සත්වන වර්ගය

star_outline

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කොපමණ ආකාරයකින් සිහි උපදනේ දැ?” යි කීහ. “මහරජානෙනි, සොළොස් ආකාරයකින් සිහි උපදනේ ය” යි කීසේක. “කවර සොළොස් ආකාරයකින් දැ?” යි කීහ. “මහරජානෙනි, මනා ව දැනීමෙනුත් සිහි උපදනේ ය. කටුමිකායෙනුත් සිහි උපදනේ ය. ඔළාරික වූ විඤ්ඤාණ වසයෙනුත් සිහි උපදනේ ය. හිතවිඤ්ඤාණ වසයෙනුත් සිහි උපදනේ ය. අහිතවිඤ්ඤාණ වසයෙනුත් සිහි උපදනේ ය. සභාගනිමිත්ත වශයෙනුත් සිහි උපදනේ ය. විසභාගනිමිත්ත වසයෙනුත් සිහි උපදනේ ය. කථාභිඤ්ඤාණ වසයෙනුත් සිහි උපදනේ ය. ලක්ෂණ වසයෙනුත් සිහි උපදනේ ය. සරණවසයෙනුත් සිහි උපදනේ ය. මුද්‍රාවසයෙනුත් සිහි උපදනේ ය. ගණන් වසයෙනුත් සිහි උපදනේ ය. ධාරණ වසයෙනුත් සිහි උපදනේ ය. භාවනා වසයෙනුත් සිහි උපදනේ ය. පොත්ථකනිබන්ධ වසයෙනුත් සිහි උපදනේ ය. උපනිඃක්ෂෙප වසයෙනුත් සිහි උපදෙන් ය. අනුභූත වසයෙනුත් සිහි උපදනේ ය” යි කීසේක.

