන මොමුය්හචිත්තයෝ දෙදෙන ද යන මෙකී දොලොස්අකුශලචිත්තයෝ ද, උපෙක්ෂාවෙදනාව හා එකොත්පාදාදිභාවයට ගියා වු රූපදර්ශනයට කාරණ වූ චක්ෂුඃප්‍ර‍සාදාය ආශ්‍ර‍ය කොට පවත්නා චක්ෂුර්විඥානය ද, එසේ ම උපෙක්ෂාසහගත වූ ශබ්දශ්‍ර‍වණයට හෙතු වූ ශ්‍රොත්‍ර‍ප්‍ර‍සාදය ආශ්‍ර‍ය කොට පවත්නා වු ශ්‍රොත්‍ර‍විඥානය ද, ගන්ධාඝ්‍රාණයට කාරණ වූ ඝ්‍රාණප්‍ර‍සාදය ආශ්‍ර‍ය කොට පවත්නා වූ ඝ්‍රාණවිඥානය ද, රසාස්වාදයට හෙතු වූ ජිව්හාප්‍ර‍සාදය ආශ්‍ර‍ය (503) කොට පවත්නා ජිහ්වා විඥානය ද, ස්ප්‍ර‍ෂ්ටව්‍යස්පර්ශයට හෙතු වූ කායප්‍ර‍සාදය ආශ්‍ර‍ය කොට පවත්නා දුඃඛසසහගත වූ කායවිඥානය ද, උපෙක්ෂා සහගියා වූ රූපාදීන් පිළිගණිමින් උපදනා සම්පටිච්ඡන්නචිත්තය ද, උපෙක්ෂා සහගියා වූ රූපාදීන් තීරණය කෙරෙමින් උපදනා සන්තිරණචිත්තය ද යන මේ අකුශලවිපාකචිත්තයෝ සත්දෙන ද, උපෙක්ෂා සහගත වූ රූපදර්ශනයට හෙතු වූ චක්ෂුඃප්‍ර‍සාදය ආශ්‍ර‍ය කොට පවත්නා වූ චක්ෂුර්විඥානය ද, එසේ ම ශ්‍රොත්‍ර‍විඥානය ද, ඝ්‍රාණවිඥානය ද, ජිව්හාවිඥානය ද, ඉෂ්ට වූ කාය චිත්ත සැප සහගත වූ කායවිඥානය ද, උපෙක්ෂාසහගත වූ රූපාදි අරමුණු පිළිගන්නා වූ සම්පටිච්ඡන්නචිත්තය ද එසේ ම පිළිගත් රූපශබ්දාදි අරමුණු විමසන්නා වු සන්තීරණචිත්ත ය යි කියන ලද කුශලචිත්ත අහෙතුක මනොවිඤ්ඤාණධාතුව ද, සෞමනස්‍යසහගත වූ සැපවෙදනා ඇති සන්තීරණචිත්තය ද යන මේ අෂ්ටවිධ වු කුශලවිපාක අහෙතුකචිත්තයේ ද, උපෙක්ෂාසහගත වූ චක්ෂුරාදි පඤ්චද්වාරයෙහි වැදගත් රූපාදී අරමුණට චිත්තසන්තතිය යොමු කරණ පඤ්චද්වාරාවර්ජනචිත්තය ද, උපෙක්ෂා සහගත වූ මනොද්වාරයට හමු වූ රූපාදී අරමුණට චිත්තසන්තතිය යොමු කරණ මනොද්වාරාවර්ජනචිත්තය ද, සොම්නස් සහගියා වූ අනෝදාරික ආලම්බනයෙහි රහතුන්ට සිනා උපදවන හසිතොත්පාදචිත්තය ද යන මේ අහෙතුකක්‍රියාසිත් තුණ ද, අකුශලවිපාක කුශලාහෙතුකවිපාක ක්‍රියා භෙද වශයෙන් දැක් වූ මේ සමතිස්චිත්තයෝ ද, නිර්මලානිසංස දක්නා බැවින් හා විශුද්ධ ශ්‍ර‍ද්ධා දෘෂ්ටි ප්‍ර‍ත්‍යය ප්‍ර‍තිග්‍රාහකාදි සම්පත්තියෙන් මානසිකසුඛවෙදනාව හා එකොත්පාදාදිභාවයෙන් සොම්නස්සහගත වූ නිරවද්‍ය ශිල්ප ග්‍ර‍හණ ධාරණ ක්ලේශයන්ගේ දූරීභාව ඉන්ද්‍රිය පරිපාකයෙන් දැ යි යනාදි කාරණයෙන් ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූ අනික් කෙනකුන් විසින් උත්සාහයක් නැති ව ස්වභාව තීක්ෂණ වූ සිතින් ම දානශීලාදි පින් කරණ කල උපදනා අසංඛාරික වූ එක් කුශලචිත්තයෙක, සොම්නස් සහගත වූ ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූ ‘දන් දෙව, පින් කරව’ යනාදීන් අන්‍යොත්සාහ සහිත වූ සිතින් දානාදි පින් කරණ කල උපදනා සසංඛාරික එක් කුශලචිත්තයෙක, ඉෂ්ටානුභවලක්ෂණමානසික සුඛවෙදනාදි කාරණයෙන් සොම්නස් සහගත වූ දෙමවුපියන්ගේ පුණ්‍යක්‍රියාදර්ශනයෙහි සංජාත පරිචය ඇති බාලදාරකයෝ භික්ෂූන් දැක සොම්නස් උපදවා වහා දිව ගොස් අත තුබූ කිසිවක් දෙද් ද, වඳිද් ද, එකල ඔවුන්ට සොම්නස් සහගත වු ඥානවිප්‍ර‍යුක්ත වූ අසංඛාරික වූ කුශලචිත්තයෙක් උපදනේ ය. විශුද්ධ ශ්‍ර‍ද්ධාබුද්ධිසම්පන්න සත්පුරුෂජනයන් ධාතු පෙතිපිළිම සඟුරුවන් දැක තමන් දරුවන් ලං කොට ‘පුතණ්ඩ, අප බුදුරුවන් වඳුව, පුදව’ යනාදීන් උත්සාහිත වූවාහු සතුටු ව, වඳිද්ද, පුදද් ද, එකල සොම්නස්සහගත වූ ඥානවිප්‍ර‍යුක්තසසංඛාරික වූ කුශලචිත්තයෙක් උපදනේ ය. උපෙක්ෂා සහගත වූ ඥානය හා සම්ප්‍ර‍යුක්ත වූ අසංඛාරික වූ එක් කුශලචිත්තයෙක, සසංඛාරික එක් කුශලචිත්තයෙක, උපෙක්ෂා සහගත වූ ඥානය හා අසම්මිශ්‍ර‍ වූ අසංඛාරික එක් කුශලචිත්තයෙක, සසංඛාරික එක් කුශලචිත්තයෙක, බලවත් ශ්‍ර‍ද්ධාය විශුද්ධදෘෂ්ටිය යන ආනිසංසදර්ශනය ද, ප්‍ර‍ත්‍යය ප්‍ර‍තිග්‍රාහක යන සොම්නස් ඉපදීමට හෙතු වූ මේ සතරඅර්ථවිකල්පයෙහි ම සොම්නස් (504) රහිත වූ සිත් ඇති වෙද් ද, එකල මෙ කී සතර සිත උපෙක්ෂාසහගත වූ උපදනේ ය යන මේ කාමාවචරකුසල්සිත් අට ද ‘සොමනස්ස සහගතං’ යනාදි මෙකී ක්‍ර‍මයෙන් ම දැක් වූ කාමාවචර සහෙතුකකුශලවිපාකසිත් අටෙක, කාමාවචර සහෙතුක ක්‍රියාසිත් අටෙකැ යි කියා කාමාවචර කුසල්සිත් සූවිස්සෙක, විතක්ක විචාර ප්‍රීති සුඛෙකාග්‍ර‍තා සහිත වු ප්‍ර‍ථමධ්‍යානකුශලචිත්තය ද, විචාරප්‍රීතිසුඛෙකාග්‍ර‍තා සහිත වූ ද්විතීයධ්‍යානකුශලචිත්තය ද, ප්‍රීතිසුඛෙග්‍ර‍තා සහිත වූ තෘතීයධ්‍යාන කුශලචිත්තය ද, සුඛෙග්‍ර‍තා සහිත වූ චතුර්ථධ්‍යාන කුශලචිත්තය ද, උපෙක්ඛෙකග්ගතා සහිත වූ පංචමධ්‍යානකුශලචිත්තය ද, මෙසේ යථොක්ත ක්‍ර‍මයෙන් ම විපාකසිත් පසෙක, ක්‍රියාසිත් පසෙකැ යි රූපාවචරසිත් පසළොසෙක, අරූපාවචර කුසල්සිත් සතරෙක, විපාකසිත් සතරෙක, ක්‍රියාසිත් සතරෙකැ යි දොළසෙක් වේ. ‘සොතාපත්ති මග්ගචිත්ත’ යනාදි දෙශනානුක්‍ර‍මයෙන් මාර්ග සිත් සතරෙක, ඵලසිත් සතරෙකැ යි ලොකොත්තර සිත් අටෙක් වේ. යන මේ එකුන්අනූවක් පමණ චිත්ත විඥානස්කන්ධ නම් වෙයි. සියලු සංසාරදුක් ගන්නා වූ මේ යථොක්ත වූ පඤ්චස්කන්ධයන් කෙරෙහි ම රූපාදි පඤ්චස්කන්ධයන්ගේ උත්පත්තිය හා ක්ෂය භංගාදි විනාසය දක්නා සමපණස්විධ වූ උදයව්‍යානුදර්ශන ඥානයෙන් යුක්ත ව වාසය කළ යුත්තේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මීයාගේ එක් අංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වු එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මූෂිකතෙමේ ඔබිනොබ හැසිරෙමින් අනුභවයට නිසි වූ ආහාරයක් පතමින් ම හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ඔබිනොබ හැසිරෙමින් යොනිසොමනස්කාරය පැතීමෙන් ම යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, උන්දුරයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම ගුණාංගය වංගන්තපුත්‍ර‍ ව උපසෙනස්ථවිරයන් වහන්සේ විසින්:-

“ධම්මසීසං කරිත්‍වාන-විහරන්තො විපස්සකො,

අනොලීනො විහරති-උපසන්තො සදා සතො” යි.

‘හැම කල්හි සිහි ඇත්තා වූ සන්හුන්නා වූ විදර්ශක භික්ෂුතෙම ප්‍ර‍ඥා ප්‍ර‍ධාන කොට ගෙණ වාසය කෙරෙමින් කාමරාගාදියෙහි නො ඇලී වාසය කරන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ගෝනුස්සාගේ එක් අංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වු එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ තමාගේ නඟුට ම ආයුධයක් කොට ඇති ගෝනුසුතෙම ඒ නංගුලායුධය ම ඌර්ධව කොට නගා ගෙණ හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ඤාණායුධයෙන් ම යුක්ත විය යුත්තේ ය. ඤාණායුධය ම ඌර්ධව කොට නගා ගෙණ වාසය කළ යුත්තේ ය. මහරජානෙනි, ගෝනුස්සාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය වංගන්තපුත්‍ර‍ වූ උපසෙන ස්ථවිරයන් වහන්සේ විසින් ම:-

(505) “ඤාණඛග්ගං ගහෙත්‍වාන-විහරන්තො විපස්සකො,

පරිමුච්චති සබ්බභයා-දුප්පසහො ච සො භවෙ” යි.

‘ඥානඛඞ්ගය ගෙණ විහරණය කරන්නා වූ විදර්ශකභික්ෂුතෙම සියලු ම සංසාර භයින් මිදෙන්නේ ය. ඒ යොගාවචර භික්ෂුතෙම කිසිවකු විසින් මැඩ ලිය නො හැකි වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මුගටියාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ නාගයන් හා යුද්ධයට එළඹෙන්නා වූ මුගටිතෙම බෙහෙතින් ශරීරය ව්‍යාප්ත කොට ගෙණ නයින් අල්වා ගන්නට එළඹෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ක්‍රොධබහුල ව කලහවිග්‍ර‍හවිවාදවිරොධයෙන් වැඩුනා වූ ලොකයා කරා එළඹෙන කල්හි සිසිරතර මෛත්‍රී බෙහෙතින් සිත ගල්වා ගත යුත්තේ ය. මහරජානෙනි, මුගටියාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්ම සෙනාධිපති වූ අනුබුද්ධ වූ ශාරිපුත්‍ර‍මහථෙර සාමීන් වහන්සේ විසින් ද:-

“තස්මා සකං පරෙසම්පි-කාතබ්බා මෙත්තා භාවනා,

මෙත්තචිත්තෙන එරිතබ්බං-එතං බුද්ධාන සාසනං” යි.

‘ක්ෂණමාත්‍ර‍කාලයකුදු මෛත්‍රීභාවනා කළාහට සසර අනන්ත සම්පත් දෙන්නේ ය. ඒ කාරණයෙන් තමන් සම්බන්ධි වූ ස්වකීය ජනයා කෙරෙහි ද, අනුන් කෙරෙහි ද, මෛත්‍රීභාවනා කළ යුත්තේ ය. උර්ධවාධොසරස යන සමස්තලොකය මෛත්‍රීසිතින් ස්පර්ශ කළ යුත්තේ ය. හීතාහිත සකල සත්වයන් කෙරෙහි මෛත්‍රී පතුරුවන්නා වූ මේ කාරණය නම් කාලත්‍ර‍යවර්ති වූ අනන්ත සර්වඥයන් වහන්සේලාගේ අනුශාසනාවෙකැ’ යි කියා වදාරණ ලද්දේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මහලු ශෘගාලයාගේ අංගද්වයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මහලු ශෘගාලතෙම යම්කිසි භොජනයක් ලැබ පිළිකුල් නො වී ම හැකි තාක් අනුභව කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පිණ්ඩපාත භොජනය ලැබ පිළිකුල් නො වී ම ශරීරය යැපෙන පමණක් වැළඳිය යුත්තේ ය. මහරජානෙනි, මහලු ශෘගාලයාගේ මේ පළමුවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය මහකාශ්‍යපස්ථවිරයන් වහන්සේ විසින්:-

“සෙනාසනම්හා ඔරුය්හ-ගාමං පිණ්ඩාය පාවිසිං,

භුඤ්ජන්තං පුරිසං කුට්ඨිං-සක්කච්ච නං උපට්ඨහිං.

-

සො මෙ පක්කෙන හත්‍ථෙන-ආලොපං උපනාමයි,

ආලොපං පක්ඛිපන්තස්ස-අංගුලි පන ඡිජ්ජථ.

-

කුඩ්ඩමූලඤ්ච නිස්සාය-ආලොපං පරිභුඤ්ජිහං,

භුඤ්ජිමානෙව භුත්තෙ වා-ජෙගුච්ඡං මෙ න විජ්ජති” යි.

