නිර්‍වාණ සාත ප්‍ර‍ශ්නය

නැවතත් නෛකවාදිවාරණකෙශරීන්ද්‍ර‍භූත වූ මිලිඳු නම් මහරජානෝ පරමරමණීය වූ නිර්වාණසැපතෙහි ලා සියලු ම විනෙයජනහෘදයානන්දනය කරන්නා වූ ප්‍ර‍ඥාගොචර වූ ප්‍ර‍ශ්නයක් අසනුවෝ “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණය එකාන්ත සැප වී ද? නොහොත් දුකින් මිශ්‍ර‍ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, නිර්වාණය එකාන්ත සැප ම ය. දුකින් අමිශ්‍රිත ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිර්වාණය එකාන්ත සැප ඇතැ යි කියා නුඹවහන්සේ විසින් වදාළ ඒ වචනය අපි නො අදහා ගණුම්හ. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ නුඹ වහන්සේ වදාළ මේ අර්ථයෙහි ‘අපි නිර්වාණය දුකින් මිශ්‍රිත ය’ යි කියා ගණුම්හ. නිර්වාණය දුකින් මිශ්‍රිත ය යි කියා අප කියන මේ අර්ථයෙහි කාරණයකුදු දැක ලද්දමෝ ය. එහි කාරණය කවරේ ද? යත්- ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ නුඹ වහන්සේ යම් ඒ නිවන් කැමති කෙනෙක් නිර්වාණය සොයද් ද, ඔහුගේ ශරීරයාගේ ද, චිත්තයාගේ ද දුක්ඛතාපනය සොකතාපනය දක්නා ලැබෙයි. සිටීම් සක්මන් කිරීම් පල්ලංක ව හිඳීම් ආහාර ගැණීම් සයනය කිරීම් නිදිමත වැළකීම් දක්නා ලැබෙයි. චක්ෂු සොත ඝාණ ජිව්හා කාය මන යන ෂඩායතනයන්ගේ මිරිකීම් දක්නා ලැබෙයි. නොයෙක් ධනධාන්‍ය ප්‍රිය වූ නෑ මිත්‍ර‍යන් හැරීම දක්නා ලැබෙයි. මේ ලොකයෙහි යම්කිසි කෙනෙක් සුඛිත වූ ද, සැපතින් වැඩුනාහු ද, ඒ සියල්ලෝ ම පඤ්චකාමගුණයෙන් චක්ෂුරාදී ෂඩායනතනයන් රමණය කරවති. පිණවති, සන්තොෂ කරවති. මනාප මනාප වූ බොහෝ ශුභකාරණා වූ රූපය කරණ කොට ගෙණ ඇස රමණය කරවති. පිණවති, මනාප මනාප වූ බොහෝ ගීතවාද්‍ය ශුභ කාරණ වූ මධුර වූ ශබ්දය කරණ කොට ගෙණ ශ්‍රොතය රමණය කරවති. පිණවති. මනාප මනාප වූ බොහෝ පුෂ්පඵල පත්‍ර‍ත්වක් මුල් හර ශුභ කාරණ වූ සුගන්ධයෙන් නාසය රමණය කරවති, පිණවති. මනාප මනාප වූ බොහෝ ඛාද්‍ය භොජ්‍ය ලෙය්‍ය පෙය්‍ය සායනීය්‍ය ශුභකාරණ වූ රසයෙන් දිව රමණය කරවති, පිණවති. මනාප මනාප වූ සිනිඳු වූ සියුම් වූ මෘදු මොළොක් වූ බොහෝ ශුභකාරණ වූ ස්පර්ශයෙන් ශරීරය රමණය කරවති, පිනවති. මනාප මනාප වූ යහපත් නපුරු ශුභාශුභ වූ බොහෝ නින්දිත විතර්ක මනස්කාරයෙන් සිත රමණය කරවති, පිණවති. නුඹ වහන්සේත් මේත් චක්ඛු සොත ඝාණ ජිව්හා කාය මන යන ෂඩායතනයන්ගේ පිණවීම නසනසේක. සිඳ හරණසේක, උපච්ඡෙදය කරණසේක, වළක්නාසේක, උපරුන්ධනය කරණසේක. ඒ කාරණයෙන් (392) ශරීරයත් දුක සේ තැවෙන්නේ ය. සිතත් දුක සේ තැවෙන්නේ ය. ශරීරය දුක සේ තැවුනු කල්හි කායිකදුක්ඛවෙදනාව විඳිනු ලැබෙයි. සිත තැවුනු කල්හි චෛතසිකදුක්ඛවෙදනාව විඳිනු ලැබෙයි. මාගන්දිය සූත්‍රයෙහි ද මාගන්දිය නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට ගර්හා කෙරෙමින් ‘භුනහු සමණො ගොතමො’ යන පදයෙන් ‘ශ්‍ර‍මණ භවත් ගෞතමයන් වහන්සේ අනභිවෘද්ධි කරණසේකැ’ යි මෙසේ කීයේ නො වේ ද? ‘නිර්වාණය දුකින් මිශ්‍ර‍ය’ යි කියා මම යම් කාරණයකින් කියන්නෙම් ද? මේ එහි කාරණය වන්නේ ය” යි කීහ.