“කෙසේ නම් මනා ව දැනීමෙන් සිහි උපදනේ දැ?” යි කීහ. මහරජානෙනි, ආයුෂ්මත් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද ඛුජ්ජුත්තරා නම් උපාසිකාවෝ ද වෙනත් යම් කිසි අනික් කෙනෙක් ජාතිස්මරණනුවණ ඇත්තාහු අතීත ජාතිය (82) සිහි කරන්නාහ. මෙසේ අභිජානන වසයෙන් සිහි උපදනේ ය. කටුමිකා නම් සිහිය කෙසේ නම් උපදනේ දැ?” යි යතහොත්:- යමෙක්තෙම ප්‍ර‍කෘතියෙන් ම සිහි මුළාකාරී වී නම්, ඕහට සිහි කරවනු පිණිස සෙසු අන්‍යජනයෝ “එම්බල තට මෙබඳු දෙයක් සිහි ඇද් ද? නැද් දැ? යි සිහි කරව” යි කියා නිබන්ධනය කෙරෙති. මෙසේ කටුමිකා සිහි උපදනේ ය. කෙසේ නම් ඔළාරිකවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ දැ?” යි යතහොත්:- යම් දවසෙක රාජ්‍යසම්පත්තියෙහි හෝ අභිෂෙකයට පැමිණියේ වේ ද, සෝවාන් ඵලයට හෝ පැමිණියේ වේ ද, මෙසේ ඔළාරිකවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ ය. කෙසේ නම් හිතවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ ද? යත හොත්:- යම් තැනක දී සුඛිත වන ලද්දේ වී නම්, ‘මෙනම් ස්ථානයෙහි දී මෙසේ සුඛිත වන ලද්දෙමි’ යි කියා සිහි උපදනේ ය. මෙසේ හිතවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ ය. අහිතවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- යම් තැනක දී දුඃඛිත වන ලද්දේ වී නම්, ‘මෙනම් ස්ථානයේ දී මෙසේ දුඃඛිත වන ලද්දෙමි’ යි කියා සිහි කරන්නේ ය. මෙසේ අහිතවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ ය. සභාගනිමිත්ත වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- යම් දිසාවක දී පුද්ගලකෙනෙකුන් දැක තමාගේ මෑනියන් හෝ පියානන් හෝ සහෝදරයකු නැගනියක හෝ සිහි කරන්නේ ය. ඔටුවෙකු හෝ ගොනෙකු හෝ ගද්‍ර‍භයෙකු හෝ දැක රූපවර්ණාදීන් එබඳු වූ වෙනින් ඔටුවෙකු හෝ ගොනෙකු හෝ කොටළුවෙකු හෝ සිහි කරන්නේ ය. මෙසේ සභාගනිමිත්තවසයෙන් සිහි උපදනේ ය. විසභාග නිමිත්ත වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- අසවලාගේ නම් වර්ණය මෙබඳු වූයේ ය. ශබ්දය මෙබඳු වූයේ ය. ගන්ධය මෙබඳු වූයේ ය. රසය මෙබඳු වූයේ ය. ස්පර්ශය මෙබඳු වූයේ ය යි කියා මෙසේ විසභාග නිමිත්ත වසයෙන් සිහි උපදනේ ය. කථාවිඤ්ඤාණ වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- යමෙක්තෙම ප්‍ර‍කෘතියෙන් ම මුළා සිහි ඇත්තේ වේ ද, ඕහට සෙසු ජනයෝ සිහි කරවති. ඒ කාරණයෙන් ඒ පුරුෂතෙම සිහි කරන්නේ ය. මෙසේ කථාභිඤ්ඤාණ වශයෙන් සිහි උපදනේ ය. ලක්ෂණ වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- යමෙක්තෙම ගොනුන්ගේ ලකුණෙන් දැන ගන්නේ ය. මෙසේ ලක්ෂණ වසයෙන් සිහි උපදනේ ය. සරණ වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- යමෙක්තෙම ප්‍ර‍කෘතියෙන්ම මුට්ඨස්සතික වේ ද? ඕහට යමෙක්තෙම ‘පින්වත, සිහි කරව’ ‘පින්වත සිහි කරව’ යි කිය කියා නැවත නැවතත් සිහි කරවන්නේ ය. මෙසේ පිහිට වසයෙන් සිහි උපදනේ ය. මුද්‍රා වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- ලියමනෙහි ශික්ෂිත වූ බැවින් මේ අක්ෂරයට අනතුරු ව මේ අකුර කට යුතු ය යි කියා දැන ගන්නේ ය. මෙසේ මුද්‍රා වසයෙන් සිහි උපදනේ ය. ගණන් වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- ගණනෙහි ශික්ෂිත බැවින් ගණන් කාරයෝ බොහෝ සේ ගණන් කෙරෙති. මෙසේ ගණන් වසයෙන් සිහි උපදනේ ය. ධාරණ වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- ප්‍ර‍ගුණධාරණශක්තියෙහි ශික්ෂිත වූ බැවින් ධාරණබහුශ්‍රැතයෝ (83) බොහෝ සෙයින් ධාරණය කෙරෙති. මෙසේ ධාරණ වශයෙන් සිහි උපදනේ ය. භාවනාවසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- මේ ශාසනයෙහි භික්ෂුතෙම අනෙකප්‍ර‍කාර වූ පූර්වෙනිවාස-අතීතජාති දක්නා නුවණ ලදින් සිහි කරන්නේ ය. ඒ කවරේ ද? එක ම ජාතියෙක, ජාතිදෙකෙක, ජාති තුනෙක, සතරෙක, පසෙක, දසයෙක, ජාතිසියයෙක, දහසෙක, ලක්ෂයෙක යනාදීන් නොයෙක් ජාති දැක ‘අසවල් තැන උපන්නෙමි. එයින් මිස අසවල් තැන උපන්නෙමි’ යනාදීන් මෙසේ සුන්දර වූ ආකාර ඇති ගොත්‍ර‍නාමාදි උද්දෙස සහිත වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන්නේ ය. මෙසේ භාවනා වසයෙන් සිහි උපදනේ ය. පොත්ථකනිබන්ධන වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- ධාර්මික වූ රජදරුවෝ පූර්වරාජ්‍යානුශාසනාව සිහි කෙරෙමින් ‘පූර්වලිඛිත රාජ ධාර්මික වූ එක් පොතක් ඇත් නම් ගෙණෙව’ යි කියා ගෙන්වා බලා ඒ පොත කරණ කොට ගෙණ සිහි කෙරෙති. මෙසේ පොත්ථකනිබන්ධක වසයෙන් සිහි උපදනේ ය. උපනිඃක්ෂෙපණ වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- ලඟ තුබූ භාණ්ඩයක් දැක සිහි කරන්නේ ය. මෙසේ උපනිඃක්ෂෙපණ වසයෙන් සිහි උපදනේ ය. අනුභූත වසයෙන් සිහි උපදනේ කෙසේ දැ? යි යත හොත්:- දුටු බැවින් රූපය සිහි කරන්නේ ය. ඇසූ බැවින් ශබ්දය සිහි කරන්නේ ය. ආඝ්‍රාණය කළ බැවින් ගන්ධය සිහි කරන්නේ ය. සායනය කළ බැවින් රසය සිහි කරන්නේ ය. ස්පර්ශය වූ බැවින් ස්පර්ශය සිහි කරන්නේ ය. විඤ්ඤාත බැවින් ධර්මචින්තාව සිහි කරන්නේ ය. මෙසේ අනුභූත වසයෙන් සිහි තොම උපදනේ ය. මහරජානෙනි, මේ යථොක්ත වූ සොළොස් ආකාරයෙන් සිහි උපදනේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි කියා ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘යමෙක් සියක් අවුරුදු මුලුල්ලෙහි ප්‍රාණඝාතඅකුශලකර්මය කරන්නේ වී නම්, මරණකාලයෙහි බුද්ධගතාසතිය යි කියන ලද එක වරක් බුදුනුසිහි[1] ලැබුයේ වී නම්, ඒ පුරුෂතෙම දිව්‍යලොකයෙහි උපදින්නේ ය’ යි කියා මෙසේ කියනසේක. මේ වචනය මම නො අදහමි. ‘එක් වරක් කළ ප්‍රාණාතිපාතඅකුශලයෙන් නරකයෙහි උපදනේ ය ’ යි මෙසේ ද වනාහි කියනසේක. මේ වචනයත් මම නො අදහමි” යි කීහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් සිතන්නහු ද? ඉතා කුඩා වූ ගලක් වී නමුත් නැවෙන් මිස උදක මත්තෙහි ඉල්ප යේ දැ?” යි විචාළසේක. “නැත; ස්වාමීනි” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, පාසාන-ගල් වලින් වාහ නම් වූ යාළවල් සියයක් නැවට නඟන ලද්දේ වී නම්, ජලයෙහි එගොඩට ඉල්ප යේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ඉල්පෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, නැව යම් සේ ද, එපරිද්දෙන් ම කුශලකර්මයෝ දත යුත්තාහ” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූ සේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කිමෙක් ද, නුඹවහන්සේ අතීත වූ දුක්ඛයාගේ දුරු කිරීම පිණිස ව්‍යායාම කරණසේක් දැ?” යි කීහ. “නැත, මහරජානෙනි,”යි කීසේක. “කිමෙක් ද, අනාගත[2] වූ දුක්ඛයාගේ ප්‍ර‍හාණය පිණිස ව්‍යායාම කරණ සේක් දැ?” යි කීහ. “නැත (84) මහරජානෙනි,’ යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, වර්තමාන වූ දුක්ඛයාගේ ප්‍ර‍හාණය පිණිස ව්‍යායාම් කරණසේක් දැ?” යි කීහ. “නැත, මහරජානෙනි” යි කීසේක. “ඉදින් ස්වාමීනි, නුඹ වහ්නසේ අතීත වූ දුඃඛයාගේ ප්‍ර‍හාණය පිණිසත් ව්‍යායාම නො කරණ සේක් නම්, අනාගත වූ දුඃඛයාගේ දුරු කිරීම පිණිසත් ව්‍යායාම නො කරණසේක් නම්, වර්තමාන වූ දුඃඛයාගේ ප්‍ර‍හාණය පිණිසත් ව්‍යායාම නො කරණසේක් නම්, නැවැත කුමක් පිණිස මෙසේ ව්‍යායාම කරණ සේක් දැ?” යි කීහ. එකල තෙරුන් වහන්සේ “කිමෙක් ද, මහරජානෙනි, මේ දුක් නිරුද්ධ වේ ද? අනික් දුකක් නො උපදී ද? මේ අර්ථය පිණිස අපි ව්‍යායාම කරම්හ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අනාගත වූ දුඃඛයක් ඇද්දැ?” යි කීහ. “නැත, මහරජානෙනි” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ඉතා විශෙෂ වූ පණ්ඩිතත්වයෙන් යුක්ත වූසේක. යම්බඳු වූ නුඹ වහන්සේ නැත්තා වූ දුඃඛයන්ගේ ප්‍ර‍හාණය පිණිස ව්‍යායාම කරණ සේක් දැ”යි කීහ. “මහරජානෙනි, තොපට සතුරු වූ පසමිතුරු වූ කිසි ප්‍ර‍තිවිරුද්ධරජ්ජුරු කෙනෙක් ඇද් ද, ඒ රජ්ජුරුවෝ තොප හා යුද්ධයට සැරහී පටන් ගත්තාහු වෙද් දැ” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, එසේ යුද්ධයට එන රජ දරුවෝ ඇතැ” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, එකල්හි තෙපි නුවර වටා දිය අගළ මඩ අගළ කොටවා පියන්නහු ද? ප්‍රාකාරය බන්දවා පියන්නහු ද? වාසලදොරටුව කරවා පියන්නහු ද? මුරපැල් අටල්ල කරවා පියන්නහු ද? ධාන්‍යජාතීන් ගෙන්වා රැස් කරවා පියන්නහු ද?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඊට පළමුවෙන් ම ඒ දිය අගළ ආදිය පිළියෙළ කරණ ලද්දේ වන්නේ ය” යි කීහ.