(506) යනුවෙන් ‘ඇවැත්නි, මම අලුයම නැඟී සිට කළමනා වතාවත් කොට නිමවා පාසිවුරු ගෙණ සෙනාසනයෙන් බැස පිඬු පිණිස ගම්දොරට ගියෙමි. එකල ඒ ගම්හි සර්වජනප්‍ර‍තිකූල්‍ය වූ ඉතා නපුරු වූ කුෂ්ටරොගයකින් පෙළිපෙළී දුක් විඳමින් අනුභව කළ යුතු භොජනයක් ලදින් ඒ භොජනය අනුභව කෙරෙමින් හුන් කුෂ්ටරොගීපුරුෂයා දැක ඔහුට වැඩක් සාධනු පිණිස භික්ෂාචර්යාවතින් සකසා ඔහු කරා ගොස් පෙණෙන සේ ලඟ සිටියෙමි. ඒ කුෂ්ටරොගියා මා දැක ප්‍ර‍සන්න ව අනික් පිදිය යුතු වූ දනක් නො ලදින් තමන් අනුභව කෙරෙමින් හුන් බතින් පිඩක් කුණු වූ අතින් ගෙණ මාගේ පාත්‍ර‍යට පිරිනමා ලී ය. ඒ බත්පිඩ පාත්‍රයෙහි බහාලන කල්හි ඔහුගේ කුණු වූ අත ඇඟිල්ලක් සිඳී පාත්‍රයෙහි වැටුනේ ය. මම ද ඔහුට අනුකම්පාවෙන් ඒ භොජනය ගෙණ ඊට නුදුරු ගෙබිත්තියක් නිසා පිහිටි සෙවණක හිඳ ඒ කුණු වූ ඇඟිලිකඩ ඉවත දමා ඒ බත්පිඩ පස්විකා වැළඳීමි. ඒ බත්ආලොපය වළඳන කල්හි ද, වැළඳූ කල්හි ද ශරීරයාගේ ස්වභාව සිතන්නා වූ මට පිළිකුළෙක් නො වූයේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, මහලු ශෘඟාලතෙම භොජනයක් ලැබ ‘රූක්ෂ දෝ හො?’ යි ප්‍ර‍ණීත දෝ හො?’ යි කියා නො සොයන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පිණ්ඩපාතභොජනයක් හෝ සංඝහත්තාදි අතිරෙකලාභයක් හෝ ලැබ ‘රූක්ෂ දෝ හො’ යි කියා හෝ ‘නපුරු දෝ හො?’ යි කියා හෝ නො විමසිය යුත්තේ ය. ලද දෙයකින් ම සතුටු විය යුත්තේ ය. මහරජානෙනි, මහලු ශෘඟාලයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය වංගන්තපුත්‍ර‍ වූ උපසෙන ස්ථවිරයන් වහන්සේ විසින්:-

“ලු‍ඛෙන පිච සන්තුස්සෙ-නාඤ්ඤං පත්‍ථෙ රසං බහුං,

රසෙසු අනුගිද්ධස්ස-ඣානෙ න රමතී මනො,

ඉතිරීතරෙන සන්තුට්ඨො-සාමඤ්ඤං පරිපූරති” යි.

‘මහණ වනාහි රූක්ෂයෙනුදු සතුටු වන්නේ ය. බොහෝ වූ අනික් රසයක් ප්‍රාර්ථනා නො කරන්නේ ය. රසයෙහි ගිජු වූවාහුගේ සිත ධ්‍යානයෙහි නො ඇළෙන්නේ ය. ඉතිරීතරප්‍ර‍ත්‍යයෙන් සතුටු වන්නා වූ මහණතෙම ශ්‍ර‍මණගුණය සම්පුර්ණ කරන්නේ යැ’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මෘගයාගේ අංගතුණක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මෘගතෙම දහවල් අරණ්‍යයෙහි සැඟවී වසන්නේ ය. රාත්‍රියෙහි මරණ භයින් අභ්‍යවකාශ වූ එළියෙහි වාසය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් දහවල් ජනශූන්‍ය වූ අරණ්‍යයෙහි වාසය කළ යුත්තේ ය. රාත්‍රියෙහි සංසාරදුක් මෙනෙහි කෙරෙමින් අභ්‍යවකාශයෙහි සක්මනින් කල් යැවිය යුත්තේ ය. මහරජානෙනි, මෘගයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය ලොකාලොකදිවාකර වූ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ලොමහංසන පර්යායයෙහි-

(507) “සො ඛො අහං සාරිපුත්ත යා තා රත්තියො-පෙ-දිවා අබ්භොකාසො විහරාමි රත්තිං වනසණ්ඩෙ” යි[15]

යනුවෙන් ‘ශාරිපුත්‍රයෙනි, දුෂ්කරක්‍රියා පුරන්නා වූ ඒ මම වනාහි ඉතා ශීත ඇත්තා වූ හෙමන්තික වූ යම් රාත්‍රියෙක් ඇද්ද, නවම්මස අන්තිම සතර දවස හා මැදින්දිනයෙහි ප්‍ර‍ථම සතරදවස ය යන අන්තරට්ඨකයෙහි ද, පිනි බාන කාලයෙහි ද යන එබඳු රාත්‍රියෙහි අබ්භොකාසයෙහි වාසය කෙරෙමි. දහවල් වනගහනයෙහි වාසය කෙරෙමි. ග්‍රීෂ්මසෘතුයෙහි වූ කෙළවරමාසයෙහි දවහල් අබ්භොකාසයෙහි වාසය කෙරෙමි. රාත්‍රියෙහි වනගහනයෙහි වාසය කෙරෙමි’ යි කියා වදාරණ ලද්දේ ය. තවද, මහරජානෙනි, මෘගතෙම ශස්ත්‍ර‍යක් හෝ හීසැරයක් හෝ තමාගේ කයට ලං ව එන කල්හි රවටන්නේ ය, පලා යන්නේ ය, ශරීරයට වැද්ද නො දෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ක්ලේශයන් ලං ව එන කල්හි රැවටිය යුත්තේ ය. පලා ගිය යුත්තේ ය. ඒ චිත්තයට වැද්ද නුදුන යුත්තේ ය. මහරජානෙනි, මෘගයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මෘගතෙම මිනිසුන් දැක ‘නැවැත මනුෂ්‍යයෝ මා නො දකිත්ව’ යි සිතා යම් ඒ දෙසකට පලා යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ඩබර විග්‍ර‍හ විවාදශීලි වූ පුද්ගලයන් ද, දුශ්ශීල පුද්ගලයන් ද, ප්‍ර‍තිපත්ති පූරණයෙහි කුසීත වන පුද්ගලයන් ද, ක්‍රීඩා ප්‍ර‍සෘත ජනසංගණිකාකාමී පුද්ගලයන් ද දැක ‘අහෝ! මේ ප්‍ර‍මාදකාමී වූ පුද්ගලයෝ මා නො දකිත්ව’ යි කියා ද, ‘මම ද ඒ පුද්ගලයන් නො දකිමි’ යි සිතා ද යම් ඒ කැමැති දෙසකට පලා ගිය යුත්තේ ය. මහරජානෙනි, මෘගයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය ධර්‍ම සෙනවි සැරියුත්මහතෙර සාමීන් විසින්-

“මා මෙ කදාවි පාපිච්ඡො-කුසීතො හීනවීරියො,

අප්පස්සුතො අනාචාරො-සම්මතො කත්‍ථවී අහු” යි.

කිසි කලෙකත් පවිටු අදහස් ඇත්තා වූ කුසීත වූ පසු බට වීර්‍ය්‍ය ඇත්තා වූ අල්පශ්‍රැත වූ අනාචාරී වූ ද යන කිසිවෙක සමානබවක් මට නො වේව’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය.”

‘ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ගොරුපයාගේ චතුරංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ චතුරංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ගොරූප සංඛ්‍යාත වූ වෘෂභතෙම තමා වසන ගෙය නො හරින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ‘මේ චතුර්මහාභුතික වූ ශරීරය අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විකිර්ණ විද්ධංසන ස්වභාව ඇත්තේ ය’ යි කියා ස්වකීය වූ ශරීරය නො හැරිය යුත්තේ ය. මහරජානෙනි, ගොරූපයාගේ මේ පළමුවන අංගය දිය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වෘෂභතෙම බර උසුලන්නට දිය යුත්තක්හු (508) නැති බැවින් ආදින්නධුර වූයේ ය. සුවදුක් දෙකින් ධුරය උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආදින්නබ්‍ර‍හ්මචාරියායෙන් සුවදුකින් ජීවිතර්‍ය්‍යාවසානය දක්වා දිවි කෙළවර කොට බ්‍ර‍හ්මචර්‍ය්‍යය හැසුරුණ යුත්තේ ය. මහරජානෙනි, වෘෂභයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වෘෂභතෙම මහත් වූ ආලයෙන් අතෘප්තික ව ආඝ්‍රාණය කෙරෙමින් පැන් බොන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ආචාර්යෝපාධ්‍යායවරයන්ගේ අනුශාසනා ආලයෙන් ප්‍රෙමයෙන් ප්‍ර‍සාදයෙන් අතෘප්තික ව ආඝ්‍රාණයෙන් පිළිගත යුත්තේ ය. මහරජානෙනි, වෘෂභයාගේ මේ තෘතියාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වෘෂභතෙම යම් කිසිකෙනෙකුන් විසින් උසුලවනු ලබන්නේ ම උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ථෙර නවක මධ්‍යම භික්ෂූන්ගේ ද ගෘහස්ථ උපාසකඋපාසිකාවන්ගේ ද අවවාදානුශාසනාතොමෝ මස්තකයෙන් පිළිගත යුත්තේ ය. මහරජානෙනි, වෘෂභයාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සුගතවර සද්ධර්මසෙනාධිපති වූ ශාරිපුත්‍ර‍මහාථෙර ස්වාමීන් වහන්සේ විසින්-

“තදහු පබ්බජිතො සන්තො-ජාතියා සත්තවස්සිකො,

සොපි මං අනුසාසෙය්‍ය-සම්පටිච්ඡාමි මත්‍ථකෙ.

-

තිබ්බං ඡන්‍දඤ්ච පෙමඤ්ච-තස්මිං දිස්වා උපට්ඨපෙ,

ඨපෙය්‍යාචරියට්ඨානෙ-සක්කච්ච නං පුනප්පුනං” යි.

‘මනුෂ්‍යජාතියෙන් සත්හවුරුදු වූ සත්පුරුෂගුණයෙන් යුක්ත වූ එදවස්හි ම පැවිදි වූ ඒ ලදරු සාමණෙරතෙම ද මට ධර්මයෙන් අනුශාසනා කරන්නේ වී නම්, මම මාගේ ශිරොමස්තකයෙන් පිළිගන්නෙමි යි. ඒ සුගතොවාදකාරී පුද්ගලයා කෙරෙහි මම බලවත් වූ ඡන්දය ද ප්‍රෙමය ද උපදවමි. ඔහු දැක නැවැත නැවැතත් සකස් කොට ම ආචාර්‍ය්‍යස්ථානයෙහි තබන්නෙමි’ කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ශුකරයාගේ අංගද්වයයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ශූකරතෙම යම් සේ ග්‍රීෂ්මයෙන් හුණු ව ගියා වූ රත් ව ගියා වූ ග්‍රීෂ්මකාලය පැමිණි කල්හි ජලය කරා එළඹෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ද්වෙෂයෙන් චිත්තය කැලඹී ගැටී භ්‍රාන්ත ව කලකිරී හුණු වූ කල්හි ශීතලප්‍ර‍ණීත වූ මෛත්‍රීභාවනාව කරා එළඹුන යුත්තේ ය. මහරජානෙනි, හූරාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ශූකරතෙම මඩ මිශ්‍ර‍ වූ ජලය කරා ගොස් නාසිකාවෙන් පෘථිවිය සාරා ඔරුවක් මෙන් කොට ගෙණ ඒ මඩඔරුවයෙහි සයනය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සිත්හි ශරීරය තබා ගෙන අනිත්‍යාදි එක්තරා අරමුණු අතුරකට යාමෙන් සයනය කළ යුත්තේ ය. මහරජානෙනි, ශූකරායගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය පිණ්ඩොලභාරද්වාජ නම් මහතෙරහු විසින්-

(509) “කායෙ සභාවං දිස්වාන-විචිනිත්‍වා විපස්සකො,

එකාකියො අදුතියො-සෙති ආරම්මණන්තරෙ” යි.

‘එකලා වූ දෙවෙනි කෙනෙකුන් ඇත්තා වූ විදර්ශකභික්ෂුතෙම ශරීරයෙහි අනිත්‍යාදි ස්වභාවය සොයා දැක අරමුණු අතුරෙහි සයනය කරන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘හස්තිරාජයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ හස්තිරාජතෙම නම් මාර්ගයෙහි යමින් සිට ම පෘථිවිය ප්‍ර‍දාලනය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචර මහණහු විසින් තමාගේ ශරීරය ධාත්වාදිවශයෙන් සම්මර්ශනය කිරීමෙන් ම සර්වක්ලේශයන් ප්‍ර‍දාලනය කළ යුත්තේ ය. මහරජානෙනි, හස්තියාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, හස්තිරාජතෙම සියලු ශරීරයෙන් ම කරකැවී බලන්නේ ය. සෘජුව ම බලන්නේ ය. කරකවා දිශානුදිශාවන් නො බලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ගෙල කරකවා නො බලා සියලු ශරීරයෙන් ම කරකැවී බැලීමෙන් යුක්ත විය යුත්තේ ය. කරකැවීකරකැවී දිශානුදිශාවන් නො බැලිය යුත්තේ ය. උඩ නො බැලිය යුත්තේ ය. ඉතා අධොමුඛ ව නො බැලිය යුත්තේ ය. වියදඬු පමණ දුර බැලීමෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, හස්තියාගේ මෙ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, හස්ති රාජතෙම නිබඳ වූ සයනයක් නැත්තේ ය. වනයෙහි ඒ ඒ තැන ගොදුරු පිණිස ඇවිද පළමු සිටි ඒ ප්‍රදෙශයට ම වාසය පිණිස නො යන්නේ ය. එකස්ථානයෙක නිත්‍ය වූ ප්‍ර‍තිෂ්ඨායෙක් නැත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයන් වහන්සේ විසින් අනිබද්ධසයනයෙන් යුක්ත විය යුත්තේ ය. නිරාලයෙන් ම පිඬු පිණිස ගිය යුත්තේ ය. ඉදින් විදර්ශනා පුරණ යොගාවචරතෙම මනොඥ වූ ප්‍ර‍තිරූප වූ යහපත් වූ ප්‍රදෙශභාගයක් හෝ වෘක්ෂමූලයක් හේ ගුහාවක් හෝ ගල්ගෙවල් සේ නැමී තිබෙන පබ්භාරයක් හෝ දක්නේ වී නම්, එහි ම වාසයට එළඹිය යුත්තේ ය. නිත්‍යප්‍ර‍තිෂ්ඨායෙක ආලයෙක් නො කළ යුත්තේ ය. මහරජානෙනි, හස්තියාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, හස්තිරාජතෙම ජලයට පැමිණ පවිත්‍ර‍ විමල සීතල ජලයෙන් සම්පූර්ණ වූ කුමුදුප්පල පදුම පුණ්ඩරීකයෙන් සැලුම් ලද්දා වූ මහත් වූ මහ පියුම්විලකට බැස උතුම් වූ හස්තික්‍රීඩාවන් කෙළින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පවිත්‍ර‍ විමලාතිප්‍ර‍සන්න අනාවිලසද්ධර්මවරජලයෙන් සම්පූර්ණ වූ අර්හත්භල නමැති ප්‍ර‍වරකුසුමයෙන් සැදුම් ලද්දා වූ සතරසතිපට්ඨාන නමැති මහත් වූ මහාපුෂ්කරණියට බැස චතුස්සත්‍යඥානයෙන් සර්වසංස්කාරධර්මයන් කම්පා කළ යුත්තේ ය. විශෙෂයෙන් ම කම්පා කළ යුත්තේ ය. යොගාවචරයන්ගේ විමුක්ති ක්‍රීඩාව කෙළිය යුත්තේ ය. මහරජානෙනි, හස්තියාගේ මේ සතරවන අංගය යොගාවචරයා විසින් ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, හස්තිරාජතෙම සිහියෙන් පය නඟන්නේ ය. (510) සිහියෙන් ම පය තබන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගාවචර භික්ෂූහු විසින් සිහියෙන් නුවණින් යෙදී පය නැඟිය යුත්තේ ය. සිහියෙන් නුවණින් යෙදී පය තැබිය යුත්තේ ය. ඉදිරියට යාමෙහි ආපසු යාමෙහි හස්තපාද හකුළුවා ලීමෙහි දික් කිරීමෙහි යනාදි හැම තැන්හි ම සිහිනුවණින් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, හස්තියාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්සඟිවරයෙහි:-

“කායෙන සංවරො සාධු-සාධු වාචාය සංවරො,

මනසා සංවරො සාධු-සාධු සබ්බත්‍ථ සංවරො,

සබ්බත්‍ථ සංවුතො ලජ්ජි-රක්ඛිතොති පවුච්චති” යි.

