නිර්‍වාණ සාක්‍ෂාත්කරණ ප්‍රශ්නය

“අහෝ! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘නිර්වාණය අතීත වූයේත් නො වෙයි, අනාගත වූයේත් නො වෙයි. වර්තමාන වූයේත් නො වෙයි, උපන්නේත් නො වෙයි. නූපන්නේත් නො වෙයි, ඉපදිය යුතුත් නො වෙයි කියා නුඹ වහන්සේ කියනසේක් නො වේ ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ බුද්ධශාසනයෙහි යම් කිසි ශ්‍ර‍ද්ධාවන්තයෙක් තෙම මනා කොට පිළිපදිමින් තුබූ නිර්වාණයක් සිද්ධ කෙරේ ද, නොහොත් ඔහු ම උපදවා ගෙණ සිද්ධ කෙරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මනා කොට පිළිපන්නා වූ යම් කිසිවෙක් නිර්වාණය සිද්ධ කෙරේ නම්, එතෙම ඉපිද තුබූ නිර්වාණයක් සිද්ධ කරන්නේත් නො වෙයි, නැති නිවණක් උපදවා ගෙණ සිද්ධ කරන්නේත් නො වෙයි. එතෙකුදු වුවත්, මහරජානෙනි, මනා ව පිළිපන්නා වූ ඒ පුරුෂතෙම යම් නිර්වාණයක් සිද්ධ කෙරේ ද, ඒ මේ නිර්වාණධාතුව ඇතැ” යි වදාළසේක. “අනේ! මාගේ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ නිර්වානප්‍ර‍ශ්නය ප්‍ර‍තිච්ඡන්න කොට නො දක්වන්න. විවර කොට ප්‍ර‍කට කොට දක්වා වදාරන්න. බොහෝ සේ ආලය උපදවමින් උත්සාහ උපදවමින් නුඹ වහන්සේ විසින් ශාසනගත වූ තැන් පටන් උගන්නා ලද්දා වූ යම් අර්ථධර්මයක් ඇද්ද, ඒ සියලු ම උගත් දෙය මේ ප්‍ර‍ශ්නයෙහි ම බහාලුව මැනැව. මේ ප්‍ර‍ශ්නයෙහි මේ ලොකවාසී සත්වතෙම බොහෝ සේ ම මුළා වූයේ ය. විමති උපදවන ලද්දේ ය, කාංක්ෂාවට පැමිණියේ ය. මේ මාගේත් ඇතුළු සතන්හි උපන්නා වූ මේ කාංක්ෂාදොෂශල්‍යය බිඳ හැර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, පරම ශාන්තසුඛ ප්‍ර‍ණීත වූ මේ නිර්වාණධාතුව ඇත්තේ ම ය. ඒ නිර්වාණය මනා කොට පිළිපදිමින් සර්වඥානුශාසන වූ පරිද්දෙන් සර්වසංස්කාරධර්මයන් සම්මර්ශනය කෙරෙමින් ප්‍ර‍ඥාවෙන් සිද්ධ කරන්නේ ය. මහරජානෙනි, යම් සේ අන්තෙවාසිකතෙම ආචාර්යානුශාසනා වූ පරිද්දෙන් විද්‍යාව ප්‍ර‍ඥාවෙන් සිද්ධ කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මනා කොට පිළිපදිමින් සර්වඥශාසනා වූ පරිද්දෙන් ප්‍ර‍ඥාවෙන් නිර්වාණය සිද්ධ කරන්නේ ය” යි කීසේක.