“කිමෙක් ද, මහරජානෙනි, තෙපි එදවස්හි ම ඇතුන් නැඟීමෙහි ශික්ෂණය වන්නහු ද? අසුන් නැඟීමෙහි හික්මෙන්නහු ද? රථ නැඟීමෙහි හික්මෙන්නහු ද? ධනුශ්ශිල්පයෙහි හික්මෙන්නහු ද? කඩුමිටි සරමෙහි හික්මෙන්නහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඊට පළමුවෙන් ම ඒ ඇතුන් නැඟීම් ආදිය ශික්ෂිත වන ලද්දේ වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අනාගත වූ භය දුරු කරණු පිණිස ය” යි කීහ. “කිමෙක් ද? මහරජානෙනි, අනාගත වූ භය ය යි කියා භයෙක් ඇද් දැ?” යි විචාළසේක. “නැත; ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, තෙපි වනාහි ඉතා විශෙෂ වූ පණ්ඩිතත්වයෙන් යුක්ත වූවහු ය. යම්බඳු වූ තෙපි අනාගත වූ භයයන්ගේ ප්‍ර‍තිබාහනය පිණිස යුද්ධයට වුවමනා දෙය සම්පාදනය කරන්නෝ වවු දැ?”යි කීසේක.

“ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් නම් සිතන්නහු ද? යම් දවසෙක තෙපි පිපාසිත වන්නහු වී නම්, එදවස් තෙපි ‘පැන් පානය කෙරෙමි’ යි කියා ලිඳක් සාරවා පියන්නහු ද? පොකුණක් සාරවන්නහු ? විලක් සාරවන්නහු දැ?”යි විචාළසේක. “නැත, ස්වාමීනි, පළමු කොට ම ඒ ලින්පොකුණු ආදිය පිළියෙල කරණු ලබන්නේ වෙයි” කීහ. “කුමක් පිණිස දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අනාගත වූ පිපාසාවන්ගේ ප්‍ර‍තිබාහනය පිණිස පිළියෙළ කරණ ලද්දේ වෙ” යි කීහ. “මහරජානෙනි, අනාගත වූ පැන් පිපාසාවෙක් ඇද් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, තෙපි වනාහි ඉතා විශේෂ වූ පණ්ඩිතත්වයෙන් (85) යුක්ත වූවහු ය.” යම්බඳු වූ තෙපි අනාගත වූ පැන් පිපාසාසයාගේ ප්‍ර‍තිබාහනය පිණිස ඒ කූපාදිය සම්පාදනය කරන්නාහු වේ දැ?”යි කීසේක.