යන ගාථාවෙන් ‘කායද්වාරයට හසු වන ස්ප්‍ර‍ෂ්ටව්‍යාලම්බනයට සිත නො දුවන විසින් කයින් සිත රැක්ම යහපත. මුසාවාදාදිය නො කියන විසින් වචනයෙන් සිත රැක්ම යහපත. මනොද්වාරයට හසුවන අභිධ්‍යා ව්‍යාපාදාදිය නො සිතන විසින් තමාගේ සිත රැක්ම යහපත. චක්ෂුරාදි සදොර ම රැක්ම යහපත. චක්ෂුරාදි සියල්ලෙහි ම සංවෘත වූ ලජ්ජිමහණතෙම ත්‍රිවිධ වූ ශික්ෂාව ම රක්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.

උද්දානපද නම්:-

උපචිකා බිළාරො ච-උන්‍දුරො විච්ඡිකෙන ච,

නකුලො සිගාලො මිගො-ගොරූපො වරාහො හත්‍ථිනා දසාති.

දෙවිසිඅංගයක් ඇති සතරවන වර්ගය නිමියේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘කෙසරසිංහරාජයාගේ සප්තාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ සප්තාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ සිංහරාජතෙමේ නම් ශ්වෙතපද්මයක් සේ සර්වාංගය ශ්වෙත විමල පරිශුද්ධ ශුභ්‍ර‍වර්ණ ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් මාර්ගඵලාධිගම ප්‍රාප්ත වීමෙන් පහ වූ කුකුස් ඇති ශ්වෙත විමල පරිශුද්ධ ශුහ්‍ර‍ වූ චිත්තයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, සිංහරාජයාගේ මේ පළමුවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සිංහරාජතෙම දක්ෂ වූ යාත්‍රා ඇති සතරපයක් ඇත්තේ ය. නොහොත් වික්කන්තචාරී වූ සතරපාදයන් ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් චතුර්විධ වූ සෘද්ධිපාද නමැති චතුෂ්පාදයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, සිංහයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සිංහරාජතෙම අභිරූප වූ යහපත් කෙසරසමූහයන් ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අභිරූප වූ යහපත් සීල නමැති කෙසරසමූහයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, සිංහයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සිංහරාජතෙම තමාගේ ජීවිතය විනාස වේ නමුදු කිසිවක්හට (511) යටත් නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්‍ර‍ත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගේ ක්ෂය වීමෙහි ද කිසිවක්හට ප්‍ර‍ත්‍යය පිණිස යටත් නො විය යුත්තේ ය. මහරජානෙනි, සිංහයාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සිංහරාජ තෙම සපදානයෙන් ලත් දඩයමක් ම අනුභව කරන්නේ ය. යම් තැනෙක්හි මෘගයෙක් වැටුනේ නම්, එහි ම සිට හැකි තාක් අනුභව කරන්නේ ය. අනික් උතුම් මධුර මසක් සොයා නො යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සපදානචර්යායෙන් ම ලත් භොජනයක් ම වැළඳීමෙන් යුක්ත විය යුත්තේ ය. අනික් මිහිරි ආහාර ලැබෙන කුලයන් නො සෙවිය යුත්තේ ය. භික්ෂාචර්යාවතින් පැමිණි පළමු ගෙය හැර අනික් කුලගෙයක් සොයා නො ගිය යුත්තේ ය. අනික් මධුරභොජනයක් සොයා නො ගිය යුත්තේ ය. යම් කුලයෙක්හි පිඩු ලබන ලද්දේ නම්, ඒ කුලයෙහි භොජනය ම නො හැර ශරීරය යැපෙන පමණ වැළඳිය යුත්තේ ය. අනික් උතුම් භොජනයක් නො සෙවිය යුත්තේ ය. මහරජානෙනි, සිංහයාගේ මේ පස්වන අඞ්ගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සිංහරාජතෙම සඟවා තබා අනුභව නො කරණ හෙයින් අසන්නිධිභක්ෂය එක්වරක් මස් අනුභව කොට ඒ මස්පොළොට නැවත නො යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අසන්නිධිකාරපරිභොගයෙන් යුක්ත විය යුත්තේ ය, මහරජානෙනි, සිංහයාගේ මේ සවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සිංහරාජතෙම භොජනයක් නො ලද්දේ ද, නො තැවෙන්නේ ය, භොජනයක් නො ලද්දේ ද, ආහාරතෘෂ්ණා ගථනයෙන් නො ගෙතී ආහාර තෘෂ්ණාවෙන් මූර්ඡා නො වී ආහාර තෘෂ්ණාවෙහි නො ගැලී අනුභව කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් භොජනයක් නො ලදින් නො තැවුන යුත්තේ ය, භොජනයක් ලද්දේ ද, තෘෂ්ණාග්‍ර‍ථනයෙන් නො ගෙතී තෘෂ්ණාවෙන් මූර්ඡා නො වී තෘෂ්ණාවෙහි නො ගැලී ආදීනව දැකීමෙන් ‘නිස්සරණමුඛ්‍ය වූ බ්‍ර‍හ්මචර්යානුග්‍ර‍හ පිණිස’ ය යනාදී වූ ප්‍ර‍ත්‍යවෙක්ෂාඥානයෙන් යුක්ත ව වැළඳිය යුත්තේ ය. මහරජානෙනි, සිංහරාජයාගේ මේ සත්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේට ප්‍ර‍ශංසා කර වදාරන්නා වූ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්සඟිවරයෙහි:-

“සන්තුට්ඨොයං කස්සපො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, -පෙ- නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති” යි.[16]

‘මේ කාශ්‍යපස්ථවිරතෙම හීන වූ ද, ප්‍ර‍ණීත වූ ද, මද වූ ද, බොහෝ වූ ද තමා ලද පිණ්ඩපාතයෙන් සතුටු වන්නේ ය. උක්තප්‍ර‍කාර වූ ඉතරීතරපිණ්ඩපාතසන්තොසයෙහි ද අනුන්ට ගුණ වර්ණනා කොට කියන සුලු ය. (512) පිණ්ඩපාතය කරණ කොට ගෙණ ශ්‍ර‍මණයන්ට සුදුසු නො වන්නා වූ එක්විසි අන්වෙසනයට නො පැමිණෙන්නේ ය. පිණ්ඩපාතය නො ලබන ලද්දේ ද, නො තැවෙන්නේ ය. පිණ්ඩපාතය ලබන ලද්දේ ද, තෘෂ්ණාග්‍ර‍ථනයෙහි නො ගෙතී තෘෂ්ණාවෙන්න මූර්ඡා නො වී තෘෂ්ණායෙහි නො ගැලී ආදිනව දක්නා සුලු ව ප්‍ර‍ත්‍යවෙක්ෂාඥානයෙන් සමන්විත ව වළඳන්නේ ය’ යි කියා මෙම කාරණය වදාරණ ලදී.”

“ස්වාමිනි, නාගසෙනයන් වහන්ස, ‘සක්වාලිහිණියාගේ අංගත්‍ර‍යයක් ගත යුත්තේ ය’ යි කියා යම් වචනයක් වදාළසේක් නො වේ ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ සක්වාලිහිණියා තමාගේ දිවිහිමියෙන් ම අඹුව හැර වෙන් නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් දිවිහිමියෙන් ම යොනිසොමනස්කාරය නො හැරිය යුත්තේ ය. මහරජානෙනි, සක්වාලිහිණියාගේ මේ පළමුවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සක්වාලිහිණිතෙම දියසෙවෙල්, දියපරඬල් අනුභව කරන්නේ ය. ඒ ආහාරයෙන් ම සන්තොසයට පැමිණෙන්නේ ය. ඒ සන්තොසය කරණ කොට ගෙණ බලයෙන් ද, වර්ණයෙන් ද, නො පිරිහෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් යථාලාභසන්තොසය කට යුත්තේ ය. මහරජානෙනි, යථාලාභයෙන් සතුටු වන්නා වූ යොගී වූ මහණතෙම ශීලයෙන් නො පිරිහෙන්නේ ය, සමාධියෙන් නො පිරිහෙන්නේ ය, ප්‍ර‍ඥාවෙන් නො පිරිහෙන්නේ ය, අර්හත්ඵලවිමුක්තිඥාන දර්ශනයෙන් නො පිරිහෙන්නේ ය, සියලු ම ලෞකිකලොකොත්තර කුශල ධර්මයෙන් නො පිරිහෙන්නේ ය. මහරජානෙනි, සක්වාලිහිණියාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සක්වාලිහිණි තෙම ප්‍රාණහිංසාව නො කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පරහිංසා වධබන්ධන පිණිස දඬු මුගුරු වැල් බාන් ඛඞ්ග කුන්තාදී ශස්ත්‍ර‍ නො ගෙණ ප්‍රාණඝාතයෙහි මහත් වූ ලජ්ජා ඇති ව සකල සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රී ඇති ව සියලු ම ප්‍රාණිභූතයන් කෙරෙහි හිතයෙන් අනුකම්පාවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, චක්‍ර‍වාකයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප ලොවුතුරා බුදුන් විසින් චක්කවාකජාතකයෙහි:-

“යො න හන්ති න ඝාතෙති-න ජිනාති න ජාපයෙ,

අහිංසා සබ්බභූතෙසු-වෙරං තස්ස න කෙනචි” යි.

‘යමෙක් අනුන්ට හිංසා නො කෙරේ ද, අනුන් නො නසා ද, පැරදවීම් වසයෙන් ජය නො ගණී ද, අර්ථහානි නො කරවා ද, සකල ප්‍රාණිභූතයන් කෙරෙහි හිංසාචෙතනාවක් නැද්ද, ඔහුගේ කිසි කෙනෙකුන් හා වෛරයෙක් නැතැ’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමිනි, නාගසෙනයන් වහන්ස, ‘කෑඳැත්තියගේ අංගදෙකක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ කෑඳැතිපක්ෂිණී තොමෝ තමාගේ (513) ස්වාමිපුත්‍ර‍ වූ කෑඳැත්තහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පැටවුන් පොෂ්‍ය නො කරන්නී ය. ‘මේ කෑඳැත්තහු නිසා මේ දරුවෝ උපන්නාහ’ යි සිතා කෑඳැත්තහුගේ පත්‍ර‍ ඇගේ තුඩින් උපුටා හැර එම රුක්සිදුර ම හිඳුවා පැටවුන් මෝරණ තුරු වනයෙන් ගොදුරු ගෙණවුත් දෙන්නී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් තමාගේ චිත්තයෙහි ක්ලේශයන් උපන් කල්හි සිත කෙරෙහි ඊර්ෂ්‍යා කළ යුත්තේ ය. සතරසතිපට්ඨාන ධර්මයන් සතරසංවරශීල නමැති වෘක්ෂබිලයෙහි මනා කොට ප්‍ර‍ක්ෂේප කොට මනොද්වාරයෙහි කායගතාසතිභාවනා වැඩිය යුත්තේ ය. මහරජානෙනි, පෙණාහිකාවගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, කෑඳැත්තිය දහවල් ගොදුරු පිණිසි වනයෙහි හැසිර සවස තමාගේ ආත්මාර්ෂාව පිණිස පක්ෂිසමූහයා කරා එළඹෙන්නී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් කාමසංයොජනාදීන්ගේ මිදීම පිණිස එකලා වූ විවෙකය සෙවනය කළ යුත්තේ ය. රාත්‍රියෙහි ඒ විවෙකකාලය නො ලබන මහණහු විසින් පරාපවාදහය රක්ෂා කරණ පිණිස සංඝයා මැදට බැස සංඝරක්ඛිතයෙකු විසින් වාසය කළ යුත්තේ ය. මහරජානෙනි, කෑඳැත්තියගේ මේ දෙවෙනි අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, ශතසහශ්‍රීලොකධාතුව තමාගේ ශරීරාලොකයෙන් එකාලොක කරණයට සමර්ථ වූ සහම්පතී නම් මහාබ්‍ර‍හ්මරාජයා විසින් භාග්‍යවත් වූ ලොවුතුරා බුදුන්ගේ සමීපයෙහි දී:-

“සෙවෙථ පන්තානි සෙනාසනානි

චරෙය්‍ය සංයොජනවිප්පමොක්ඛා,

සචෙ රතිං නාධිගච්ඡෙය්‍ය තත්‍ථ

සඞ්ඝෙ වසෙ රක්ඛිතත්තො සතීමා” යි.

යන මේ ගාථාව කියා තමාගේ දොළොස්ගවු උස ඇති මැණික් ඔටුන්නෙන් සැදුම් ලත් අටසාළිස්ගවු උස ඇති බ්‍රාහ්මාත්මභාවය ඉන්ද්‍ර‍ධනුවක් සේ බුදුන් දසාවට නමා අහස්හි නිර්මිත වූ පෘථිවිතලයෙහි දකුණු දණමඬල හැන දොහොත් මුදුන් තබා ගෙණ ‘ස්වාමීනි, ලොවුතුරා බුදුරජානෙනි, මේ සර්වඥශාසනයෙහි පැවිදි ව ස්මෘතියගේ අවිප්‍ර‍වාසයෙන් යුක්ත වූ රක්ෂා කරණ ලද සුශීලාත්මය ඇත්තා වූ ශ්‍ර‍මණයන් වහන්සේ නරනාරි ජන ගොෂ්ඨි විරහිත වූ ග්‍රාමයට දුනු පන්සියයෙන් නුදුරු වූ පන්තසෙනාසනයන් භජනය සෙවනය කරන්නෝ ය. කාමාදි දසසංයොජනයෙන් මිදෙන පිණිස නිර්මල වූ ප්‍ර‍තිපත්තියෙහි හැසිරෙන්නේ ය. ඉදින් ඒ පන්තසෙනාසනයෙහි ආලයට නො පැමිණෙන්නාහු වී නම් සංඝයා කෙරෙහි වසන්නෝ ය’ යි කියා මේ කාරණය කියන ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ගෘහපරෙවියාගේ එකාංගයක් ගත යුතු ය ’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ගෘහපරෙවිතෙම මනුෂ්‍යයන්ගේ ගෘහයෙහි වසනුයේ ඒ මනුෂ්‍යයන්ගේ කිසි භාණ්ඩයකට නිමිත්තග්‍ර‍හණයක් නො කරන්නේ ය. පක්ෂිසංඥා බහුල ව මධ්‍යස්ථ ව වසන්නේ ය. මහරජානෙනි (514) එපරිද්දෙන් ම පරකුලයට එළඹුනා වූ යොගී වූ යොගාවචරයා විසින් ඒ කුලයෙහි ස්ත්‍රීන්ගේ ද, පුරුෂයන්ගේ ද ඇඳෙක හෝ පුටුවෙක හෝ වස්ත්‍රයෙක හෝ ආභරණයෙක හෝ උපභොගවස්තුවෙක හෝ පරිභොගවස්තුවෙක හෝ සාලිමංසොදනාදී භොජනවිකෘතියක හෝ නිමිත්තග්‍ර‍හණය නො කළ යුත්තේ ය. මධ්‍යස්ථ විය යුත්තේ ය. ශ්‍ර‍මණසංඥාව ඉපද විය යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් චුල්ලනාරද ජාතකයෙහි:-

“පවිසිත්‍වා පරකුලං-පානෙසු භොජනෙසු වා,

මිතං ඛාදෙ මිතං භුඤ්ජෙ- න ච රූපෙ මනාං කරෙ” යි.

