නිර්‍වාණ අරූප ප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ යමක් නිර්වාණය නිර්වාණය යි කියා එක්වන් ව කියනසේක. ඒ නිර්වාණයාගේ නීලපීතාදි රූපයෙක් හෝ සටහනක් හෝ වයසක්[1] හෝ හ්‍ර‍ස්වදීර්ඝාදී ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ නයකින් හෝ මට දක්වා පියන්නට හැකි වනසේක් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, නිර්වාණය අසදෘශ ය, නිර්වාණයාගේ නීලපීතාදී රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හෙතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැකි වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ වදාළ වචනය (394) මම සැබවැ යි කියා නො පිළිගන්නෙමි. නිර්වාණධර්මයාගේ රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හෙතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ පැණවීමෙන් ඇත්තේ ම ය. ඒ බව කාරණයකින් මට අඟවා වදාළ මැනැවැ” යි කීහ.

“මැනැව. මහරජානෙනි, කාරණයකින් තොපට අවබොධ කරවන්නෙමි. මහරජානෙනි, මහාසමුද්‍ර‍ය තෙමේ ඇත්තේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, මේ මහාසමුද්‍ර‍ය ඇත්තේ ම ය” යි කීහ. “ඉදින්, මහරජානෙනි, කිසිවෙක් තොප අතින් ‘මහරජානෙනි, මහාසමුද්‍රයෙහි ජලය කළ නාළිකාදියෙන් කොපමණෙක් ඇත්තේ ද? මහාසමුද්‍ර‍යෙහි වසන්නා වූ යම් සත්ව කෙනෙක් ඇද්ද, ඒ සත්වයෝ ගණනින් කොපමණෙක් දැ?” යි කියා මෙසේ විචාළේ වී නම්, මහරජානෙනි, මෙසේ විචාරණ ලද්දා වූ තෙපි ඕහට කොපමණ ඇතැ යි කියා කියන්නාහු දැ?” යි විචාළසේක. “ඉදින්, ස්වාමීන් වහන්ස, කිසිවෙක් මා අතින් “මහරජානෙනි, මහාසමුද්‍රයෙහි ජලය කෙතෙක් ද? මහාසමුද්‍රයෙහි වසන්නා වූ යම් ඒ සත්වයෝ කෙතෙක් ද?” යි කියා මෙසේ විචාළේ වී නම්, ස්වාමීන් වහන්ස, මම ඕහට මෙසේ කියන්නෙමි. ‘එම්බල, පුරුෂය, තෝ මා අතින් නො විචාළ යුතු දෙයක් අසන්නෙහි ය. මේ තාගේ විචාරීම කිසිකෙනෙකුත් ඇසිය යුතු දෙයක් නො වන්නේ ය. මේ තා විචාළ ප්‍ර‍ශ්නයතෙම නො කියා තැබිය යුතු වන්නේ ය. පූර්වයෙහි ලොකය විභාග කොට කියන්නවුන් විසින් උදක සත්ව වශයෙන් මහාසමුද්‍ර‍ය බෙදා නො කියන ලද්දේ ය. එසේ හෙයින් මහාසමුද්‍රයෙහි ජලස්කන්ධය මැන පමණ කරන්නට නොහැක්කේ ය. එහි වාසයට පැමිණියා වූ යම් ඒ සත්වකෙනෙක් ඇද්ද, ඒ සත්වයෝ ද සංඛ්‍යා කොට කිය නො හැක්කේ ම ය’ යි කියා, ස්වාමීන් වහන්ස, මෙසේ මම ඕහට ප්‍ර‍තිවචන දෙන්නෙමි” යි කීහ. “මහරජානෙනි, තෙපි කුමක් පිණිස වනාහි ඇති ස්වභාව වූ මහාසමද්‍රයෙහි මෙසේ ප්‍ර‍තිවචන දෙන්නහු ද? ගණන් බලා ‘මහාසමුද්‍රයෙහි ජලය මෙපමණ ය, මහාසමුද්‍රයෙහි මෙපමණ සත්වයෝ වසන්නාහු ය’ යි කියා ඒ විචාළ පුරුෂයාහට කිය යුතු නො වේ දැ?” යි වදාළසේක. “ස්වාමීන් වහන්ස, එසේ කිය නො හැක්කේ ය. මේ ප්‍ර‍ශ්නය අවිෂය වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඇති ස්වභාව වූ මහාසමුද්‍රයෙහි ජලය මැනපියා ගණන් කරන්ට යම් සේ නො හැකි වේ ද, ඒ සමුද්‍රයෙහි වාසයට