“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, ඒ තෙපි කුමක් නම් සිතන්නහු ද? යම් දවසෙක තෙපි ක්ෂුධාවෙන් පීඩිත වූවහු නම්වූ, එකල්හි තෙපි බත් අනුභව කෙරෙමි යි සිතා කෙතක් සාවන්නහු ද? ඇල් වපුරන්නහු දැ?” යි විචාළසේක. “නැත; ස්වාමීනි, පළමු කොට ම ඒ සීසෑම් ආදිය සම්පාදනය කරණ ලද්දේ ය”යි කීහ. “කුමක් පිණිස දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අනාගත වූ ක්ෂුධාවන්ගේ දුරු කිරීම පිණිස ය” යි කීහ. “මහරජානෙනි, අනාගත වූ ක්ෂුධාගින්නෙක් ඇද් දැ?” යි විචාළසේක. “නැත; ස්වාමීනි” යි කීහ. “එසේ වී නම්, මහරජානෙනි, තෙපි වනාහි ඉතා විශෙෂ වූ පණ්ඩිතත්වයෙන් යුක්ත වූවහු ය. යම්බඳු වූ තෙපි අවිද්‍යමාන වූ අනාගතක්ෂුධාවන්ගේ ප්‍රතිබාහනය පිණිස ක්ෂෙත්‍ර‍ කසනාදීන් සම්පාදනය කරන්නහු දැ?” යි විචාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ මනුෂ්‍ය ලොකයෙහි පටන් මුදුන් කෙළවර බ්‍ර‍හ්මලොකය කොපමණ දුර දැ?” යි කීහ. “මහරජානෙනි, මේ මනුෂ්‍යලොකයට බ්‍ර‍හ්මලොකය ඉතා දුර ය. උඩුමහල්ගැබ්ගෙයක් පමණ ගලක් ඒ බඹලොවින් පාත හෙළන ලද්දේ වී නම්, එක ම රැයකුත් දහවලින් සතළිස්අටදාහක් යොදුන් පාත බසිමින්, සාරමසකින් පොළෝතලයෙහි පිහිටන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘යම් සේ බලවත් වූ පුරුෂයෙක් වක් කළ අතක් දික් කෙරේ ද, දික් කළ අතක් වක් කෙරේ ද? එපරිද්දෙන් ම මනොවශීප්‍රාප්ත වූ සෘද්ධිමත් භික්ෂූන් වහන්සේ මේ දඹදිව දී අන්තර්ධාන වෙමින් බ්‍ර‍හ්මලොකයෙහි පහළ වන්නෝ ය’ යි කියා මෙසේ කියනසේක් නො වේ ද? මේ වචනය මම නො අදහමි. මෙසේ අතිශීඝ්‍ර‍ ව ඒ තාක් බොහෝ යොදුන් සියදහස්ගණනක් කෙසේ යේ දැ?” යි කීහ. එකල තෙරුන් වහන්සේ “මහරජානෙනි, තොපගේ වනාහි ජාතභූමිය කොතැන්හි දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අලසන්දා නම් දීපයෙක් ඇත. ඒ අලසන්දායෙහි මම උපන්නෙමි” යි කීහ. “මහරජානෙනි, මෙයින් අලසන්දාව කොපමණ දුර වේ දැ?” යි කීසේක. “ස්වාමීනි, දෙසියයක් යොදුන් පමණ දුර ඇතැ” යි කීහ. “මහරජානෙනි, තෙපි ඒ අලසන්දායෙහි දී කිසියම් කට යුත්තක් කොට දැන් සිහි කරණ ලද්දෝ වූ නම්, මනා කොට ම දනු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, සිහි කරන්නෙමි” යි කීහ. “මහරජානෙනි, තෙපි දැන් ඉතා කඩිනමින් දෙසියයක් පමණ යොදුන් ගියාහු දැ?” යි විචාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූ සේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් තෙම මේ සාගලපුරයෙහි දී කාලක්‍රියා කොට බ්‍ර‍හ්මලොකයෙහි උපදින්නේ ය. යමෙක්තෙම මෙහි දී කාලක්‍රියා කෙරෙමින් කාශ්මීරදෙශයෙහි උපදින්නේ ය. ඒ දෙදෙනාගෙන් කවරෙක් බොහෝ කලකින් උපදී ද? කවරෙක් ශීඝ්‍ර‍තර ව උපදී දැ?” යි කීහ. “මහරජානෙනි, එක සමව ම උපදනාහු ය” යි කීසේක. උපමාවක් (86) කර වදාළ මැනැවැ” යි කීහ. මහරජානෙනි, “තොපගේ වනාහි උපන් නුවර කොතැන්හි දැ?” යි විචාළ සේක. “ස්වාමීනි, කලසී නම් ග්‍රාමයෙක් ඇත. එහි මම උපන්නෙමි” යි කීහ. “මහරජානෙනි, ඒ කලසී ගම මෙයින් කොපමණ දුර වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, දෙසියයක් පමණ යොදුන් වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, මෙයින් කාශ්මීරදෙශය කොපමණ දුර දැ?” යි විචාළසේක. “ස්වාමීනි, දොළොස් යොදුනෙකැ” යි කීහ. “මහරජානෙනි, තෙපි අතිකඩිනමින් ඒ කලසි ග්‍රාමය සිතව” යි කීසේක. “ස්වාමීනි, සිතන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, තෙපි වහා ම කාශ්මීරය සිතව” යි කීසේක. “ස්වාමීනි, සිතන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, කවරෙක් වනාහි බොහෝ කලකින් සිතන ලද ද? කවරෙක් ශීඝ්‍ර‍තර ව සිතන ලද දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එකසම ව ම සිතමි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් මෙහි කාලක්‍රියා කෙරෙමින් බ්‍ර‍හ්මලොකයෙහි උපදින්නේ වේ ද, යමෙක් මෙහි කාලක්‍රියා කෙරෙමින් කාශ්මීරයෙහි උපදින්නේ වේ ද, ඒ දෙදෙන ම එකසම ව උපදින්නාහු ය” යි කීසේක.