‘පරකුලයට ගොස් ඔවුන්ගේ පානවර්ගයෙහි ද, භොජනයෙහි ද, ආලයක් නිමිත්තග්‍ර‍හණයක් නො කොට පමණින් යුක්ත ව අනුභව කෙරෙමි, පමණින් යුක්ත ව වළඳමි, ස්ත්‍රීරූප ධන ධාන්‍ය වස්ත්‍රාභරණාදි රූපයෙහි ආලය සිතක් නො කෙරෙමි’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘බකමුහුණු පක්ෂියාගේ අංග දෙකක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, බකමුහුණු පක්ෂිතෙම කාකයන් හා ප්‍ර‍තිවිරුද්ධ ය, කාකයන් තලයට ගොස් රාත්‍රියෙහි බොහෝ වූ කාකයන් නසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් නුනුවණ හා ප්‍ර‍තිවිරුද්ධබව කට යුත්තේ ය. එකලා ව රහස් ව හිඳ නුනුවණ මර්දනය කළ යුත්තේ ය. සහමුලින් සිඳ හළ යුත්තේ ය. මහරජානෙනි, උලූකයාගේ මේ පළමුවනව අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, බකමුහුණු පක්ෂිතෙම එකලා ව විවෙක ව හිඳිනේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් විවෙකයෙහි ඇලුමෙන් විවෙකාරාමයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, උලූකයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය, වදාරණ ලදැ යි මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්නිකායවරයෙහි:-

“ඉධ භික්ඛවෙ භික්ඛු පටිසල්ලානාරාමො පටිසල්ලානරතො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනිපටිපදාති යථාභූතං පජානාති” යි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකාරාම ව විවෙකයෙහි ඇලුනේ මේ දුකැ යි කියා තත් වූ පරිද්දෙන් දනියි. මේ දුක් ඉපදීම ය යි කියා තත් වූ පරිද්දෙන් දනී. මේ දුක් නිරුද්ධවීම ය යි කියා තත් වූ පරිද්දෙන් දනී. මේ දුක් නිරොධගාමිනී ප්‍ර‍තිපදාව ය යි කියා තත් වූ පරිද්දෙන් දැන ගන්නේ යි.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ශතපත්‍ර‍ධාරී වූ කෑරල් පක්ෂියාගේ එක් අංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ කෑරල් පක්ෂිතෙම (515) තමාගේ කෑරල්ශබ්දයෙන් හඬා අනුන්ට වන සැපතක් හෝ භයක් හෝ කියන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පරහට ධර්මදෙශනා කිරීමෙන් එක්සියසතිස්මහ නරකයෙහි නරකදුඃඛය ඉතා භය වසයෙන් දක්වා ලිය යුත්තේ ය. තෘෂ්ණාපගත වූ නිර්වාණය ක්ෂෙමවශයෙන් අභයවශයෙන් දක්වා ලිය යුත්තේ ය. මහරජානෙනි, ශතපත්‍ර‍යාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය පිණ්ඩොලභාරද්වාජ නම් මහතෙරුන් වහන්සේ විසින්:-””””””””

“නීරයෙ භයං සත්තානං -නිබ්බාණෙ විපුලං සුඛං,

උභයානෙතානි අත්‍ථානි-දස්සෙතබ්බානි යොගිනා” යි.

‘යොගාවචර භික්ෂූහු විසින් සත්වයන්ට නරකයෙහි භය ද, නිර්වාණයෙහි මහත් වූ සැපය ද යන මේ උභයාර්ථයන් දක්වා ලිය යුත්තේ ය’ යි කියා වදාරණ ලද්දේ යි.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘වවුල් පක්ෂියාගේ අංගදෙකක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, වවුල්පක්ෂිතෙම මිනිසුන්ගේ ගෘහයට ප්‍රවෙශ ව ඔබිනොබ සඤ්චාරණය කොට නික්ම යන්නේ ය. ඒ ගෘහයෙහි පළිබොධ නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ගමට පිඬු පිණිස ගොස් සපදානචර්යාවෙන් හැසිර ප්‍ර‍තිලබ්ධ ලාභයෙන් වහා ගමින් නික්මුන යුත්තේ ය, එහි පළිබොධ නො විය යුත්තේ ය. මහරජානෙනි, වග්ගුලියාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වග්ගුලිතෙම අනුන්ගේ ගෙයි වසමින් ඔවුන්ට කිසි හානියක් නො කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ක්ෂත්‍රියබ්‍රාහ්මණගෘහපත්‍යාදී උපාසක කුලයට එළඹ ඉතා බොහෝ කොට ඉල්වීමෙන් හෝ කායවචිවිඤ්ඤත්ති බහුලතාවෙන් හෝ ඉතා බොහෝ වූ කථාවෙන් හෝ සමාන වූ සුඛදුඃඛතාවෙන් හෝ ඒ ගෘහස්ථයන්ට කිසි විපිළිසරයක් නො කට යුත්තේ ය. ඔවුන්ගේ මුල් කට යුතු නො පිරිහෙළිය යුත්තේ ය. ඔවුන්ට සර්වප්‍ර‍කාරයෙන් ම මෙලොවින් පරලොවින් අභිවෘද්ධියක් ම සිතිය යුත්තේ ය. මහරජානෙනි, වග්ගුලියාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ සනරාමරලොකගුරු වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් දීර්ඝනිකායෙහි වූ ලක්ෂණ සූත්‍රාන්තයෙහි:-

“සද්ධාය සීලෙන සුතෙන බුද්ධියා,

චාගෙන ධම්මෙන බහූහි සාධුහී,

ධනෙන ධඤ්ඤෙන ච ඛෙත්තවත්‍ථුනා

පුත්තෙහි දාරෙහි චතුප්පදෙහි ච.

-

ඤාතීහි මිත්තෙහි ච බන්‍ධවෙහි

බලෙන වණ්ණෙන සුඛෙන චූභයං,

කථං න හායෙය්‍යුං පරෙති ඉච්ඡති

අත්‍ථස්සමිද්ධිං ච පනාභිකඞ්ඛති” යි.

(516) ‘මහණෙනි, අතීතයෙහි බුද්ධකාරකධර්මයන් පූරණය කරන්නා වූ මහබොධිසත්වතෙම ‘අහෝ! සනරාමරසකලලොකවාසී වූ සියලු සත්වයෝ ම ඔක්කප්පනශ්‍ර‍ද්ධා ය, ප්‍ර‍සාදශ්‍ර‍ද්ධා ය යන ශ්‍ර‍ද්ධාද්වයෙන් හා පඤ්චශීල, දශශීලයෙන් හා ධර්මය ඇසීමෙන් හා අතිදක්ෂ වූ සියුම් ප්‍ර‍ඥාවෙන් හා වස්තුපරිත්‍යාගයෙන් හා ලෞකිකගුණධර්මයෙන් හා අනිකුත් නො කී බොහෝ වූ උත්තමගුණධර්මයෙන් හා මුක්තාමාණික්‍යහිරණ්‍ය ස්වර්ණාදිධනයෙන් හා හැල් මහවී ආදි ධාන්‍යයෙන් හා සරු වූ ක්ෂේත්‍ර‍ වාස්තුයෙන් හා සුවච කීකරු පුණ්‍යවත් පුත්‍ර‍යන්ගෙන් හා අඛණ්ඩිතාචාර ඇති ස්ත්‍රීන්ගෙන් හා වාරණ තුරඟ ගවාදි චතුෂ්පදිකයන්ගෙන් හා මවු පිය දෙපක්ෂයෙහි නෑයන්ගෙන් හා සුවදුක්හි සිත් සේ පවත්නා මිත්‍ර‍යන්ගෙන් හා ආත්මය සේ පවත්නා බන්ධුවර්ගයාගෙන් හා ශරීරබල ඥානබලයෙන් හා ශරීරවර්ණගුණවර්ණයෙන් හා කාය චිත්ත සුවයෙන් ද යන මෙ කී ශ්‍ර‍ද්ධාදියෙන් කෙසේ නම් දෙලොවින් ම නො පිරිහෙද්දෝ හො යි සිතින් කැමැති වන්නේ ය, සිතන්නේ ය, සර්වාර්ථසිද්ධියගේ සමෘද්ධිය කැමැති වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘කූඩැල්ලාගේ එක් අංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වු එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ රක්තපායාහස්තපාදාදි තැනෙක්හි එල්වී ගණී ද, එහි ම දැඩි ව එල්වී ලේ නො නමා බොන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් යම් අරමුණෙක්හි සිත ඇලුනේ වේ ද, ඒ අරමුණ ම නීලපීතාදි වර්ණ වශයෙන් ද, හ්‍ර‍ස්වදීර්ඝාදි සටහන් වශයෙන් ද, දක්ෂිණොත්තරාදි දික් වශයෙන් පිහිටි අවකාශස්ථාන වශයෙන් ද, පරිච්ඡෙද වශයෙන් ද, ස්වභාව වශයෙන් ද, ලක්ෂණ වශයෙන් ද, දැඩි කොට සිත පිහිටුවා ගෙණ එම අරමුණ කරණ කොට ගෙණ අර්හත්ඵල නමැති අමෘතරසය බීම[17] කළ යුත්තේ ය. මහරජානෙනි, ජලූකයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය අනුරුද්ධමහාථෙර ස්වාමීන් විසින්:-

“පරිසුද්ධෙන චිත්තෙන-ආරම්මණෙපතිට්ඨාය,

තෙන චිත්තෙන පාතබ්බං-විමුත්තිරසමසෙචනං” යි.

“පිරිසිදු වූ සිතින් අරමුණෙහි පිහිටා ඒ නිශ්චල වූ සිතින් අසෙවන වූ (නො වාහින්නා වූ) අර්හත්ඵලරසය පානය කට යුත්තේ ය’ යි කියා වදාරණ ලද්දේ ය.”

‘ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘සර්පයාගේ අංගත්‍ර‍යක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සර්පතෙම යම් සේ හෘදයෙන් ම යේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණුන් වහන්සේ විසින් ප්‍ර‍ඥා නමැති හෘදයෙන් ම යා යුත්තේ ය. මහරජානෙනි, ප්‍ර‍ඥාවෙන් ම හැසිරෙන්නා වූ මහණුන් වහන්සේගේ චිත්තය චතුස්සත්‍යඥානාවබොධයෙහි ම හැසිරෙන්නේ ය. (517) මොහය දුරු කරන්නේ ය. සලක්ෂණය වඩන්නේ ය. මහරජානෙනි, සර්පයාගේ මේ පළමුවන අංගය ගත යුත්තේ ය. තවද මහරජානෙනි, හැසිරෙන්නා වූ සර්පතෙම ඖෂධ වෘක්ෂාදිය හැර ඉවතින් නික්ම යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් කායදුශ්චරිතාදිය දුරු කිරීමෙන් යුක්ත ව හැසුරුණ යුත්තේ ය. මහරජානෙනි, සර්පයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, සර්පතෙම මිනිසුන් දැක භයින් තැති ගන්නේ ය. සොක කරන්නේ ය. ගැලවී යන්ට සිතන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ලාමකවිතර්කයන් සිතා ‘අහෝ! මා සිතූ සේ නපුරැ’ යි කියා අරති උපදවා තැවුන යුත්තේ ය, ශොක කළ යුත්තේ ය. ‘මා විසින් ප්‍ර‍මාදයෙන් මේ දවස ඉක්මවන ලද්දේ ය. අෂ්ටදුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත වූ ඉකුත් වූ දවස නැවත ලැබ ගන්නට නො හැක්කෙමි’ යි කියා එක්වන් සිතිය යුත්තේ ය. මහරජානෙනි, සර්පයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය භල්ලාටියජාතකයෙහි අඹුසැමි යන කිඳුරන් දෙදෙනා විසින් කියන ලදී:-

“යමෙකරත්තිං විප්පවසිම්භලූද්ද

අකාමකා අඤ්ඤමඤ්ඤං සරන්තා,

තමෙකරත්තිං අනුතප්පමානා

සොවාම සා රත්ති පු න හෙස්සති” යි.

“අප මහාබොධිසත්වයන් වහන්සේ බරණැස භල්ලාටිය නම් රජ ව මාංසලොභයෙන් රාජ්‍යය ඇමැතියන්ට භාර කොට සුශික්ෂිත වූ සුනඛයන් හා දුනු හී ගෙණ වන මැද ඒ ඒ තැන ඇවිදිමින් ඔවුනොවුන් වැලඳ ගෙණ වියෝ දුකින් හඬන කිඳුරන් දෙදෙනා දැක සෝකපත් ව හඬන කරුණු විචාළ භල්ලාටිය රජහට ඊට කරුණු කියන කිඳුරෝ:- ‘මේ වනයෙහි බල්ලන් හා දුනු හී ගෙණ ඇවිදින පින්වත් වූ වැද්දනුවෙනි, පෙර අපි එක් දවසක් ඔවුනොවුන් නො කැමැති ව ම ඔවුනොවුන් සිතින් සිහි කෙරෙමින් යම් එක රාත්‍රියක් වෙන් ව වාසය කළමෝ ද, ඒ එක් රාත්‍රිය මුළුල්ලෙහි වියෝ දුකින් තැවුනා වූ අපි එබඳු වූ රාත්‍රියෙක් නැවත අපට නො වන්නේ ය’ යි කියා වියොගයෙන් ඉකුත් වූ රාත්‍රිය අරභයා සොක කරම්හ’ යි කියා දැන්වූවාහු ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පිඹුරාගේ එකාංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වු එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, පිඹුරුතෙම මහත් වූ මහාදීර්ඝශරීරයක් ඇත්තේ ය, බොහෝ දවසක් ආහාරයක් නො ලැබ අඩු වූ දීර්ඝොදරයක් ඇත්තේ ය, ඉතා දිළිඳු වූයේ ය, බඩ පුරා ආහාරයක් නො ලබන්නේ ය, අපරිපූර්ණ වූ ආහාර ඇත්තේ ය. යම් තාක් ශරීරය යැපෙන මාත්‍ර‍ වූ මඳ වූ ආහාරයකින් ම යැපෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නො පිළිගෙණ තමා විසින් ම ගෙණ වැළඳීමෙන් වැළැක්කා වූ අනුන් විසින් දුන් දෙයක් ම සිතින් කැමැති වන්නා වූ පරපිණ්ඩයට ම එළඹෙන ලද්දා වූ භික්ෂාචාර්යායෙහි ම (518) නියුක්ත වූ යොගී වූ මහණුන් වහන්සේට උදරය පිරීමට සෑහෙන්නා වූ නිවැරදි වූ ආහාරය අතිදුර්ලභ වන්නේ ය. එතෙකුදු වුවත් සසරදුක් ගෙවනු කැමැති වූ නිර්වාණාර්ථ වශිකා වූ ශ්‍ර‍ද්ධාවත් මහණුන් වහන්සේ විසින් දැහැමින් ලද්දා වූ භොජනයෙහිත් ගිජු නො වී එක්වන් පස්විකා යපෙන පමණක වළඳා සතර පස්පිඩක් නො වළඳා ඒ අවශෙෂ වූ අඩුව පැන් වැළඳීමෙන් පුරවා ගෙණ ශ්‍ර‍මණධර්මය ම සම්පූර්ණ කොට පිරිය යුත්තේ ය. මහරජානෙනි, පිඹුරාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ සැරියුත්මහාථෙර ස්වාමීන් විසින්:-

“අල්ලං සුක්ඛං ච භුඤ්ඡන්තො-න බාළ්හං සුහිතො සියා,

ඌනූදරො මිතාහාරො-සතො භික්ඛු පරිබ්බජෙ.

-

චත්තාරො පඤ්ච ආලොපෙ-අභුත්‍වා උදනං පිවෙ,

අලං ඵාසුවිහාරාය-පහිතත්තස්ස භික්ඛුනො” යි.