පැමිණියා වූ යම් සත්වකෙනෙකුන් ගණන් කොට පිය නො හැකි වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ඇති ස්වභාව වූ නිර්වාණයාගේ රූපයක් හෝ සටහනක් හෝ වයසක්[2] හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැක්කේ ම ය. මහරජානෙනි, චිත්තයාගේ වශීප්‍රාප්ත වූ සෘද්ධි ඇත්තා වූ මහානුභාවසම්පන් වූ පුද්ගලතෙම මහා සමුද්‍රයෙහි ජලය ද එහි වසන්නා වූ සත්වයන් ද ගණන් කරන්නට සමර්ථ වන්නේ ය. ඒ ඒ චිත්තයාගේ වශීප්‍රාප්ත වූ සෘද්ධිමත්තෙම නිර්වාණයාගේ රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍ර‍මාණයක් හේ උපමාවකින් හෝ කාරණයකින් හෝ හෙතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැකි වන්නේ ය.

(395) “මහරජානෙනි, ස්වභාවයෙන් ම ඇත්තා වූ නිර්වාණයාගේ රූපයක් හෝ සටහනක් හෝ වයසක්[3] හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ ක්‍ර‍මයකින් හේ දක්වා පියන්නට නො හැක්කේ වේ ද, ඊට ම අනිකුදු ඉතිරි කාරණයක් ඇසුව මැනැව. මහරජානෙනි, අරූපාවචරදෙවනිකායෙහි අරූපකායිකා නම් දෙවිකෙනෙක් ඇද් ද?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, දෙවියන් කෙරෙහි අරූපකායිකා නම් දෙවිකෙනෙක් ඇතැ යි කියා අසන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ අරූපකායිකා නම් දෙවියන්ගේ රූපයක් හෝ සටහනක් හෝ විනාශයක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වා පියන්නට හැකි වේදැ?”යි විචාළසේක. “ස්වාමීන් වහන්ස, එසේ නො හැක්කෙමි” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම්, අරූපකායිකා නම් දෙවියෝ නැද් දැ?” යි විචාළසේක. “ඇත, ස්වාමීන් වහන්ස, අරූපකායිකා නම් දෙවියෝ ඒ අරූපීන්ගේ රූපයක් හෝ සටහනක් හෝ විනාශයක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැක්කේ ය” යි කීහ. “මහරජානෙනි, යම් සේ ඇත්තා වූ අරූපකායිකා නම් දෙවියන්ගේ රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැක්කේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ස්වභාවයෙන් ම ඇත්තා වූ නිර්වාණයාගේ රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හෙතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැක්කේ ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණය ඒකාන්ත සැප ඇත්තේ ය’ යි වදාළ කාරණය එසේ ම වේවා. ඒ නිර්වාණයාගේ රූපයක් හෝ සටනක් හෝ වයසක් හෝ ප්‍ර‍මාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හෙතුවකින් හෝ ක්‍ර‍මයකින් හෝ දක්වාපියන්නට නො හැක්කේ ම ය. ස්වාමීනි, නිර්වාණයාගේ අන්‍යකෙනෙකුන් විසින් නො දක්නා ලද්දා වූ උපමා දර්ශනමාත්‍ර‍ වූ කිසි ගුණයක් ඇද් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ස්වරූප වශයෙන් රූපයෙක් නැත්තේ ය. ගුණ වශයෙන් වනාහි කිසි උපමාදර්ශනමාත්‍ර‍යක් දක්වාපියන්නට හැකි වන්නේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම යම් පරිද්දෙකින් නිර්වාණයාගේ ගුණ වශයෙන් දක්වන්නා වූ එක දෙශමාත්‍ර‍යක් වත් ලබන්නෙම් ද, එබඳු ප්‍ර‍කාරයකින් මට අතිකඩිනමින් වදාළ මැනැව. මාගේ හෘදයපරිලාභය විගස සීතලමධුරවචන මාරුතයෙන් නිර්වාපණය කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, පද්මයාගේ එක්ගුණයෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වි ය. උදකයාගේ දෙගුණයෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වි ය. අගදයාගේ ත්‍රිවිධ ගුණයෙක. මහාසමුද්‍ර‍යාගේ සතර ගුණයෙක. භොජනයාගේ පඤ්ච ගුණයෙක. ආකාසයාගේ දශ ගුණයෙක, මාණික්‍යරත්නයාගේ තුන් ගුණයෙක, රත්තචන්දනයාගේ තුන් ගුණයෙක, සප්පිමණ්ඩයාගේ තුන් ගුණයෙක, පර්වත (396) ශිඛරයාගේ පඤ්ච ගුණයෙක යන මෙතක් ගුණ කෙනෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ.”

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පද්මයාගේ එක් ගුණයෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වී යැ’ යි කියා යම් වචනයක් වදාළසේක් ද, පද්මයාගේ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වු ඒ එක ගුණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, පද්මය යම් සේ උදකය හා අනුපලිප්ත වී ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය රාගාදී සර්වක්ලෙශයන් හා අනුපලිප්ත වන්නේ ය. මහරජානෙනි, පද්මයාග් මේ එක් ගුණය නිර්වාණයට අනුප්‍ර‍විෂ්ට වී ය” යි කීසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උදකයාගේ දෙගුණ කෙනෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ’ යි කියා නුඹවහන්සේ යම් වචනයක් වදාළසේක් ද, ඒ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ උදකයාගේ ගුණද්වයය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ජලය සීතලගුණ ඇත්තේ වේ ද, ශරීරපරිදාහ නිර්වාපණය කෙරේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම අමෘත මහානිර්වාණය සීතලගුණය ඇත්තේ ය. සර්වක්ලෙශගිනිය ම නිවන්නේ ය. මහරජානෙනි, මේ උදකයාගේ පළමුවන ගුණය නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූයේ ය. තවද, මහරජානෙනි, ජලය ක්ලාන්ත තසිත පිපාස ග්‍රීෂ්මාභිතප්ත වූ ජන චතුෂ්පදාදී සත්වයන්ගේ පිපාසය දුරු කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද අෂ්ටොත්තරශතප්‍රභෙද වූ කාමතෘෂ්ණාව හා ලොකය ඇතැ යි කියා ශාශ්වතදෘෂ්ටි වශයෙන් ගන්නා භවතෘෂ්ණාව ද මරණින් මත්තෙහි නැතැ යි කියා උච්ඡෙදදෘෂ්ටි වශයෙන් ගන්නා විභවතෘෂ්ණාව ද යන මේ ත්‍රිවිධ පිපාසය දුරු කරන්නේ ය. මහරජානෙනි, උදකයාගේ මේ දෙවෙනි ගුණය නිර්වාණයට ප්‍ර‍විෂ්ට වි ය. මහරජානෙනි, උදකයාගේ මේ ගුණයෝ දෙදෙන නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘භෛෂජ්‍යයාගේ තුන් ගුණ කෙනෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ’ යි කියා නුඹ වහන්සේ යමක් වදාළ සේක් ද, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ භෛෂජ්‍යයාගේ ඒ තුන්ගුණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, භෛෂජ්‍යය යම් සේ විෂයෙන් පීඩිත වූ සත්වයන්ට පිළිසරණ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද රාගාදි ක්ලෙශ වශයෙන් පීඩිත වූ සකල සත්වයන්ට පිළිසරණ වන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ භෛෂජ්‍යයාගේ මේ පළමුවන ගුණය වන්නේ ය. මහරජානෙනි, නැවත ද අනික් ගුණයෙක් ඇත. භෛෂජ්‍යය සියලු ම රොගයන්ගේ කෙළවර කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය සියලු ම සංසාරදුඃඛයන් කෙළවර කරන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ ඖෂධයාගේ මේ දෙවෙනි ගුණය වන්නේ ය. තවද, මහරජානෙනි, ඖෂධයතෙම අමෘත ගුණය ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම අජරාමෘතගුණයෙන් යුක්ත ය. මහරජානෙනි, ඖෂධයාගේ මේ තුන්වැනි ගුණය වන්නේ ය. තවද, මහරජානෙනි, ඖෂධයාගේ මේ ගුණයෝ තුන්දෙන නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මහාසමුද්‍ර‍යාගේ සතර ගුණයක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වී ය’ යි කියා නුඹ වහන්සේ යමක් වදාළසේක් ද, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මහාසමුද්‍ර‍යාගේ ඒ සතරගුණය කවරේ ද?” යි විචාළෝ ය. (397) “මහරජානෙනි, යම් සේ මහාසමුද්‍ර‍යතෙම සියලු කුණපයෙන් ශූන්‍ය වූයේ ය. මහරජානෙනි, මහා සමුද්‍ර‍යාගේ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මේ පළමුවන ගුණය වන්නේ ය. තවද, මහරජානෙනි, මහත් වූ සමුද්‍ර‍යතෙම බැස ගොඩ දකින එතෙර මෙතෙර නැත්තේ ය. සියලු ම ගංගාවලින් නො පිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අනොරපාර ඇති මහත් වූ නිර්වාණයතෙම අනන්ත අසංඛ්‍ය වූ සියලු සත්වයන්ගෙන් නො පිරෙන්නේ ය. මහරජානෙනි, මහාසමුද්‍ර‍යාගේ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මේ දෙවෙනි ගුණය නම් වන්නේ ය. මහරජානෙනි, නැවත ද අනික් ගුණයෙක් ඇත. මහාසමුද්‍ර‍යතෙම මහා මත්ස්‍ය තිමිතිමිංගල තිමිරපිංගලාදි මහාසත්වයන්ට ආවාසය වූයේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම ශාරිපුත්‍රාන්නද මහාකාශ්‍යපාදී නිර්මලවිමලක්ෂීණාශ්‍ර‍වබලප්‍රාප්ත වශීභූත මාහභූත වූ රහතන් වහන්සේලාට ආවාස වූයේ ය. මහරජානෙනි, මහාසමුද්‍ර‍යාගේ නි්වාණයට ප්‍ර‍විෂ්ට වූ මේ තුන්වැනි ගුණය නම් වන්නේ ය. තවද, මහරජානෙනි, මහාසමුද්‍ර‍යතෙම අපරිමිත විපුලරළපුෂ්පකුසුමයෙන් ගැවසී ගත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම අපරිමිත විවිධවිපුල පරිශුද්ධවිද්‍යාවිමුක්තිපුෂ්පයෙන් පිපී ගියේ ය. කුසුමිත වි ය. මහරජානෙනි, මහාසමුද්‍ර‍යාගේ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මේ සතරවැනි ගුණය නම් වන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මහා සමුද්‍ර‍යාගේ මේ සතරගුණය නම් වන්නේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘භොජනයාගේ පඤ්චගුණයක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූයේ යැ’ යි කියා නුඹ වහන්සේ යමක් වදාළසේක් ද, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ භොජනයාගේ ඒ පඤ්චගුණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ භොජනය සියලු සත්වයන්ගේ ආයුෂය දරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම සාක්ෂාත් කළවුන්ගේ ජරා මරණ නැසීම් වසයෙන් ආයුෂය දරන්නේ ය. මහරජානෙනි, භොජනයාගේ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මේ ප්‍ර‍ථමගුණය වන්නේ ය. තවද, මහරජානෙනි, භොජනය නම් සියලු සත්වයන්ගේ බල වඩන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම සාක්ෂාත් කළා වූ සියලු සත්වයන්ගේ අනෙකවිධ සෘද්ධිබල වඩන්නේ ය. මහරජානෙනි, භොජනයාගේ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ මේ දෙවෙනි ගුණය නම් වන්නේ ය. තවද, මහරජානෙනි, භොජනය සියලු සත්වයන්ගේ ශරීරවර්ණය උපදවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය සාක්ෂාත් කළා වූ සියලු සත්වයන්ගේ ගුණවර්ණනාව උපදවන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ භොජනයාගේ මේ තුන්වන ගුණය නම් වන්නේ ය. තවද, මහරජානෙනි, භොජනය සියලු සත්වයන්ගේ දරථය ව්‍යපශමනය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම සාක්ෂාත් කළා වූ සියලු සත්වයන්ගේ සර්වක්ලෙශ දරථය ව්‍යපශමනය කරන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ භොජයාගේ මේ සතරවන ගුණය වන්නේ ය. තවද, මහරජානෙනි, භොජනය සියලු සත්වයන්ගේ ක්ෂුධාවෙන් වන දුර්වලබව දුරු කරන්නේ ය. (398) මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම සාක්ෂාත් කළා වූ සියලු සත්වයන්ගේ සර්වදුඃඛ ක්ෂුධාවෙන් වන දුර්වලබව දුරු කරන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ භොජනයාගේ මේ පස්වන ගුණය වන්නේ ය. මහරජානෙනි, භොජනයාගේ මේ පඤ්චවිධ ගුණයෝ නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ආකාශයාගේ දශගුණ කෙනෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ’ යි කියා නුඹ වහන්සේ යමක් වදාළසේක් ද, ඒ ආකාශයාගේ නිර්වාණය අනු ව ගියා වූ දශගුණයෝ කවරහු ද?” යි විචාළෝ ය.

“යථා මහාරාජ ආකාසො න ජායති, න ජීයති, න මීයති, න චවති, න උප්පජ්ජති, දුප්පසහො, අචොරාහරණො අනිස්සිතො, විහඞ්ගමගමනො, නීරාවරණො, අනන්තො, එවමෙව ඛො මහාරාජ නිබ්බාණං න ජායතී, න ජියති, න මීයති, න චවති, න උප්පජ්ජති, දුප්පසහං, අචොරාභරණං, අනීස්සිතං, අරියගමනං නිරාවරණං, අනන්තං. ඉමෙ ඛො මහාරාජ ආකාසස්ස දසගුණා නිබ්බාණං අනුපවිට්ඨාති”

