පෘච්ඡා විසර්‍ජනා

ඉක්බිති සුන්දරගුණනිධාන අමිතප්‍ර‍ඥාසාගර වූ නාගසෙන තෙරුන් වහන්සේ “මහරජානෙනි, තෙපි දැන් මේ වෙලාව දන්නහු දැ” යි විචාළසේක. (92) “එසේ ය; ස්වාමීනි, සම්පතිකා නම් වූ දැන් මේ වෙලාව දනිමි. ප්‍ර‍ථමයාමය අතික්‍රාන්ත වී ය. මධ්‍යමයාමය පවත්නේ ය. සියදහස් ගණන් උක්කා නම් දණ්ඩප්‍ර‍දීප දීප්තිමත් වනු ලැබෙති. රජක්හට දිය යුතු රාජගෞරව භාණ්ඩවශයෙන් උස්සිත සතර මහාධ්වජයන් ගත් අණවන ලද්දා වූ සාමාන්‍ය මහාසෙනාව ආරාමය කරා යනු ලැබෙ” යි කීහ. එවිට අවට පිරිවරා හුන් පන්සියයක් යොනක මහාමාත්‍යයෝ ද මිලිඳුරජහට දොහොත් නඟා “ස්වාමීනි, දෙවයන් වහන්ස, මේ භික්ෂූන් වහන්සේ ඉතා පණ්ඩිතසේක. ඉතා දක්ෂ වූසේකැ” යි කියා රජහට මෙසේ කීවාහු ය. එවිට රජ්ජුරුවෝ ද “එසේ ය, සගයෙනි, තෙරුන් වහන්සේ පණ්ඩිත වූසේක. මෙබඳු වූ ආචාරයකෙනෙකුත් වෙත් නම්, මා වැනි වූ අන්තෙවාසිකකෙනෙකුත් වෙත් නම් නොබෝ කලකින් ම නුවණැති සත්වතෙම ලොකොත්තරධර්මය අවබොධ කොට දැන ගන්නේ ය” යි කීහ. ඒ නාගසෙන තෙරුන් වහන්සේගේ ප්‍ර‍ශ්න ව්‍යාකරණයෙන් සන්තොස වූ රජ්ජුරුවෝ ලක්ෂයක් වටනා රත්නකම්බිලියකින් නාගසෙන තෙරුන් වහන්සේට පූජා කොට “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘අද පටන් නුඹ වහන්සේට දවස් පතා එකසියඅටක් බත් දෙන සේ පණවමි. මේ ඇතුළුනුවරෙහි නුඹවහන්සේට යම්කිසි කැපදෙයක් ඇත් නම්, එයිනුත් ආරාධනා කෙරෙමි” යි කීහ. “මහරජානෙනි, ජීවත් විය හෙමි” යි කියා හේ ප්‍ර‍තික්ෂෙප කළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹවහන්සේ ජීවත් වන සේක. ඒ බව මමත් දනිමි. එසේ නමුත් තමනුත් රැක්ක මැනැව. මාත් රක්ෂා කළ මැනැව. තමන් කෙසේ රක්ෂා කරන්නේ දැ? යි කිව හොත්:- නාගසෙන තෙරුන් වහන්සේ මිලිඳු රජ්ජුරුවන් පහදවා ලූසේක. කිසියම් ‘ප්‍ර‍ත්‍යයපූජාවක් නො ලත් සේකැ’ යි කියා පරාපවාදයෙක් පැමිණ ආයේ වී නම්, සුදුසු නො වන්නේ ය. මෙසේ තමන් රක්ෂා කළ මැනැවැ. කෙසේ මා රක්ෂා කරන්නේ දැ?” යි යත හොත්:- ‘මිලිඳු රජ්ජුරුවෝ බුද්ධශාසනයෙහි ප්‍ර‍සන්න වූහ. ප්‍ර‍සන්න වූ ආකාරයක් නො කරන්නාහ’ යි කියා පරාපවාදයෙක් පැමිණ ආයේ වී නම් සුදුසු නො වන්නේ ය. මෙසේ මාත් රක්ෂා කළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, තොපගේ යථොක්ත වූ ඒ අභිප්‍රාය එසේ ම වේව” යි කියා ඉවසූසේක. රජ්ජුරුවෝ ද තමන් ගෘහවාසයෙහි කලකිරී වසනබව හඟවනුවෝ “ස්වාමීනි, යම් සේ මෘග රාජ වූ සිංහතෙම ස්වර්ණමැදිරියක ලවා පොෂ්‍ය කරන්නේ වී නමුත්, එයින් පිටතට මුහුණ කොට වනයට පැන දුවන සිත ම ඇති වේ ද, එපරිද්දෙන් ම, ස්වාමීනි, මම කිසිසේත් ගිහිගෙයි වාසය කෙරෙම් ද, එයින් පිටත පැන යන මුහුණ ඇති ව ම සිටින්නෙමි. ඉදින්, ස්වාමීනි, මම ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වීම් නම්, බොහෝ කාලයක් ජීවත් නො වන්නෙමි. මට සතුරෝ බොහෝ ය” යි සැලකළහ.