‘තෙත් වූ ආහාර ද, ශුෂ්ක වූ ආහාර ද කමින් ඉතා දැඩි කොට කුක්ෂය සම්පූර්ණකාරී නො වන්නේ ය. එසෙයින් යුක්ත ව ආහාර ගන්නා වූ ඌනොදරය ඇති ස්මෘතිසම්පන්න මහණතෙම සතරපස්පිඩක් නො වළඳා පැන් පානය කරන්නේ ය. නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති මහණහට සැපවිහරණය පිණිස එපමණ ඇතැ’ යි වදාරණ ලදී.”

උද්දානපද නම්:-

කෙසරීචක්කවාකො ව-පෙණාහීඝරකපොතකො,

උලූකො සතපත්තො ච-වග්ගුලී ච ජලූකිකා,

සප්පො අජගරො චෙව-වග්ගො තෙන පවුච්චති.”

තෙවිසිඅංගයක් ඇති පස්වන වර්ගය නිමියේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මාර්ගයෙහි දැල් බැඳ සිටින්නා වූ පන්ථමර්කටකයාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළ සේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?”යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ පන්ථමර්කටකතෙම මාර්ගයෙහි මර්කටක දැලින් වියනක් කොට බැඳ ගෙණ සැඟවී හිඳී ද, ඉදින් ඒ මකුළුදැලෙහි කෘමියෙකු හෝ මැස්සෙකු හෝ පළඟැටියෙකු හෝ ඇලුනේ වී නම්, වහා අවුත් ඔහු අල්වා ගෙණ අනුභව කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යෙදී වසන මහණුන් වහන්සේ විසින් චක්ෂුශ්‍රොතාදි ෂඩ්ද්වාරයෙහි සතරසතිපට්ඨාන නමැති දැල් වියන් බැඳ ගෙණ විවෙකයෙහි සැඟවී හිඳ ඉදින් ඒ දැලෙහි ක්ලේශයන් නමැති මක්ෂිකාදීහු බැඳුනාහු නම්, වහා ම ඒ ක්ලේශයෝ උපන් තන්හි ම නැසිය යුත්තෝ ය. මහරජානෙනි, පන්ථ මකුළුවාගෙ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය අනුරුද්ධස්ථවිරයන් වහන්සේ විසින්:-

(519) ‘චිත්තං නියමෙ ඡසු ද්‍වාරෙසු-සතිපට්ඨානවරුත්තමෙ,

කිලෙසා තත්‍ථ ලග්ගා චෙ-හන්තබ්බා තෙ විපස්සිනා” යි.

“චිත්තය ව්‍ර‍ත විසින් චක්ෂුශ්‍රොත්‍ර‍ ඝාණ ජිව්හා කාය මන යන ෂඩ්ද්වාරයෙහි උතුම් වූ සතරසතිපට්ඨාන දැල් හා විවෙකයෙහි සිටි කල්හි ඉදින් ක්ලේශයෝ ඒ සතිපට්ඨානජාලයෙහි ඇලුනාහු නම් විදර්ශක භික්ෂුහු විසින් ඒ ක්ලේශයෝ නැසිය යුත්තාහු ය’ යි වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ථනය වැළඳ ගෙණ ක්ෂීර පානය කරන්නා වූ ථනසිත දාරකයාගේ එක් අංගයක් ගත යුත්තේ ය’ යි කියා වදාළසේක් ද, ඒ ගත යුතු වු එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. මහරජානෙනි, යම් සේ ථනසිත ලදරුතෙම තමාගේ අර්ථයෙහි ම ඇලෙන්නේ ය. කිරි පිණිස ම හඬන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් තමාගේ ස්වකීය අර්ථයෙහි ම ඇලුන යුත්තේ ය. උද්දෙස ප්‍ර‍තිපෘච්ඡා සම්‍යක් ප්‍රයොග පවිවෙක ගුරුසෙවන කල්‍යාණමිත්‍රසෙවනය යනාදි සර්වස්ථානයෙහි ද චතුස්සත්‍යය දක්නා වූ ඤාණයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, ථනසිතදාරකයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සර්වමාරවාරණකෙශරින්ද්‍ර‍භූත වූ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් දීර්ඝනිකායෙහි වූ උතුම් පරිනිර්වාණසූත්‍රාන්තයෙහි ‘ඉංඝ තුම්හෙ ආනන්ද සදත්ථෙ ඝටථ. සදත්ථෙ අනුයුඤ්ජථ. සදත්ථෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථ’ යි යනුවෙන් ‘ආනන්දයෙනි, තෙපි සදත්ථ සංඛ්‍යාත වූ අර්හත්ඵලයෙහි ව්‍යායාම් කරවු. ආචාර්යවත් උපාධ්‍යාය වත් සෙනාසනවත් යනාදී වත් නො පිරිහෙළා කිරීමෙන් අර්හත්ඵලයෙහි ම නො හැර වීර්යය කරවු. එහි ම යෙදෙවු. අර්හත්ඵලය උපදවා ගැණීම පිණිස අර්හත්ඵලයෙහි ම කායචිත්තවීර්යයෙන් අප්‍ර‍මාද ව කෙලෙසුන් තවන වීර්යයෙන් යුක්ත ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරවු’ කියා වදාරණ ලද්දේ ය.” ‘ඉංඝ’ යනු චොදනාර්ථයෙහි නිපාදපදයයි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස. ‘චිත්‍ර‍කධර කූර්මයාගේ එක් අංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ චිත්‍ර‍කධර කූර්ම තෙම උදකභයින් උදකය දුරු කොට ගොඩ හැසිරෙන්නේ ය. ඒ උදක වාසය හැරීමෙන් තමාගේ ආයුෂයෙන් නො පිරිහෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සුචරිතධර්ම විෂයෙහි ස්මෘතිවිප්‍ර‍වාසය යි කියන ලද ප්‍ර‍මාදභාවයෙහි භය දැකීමෙන් යුක්ත විය යුත්තේ ය. සුචරිතධර්මවිෂයෙහි ස්මෘතිඅවිප්‍ර‍වාස ය යි කියන ලද අප්‍ර‍මාදභාවයෙහි ආත්මාර්ථ පරාර්ථ සාධක හෙයින් ගුණවිශෙෂ දැකීමෙන් යුක්ත විය යුත්තේ ය. ඒ ප්‍ර‍මාදයෙහි දක්නාසුලු වීමෙන් සියලු ම ශ්‍ර‍මණගුණයෙන් නො පිරිහෙන්නේ ය. අමෘතමහානිර්වාණයාගේ සමීපයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, චිත්‍ර‍කධර කුර්මයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මපදයෙහි:-

(520) “අප්පමාදරතො භික්ඛු-පමාදෙ භයදස්සි වා,

අභබ්බො පරිහානාය-නිබ්බාණස්සෙව සන්තිකෙ” යි.

‘අප්‍ර‍මාදයෙහි ඇලුනා වූ හෙවත් නො පමා ව වසන්නා වූ නරකොත්පත්තියට කාරණා වූ ප්‍ර‍මාදයෙහි ම භය දක්නා වූ හෙවත් නරකොත්පත්‍යාදියට කාරණා වූ හෙයින් ප්‍ර‍මාදය භය විසින් දක්නා වූ මහණතෙම සමථවිදර්ශනාධර්මයෙන් මාර්ගඵලාධිගමයෙන් පිරිහීමට අයොග්‍ය වූයේ ක්ලේශනිර්වාණයට ද, අනුපාදාපරිනිර්වාණයට ද සමීපයෙහි ම වන්නේ ය’ යි කියා වදාරණ ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මහවනයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පංචාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මහාවනය නම් අසුචිවන්ත ජනයන් මුවහ කොට වසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගාවචර මහණුන් වහන්සේ විසින් අනුන්ගේ අපරාධය දොෂය පතළ නො කොට වැසිය යුත්තේ ය. විවෘත නො කට යුත්තේ ය. මහරජානෙනි, මහවනයාගේ මේ ප්‍ර‍ථම අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහවනය බොහෝ වූ නොයෙක් ජනයන්ගෙන් ශූන්‍ය වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් රාග ද්වේෂ මොහ මාන දෘෂ්ටි සමූහයෙන් ද, සර්වක්ලේශයෙන් ද, ශූන්‍ය විය යුත්තේ ය. මහරජානෙනි, මහවනයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහවනය ජනසම්බාධ විරහිත ව විවෙක වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අනාර්ය වූ, ලාමක වූ අකුශලධර්මයෙන් විවේක ගත යුත්තේ ය. මහරජානෙනි, මහවනයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහවනය යහපත් වූයේ ය, පිරිසිදු වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සන්හිඳී පිරිසිදු විය යුත්තේ ය. ප්‍ර‍හීණ වූ, මානයෙන් ප්‍ර‍හීණ වූ ගුණමකු බැවින්[18] යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, මහවනයාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. තවද මහරජානෙනි, මහවනය උත්තම ජනයන් විසින් සෙවනය කරණ ලද්දේ ය. පසස්නා ලද්දේ ය, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා උත්තම වූ ශීලගුණව්‍ර‍තසමාදානයෙන් මාර්ගඵලලාභී වූ ආර්යජනයන් විසින් නිත්‍යසෙවනය කරණ ලද්දෙකු විය යුත්තේ ය. ආර්යයන් විසින් පසස්නා ලද්දෙකු විය යුත්තේ ය. මහරජානෙනි, මහ වනයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්සඟි වරයෙහි:-

“පවිවිත්තෙහි අරියෙහි-පවිවිත්තෙහි ඣායිහි,

නීච්චං ආරද්ධවිරියෙහි-පණ්ඩිතෙහි සහාවසෙ” යි.

‘නිරන්තරයෙන් විවෙකවාසී වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇත්තා වූ ආලම්බනොපනිධ්‍යානාදි ධ්‍යාන වඩන්නා වු පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තා වු පණ්ඩිත වූ ආර්‍ය්‍යයන් හා සමග වාසය කරන්නේ ය’ යි කියා වදාරණ ලදී.”

(521) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘වෘක්ෂයාගේ අංගත්‍රයෙක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ වෘක්ෂය නම් පුෂ්පඵල ධරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් තමාගේ සිත් නමැති වෘක්ෂයෙහි හට ගත්තා වූ විමුක්ති පුෂ්ප ය යි කියන ලද පඤ්චස්කන්ධාදිධර්මයන් අනිත්‍ය දුඃඛ අනාත්ම කොට බලා විදර්ශනාඥානයෙන් අවිද්‍යාදික්ලේශයන් එබූ හෙයින් තදංගවිමුක්තිය ද, විතර්ක විචාර ප්‍රීති සුඛ චිතෛකාග්‍ර‍තා ය යන මේ පස් දෙනා කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන පඤ්චනීවරණයෙන් ඔබා ප්‍ර‍ථමධ්‍යානාදි අෂ්ටසමාපත්තියට පැමිණි හෙයින් විෂ්කම්භන නම් වූ විමුක්තිය ද, සත්කායදෘෂ්ටිය විචිකිච්ඡාය සීලබ්බතපරාමාස ය යන තුණ හා දෘෂ්ට්‍යනුසය විචිකිච්ඡානුසය යන දෙක හා දෘෂ්ටිසංයොජනය විචිකිච්ඡාසංයොජනය සීලබ්බතපරාමාස සංයොජනය යනාදි ක්ලේශයන් කැඩූ සෝවාන්මාර්ගය ද, කාමරාගය හා ව්‍යාපාදය හා කාමරාගානුසය හා පටිඝානුසය හා කාමරාගසංයොජනය පටිඝසංයොජනය යන මෙකී අකුසල් තුනී කළා වූ සකෘදාගාමිමාර්ගය ද, කාමරාගය ව්‍යාපාදය යන දෙක හා කාමරාගානුසය පටිඝානුසය යන දෙක හා කාමරාගසංයොජනය පටිඝසංයොජනය යන මෙකී ක්ලේශයන්ගේ සිටීම නැති කොට කැඩූ අනාගාමිමාර්ගය ද, රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය, භවරාගසංයොජනය, මානසංයොජනය, අවිජ්ජාසංයොජනය, ඊර්‍ෂ්‍යාසංයොජනය, මච්ඡරිය සංයොජනය යනාදි වූ අනන්තක්ලේශයන් කැඩූ රහත්මාර්ගය ද, මේ සතර මගින් සකලක්ලේශයන් සිටීම නැති කොට කැඩූ හෙයින් මේ සමුච්ඡෙද නම් විමුක්තිය ද, ඒ මගින් ක්ලේශයන් කඩා සන්හුන්නා වූ සතරඵලචිත්ත සංඛ්‍යාත වූ පටිප්පස්සද්ධිවිමුක්තිය ද, කාමභව රූපභවාදි ‘නවභවයෙන් ද පඤ්චමහාගතියෙන් ද චතුර්විධයොනියෙන් ද සප්තවිධ විඥානස්ථිතියෙන් ද නවසත්තාවාසයෙන් ද වෙන් වූ අනවරාග්‍ර‍ වූ සංසාරය හා නො හැනී සිටියා වූ අජරාමර වූ ශාන්ත අමාමහානිර්වාණ සංඛ්‍යාත නිස්සරණවිමුක්තිය ද යන තදංග විෂ්කම්භණ සමුච්ඡෙද පටිප්පස්සද්ධි නිස්සරණවිමුක්ති යන පඤ්චවිමුක්ති නමැති පුෂ්ප හා සතරශ්‍රාමණ්‍යඵල ධරණ විසින් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, වෘක්ෂයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වෘක්ෂයතෙම තමාගේ සමීපයට එළඹියා වූ ප්‍ර‍විෂ්ට වූ ජනයන්ට විඩා හැර හිඳීම පිණිස සෙවන දෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහනුන් වහන්සේ විසින් තමාගේ සමීපයට එළඹුනා වූ ප්‍ර‍විෂ්ට වූ පුද්ගලය්ට ආමිෂසංග්‍ර‍හයෙන් හෝ ධර්මසංග්‍ර‍හයෙන් හෝ සංග්‍ර‍හ කට යුත්තේ ය. මහරජානෙනි, වෘක්ෂයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වෘක්ෂයතෙම තමාගේ ඡායාව වෙනස් නො කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණහු විසින් හිතාහිත වූ සකල ප්‍රාණිභූතයන් කෙරෙහි සිතින් වෙනස් බවෙක් නො කට යුත්තේ ය. (522) ‘කිමෙක් ද? මේ ලොකවාසී සියලු සත්වයෝ ම අවෛරී ව නිදුක් ව නිරෝගී ව සුවපත් වූ තමන් පරිහරණය කෙරෙත් නම් මැනැවැ’ යි කියා චෞරවධක පසමිතුරන් කෙරෙහි ද, තමහට හිත කැමැති බන්ධුමිත්‍රාදීන් කෙරෙහි ද වෙනස් නො වූ සම වූ මෛත්‍රීභාවනාව කළ යුත්තේ ය. මහරජානෙනි, වෘක්ෂයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ ශාරීපුත්තමහාථෙර ස්වාමීන් වහන්සේ විසින්-

“වධකෙ දෙවදත්තම්හි-චොරෙ අංගුලිමාලකෙ,

ධනපාලෙ රාහුලෙ චෙව-සබ්බත්‍ථ සමකො මුනි” යි.

දෙවදත්තමහතෙරහු මහාබොධිසත්වයන් වහන්සේට සේරිවාණිජ ජාතකයෙහි රන්තලියට බැඳී වෛරයන් පස්කපක් මුළුල්ලෙහි ධර්මපාල ජාතකාදි නොයෙක් ජාතිශතසහස්‍රයෙහි වධ කොට අවුත් දැන් බුදු වන ජාතියෙහි තමන් වහන්සේට නෑ වත් ලඟ පැවිදි වත් පෙර වෛරයෙන් යෙදී බුදුකමත්, ගුරුකමත්, නෑකමත් සලකා ගත නො හී ‘බුදුන් මරා බුද්ධරාජ්‍යය ගණිමි’ යි සිතා බුදුන් විද මරන්නට දුනුවායන් යෙදීමෙන් ද, ගිජ්ඣකූටපර්වතයෙහි එකලා ව සක්මන් කරණ බුදුන් හිසට ගලක් පෙරළීම් ආදී වු අනෙකප්‍ර‍කාර ක්‍රෑරතර වධ ප්‍රයොග යෙදූහ. ඒ ජාතිවෛරී වූ ඒ දෙවදත්තමහතෙරහු කෙරෙහි ද, ගුරුන් බස් ගෙණ ‘ඇඟිලිමාලාවෙන් ගුරුන් පුදමි’ සිතා කඳු කඩවත් මාර්ග රැක හිඳ දුටුදුටුවන් මරා ඇඟිලි කපා ගොතා ගණිමින් අංගුලිමාල යක්ෂයෙකැ යි යන නමින් ප්‍ර‍සිද්ධ ව දඹදිව විනාස කෙරෙමින් ඇවිදිනා කල්හි දිනෙක ඔහුගේ වැදූ මෑනියන් අත කපා ඒ පාපයෙන් අපායභාග් වන පරිදි දැක ඒ අසා ‘අපාදුකින් මුදමි’ යි ඔහු කෙරෙහි කළ මහාකරුණාවෙන් වැඩ වදාළ ලොවුතුරා බුදුන් දැක ‘නො දුව මහණ’ යි කියකියා සුගත්ඇඟිලි කපන්නට පැන්නූ අංගුලිමාල නම් මහසොරහු කෙරෙහි ද, අඥාන වූ දෙවදත්තසංසර්ගදොෂයන් අජාතශත්‍රැ නම් නරෙන්ද්‍ර‍යන් විසින් සුරා සොළොස්කළයක් පොවා මත් කොට බුදුන් වඩනා පෙර මඟට හළ රාමදින් මත් ව ඇත්හල සිඳ බිඳ සුණුවිසුණු කොට පියා යදම් රැහැන් මකූළුහු විවරත් සරු නො කොට කඩා ගෙණ දුටු දුටු තැන හැන මැරූ ගව මිනිසුන්ගේ ලෙහෙයෙන් රිදී කඳන් වැනි ශ්වෙතදන්තයන් රත්පැහැ කෙරෙමින් අලාතචක්‍ර‍ වන් රතැස් බමබමා කප්ගින්නක් සේ සකලසත්ව භයානක වූ රූපයෙන් සෙණහඬක් සේ ගුගුරා පියා රජගහනුවර පෙරළන්නාක් මෙන් එකකොලාහල කෙරෙමින් තමන් විසින් හැන මරන්නට පැන්නූ ධනපාල නම් නාලාගිරිහු කෙරෙහි ද අනන්තජාතියෙහි තමන් වහන්සේගේ පාරමිතාධර්මයන් සම්පූර්ණ කරවා ලීමට සහාය ව අවුත් දැන් බුදු වන ජාතියෙහිත් ඖරසපුත්‍ර‍භාවයට පැමිණ බුදුන් කිඹුල්වත්පුරයට වැඩ විසිදහසක් රහතන් පිරිවරා ගෙපිළිවෙළින් පිඩු සිඟන කල යසොධරාදෙවීන්ගේ බසින් බුදුන් කරා ගොස් සිවුරු කොණ අල්ලා ගෙණ බුදුන් මුහුණ බලබලා බුදුන්ගේ පතුල් ලඟ තමන්ගේ පතුල් තබමින් ලක්ෂණ බලබලා ප්‍රියතෙපුල් කියමින් දායාදසම්පත් ඉල්ලූ රාහුල (523) නම් කුමාරරත්නය කෙරෙහි ද යන මේ හිතාහිත සකල ජනයන් කෙරෙහි ම කරුණා නිධාන වූ සර්වඥයන් වහන්සේ ‘තරාදිය උතුවක් මෙන්, එකාකාරයෙන් සම වූ කරුණාමෛත්‍රී සිත් ඇතිසේකැ’ යි කියා වදාරණ ලදී.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මෙඝයාගේ පඤ්චාංගයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ පඤ්චාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මෙඝය උපන්නා වූ රජස්ජාලය සන්හිඳුවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් උපන්නා වූ කෙලෙස් රජස්ජාලය සන්හිඳුවා ලිය යුත්තේ ය. මහරජානෙනි, මෙඝයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහාමෙඝය මහාපෘථිවියෙහි උෂ්ණ නිවා ලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් මෛත්‍රීභාවනාව වැඩීමෙන් දෙවියන් මිනිසුන් සහිත වු ලොකයෙහි ක්‍රොධ නමැති උෂ්ණය නිවාලිය යුත්තේ ය. මහරජානෙනි, මෙඝයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහාමෙඝය සියලු ම බීජ ජාතීන් හට ගන්වාලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සියලු සත්වයන්ට ශ්‍ර‍ද්ධාව උපදවා දී ඒ ශ්‍ර‍ද්ධාබීජය දිව්‍යසම්පත්තියෙහි ද, මනුෂ්‍යසම්පත්තියෙහි ද, බ්‍ර‍හ්මසම්පත් හා පරමාර්ථ වූ අමෘතමහානිර්වාණසම්පත්තියෙහි ද යන ත්‍රිවිධ සම්පත්තියෙහි රොපණය කළ යුත්තේ ය. මහරජානෙනි, මෙඝයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහාමෙඝයතෙම හෙමන්ත, ග්‍රීෂ්ම, වස්සානය යන සෘතුවකින් පැන නැඟී පෘථිවිතලයෙහි හට ගත්තා වූ තෘණ වෘක්ෂ ලතා වනලැහැප් ඖෂධජාති වනජ්‍යෙෂ්ඨ වෘක්ෂ යනාදිය රක්ෂා කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් යොනිසොමනස්කාරය උපදවා ගෙණ ඒ යොනිසොමනස්කාරයෙන් සියලු ම ශ්‍ර‍මණධර්මය රක්ෂා කට යුත්තේ ය. මහරජානෙනි, සියලු ම කුශලධර්මයෝ යොනිසොමනස්කාරය මුල් කොට ඇත්තාහු ය. මහරජානෙනි, මෙඝයාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මහාමෙඝයතෙම වර්ෂා කෙරෙමින් ගංගා වැව් පොකුණු ඇළ කඳුරු පෘථිවි පැළී විවර වූ පදර විල් හෙබ් ලිං නිරන්තර උදක ධාරාවෙන් පරිපූර්ණ කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සුගතාගමපර්යාප්තියෙන් සද්ධර්ම නමැති මහමෙඝය තුන්ලෝ පුරා වර්ෂා කරවා නිර්වාණාධිගමය කැමැත්තා වූ දිව්‍ය මනුෂ්‍යයන්ගේ සිත් පුරවාලිය යුත්තේ ය. මහරජානෙනි, මහාමෙඝයාගේ මේ පස්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, සද්ධර්මසෙනාධිපති වූ ශාරීපුත්‍ර‍මහාථෙර සාමීන් වහන්සේ විසින්:-

“බොධනෙය්‍යං ජනං දිස්වා-සතසහස්සෙපි යොජනෙ,

ඛණෙන උපගන්ත්‍වාන-බොධෙති තං මහාමුනි” යි.

‘මහාමුනින්දු වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ සියදහස් ගණන් යොදුනෙන් ඔබ්බෙහි ද නිවන් අවබොධය කළ යුතු වූ විනෙය්‍ය ජනයා දැක (524) ක්ෂණයකින් ලඟට වැඩ ඒ කෘතපුණ්‍යවත් වූ ජනයාට අමෘතමහානිර්වාණය අවබොධ කරවා වදාරණසේකැ’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මාණික්‍යරත්නයාගේ අංගත්‍රයෙක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මාණික්‍යරත්නය එකාන්ත පරිශුද්ධ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් එකාන්තයෙන් ම පිරිසිදු වූ ආජීවපාරිශුද්ධශීලයෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ මේ පළමුවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මාණික්‍යරත්නය කිසිවක් සමග මිශ්‍ර‍ නො වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පාපයන්හා ද, පාපමිත්‍ර‍යන් හා ද මිශ්‍ර‍ නො විය යුත්තේ ය. මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මාණික්‍යරත්නය ජාතිරත්න හා යොදනු ලැබෙයි. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් මාර්ගස්ථ ඵලස්ථ සෙඛඵල සමංගී වූ උත්තමවරජාතිමත් ආර්යයන් හා සමග වාසය කළ යුත්තේ ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් ත්‍රෛවිද්‍ය ෂඩභිඥය යන ශ්‍ර‍මණමාණික්‍යරත්නයන් හා සමග දිවිහිමියෙන් ම වැසිය යුත්තේ ය. මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර‍නිපාතයෙහි:-

“සුද්ධාසුද්ධෙසු සංවාසං-කප්පයව්හො පතිස්සතා,

තතො සමග්ගා තිපකා-දුක්ඛස්සන්තං කරිස්සථ” යි.

‘මහණෙනි, ශීලාදිගුණයෙන් පිරිසිදු වූ ඔවුනොවුන් කෙරෙහි ගෞරව ඇත්තා වූ තෙපි ශීලාදිගුණයෙන් සුද්ධවූවන් හා එකකර්මාදි සමානවාසය කරවු. එහෙයින් තෙපි සුද්ධ ව සුද්ධ වූවන් හා මෙසේ සංවාසය කරණ විසින් සමග ව ක්‍ර‍මයෙන් නුවණ මුහු කළා වූ තෙපි සියලු වෘත්තදුඃඛාදි දුඃඛයාගේ කෙළවර කරවු’ කියා වදාරණ ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මෘගයන් නසා ජීවත් වන්නා වූ මාගවිකයාගේ චතුරංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළ සේක් ද, ඒ ගත යුතු වූ චතුරංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මුවවැද්දහුගේ නිද්‍රා අල්ප වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සමථවිදර්ශනායෙහි යෙදීමෙන් හා සක්මන් කිරීම් වසයෙන් අල්පනිද්‍රාවෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, මුව වැද්දාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මුවවැද්දහු තමාගේ සිත මෘගයන් ග්‍ර‍හණය කිරීමෙහි ම උපනිබන්ධනය කරන්නේ ය. පමුණුවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් එකාහමත, ද්වීහමත, උද්ධුමාතකාදි අරමුණෙහි තමාගේ සිත පමුණුවා ගත යුත්තේ ය. (525) අනුබැඳ ගත යුත්තේ ය. මහරජානෙනි, මුවවැද්දාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මුවවැදිතෙම තමාගේ මෘගඝාතනකෘත්‍යයට කල් දන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ‘මේ විවෙකයට කල් වන්නේ ය, මේ විවෙකයෙන් නික්මීමට කල් වන්නේ ය’ යි කියා තමාගේ විවෙකවාසයට කල් දැන ගත යුත්තේ ය. මහරජානෙනි, මුව වැද්දාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, මුවවැදිතෙම මෘගයන් දැක ‘මොහු ලබමි’ යි කියා සතුටු උපදවා ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් උපදාර අර්පණා කසිණාලොකාදිය දැක ‘මාර්ගඵලාධිගමවිශෙෂයට පැමිණෙන්නෙමි’ යි කියා සන්තොස උපදවා ලිය යුත්තේ ය. අරමුණෙහි අභිරමණය කළ යුත්තේ ය. මහරජානෙනි, මුවවැද්දාගේ මේ සතරවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය මොඝරාජ නම් මහතෙරුන් වහන්සේ විසින් ද:-

“ආරම්මණෙ ලභිත්‍වාන-පහිතත්තෙන භික්ඛුනා,

භිය්‍යො හාසො ජනෙතබ්බො-අධිගච්ඡිස්සාමි උත්තරිං” යි.

‘නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති භින්නක්ලේශයන් ඇති භික්ෂූහු විසින් අරමුණු ලැබ ‘උත්තරිසංඛ්‍යාත අධිගමයට පැමිණෙමි’ යි කියා බොහෝ සන්තොස උපදවා ලිය යුත්තේ ය’ යි කියන ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘බිළීකටුවෙන් මසුන් මරා ජීවත් වන්නහුගේ අංගද්වයක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ඒ බාළිසික තෙම බළිසයෙන් මසුන් ගොඩ අදින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණහු විසින් නවමහාවිදර්ශනා ඥානයෙන් අධිගමශ්‍රාමණ්‍යඵලයන් කෙලෙස් මුහුදින් ගොඩ නඟා ඇද්ද යුත්තේ ය. මහරජානෙනි, බාළිසිකයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, බාළිසිකතෙම ක්ෂුද්‍ර‍ වූ සතකු නසා බිළිය අමුණා ගෙණ මහත් වූ මස්ලාභයට පැමිණෙන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ මහණහු විසින් ස්වල්ප වූ ලොකාමිෂමාත්‍ර‍ය හැරිය යුත්තේ ය. මහරජානෙනි, ලෞකික වූ සැප ආස්වාදය යි කියන ලද ලොකාමිෂමාත්‍ර‍ය හැර යොගී වූ මහණුන් වහන්සේ මහත් වූ ශ්‍රාමණ්‍යභලයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, බාළිසිකයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය රාහුල මහාථෙර සාමීන් වහන්සේ විසින්:-

“සුඤ්ඤතං ච නිමිත්තං ච-විමොක්ඛං චාප්පණිහිතං,

චතුරො ඵලෙ ඡළභිඤ්ඤා-චජිත්‍වා ලොකාමිසං ලභෙ.”

‘ශ්‍ර‍මණතෙමේ ලොකාමිෂ සංඛ්‍යාත වූ පඤ්චකාමසැපය හැර ශූන්‍යතාවිමොක්ෂය ද, අනිමිත්තවිමොක්ෂය ද, අප්‍ර‍ණිහිතවිමොක්ෂය ද, චතුර්විධ මාර්ගඵල ද, ෂඩ්අභිඥාව ද යනාදි ලොකොත්තරධර්මයන් ලබන්නේ ය’ යි කියා වදාරණ ලදී.”

(526) “ස්වාමිනි, නාගසෙනයන් වහන්ස, ‘වඩුවාගේ අංගද්වයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ වඩුතෙම දැලිනූල අනුලොම් කොට දැවය සහී ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සර්වඥශාසනය වදාළ ක්‍ර‍මයෙන් ම අනුලොම් කොට ගොස් සතරසංවරශීල නමැති මහාපෘථිවියෙහි සිට ශ්‍ර‍ද්ධා නමැති හස්තයෙන් ප්‍ර‍ඥා නමැති වෑය ගෙණ රාගාදික්ලේශයන් සැස්ස යුත්තේ ය. මහරජානෙනි, වඩුවාගේ මේ ප්‍ර‍ථමාංගය මහණුන් වහන්සේ විසින් ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, වඩුතෙම වෘක්ෂයෙහි සුඹුලු ඵල[19] පහ කොට අරටුව ම ගණී ද, මහරජාණෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ‘ඒ ජීවිතය ම ශරීරය’ යි කියා ගන්නා දෘෂ්ටිය ද, ‘ඒ ජීවිතය අනිකෙක, ශරීරය අනිකෙකැ’ යි කියා ගන්නා දෘෂ්ටිය ද, ‘ඒ අප කී වාදය ම උත්තම ය, සෙස්ස බොරු ය’ යි කීම ද, ‘මෙසේ කරව’ යි කියා පරවිධාන විරහිත වූ දුකින් මිදීමට අයොග්‍ය වූ පුරුෂවීර්යයෙන් ලැබිය යුතු ඵල නසන හෙයින් පුරුෂවික්‍ර‍මයක් නො වන්නා වූ ශ්‍රෙෂ්ඨයන්ගේ විසීමක් නො වන්නා වූ සකල සත්වයන්ට අනර්ථ සෑදීමෙන් සත්වවිනාශය කරන්නා වූ නවසත්වාවාසයෙහි සත්වජනනය කරන්නා වූ සර්වසංස්කාරයන්ගේ ශාස්වතය වඩන්නා වූ ශාශ්වතදෘෂ්ටිය ද,[20] ‘මරණින් මත්තේ නැතැ’ යි කියා ගන්නා උච්ඡෙද දෘෂ්ටිය ද, ‘යමෙක් කායදුශ්චරිතාදිය කෙරේ ද ඔහු ම විපාක විඳින්නේ ය, අනිකෙක් කායදුශ්චරිතාදිය කරන්නේ ය, අනිකෙක් විපාක විඳින්නේ ය’ යි කියා කර්මඵල දක්නා දෘෂ්ටීහු ද, ක්‍රියාඵලවාදීදෘෂ්ටීහු ද යන මෙසේ මෙබඳු වූ දෘෂ්ටීහු ද, අනිකුදු විවාදමුලික වූ දෙසැටදෘෂ්ටීන් ද දුරු කොට හැර සර්වසංස්කාර ප්‍ර‍වෘත්තීන්ගේ ස්වභාවය පරමශූන්‍ය කළ මනා වීර්ය විරහිත වූ සත්වසංඥා විරහිත වූ ස්ථාන වර්ණ විසින් අවිද්‍යමාන වූ සාර වූ අමෘතමහානිර්වාණය ගත යුත්තේ ය.2 මහරජානෙනි, වඩුවාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර‍නිපාතයෙහි:-

“කාරණ්ඩවං නිද්ධමථ-කසම්බුඤ්චාපකස්සථ,

තතො පලාපෙ වාහෙථ-අස්සමණෙ සමණමානිනෙ.