“මහරජානෙනි, නිර්වාණය දුකින් මිශ්‍ර‍ නැත. නිර්වාණය එකාන්ත සැප ම ය. මහරජානෙනි, තෙපි වනාහි නිර්වාණසැපත දුකැ යි කියා යමක් කියවු ද? ඒ මේ නිර්වාණසැපත දුකක් නම් නැත්තේ ය. නිර්වාණයාගේ වනාහි සිද්ධ කිරීම පිණිස මේ පූර්වභාග ප්‍ර‍තිපදාව නම් වන්නේ ය. නිර්වාණය සෙවීම නම් වන්නේ ය. මහරජානෙනි, නිර්වාණය එකාන්තයෙන් ම සැප ඇත්තේ ම ය. දුකින් අමිශ්‍ර‍ ම ය. එහි මම කාරණයක් කියන්නෙමි. මහරජානෙනි, පෘථිවීශ්වර වූ රජුන්ගේ රාජ්‍යසැපත නම් වූ දෙයක් ඇද්දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, රජදරුවන්ගෙ රාජ්‍යසැපත නම් දෙයෙක් ඇතැ’ යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ රජසැපත දුකින් මිශ්‍ර‍ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, ඒ රජදරුවෝ ප්‍ර‍ත්‍යන්තරටවල් කුපිත වූ කල්හි ඒ ප්‍ර‍ත්‍යන්ත නිශ්‍රීත වූ සතුරන් සාදනු පිණිස පිරිස් නායක මහාමාත්‍යයන් හා යොධයන් හා බලප්‍ර‍ධානිකයන් හා නොයෙක් සෙනග පිරිවරා ගෙණ වාඩිවාසයට ගොස් මැසි මදුරු සීත සුළං වැසි අවු ආදියෙන් පීඩිත ව කුමක් පිණිස සම විෂමස්ථානයෙහි දිව පනින්නාහු ද, මහත් වූ යුද්ධ කරන්නාහු ද, ජීවිතය නො ලැබෙයි කියා කාංක්ෂාවටත් පැමිණෙන්නාහු” යි විචාළසේක. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මේ යුද්ධක්‍රියාව රජසැපතක් නො වන්නේ ය. රජසැපත සෙවීම පිණිස මේ පූර්වභාගක්‍රියාවෙක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රජදරුවෝ දුකින් ම රාජ්‍යය සොයා පසු ව රජසැපත අනුභව කෙරෙති. නාගසෙනයන් වහන්ස, මේ ප්‍ර‍කාරයෙන් රාජසැපත දුකින් අමිශ්‍ර‍ ම ය. ඒ රාජ්‍යසැපත අනිකෙක. දුක්ඛය අනිකෙකැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අමෘතමහානිර්වාණය ද එකාන්ත වූ සැප ඇත්තේ ය. දුකින් මිශ්‍ර‍ ද නැත්තේ ය. යම්කිසි කෙනෙක් ඒ නිර්වාණය සොයත් නම්, ඒ ශ්‍ර‍ද්ධාවත් උත්තමයෝ ශරීරයත් චිත්තයත් දෙක කෙලෙසුන් තවන වීර්යයෙන් තවා ඨානවංක්‍ර‍මණය නිෂද්‍යා සයනාහාර පමණින් යුක්ත කොට ගන්වා නිදිවර්ජිත කොට චක්ෂුරාදි ෂඩින්ද්‍රියයන් පීළනය කොට කායජීවිතදෙක පරිත්‍යාග කොට දුක සේ නිර්වාණය සොයා නසන ලද පසමිතුරන් ඇති ව රජසැප අනුභව කරණ රජදරුවන් මෙන් එකාන්ත සැප වූ නිර්වාණසම්පත්තිය අනුභව කෙරෙති. මහරජානෙනි, මෙසේ නිර්වාණය එකාන්ත සැප ඇත්තේ ය. දුකින් මිශ්‍ර‍ නැත්තේ ය. නිර්වාණය අනිකෙක. දුක් අනිකෙක.

