නිර්‍වාණාභව්‍ය ප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ඒ පිළිපැද්දා වූ සත්ව කෙනෙක් මනා කොට පිළිපදින්නාහු වී නම්, ඒ සියල්ලන්ට ම ධර්මාභිසමය වේ ද? නොහොත් කිසිවක්හට ධර්මාභිසමය නො වේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, කිසිවක්හට ධර්මාභිසමය වන්නේ ය. කිසිවක්හට ධර්මාභිසමය නො වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, කවරක්හට ධර්මාභිසමය වේ ද? කවරක්හට ධර්මාභිසමය නො වේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මනා කොට පිළිපන්නා වූ තිරශ්චීන ගතයාහට ද ධර්මාභිසමය නො වන්නේ ය. මනා කොට පිළිපන්නා වූ ප්‍රෙතවිෂයෙහි උපන්නාහට ද නියත මිථ්‍යාදෘෂ්ටිකයාහට ද, කුහකා හට ද, මාතෘඝාතකයාහට ද, පීතෘඝාතකයාහට ද, අරහන්තඝාතකයාහට ද, සංඝභෙදකයාහට ද, ලොහිතුප්පාදකයාහට ද, ථෙය්‍යසංවාසකයාහට ද, බුදුසසුන් හැර තීර්ථකසමයට ගියාහට ද, භික්ෂුණීදූෂකයාහට ද, තෙළෙස් සංඝාදිසෙසාපත්තින් අතුරෙන් එක්තරා ආපත්තියකට පැමිණ දෙශනා ක්‍ර‍මයෙන් පිරිසිදු ව නො නැංගාහට ද, පණ්ඩකයාහට ද, උභතොබ්‍යංජනකයාහට ද, යන මෙතෙක් දෙනාහට ධර්මාභිසමය නො වන්නේ ය. (389) අඩු වූ සත්හැවිරිදි ඇත්තා වූ යම් මනුෂ්‍යලදරුවෙක් ඇද්ද, මනා ව පිළිපන්නා වූ ඕහටත් ධර්මාභිසමය නො වන්නේ ය. “මහරජානෙනි, මනා කොට පිළිපන්නා වූ මේ සොළොස් වැදෑරුම් වූ පුද්ගලයන්ට ධර්මාභිසමය නො වන්නේ ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පසළොස් වැදෑරුම් වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඒ පුද්ගලයෝ ශීලයට විරුද්ධයෝ ම ය. ඔවුන්ට ධර්මාභිසමය වේවා හෝ නො වේවා හෝ එපවත් එසේ ම ය. කිමෙක් ද, කවර කාරණයකින් මනා කොට පිළිපදින්නා වූ උනුසත්හවුරුදු ඇත්තා වූ මනුෂ්‍යලදරුවාහට ධර්මාභිසමය නො වේ ද? මෙහි ම මාගේ ප්‍ර‍ශ්නයෙක් වන්නේ ය. ස්වාමීනි, ලදරුවාහට රාගයෙක් නො වන්නේ ය. ද්වෙෂයකුදු නො වන්නේ ය, මොහයකුදු නො වන්නේ ය, මානයකුදු නො වන්නේ ය, මිථ්‍යාදෘෂ්ටියකුදු නො වන්නේ ය, අරතියකුදු නො වන්නේ ය, කාමවිතර්කයකුදු නො වන්නේ ය, ක්ලේශයන් හා ද අමිශ්‍ර‍ වූයේ ය. ඒ ලදරුතෙම නම් නිර්වාණසම්පත් ලැබීමට යුක්ත වූයේ ය. ප්‍රාප්ත වූයේ ය. චතුරාර්යසත්‍යධර්මයන් එකප්‍ර‍තිවෙධයෙන් ම ප්‍ර‍තිවෙධය කරන්නට සුදුසු වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, මනා කොට පිළිපන්නා වූ උනු සත්හවුරුදු මනුෂ්‍යලදරුවාහට යම් කාරණයකින් ධර්මාභිසමය නො වන්නේ ය යි යන මෙහි තොපට මම කාරණයක් කියන්නෙමි. සකසා අසා සිතින් ධරා ගණුව. මහරජානෙනි, ඉදින් උනුසත්හවුරුදු ලදරුතෙම රජනීය වූ රූප ශබ්දාදියෙහි ඇලෙන්නේ වී නම් දූෂණීයයෙහි දූෂිත වන්නේ වී නම්, මොහනීයයෙහි මුළා වන්නේ වී නම්, මදනීයයෙහි මත් වන්නේ වී නම්, සම්‍යක්දෘෂ්ටිය දන්නේ වී නම්, අභිරතිය හා අනභිරතිය දන්නේ වී නම්, කුශලාකුශලය සිතින් සිතන්නේ වී නම්, ඒ ලදරුවාහට ද ධර්මාභිසමය වන්නේ ය. එතෙකුදු වුවත් මහරජානෙනි, උනුසත්හවුරුදු ලදරුවාගේ චිත්තය අබල ය, දුර්වල ය, ශූන්‍ය ය, අල්ප ය, ස්වල්ප ය. මඳ ය, අප්‍ර‍සිද්ධ ය, අසංඛත වූ නිර්වාණධාතුව ගරු වූවා ය, බර වූවා ය, විපුල වූවා ය, මහත් වූවා ය, මහරජානෙනි, උනුසත්හවුරුදු ලදරුතෙම ඒ පරිත්ත වූ මඳ වූ අපතළා වූ අප්‍ර‍සිද්ධ වූ දුර්වල වූ චිත්තයෙන් ගරුක වූ භාරික වූ විපුල වූ මහත් වූ අසංඛත වූ නිර්වාණධාතුව ප්‍ර‍තිවෙධය කරන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, යම් සේ මහමෙරු පර්වතරාජතෙම ගරුක වූයේ ය. භාරික වූයේ ය. විපුල වූයේ ය, මහත් වූයේ ය. කිමෙක් ද, මහරජානෙනි, පුරුෂයකු තමාගේ ප්‍ර‍කෘති වූ ථාමබලවීර්යයෙන් ඒ මහාමෙරුපර්වතරාජයා උගුළු වන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, ඒ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, පුරුෂයාගේ දුර්වල බැවින් හා මහාමෙරු පර්වතයාගේ ඉතා මහත් බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම උනුසත්හවුරුදු වූ ලදරුවාගේ චිත්තය අබල වූයේ ය, ස්වල්ප වූයේ ය, අල්ප වූයේ ය, මඳ වූයේ ය, අවිභූත වූයේ ය. අසංඛත වූ අමෘතමහානිර්වාණධාතුව ගරුක වූයේ ය, භාරික වූයේ ය. විපුල වූයේ ය, මහත් වූයේ ය. උනුසත්හවුරුදු වූ මනුෂ්‍යලදරුතෙම ඒ අබල වූ දුර්වල වූ ස්වල්ප වූ මඳ වූ අවිභූත වූ චිත්තයෙන් (390) ගරුක වූ භාරික වූ විපුල වූ මහත් වූ අසංඛත වූ නිර්වාණධාතුව ප්‍ර‍තිවෙධය කරන්නට නො හැකි වන්නේ ය. යහපත් කොට පිළිපන්නා වූ ද, උනුසත්හවුරුදු වූ මනුෂ්‍යලදරුවාහට මේ කාරණයෙන් ධර්මාභිසමය නො වන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ මහාපෘථිවිතොම බොහෝ දීර්ඝ වූවා ය. ආයත වූවා ය, පෘථුල වූවා ය, විස්තාර වූවා ය, විසාල වූවා ය, විස්තීර්ණ වූවා ය, විපුල වූවා ය, ඉතා මහත් වූවා ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාපෘථිවිය ස්වල්ප වූ ජලබින්දුවකින් තෙමා උදකචික්ඛල්ලය කරන්ට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ ඒ ජලබින්දුවකින් පෘථිවිය ගෝරුමඩ කරන්නට නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, ඒ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ජලබින්දුවගේ ඉතා කුඩා බැවින් හා මහාපෘථිවියගේ ඉතා මහත් බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම උනුසත්හවුරුදු ඇත්තහුගේ චිත්තය අබල ය, දුර්වල ය, පරිත්ත ය, අප්ප ය, ථොක ය, මන්ද ය, අවිභූත ය, අසංඛත වූ අමෘතමහානිර්වාණධාතුව දීර්ඝ ය, ආයත ය, පෘථුල ය, විත්ථත ය, විසාල ය, විස්තීර්ණ ය, විපුල ය, මහත් වූයේ ය. උනුසත්හවුරුදු ලදරුතෙම ඒ ස්වල්ප වූ මඳ වූ අවිභූත වූ දුර්වල වූ චිත්තයෙන් මහත් වූ අසංඛත වූ අමෘතමහානිර්වාණධාතුව ප්‍ර‍තිවෙධය කරන්ට නො හැකි වන්නේ ය. ඒ කාරණයෙන් මනා කොට පිළිපන්නා වූ උනුසත් හවුරුදු මනුෂ්‍යලදරුතෙම ධර්මාභිසමය නො වන්නේ ය.

“තවද, මහරජානෙනි, යම් සේ අබල දුර්වල පරිත්ත අප්පථොක මන්දාග්නියෙක් වන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, එපමණ වූ මන්දාග්නියෙන් දෙවියන් සහිත වූ සියලු ම ලොකයෙහි ඝනතරතිමිරාන්ධකාරය විධමනය කොට ආලොක කරන්ට හැකි වේදැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, වහ්නිය ඉතා මඳ බැවින් හා ලොකයා ඉතා මහත් බැවිනැ” යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම උනුසත්හවුරුදු වූ ලදරුවාගේ සිත අබල වූයේ ය, දුර්වල වූයේ ය, ඉතා කුඩා වූයේ ය, අල්ප වූයේ ය, ස්වල්ප වූයේ ය, මඳ වූයේ ය, අප්‍ර‍කට වූයේ ය, මහත් වූ අවිද්‍යාන්ධකාරයෙන් වැසෙන ලද්දේ ය. එහෙයින් ප්‍ර‍ඥාලොකය දක්වන්ට දුෂ්කර වන්නේ ය. ඒ කාරණයෙන් මනා කොට පිළිපන්නා වූ උනුසත්හවුරුදු ලදරුවාහට නිර්වාණාභිසමය නො වන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ රොගාතුර වූ කෘශ වූ පමණින් යුත් කුඩා ශරීරය ඇත්තා වූ සාලක නම් කෘමිතෙම තමා හුන් තැනට පැමිණියා වූ නවරියන්දිග ඇත්තා වූ තුන්රියන් පළල් ආසනය ඇත්තා වූ බඳවට දසරියන් ඇත්තා වූ අටරියන් අඋස ඇත්තා වූ ත්‍රිමදගලිත වූ උපොසථ නාගෙන්ද්‍ර‍යා දැක ගිලින්නට අදින්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ සාලක නම් කෘමිතෙම ඒ හස්තිනාගෙන්ද්‍ර‍යා ගිලින්ට හැකි වේ දැ?” යි විචාළසේක. “අහෝ! ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, සාලක ශරීරයාගේ කුඩා බැවින් හා හස්තිනාගෙන්ද්‍ර‍යාගේ ඉතා මහත් බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම උනුසත්හවුරුදු මනුෂ්‍යලදරුවාගේ සිත අබල ය, දුර්වල ය, ඉතා කුඩා ය, අල්ප ය, මඳ ය, අප්‍ර‍කට ය. අසංඛත වූ අමෘතමහා (391) නිර්වාණධාතුව ඉතා මහත් වන්නේ ය. ඒ ලදරු තෙම අබල වූ දුර්වල වූ කුඩා වූ මඳ වූ අප්‍ර‍කට වූ ඒ චිත්තයෙන් මහත් වූ අසංඛත වූ අමාතමහානිර්වාණධාතුව ප්‍ර‍තිවෙධය කරන්ට නො හැකි වන්නේ ය. ඒ කාරණයෙන් මනා කොට පිළිපන්නා වූ උනුහත්හවුරුදු මනුෂ්‍යකුමරුවාහට ධර්මාභිසමය නො වන්නේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

නිර්වාණාභව්‍යප්‍ර‍ශ්නය නිමි.