“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, කුමක් සිතන්නාහු ද? පක්ෂීහු දෙදෙනෙක් ආකාශයෙන් යන්නාහු වූ නම්, ඒ දෙදෙනා අතුරෙන් එක් පක්ෂියෙක් බොහෝ උස් රුකෙක ඇවිත් හිඳිනේ ය. එකෙක් මිටි රුකෙක ඇවිත් හිඳිනේ ය. එකවර ම වසා සිටියා වූ ඔවුන්ගෙන් කාගේ ඡායාව පළමු කොට පෘථිවියෙහි පිහිටන්නේ වේ ද? කවරක්හුගේ ඡායාව බොහෝ වේලාවකින් පෘථිවියෙහි පිහිටන්නේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එක සමාන මැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් කාලක්‍රියා කෙරෙමින් බ්‍ර‍හ්මලොකයෙහි උපදින්නේ වේ ද, යමෙක් මෙහි කාලක්‍රියා කෙරෙමින් කාශ්මීරයෙහි උපදින්නේ වේ ද, ඒ දෙදෙන ම එක සමාන ව ම උපදින්නාහු” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥ බොධියට අංග වූ බොධ්‍යංගයෝ කොපමණ දැ?” යි කීහ. “මහරජානෙනි, බුදු වන මහොත්තමයන්ට අංග වූ බොධ්‍යංගයෝ සද්දෙනෙකැ” යි කීසේක. “ස්වාමීනි, කොපමණ බොධ්‍යංගධර්ම කෙනෙකුන් කරණකොට ගෙණ බුදු වන්නේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, එක ම බොධ්‍යංගයකින් බුදු වන්නේ ය. කවර බොධ්‍යංගයකින් ද? යත්:- “ධර්මවිචයබොධ්‍යංගය යිකියන ලද ප්‍ර‍ඥාබොධ්‍යංගයෙන් බුදු වන්නේ ය” යි කීසේක. “එසේ වී නම් ස්වාමීනි, කුමක් පිණිස සප්තබොධ්‍යංග ධර්ම කෙනෙකැ යි කියනු ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒ කුමක් සිතන්නහු ද? ඛඞ්ගය කොපුවෙහි බහාලමින් අල්වා ගෙණ කැපිය යුතු දෙයක් හස්තයෙන් කපා පියන්නට හැකි වේ දැ?” යි විචාළ සේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍ඥාවිචයබොධ්‍යංගය හැර ඉතිරි ෂඩ්බොධ්‍යංගයෙන් බුදු විය නො හැක්කේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