(401) “ස්වාමීන් වහන්ස, ඒ නිර්වාණය කෙසේ දත යුතු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒ නිර්වාණය අනුපද්‍ර‍වවශයෙන් නිරුපද්‍ර‍ව වශයෙන් අභයවශයෙන් ක්ෂෙමවශයෙන් ශාන්තවශයෙන් සුවවශයෙන් සැපවශයෙන් ප්‍ර‍ණීතවශයෙන් පවිත්‍ර‍වශයෙන් සිහිල්වශයෙන් දත යුත්තේ ය. මහරජානෙනි, යම් සේ බොහෝ කාෂ්ට රාශියක් කරණ කොට ගෙණ හුණු ව ඇවිලෙන්නා වූ ගින්නෙන් දැවෙන්නා වූ පුරුෂයෙක් තෙම මහත් වූ ව්‍යායාමයකින් එයින් මිදී ගිනි නැති අවකාශස්ථානයකට ගොස් එහි පරමසැපතක් ලබන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් මනා ව පිළිපදිමින් එතෙම යොනිසොමනස්කාරයෙන් පහ කරණ ලද රාගද්වෙෂමොහසංඛ්‍යාත ත්‍රිවිධාග්නිසන්තපාය ඇති පරමසැප වූ නිර්වාණය සිද්ධ කරන්නේ ය. මහරජානෙනි, පුරුෂයා වැලඳ ගත් වහ්නිය යම් සේ ද, එසේ ම රාගාදි ත්‍රිවිධාග්නිය දත යුත්තේ ය. වහ්නියට පැමිණි පුරුෂයා යම් සේ ද එසේ ම මනා කොට පිළිපන්නා වූ යොගාවචර තෙම දත යුත්තේ ය. නිරග්ගික වූ අවකාශස්ථානය යම් සේ ද, එපරිද්දෙන් නිර්වාණය දත යුත්තේ යි.

“තවද, මහරජානෙනි, යම් සේ නොයෙක් තැනින් සිල් ව කුණුගඳ වැහෙන්නා වූ ගරඬි නයිකුණප සුනඛකුණප මනුෂ්‍ය කුණප ශරීර වැලඳි කොට්ඨාස රාශිගත වූ කුණප අවුලෙන් ම වැලඳ සිටි ඒ මධ්‍යයට ප්‍ර‍විෂ්ට වූ පුරුෂයෙක් මහත් වූ ව්‍යායාමයකින් එයින් මිදී කිසි කුණපයක් නැති රම්‍ය වූ අවකාශස්ථානයකට ප්‍ර‍විෂ්ට වූ පරමසුඛාස්වාදයක් ලබන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් මනා කොට පිළිපදිමින් එතෙම යොනිසොමනස්කාරයෙන් පහ කරණ ලද කෙලෙස්කුණපයන් ඇති පරම සුඛ ප්‍ර‍ණීත වූ නිර්වාණය සිද්ධ කරන්නේ ය. මහරජානෙනි, නොයෙක් කුණප යම් සේ ද, එසේ ම රූපශබ්දාදී පඤ්චකාමගුණයෝ දත යුත්තාහු ය. ඒ නොයෙක් කුණපමධ්‍යයට පැමිණි පුරුෂයා යම් සේ ද, එපරිද්දෙන් මනා කොට පිළිපන්නා වූ යොගාවචරතෙම දත යුත්තේ ය. කිසි කුණපයක් නැති රම්‍ය වූ අවකාශස්ථානය යම් සේ ද, එපරිද්දෙන් ම අමෘතමහානිර්වාණය දත යුත්තේ යි.

“තවද, මහරජානෙනි, යම් සේ කඩු ගත් අත් ඇති ශත්‍රැසේනාවක් මධ්‍යගත වූ පුරුෂයෙක් භයින් හීන වූයේ තසිත වූයේ කම්පිත වූයේ විපරීත භ්‍රාන්ත වූ සිත් ඇත්තේ මහත් වූ ව්‍යායාමයකින් ඒ සතුරුසේනාවගෙන් මිදී දෘඪස්ථිරඅචලඅභයස්ථානයකට වැද එහි පරම සුඛාස්වාදය ලබන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් මනා ව පිළිපදිමින් එතෙම යොනිසොමනස්කාරයෙන් පහ කරණ ලද භය සන්ත්‍රාසය ඇති පරම සුඛ ප්‍ර‍ණීත වූ නිර්වාණසම්පත්තිය සිද්ධ කරන්නේ ය. මහරජානෙනි, අමිත්‍ර‍ භයස්ථානය යම් සේ ද, එපරිද්දෙන් ම ජාතිජරාව්‍යාධිමරණය නිසා නැවත නැවතත් පවත්නා භය දත යුත්තේ ය. භයින් භීත වූ පුරුෂයා යම් සේ ද, එපරිද්දෙන් ම මනා කොට පිළිපන්නා වූ යොගාවචරතෙම දත යුත්තේ ය. නිර්භයස්ථානය යම් සේ ද, එමෙන් අමෘතමහානිර්වාණය දත යුත්තේ” ය.