(393) “මහරජානෙනි, අනිකුදු ඉතිරි කාරණයක් ඇසුව මැනව. නිර්වාණය එකාන්ත සැප ඇත්තේ ය. දුකින් මිශ්‍ර‍ නැත්තේ ය. දුක අනිකෙක. නිර්වාණය අනිකෙක. මහරජානෙනි, ශිල්පවත් ආචාර්යවරයන්ගේ ශිල්ප සැපයෙක් නම් ඇද් ද?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ශිල්පවත් වූ ආචාර්යවරයන්ගේ ශිල්ප සැපයෙක් ඇතැ” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ ශිල්පසැපත දුකින් මිශ්‍ර‍ ද?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, ඒ අන්තෙවාසිකයෝ කුමක් පිණිස ආචාර්යවරයන්ට අභිවාදන ප්‍ර‍ත්‍යුත්ථානයෙන් හා පානීයාභරණ ගෘහස්මමාර්ජන දැහැටි මුඛොදකානුප්‍ර‍දානයෙන් හා ඉඳුල් ප්‍ර‍තිග්‍ර‍හණ වෙර ඉළීම් නැහැවීම් පාදපරිකර්මයෙන් තමාගේ සිත හැරපියා අනුන්ගේ සිත සේ පවතිමින් දුක්ඛිත ව සයනය කිරීමෙන් අවෙලාවෙහි විෂම භොජනය අනුභව කිරීමෙන් ශරීරය තවාලන්නාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ මේ ශරීර තාපනය ශිල්පසැපතෙක් නම් නො වන්නේ ය.[1] ශිල්පය සෙවීමෙහි මේ පූර්වභාග ක්‍රියාවෙක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අන්තෙවාසිකයෝ දුක සේ ආචාර්යශිල්පය සොයා ගෙණ පසු ව සිල්සැපත අනුභව කරන්නාහු ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍ර‍කාරයෙන් ශිල්පසැපත දුකින් අමිශ්‍ර‍ ම ය. ඒ ශිල්පසැප අනිකෙක. ඒ පැවති දුක්ඛය අනිකෙකැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නිර්වාණය එකාන්ත සැප ඇත්තේ ය, දුකින් මිශ්‍ර‍ නැත්තේ ය. යම් කෙනෙක් ඒ නිර්වාණය සොයන්නාහු නම්, ඒ සත්වයෝ ශරීරයත් සිතත් දෙක තවා සිටීමෙන් සක්මන් කිරීමෙන් හිඳීමෙන් ආහාර ගැණීමෙන් පමණින් යුක්ත කොට ගෙණ නිදිවර්ජිත කොට චක්ෂුරාදි ෂඩායතනය පීළනය කොට නිවන් පිණිස කායජීවිතය පරිත්‍යාග කොට දුක සේ නිර්වාණය සොයා එකාන්තසැප වූ නිර්වාණය ශිල්පසැපත අනුභව කරණ ගුරුන් සෙයින් අනුභව කරන්නාහු ය. මහරජානෙනි, මෙසේ නිර්වාණය එකාන්ත වූ සැප ඇත්තේ ය, දුකින් මිශ්‍ර‍ නැත්තේ ය. නිවන් සොයන දුක අනිකෙක, නිවන් අනිකෙකැ” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේසේ මෙ ප්‍ර‍ශ්නය ද එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

නිර්වාණසාතප්‍ර‍ශ්නය නිමි.

  1. නො වන්නාහ