(87) නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලෝකවාසී සත්වතෙම කුශලයක් හෝ අකුශලක් හෝ කළ කල කවරක් බොහෝ වේ දැ?” යි කීහ. “මහරජානෙනි, කුසල් බොහෝ වන්නේ ය. අකුසල් ඉතා මඳ වන්නේ ය” යි කීසේක. කවර කාරණයකින් දැ?” යි කීහ. “මහරජානෙනි, අකුසල් කෙරෙමින් ‘මා විසින් පාපකර්මය කරණ ලදැ” යි කියා විපිළිසර වන්නේ ය. ඒ කාරණයෙන් අකුසල් නො වඩින්නේ ය. මහරජානෙනි, පිණක් කෙරෙමින් සන්තොස මුත් විපිළිසර නොවන්නේ ය. විපිළිසර නො වන්නාහට සන්තොස උපදින්නේ ය. ප්‍ර‍මුදිත වූවහුට ප්‍රීති උපදනේ ය. ප්‍රීතිසිත් ඇත්තාහට ශරීරය සන්හිඳෙන්නේ ය. සන්හිඳුනා වූ ශරීර ඇත්තේ සැප විඳින්නේ ය. සුඛිත වූවහුගේ සිත එකඟ වන්නේ ය. සිත එකඟ ව සන්හිඳුනා වූ පුරුෂතෙම තත් වූ පරිද්දෙන් කුසලානිසංසය ඇතැ’යි කියා දැන ගන්නේ ය. ඒ කාරණයෙන් කුසල් වඩින්නේ ය. ‘මහරජානෙනි, සිඳුනා වූ හස්තපාදයන් ඇති එක්තරා පුරුෂයෙක් අතීතයෙහි බුදුකෙනෙකුන් වහන්සේට එක් මහනෙල් මල් අහුරක් පුදා ඒකානූකල්පයක් මුළුල්ලෙහි අපා දුකකට නො පැමිණියේ ය. මහරජානෙනි, මෙම කාරණයෙන් කුසල් බොහෝ ය යි අකුසල් ඉතා මඳ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් තෙම දැන දැන පව්කම් කරන්නේ ය. යමෙක්තෙම නො දැන පාපකර්ම කරන්නේ ය. අකුසල් බොහෝ කවරක්හට දැ?” යි කීහ. එකල තෙරුන්වහන්සේ “මහරජානෙනි, යමෙක් තෙම නො දැන අකුසල් කරන්නේ වී නම්, ඕහට අකුසල් බොහෝ ය” යි කීසේක. “එසේ ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අපගේ රාජකුමාරයෙක් හෝ රාජ මහාමාත්‍යයෙක් හෝ දැන පවිටුකර්මයක් කෙළේ වී නම්, ඕහට අපි ද්විගුණයක් දඬුවම් පණවම්හ” යි කීහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් නම් සිතන්නහු ද? ගිනි ගෙණ දිලියෙන්නා වූ හාත්පසින් ගිනි ගෙණ දිලියෙන්නා වූ ගිනි ම කඳක් සෙයින් සජොතිභූත වූ එහෙයින් ම රත් වූ යකඩගුළියක් එකෙක් නො දැන අල්වන්නේ වී නම්, එකෙක් දැන දැන අල්වන්නේ වී නම්, ඒ දෙදෙනාගෙන් කවරෙකු බලවත් කොට දවන්නේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, යමෙක්තෙම නො දැන අල්වා ගන්නේ වී නම්, බලවත් කොට ඔහු දවන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් නො දැන අකුසලකර්‍මයෙක් කරන්නේ වී නම්, ඕහට අකුසල් බොහෝ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ මානුසික වූ ශරිරදෙහයෙන් උතුරුකුරුදිවයිනට හෝ යන්නේ වේ ද, බ්‍ර‍හ්මලොකයට හෝ යන්නේ වේ ද, දෙව්ලොවට හෝ යන්නේ වේ ද, අනික් දීපයකට හෝ යන්නේ වේ ද, එබඳු වූ කිසිවෙක් ඇද් දැ?” යි කීහ. “මහරජානෙනි, යමෙක් මේ සතරමහාභූතික වූ ශරීරයෙන් උතුරුකුරුදිවයිනට යන්නේ වේ ද? බ්‍ර‍හ්මලොකයට යන්නේ වේ ද? දෙව්ලොවට යන්නේ වේද? අනික් දිවයිනකට යන්නේ වේ ද? එබඳු කෙනෙක් ඇතැ”යි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් (88) වහන්ස, මේ සතර මහාභූතික වූ ශරීරයෙන් උතුරුකුරුදිවයිනට හෝ බඹලොවට හෝ දෙව්ලොවට හෝ අනික් දිවයිනකට හෝ කෙසේ නම් යන්නේ වේ දැ?” යි කීහ. “මහරජානෙනි, තෙපි මේ පෘථිවියෙහි පටන් වියතක් හෝ රියනක් හෝ අහසට ලංඝනය කොට ගියබවක් මනා ව දනු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, දනිමී. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම වනාහි අටරියනක් උස අහසට සැප සේ පනින්නෙමි” යි කීහ. “මහරජානෙනි, තෙපි අට රියනක් තැන් කෙසේ පනින්නහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, මම වනාහි ‘මෙතැන්හි දී උඩ පනිමි’ යි කියා සිත් උපදවන්නෙමි. චිත්තුප්පාදය හා සමග ම මාගේ ශරීරය සැහැල්ලු ව අහසට යන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම චිත්තයාගේ වශීප්‍රාප්ත වූ සෘද්ධිමත් භික්ෂූන්වහන්සේ කය සිතට නගා ගෙණ අද්‍ර‍ව්‍ය වූ සිත වශයෙන් ම ආකාශයට යන්නාහ” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූ සේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියක් යොදුන් දිග ඇති අස්ථි ඇතැ යි කියා නුඹ වහන්සේ මෙසේ කියනසේක. එපමණ සියක්යොදුන් වූ වෘක්ෂයකුත් නැති කල සියක් යොදුන් දිග වූ අස්ථීහු කොයින් ඇති වෙද් දැ?” යි කීහ. “මහරජානෙනි, හේ නුඹ කුමක් නම් සිතන්නෙහි ද? මහාසමුද්‍රයෙහි පන්සියයක්යොදුන් දිග ඇති මත්ස්‍යජාතීහු ඇතැ යි කියා නුඹ විසින් අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, අසන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, පන්සියයක් යොදුන් දිග ඇත්තා වූ ආනන්ද නම් මත්ස්‍යයාගේ අස්ථීහු සියක් යොදුන් දිග වන්නාහු නො වෙද් දැ?” යි කීසේක. එවිට රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් නිරුද්ධ කරන්නට හැකි වන්නේ ය’ යි කියා නුඹ වහන්සේ මෙසේ කියනසේක් නො වේද දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, ආශ්වාසප්‍ර‍ශ්වාසයන් නිරුද්ධ කරන්නට හැකි වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ආශ්වාසප්‍ර‍ශ්වාස නම් නාසාවාතය. නිරුද්ධ කරන්නට කෙසේ නම් හැකි වේ දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ කුමක් සිතන්නහු ද? තොප විසින් කිසිවෙක් කාකස්වර සෙයින් ගොරවමින් නිද්‍රා කරණ බවක් අසන ලද්දේ දැ? යි කීසේක. “එසේ ය, ස්වාමීනි, අසන ලද්දේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ කාකච්ඡශබ්දය ශරීරය නැමූ[3] කල්හි තොර[4] වන්නේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, කය නැමූ1 කල්හි ම තොර2 වන්නේ ය” යි කීහ. “මහරජානෙනි ඒ කාකච්ඡශබ්දය නම් ප්‍ර‍ථමධ්‍යානකායවිවෙකාදි ගුණ ධර්මයට නො පැමිණි බැවින් අභාවිතකාය ඇත්තා වූ විශුද්ධප්‍රාතිමොක්ෂ ශීල මාර්ගශීලාදීගුණධර්මයට නො පැමිණි බැවින් අභාවිත සිල් ඇත්තා වූ ධ්‍යානවිමොක්ෂචිත්තෛකාග්‍ර‍තාදි ගුණධර්මයකට නො පැමිණි බැවින් අභාවිතචිත්තයන් ඇත්තා වූ සමථවිදර්ශනාදි මාර්ගඥානයාගේ වැඩීමක් නැති බැවින් අභාවිතප්‍ර‍ඥාවෙන් යුක්ත වූ පෘථග්ජනසත්වයාගේ ශරීරය නැමූ1 කල්හි තොර වන්නේ ය.2 කිමෙක් ද? ප්‍ර‍ථමධ්‍යාන කායවිවෙකාදි ගුණධර්මයට පැමිණීමෙන් යුක්ත හෙයින් භාවිත (89) කාය ඇත්තා වූ විශුද්ධිප්‍රාතිමොක්ෂශීලමාර්ගශීලාදිගුණධර්මයන්ගේ වැඩීමෙන් යුක්ත හෙයින් භාවිතශීලයෙන් යුක්ත වූ එකාන්ත සුන්දර වූ ධ්‍යානවිමොක්ෂාදි ගුණධර්මයන්ගේ වැඩීමෙන් යුක්ත හෙයින් භාවිතචිත්තයෙන් යුක්ත වූ සමථවිදර්ශනාදි ගුණධර්මයන්ගේ වැඩීමෙන් යුක්ත හෙයින් භාවිත පටිභානයෙන් යුක්ත වූ උපෙක්ෂාස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්ථධ්‍යානයට සමවැදුනහුගේ ආශ්වාසප්‍ර‍ශ්වාසයෝ නිරුද්ධ වන්නාහු ය?” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සමුද්‍ර‍ය සමුද්‍ර‍ය යි කියති. කවර කාරණයකින් ජලය සමුද්‍ර‍ය යි කියනු ලැබේ දැ?” යි කීහ. එකල තෙරුන් වහන්සේ මහරජානෙනි, ඒ සමුද්‍රයෙහි යම් පමණ ලුණු වී ද, එපමණ උදකය වන්නේ ය. එහෙයින් සමුද්‍ර‍ය යි කියනු ලබන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් මහාසමුද්‍ර‍යතෙම එක ම රස වූ ලවණරස වී දැ?” යි කීහ. “මහරජානෙනි, උදකයාගේ මිහිරිගුය වඩබාග්නියෙන් දවා කැකෑරවී බොහෝ කාලයක් සිටි බැවින් වනාහි මහාසමුද්‍ර‍යතෙම එක ම රස වූ ලවණරස වී ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි කියා ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියලු ම සියුම් දෙය සිඳින්නට හැකි වේ දැ” යි කීහ. එසේ ය, මහරජානෙනි, සියලු ම සියුම් දෙය සිඳින්නට හැකි වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, සියලු ම සියුම් දෙය නම් කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, අරූපි වූ චිත්තචෛතසිකධර්මය වනාහි සියල්ලට වඩා අතිසුඛුම වන්නේ ය. මහරජානෙනි, සියලු ම රූපාරූපධර්මයෝ සියුම් නො වෙති. මහරජානෙනි, සුඛුම ය යි කියා හෝ දළ ය යි කියා හෝ රූපාරූපධර්මයන්ට මේ පරියායවචනයෙක. ඡෙදනය කට යුතු වූ යම්කිසි ධර්මකෙනෙක් ඇත් නම්, ඒ සියලු ම ධර්මයන් ලෞකිකලොකොත්තර වූ ප්‍ර‍ඥාවෙන් සිඳ-ඡෙදනය කොට හරින්නේ ය. ප්‍ර‍ඥාවෙන් සිඳීමට වඩා දෙවෙනි කාරණයෙක් නැතැ” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ පණ්ඩිතජනහෘදයානන්දකර වූ ධීර ගොචර අභිධර්මප්‍ර‍ශ්නයක් විචාරණුවෝ:-

