නිර්‍වාණසිද්ධිප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පූර්වදිශායෙහි හෝ දක්ෂිණ දිශායෙහි හෝ පශ්චිමදිශායෙහි හෝ උත්තරදිශායෙහි හෝ උඩ යට හෝ සරස හෝ යම් තැනෙක නිර්වාණය පිහිටියේ ද, එබඳු ප්‍රදෙශයෙක් ඇද්ද? ඒ ප්‍රදෙශය කොතැන්හි දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, පූර්වදිශායෙහි හෝ දක්ෂිණදිශායෙහි හෝ පශ්චිමදිශායෙහි හෝ උත්තර දිශායෙහි හෝ උඩ අහස්හි හෝ යට පෘථිවියෙහි හෝ සරස අනන්ත සක්වළෙහි හෝ යම් තැනෙක නිර්වාණය පිහිටියේ ය යි යන එබඳු ප්‍රදෙශයක් නැතැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් නිර්වාණයාගේ පිහිටියා වූ ස්ථානයෙක් නැත්තේ වී නම්, ඒ කාරණයෙන් නිර්වාණයක් නැත්තේ ය. යම් දිව්‍යමනුෂ්‍යකෙනෙකුන් විසින් නිර්වාණය සිද්ධකරණ ලද්දේ වී නම්, ඔවුන්ගේ ඒ නිවන් සිද්ධ කිරීම ද බොරු වන්නේ ය, ඇත්තක් නො වන්නේ ය. ඊට කාරණයක් මම කියන්නෙමි. පින්වත් වූ නාගසෙනයන් වහන්ස, යම්සේ පොළෝ තෙලෙහි ධාන්‍ය නැඟීසට කෙතෙක් ඇත්තේ ය. සුවඳ නැඟීමට මල් ඇත්තේ ය, මල් නැඟීමට වනලැහැබෙක් ඇත්තේ ය, ඵල නැඟීමට රුකෙක් ඇත්තේ ය, රත්න පහළ වීමට ආකරයෙක් ඇත්තේ ය. එහි යම් කිසිවෙක් පුෂ්පඵලාදි යම් යම් දෙයක් කැමැත්තේ වී නම්, එතෙම වෘක්ෂගුම්බාදි ඒ ඒ තෙනට ගොස් පුෂ්පඵලාදි ඒ ඒ දෙය ගෙණ යන්නේ ය. පින්වත් වූ නාගසෙනයන් වහන්ස, එපරිද්දෙන් ම ඉදින් නිර්වාණයත් ඇත්තේ වී නම්, ඒ නිර්වාණයාගේ පැන නැගෙන්නා වූ ස්ථානයකුත් කැමැති විය යුත්තේ ය. වුවමනා වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම්හෙයකින් නිර්වාණයාගේ පැන නහින්නා වූ ස්ථානයෙක් නැද්ද, එහෙයින් නිර්වාණයත් නැතැ යි කියන්නෙමි. යම් දිව්‍යමනුෂ්‍ය කෙනෙකුන් විසින් නිර්වාණය සාක්ෂාත් කරණ ලද ද, ඔවුන්ගේ ඒ නිර්වාණය සිද්ධ කිරීම ද මිථ්‍යා ය” යි කීහ.

“මහරජානෙනි, නිර්වාණයාගේ පිහිටියා වූ ස්ථානයක් නැත්තේ ය. එසේ වුවත් මේ අමෘතමහානිර්වාණයත් ඇත්තේ ම ය. මනා කොට පිළිපන්නා වූ යොගාවචරයන් වහන්සේ යොනිසොමනස්කාරයෙන් ඒ නිර්වාණය සිද්ධ කරණසේක් ම ය. මහරජානෙනි, මේ ලොකයෙහි වහ්නිය ඇත්තේ ම ය. ඒ වහ්නියගේ තිබෙන ස්ථානයෙක් නැත්තේ ය. කාෂ්ටද්වයක් ඝර්ෂණය කරණ කල්හි වහ්නිය පැමිණෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයත් ඇත්තේ ය. ඒ නිර්වාණයාගේ සන්නිහිත ස්ථානයෙක් නැත්තේ ය. (405) මනා කොට පිළිපන්නා වූ යොගාවචරතෙම යොනිසොමනස්කාරයෙන් නිර්වාණය සිද්ධ කරන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ චක්‍ර‍වර්තිරජ්ජුරුවන්ගේ සප්තවිධ රත්නයෙක් නම් ඇත. හේ කවරේ ද? යත්- අහස පිහිටන චක්‍ර‍ රත්න ය, අහසින් යන හස්තිරත්නය ආකාශචාරී අශ්වරත්න ය, නිති දිලෙන මාණික්‍යරත්නය, මනුෂ්‍යරූපය ඉක්ම සිටි ස්ත්‍රීරත්න ය, සතර ගවුපොළෝ නිධාන දක්නා ගෘහපතිරත්න ය, පිරිස් නායක වූ පුත්‍ර‍රත්න ය යන මේයි. ඒ සප්තවිධ රත්නය්නගේ සන්නිහිතස්ථානයෙක් නො ම ඇත්තේ ය, දශවිධ වූ චක්‍ර‍වර්තිවත් පිරීමෙන් මනා කොට පිළිපන්නා වු ක්ෂත්‍රිය මහරජානන්ගේ ප්‍ර‍තිපත්තිබලයෙන් ඒ සප්තවිධ රත්නයෝ සමීපයට එළඹෙන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අමතෘමහානිර්වාණයක් ඇත්තේ ය. ඒ නිර්වාණයාගේ සන්නිහිත ස්ථානයෙක් නැත්තේ ය. මනා කොට පිළිපන්නා වූ යොගාවචරයන් වහන්සේ යොනිසොමනස්කාරය යි කියන ලද නුවණින් ඒ නිර්වාණය සිද්ධ කරන්නේ” යි. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණයාගේ පිහිටි ස්ථානයෙක් නො වෙයි. ඒ බව සැබව. යොගාවචරතෙම මනාව පිළිපදිමින් යම් තැනෙක සිට නිර්වාණය සිද්ධ කරණසේක් ද එබඳු වූ ස්ථානයෙක් ඇද්ද?” යි විචාළෝ ය.