“මහරජානෙනි, යම් සේ ආකාශය නො උපදින්නේ ය. නො ජීවත් වන්නේය, නො මියන්නේ ය, චුත නො වන්නේ ය, මතු නො උපදින්නේ ය. මැඩලිය නො හැක්කේ ය, සොරුන් ගත නො හැක්කේ ය. කිසි ආශ්‍ර‍යක් නැත්තේ ය, විහග හැසිරීම් ඇත්තේ ය, කිසි ආවරණයක් නැත්තේ ය. අනන්ත වූයේ ය, එපරිද්දෙන් ම මහරජානෙනි, නිර්වාණය තෙම නො උපදින්නේ ය, නො ජීවත් වන්නේ ය, නො මියන්නේ ය, චුත නො වන්නේ ය, මතු නො උපදින්නේ ය, මැඩ ගත නො හැක්කේ ය. සොරුන් ගත නො හැක්කේ ය, කිසි ආශ්‍ර‍යක් නැත්තේ ය, තුන් බුදු ආර්යගමන යා කිසි ආවරණයක් නැත්තේ ය, අනන්ත වූයේ ය. මහරජානෙනි, මොහු වනාහි නිර්වාණය අනු ව ගියා වූ ආකාශයාගේ දශගුණයෝ” යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘චින්තාමාණික්‍යරත්නයාගේ තුන්ගුණයක් නිර්වාණය හා අනු ව ගියේ ය” යි කියා නුඹ වහන්සේ යමක් කීසේක් ද, මාණික්‍යරත්නයාගේ නිර්වාණයට අනු ව ගියා වූ ඒ තුන් ගුණය කවරේ දැ?” යි විචාළෝ ය. මහරජානෙනි, යම් සේ මාණික්‍ය රත්නය කැමැති දෙයක් දෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය කැමැති දෙය දෙන්නේ ය. මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ නිර්වාණයට අනුව ගියා වූ මේ පළමු ගුණය නම් වන්නේ ය.තවද, මහරජානෙනි, මාණික්‍යරත්නය ප්‍රීති ජනනය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද ප්‍රීතිජනනය කරන්නේ ය. මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ මේ දෙවෙනි ගුණය නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූයේ ය. තවද මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ බැබළීමෙන් ප්‍රයොජන කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද බැබළීමෙන් ප්‍රයොජන කරන්නේ ය. “මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ මේ තුන්වන ගුණය නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූයේ ය. මහරජානෙනි, මාණික්‍යරත්නයාගේ මේ ගුණයෝ තුන්දෙන නිර්වාණය හා අනුව ගියාහු ය” යි කීසේක.

(399) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘රත්තචන්දනයාගේ තුන්ගුණකෙනෙක් නිර්වාණය හා අනුව ගියාහු ය’ යි කියා යමක් වදාළසේක් ද, ඒ නිර්වාණය හා අනු ව ගියා වූ රත්තචන්දනයාගේ තුන්ගුණය කවරේ ද?” යි විචාළෝ ය. ‘මහරජානෙනි, යම් සේ රත්නචන්දනය දුර්ලභ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය දුර්ලභ වන්නේ ය. මහරජානෙනි, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ ලොහිතචන්දනයාගේ මේ ප්‍ර‍ථම ගුණය නම් වන්නේ ය. තවද, මහරජානෙනි, ලොහිතචන්දනය අසදෘශ වූ සුගන්ධ ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද අසදෘශ වූ ගුණ සුගන්ධ ඇත්තේ ය. මහරජානෙනි, ලොහිතචන්දනයාගේ මේ දෙවෙනි ගුණය නිර්වාණයට අනු ව ගියේ ය. තවද, මහරජානෙනි, ලොහිතචන්දනය සජ්ජනයන් විසින් ප්‍ර‍ශස්ත වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය බුද්ධාදී ආර්යජනයන් විසින් ප්‍ර‍ශස්ත වන්නේ ය. මහරජානෙනි, මේ ලොහිතචන්දනයාගේ තුන්වන ගුණය නිර්වාණයට අනු ව ගියේ ය. මහරජානෙනි, මොහු වනාහි ලොහිතචන්දනයාගේ නිවණට අනු ව ගියා වූ තුන් ගුණයෝ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ගිතෙල්මණ්ඩයාගේ තුන්ගුණ කෙනෙක් නිර්වාණය හා අනු ව ගියාහු ය” යි කියා