“භන්තෙ, නාගසෙන, විඤ්ඤාණන්ති වා පඤ්ඤාති වා භූතස්මිං ජිවො‘ති වා ඉමෙ ධම්මා නානත්‍ථා චෙව නානාබ්‍යඤ්ජනා ච? උදාහු එකත්‍ථා ව්‍යඤ්ජනමෙව නානන්ති? විජානනලක්ඛණං මහාරාජ? විඤ්ඤාණං, පජානන[5]ලක්ඛණා පඤ්ඤා, භූතස්මිං ජිවො න උපලබ්භතී ති, යදි ජීවො න උපලබ්භති, අථ කො[6] චරහි චක්ඛුනා රූපං පස්සති? සොතෙන සද්දං සුණාති? ඝාණෙන ගන්‍ධං ඝායතී? ජිව්හාය රසං සායති? කායෙන ඵොට්ඨබ්බං (90) ඵුසති? මනසා ධම්මං විජානාතී ති. ථෙරො ආහ. යදි ජිවො චක්ඛුනා රූපං පස්සති-පෙ-මනසා ධම්මං විජානාති, සො ජීවො චක්ඛුද්‍වාරෙ උප්පාටිතෙ මහන්තෙන ආකාසෙන බහිමුඛො[7] සුට්ඨුතරං රූපං පස්සෙය්‍ය, සොතෙ උප්පාටිතෙ-ඝාණෙ උප්පාටිතෙ-ජිව්හාය උප්පාටිතාය-කායෙ උප්පාටිතෙ මහන්තෙන ආකාසෙන සුට්ඨුතරං සද්දං සුණෙය්‍ය, ගන්‍ධං ඝායෙය්‍ය, රසං සායෙය්‍ය, ඵොට්ඨබ්බං ඵුසෙය්‍යා‘ති න භි භන්තෙ? තෙන හි මහාරාජ, භූතස්මීං ජිවො න උප ලබ්භතී‘ති. කල්ලොසි භන්තෙ නාගසෙනා‘ති.

ථෙරො ආහ-දුක්කරං මහාරජ, භගවතා කතන්ති, කිම්පන භන්තෙ නාගසෙන භගවතා දුක්කරං කතන්ති-දුක්කරං මහාරාජ, භගවතා කතං ඉමෙසං අරූපීනං චිත්ත චෙතසිකානං එකාරම්මණෙ වත්තමානානං වවත්‍ථානං අක්ඛාතං අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං චිත්තන්ති. ඔපම්මං කරොහීති. යථා මහාරාජ, කොවිදෙව පුරිසො නාවාය මහාසමුද්දං අජ්ඣොගහෙත්‍වා හත්‍ථපුටෙන උදකං ගහෙත්‍වා ජිව්හාය සායිත්‍වා ජානෙය්‍ය නු ඛො මහාරාජ, සො පුරිසො ‘ඉදං ගඞ්ගයා උදකං’ ‘ඉදං යමුනාය උදකං’ ‘ඉදං අචිරවතීයා උදකං’ “ඉදං සරභූයා උදකං’ ඉදං මහියා උදකන්ති, දුක්කරං භන්තෙ ජානිතුන්තී. තතො දුක්කරතරං ඛො මහාරාජ භගවතා කතං. ඉමෙසං අරූපීනං චිත්ත චෙත සිකානං ධම්මානං එකාරම්මණෙ වත්තමාණානං විවත්‍ථානං අක්ඛාතං- අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං චිත්තන්ති. සුට්ඨු භන්තෙ‘ති. රාජා අබ්භනුමොදි’.