“තවද, මහරජානෙනි, යම් සේ ක්ලිෂ්ට මලින කලල කර්දම ප්‍රදෙශයක වැටුනා වූ පුරුෂයෙක් මහත් වූ ව්‍යායාමයකින් ඒ කලල් ගෝරු මඩ පහ කොට අත්‍යන්තපරිශුද්ධ නිර්මල ප්‍රදෙශයකට ගොස් එහි උතුම් වූ සැප ලබන්නේ වේ ද, (402) මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් මනා කොට පිළිපදිමින් එතෙම යොනිසොමනස්කාරයෙන් පහ ව ගිය ක්ලෙශ්මල කර්දම ඇති පරම සැප වූ නිර්වාණය සිද්ධ කරන්නේ ය. මහරජානෙනි, කලල් මඩ යම් සේ ද, එමෙන් ලාභ සත්කාර ස්තුති දත යුත්තේ ය. කලල් මඩට පැමිණි පුරුෂයා යම් සේ ද, එමෙන් සම්‍යක්ප්‍ර‍තිපත්තියෙහි හැසිරෙණ යොගාවචරතෙම දත යුත්තේ ය. පිරිසිදු වූ නිර්මල තර ප්‍රදෙශය යම් සේ ද, එමෙන් අමෘතමහානිර්වාණය දත යුත්තේ” යි.