-

නිද්ධමිත්‍වාන පාපිච්ඡෙ-පාපආචාරගොචරෙ,

සුද්ධාසුද්ධෙහි සංවාසං-කප්පයව්හො පතිස්සතා,

තතො සමග්ගා නිපකා-දුක්ඛස්සන්තං කරිස්සථා” තී.

යනුවෙන් ‘මහණෙනි, කසළක් වැනි ඒ පුද්ගලයා නිරාලය ව සමන කසළක් මෙන් ඉවත දමවු, ඔජා පෙළා ගත් කාෂ්ඨයක් මෙන් ද, වසල්ලක් වැනි ඔහු වැලිත් ක්ෂත්‍රියාදි උත්තමයන් මධ්‍යයට වන් බිඳී වැගිරෙණ කුෂ්ඨරොග ඇති චණ්ඩාලයකු මෙන් පිටිකර ගෙණ පහ කරවු. සංඝාරාමය නම් සිල්වතුන්ට ම නිසි ය.[21] එහෙයින් පරමාර්ථයෙන් සමිතපාපයක් නැති හෙයින් ශ්‍ර‍මණ නු වූ ශ්‍ර‍මණවෙශමාත්‍ර‍කින් ම ‘අපි ශ්‍ර‍මණයම්හ’ යන සිත් ඇති සුවඳ රත්හැල් මධ්‍යගත සාල් නැති බොල් මෙන් අභ්‍යන්තර (527) යෙහි ශීලසාරයක් නැති දුශ්ශීල වූ ශ්‍ර‍මණ බොල් ගසා හැර පියවු. නැති ගුණ පවසන[22] ලාමක අදහස් ඇති හෙයින් පාපිච්ඡ වූ කයින් ශික්ෂාපදව්‍යතික්‍ර‍මණය කිරීම් ආදී වූ ලාමක ආචාර හා වෙශ්‍යාදිලාමකගොචරස්ථානයට නිතර එළඹීමෙන් පාපආචාර ගොචර ඇති දුශ්ශීල අලජ්ජීන් නිරාලය දමන කසළක් මෙන් ශාසනයෙන් පිටත් කොට හැර ශීලාදිගුණධර්මයෙන් පිරිසිදු වූ ඔවුනොවුන් කෙරෙහි ගෞරව ඇත්තා වූ ශීලාදිගුණයෙන් සුද්ධ වූවන් හා එකකර්ම එකුද්දෙස සමසික්ඛතාදීන් දක්වන ලද සමානසංවාස කරවු. එහෙයින් තෙපි සුද්ධ ව සුද්ධයන් හා මෙසේ සංවාසය කරණ විසින් ශීලදෘෂ්ටිසාමන්‍යතායෙන්[23] එක් ව සමග ම එක් වූ ක්‍ර‍මයෙන් නුවණ මුහු කළා වූ තෙපි සියලු වෘත්තදුඃඛාදි දුඃඛයාගේ කෙළවර කරවු’ කියා වදාරණ ලදී.”

උද්දානපද නම්:-

‘මක්කටො දාරකො කුම්මො-වතං රුක්ඛො ච පඤ්චමො,

මෙඝො මණි මාගවිකො-බාළිසි තච්ඡකෙන චා ති.’

සත්විසිඅංගයක් ඇති සවන වර්ගය නිමියේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඝටයාගේ එකාංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ එකාංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ සම්පූර්ණ වූ කුම්භය නො සැලේ ද, ශබ්ද නො කෙරේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සුගතාගමයෙහි ප්‍ර‍තිවෙධයෙහි පර්යාප්තියෙහි සතරශ්‍රාමණ්‍ය ඵලයෙහි පරතෙරට පැමිණ නො සැලුන යුත්තේ ය, උඩඟු ශබ්ද කෙළ යුත්තේ ය, ඒ කෙළ පැමිණීම් කරණ කොට ගෙණ මානයක් නො කළ යුත්තේ ය, අහංකාරකමක් නො දැක්විය යුත්තේ ය, පහ කරණ ලද මානයෙන් පහ කරණ ලද දර්පයෙන් අප්‍රිය නො වන වචනයෙන් අත්තුක්කංසන වසයෙන් තමහට ස්තුති නො කිරීමෙන් සෘජුකමින් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, කුම්භයාගේ මේ එකාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ සනරාමර ලොකෙකනායක වූ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර‍නිපාතයෙහි වූ නාලක සූත්‍රයෙහි:-

“යදූනකං තං සනති[24]-යං පූරං සන්තමෙව තං,

රිත්තකුම්භූපමො බාලො-රහදො පූරොව පණ්ඩිතො” යි.

‘යම් ඝටයක් අසම්පූර්ණ ද, ඒ ඝටය ශබ්ද කරන්නේ ය, යම් ඝටයක් සම්පූර්ණ ද, ඒ ඝටය ශබ්ද නො කිරීමෙන් ශාන්ත ම ය. එමෙන් ආත්මාර්ථපරාර්ථ නසන්නා වූ අඥානතෙම සිස් වූ කුම්භයට බඳු වූ උපමා ඇත්තේ ය. ආත්මාර්ථ පරාර්ථ-උභයාර්ථ සාධන්නා වූ පණ්ඩිත තෙම අනන්තජලයෙන් සම්පූර්ණ වූ රහද සංඛ්‍යාත වූ මහාසමුද්‍ර‍ය මෙනි’ යි කියා වදාරණ ලදී.”

(528) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘කාලායසයාගේ අංග ද්වයයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ කාලායස සංඛ්‍යාත වූ යකඩින් කළ ශස්ත්‍ර‍ විශෙෂයතෙම මනා කොට පණ පොවන ලදුයේ වෘක්ෂලතාදිය සිඳීමෙහි පැමිණෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොනිසොමනස්කාරයෙහි සමාහිත කොට පිහිටුවන ලද්දා වු යොගී වූ යොගාවචරයාගේ සිත සමථ විදර්ශනාදියෙහි පැමිණේ. මහරජානෙනි, කාලායසයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, කාලායසතෙම නිවීම්[25] වසයෙන් වරක් බුන් ජලය නැවැත නො වමාරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ඒ සුගත තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධසර්වඥරාජොත්තමයානන් වහන්සේ මහෙශාඛ්‍ය වූසේකැ යි කියා ද, ඒ භාග්‍යවතුන් වහ්නසේ විසින් සද්ධර්මය මනා කොට වදාරණ ලදැ යි කියා ද, සංඝයා වහන්සේ මනා ව පිළිපන්සේකැ යි කියා ද, වරක් උපන්නා වූ යම් ප්‍ර‍සාදයෙක් ඇද් ද, ඒ ප්‍ර‍සාදය නැවැත නො ම වමනය කළ යුත්තේ ය. ‘රූපය අනිත්‍ය ය, වෙදනාව අනිත්‍ය ය, සංඥාව අනිත්‍ය ය, සංස්කාරය අනිත්‍ය ය, විඤ්ඤාණය අනිත්‍ය ය’ යි කියා වරක් උපන්නා වූ යම් ඤාණයෙක් ඇද්ද, ඒ ඤාණය නැවැත නො ම වමනය කළ යුත්තේ ය. මහරජානෙනි, යකඩ විකෘතියාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මේ කාරණය දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“දස්සනම්හි පරිසොදිතෙ [26]නරො

අරියධම්ම[27] නියතො විසෙසගුණං[28]

පවෙධති[29] අනෙකභාගසො-

සබ්බතො ච මුඛභාවමෙව[30] සො” ති.

‘කාය චිත්ත වීර්ය කරණ හෙයින් නිර්වාණාභිලාසීන්ගේ මාර්ගඵල සංඛ්‍යාත වූ දර්ශනය පිරිසිදු කල්හි ආර්යධර්මයෙහි නියත වූ ඒ සත්ව තෙම අනෙකප්‍ර‍කාරයෙන් ද, සර්වප්‍ර‍කාරයෙන් ද විශෙෂ සංඛ්‍යාත නිර්වාණධර්මය ප්‍ර‍තිවෙධ කරන්නේ ය’ යි කියා වදාරණ ලදී.”[31]

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ධවලඡත්‍ර‍යාගේ අංගත්‍ර‍යයෙක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ඡත්‍ර‍ය ජනයන්ගේ මුදුන්හි ම උඩ හැසිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගාවචරමහණහු විසින් ක්ලේශයන්ගේ මුදුන්හි උඩ හැසිරීමෙන් යුක්ත විය යුතු ය. මහරජානෙනි, ඡත්‍ර‍යාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ඡත්‍ර‍ය මුදුන්හි ම කර්ණිකාව ආධාර කොට ඇති වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් යොනිසොමනස්කාරය ආධාර කොට ඇති විය යුත්තේ ය. මහරජානෙනි, ඡත්‍ර‍යාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ඡත්‍ර‍ය වාත ආතප මෙඝ වර්ෂා නසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් අනෙකප්‍ර‍කාර වූ දෘෂ්ටි ඇති ප්‍ර‍චුර වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන්ගේ නානාමත නමැති (529) චණ්ඩමාරුත හා රාගද්වෙෂ මොහාග්නි සංඛ්‍යාත ත්‍රිවිධාග්නි නමැති සූර්යතාප තැවීම් හා සර්වක්ලේශ වර්ෂාව නැසිය යුත්තේ ය. මහරජානෙනි, ඡත්‍ර‍යාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ ශාරිපුත්‍රමහථෙර සාමීන් වහන්සේ විසින්:-

“යථාපි ඡත්තං විපුලං-අච්ඡිද්දං ථිරසංහතං,

වාතාතපං තිවාරෙති-මහතී දෙවටුට්ඨියො

තථෙව බුද්ධපුත්තොපි-සීලඡත්තධරො සුචි,

කිලෙසවුට්ඨිං වාරෙති-සන්තාපතිවිධග්ගයො” යි.

“යම් සේ ස්ථිර කොට කර්ණිකායෙහි හමුනා කරණ ලද්දා වූ අච්ඡිද්‍ර‍ වූ මහත් වූ ඡත්‍ර‍ය වාතාතප හා මහත් වූ මෙඝවර්ෂාවන් වළක්වා ද, එසේ ම පවිත්‍ර‍ වූ චතුර්විධ වූ ශීලච්ඡත්‍ර‍ය ධරන්නා වූ සර්වඥපුත්‍රතෙම සකල සත්වයන් තවන්නා වූ ත්‍රිවිධාග්නිය හා ක්ලේශවර්ෂාව වළක්වන්නේ ය’ යි කියා වදාරණ ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ක්ෂෙත්‍ර‍යාගේ අංගත්‍ර‍යයෙක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ක්ෂෙත්‍ර‍ය දිය ඇළින් යුක්ත වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගි වූ යොගාවචර මහණහු විසින් මේ බුද්ධශාසනක්ෂෙත්‍ර‍යට සුචරිත වත්පිළිවෙත් නමැති දියඇළින් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, ක්ෂෙත්‍ර‍යාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ක්ෂෙත්‍ර‍ය නියරවියලින් යුක්ත වන්නේ ය. ඒ නියර බැඳ නියරින් උදකය රැක මනුෂ්‍යයෝ ධාන්‍යය පැසවා ගන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචර මහණහු විසින් ශීලය හා ලජ්ජාව ද නමැති නියරින් ශ්‍ර‍මණ ගුණය රැක සතරශ්‍රාමණ්‍යඵල නමැති අග්‍ර‍ඵල පැසවා ගත යුත්තේ ය. මහරජානෙනි, කෙදාරයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ක්ෂෙත්‍ර‍ය ශස්‍යඵල නැඟීමෙන් යුක්ත වන්නේ ය. ගොවියාට සන්තොස උපදවන්නේ ය, වපුරණ ලද්දා වූ මද වූ බිජු ද බොහෝ වූ ඵල දෙන්නේ ය, බොහෝ වූ බිජු වපුරණ ලද්දේ වී නම් අප්‍ර‍මාණ ව ලක්ෂ ගණන් හමුණු ඇති වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචර මහණහු විසින් මහත් වූ ඵල දෙන්නා වූ ආනිසංස නැඟීමෙන් යුක්ත විය යුත්තේ ය. යම් සේ මඳක් දෙන ලද්දේ බොහෝ වූ ආනිසංස ඇති වේ ද, බොහෝ දෙන ලද්දේ අප්‍ර‍මාණ වූ ආනිසංස ඇති වේ ද, එමෙන් ම දායකයන්ට සන්තොස උපදවාලීමෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, කෙදාරයාගේ මේ තුන්වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය කියන ලද මැ යි, විනයධර තැන් කෙරෙහි අග්‍ර‍ වූ උපාලිමහතෙරහු විසින්:-

“ඛෙත්තූපමෙන භවිතබ්බං-උට්ඨානවිපුලදායිනා,

ඵස ඛෙත්තවරො නාම-යො දදාති විපුලං ඵලං” යි.

“පැන නඟින ලද විපුල ඵල දෙන්නා වූ ක්ෂෙත්‍ර‍යක් මෙන් විය යුත්තේ ය. යම් සංඝරත්නයෙක් තෙම දායකයන්ට විපුල ඵල දේ ද, ඒ මේ සංඝරත්නය තෙම උතුම් වූ ක්ෂෙත්‍ර‍ය නම් වේ.”

(530) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භෛෂජ්‍යයාගේ අංගද්වයයෙක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගද්වය කවරේ දැ?” යි විචාලෝ ය. “මහරජානෙනි, යම් සේ භෛෂජ්‍යයෙහි කෘමීහු නො හට ගණිද්ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් තමාගේ සිත්හි රාගාදි ක්ලේශයන් නො හට ගන්වා ගත යුත්තේ ය. මහරජානෙනි, භෛෂජ්‍යයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, භෛෂජ්‍ය තෙම සර්පයන් දෂ්ට කිරීමෙන් වන් දෂ්ටවිෂය ද, ස්පර්ශ කිරීමෙන් වන් ස්පෘෂ්ටවිෂය ද, දැකීමෙන් වන් දෘෂ්ටවිෂය ද, විෂ මිශ්‍ර‍ දෑ අනුභව කිරීමෙන් වන් අශිතවිෂය ද, බොන දෑ බීමෙන් වන් පීතවිෂය ද, කඩා කෑ යුතු දෑ කෑමෙන් වන් ඛායිතවිෂය ද, ලේහ කළ යුතු විෂමිශ්‍ර‍ දෙය ලේහ කිරීමෙන් වන් සායිතවිෂය ද යන සියලු ම විෂ නසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සකල සත්වයන් විෂ මත් කොට නසන්නා වූ රාග ද්වෙෂ මොහ මාන දෘෂ්ටි නමැති සියලු විෂය නැසිය යුත්තේ ය. මහරජානෙනි, භෛෂජ්‍යයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ අප ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“සඞ්ඛාරානං සභාවත්‍ථං-දට්ඨුකාමෙන යොගිනා,

අගදෙනෙව හොතබ්බං-කිලෙසවිසනාසනෙ” යි.