ඉක්බිති ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේ මිලිඳු රජ්ජුරුවන්ගෙන් විචාළ තාක් ප්‍ර‍ශ්න විසඳා වැඩ හුන් ආසනයෙන් නැඟිට සංඝාරාමයට වැඩිසේක. ආයුෂ්මත් වූ නාගසෙනයන් වහන්සේ වෙහෙරට වැඩි නොබෝ කාලයෙහි මිලිඳු රජහට “මා විසින් කුමක් විචාරණ ලද ද? (93) භාග්‍යවතුන් වහන්සේ විසින් කුමක් විසර්ජනය කරණ ලද්දේ දැ?” යි කියා මෙබඳු සිතෙක් විය. ඉක්බිති මිලිඳු රජහට “මා විසින් සියල්ල ම යහපත් කොට විචාරණ ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ විසිනුත් සියල්ල ම යහපත් කොට ම විසඳන ලද්දේ ය” යි කියා මෙබඳු සිතෙක් වූයේ ය. සංඝාරාමයට ගියා වූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේටත් “මිලිඳු රජහු විසින් කුමක් විචාරණ ලද ද? මා විසින් කුමක් විසඳන ලද්දේ දැ?” යි කියා මෙබඳු වූ සිතෙක් වූයේ ය. ඉක්බිති ආයුෂ්මත් වූ නාගසෙනයන් වහන්සේට “මිලිඳු රජහු විසින් සියල්ල ම යහපත් කොට විචාරණ ලද්දේ ය. මා විසිනුත් සියල්ල ම යහපත් කොට විසඳන ලද්දේ ය” යි කියා මෙබඳු වූ සිතෙක් වූයේ ය.

ඉක්බිති ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් පූර්වාහ්නසමයෙහි සකස් කොට හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එසියඅට දෙදෙනකුන් වහන්සේ හා සමග යම් තැනෙක මිලිඳුරජ්ජුරුවන්ගේ නිවෙසනය වී ද, එතැන්හි එළඹිසේක. එසේ එළඹ ප්‍ර‍ඥාප්තාසනයෙහි හැමදෙනා වහන්සේ හා සමග වැඩසිටිසේක. ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියා වූ මිලිඳු රජ්ජුරුවෝ ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේට මේ වචනය කීහ:-

“ස්වාමීනි, පින්වතුන් වහන්ස, නුඹ වහන්සේට මෙබඳු වූ ආකාරයක් නො වේවා; ‘නාගසෙන තෙරණුවන් රජ වූ මා විසින් වෙහෙසා ගම්භීර වූ ප්‍ර‍ශ්න විචාරණ ලද්දේ ය’ යි කියා එම ප්‍රීතිසොම්නසින් ඒ ඊයේ රාත්‍යවශෙෂය නිද්‍රා කෙළේ ය යි කියා නුඹ වහන්සේ විසින් මෙබඳු ආකාරයක් නො දත යුතු ය. ස්වාමීනි, මට ඒ ඊයේ රාත්‍යවශෙෂය ‘මා විසින් කුමක් විචාරණ ලද ද? පින්වතුන් වහන්සේ විසින් කුමක් විසඳන ලද්දේ දැ?’ යි කියා ද ‘මා විසින් සියල්ල ම යහපත් කොට විචාරණ ලද්දේ ය. පින්වතුන් වහන්සේ විසිනුත් සියල්ල ම යහපත් කොට විසඳා වදාරණ ලද්දේ ය’ යි කියා මෙබඳු වූ ආකාර වූයේ ය. මෙසේ සිතසිතා නිද්‍රා කෙළෙමි” යි කීහ. නාගසෙන තෙරුන් වහන්සේත් මෙසේ කීසේක:- ‘මිලිඳු රජ්ජුරුවන්ගේ ප්‍ර‍ශ්න මා විසින් නො පැකිල ම විසඳන ලද්දේ ය යි කියා එම ප්‍රීතිසොම්නසින් ම ඒ ඉතිරි රාත්‍යවශෙෂය කල් යැවූයේ ය’ යි කියා මෙසේ “මහරජානෙනි, තොපට නො වේවා. මේ ආකාර තොප විසින් නො දත යුත්තේ ය. මහරජානෙනි, ඒ මට රාත්‍රිභාගය ‘මිලිඳු රජ්ජුරුවන් විසින් කුමක් අසන ලද ද? මා විසින් කුමක් විසඳන ලද ද? මිලිඳු රජ්ජුරුවන් විසින් සියල්ල ම යහපත් කොට ම විචාරණ ලද්දේ ය. මා විසිනුත් සියල්ල ම යහපත් කොට විසඳන ලද්දේ ය’ යි කියා මෙබඳු ආකාර සිතෙක් වූයේ ය” යි කීසේක. මෙසේ සියලු ම අනර්ථ පාපයන් කෙරෙන් විරත බැවින් නාග නම් වූ නාගසෙන-මිලිඳු යන ඒ මහානාගයෝ දෙදෙන ඔවුනොවුන්ගේ සුභාෂිතවචනය යහපත් කොට අනුමෝදන් වූවාහු ය.

සකලජනමනොනන්දනීය වූ මේ ශ්‍රීසද්ධර්මාදාසයෙහි මිලින්දප්‍ර‍ශ්න්යන්ගේ පෘච්ඡා-විසර්ජනාවෝ සමාප්ත කරණ ලදහ.