“ස්වාමීන් වහන්ස, අමෘතමහානිර්වාණය යොගාවචරතෙම මනා කොට පිළිපදිමින් කුමක් කොට සිද්ධ කෙරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් ඒ යොගාවචරතෙම මනා කොට පිළිපදිමින් එතෙම සර්වසංස්කාරධර්මයන්ගේ පැවැත්ම සම්මර්ශනය කරන්නේ ය. ඒ ප්‍ර‍වෘත්තිය සම්මර්ශනය කෙරෙමින් ඒ පැවැත්මෙහි ජාති ඉපදීම දක්නේ ය. ජරාව දක්නේ ය. ව්‍යාධිය දක්නේ ය. මරණය දක්නේ ය. ඒ ජාති ඉපදීමෙහි ආදියෙහිත් මධ්‍යයෙහිත් පරියොසානයෙහිත් මඳකුත් සැපතක් නො දක්නේ ය. ඒ යොගාවචරතෙම එහි නිත්‍ය සැපය යි කියා ගත යුතු වූ කිසිවක් නො දක්නේ ය. මහරජානෙනි, යම් සේ පුරුෂයෙක්තෙම දවසක් මුළුල්ලෙහි උෂ්ණයෙහි ලා රත් කළා වූ ගිනි ගෙණ දිලියෙන්නා වූ සජොතිභූත වූ අතිශයින් රත් වූ විශෙෂයෙන් හුණු වූ යගුළියෙහි ආදියෙහිත් මධ්‍යයෙහිත් පරියොසානයෙහිත් අල්වා ගත යුතු වූ මඳකුත් ප්‍රදෙශයක් නො දක්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම යම් යොගාවචරයෙක්තෙම සර්වසංස්කාරප්‍ර‍වෘත්තිධර්මයන්ගේ ප්‍ර‍වෘත්තිය සම්මර්ශනය කරන්නේ ය. ඒ යොගාවචරතෙම ප්‍ර‍වෘත්තිය සම්මර්ශනය කෙරෙමින් එහි සර්වභවයොනිගතිස්ථිතිසත්වාවාසභෙදගත වූ ඒ ඒ සකල සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායෙහි ඉපදීම හා රූපාදිපඤ්චස්කන්ධයන්ගේ පහළ වීම ද, චක්ෂුරාදි ෂඩායතනයන්ගේ ප්‍ර‍තිලාභ ය යි කියන ලද ජාතිය දක්නේ ය. එසේ ම ඒ ඒ සත්වයන්ගේ ශරීර ජරාව ද ජීර්ණතාව ද දත් වැටීම් හා හිස පැසීම ද ශරීර වැරළි වැටීම ද ආයුෂයාගේ නැසී යාම ද ෂඩින්ද්‍රියයන්ගේ පැසී යාම ය යි කියන ලද මේ තාක් ජරාව දක්නේ ය. ඒ ඒ සත්වයන්ට වන මධුමෙහ භගන්දර කුෂ්ඨරොග අතීසාර විෂමජ්වර සන්නිපාතාදි ව්‍යාධිය ද දක්නේ ය. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායයෙන් සර්වඥාතිමිත්‍ර‍ සෑම ධන සැපත් හැර චුත වීම ය, නැසෙන බව ය, ශරීරභෙදය ප්‍රාණඅන්තර්ධාන ය, මෘත්‍යු මරණ ය, කාලක්‍රියා ය, පඤ්චස්කන්ධයන්ගේ භෙද ය, මෘතශරීරයාගේ වනයෙහි දැමීම ය යි කියන ලද මෙබඳු මරණ දක්නේ ය. මෙසේ දැක ඒ ජාති ඉපදීමෙහි සැපය යි කියා මඳකුත් සැපතක් නො දක්නේ ය. ඒ ජාතියගේ ආදි මධ්‍ය පරියොසානයෙහි සාරග්‍ර‍හණය කට යුතු මඳකුත් ප්‍රදේශයක් නො දක්නේ ය. සාරග්‍ර‍හණයකට දෙයක් නො දක්නා වූ ඒ යොගාවචරයාගේ සිත්හි සසර කලකිරීම් වශයෙන් නිරාලය පිහිටන්නේ ය. ශරීරයෙහි ඩහදිය සෙලවෙන්නේ ය. එහෙයින් කිසි රක්ෂාවක් නැත්තා වූ කිසි පිහිටක් නැත්තා වූ අසරණ වූ ඒ යොගාවචරතෙම භවත්‍ර‍යයෙහි කලකිරෙන්නේ ය. මහරජානෙනි, යම් සේ පුරුෂයෙක්තෙම ගෘහයක දිලියෙන (403) ගිනිදැල් ඇති මහත් වූ වහ්නිස්කන්ධයක් ලඟට ප්‍රවෙශ වන්නේ වී නම්, ඔහු එතැන්හි කිසි රක්ෂාවක් නැත්තේ කිසි පිහිටක් නැත්තේ අසරණ වූයේ ගිනිකඳ කෙරෙහි කලකිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ජාතියගේ සාරග්‍ර‍හණ කට යුතු දෙයක් නො දක්නා වූ ඒ යොගාවචරයාගේ සිත්හි අරති උපදනේ ය. ශරීරයෙහි ඩා සෙලවෙන්නේ ය. ඒ අනාථ වූ අසරණීභූත වූ යොගාවචරතෙම ගිනි ගත් ගෙට වන් එකක්හු සේ භවත්‍රයෙහි කලකිරෙන්නේ ය. මෙසේ දැලෙහි බැඳුනු මත්ස්‍යයෙකු මෙන් ද සර්පමුඛයට පැමිණි මණ්ඩුකයකු මෙන් ද මැදිරියක ලූ වන පක්ෂියකු මෙන් ද ගරුඬමුඛයට පැමිණි නාගයකු මෙන් ද රාහුමුඛප්‍රාප්ත චන්ද්‍ර‍යා මෙන් ද සර්වසංස්කාරධර්මයන් කෙරෙන් මිදෙනු කැමැති සසර කලකිරී සියලු ම ජාතිප්‍ර‍වෘත්තියෙහි භය දක්නා සුලු වූ ඒ යොගාවචරයා හට මෙබඳු සිතෙක් උපදනේ ය. කෙබඳු සිතෙක් ද? යත්:- මේ ජාතියගේ පැවැත්ම රාගාදි ත්‍රිවිධාග්නියෙන් රත්වූයේ ය. රාගාද්‍යග්නියෙන් දීප්තිමත් වූයේ ය. ත්‍රිවිධාග්නියෙන් සම්ප්‍ර‍ජ්වලිත වූයේ ය. සාන්දෘෂ්ටික සාම්පරායික වූ බොහෝ දුක් ඇත්තේ ය. ක්ලෙශකර්දමයෙහි ආලය කිරීම් වශයෙන් බොහෝ වූ සිත්තැවිලි ඇත්තේ ය. ඉදින් කිසිවෙක් ඒ ජාතියගේ නො පැවැත්ම ලැබුයේ වි නම්, මේ ශාන්තබවට ගියේ ය. මේ ප්‍ර‍ණීතබවට ගියේ ය. ඒ කවර? යත්- සර්වසංස්කාර ධර්මයන්ගේ සන්හිඳවිම ය. සර්වක්ලෙශයන් දුරු කිරීම ය, ත්‍රිවිධතෘෂ්ණාව ක්ෂයකිරීම ය, රාගය හැරීම ය, නිරොධ ය, තෘෂ්ණාව හැරීම ය. මෙසේ නිර්වාණාභිමුඛ වූ සිත උපදනේ ය. මෙසේ ජාතියගේ අප්‍ර‍වෘත්තිකචිත්තයෙහි ම ඒ යොගාවචරයාගේ සිත මා විසින් භවනිස්සරණය ලද්දේ ය යි කියා පනින්නේ ය, පහදින්නේ ය, සතුටු වන්නේ ය, විස්මය පත් වන්නේ ය.