‘සර්වසංස්කාරප්‍ර‍වෘත්තීන්ගේ අනිත්‍යදුඃඛාදිස්වභාවාර්ථය දක්නා කැමැත්තා වූ යොගාවචරයා විසින් සර්වක්ලෙශවිෂ විනාශ කරන්නා වූ කර්මස්ථාන සිත්හි කිරීම් සංඛ්‍යාත වූ භෛෂජ්‍යය හා සමග ම සයනය කළ යුත්තේ ය,[32] යි කියා වදාරණ ලද්දේ යි.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘භොජනයාග් අංගත්‍ර‍යයෙක් ගත යුත්තේ ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ අංගත්‍ර‍ය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ භොජනය සියලු සත්වයන්ට ආධාර වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සියලු ම සත්වයන්ට ආර්යඅෂ්ටාංගිකමාර්ගාධාරයෙන් යුක්ත විය යුත්තේ ය. තවද, මහරජානෙනි, භොජනය සියලු සත්වයන්ගේ බල වඩන්නේ ය. මහරජානෙනනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් පුණ්‍යයාගේ වැඩීමෙන් වැඩුන යුත්තේ ය. මහරජානෙනි, භොජනයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තව ද, මහරජානෙනි, භොජනය සියලු ම සත්වයන් විසින් මනා ව ම ප්‍රාර්ථනා කරණ ලද්දේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සනරාමරසමස්තලොකවාසීන් විසින් මනා ව ප්‍රාර්ථනා කිරීමෙන් යුක්ත විය යුත්තේ ය. මහරජානෙනි, භොජනයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය මහාමොග්ගල්ලායන ස්ථවිරයන් වහන්සේ විසින්:-

“සංයමෙන නියමෙන-සීලෙන පටිපත්තියා

පත්‍ථිතෙන භවිතබ්බං-සබ්බලොකස්ස යොගිනා” යී.

(531) ‘යොගාවචර භික්ෂූහු කාය වාචා සංයමයෙන් ද, ධුතව්‍ර‍ත සමාදානයෙන් ද, චතුර්විධශීලයෙන් හා ප්‍ර‍තිපත්තියෙන් ද සමස්ත ලොකවාසීන් විසින් ප්‍රාර්ථනා කරණු ලබන්නෙකු විය යුතු ය’ යි කියා වදාරණ ලදී.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ධනුර්ධරයාගේ චතුරංගයක් ගත යුතු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ ගත යුතු වූ චතුරංගය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ හී සැරයන් හරින්නා වූ ධනුර්ධරතෙම පාදද්වන්දය පෘථිවියෙහි දැඩි කොට පිහිටුවන්නේ ය. දෙදණ විකල නො කරන්නේ ය, සැරකලාපය කටීසන්ධියෙහි එල්වා ගන්නේ ය, සකල ශරීරය තද කරන්නේ ය, උභයහස්තයෙහි සන්ධිස්ථානයෙහි වැර කොට උඩ නඟන්නේ ය. මිට දෘඪ කොට මිරිකෙන්නේ ය. ඇඟිලි හැසවන්නේ ය,[33] ග්‍රීවය ප්‍ර‍ග්‍ර‍හණය කරන්නේ ය, දෙඇස හා මුඛය වසා ගන්නේ ය, සිත සෘජු කරන්නේ ය, ‘ලක විදිමි’ යි කියා සන්තොෂ උපදවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචර භික්ෂූහු විසින් සිල් නමැති මහාපෘථිවියෙහි වීර්ය නමැති පාදය පිහිටුවා ලිය යුත්තේ ය, ක්ෂාන්ති සුවචද්වය අවිකල කට යුත්තේ ය, ආයතිසංවරයෙහි සිත තැබිය යුත්තේ ය, කායවාචාසංයමයෙහි හා ධුතව්‍ර‍තසමාදානයෙහි ආත්මය පමුණුවාලිය යුත්තේ ය, ඉච්ඡාමුච්ඡා යන තෘෂ්ණාමොහද්වය පීඩිත කළ යුත්තේ ය, යොනිසොමනස්කාරයෙහි සිත හැසවා[34] ලිය යුත්තේ ය. වීර්ය දැඩි කොට ගත යුත්තේ ය, චක්ෂුඃශ්‍රොත්‍ර‍ ඝ්‍රාණ ජිව්හා කාය මනස් යන සදොර වසා ගත යුත්තේ ය. ස්මෘති උපදවා ගත යුත්තේ ය. සර්වක්ලේශයන් මාර්ගඥාන නමැති නාරාචයෙන් විද නසමි යි කියා සන්තොස උපදවා ලිය යුත්තේ ය. මහරජානෙනි, ඉස්සාසයාගේ මේ ප්‍ර‍ථමාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ධනුර්ධරතෙම නාරාච සංඛ්‍යාත හීතලයාගේ ඇද වංක කුටිලත්වය සෘජු කරණය පිණිස ආලකය පරිහරණය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් චාතුර්මහාභූතික වූ මේ ශරීරයෙහි සතිපට්ඨාන නමැති ආලකය වංක ජිම්භ කුටිල චිත්තයාගේ ඇද හැර සෘජු කරණ පිණිස පරිහරණය කළ යුත්තේ ය. මහරජානෙන, ඉස්සාසයාගේ මේ දෙවන අංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ධනුර්ධරතෙම ලක විඳීමෙහි අභ්‍යාස කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් මේ මනුෂ්‍යශරීරයෙහි අභ්‍යාස කළ යුත්තේ ය.

“කථං මහාරාජ යොගිනං යොගාවචරෙන ඉමස්මිං කායෙ උපාසිතබ්බං - අනිච්චතො උපාසිතබ්බං, -පෙ- ඉදං මහාරාජ ඉස්සාසස්ස තතියං අඞ්ගං ගහෙතබ්බං.[35]

(532) “මහරජානෙනි, යොගී වූ යොගාවචරයා විසින් ශරීරයෙහි කවර ප්‍ර‍කාරයකින් අභ්‍යාස කළ යුත්තේ ද? යත්:- මහරජානෙනි, රූපාදි පඤ්චස්කන්ධය අනිත්‍ය වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. වින්ද නො හැකි නොයෙක් සංසාරදුක් වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. වින්ද නො හැකි නොයෙක් සංසාරදුක් වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. තෙමේ ද තමහට අස්වාමික වන බැවින් අනාත්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. ජ්වරාතිසාරමධුමෙහාදි නොයෙක් රොගයට ආකර බැවින් රොග වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. නොයෙක් තැනින් සිඳී බිඳී කුණුදිය වැහෙන අසාධ්‍ය ගඩුවක් වැනි බැවින් ගණ්ඩ වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. අසහන වූ අන්තොපීඩාජනක බැවින් සල්ල වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. නොයෙක් අවැඩ ගර්හා විඳුවන බැවින් අඝ වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. නොයෙක් ආබාධයට ආසන්න බැවින් ආබාධ වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, තමන් වසඟ නො වන බැවින් පරවශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ව්‍යාධි ජරා මරණින් විනාස වන බැවින් පලොක වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, නොයෙක් වැසන එලවන බැවින් ඊති වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සර්වොපද්‍ර‍වයට කාරණ බැවින් උපද්‍ර‍ව වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. උත්පත්ති ප්‍ර‍වෘත්ති ආදි වු සියලු භයට ආකර බැවින් භය වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. අනෙකඅනර්ථයන් විසින් අනුබඳනා ලද බැවින් උපසර්ග වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ලාභාලාභාදී අෂ්ටලොකධර්මයෙන් කම්පිත වන බැවින් චල වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, උපක්‍ර‍මාදියෙන් මරණයට පැමිණෙන ස්වභාව ඇති බැවින් පභංග වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. ස්ථිර ව නො පවත්නා බැවින් අද්ධුව වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය. ගැලවිය හැකි ක්ෂෙමස්ථානයක් නො ලැබිය හැකි බැවින් අත්තාණ වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සැඟවෙන්නට සුදුසු නො වන බැවින් ඇලෙන වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සියලු භයට පිහිටක් නැති බැවින් අසරණ වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ස්වභාව වශයෙන් ම අසරණීභූත වන බැවින් අසරණීභූත වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ධුව සුඛ සුභ ආත්මභාව ය යි සිතා ගත් කල්හි සිස් බැවින් රික්ත වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සිස් බැවින් ම තුච්ඡ වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ස්වාමිකාරක විරහිත බැවින් ශූන්‍ය වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සුඛසාරත්ව විරහිත (533) බැවින් අසාර වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සියලු දුකට මුල් බැවින් අඝමූල වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, මිත්‍ර‍වධකයෙකු මෙන් විශ්වසාත්වය නසන බැවින් වධක වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සංසාරප්‍ර‍වෘත්තිය නොයෙක් දුඃඛාදීනව බැවින් ආදීනව වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ජරා මරණ දෙකින් පෙරළෙ බැවින් විපරිණාමධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, විගති අභිවෘද්ධි ඇති බැවින් විභව වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සර්වාශ්‍ර‍වයන්ට ආසන්න කාරණ බැවින් සාසව වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, අවිද්‍යාදි හෙතුප්‍ර‍ත්‍යයන් විසින් උපදවන බැවින් සංඛත වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, මෘත්‍යුමාර ක්ලේශමාරයන්ට ආහාරය වූ බැවින් මාරාමිස වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ජාතිධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ජරාධර්මවශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, ව්‍යාධිධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, මරණධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, සොකයට කාරණ බැවින් ශොකධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, පරිදෙවයට හේතු බැවින් පරිදෙවධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, උපායාසයට කාරණ බැවින් උපායාසධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, තෘෂ්ණා දෘෂ්ටි ආදි අකුශලයන් විසින් කෙලෙසන බැවින් සංක්ලේශධර්ම වශයෙන් අභ්‍යාස කට යුත්තේ ය, මහරජානෙනි, මෙසේ යොගී වූ යොගාවචරයා විසින් මේ සතරමහාභූතික ශරීරය අභ්‍යාස කට යුත්තේ ය. මහරජානෙනි, ඒ ඉස්සාසයාගේ මේ තෘතීයාංගය ගත යුත්තේ ය. තවද, මහරජානෙනි, ධනුර්ධරතෙම ධනුශ්ශිල්පය සවස උදය පුරුදු කරන්නේ ය, අභ්‍යාස කරන්නේ ය, මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් සවස උදය ධ්‍යාන අරමුණු අභ්‍යාස කට යුත්තේ ය. මහරජානෙනි, ඉස්සාසයාගේ මේ සතර වන අංගය ගත යුත්තේ ය. මහරජානෙනි, මෙම කාරණය සද්ධර්මසෙනාධිපති වූ ශාරීපුත්‍ර‍මහාථෙර සාමීන් වහන්සේ විසින්:-

“යථා ඉස්සාසකො නාම-සායං පාතං උපාසතී,

උපාසනං න රිඤ්චන්තො-ලභතී භත්තවෙතනං.

තථෙව බුද්ධපුත්තොපි-කරොති කායුපාසනං,

කායුපාසනං න රිඤ්චන්තො-අරහත්තමධිගච්ඡති” යි.

යම් සේ ධනුශ්ශිල්පී නම් සවස උදය ශිල්පය අභ්‍යාස කරන්නේ ය, අභ්‍යාසය නො හරිමින් බත් පැන් ලබන්නේ ය, එසේ ම සර්වඥපුත්‍රතෙම ශරීරය අනිත්‍යාදි වශයෙන් අභ්‍යාස කරන්නේ ය. ඒ අභ්‍යාසය නො හරිමින් අර්හත්ඵලයට පැමිණෙන්නේ ය’ යි කියා වදාරණ ලදී.”

පස්වැනි වූ ඉස්සාස ප්‍ර‍ශ්නය නිමි.

මෙසේ දෙවිසිවර්ගයකින් ප්‍ර‍තිමණ්ඩිත වූ ෂට්විධ වූ ප්‍ර‍ශ්නකාණ්ඩයෙහි දෙසියසැටදෙකක් පමණ ප්‍ර‍ශ්නයෝ මේ ප්‍ර‍කරණයෙහි අවිනාස ව ආවාහු ද, ඒ මේ මිලින්දප්‍ර‍ශ්නය නම් ශ්‍රී සද්ධර්මාදාසය නිමි.

  1. සම්පූර්ණ පාලිපාඨය වුවමනා අය පාළි මිලින්‍දපඤ්හයෙහි 290 වන පිටුව පටන් බැලිය යුතු

  2. මතස්ස-පාළි

  3. සුංක ඝායිතයා ගේ

  4. මේ පරිවර්තන අයොග්‍ය ය.

  5. ‘මනසායික චිත්තය ම’ යනාදී පරිවර්තනය සුදුසු නො වේ.

  6. සුමන්තො

  7. ‘විජනවාතං’ යන්නෙහි පරිවර්තනය සේ යෙදුනු මේ පාඨයෙහි එයින් ලැබෙන අර්ථය නැත. ‘ජනසඤ්චාරයෙන් වූ වාතය නැති’ යනු එහි තේරුම යි.

  8. සම්පූර්ණ පාඨය පාළිමිලින්‍දපඤ්හයෙහි 259 වන පිටුවෙහි පෙණේ.

  9. ගැලුණු

  10. සම්පූර්ණපාඨය පාළිමිලින්‍දපඤ්හයෙහි 302 වන පිටුවෙහි පෙණේ.

  11. කරකවන්නා වූ

  12. ආසාව නැසිය යුතු.

  13. පාළිමිලින්‍දපඤ්හයෙහි 310 වන පිටුවෙහි සම්පූර්ණ පාඨය පෙණේ.

  14. පාළිමිලින්‍දපඤ්හ 314 වන පිටුව

  15. පාළිමිලින්‍දපඤ්හ 316 පිටුව හෝ මැදුම්සගයෙහි මහාසීහනාද සූත්‍ර‍ය

    1 දිපියනක්හු

  16. පාලිමිලින්‍දපඤ්හ 320

  17. නොවාහි ම

  18. ෂඩින්ද්‍රියයෙන්

  19. ඵලපනය

  20. මේ කොටසෙහි පරිවර්තනය වැරදි සහිත ය.

  21. නිස්සහ

  22. පතන

  23. ශ්‍රාමණ්‍යයෙන්

  24. සන්ති

  25. නිවින්

  26. පරිසොධිතො-පාළි මිලින්‍දපඤ්හ

  27. අරියධම්මෙ-පාළිමිලින්‍දපඤ්හ

  28. විසෙසගූ-පාමිප

  29. න පවෙධති-පාමිප

  30. මුඛභාවානමෙව-පාමිප

  31. මේ පරිවර්තනයෙහි වැරදි තැන් තිබෙතැයි හැඟේ.

  32. “හෙ තබ්බං’ යන්නෙහි තේරුම ‘සයනය කළ යුත්තේ ය’ යන්න නො ව වියයුත්තේ ය යන්නයි.

  33. හසුරුවන්නේ ය.

  34. හසුරුවා

  35. පාමිප-333 පිටුව