යනුවෙන් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විඤ්ඤාණ ය යි කියා හෝ ප්‍ර‍ඥාව ය යි කියා හෝ සතරමහාභූතයන් වසයෙන් උපන්නා වූ රූපයෙහි ජීවිත ය යි කියා හෝ දක්වන මේ ධර්මයෝ නානාර්ථ ඇත්තාහු ම ද? නානාර්ථ වැලඳ ගන්නාහු ම ද? නොහොත් එක ම අර්ථයක් වූවාහු ද? අර්ථ වැලඳ ගැණීම පමණක් ම නානා අර්ථ වී දැ?” යි කීහ. “මහරජානෙනි, විඤ්ඤාණය රන්මසු දැක හැඳින ප්‍රයොජනය දන්නා ග්‍රාමික පුරුෂයකු මෙන් අරමුණු දැන ගැන්ම ලක්ෂණ කොට ඇත්තේ ය. රන්මසු දැක හැඳින ප්‍රයොජනය හා හොඳ නො හොඳ අගය දන්නා ස්වර්ණකාරයෙකු මෙන් ප්‍ර‍ඥාව විශෙෂයෙන් ම අරමුණු දැන ගැන්ම ලක්ෂණ කොට ඇත්තේ ය. සතරමහාභූත වූ රූපයෙහි ඇතුළ හිඳ කවන පොවන ගමන් කරවන ‘ජීව’ නම් ආත්මකෙනෙකුන් නො ලබන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, ඉදින් ‘ජීව’ නම් වූ ආත්මකෙනෙක් නො ලැබෙත් නම්, නැවත අන් කවරෙක් ඇසින් නීලපීතාදි රූපයන් දකී ද? සොතයෙන් ශබ්දයන් අසා ද? නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කෙරේ ද? දිවින් රසය සායනය කෙරේ ද? ශරීරයෙන් ඝට්ටනය-ස්පර්ශය කෙරේ ද? සිතින් ධර්මචින්තාව දැන ගණී ද?” යි කීහ. එකල තෙරුන් වහන්සේ කියනසේක්, “මහරජානෙනි, ඉදින් තොප කියන ආත්මජීවයතෙම චක්ෂුරාදීන් රූපාදිය හා සිතින් චින්තයන් (91) දැන ගන්නේ වී නම්, ඒ ජීව නම් ආත්මයතෙම චක්ෂු ද්වාරය උපුටා හැරිය කල්හි මහත් වූ ඒ අවකාශයෙන් පිටතට කරණ ලද මහණ ඇත්තේ සැප සේ ම නීලපීතාදිරූපයන් දන්නේ ද? සොතය උපුටා හැරිය කල්හි, ඝ්‍රාණය, උපුටා හැරියි කල්හි, ජිව්හාව උපුටා හැරිය කල්හි, ශරීරය උපුටා හැරිය කල්හි මහත් වූ ඒ අවකාශ ස්ථානයෙන් සැප සේ ම ශබ්දයන් අසන්නේ ද? ගන්ධය ආඝ්‍රාණය කරන්නේ ද? රසය සායනය කරන්නේ ද? ස්ප්‍ර‍ෂ්ටව්‍යය ස්පර්ශය කරන්නේ වේ දැ” යි විචාළසේක. “නැත; ස්වාමීනි, ඒ කෙසේ දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් සතරමහාභූත වූ මේ ශරීරයෙහි ඇතුළත්හි හිඳ කවන පොවන යන එන නොයෙකුත් දෑ කරණ ජීව නම් ආත්මකෙනෙකුන් නො ලබන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේක” යි කීහ.

එකල තෙරුන් වහන්සේ “මහරජානෙනි, ‘අනන්තජින’ නම් අප භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා දුෂ්කර දෙයක් දෙශනා කරණ ලදැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේගේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කුමක් අතිදුෂ්කර කොට දෙශනා කරණ ලද්දේ දැ?” යි කීහ. “මහරජානෙනි, අප සුගත තථාගතයන් වහන්සේ විසින් ‘ස්පර්ශය නම් මේ ය. ත්‍රිවිධවෙදනාව නම් මෝ ය. සංඥාව නම් මෝ ය. චෙතනාව නම් මෝ ය. චිත්තය නම් මේ ය’ යි කියා එක අරමුණෙහි පවත්නා වූ අරූපී වූ මේ චිත්තචෛතසිකධර්මයන්ගේ ව්‍යවස්ථානය කියන ලද්දේ ය. ඉතා දුෂ්කර දෙයක් දෙශනා කර වදාරණ ලද්දේ ය” යි කීසේක. “ස්වාමීනි, අරූපී ඒ ධර්මයන්ගේ අවබොධය දුෂ්කරබවට උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් නැවින් මහාසමුද්‍ර‍මධ්‍යයට පැමිණ හස්ත පුටයෙන් වතුර ගෙණ දිවින් ලෙව බලන්නේ ය. මහරජානෙනි, ඒ පුරුෂතෙම මේ ගංගා නම් ගඟේ වතුර ය. මේ යමුනා නම් ගඟේ වතුර ය. මේ අචිරවතී නම් ගඟේ වතුර ය. මේ සරභූ නම් ගඟේ වතුර ය. මේ මහී නම් ගඟේ වතුර ය’ යි කියා දැන ගන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ දැන ගන්නට ඉතා දුෂ්කර ය” යි කීහ. “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ඊටත් වඩා අතිදුෂ්කර කොට ‘මේ ස්පර්ශය, මේ වෙදනාවය, මේ සංඥාවය, මේ චෙතාවය, මේ චිත්තය’ යි කියා එක ම අරමුණෙහි පවත්නා වූ මේ අරූපී වූ චිත්තචෛතසිකධර්මයන්ගේ ව්‍යවස්ථානය කියන ලද්දේ ය. දුෂ්කර කොට දෙශනා කර වදාරණ ලද්දේ ය” යි කීසේක. එකල පරරාජවාරණමෘගෙන්ද්‍ර‍භූත වූ මිලිඳු මහරජානෝ දොහොත් මුදුන් දී “සාධු! සාධු!! ස්වාමීනි, කථිශ්වරතිලක ප්‍ර‍ඥාසාගරප්‍ර‍ශ්නගණ්ඨිභෙදක වූ මාගේ ස්වාමීනි, ප්‍ර‍ශ්න විසඳා ධර්ම දෙශනා කර වදාළ නියාව ඉතා මනොඥ ය, ප්‍ර‍වර ය, ශ්‍රෙෂ්ඨ ය” යි කියා අනුමොදන් වූහ.

සකලජනමනොනන්දනීය වූ මේ මිලින්දප්‍ර‍ශ්න නම් වූ ශ්‍රීසද්ධර්‍මාදාසයෙහි සත්වන වර්‍ගය නිමියේ ය.

  1. බුදුන් සිහි

  2. වනාහි අනාගත

  3. නො මළ

  4. ගොර

  5. පහාන

  6. ඛො

  7. බහිමුඛෙ