සවැනි වර්ගය

star_outline

නැවැතත් රජ්ජුරුවෝ ‘ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මහණුන් වහන්සේලාට ශරීරය ප්‍රිය ඇද් ද?” යි කීහ. “මහරජානෙනි, මහණුන් වහන්සේලාට ශරීරය ප්‍රිය නැතැ” යි කීසේක. “එසේ වී නම්, ස්වාමීනි, කුමක් පිණිස මහණුන් වහන්සේලා තෘෂ්ණාවශයෙන් බැස සිටිනසේක් ලා ද? ‘මම ය මාගේ ය’ යි කියා මමත්වය කරණසේක් ලා දැ?” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, කිසියම්[1] දවසක දී සංග්‍රාමයට ගියා වූ තොපට හීපහරක් වදින්නේ ඇද්ද?” යි විචාළසේක. “එසේ ය. ස්වාමීනි, හීපහරක් වදින්නේත් ඇතැ” යි කීහ. “කිමෙක් ද මහරජානෙනි, හීය වැදුනු ඒ වණයතෙම යම් ආලෙපනබෙහෙතකින් ආලෙපනයත් කරණ ලැබේ ද, තෛලයෙනුත් ගානු ලැබේ ද? සියුම් මොළොක් වූ වස්ත්‍ර‍කඩිනුත් වෙළනු ලැබේ දැ?” යි විචාළසේක. “එසේය, ස්වාමීනි, ඒ වණය ආලෙපයෙනුත් ආලෙප කරණ ලැබෙයි. තෙලිනුත් ගානු ලැබෙයි. සියුම් මොළොක් වූ වස්ත්‍ර‍කඩිනුත් වෙළනු ලබන්නේ ය” යි කීහ. කිමෙක් ද, මහරජානෙනි, ආලෙපබෙහෙතින් ආලෙපනය කරණු ලබන්නා වූ තෙලින් ගානු ලබන්නා වූ සියුම් මොළොක් වූ වස්ත්‍ර‍කඩිනුත් වෙළනු ලබන්නා වූ ඒ වණයතෙම තොපට ප්‍රිය ඇද් දැ?” යි විචාළසේක. “අනේ! ස්වාමීනි, වණය මට ප්‍රිය නැත. එතෙකුදු වුවත් මාංසයාගේ නැගීම පිණිස ආලෙපනයෙන් ආලෙපය කරණු ලැබෙයි. තෙලිනුත් ගානු ලැබෙයි. සියුම් වූ මොළොක් වූ වස්ත්‍ර‍කඩින් වෙළනු ලබන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මහණුන් වහන්සේලාට ශරීරය ප්‍රිය නො වන්නේ ය. එසේ නමුත් ශරීරාලයට නො බස්නා ලද්දා වූ මහණුන් වහන්සේලා බ්‍ර‍හ්මචරියානුග්‍ර‍හය පිණිස ශරීරය පරිහරණය කෙරෙති. මහරජානෙනි, එතෙකුදු වුවත් භාග්‍යවත් වූ අප බුදුරජානන් වහන්සේ විසින් “ශරීරය නම් අසාධ්‍ය වූ වණයකට බඳු වූ උපමා ඇත්තේ ය’යි වදාරණ ලද්දේ ය. ඒ වදාළ අවවාදය කරණ කොට ගෙණ ශරීරාලයට නො බස්නා ලද මහණුන් වහන්සේලා මේ ශරීරය වණයක් මෙන් සිතා (77) ආහාර බෙහෙත් ආදිය දෙමින් පරිහරණය කරණසේක් ලා ය. මහරජානෙනි, අප භාග්‍යවත් වූ ලොවුතුරා බුදුන් විසින් මෙම කාරණය වදාරණ ලද්දේය:-

“අල්ල චම්මටිච්ඡන්නො - නවද්‍වාරො මහාවණො,

සමන්තතො පග්ඝරති - අසූචි පූතිගන්‍ධියො” යි

යනුවෙන් මේ ශරීරය නම් අල්ලචර්මය යි කියන ලද තෙත් වූ කුණු සමින් වැසී තිබෙන්නේ ය. සෙම් සොටු මල මුත්‍ර‍ කන්කුණු ඇස්කබ නිති වැහෙන නවද්වාරයක් ඇත්තේ ය. පිළියම් කොට සුවපත් කළ නො හැකි බැවින් අසාධ්‍යමහවණයක් වැනි වූයේ ය. නුවණැත්තන් විසින් පිළිකුල් කට යුතු බැවින් අසූචිපිඩක් වැනි වූයේ ය. නිති පැතිරෙන්නා වූ දුර්ගන්ධ ඇත්තේ ය. හාත්පසින් නොයෙක් කුණු වැගිරෙන්නේ ය” යි කියා මේ ජිනදෙසනාව දක්වා වදාළසේක. එකළ රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ”යි ස්තුති කළහ.

“නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බුදුරජානන් වහ්නසේ සියල්ල ම දැන වදාළසේක් ද? සියල්ල ම දක්නා සේක් දැ” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ සියල්ල ම දක්නාසේකැ” යි කීසේක. “එසේ වී නම්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කුමක් පිණිස තමන්ගේ ශ්‍රාවකයන්ට අනුපූර්වයෙන් ම වරදක් දුටු විට ම ශික්ෂාපද පණවා වදාරණසේක් ද? පළමු කොට ම ශික්ෂාපද පණවන්ට නපුරු දැ” යි කීහ. “මහරජානෙනි, තොපගේ වනාහි මේ නුවර යම් කිසි වෛද්‍යාචාර්යකෙනෙක් ඇද් ද, ඒ තෙම මේ සියලු පෘථිවියෙහි ඇති සියලු ම බෙහෙත් ජාතීන් දනී දැ?” විචාළසේක. “එසේ ය, ස්වාමීනි, එබඳු වෙදෙක් ඇතැ”යි කීහ. “කිමෙක් ද? මහරජානෙනි, ඒ වෛද්‍යාචාර්යයා ගිලන්කමක් සම්ප්‍රාප්ත කල්හි බෙහෙත් පොවන්නේ ද? නොහොත් රොගයක් සම්ප්‍රාප්ත කල්හි බෙහෙත් පොවා ද?” යි විචාළසේක. “ස්වාමීනි, ගිලන්කමක් සම්ප්‍රාප්ත කාලයෙහි බෙහෙත් පොවන්නේ ය. අසම්ප්‍රාප්තකාලයෙහි බෙහෙත් නො කරන්නේ ය” යි කීහ. “එපරිද්දෙන් ම, මහරජානෙනි, අප භාග්‍යවත් සර්වඥයන් වහන්සේ සියල්ල ම දක්නාසේක. දුශ්ශිලාදීනවයක් නැති කාලයෙහි ශ්‍රාවකයන්ට ශික්ෂාපද නො පණවන සේක. අසාරුප්‍යකෘත්‍යයක් සම්ප්‍රාප්ත කල්හි ශ්‍රාවකයන්ට ශික්ෂාපද ‘දිවිහිමියෙන් ම ව්‍යතික්‍ර‍මණය නො කට යුතු ය’ යි කියා පණවා වදාරණසේකැ” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහ්නස, බුදුරජානන් වහන්සේ සුප්‍ර‍තිෂ්ඨිතපාදතාදි වූ දෙතිස්මහාපුරුෂලක්ෂණයෙන් සමන්විත වූසේක් ද? චිත්‍රාංගුලිතාදි වූ අසූවක් පමණ අනුව්‍යඤ්ජනයෙන් රඤ්ජිත ව සැරහුනුසේක් ද? ස්වර්ණවර්ණ වූ සේක් ද? විශෙෂයෙන් ඔප් නැගූ දඹ රත්රන්රූපයක් සෙයින් රජස් නො ඇලෙන ප්‍ර‍සන්න වූ ඡවිය ඇතිසේක් ද? රන් පර්වතයක් වටා සිටි දෙව්දුනුපෙළක්සෙයින් නිති බබළන සරියන් බ්‍යාමප්‍ර‍භාමණ්ඩලයක් ඇතිසේක් ද?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, අප භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සියලු ම දෙවිමිනිසුන් විසින් ‘මෙබඳු ලක්ෂණයෙන් යුක්ත වූ (78) පුරුෂතෙම ලොවුතුරා බුදු වෙයි’ කියා දැන ගන්නා වූ ද්වාත්‍රිංශත්වරමහාපුරුෂලක්ෂණයෙන් සමන්නාගත වූසේක. ඒ දෙතිස්මහාපුරුෂලක්ෂණයන් අනු ව පවත්නා හෙයින් අනුලක්ෂණය යි කියන ලද චිත්‍රාංගුලිවට්ටාංගුලිතාදි වූ අසූවක් පමණ අනුව්‍යඤ්ජනලක්ෂණයෙන් වලඳනා ලද්දා වූසේක. දිවිදළින් ඔප් නඟා ගුරුපිරියම් කළ ඝන රන්රුවක් සෙයින් ස්වර්ණවර්ණ වූසේක. එසේ ම ස්වර්ණසන්නිභත්ත ව ඇතිසේක. නිති දිලෙන බ්‍යාමප්‍ර‍භාමණ්ඩලයක් ඇතිසේකැ”යි කීසේක. “ස්වාමීනි, හේ කිමෙක් ද? ඒ බුදු වූ සිද්ධාර්ථකුමාරයන්ගේ මවුපියෝත් දෙතිස්මහාපුරුෂලක්ෂණයෙන් සමන්නාගත වූවාහු ද? අසූඅනූව්‍යංජන ලක්ෂණයෙන් වලඳනා ලද්දෝ වූවාහු ද? ස්වර්ණවර්ණයෙන් යුක්ත වූවාහු ද? කඤ්චනසන්නිභත්ත ව ඇත්තාහු ද? බ්‍යාමප්‍ර‍භාව ඇත්තාහු දැ?” යි විචාළෝ ය. “නැත, මහරජානෙනි, යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ ඇති කල්හිති දෙතිස්මහාපුරුෂලක්ෂණයෙන් සමන්නාගත වූ අසූඅනූව්‍යඤ්ජනයෙන් යුක්ත ස්වර්ණවර්ණ ඇත්තා වූ රජස් නො ඇලෙන රන්වන් ඡවි ඇත්තා වූ බ්‍යාමප්‍ර‍භා ඇත්තා වූ බුදුරජ තෙම උපදිනසේක් ද? කිමෙක් ද, පුත්‍රතෙම මෑනියන්ට සදෘශ ව හෝ වන්නේ ය. මාතෘපක්ෂ ව හෝ උපදනේ ය. පියානන් සදෘශ ව හෝ පුත්‍රතෙම උපදනේ ය. පීතෘපක්ෂයෙහි නෑකෙනෙකුන් සදෘශ හෝ වන්නේ නො වේ දැ?” යි කීහ. එකල තෙරුන් වහන්සේ “මහරජානෙනි, සියක් පෙති ඇති කිසියම් පියුම්ජාතියෙක් ඇද් දැ?” යි කීසේක. “එසේ ය, ස්වාමීනි, ඇතැ” යි කීහ. “මහරජානෙනි, ඒ පදුමයාගේ උත්පත්තිය කො තැන්හි සම්භව වේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, කර්දමයෙහි උපදනේ ය. ජලය මත්තෙහි පිපෙනු ලබන්නේ ය” යි කීහ. “කිමෙක් ද, “මහරජානෙනි, ඒ පද්මය වර්ණයෙන් හෝ ගන්ධයෙන් හෝ රසයෙන් හෝ මඩ හා සදෘශ වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. එසේ වී නම් වර්ණයෙන් හෝ ගන්ධයෙන් හෝ රසයෙන් හෝ වතුර හා සදෘශ වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ දෙතිස්මහාපුරුෂලක්ෂණයෙන් සමන්නාගත වූසේක. අසූඅනූව්‍යංජනලක්ෂණයෙන් රංජිත වූසේක. ස්වර්ණවර්ණ වූසේක. නෙළුම්පතෙහි දිය නො ඇලෙන්නා සේ රජස් නො ඇලෙන කඤ්චනසන්නිභත්ත ව ඇති වූසේක. බ්‍යාමප්‍ර‍භා ඇති වූසේක. උන්වහන්සේගේ දෙමවුපියන් දෙතිස්මහාපුරුෂ ලක්ෂණයෙන් සමන්නාගත වූයේත් නැත. අසූඅනූව්‍යඤ්ජනලක්ෂණයෙන් රංජිත වූයේත් නැත. ස්වර්ණවර්ණ වූයේත් නැත. කනක වන් මනා ඡවි ඇති වූයේත් නැතැ” යි කීසේක. එවිට රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි කියා ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බුදුරජානන් වහන්සේ බ්‍ර‍හ්මචාරී වූසේක් දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ බ්‍ර‍හ්මචාරී වූසේකැ” යි කීසේක. “එසේ වී නම් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘බුදුරජතෙම මහාබ්‍ර‍හ්මයාගේ ශිෂ්‍යයෙක් වූසේකැ’ යි සිතමි” යි කීහ. “මහරජානෙනි, තොපගේ වනාහි ප්‍ර‍ධාන වූ මංගල (79) හස්තියෙක් ඇති වී දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, මාගේ එබඳු ඇතෙක් ඇතැ”යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ හස්තියා යම්කිසි දවසක කුඤ්චනාද කෙරේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, කුඤ්චනාදය කරන්නේ ය” යි කීහ “එසේ වී නම් ‘මහරජානෙනි, තොපගේ ඒ මංගලහස්තියා කොස්ලිහිණියන්ගේ ශිෂ්‍යයා දැ” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාබ්‍ර‍හ්මයා සබුද්ධික වී ද? අබුද්ධික දැ” යි විචාළසේක. “ස්වාමීනි, බුද්ධි සහිත වූයේ ය” යි කීහ. “නුවණ ඇති කාරණයෙන් මහරජානෙනි, ඒ බ්‍ර‍හ්මයා අනන්ත වූ බුද්ධි ඇති අප භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍යයා ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උපසම්පදාව සුන්දර වූ යහපත් දෙයක් දැ”යි කීහ. “එසේ ය, මහරජානෙනි, උපසම්පදාව සුන්දර වූ යහපත් දෙයකැ” යි කීසේක. “ස්වාමීනි, බුදුරජානන් වහන්සේට උපසම්පදාව ඇද් ද? නොහොත් නැද් දැ?” යි කීහ. “මහරජානෙනි, අප භාග්‍යවත් බුදුරජානන් වහන්සේ බොධිවෘක්ෂමූලයෙහි වූ වජ්‍රාසනයෙහි දී සර්වඥතාඥානය ලැබීම හා සමග ම උපසම්පන්න වූසේක. මහරජානෙනි, යම් සේ ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද දිවිහිමියෙන් ව්‍යතික්‍ර‍මණය නො කට යුතු ය යි කියා පණවා වදාරණසේක් ද, එසේ අප භාග්‍යවතුන් වහන්සේට අනික් කෙනෙකුන් විසින් දෙන ලද්දා වූ උපසම්පදාවෙක් නම් නැතැ”යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් මවුන් නැසුනු කල්හි ප්‍රෙමයෙන් හඬන්නේ ය. යමෙක් බණ අසා සද්ධර්ම ප්‍රෙමයෙන් හඬන්නේ ය. ඒ හඬන්නා වූ දෙදෙනාගෙන් කාගේ කඳුළු ඒ හඬන ලෙඩට බෙහෙත් පිණිස වේ ද? කාගේ කඳුළු බෙහෙත් පිණිස නො වේ දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ දෙදෙනාගෙන් එකෙක්හුගේ කඳුළු රාග ද්වේෂ මොහ වශයෙන් මල සහිත වූ උෂ්ණ ඇත්තේ ය. එකෙක්හුගේ කඳුළු ප්‍රීති සොම්නස් වසයෙන් නිර්මල වූ සීතලගුණය ඇත්තේ ය. මහරජානෙනි, යම් කඳුළක් වනාහි සීතලගුණය ඇත්තේ ද, ඒ කඳුළු හැඬීම වළකන්නට බෙහෙත් පිණිස වන්නේ ය. යම් කඳුළක් උෂ්ණ ඇත්තේ වේ ද, සසර බොහෝ කරණ බවක් මුත් එය බෙහෙත් පිණිස නො වන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රාග සහිත සත්වයාගේත් පහ වූ රාග ඇති සත්වයාගේත් වෙනස් වූ කාරණය කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, එකෙක් අජ්ඣොසිත වූයේ ය. එකෙක් අනජ්ඣොසිත වූයේ ය” යි කීසේක. “ස්වාමීනි, මේ අජ්ඣොසිතය අනජ්ඣොසිතය යි කියා වදාළ නාමයෝ කවරහු දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ සරාග වීතරාග දෙදෙනාගෙන් එක්කෙනෙක් ජීවිකාවෘත්තියෙහි ප්‍රයොජන කැමැත්තාහ. එක්කෙනෙක් ජීවිකාවෘත්තියෙහි ප්‍රයොජන නො කැමැත්තාහ” යි කීසේක. “ස්වාමීනි, මම මෙබඳු වූ දෙයක් දක්නෙමි. යම් සරාගී පුද්ගලයෙක් ඇද් ද, යම් වීතරාගී පුද්ගලයෙක් (80) ඇද් ද, මේ සියලු දෙන ම ඛාදනීය දෙයක් හෝ භෝජනීය දෙයක් හෝ සොභන වූ යහපත් දෙයක් ම සිතින් කැමැති වන්නාහ. දෙදෙනාගෙන් කවරෙක් වත් නපුරු දෙයක් කැමැති නො වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, අවිතරාගීය යි කියන ලද නො පහ වූ රාග ඇති පුද්ගලතෙම තික්තකටුකාදිරසයන්ගේ වෙනස දන්නේ වේ ද, එබඳු රසයන් කෙරෙහි රසතෘෂ්ණාවෙන් ඇලී මධුර වූ භොජනය අනුභව කරන්නේ ය. වීතරාගී වූ පුද්ගලතෙම වනාහි තික්තකටුකාදිරසයන්ගේ වෙනස දන්නේ ද, එබඳු රසයන් කෙරෙහි රසතෘෂ්ණාවෙන් ඇලී භොජනය නො ම අනුභව කරන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ඥාතොම කවර තැනෙක්හි වාසය කරා දැ?” යි කීහ. “මහරජානෙනි, කොතැනකත් වසන තැනෙක් නැතැ” යි කීසේක. ‘එසේ වී නම්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ඥාතොම නැද් දැ?” යි කීහ. “මහරජානෙනි, වාතය කොතැන්හි වාසය කරන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, වාතය කොතැනකත් වසන්නේ නැතැ” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම් වාතය නැද් ද?” යි විචාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ සංසාරය යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ඒ සංසාරය නම් කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, මේ ලොකයෙහි ඉපද මෙලොව දී නස්නේ ය. මෙලොව දී නසිමින් අනික් තැනක උපදනේ ය. එතැන උපදිමින් එතැන දී ම නස්නේ ය. එතැන්හි නසිමින් අනික් තැනක උපදනේ ය. “මහරජානෙනි, සංසාරය නම් මෙසේ වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් තෙම ඉදුනු අඹඵලයක් අනුභව කොට අඹඇටය රොපණය කරන්නේ වී නම්, එයින් මහත් වූ අඹරුකක් ඉපිද ක්‍ර‍මයෙන් වැඩී අඹඵල දෙන්නේ වී නම්, නැවැතත් ඒ පුරුෂයා එයිනුත් පැසුනු අඹයක් අනුභව කොට අඹඇටයක් රොපණය කරන්නේ වී නම්, එයිනුත් මහත් වූ, අඹරුකක් වැඩී ඉපිද අඹඵලයන් දෙන්නේ වී නම්, මෙසේ මෙම ක්‍ර‍මයෙන් මේ අඹවෘක්ෂයන්ගේ තීන්දු කෙළවරෙක් නොපෙණෙන්නේ ය. ‘මහරජානෙනි, එපරිද්දෙන් ම මෙලොව උපදිමින් මෙලොව දී ම නස්නේ ය. මෙලොව දී නසිමින් අනික් තැනක උපදනේ ය. එතැන උපදිමින් එතැන දී ම නස්නේ ය. එතැන දී නසිමින් අනික් තැනක උපදනේ ය. මහරජානෙනි, සංසාරය මෙසේ වන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතීත වූ බොහෝ කාලයකින් ඈත කරණ ලද්දා වූ කට යුත්ත කවරකින් සිහි වේ දැ?” යි කීහ. “මහරජානෙනි, සිහියෙන් සිහියන්නේ ය” යි කීසේක. “එසේ ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, චිත්තයෙන් සිහි කරන්නේ ය. සිහියෙන් සිහි කරන්නේ නො වෙ”යි කීහ. “මහරජානෙනි, තෙපි කිසියම් කට යුත්තක් නො කොට සිහි මුළා වූ දෙයක් විශෙෂයෙන් දනු දැ” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, මට සිහි මුළා වූ (81) දේත් ඇතැ” යි කීහ. “කිමෙක් ද? මහරජානෙනි, තෙපි ඒ සමයෙහි සිත් නැති ව අචිත්තක වූවහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, අචිත්තක නො වූයෙමි. එසමයෙහි සිහිය නො වූයේ ය” යි කීහ. එකල “මහරජානෙනි, තෙපි කුමක් පිණිස මෙසේ අතීතකෘත්‍යය චිත්තයෙන් සිහි කරන්නේ ය. සිහියෙන් සිහි නො වන්නේ ය යි කීවහු දැ?” යි විචාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියලු ම සිහිතොම මනා වූ නුවණින් දැනීමෙන් උපදනේ ද? නොහොත් අනුන් විසින් සිහි කරවන්නා වූ කටුමිකාසිහියෙන් උපදනේ දැ?” යි කීහ. “මහරජානෙනි, මනා වූ නුවණින් දැනීමෙනුත් සිහි උපදනේ ය. කටුමිකා නම් වූත් සිහි උපදනේ ය” යි කීසේක. “එසේ වී නම්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ සියලු ම සිහිය මනා ව ම දන්නාහු නො වෙද් ද? කටුමිකා නම් සිහි නැතැ” යි කීහ. “මහරජානෙනි, ඉදින් කටුමිකා නම් සිහිය නැත් නම් ශිල්පාචාරීන්ගේ කර්මාන්තයෙහි හෝ ශිල්පායතනයෙහි හෝ විද්‍යායතනයෙහි හෝ ශිෂ්‍යයන්ට සිහි කරවා උගන්වන්නා වූ මදකුත් කළ මනා දෙයක් නම් නැත්තේ ය. ඒ ආචාර්යවරයෝ ද නිරර්ථක වෙති. “මහරජානෙනි, යම් හෙයකින් වනාහි අනුන් විසින් සිහි කරවා ලූ කල උපදනා වූ කටුමිකා සිහිතොම ඇත්තේ වී නම්, එහෙයින් ශිල්පාචාරීන්ගේ කර්මායතනයෙහි හෝ ශිල්පායතනයෙහි හෝ විද්‍යාස්ථානයෙහි හෝ කළ මනා කට යුතුත් ඇත්තේ ය. ආචාර්යවරයන්ගෙන් ශිෂ්‍යයන්ට ප්‍රයොජන ද ඇතැ” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

සකලජනමනොනන්දනීය වූ මිලින්දප්‍ර‍ශ්න නම් වූ මේ ශ්‍රීසද්ධර්මාදාසයෙහි සවන වර්ගය නිමියේ ය.

  1. කවර