“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පිරිනිවියා වූ සියලු ම රහතුන්ගේ චෛත්‍යවල ප්‍රාතිහාර්ය පහළ වේ ද? නොහොත් ඇතැම් රහතුන් වහන්සේලාගේ චෛත්‍යයෙහි ම ප්‍රාතිහාර්ය පහළ වේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සමහර රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වන්නේ ය, සමහර රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය නො වන්නේ ය” යි වදාළ සේක. “ස්වාමීනි, කවර කෙනෙකුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වේ ද? කවර කෙනෙකුන්ගේ චෛත්‍යයෙහි නො වේ දැ?” යි විචාළෝ ය.
“තිණ්ණන්නං ඛො මහාරාජ-පෙ-පාටිහීරං හොති”
“මහරජානෙනි, තුන්දෙනෙකුන් අතුරෙන් අන්‍යතරයක්හුගේ අධිෂ්ඨානයෙන් පිරිනිවියා වූ රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය වන්නේ ය. කවර තුන්දෙනෙකුන් අතුරෙන් ද? යත්:- මහරජානෙනි, මේ ශාසනයෙහි රහතුන් වහ්නසේ ‘මාගේ චෛත්‍යයෙහි මෙබඳු වු ප්‍රාතිහාර්යයෙක් වේව’ යි සිතා ජීවමාන ව සිටිමින් ම දිව්‍යමනුෂ්‍යයන්ට අනුකම්පාවෙන් අධිෂ්ඨාන කර වදාරණසේක. ඒ රහතුන් වහන්සේගේ අධිෂ්ඨාන වශයෙන් චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වන්නේ ය. මෙසේ පිරිනිවියා වූ රහතුන් වහන්සේලාගේ චෛත්‍යයෙහි අධිෂ්ඨාන වශයෙන් ප්‍රාතිහාර්යය වන්නේ ය. නැවත ද, මහරජානෙනි, සම්‍යක්දෘෂ්ටික දෙවතාවෝ මනුෂ්‍යයන්ට අනුකම්පාවෙන් මෙබඳු වූ ප්‍රාතිහාර්යයෙන් ලොවුතුරා බුදුන්ගේ සද්ධර්මය නිත්‍යයෙන් ලොකයා විසින් ග්‍රහණය කරණ ලද වන්නේ ය. ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ ද කුශලධර්මයෙන් වැඩෙන්නාහු ය” යි සිතා පිරිනිවියා වූ (388) රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය දක්වන්නාහු ය. මෙසේ දෙවතාවන්ගේ අධිෂ්ඨානයන් පිරිනිවියා වූ රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය වන්නේ ය. නැවත ද, මහරජානෙනි, ශ්‍රද්ධාවත් වූ රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ පණ්ඩිත වූ සද්ධර්ම ශ්‍රවණ ධාරණයෙන් ව්‍යක්ත වූ සද්ධර්මසාගරයෙහි පිහිනන මනා බුද්ධි ඇති මහත් වූ ප්‍රඥාවෙන් යුක්ත වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුගුණ නුවණින් සිතා සලකා සුගන්ධද්‍රව්‍යයක් හෝ සුමනවකුලාදී මල් හෝ ඛොමකාසිකාදී වස්ත්‍රයක් හෝ අන්කිසිවක් හෝ බුද්ධචෛත්‍යාදියෙහි සකසා පුදා මෙබඳු ප්‍රාතිහාර්යයෙක් වේව” යි අධිෂ්ඨාන කොට නඟන්නේ ය. ඒ ශ්‍රද්ධාවත්හුගේ අධිෂ්ඨානයෙන් පිරිනිවියා වූ ත්‍රිවිධබුදුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වන්නේ ය. මෙසේ මනුෂ්‍යයාගේ අධිෂ්ඨාන වශයෙන් පිරිනිවියා වූ ත්‍රිවිධ බුදුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය පහළ වන්නේ ය. මහරජානෙනි, මේ රහත් දෙවතා ශ්‍රද්ධාවත් යන තුන්දෙනා අතුරෙන් එක්තරා කෙනෙකුන්ගේ අධිෂ්ඨාන වශයෙන් පිරිනිවියාහුගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය පහළ වන්නේ ය. මහරජානෙනි, ඉදින් ඔවුන්ගේ අධිෂ්ඨානයෙක් නො වී නම්, චෙතොවශිප්‍රාප්ත වූ ෂඩ්භිඥාලාභී වූ මහාක්ෂීණාශ්‍රවයන් වහන්සේ කෙනෙකුන්ගේ චෛත්‍යයෙහි හෝ ප්‍රාතිහාර්යය පහළ වන්නේ ය. මහරජානෙනි, මේ යථොක්තප්‍රකාරයෙන් ප්‍රාතිහාර්යයක් නැති කල්හි ද ඒ ප්‍රාතිහාර්යය පහළ නො වන බව දැක තමාගේ පූර්ව කෘතපුණ්‍යතාවයකින් හෝ ඉහාත්මභාවයෙහි සුචරිතගුණබලයකින් හෝ ලැබිය යුතු හෙයින් අප්‍රමාද ව ම ශ්‍රද්ධාවත් සුජනජනයා විසින් රහතුන්ගේ සුපරිසුද්ධභාවය කල්පනා කට යුත්තේ ය. මේ සර්වඥපුත්‍ර වූ රහතුන් වහන්සේ පිරිනිවන් පෑ වදාළසේකැ යි කියා නිෂ්ඨාවට ගිය යුත්තේ ය. ඇදහිය යුත්තේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍රශ්නයත් ඒ වදාළ පරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
චෛත්‍යප්‍රාතිහාර්යප්‍රශ්නය නිමි.