“එසේ ය, මහරජානෙනි, යොගාවචරතෙම යම් තැනෙක සිට මනා කොට පිළිපදිමින් නිර්වාණය සිද්ධ කෙරේ ද, එබඳු ස්ථානයෙක් ඇත්තේ ය” යි කීසේක. “ස්වාමීනි, යොගාවචරයන් වහන්සේ යම් තැනෙක කොට පිළිපදිමින් නිර්වාණය සිද්ධ කරන්නේ ය යි යන ඒ ස්ථානය කවරේ දැ?” යි විචාළෝ ය. මහරජානෙනි, ශීලය ඒ ස්ථානය වන්නේ ය. ශීලයෙහි පිහිටියා වූ යොගාවචරතෙම නුවණින් සිත්හි කෙරෙමින් ස්වකීය යවනදෙශයෙහි ද, චීනමිලාතදෙශයෙහි ද, අලසන්දායෙහි ද, නිකුබ්බදෙශයෙහි ද, කාශිකොශලදෙශයෙහි ද, කාශ්මීරදෙශයෙහි ද, ගන්ධාරදෙශයෙහි ද, මහමෙර මුදුනෙහි ද, බඹලොවෙහි ද, යම්කිසි තැනෙක්හි සිටියේ මනා කොට පිළිපදිමින් නිර්වාණය සිද්ධ කරන්නේ යි. මහරජානෙනි, යම් සේ ඇස් ඇත්තා වූ යම්කිසි පුරුෂයෙක් තෙම ස්වකීය යවනදෙශයෙහි ද, චීනමිලාතදෙශයෙහි ද, අලසන්දායෙහි ද, නිකුබ්බදෙශයෙහි ද, කාශිකොශලදෙශයෙහි ද, කාශ්මීරදෙශයෙහි ද, ගන්ධාරදෙශයෙහි ද, මෙර මුදුනෙහි ද, බ්‍ර‍හ්මලොකයෙහි ද යම්කිසි තැනෙක සිටියේ ආකාශය දකී ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ශීලයෙහි ප්‍ර‍තිෂ්ඨිත වූ යොගාවචරතෙම නුවණින් සලකමින් ස්වකීය යවන නම් දෙශාදි යම්කිසි තැනෙක සිටියේ මනා කොට පිළිපදිමින් නිර්වාණය සිද්ධ කරන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ ස්වකීය යවන දෙශාදි යම් තැනෙක ප්‍ර‍තිෂ්ඨිත වූ ඒ පුරුෂයාහට පූර්වදිශාභාගය ඇද්ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ශීලයෙහි ප්‍ර‍තිෂ්ඨිත වූ නුවණ සිත්හි කරන්නා වූ ස්වකීය යොනකදෙශාදි යම්කිසි තැනෙක සිටියා වූ මනා කොට පිළිපන්නා වූ යොගාවචරයාගේ නිර්වාණය සාක්ෂාත් ක්‍රියාව ඇතැ යි වදාළසේක. මෙසේ යථොක්ත වූ ප්‍ර‍ඥාගොචර නිර්වාණප්‍ර‍ශ්නය විසර්ජනාවසානයෙහි මිලිඳු මහරජානෝ සද්ධාලම්බන ප්‍රීතියෙන් පිණ (406) පිණා දොහොත් මුදුන් දී “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අනෙක මධුරොදාර විසිතුරු උපමා කාරණයන් දැක්වීමෙන් නුඹවහන්සේ විසින් අමෘතමහානිර්වාණය දෙශනා කරණ ලද්දේ ම ය. සාක්ෂාත් ක්‍රියාවන් දෙශනා කරණ ලද්දේ ම ය. සිලානිසංසය ද දක්වා වදාරණ ලද්දේ ය. ත්‍රිවිධබොධියාත්‍රායෙහි සම්‍යක් ප්‍ර‍තිපත්තියක් දක්වන ලද්දේ ය, සර්වදෘෂ්ටි මථනයෙන් විජය වූ සද්ධර්ම ධ්වජය ඉතා උසස් කොට නඟන ලද්දේ ය. විපරිතදෘෂ්ටියකු විසින් පන්දහස්වස් සොලවාලිය නො හෙන සේ ධර්මවිනය ස්ථිර කොට තබන ලද්දේ ය. නිවන් සෙවීමෙහි සුප්‍ර‍යුක්ත වූ උත්තමයන්ගේ සම්‍යක් ප්‍රයොගය සිස් නො වන්නේ ය, සඵල වන්නේ ය, මාගේ පින්වත් වූ සර්වගණීන්ද්‍ර‍ ප්‍ර‍වරොත්තමයානන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කියා ප්‍ර‍ශංසා කළහ.

නිර්වාණසිද්ධිප්‍ර‍ශ්නය නිමි.

සකලජන මනොනන්දනීය වූ මේ ශ්‍රීසද්ධර්මාදාසයෙහි අටවැනි වර්ගය නිමියේ ය.