යමක් වදාළසේක් ද, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ ඒ සප්පිමණ්ඩයාගේ තුන්ගුණයෝ කවරහු ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ ගිතෙල් මණ්ඩය වර්ණසම්පන්න වී ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ගුණවර්ණයෙන් සම්පන්න වූයේ ය. මහරජානෙනි, සප්පිමණ්ඩයාගේ මේ ප්‍ර‍ථමගුණය නිර්වාණයට අනු ව ගියේ ය. තවද, මහරජානෙනි, සප්පිමණ්ඩය සුගන්ධ ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය මුළු ලෝ පතළ සීලසුගන්ධය ඇත්තේ ය. මහරජානෙනි, සප්පිමණ්ඩයාගේ මේ දෙවෙනි ගුණය නිර්වාණයට අනු ව ිගයේ ය. තවද, මහරජානෙනි, සප්පිමණ්ඩය මිහිරි රසය ඇත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද අනන්තරස ඇත්තේ ය. මහරජානෙනි, ගිතෙල්මණ්ඩයාගේ මේ තුන්වන ගුණය නිර්වාණයට අනු ව ගියේ ය. මහරජානෙනි, මොහු වනාහි සප්පි මණ්ඩයාගේ නිර්වාණයට අනු ව ගියා වූ තුන්ගුණයෝ යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පර්වතශිඛරයාගේ පඤ්ච ගුණ කෙනෙක් නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූහ’ යි කියා යමක් වදාළසේක් ද, නිර්වාණයට ප්‍ර‍විෂ්ට වූ පර්වතශිඛරයාගේ ඒ පස්ගුණයෝ කවරහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් සේ මහාමෙරු පර්වතශිඛරය ඉතා උස් ව ගියේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය ද තුන්ලෝ ඉක්ම ඉතා උස් ව ගියේ ය. මහරජානෙනි, පර්වතශිඛරයාගේ මේ පළමු වන ගුණය නිර්වාණයට අනු ව ගියේ ය. තවද, මහරජානෙනි, පර්වතශිඛරය අචල වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය අචල වන්නේ ය. මහරජානෙනි, පර්වතශිඛරයාගේ මේ දෙවෙනි ගුණය නිර්වාණයට අනුව ගියේ ය. තවද, මහරජානෙනි, පර්වතශිඛරයට නැගීම දුෂ්කර වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සක්ලෙශයන්ට නිර්වාණයට නැඟීම දුෂ්කර වන්නේ ය. මහරජානෙනි, පර්වතශිඛරයාගේ මේ තුන්වන ගුණය නිර්වාණයට අනු ව ගියේ ය. (400) තවද, මහරජානෙනි, පර්වතශිඛරයතෙම සියලු බීජජාතීන්ගේ නො හට ගැණීම කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය සර්වක්ලෙශයන්ගේ නො හට ගැණීම කරන්නේ ය. මහරජානෙනි, පර්වතශිඛරයාගේ මේ සතරවන ගුණය නිර්වාණය හා අනු ව ගියේ ය. තවද, මහරජානෙනි, පර්වතශිඛරයතෙම අනුනය ප්‍ර‍තිඝයෙන් මිදුනේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණයතෙම දයා ක්‍රොධ දෙකින් මිදුනේ ය. මහරජානෙනි, පර්වතශිඛරයාගේ මේ පස්වන ගුණය තෙම නිර්වාණයට අනු ප්‍ර‍විෂ්ට වූයේ ය. මහරජානෙනි, පර්වතශිඛරයාගේ මේ පඤ්චගුණයෝ නිර්වාණය හා අනු ව ගියාහු යි. මහරජානෙනි, අජරාමෘත වූ නිර්වාණ ධර්මයාගේ රූපවර්ණාදියක් නැති නියාව හා අනන්ත වූ ගුණයෙන් යුක්ත බව අප කී මේ එකුන්සාළිස් ගුණානුසාරයෙන් තොපගේ නුවණින් මනා කොට දැනගණුව” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

නිර්වාණඅරූපප්‍ර‍ශ්නය නිමි.

  1. වාසයක්

  2. වාසයක්

  3. වාසයක්