“මහරජානෙනි, යම් සේ අන්‍යදෙශයකට ගියා වූ අතිදූරයෙහි දි මග නැසීම ප්‍රාප්ත වූ පුරුෂයෙක්තෙම ස්වකීය දෙශයට නො මුළා ව පැමිණිය යුතු මහාමාර්ගයක් දැක මා විසින් නිර්වාණමාර්ගයක් ලබන ලද්දේ ය යි කියා එහි පනින්නේ ය. පහදින්නේ ය. සතුටු වන්නේ ය. විස්මය පත් වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සර්වසංස්කාර ප්‍ර‍වෘත්තියෙහි භය දක්නා වූ යොගාවචරමහණුන් වහන්සේ සිත සර්වසංස්කාර ප්‍ර‍වෘත්තීන්ගේ අභාවයෙහි ම ‘මා විසින් පිළිසරණක් ලද්දේ ය’ යි කියා පනින්නේ ය, පහදින්නේ ය, සතුටු වන්නේ ය, විස්මය පත් වන්නේ ය. ඒ මහණුන් වහන්සේ කෙලෙසුන් තවන වීර්යයෙන් යුක්ත ව සංසාර ප්‍ර‍වෘත්තියගේ අභාවය පිණිස ආර්යමාර්ගභාවනාව රැස් කරන්නේ ය. සොයන්නේ ය, වඩන්නේ ය, බහුලීකෘත කරන්නේ ය, ඒ යොගාවචරයාගේ ස්මෘතිතොම සසර හා නො හැනී ඉක්ම සිටි බැවින් නිස්සරණාඛ්‍යාත ඒ නිර්වාණාර්ථයෙහි ම එළඹ සිටින්නේ ය. එම නිස්සරණාර්ථයෙහි ම වීරිය ද එළඹ සිටින්නේ ය, එම නිස්සරණාර්ථයෙහි ම ප්‍රීතිය ද එළඹ සිටින්නේ ය. මෙසේ නැවත නැවතත් සිත්හි කරන්නා වූ ඔහුගේ සිත ආර්යමාර්ගයෙන් ගොස් සංසාරප්‍ර‍වෘත්තිය අතික්‍ර‍මණය කොට අප්‍ර‍වෘත්ති ය යි කියන ලද අර්හත්ඵලයට පැමිණෙන්නේ ය.

(404) “මහරජානෙනි, මෙසේ මනා කොට පිළිපන්නා වූ අප්‍ර‍වෘත්තියට පැමිණියා වූ මහණුන් වහන්සේ අජරාමරනිත්‍ය මංගලපරමසුන්දර වූ අමෘතමහානිර්වාණය සිද්ධ කරන්නේ ය. අනන්ත බුදුන් විසින් ද මේ නිස්සරණය මෙපරිද්දෙන් දක්වන ලද්දේ යි. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණාමෘතරසය බොහෝ කොට වදාළසේක. යහපත, ස්වාමීනි, මේ ප්‍ර‍ශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

නිර්වාණසාක්ෂාත්කරණප්‍ර‍ශ්නය නිමි.